කම්පා නොවන් මහමායා!

ඉතින් කොහොමද? චරිත අතලගේ මේ ළඟදි නිකුත් කරා සින්දුවක්. සින්දුව කියන්නෙ සුපුන් පෙරේරා. සින්දුව ලියල තියෙන්නෙ චන්ද්‍රසේන තලංගම. නම තමයි කම්පා නොවන් මහාමායා. මුල්ම පාර අහද්දි නිකන් නුහුරුයි වගේ දැනුනට, ටිකක් වෙලා අහද්දි සින්දුව අල්ලලා ගියා. පස්සෙ තව තව අහද්දි තමයි තේරුම මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුනේ.

සින්දුව තවම අහන්න ලැබුනෙ නැද්ද? (සිරාවටම?) එහෙනම් මේ තියෙන්නෙ සින්දුව සහ ගී පද. සියළු හිමිකම් ඒ ගීතයේ සහ ගී පද වල අදාළ හිමිකරුවන් සතුයි. ඔබට මේ ගීතය චරිත අතලගේගේ වෙබ් අඩවියෙන් මිළදී ගන්න පුළුවන්.

නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා
පුතුනූ අපේ, හැරදා ගියේ යශෝදරා හා බිළිදු පුතා…
කම්පා නොවන් සඳ මහමායා…
කුමාරයා හැරදා ගියා…
තුන්​ ලෝ උතුම් බුදු පදවි පතා…
කුමාරයා, හැරදා ගියා…

මහමායා… (කම්පා නොවන්)
මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

මහමායා… (කම්පා නොවන්)
මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

රුදු සසර ගිනී
බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී
වැසි වසිනු වැනී

අඩුවක් වුනාදෝ ජීවිතේ
ඉසුරින් පිරී මේ මාළිගේ..
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
හැරදා ගියේ ඇයි මාළිගේ

සදහම් අමා වැහි හෙළනා රඟේ…
නොසැලී බලන් මහාමායා…
සසරින් මිදී පුතු වඩිනා රගේ…
නොසැලී බලන් මහමායා…

මහාමායා (රුදු සසර ගිනී)
මාහාමයා (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙනී)
මහමායා… (වැසි වසිනු වැනී)

මහාමායා (රුදු සසර ගිනී)
මාහාමයා (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙනී)
මහමායා… (වැසි වසිනු වැනී)

සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙලා ආසන්න වශයෙන් අවුරුදු දෙකකට පස්සෙයි කිඹුල්වත්පුරයට වැඩම කරන්නෙ. අපි සාහිත්‍යයේ කොතැනකවත් අහල නැති සුද්ධෝදන රජතුමාගෙ මේ මහමායා දේවිය ඇමතීම කියන්නෙ වෙනස්ම කතාවක් කියල මට හිතුන.

දෙමව්පියන් තමන්දගෙ ​දරුවන් කුඩා කාලෙ ඉඳල හදන්නෙ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. මේ දරුව අනාගතයෙ ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් කරන්න, එහෙමත් නැත්තං සමහරවිට තමන්ගෙ ළමය තමන්ගෙ ව්‍යාපාරය ඉදිරියට ගෙනියයි කියල බලාපොරොත්තු තියාගෙන ඉන්​න කොයිතරම් දෙමව්පියන් ඇත්ද?

සුද්ධෝදන රජතුමා​ට සිද්ධාර්ථ කුමාරයා ගැන තිබුනෙත් ඒ බලාපොරාත්තුවම තමයි. තැන් තැන්වල රාජධානි විදිහ​ට කැඩිල තිබුන ඉන්දියා අර්ධද්වීපය එක්සේසත් කරල සක්විති රජකම ගනියි කියන බලාපොරොත්තුවෙන්, කිසිම දුකක් නොදී කිසිම අතුරු ආන්තරාවක් නොවෙන්න කරපු දේවල් ආයෙමත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේද?

ඒත්, සිද්ධාර්ථ කුමාරයාත් තමන්ගෙ අරමුණ වෙනුවෙන් සියල්ල හැරදාලා යන්න තීරණය කළා. මේ කියවෙන්නෙ, සුද්ධෝදන රජතුමා වගේම නූතන කාලයේ දෙමව්පියන් ගැන කියලයි මගේ හැඟීම. මේ ගීතයත් තමන්ගෙ අරමුණු වෙනුවෙන් දෙමව්පියන්ගෙ බලාපොරොත්තු පසෙකලා උඩුගං බලා​​ගෙන යන්නෙක් ​ගැන වෙන්නට බැරිද?

කොයිතරම් බලාපොරොත්තු කඩ කරත්, කම්පා නොවෙන්නයි මහමායා ​දේවියගෙන් ඉල්ලා සිටීමම, දෙමව්පියන්ගේ කවදාවත් වෙනස් නොවෙන අසීමිත ආදරය නොවෙයිද? සමහරවිට ඔබත් තමන් හරි කියල හිතෙන පාරෙ යනව ඇති. දෙමව්පියන්ගෙ බලාපොරොත්තු කඩ කරනව ඇති. ගැටුම් ඇතිවෙනව ඇති. ඒත් මේ බැඳීම සසර ගමන ඉවරයක් වෙනකන් තියේවි.

ඔබත් කූඹියෙක්ද?

කූඹියෙක්ද කියල ඇහුවම මේ දවස්වල ඕනෙ කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් මේ ලියන්න හදන්නෙ මොකක් ගැනද කියල. සාමාන්‍යයෙන් මම සිංහල ටෙලි නාට්‍ය ගැන ලියලාම නැති තරම්. ඒකට හේතුව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ. මම සිංහල ටෙලි නාට්‍ය බලන්නෙ නෑ.

සිංහල ටෙලි නාට්‍ය නොබැලුවත්, අතරින් පතර කාමරයට ඇහෙන සිංහල ටෙලි නාට්‍ය වලින් ලැබෙන්නේ බොහොම අමිහිරි අත්දැකීමක්. ඒ අතරෙදි ෆේස්බුක් එකේ එහෙන් ම‍ෙහෙන් දකින්න ලැබුන කූඹියෝ නාට්‍ය ගැන මට හිතුනෙ ඒකත් අනිත් නාට්‍ය වගේම වෙයි කියල. ඒ කොහොම වුනත් මටත් නිකමට වගේ කූඹියෝ බලන්න හිතුන.

පළවෙනි  දෙවෙනි කොටස් බලද්දි සෑහෙන්න වෙනසක් දැනුනත්, මුලින්ම කූඹියෝ ගැන ආව අදහස වුනේ මේකත් තවත් එක ඊනියා “රැඩිකල්” කලා කාරයෙක්ගෙ මොකක්හරි බම්බුවක් යහපාලනේ පිහිටෙන් අයි ටීන් එන් එකට දාගත්ත නාට්‍යයක් කියල. මොකද දන්න කාලෙක ඉඳල අපි අයි ටී එන් එකෙන් කිසිම ගුණාත්මක දෙයක් දැකල නෑ.

ඒත්,

එන්න එන්න කතාව හොඳ අතට හැරෙන්න පටන්ගත්ත. එක පුද්ගලයෙක් දෙන්නෙක් වටේ කතාව ගෙතිල තිබුනට අනිත් පොඩි පොඩි චරිත කරන නළු නිළියොත් තමන්ගෙ උපරිමයෙන්ම රංගන දායකත්වය දෙද්දි ඊළඟ කොටස් බලන්න පුලුම ආසාවක් දැනුන. ලංකාවෙ ටෙලි නාට්‍ය ගැන බලාපොරොත්තු අත ඇරල තිබුන වෙලාවක මේක නිකන් මැජික් එකක් වගේ.

ශ්‍රී ලංකා සමාජයේ හැමදාම දකින්නට ලැබෙන බොරු ආටෝප වලට සියුම්ව සහ කලාත්මකව පහර ගහන මේ වගේ කලා නිර්මාණයක් ඇත්තටම අගය කරන්න ඕනෙ. ඒ අතරෙම බොහොම සීරියස් සංවේදී දෙවල් එක්ක හැමිණෙන්න නොයා කතාවට අදාළ රසයත් ප්‍රේක්ෂකයට ගේන්න උත්සාහ කරන එක දැක්කම කියන්න පුලුවන් මේක හරිම බැලන්සඩ් වැඩක්!

ඒකම තමයි සාමාන්‍යයෙන් රෑ 8ට ටෙලි නාට්‍ය බලන ඕනෙම මනුස්සයෙක්ට ඕනෙ කරන්නෙත්. අහස පොළොව ගැටලන්න උභතෝකෝටික ප්‍රශ්න ඔළුවට දාන්නෙ නැති, තමන්ගෙ ගෑනි, අල්ලපු ගෙදර මනුස්සය, පාරෙ මුනගැහෙන මනුස්සයව සැක කරන්න පුරුදු කරන්නෙ නැති, මන්තර ගුරුකම් වලින් ඕනෙ ප්‍රශ්නයක් විසඳන්න පුලුවන් වගේ මිථ්‍යා කතා කියන්නෙ නැති, ගැහැනියක්ව ළඟ තියාගෙන මුළු ලෝකෙම ගෑනුන්ගෙ වැරදි නොකියන සරලව විඳින්න පුළුවන් කතාවක්!

ඉතින් දැන් ඇති නේද කට්ටියව මුරුංග අත්තෙ තිව්ව?

මං හරිම ආසයි මේ ටෙලි නාට්‍යයේ සංගීතය තව ටිකක් තීව්‍ර වුනානං. ඔව්. මුළු ටෙලි නාට්‍යය පුරා එකම තේමා වාදනය නොයව වෙනස් වෙනස් වේරියේෂන්ස් තිබ්නං මේක මියුසික් අතිනුත් තව සිරා වැඩක් කරන්න තිබුන. ඇත්තටම ඒක විතරයි මට අවුලකට තියෙන්නෙත්. මියුසික් නරකයි නෙවෙයි. මං කියන්නෙ තව ටිකාක් විතර දියුණු වෙන්න තිබ්බනං කියල!

ඒ එක්කම මං බලාපොරොත්තු වෙනව ටෙලි නාට්‍යය වෙළඳ දැන්වීම් වලින් ගිලගන්නෙ නැතිවෙයි කියල… ඔව්. සල්ලි ඕනෙ තමයි. ඒත් අතරින් පතර දිගට හරහට දැන්වීම් බලන්න වුනොත් සියුම් storyline වලින් ප්‍රේක්ෂකයො ගැලවෙන්න පුලුවන්. සල්ලි හොයන්න තව පාරවල් විදිහට YouTube දාන්න, Original DVD එකක් එලියට දාන්න. ඊට අමතරව නාට්‍ය Merchandise කරන්නත් උත්සාහ කරල බලන්න පුලුවන්!

ඉතින් මේ සිරා වැඩේට, කූඹියෝ නාට්‍යයේ නිශ්පාදක අසංක දොඩන්තැන්නට, අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්නට, සංගීත අධ්‍යක්ෂක අචල සොලමන්ස්ට, ඡායාරූප අධ්‍යක්ෂක Striner Macklain Adamsට (නම සිංහලෙන් කියන්න දන්නෑ!), සංස්කාරක දමිත චන්ද්‍රසිරිට වගේම අනෙකුත් වැදගත් කාර්ය මණ්ඩලටම සහ නළු නිළි සේරම අපි සුබ පතමු වැඩේ හොඳට කරගෙන යන්න!

සේයා රූ ලබාගත්තෙ කූඹියෝ නිල ෆේස්බුක් පිටුවෙන්!

අපි වරද්දගන්න තැන.

රජයේ විශ්වවිද්‍යාල වලට යන හැමෝම රැග් කරන අය නෙවෙයි. ඒ වගේම ප්‍රයිවෙට් කැම්පස් යන හැමෝමත් මෝඩයෝ නෙවෙයි. උසස් පෙළ පාස් වුනා කියල ඌ මේ ලොකෙ ඉන්න ලොකුම බුද්ධිමතත් නෙවෙයි. උසස් පෙළ ෆේල් වුනා කියන්නෙ ඌ මේ ලෝකෙ වැඩ බැරි හරකෙකුත් නෙවෙයි. පොලීසියේ ඉන්න හැම එකාම පගා ගන්න උනුත් නෙවෙයි.

හැබැයි අපි මේ වෙනකොට හැම එකාවම ජෙනරලයිස් කරගෙන. දෙගොලෝලො දෙපැත්තට වෙලා ගහගන්න වෙලාවෙ බදු වැඩිවෙලා, කැලෑ වල ගස් කපලා, උෂ්ණත්වය අංශක 40ට නැගලා.

මේ වෙනකොට ජනාධිපතිතුමාට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ රටට කෙලවෙලා ගියත් තමන්ගෙ බලය පක්ෂයේ තහවුරු කරගන්න එක. හිටපු ජනාධිපතිට තියෙන ලොකුම ප්‍රශ්නෙ මෛත්‍රීට කෙලවන එක. පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීලට තියෙන ලොකුම ප්‍රශ්නෙ මහින්දට ආරක්ෂාව සලසන එක. ජවිපෙට තියෙන ලොකුම ප්‍රශ්නෙ දිවයින පත්තරේට කොහොමහරි කෙලවන එක. රනිල්ට තියෙන ප්‍රශ්නෙ කොහොමහරි තව අවුරුදු තුනක් ෂේප් එකේ ආණ්ඩුවත් රැකගෙන, ඊළඟ ඡන්දෙන් ආයෙ එජාපය දිනවගන්න.

රටේ ජනතාව රටටම පොදු ප්‍රශ්න ගැන කතා කර කර වෙලාව නාස්ති කර කර ඉන්න අතරෙ, රටේ ප්‍රශ්න ගැන හිතන්න ඕනෙ එවුන් තමන්ගෙ බලය රැකගන්න එකට තියෙන බලපෑම් ගැන හිත හිත වෙලාව නාස්ති කරනවා.

මේක වෙන්න ඕනෙ අනිත් පැත්තට නේද?

චයිනමන් – ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය

chinamn

සිංහල පොතක් කියවපු කාලයක් මතක නෑ. මතකෙ තියෙන අන්තිම පොතත් කුරුළු හදවත. පොතක් පිළිබඳ රෙකමදාරු අහන අහන තැන නිතරම කියවුන පොතක් තමයි ෂෙහාන් කරුණාතිලකගේ චයිනමන්. පොත ලියැවිලා තිබුනේ ක්‍රිකට් ගැන කියල දැනගන්න ලැබුනත් මගේ ක්‍රිකට් දැනුම මදිකම නිසා පොතේ නමයි ක්‍රිකට් ගැහිල්ලයි අතර සම්බන්ධය ගලපගන්න බැරුවයි හිටියේ.

ඔය අතරෙ තමයි අහන්න ලැබුනෙ පොත සිංහලට පරිවර්තනය වෙලා කියල. පොත පරිවර්තනය කරන්නේ මම කැමතිම සිංහල සිංදුවක පද රචක. කැමතිම සිංදුව තමයි “ඇරඹුමම කඳුලක් වෙලා“. පද රචක තමයි දිලීප අබේසේකර. මේ සටහන පොත පිළිබඳ විචාරයක් නෙවෙයි. හැඳින්වීමක් වගේ එකක්. පොත ගැන දැනටමත් බොහෝ ලිපි අන්තර්ජාලයේ ඇති නිසා මම මුහුන දෙන පළවෙනි ගැටලුව තමයි පොත ගැන මට අලුතෙන් මොනවද ලියන්න තියෙන්නේ කියන එක.

මුලින්ම කියන්න ඕනෙ පොතේ අකුරු පොඩියි. ඒක සමහර වෙලාවට රසවත් කියවීමකට ලොකු බාධාවක් කියලත් හිතෙනවා. ඒක නිසා වෙන්න ඇති මට තවමත් පොත කියවලා ඉවරයක් කරන්න බැරි වුනෙත්. 😛 අකුරු පොඩි වුනත් කතාව නම් රසවත් කියල තේරුනේ කතාවෙ මුල් අර්ධය කියෙව්වාම. ඒත් මුලින් රහට දැනෙන, ඒත් පොතේ මැද හරියක් වෙද්දි මෙලෝ රහක් නැති වෙන සිංහල පොත් කියවලා හොඳ පළපුරුද්දක් තියෙන නිසා මේක කොහොමවෙයිද කියලා කියන්න බෑ දැන්ම.

ඒත් එක අතකට පොත අරන් තියෙන සම්මාන ගොඩ බැලුවමනම් එහෙම අපේක්ෂා භංගත්වයට පත්වෙන්න ලැබෙයි කියලා හිතන්නත් බෑ තමයි. ලංකාවෙ ඉංග්‍රීසි පොතකට ලැබෙන ලොකුම සම්මානෙ, ඒ කියන්නෙ ග්‍රේෂන් සම්මානය ලැබෙන්න නම් එක්කො ඒ වෙනකොට සම්මානෙ දෙන්න වෙන පොතක් තිබිල නෑ. එහෙම නැතිනම් මේක තමයි සිරාම පොත. ඒත් කියවපු ටිකේ දැනුන රහ අනුව නම් මම වුනත් ඒ සම්මාන මණ්ඩලේ හිටියනම් ඉතිරි ටික නොකියවාම සම්මානෙට නිර්දේශ කරන්න තිබුනා.

ඔරිජිනල් පොතේ හිමිකාරයා ෂෙහාන් කරුණාතිලකනම් මට අලුත්. ඒ වගේම ඔනෙම පරිවර්තනයකදී ලිඛිත භාෂාවට එහා දේවලුත් පරිවර්තනය වෙනවා. පොතේ මුල් භාෂාවට අදාළ සංස්කෘතිය පරිවර්තන භාෂාවත් එක්ක ගැලපෙන්නෙ නැත්තන් පරිවර්තන කෘතියක් කියවල ආතල් එකක් ගන්න අමාරුයි. ඒත් කතාව ලංකාව වටේ ලියවුන එකක් නිසත්, ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන දෙයක් (වෙන මැච් නොබැලුවත් අඩුගානෙ ලංකාව තේරෙන ෆයිනල් හරි බලන) නිසත් ඉංග්‍රීසියෙන් සිංහලට කතාව පරිවර්තනය වෙද්දි, මේක පරිවර්තනයක් ය කියල හිතාගන්නවත් බැරිතරම් පරිවර්තනය නැවුම්. එහෙනම් ඉතින් ඒකෙ ගෞරවය දිලීප අබේසේකරට දෙන්න ඕනෙ.

පොත තවම කියවලා ඉවර නෑ. මොකද කියන්නෙ? ඉතිරි ටිකත් කියවන්නද? එපාද? 😛

පසු ලිවීම:
පොත අරගන්න හිතනවානම් ටකස් එකෙන් ගෙදරට ගෙන්නගන්නත් පුලුවනි. 😉

…..

ගිහින් එන්නම්. සෙස්ස පස්සට. 🙂

යුධ ජයග්‍රහණයක් සහ විවාහ සංවත්සරයක්.

මගේ අම්ම සිංහල, තාත්ත දෙමළ. ඒ දෙන්නගෙ ජීවන යුද්ධයට අවුරුදු 25ක් පිරෙන්නෙ හෙට අනිද්දා.

අපේ තාත්ත දෙමළ නිසා අම්ම තාත්තව බඳින්න තීරණය කරාම අම්මගෙ පවුලෙන් යුද්ධ ප්‍රකාශ කරා. අම්මයි තාත්තයි හොඳ වෙලාවට රජයෙ සේවකයො නිසා ඒ කාලෙ හැටියට ගෙදරින් ස්වාධීන වෙලා ජීවත් වෙන්න තරම් සල්ලි තිබුනා.

ඔහොම මොණරාගල රාජකාරි කරන අතරෙ එහේ සිංහල මිනිස්සු තාත්තව මරන්න හොයල තිබුනා, ඒ රට බෙදන යුද්ධෙ නැගල යන කාලෙ. එතකොට තාත්තව හංගගෙන බේරගෙන තිබුනේ තාත්තා වැඩ කරපු තැන හිටපු මහත්තයෙක්. එයා සිංහල.

එතකොට නම් තාත්තව මරන්න හොයල තිබුනෙ තාත්තා කොටියෙක් නිසා නෙවෙයි. නිකම්ම නිකන් දෙමළ නිසා.

මම ඉපදුනාට පස්සෙ තමයි ඊළඟ යුද්ධෙ. දෙන්නටම හිතාගන්න බැරිවුනා මම දෙමළ දරුවෙක්ද, සිංහල දරුවෙක්ද කියලා. (මටත් තාම හිතාගන්න බෑ) එතකොට දකුණු පළාතෙත් අන්ත දකුණෙම ජීවත් වුන නිසා මිනිස්සු මා දිහා අමුතු විදිහට නොබලයි කියන බලාපොරොත්තුවෙන් මට සිංහල නමක් තිබ්බා.

තාත්තගේ පවුලෙ නම හරිම ලස්සනයි, ගාම්භීරයි. ඒත් ඒ නම දෙමළ නිසා මගේ පවුලෙ නමත් කොට කරලා කාලිදාස වෛනා කන්දනාදන් වෙනුවට “කාලිදාසගේ” කියල දෙමළ නමත් සිංහල කරල තමයි මට තිව්වෙ.

චන්ද්‍රිකා මැඩම් බලයට පත්වුනාම සිවිල් යුද්ධෙ මුහුනුවර වෙනස් වුනා. යුද්ධෙ කරන්නෙ කොටින්ට විරුද්ධව මිසක් දෙමළ මිනිස්සුන්ට එරෙහිව නෙවෙයි කියල මාකට් කරන්න පටන්ගත්තට පස්සෙ දකුණෙ හිටපු සිංහල දෙමළ මිනිස්සු අතර සමඟිකම් ඇතිවෙන්න ගත්තා. අපේ අම්මගෙ පවුලට තාත්තගෙනුත් පොඩි පොඩි උදව් වුන නිසා පරණ විරසකත් අඩු වුනා. අපි ජීවත් වුන තිස්සමහාරාම පැත්තෙ සිංහල මිනිස්සුන්ගෙනුත් තාත්තට කිසි වරදක් වුනේ නෑ, සෑහෙන්න මිතුරු සබඳකම් ඇතිවුනා මිසක්.

අපේ ලොකු අම්මගෙ ලොකුම පුතා තමයි අපේ පවුලෙ හිටපු හොඳම ගතිගුණ තිබුන මනුස්සය. උසස් පෙළත් පාස් වුනාට කැම්පස් යන්න තරම් ලකුණු තිබුනෙ නෑ. අන්තිමට එයා බැඳුන නාවික හමුදාවට. නාවික හමුදාවෙ ඉංජිනේරු අංශයට බැඳුනම අපි හිතුවෙ එයාට වැඩිපුර යුද්ධ කරන්න ලැබෙන්නෙ නැතිවෙයි කියල. ඒත් දවසක් නිවාඩු අරගෙන එද්දි නිරායුධ නාවික හමුදා සෙබලුන්ව ඉලක්ක කරපු ක්ලේමෝ බෝම්බයකට අහුවෙලා එයා නැතිවුනා. එදා මගේ සිංහල අම්ම වගේම දෙමළ තාත්තත්, ලොකු අම්මගෙ ගෙවල් ළඟ හිටපු මුස්ලිම් අයත් බොහොම දුක්වුනා.

තාත්ත ඡන්දෙ දුන්නෙ ජේවීපී එකට. සාම ගිවිසුම ගහපු එජාප ආණ්ඩුව පෙරළන්න ජවිපෙ මහින්ද එක්ක සන්ධානගතවුනාම, තාත්ත ඡන්දෙ දුන්නෙ මහින්දට. ඊටපස්සෙ මහින්ද මහත්තයගෙ නායකත්වය යටතේ හමුදාව යුද්ධෙ දිනුවම මගේ දෙමළ තාත්ත වගේම සිංහල අම්මත්, අපේ ගෙවල් ළඟ මුස්ලිම් අයත් සතුටුවුනා. ඒ, හැමෝටම බයක් සැකක් නැතුව පාරෙ බැහැල යන්න පුලුවන් නේද කියලා.

2009 මැයි 17 වෙනිදා ලැබුන යුධ ජයග්‍රහණයට අදට අවුරුදු හයක්. අද අපි වගේම සාමාන්‍ය පවුල් ත්‍රස්තවාදයට බය නෑ. නිදහසේ ඉන්නවා. මගේ තාත්ත දෙමළ කියල ලියන්න බයත් නෑ. ත්‍රස්තවාදය පරද්දන්න සටන් කරල මිය ගියපු හමුදාව හැමදාම අපේ මතකෙ තියෙයි.

ඉතින් මේ පුංචි ශ්‍රී ලංකා පවුල බෙදන්න හදන ජාතිවාදී සිංහල-දෙමළ දේශපාලන නායකයින්ගෙන්, ගස් කපල කැලෑ වනසන මුස්ලිම් නායකයින්ගෙන්, සල්ලි බෙදල ආගම මාරු කරවන ක්‍රිස්ත්‍රියානි නායකයින්ගෙන් බේරාගන්න එක අපි හැමෝගෙම වගකීම.

දේශපාලනයේ සදාකාලික මිතුරන්ද, සදාකාලික සතුරන්ද නැත | Conspiracy Theory and Game of Pawns

පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් සහ රටේ පොදු ජනතාවගෙන් අපකීර්තියට පත්වෙමින් සිටියදී හිටපු ජනාධිපති රාජපක්ෂ අපූරු තීන්දුවක් ගන්නා ලදී. ඒ, වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමයි.

අවශ්‍යතාව වූයේ ජනමතය පරීක්ෂාකර බැලීම සහ හදීසියේ හෝ ජනමතය වෙනස් වී ඇතිනම් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමයි.

පැවති තත්වය අනුව ලංකාව දරුණු මූල්‍ය අර්බුධයක වූ අතර, තව දුරටත් ජාත්‍යන්තර ණය ගැනීමට නොහැකි තත්වයට ආණ්ඩුව පත්ව සිටියේය. ඒ අතර යුරෝපයෙන් එල්ලවන මානව හිමිකම් චෝදනා උත්සන්න වෙමින් පැවතින. එමෙන්ම මූල්‍ය අර්බුධයෙන් ගැලවීමට අවශ්‍ය ආර්ථික ව්‍යාපෘති (පෝට් සිටි, කැසිනෝ, රෙඩ් ලයිට් සෝන්) ඇති කිරීම සඳහා සිංහල බෞද්ධ බලවේග සහය නොදක්වන තැනකට පැමිණ තිබිණ.

මේ සඳහා අවශ්‍ය වේලාව ලබාගැනීමට ජනාධිපතිවරණයෙන් අවස්ථාව ලැබුණ අතර හදිසි ආණ්ඩු පෙරළියෙන් පසු ජාත්‍යන්තරයෙන් මද අස්වැසිල්ලක් ලැබුණි. සංවර්ධන කටයුතු වලට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තර කරගැනීමට වර්තමාන ආණ්ඩුව දරණු ලැබූ ප්‍රයත්නය එය පැහැදිලි කරයි.

මේ සමය තුළ ඇල්ලූ හොරෙක්ද නැත, චෝදනා පමණි. දහනව වෙනි සංශෝධනයෙන් විධායකය අහෝසිවන්නේ නැත. අලුත් ඡන්ද ක්‍රමයක් සඳහා දින සියය කල් මදි ය.

*පවතිනා මූල්‍ය අර්බුදයේ ස්වභාවය පසුගිය රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට උත්සාහ කළ පනතෙන් අවබෝධ කරගත හැක.*

අවසානයේ “මහින්ද නැතුව බෑ” මතය තහවුරු වන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනේ අනෙකුත් සුළු පක්ෂ වල සහයෝගය නොමැතිව තරග කර අගමැති ධූරය ලබාගනු ඇත. එවිට සියල්ලට විරුද්ධවන සුළු පක්ෂ වල අවම බලපෑම යටතේ මේ වන විට රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘති ආරම්භකිරීමට හැකිවනු ඇත.

අප කැමති වූවත් අකමැති වූවත් ඉතා ඉක්මනින් කැසිනෝ සහ අනෙකුත් මෙගා ඩීල් ඇතිකරගැනීමට නොහැකි වුනොත් ආණ්ඩුවට දරුණු අයවැය හිඟයකට මුහුණදීමට සිදුවනු ඇත.

මේ ක්‍රියාදාමයේ රනිිල් වික්‍රමසිංහ ඉතාමත් වැදගත් භූමිකාවක් රඟදක්වා ඇත. පෝට් සිටි, කැසිනෝ වැනි ව්‍යාපෘති කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට පරිභාහිර ඒවා නොවේ. ඡන්දයෙන් පසු පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔහුගේ මතයේ වෙනස එයින් පෙන්වයි. මෙය නරක තත්වයක් නොවේ. නමුත් පසුගිය ඡන්දයේදී ඔබේ ජන මතය දේශපාලකයින් විසින් පාවා දුන්නායැයි සිතෙන්නේනම් වහා හිත හදාගත යුතු කාලය එළඹ ඇත.

Game of Thrones ශ්‍රී ලංකා.

ප්‍රසිද්ධ Game of Thrones රූපවාහිනී කතා මාලාවේ මීළඟ කතා පෙළ නිකුත් වෙන්නේ මේ අප්‍රේල් 12 වෙනිදා ඇමරිකාවෙ වේලාවෙන් රෑ 9ට. ඒ කියන්නෙ 13වෙනිදා උදේ වෙද්දි ඩවුන්ලෝඩ් කරගන්න ලැබෙයි. මං මේ කතා කරන්න හැදුවේ අලුත් කතා පෙළ ගැන නෙවෙයි. මං කල්පනා කරේ Game of Thrones කතා මාලාවේ සිද්ධි පෙළ ලංකාවේ වුනොත් ඒකට සමපාත වෙන ශ්‍රී ලංකා චරිත මොනවාද කියලා.

Robert Baratheon නොහොත් මහින්ද රාජපක්ෂ.

mahinda-robert

ඇඟ පතින් දෙන්නම සමානයි වගේම තමයි වැඩත්. බලේ තිබුනට මොලේ තියෙනවද කියන එක දෙන්න ගැනම තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම තමන්ගේ හතුරන් ගැන ඉතාම කෘර තීරණ ගන්නවා වගේම, තමන්ගේ නමින් වෙනත් කෙනෙක් අතින් රාජ්‍ය මෙහෙයවීමට නැඹුරුවෙන චරිත දෙකක්. ඒ වගේම දෙන්නම තරුණ කාලේ ජවසම්පන්න දේශපාලනික චරිත. 😉

Cersei Lannister නොහොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (චෞර රැජින?)

cbk-cersei

රාජ්‍ය බලය තම පවුලට නතු කරගැනීම සඳහා උත්සහයේ යෙදෙන කාන්තාවන් දෙදෙනෙක්. ඒ වගේම දරුණු ලෙස පලිගැනීම් සිදුකිරීමට ප්‍රකට චරිත දෙකක්. මේ දෙන්නටම කාගෙන්හරි පලිගන්න හිතුනොත් ඒක කරලම තමයි නවතින්නේ.

Tywin Lannister නොහොත් රනිල් වික්‍රමසිංහ

ranil-tywin

පවුල් බලය තහවුරු කරගැනීම පිළිබඳ කරුණ හැර අනිත් බොහෝ චරිත ලක්ෂණ මේ දෙදෙනාගෙම සමානයි. රාජ්‍ය පාලනය පිළිබඳ උපාය සහගත (කුපාඩි?) දැනුම, බලය තමා අතට ලබා ගැනීම සඳහා ඉත්තන් මෙහෙයවීමට දක්ෂ දෙන්නෙක් තමයි මේ.

Renly Baratheon නොහොත් සජිත් ප්‍රේමදාස

renly-sajith

සමාන්‍ය ජනතාවගේ ආදරය දිනාගත් නායකයෙක් වුනත්, රාජ්‍යයක් පාලනයට තරම් මුහුකුරා ගිය හැකියාවක් නැති චරිත දෙකක්.

Benjen Stark නොහොත් සෝමවංශ අමරසිංහ

benjan-somawansha

ගියා ගියාමයි ආයෙ හොයාගන්න නැති “සහෝරදයෙක්”. ඒ වුනාට ආයෙමත් කොයෙි වෙලාවෙ හරි මතුවෙයි කියල බලාපොරොත්තුවක් තියෙනවා. 😉

Ned Stark නොහොත් මෛත්‍රීපාල සිරිසේන

ned-maithree

ගෞරවනීය චරිතයක් නමුත්, රාජ්‍ය පාලනයට, දේශපාලනයට උපායශීලීත්වයක් පේන්නෙ නෑ. සියල්ලටම වඩා ඉහළින් තමන්ගෙ ගරුත්වය සහ පිදිය යුත්තාට පිදීම ගැන හිතනව වුනාට දේශපාලනයේ ලොකු උපායශීලීත්වයක් පේන්න නෑ. ඒ වගේම දේශපාලනික උපායකරුවෝ ඒකෙන් ප්‍රයෝජන ගන්නවත් පේනවා.

Daenerys Targaryen නොහොත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.

hiru-daenerys

තමන්ගෙ පිය රජතුමා මරුපු එකේ පළිය ගන්න කරන උත්සාහයම මදිද දෙන්න සමානයි වගේ පේන්නම? 😉

Iron Throne නොහොත් විධායකය.

The-Iron-Throne

මේක ගන්න තමයි හැම එකාම පොරකන්නේ. 😉 Iron Throne එකේ ඉඳගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක හදල තියෙන්නෙ සතුරන්ගේ අසිපත් උණු කරල එකතු කරල නිසා සමහර වෙලාවට ඒ අසිපත් තල වලට කැපුම් ඇතිවෙන්න පුලුවන් වගේම ඒ අසුන කෙනෙක්ව සිහි විකල් කරන්නත් පුලුවන්. මේ උදාහරණම මදිද තවත් සසඳන්න? 😉

මීට අමතරව තව නොසෑහෙන්න සමාන චරිත මුනගැහෙනවා Game of Thrones බැලුවොත්. 😉

 

ඔහේ ගලාගෙන යන ජීවිතය.

ජීවිතය කම්මැලිම කම්මැලි වෙලා දැන් හුඟක් දවස්. තේරුමක් නැති මාවත් ඔස්සේ තේරුමක් නැතිව ඇවිදිනකොට මුලින් පුදුම නිදහසක් දැනුනත් දැන් ඒකත් එපා වෙලා. හිතේ ගොඩක් දේවල් තිබුනත් ක්‍රියාවට නගන්න බැරි තරම් ඇඟ පත තෙහෙට්ටු කරන්න මේ තේරුමක් නැති ඇවිදිල්ල හේතු වෙන්න ඇති.

ඒත් මම ජීවතුන් අතර.

ජීවතුන් අතර අජීවීව සිටීමම තරම් නාස්තියක් වෙන කොහේද? උදේට හිරු නැගලත් පැය ගාණකට පස්සෙ නැගිටින මේ ජීවිතේ මීට වඩා වටිනාකමක් තියෙන කෙනෙක් වෙනුවෙන් පූජා කරන්න පුලුවන්නම් කොච්චර වටිනවාද? මීට අවුරුදු ගාණකට කලින් මගේ ලේ සහෝදරයෙක් යුද්ධයෙන් මා ආරක්ෂා කරන්නට මිය ගියේ මෙහෙම ජීවිතය නාස්ති කරන්නද?

පෙරදින රෑ සුරඟනක් සිහිනයෙන් පැමිණ අනාගතය පෙන්වා ගමන් කරන්නයි පැවසුවා. ඇයත්, ඒ මොහොතට පෙර ගතවූ සෑම තත්පරයක වූ සතුට-දුක මිශ්‍ර අතීතය අමතක කර කාලයේ ගමන් කරන්නැයිද, තම ජීවිතයට වටිනාකමක් දෙනු නොහැකිනම් අනෙකෙකුට වටිනාකමක් ලබාදෙන්නට වෙහෙසන්නයි පවසමින් ඈ නිහඬ වුනා.

නමුත් සිදුවූයේ අතීතයට එක් වූ සුරඟනද ආවර්ජනය කරමින් මා තවම නතර වී සිටීමයි.

ඉතින් මා තවදුරටත් නතර වී නොසිට යා යුතු නොවෙද අරුතක් සොයමින් අලුත්?

තෙවන ලොවක ඉපදීමට තරම් අන් වාසනාවක් නැතැයි මම සිතමි. මෙහි වෙනස් කිරීමට තරම්, ඉගෙනීමට තරම් කිසිවක් ලොව අන් තැනක නැතැයි සිතමි. මා පමණක් නොව අන් බොහෝ දෙනා නොයෙක් මාවත් තුළ ඔහේ ඇවිදියි… නිවැරදි පාර සොයා ඔවුන්ට පවසනු පිණිස මා සාදා ගත යුතු ය පියාපත්.

ඉතින් මේ මා පියාපත් සදනු එළඹෙන පළමු දිනයයි.

සිරිවර්ධන පවුල [SPOILER FREE]

Siriwardana Family

සිරිවර්ධන කියල මගේ පොඩි කාලෙ යාලුවෙක් හිටිය. මේ එයා ගැන හෝ එයාගේ පවුල ගැන නම් නොවෙයි. වේදිකා නාට්‍යයක් ගැන. ෆේස්බුක් ආරාධනාවකින් දැනගත් “සිරිවර්ධන පවුල” වේදිකා නාට්‍යය රාජිත දිසානායකගේ නිශ්පාදනයක්. වේදිකා නාට්‍යය බලන්න යන්නට සෑහෙන්න උවමනාවක් තිබුනත්, තනියම බලන්න යන්න වෙන නිසාත්, වේලාව පිළිබඳ ප්‍රශ්නය නිසාත් අන්තිම මොහොත දක්වා හිත කරේ අදිමදි කරන එක. සෑහෙන්න ඕනෑකමකින් පසුගිය සතියේ බලන්න ගියපු “පෙම් යුවලක් ඕනෑ කර තිබේ” වේදිකා නාට්‍යයෙන් ලැබුනු තරමක් අප්‍රසන්න අත්දැකීම නිසාත් හිත එහෙම හිතන්නට ඇති.

අන්තිමේ වේදිකා නාට්‍ය බලන්න යාලුවෙකුත් එකඟ වුනාම තමයි ලයනල් වෙන්ඩ්ට් එකට වේදිකා නාට්‍යය පටන්ගන්න ඔන්න මෙන්න තියල ළඟා වුනේ. බාටා දෙක දාලා ඩෙනිම ගහල වෙන්ඩ්ට් එකට ඇවිදිනකොට ඒ ළඟ පේලියට නවත්තලා තිබුන වාහන දැක්කමනං හිතුනේ ශ්‍රී ලංකා වේදිකා නාට්‍ය ක‍්ෂේත්‍රයේ ආශ්චර්යය දැන්ම උදාවෙලා කියලයි.

වෙන්ඩ්ට් එකේ කට කපල සෙනඟ. කොහොමහරි අපිටත් 600 ටිකට් දෙකක් අරගන්න ලැබුනා. අයියෝ සල්ලි කියන්න බලාගෙන ඉඳගත්තත්, රාජිත දිසානායකගෙ අධ්‍යක්ෂණය ගැන විශ්වාසයක් නොතිබුනා නෙවෙයි. ඔහු ඒ විශ්වාසය රැකල තිබුනා කියල කියන්නේ බොහොම සතුටෙන්.

ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ ඇරුණාම අනිකුත් චරිත රඟපෑ නළු නිළියන් මගේ ඇසට තරමක් අලුත්. ඒ අතර ඉස්කෝලෙ කාලෙ ඉඳලා මතක පසන් රණවීරත් මතක් කරන්නට ඕනෑ. මට චරිත නම් මතක තබාගැනීමට තරමක් අපහසුයි. ඒත් මේ වේදිකා නාට්‍යයේ හොඳම රඟපෑම හිමිවෙන්න ඕනෑ රූපවාහිනී නාලිකා ප්‍රධානියාට. රාජිත දිසානායකගේ බකමූණා වීදි බසියි වේදිකා නාට්‍යයට වඩා මේ වේදිකා නාට්‍යය සෑහෙන්න ඉදිරියෙන්. ඔහුගේ “ආදර වස්තුව” මට බලන්න වුනේ නෑ.

වේදිකා නාට්‍ය කතාව ගෙතෙන්නේ “සිරිවර්ධන පවුල” වටා. ඒ‍්, එක්තරා රියැලිටි ටීවී තරගයක් සඳහා සහභාගිවන තරඟකරුවෙක්ගේ පවුලක්. බලෙන් නිර්මාණය කරනු ලබනා රියැලිටි මායාවට හසුවන ඒ පවුලේත්, ඔබේත්, මගේත් කතාවයි මේ. වේදිකා නාට්‍යය අදත් (ජනවාරි 24වෙනිදා) රෑ 7ට ලයනල් වෙන්ඩ්ට් හිඳී වේදිකා ගතවීමට නියමිතයි.

මීට අමතරව, ලබන 26 වෙනිදා ලයනල් වෙන්ඩ්ට් හිදී චාමික හත්ලහවත්තගේ “මක රට” වේදිකා නාට්‍යයත් වේදිකා ගතවීමට නියමිතයි. 2014 වසරේ රාජ්‍ය සම්මාන නවයක් දිනාගත් මේ වේදිකා නාට්‍යයත් ඔබ මඟ නොහැර නැරඹිය යුතු වේදිකා නාට්‍යයක්.

සටහන සඳහා ඡායාරූප උපුටාගැනීම අද පුවත්පතේ මෙම නාට්‍ය පිළිබඳවම ලියැවුනු ලිපියකින්.

පෙම් යුවලක් එපාකර තිබේ.

pem-yuwalak-cropped

තරමක් ආකර්ෂණීය දැන්වීම් කිහිපයක් නිසා දැනගත් පෙම් යුවලක් ඕනෑකර තිබේ වේදිකා නාට්‍යය බලන්න ගියේ පසුගිය ජනවාරි 17 වෙනිදා. ඒ මරදාන ටවර් රඟහලේ දී. වේදිකා නාට්‍යය හිතූ තරම් සාර්ථක නෑ. ඒ වුනාට ලංකාවෙ වේදිකා නාට්‍ය වලට සහයෝගය දක්වන්න ආධාර කරන්න හිතාගෙන ඉන්නවා නම් ගිහින් බලන්න.

වේදිකා නාට්‍යය පිළිබඳ දැන්වීම් කොච්චර ආකර්ෂණීය වුනත්, එදා නාට්‍යය බලන්න රඟහලට ඇවිත් තිබුනේ ටික දෙනයි. ඒක ඉතින් බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක්. රංගකලාව අධ්‍යයනයේදී බොහොම සරලම සංසිද්ධියක් වන ප්‍රේක්ෂකාගාරයට මුහුණලා ඉදිරිපත් කිරීම සමහර තැන්වල උල්ලංඝනය කරලා තිබුනා. නළු-නිළියන් කතා කරද්දී ප්‍රේක්ෂකාගාරයට පිටුපා රඟ දැක්වීම නිසා ඔවුන්ගේ සාත්වික අභිනයන් දැකගන්න බැරිවුනා.

ඒක වේදිකා පරිපාලනයේදී සිද්ධවුන බරපතල වැරැද්දක්.

කතාවෙ අමුතු දෙයක්, පණිවිඩයක්, ප්ලොට් ට්විස්ට් එකක් තිබුනෙත් නෑ ඔහේ ගලාගෙන ගිහින් නැවතුනා මිසක්. ඒ වගේම කතාව කියන්නට අනවශ්‍ය කාලයක් ගත්තා වගේම ඒ කාලයෙන් ප්‍රේක්ෂකයන්ට කිසි ප්‍රයෝජනයක් ලැබුනෙත් නෑ. ප්‍රේක්ෂකයින් “අයියෝ සල්ලි” කියන්නෙ මේ වගේ වෙලාවට තමයි.

වේදිකා නාට්‍යය ආධුනික අධ්‍යක්ෂකවරයෙක්ගේ උත්සාහයක්දැයි මා දන්නේ නැහැ. ඒත් සිංහල වේදිකා නාට්‍යය ගොඩ ගන්න දරන ඕනෑම උත්සාහයක් අගය කළ යුතුයි.