ඔන්න අපි ආයෙමත් අත් පටලගෙන.
කැම්පස් එකේ නිවාඩු දීල හුඟක් කල්. තරුණ විප්ලවේට ආණ්ඩුව එළව එළව පහර දුන්නට පස්සෙ විප්ලවකාරයෝ හැමදෙනාම වගේ පාරවල් අයිනෙ මැරිල වැටිල තමයි උන්නෙ. අන්තිම වසරෙ ඉගෙනගන්න හිටිය සෑහෙන්න දෙනෙක් මැරිල හිටපු නිසා ඒකෙන් හිස්වුන තැන්වලට ප්‍රයිවෙට් කැම්පස් වල ඩිප්ලෝමා එක තියෙන අයව අමතර ගාණක් අය කරල ඇතුළත් කරගත්තා. පාරවල්වල වැටුන ලේ උඩින් ආයෙමත් තාර දාලා පාරවල් අලුත් කරා. පදික වේදිකාවල් නවීකරණය කරා. ශිෂ්‍ය නායකයා වෙනුවෙන් ඉදිකෙරුණ පිළිරුව අයින් කරල බස් හෝල්ට් එකක් දැම්මා. ඊට එහාපැත්තෙ තමයි කැසිනෝ එක.
ඔන්න අපි ආයෙමත් අත් පටලගෙන.
මෙතන තමයි විජේ මැරිල උන්නේ. මම ඈට පෙන්නුවා. මනුස්සය ඔයාට කැමැත්තෙන් හිටියෙ. විජේ මැරුණ එකෙන් මට හිටිය එක තරගකාරයෙන් අඩුවුනා. මම ඈට දුකෙන් කිව්වා. විජේ ගමෙන් ආපු කොල්ලෙක්. කැම්පස් එකේ වෙසක් නාට්ටි ලිව්වෙ මනුස්සයා තමයි. හඳ පායපු දවසක හඳ එළිය මැද්දෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවක් තිබ්බ වෙසක් නාට්‍යය ප්‍රදර්ශනයෙන් හැම කැම්පස් ශිෂ්‍යයෙක්ගෙම ලේ රත් වුනා. වහාම කැම්පස් නිවාඩු දුන්නා. විප්ලවය පටන්ගත්තා.
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ ගෙදරට පැනපු සහෝදරවරු “අධිරාජ්‍යවාදීන් රටෙන් පළවාහරිව්” කිය කිය හතරවටේට වෙඩි තිබ්බා. ආණ්ඩුකාරයාගේ බිරිඳගේ රත්‍රං බඩු බ්ලැක් මාර්කට් එකේ විකුණලා හොයාගත්ත සල්ලි වලින් තමයි තුවක්කු අරගත්තෙ. ආණ්ඩුකාරයාගේ දුව, සහෝදරවරු හතරදෙනෙක් අතින් දූෂණය වුනා. දූෂණය කළා. ඒක නවත්තන්න උත්සාහ කරපු විජේට සහෝදරු වෙඩි තිබ්බෙ “විප්ලවය පාවා දෙන්න එපා” කියමිනුයි.
මම විප්ලවේට සම්බන්ද නොවුනෙ මම හිටියෙ පෞද්ගලික විශ්ව විද්‍යාලයක නිසා. ඒ දවස්වල අපේ විභාගෙ. විභාගෙත් එක්ක විප්ලවේ එකට කරන්න අමාරුයි. කොහොමහරි මට ෆ්‍රස්ට් ක්ලාස් එකකට ඕනෙ GPA එක තිබුනා.
ඔන්න ආයෙමත් අත් පටලගෙන.
“කොහෙද යන්නෙ?”
“ඇයි? තමුසෙට මොකටද එක?”
“පේන්නෙ නැද්ද බෝර්ඩ් එක? මේක ලවර්ස් හයි වේ එක”
“යකෝ මාර වැඩක්නෙ”
“තරහ ගන්න එපා විජේ. ඔන්න ඕක ගෙවල අපි යමු”
මම ටිකට් එකට 2500ක් ගෙවල ආයෙමත් ඇගේ අත පටලගත්තා.