Categories
විවිධ

දුවමුද මැරතන්?

ඔන්න ආපහු මැරතන් දුවන්න කාලය ඇවිල්ලා. ‍මේ දුවන්නේ මැරතන්. දුවන්නේ වෙන කොහේවත් නෙවෙයි, දුවන්නේ ලෝකේ වටේ!. (Around The World in 6 hours). සින්ඩිකේටරේටයි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටයි මේ දවස් ටිකේ ටිකක් ඇහැ ගහගෙන හිටියානම් දැනටමත් දන්නවා ඇති මොකක් මේ ‍වැඩේ කියලා. කමක් නෑ මම A-Z වැඩේ කියලා දෙන්නම්, සිංහල බ්ලොග්කරුවන්ගේ වංශ කතාව ඉඳලාම.

සියල්ලෝ සාවධානව අසත්වා! අසා දැනගනිත්වා!!

සිංහල බ්ලොග් මැරතන් ඉතිහාසය අරම්භ වෙන්නේ මෙහෙමයි. සිංහල බ්ලොග්කරුවන්ට කියලා වෙන Google Group එකක් හැදුවේ සිංහලෙන් බ්ලොග් ලියන අයට ඇතිවෙන ගැටලු විසඳගන්නයි. මුලින් පොඩියට ඇරඹුනු මේ සංසදය පටන් ගත්තේ වෙන කවුරුත් නෙවෙයි. අපේ මලින්ත සහෝදරයා. (ඌටත් නිකන් ඉන්න බෑනේ) හික්. නිකන් ඉන්න බැරි එක නම් ඇත්ත. හැබැයි ඒ වැඩෙන් නරකක් නම් කාටවත් වුනේ නෑ. මුලින් සංසදය කියලා කිව්වේ මේ Google Group එකට විතරයි. ඉතින් මේ සංසදය එකා දෙන්නා එකතු ‍වුනා. මේ අතරේ මේ සංසදයට එකතු වුනු වැඩගත්ම සාමාජිකයින් කිහිපදෙනෙක් මේ. (අනිත් අය ‍අවැදගත් කියලා කියනවා නෙවෙයි මේ. ඒත් මේ අය තමයි මූලික අඩිතාලම මේ සංසදය දැම්මේ)

  • මලින්ත සමරකෝන්
  • ආනන්දවර්ධන
  • දසුන් සමීර
  • ටිරෝන්
  • ශ්‍රීෂානු

වගේ තවත් බොහෝ දෙනෙක් (අනේ නම නොකියවුනානම් සමාවෙන්න ඕනේ). සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට මූලික අඩිතාලම දමාගෙන යන අ‍තරේ මෙන්න ආනන්දවර්ධන සහෝදරයා එළකිරි යෝජනාවක් ගෙනවා. ඒ වෙන ‍මොකක්වත් නෙවෙයි. ඒක තමයි….

සිංහල බ්ලොග් මැරතන්!

ඔව්, සිංහල බ්ලොග් මැරතන්. ජාත්‍යන්තර බ්ලොග්කරුවන්ගේ ඉසව්වක් වුනු බ්ලොගතන් (Blogathon) ඉසව්වෙන් ආදර්ශ ලබා ගනිමින්, සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන අයටත් මැරතන් ඉසව්වක් නිර්මාණය කිරීමයි අදහස වුනේ. මේ ඉසව්වට අඩිතාලම දමපු අය තමයි මේ…

  • ආනන්දවර්ධන
  • බුද්ධික ජයසිංහ (අනේ මේ නම වැරදීමකින් අතපසු වුනා. සමාවෙන්න ඕනේ. මේකට අවශ්‍යම නමක් මේ.)
  • මලින්ත සමරකෝන්
  • වරුණ පෙරේරා
  • ටිරෝන්
  • බෝධිනී අක්කා
  • සු…
  • රජිත්
  • ඩිලාන් දමින්
  • චාමර පීරිස්

සහ තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් අපි වැඩේ පටන් ගත්තා. කට්ටියව නුවර පැත්තේ රවුමක් ගෙනියන්නත් අපේ මලින්ත සහෝදරයාට පුළුවන් වුනා. (ෂික් මට යන්න බැරිවුනා නෙව) මුලින්ම මේ සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අපි අඩිතාලම දැම්මා. ඕකේ වෙබ් ‍හෝස්ටින්ග් වැඩේ මුලින්ම මම බාරගෙන වැඩි හොඳටත් එක්ක හොඳ තැනකින් කියලා හිතෙන තැනකින් වෙබ් ඉඩ ඇරගත්තා. හපොයි! ඒක නම් අල පාත්තියක්. අන්තිමට කට්ටියගෙන් නොසෑහෙන්න බයිට් වුනා. ඔන්න ඔය අතරේ තමයි. අපේ “පොර” ද ග්‍රේට් කාලි(න්ග) අපිත් එක්ක එකතු වුනේ. එයා හිටපු එක නම් ලොකු හයියක් වුනා. අන්තිමට ඉතාමත් සාර්ථක බ්ලොග් මැරතන් ඉසව්වක් සංවිධානය කරගන්න සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට හැකියාව ලැබුනා.

මට මේ මැරතන් ඉසව්වට සහභාගී ‍වුන එකෙන් පෞද්ගලිකව ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. ඔය කාලේ මම ටිකක් අන්තර්ජාලයට කෝඩු කාරයා. ඉතින් මේක නිසා මට ගොඩක් ‍දේවල් දැනුම් තේරුම්ගන්න හැකිවුනා. මේ ඒවායින් කිහිපයක්

  • වෙබ් අඩවියක් නඩත්තු කරන්නේ කොහොමද
  • හොඳ වෙබ් සේවාදායක් තෝරාගන්නේ කොහොමද
  • අන්තර්ජාලයේ සහ‍යෝගයෙන් වැඩ කරන්නේ කොහොමද
  • සිංහලෙන් බ්ලොග් ලියන්නේ කොහොමද

ඇතුළු තවත් බොහෝ දෑ දැනුම් තේරුම්ගන්න ලැබිච්ච එක මට ගොඩක් වාසියට හිටියා. ඒ විතරක් නෙවෙයි. සිංහල බ්ලොග් මැරතන් ඉසව්වෙන්. තවත් බොහෝ දෙනෙකුට වාසි තොගයක්ම ලැබුනා. ඒ වාසි ලැබුනේ වෙන කාටවත් නෙවෙයි. අපි අපිටමයි. මේ අපි අපිට කිව්වේ, සිංහලෙන් බ්ලොග් ලියපු අයටයි. පටු ආර්ථික ප්‍රතිලාභ නෙවෙයි! සමස්ථ සිංහල බ්ලොග්කාරයින්ට, ඉදිරියට සිංහලෙන් බ්ලොග් ලියන අයට ලැබෙන තාක්ෂණික හා සාමාජීය වශයෙන් වැදගත් වෙන ‍බොහෝ ප්‍රතිලාබ ගැනයි අපි කතා කරේ. මේවා තමයි අපි මැරතන් වලින් බලාපොරොත්තු වුන ප්‍රතිලාභ ආනන්දවර්ධනගේ භාෂාවෙන්ම.

1) බ්ලොග්කරුවන් සඳහා විනෝදාත්මක සංස්කෘතික ඉසවුවක්.

2) කිසියම් වැදගත් සමාජීය අංශයක් පිලිබඳ, තේමාවක් පිලිබඳ දැනුවත්භාවය (awareness) පුලුල් කිරීමට දවසක්.

3) සිංහල බසින් බ්ලොග් ලිවීම හා කියවීම ප්‍රචලිත කිරීමේ අවස්ථාවක්.

4) මෙතෙක් සිංහලෙන් ලියන්න කැමැත්තෙන් “වැට උඩ” සිටි අයට අත්හදා බැලීම සඳහාත් අනිවාර්ය පාඨක පිරිසක් ලැබෙන අවස්ථාවක්

5) ඉංගිරිසියෙන් බ්ලොග් ලියූ අයටත් අත්හදා බලමින් විනෝදයෙන් සිංහල බ්ලොග් එකක් පටන් ගන්න හොඳ වෙලාවක්. ඒ වගේ ම සිංහල ඉංගිරිසි බ්ලොග් ප්‍රජාවන් අතර අන්තර් ක්‍රියාවක් ඇති වෙන එකත් හොඳයි.

6) අවශ්‍ය අයට පරිගනකයෙන් සිංහල ලිවීම සහ කියවීම සඳහා තාක්ශනික උදව් උපකාර ලබා දෙමින් “බෝට්ටුවට නංවා ගැනීමේ” අවස්ථාවක් 😀

7) වැඩේ දුරදිග ගිහින් පුලුවන් මට්ටමට ආවොත් මේ කටයුත්තේ දී ලැබෙන adsense හා අනුග්‍රාහක ආදායම සමාජ සත්කාරයකට පරිත්‍යාග කිරීම. [මේක දැනට
අද නොවේ හෙට කියලා හිතාගමු. මොකද අපි ඒ තරම් සංවිධානය වෙලා නැති නිසා]

‍මේ මැරතන් ඉසව්ව ඒ වෙනකොට විසිරිලා හිටපු සිංහල බ්ලොග්කාරයන් කිහිපදෙනෙක්ම එකට එකතු කරගන්න සමත්වුනා විතරක් නෙවෙයි! ඒ අ‍යගේ සහ‍යෝගීතාවය දියුණු කරා.

ඉතින් සියල්ල අවසානයේ අපි ජයගත්තා. මෙන්න මෙහෙමයි අපි පළවෙනි සිංහල බ්ලොග්මැරතන් ඉසව්ව කරලා දිව්වේ. දුවපු හැටි හොඳට දැනගන්න නම්, ම‍ගේ “ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්” සටහන කියවන්න අමතක කරන්න එපා.

සිංහල බ්ලොග් මැරතන් ඉසව්වෙන් පස්සේ, සිංහල බ්ලොග් අවකාශයේ විශාල විප්ලවයක් සිද්ධ වුනා. මේ ඉසව්ව ගැන අනිත් අයට පෙන්නලා. ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග්කරණයට ඇදගන්න අපිට පුළුවන් වුනා. ෆෝරම් වල‍ට සීමාවෙලා හිටපු ගොඩක් දෙනෙක්. නිදහසේ තමන්ගේම තැනක තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න ගත්තා. සිංහල බ්ලොග් සින්ඩිකේටරයට බ්ලොග්කාරයෝ එකා දෙන්නා එකතු වෙන්න පටන් ගත්තා.

ඉතින්,

අපි දිනුම්

කවුද මේ දිනුම් කියලා කියන්නේ? සිංහල බ්ලොග්මැරතන් සංවිධානය කරපු අය ගැනද? නෑ. ඒ අය විතරක් නෙවෙයි දිනුම්!. සිංහල යුනිකේත විශාල වශයෙන් තමන්ගේ පරිගණක වලට ස්ථාපනය කරපු ක‍ට්ටියයි. අන්තර්ජාලයේ නිකම් ඔහේට වෙලා පිස්සු කෙළ කෙළ ඉඳලා බ්ලොග් අඩවියක් හදාගන්න උනන්දු වෙච්ච මේ හැම දෙනාම දිනුම්.

පළවෙනි මැරතන් එකේ සිහිවටන තාමත් තියෙනවා – http://marathon.sinhalabloggers.com

හරි. එහෙනම් අපි වර්තමානයට එමු. ඒ තමයි, සිංහල මිනි බ්ලොග් මැරතන්. දවසක් පුරා තියපු මැරතන් එකේ කාලයෙන් 4න් එකක කාලයක්. ඒ කියන්නේ පැය හයක කාලයක් පුරාවට පැවැත්වෙන මේ මැරතන් ඉසව්වේදී, මැරතන් එකට සහභාගී වෙන අය, පැය හයම තමන්ගේ බ්ලොග් අඩවියේ රැඳී සිටිමින්, පැයකට සිංහලෙන් සටහන් 4ක් තමන්ගේ බ්ලොග් අඩවියේ සටහන් කරන්න ඕනේ. එපමණයි. ඒ විතරක් නෙවෙයි. මේ ඉසව්ව විනෝදාත්මකව පවත්වාගෙන යන්න සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ලොකු මහත්තුරු ටික කටයුතු ‍‍යොදාගෙන යනවා. ඒවා ගැන ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි.

සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වෙන්නේ මෙහෙමයි.

ලබන මාසේ, ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 27වෙනි සෙනසුරාදා හවස 6 ඉඳලා, රෑ ‍12 වෙනකන් මිනි බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වෙනවා. දුවන්න එකතු වෙන අය, විනාඩි 15න් 15ට තමන්ගේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කළ යුතුයි.

ඔව් ඔව්! අළුත් අයට ප්‍රශ්න තොගයක්ම තියෙනවා වගේ… ;). හික්! “මම ‍ඉගැන්වීමට උපන්නෙමි!” 😀
ඉන්න. එකින් එකට උත්තර දෙන්නම්.

මටත් ලියන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. ඔය කොයි කාටත් ලියන්න පුළුවන්.

සිංහලෙන් විතරද ලියන්න පුළුවන්?
ඔව්. ඒකනේ මේකට “සිංහල” මිනි බ්ලොග් මැරතන් කියලා කියන්නේ… 😉

කොහොමද අප්පා සිංහලෙන් ලියන්නේ?
හරිම සරලයි, හරිම පහසුයි. මුලින්ම http://www.siyabas.lk/si ගිහිල්ලා ඔයාගේ පරිගණකයට සිංහල ස්ථාපනය කරගන්න.

හරි. ඒත් ලියන්නේ කොහොමද?
කෝ ඉතින් කියන්න දුන්නයි? 😉 http://www.sinhalabloggers.com/sinhala-help/keyboards-typing ගිහිල්ලා දැන්ම සිංහලෙන් ලියන්න පුරුදුවෙන්න.

මට කිසි තාක්ෂණික දැනුමක් නෑනේ 🙁 ?
අයියෝ! කිසි දේකට බයවෙන්න එපා. ඒක‍ටනේ මේ අපි සැදී පැහැදී සිටි‍න්නේ…
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසය – http://www.sinhalabloggers.com
Google Group – http://groups.google.com/group/sinhala-bloggers
කතා කාමරේ/ ළිඳ ළඟ සංගමය/ Chat Room – ඒකට යන්න සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් පිටුවට ගිහිල්ලා. වම් අත පැත්තේ උඩින්ම තියෙන ලින්ක් එක ක්ලික් කරන්න

අනේ… මට බ්ලොග් එකක් නෑනේ? මොකද අයියෝ කරන්නේ?
අයියෝ දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් නොමිලේම බ්ලොග් එකක් විවෘත කරන්න. විනාඩි 10ක්වත් යන්නේ නෑ. ඒ තරම්ම easy අනේ… මෙන්න මේකට  – http://www.sinhalabloggers.com/how-to-start-a-blog ගිහිල්ලා බලන්නකෝ…

හරි. සිංහලත් තියෙනවා. බ්ලොග් එකකුත් තියෙනවා. ඉතින් මං විනාඩි පහළොවෙන් පහළොවට මක්කයි ලියන්න ඕනේ?
ඒවා මගෙන් අහන්න එපා 🙂 . තමන් කැමති ඕනෑම දෙයක් ලියතෑකි. හැබැයි කුණුහරුප පින්තූර, වීඩියෝ එකතු කරන්න එපා. කුණුහරුප ලියන්නත් එපා. එහෙම කරොත් නම් ඉතින්….. හිතන්න. ගොඩක් දෙනෙක් මේ අවස්ථාවේ තමන්ගේ බ්ලොග් අඩවිය බලන්න එනවා. ඉතින් ඒ හැ‍මදෙනා ගැනම හිතන්න. ඒක නිසා තමන්ටම පොඩි ස්වයං වාරණයක් දාගන්න. මේ කියන්නේ වැඩිහිටියන්ට පමණක් අදාල දෑ බ්ලොග් අඩවියේ සටහන් කරන අයට. ඒත් තමන් සමාජ කරුණු වගේ දේවල් ලියනවාට අපේ කිසිම අකමැත්තක් නෑ. මං කියන දේ තේරෙනවානේ…

නියමයිනේ! මාත් එනවා!
එළකිරි! එහෙනම් දැන්ම වැඩ පටන් ගන්න.

හරි. ඔන්න ඔහොමයි වැඩේ යන්නේ. තව විස්තර ඉදිරියට කියන්නම් හොඳේ…
ජය වේවා!

Categories
විවිධ

මැරතන් දෙවැනි පැය

ඔන්න සිංහල බ්ලොග් මැරතන් දෙවැනි පැයත් පටන් ගත්තා. කට්ටිය දිගට හරහට “අත් දෙකෙන්ම” දුවනවා වගේ. මාර්ගය දෙපස මැරතන් බලන්න කට්ටිය පිරිලා බව මගේ බ්ලොග් අඩවියට පිවිසෙන පිවිසුම් ගණන දිහා බැලුවාම පේනවා. අපි දැන් පිවිසෙන්නේ මැරතන් දෙවැනි පැයට, මේ පැයේදී මා බලාපොරොත්තු වනවා.

  • වෙබ් අඩවි ප්‍රචාරණය පිළිබඳ සටහනක්
  • අළුතෙන්ම නිකුත් වන චිත්‍රපටියක් පිළිබඳ විස්තරයක්
  • ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පිළිබඳ විස්තරයක්

ඔබට ඉදිරිපත් කරන්න. ඉතින්, දිගටම සුදාරකගේ අන්තර්ජාල සටහන සමඟින් රැඳී සිටින්න.