Categories
Uncategorized

ස්තූතියි!

සාමාන්‍යයෙන් අගය කිරීම් සඳහා බොහෝ දෙනෙක් කැමතියි. කෙටි ස්තූති වදනක් හෝ සුබ පැතුමක් බොහෝ දුර යා හැකියි. සරළ උදාහරණයක්, ගෑනු ළමයෙක්ට ලස්සනයි කියල බලන්න! 😉

මේ සටහන ලියන්නේ බස් රේඩියෝව විසින් ඊයේ පවත්වන්නට යෙදුන ඔවුන්ගේ ප්‍රථම සිංහල බ්ලොග් සම්මාන උළෙළේ (අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන් වු) හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය සඳහා වූ සම්මානය හිමි වීම නිමිත්තෙනුයි. විභාග කාරණා සහ අතුරු කතා මැද කාලයක් නොලියවුනු සුදාරකගේ අන්තර්ජාල සටහන නැවත ටිකෙන් ටික ලියවෙන්නට පටන්ගත් මොහොතේම මෙවැනි සම්මානයක් හිමි වීම ඇදහිය නොහැකි ආශ්වාදයක් සහ නැවත ලියන්නට දිරි ගැන්වීමක්.

මීට අවුරුදු හතරකට පහකට පෙරදී අන්තර්ජාලයට ඇතුළත්වෙද්දී අන්තර්ජාලය අතහැර දමා තිබුණ මුඩු බිමක් වගේ. (මෙලෝ රහක් නෑ?) තාමත් හරිහැටි මතකයේ නැති වැඩකට සිංහල අකුරු හොයද්දී හමුවුන සිංහල යුනිකේත සමූහය මගේ ජීවිතය වෙනස් කරා කිව්වොත් නිවැරදියි. හහා! මේ එහෙම කියන පළවෙනි පාර.

සිංහල යුනිකේත සමූහයෙන් පටන්ගත්ත අන්තර්ජාල මිතුරන් හඳුනාගැනීම සහ බ්ලොග් ලිවීමම පමණක් ගොඩක් දුර ගෙනගියා. සිංහල බ්ලොග් මැරතන් පැවැත්වීමට දායක වීම, බ්ලොග්කරුවන්ගේ සංසදය පිහිටුවීම (දැන් නම් එහි කටයුතු කරන්නේ නැහැ) සහ අවසාන වශයෙන් රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ක්‍රියාකාරකම් වෙත දායක වීමෙන් සිංහල අන්තර්ගතයන් පැතිරවීමේ කාර්යයට පදනම් දැමීමේ කොටස් කාරයෙක් වීම සහ ඒ සම්බන්ධ පුද්ගලයන්ගේ මතකයේ රැඳීමට හැකිවීම අහඹු නමුත් සතුටුදායක කාරණයක්. ඒ කියන්නෙ දැන් සතුටෙන් මැරෙන්නට පුලුවනි. 🙂
දැනුත් කණ්ඩායම් වශයෙන් සහ තනි තනි වශයෙන් අන්තර්ජාලයේ සිංහල අනන්‍යතාව තබා ගනිමින් සිටින ආකාරය දැකීමට සතුටක්. කණ්ඩායමක් නවතිනකොට තවත් කණ්ඩායමක් තමන්ගේ ආරම්භය කෙසේ හෝ සටහන් කිරීම ස්වභාවයෙන්ම සෑම තැනකට සිදුවෙන නමුත් “දැන් බ්ලොග් ඉස්සර වගේ නෑ” “දැන් එකමුතුවෙන් ලස්සන වැඩක් වෙන්නෙ නෑ” කියනවාට වඩා එය වැදගත්.

අන්තර්ජාලය ලෝකයටම අදාළ වුවත්, සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා තම තමන්ගේ අනන්‍යතාව රැකගැනීම වැදගත්. කාලයකට ඉහත දී අන්තර්ජාලයේ නන්නත්තාර වෙලා සිටි ලාංකීය සුලුතරයටත් ක්‍රමයෙන් ලංකාවේ වර්ධනය වන තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවටත් අන්තර්ජාලයයේ අනන්‍යතාව නිසා බොහෝ දේ කළ හැකි යැයි මම තවමත් විශ්වාස කරනවා.

ඉතින් බස් රේඩියෝ කණ්ඩායමට ඉදිරි කටයුතු සඳහා සුබ පතන අතරේ ඔවුන්ට සහ සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන නොකියවන හැමදෙනාටම ස්තූතියි.

බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශිත නාමයන් සහ සම්මාන ලාභීන් මෙතැනින් කියවිය හැකියි. ඒ ඔස්සේම බස් රේඩියෝ ශ්‍රවණය කරන්නත් හැකියාව තියෙනවා.

මං දන්නවා ලිවිල්ලට තරමක් අලුත්, එහෙමත් නැතිනම් අවුරුදු දෙකකට අවම නවක බොහෝ දෙනෙක් සුදාරක නොදන්නවා ඇති. ඉතින් මම ආයෙ ලියනවා සහ ඔවුන්ගේ කියැවීමට මඟහැරුන ලිපි සහ බොහෝ දෙනා කැමැත්තෙන් කියවූ ලිපි කිහිපයක් Shameless Self Promotion වෙනුවෙන් පහත තියෙනවා.

නැවතත්,
ස්තූතියි! 🙂

Categories
Uncategorized

කලකට පසු ලියමි….

ඉතින්, කොහොමද?

කාලෙකට පසුව හෝ හදිසියේ හමු වූ කෙනෙකුගෙන් අහන බොහොම සාමාන්‍ය ප්‍රශ්නයක් ඒ. බොහෝ දෙනෙක් මොනවගේ කරදර තිබුනත් හිනාවෙලා “මම හොඳින්” කියල උත්තරේ දෙන නිසා, මමත් එහෙම හිතාගන්නම්. 🙂
ඉතින්, මාත් හොඳින්. 🙂
මේ දවස්වල අමතර වැඩ කරන්නේ නම් නැති තරම්. විභාග කටයුතු වල හිරවෙලා. ඇත්තටම කිව්වොත්, ඉස්කෝලෙ ගිහින් ඉගෙනගත්තාටත් වඩා ඉගෙනගන්නෙ මේ කාලෙ. ඉතින් බොහොම කාර්ය බහුලයි. කාර්ය බහුල නැති වෙලාවට හිතේ මහන්සිය නැති කරගන්න DotA 2 සෙල්ලම් කරනවා. වෙලාවක හිතුන බ්ලොග් එකට DotA 2 ගැන ලිව්වොත් හොඳයි කියල. ටිකෙන් ටික හිත නිදහස් වේගෙන එන නිසා සහ ලිවීම අතනොහැර සිටීමට අවශ්‍ය නිසා ආයෙ ආයෙත් බ්ලොග් ලිපි ටික ටික හෝ ලියන්න හිතාගෙන ඉන්නවා. බ්ලොග් ලිවීම නොලියා සිටි කාලයේ සෑහෙන්න වෙනස් වීම් ගොඩක් සිදුවුනා. ඔව්, උසස් පෙළත් ලිව්වා. 🙂 උපාධියේ පළවෙනි අවුරුද්දත් දැන් සම්පූර්ණයි. ඉතින් සුදාරක දැන් ලොකු ළමයෙක්. ගිය මාසෙට වයස අවුරුදු විස්සක්ම සම්පූර්ණ වුනා. 🙂

ඉතින් නැවතිලා තිබුන ලිවිල්ල ආයෙත් පටන්ගන්නෙ අහම්බෙන් ලියවුන කවියකින්. සෑහෙන්න කලකින් ලියන නිසා මටවත් ඒ ලිවිල්ලෙ මෙලෝ රහක් දැනුනෙ නෑ. ඒත් හිස් තැන් තියනවාට වඩා හොඳයි ලියා පුරවන එක. ඉතින්, හිතෙන දේ කියන එක මම හිතන්නෙ අපි කාටත් හොඳයි, 🙂


“මූට අපි ඉගැන්නුවා
හොඳටෝම වැඩි!”
අම්ම කිව්වා දවසක්,
නිදහස ඕනෑය කියනකොට.
“ඉගෙනගත් අයට,
නිදහසක් ඕනෑමය”

රූපවාහිනිය දවසක්,
අම්මාට කිව්වා.

ඉතින්…

නිදහස හොයාගෙන,
ඇවිදගෙන යනකොට,

දුටුවා…

ලෙඩෙක්, මළ මිනියක්, පැවිද්දෙක්.

හොඳටෝම බීලා,
නරක්වුන වකුගඩුව,
වෙනුවට තව එකක්,
ගන්න දෙනවද සල්ලි?

ගෙයින් එළි බහිනකොට,
තාත්තාගෙන් ඉල්ලාගත් සල්ලි.
දුන්නෙ ඒ ලෙඩාට,
ලෙඩෙන් නිදහස් වේවි සිතමින්.

ආදරෙන් පැරදී,
ගෙලේ වැල ලා ගත්,
තවම සා.පෙළ කර නොමැති,
තරුණ මළ සිරුරකි ඒ…

මරණයට ගෞරවය,
දෙන්න එන පිරිසට,
කන්න දෙන්නට බැරිය,
අතේ සතයක් නැතිව.

“ඉතින් මයෙ රත්තරන් පුතේ,
දෙනවාද කීයක් හරි?”

මටත් මගෙ අතීතය,
මොහොතකට මතක් වී,
රුවැති ඒ යුවතියට,
ගෞරවය වනු පිණිස,
අත වූ ඉතිරි මුදලින්
දුනිමි සුළු කොටසක්.

ශාසනේ නම් පිරිහිලා හොඳටම,
අපිත් බණ දෙසුවට,
වුනේ නෑ කිසි වැඩක්.

සාද මොහොතකදී,
ටිකක් නම් බිව්වාට,
කමක් නෑ නොවෙද?

ඒත් මුන් බොනවනේ….
ගොඩ ගොඩ?

ඊයේ රෑ සාදයේ,
හොඳටෝම බීලා,
අද දවල් දානය,
ගෙනාවේ නෑ උපාසක.

හරි වැඩක් නේ පුතේ,
බැංකුවේ ATM එකත්,
දැං කරන්නේ නෑ වැඩ.

ඉතින් පොඩි ණයක්,
ගන්න මට බැරි වෙයිද?

බොහෝ පිං ඔය පුතාට,
ඔය පුතා පිංවන්තයි,
හරිම පිං පාටයි මුහුනත්,
එනවද ඒ පැත්තෙ වෙලාවක?

නිදහස හොයාගෙන,
ඇවිදින්න තව තිබුණත්,
දැං නං හොඳටම හෙම්බත්….