අටවක පුතාලයි-මායි 27

පහුගිය බදදා දවසක පන්තියට වේලාසනින් ගියේ එක්තරා ආකාරයේ වැඩකට වුනත් කවුරුවත්ම පන්තිය ළඟ හිටපු නැති නිසා කෙලින්ම සරසවියට ගි‍යේ පොතක් දෙකක් ගන්නම හිතා ගෙන නම් නෙවෙයි. හුඟ කාලෙකට කලින් ඉඳලාම “ආනන්දවර්ධන” මාමා විසින් රෙකමදාරු කරලා තිබ්බ “අටවක පුත්තු” පොතයි “මාස්ටර් සහ මාගරීටා” පොතයි දැකලා ඒක ගන්නමයි කියලා හදවත වද දුන්නා. ළඟදී තිස්ස ඉඳලා යාලුවෙකුගෙන් උස්සගෙන ආපු මැක්සිම් ගෝර්කිගේ “මගේ විශ්ව විද්‍යාල”‍‍ පොත හේතුවකටද අහේතුවකටද මන්දා කියවාගන්න බැරි වෙලා තිබ්බ නිසා ආපහු පොතක් කියවාගන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවෙන් වුනත් පොත් දෙක අතට ගත්තාම පොත් දෙක අතේ ඇලුනේ, “අනේ බං මාව ගෙදර ගෙනියපන්” වගේ. ඒ ඉල්ලීම අහක දාන්න බැරි නිසා එක්තරා පුද්ග‍ලයෙක්ට දුරකථ‍නයෙන් ඇමතුමක් දීලා වැඩ තව දුරටත් තහවුරු කරගෙන පර්ස් එකෙන් සැලකිය යුතු ගානක් සෘණ කරලා වෙනත් වියදම් ගිණුමට හර හෝ බැර (මට දැන් ආර්ථික විද්‍යාව මතක නෑ!)  කරන කොට නම් මට ටිකක් අප්සට් වුනාට පස්සේ වෙලාවක පොත කියවද්දියි තේරුනේ “වෙනත් වියදම්” ගිණුමට බැර කරාට වඩා හොඳයි “ප්‍රාග්ධන වියදම්” ගිණුමට හර/බැර කරානං හොඳයි කියලා. මේක කියවන ආර්ථික වි‍ශේෂඥයෝ සමාවෙලා මේකේ වාච්‍යාර්ථය විතරක් තතේරුම් ගනියි කියලා හිතලා ඔන්න මං නැවතත් මාතෘකාවට බහින්නයි මේ සූදානම.

මාතෘකාවට බහින්න කලිං තව දෙයක්. පොත් වල ගණං නම් ටිකක් නෙවෙයි හුඟාක්ම වැඩියි කියලයි සුදාරකගේ පර්ස් එක නම් කියන්නේ. ගෙදරින් කෑගැහුවා ඔයිට වඩා හොඳයි නේ ඕයි උසස් පෙළ ගණිතයට පොත් හතරක් පහක් ගත්තානං හොඳයි කියලා. “ඒකත් ඇත්ත” කියලා යටහත් පහත්ව කියනගමන් සුදාරක හිමීට හිමීට පොතේ පිටු පෙරලන්න ගත්තා…

දෙවෙනි පාරටත් මාතෘකාවට බහින්නයි මේ සූදානම…

ලියනගේ අමරකීර්ති ශූරීන් විසින් කර්තෘභාගය හිමි කරගෙන ඉන්න මේ පොතේ නම ආපහු කිව්වොත්, නමින් “අටවක පුත්තු”. මට නම් මෙ‍තුවක් කාලෙකට මෙහෙම සිංහල පොතක් නම් අහු‍වුනේ ඕං. පොත නම් ලියැවිලා තියෙන්නේ නනලල භේදය නොසලකා හැරලා. මං කියන්න හැදුවේ මේ නණළල භේදය ගැනයි. ව්‍යාකරණ වලින් අක්ෂර වින්‍යාසයෙන් මට කිසි ප්‍රශ්නයක් නැති නිසා කතාවට විතරක් හිත යොමු කරලා කියවන අතරේ වුනත් සමහර තැන් වලදී මතක් වුනා මේ තැනට එ‍න්නේ “මේ” අකුර නෙවේයැ කියලා.

“උඹ නං මොකෙක්ද මන්දා… කතාව කියෝපං ඕයි!” අඬහදයා මට පොඩි සත්තමක් දැම්මා. ඒක නිසාම ආයෙත් මුකුත් නොහිතා පොත කියෙව්වා.

අනේ මන්දා… මං විචාර ලියන්න එච්චර දන්නේ නෑ. අර සාපෙට (සාමාන්‍ය පෙළට) තියෙන සිංහල පේපරේට ලියපු විදිහට විචාර ලියන්න ගියොත් නං ඉතින් මුලු පොතම ලියන්න වෙනවා. මුලු පොතම ලියන්න වුනොත් හෙන වෙලාවක් යතුරු ලියනය කරන්න වෙන නිසාත්, ඒ නිසා මේ සටහන කියවන අයට පොත කියවන්න හිතක් ඇති නොවේයැයි කියලාත් හිතුන නිසා. අටවක පුත්තු මට මොකක්ද කරේ කියලා කියන්නයි මේ උත්සාහය. පොත කියවන, පොත ගැන හිතන අතරෙයි තේරුනේ කව්දෝ එක්කෙනෙක් දුරින් ඉඳගෙන “මේ ‍පොත් ගැන හිතන්නේ නැතුව”… ඒ “අහවලා” ගැන හිතන්න කියලා කෑ ගැහුවා ඇහුනා වුනත් එයාට ඕන කුදයක් ගහන්න කියලා මම පොත ගැන. මං ගැන. චරිත ගැන හිතුවා…

පොත කියවපු මට මේක ඇත්ත කතාවක්ද? නැත්තං මනඃකල්පිතයක්ද? නැත්තං වෙන ක්ද? කියලා හිතගන්න බැරි වෙච්ච එක තමයි මුලින් වුනේ. නැත්තං මේක අර පොතේ පිටි පස්සේ ලියලා තියෙන විදිහට මේ පොතේ තියෙන්නේ කතාව ආදර කතාවක්ද?  රහස් පරීක්ෂක කතාවක්ද? නැත්තං කල වයස එළැඹීම ගැන කතාවක්ද? හුදෙක් විශ්ව විද්‍යාල කතාවක්ද? කියලා පඹගාලක පැටලෙන්න වුනා. කතාවට පාදක වෙච්ච 1956 ඉඳලා සුදාරක බබා උක්කුං වුන කාලේ වෙනකන් තියෙන මේ කතාව ලංකාවේ මෑත කාලීන ඉතිහාසය කියන අන්ධකාරේ පැටලිලා උන්නු සුදාකට විදුලි පන්දම් ආලෝකයක් වුනා කිව්වොත් නිවැරදි වෙන්න ඕනේ. “ඔව්. ඒක නිවැරදියි” දමයන්ත කිව්වා. කවුද මේ දමයන්ද?

දමයන්‍තගේ ඔළුවට දෙල් ගෙඩියක් වැටිච්ච නිසයි මේ සේරම ගිණි විජ්ජුම්බර පටන් ගන්නේ. පොඩි කාලේ ඉඳලා තමන්ගේ මැදි විය වෙනකන් කතාව පිටු ගානකට ගොනු කරන්න ඔහුගේ තිබ්බ දස්සකම දැකලා සුදාරකට හිතුනා දමයන්ත වගේ වෙන්න. නෑ… පස්සේ වෙලාවක හිතුනා රවී වගේ වෙන්න. ඒවා ඕනේ නෑ තමා තමා වුනාම හොඳටම ඇති කියලා. “තමා” කවුද කියලා බලනකොටයි තේරුනේ මේ කතා පොතේ ඔක්කොම චරිත සමාජේ පේන්න ඉන්න අය වගේ තමයි කියලා. එහෙම බලාගෙන යනකොටයි තේරුනේ බුදු හාමුදුරුවෝ වදාලපු “තමා” යැයි කියා දෙයක් මේ ලෝකේ නෑ කියනෙකේ තේරුම.

මේ පොත අද කියවලා ඉවර කරපු පාඨකයා කියවලා ඉවරවෙන්නත් කලින් පාඨකයාව වෙනස් කරපු මේ කතා පොතින් අතක් මතුවෙලා මට පෙන්නුවා වෙනස් වෙන හැටි. මේක තමයි යථාර්ථය කියලා පෙන්නුවා. දාගෙන හිටපු කණ්ණාඩිය කුඩු පට්ටම් කරලා දැම්මා. උපතින්ම හැමෝගෙන්ම එන දේශප්‍රේමය, දේශපාලනීකරණය කරන්නෙපා කියලා කිව්වා. එතකොටයි මට පෙනුනේ මේ වචන දෙකම “දේ” යන්නෙන් පටන්ගන්නවා කියලා. එතකොට දිල්කි කිව්වා. “අකුරු වල බැඳීම නෙවෙයි වචනේ දෙකේ තේරුම විතරක් හොයාගන්න එකයි හොඳ” කියලා. පොතකටයි ඒ පොත කියවලා ඒකෙන් උපමා උපමේය අරගෙන තව තැනක ‍ඉන්න කෙනෙක් ගැන හිතපු මට තේරුනා මේ දෙක මාව වෙනස් කරන්න හදනවා කියලා… වෙනස් වීම කියන්නේ වෙන්න ඕනේ දෙයක් නිසා ඔන්න ටික ටික වෙනස් වෙන්න හදනවා… වෙනස් වීම කෙසේ වෙතත් හොඳ පැත්තට වෙනස් වෙන්න කියලා “නන්ද” කිව්වා…

පොත තනියම කියවලා සතුටක් විඳිනාතුරේ (විඳින+අතරතුරේ) මට හිතිච්ච දෙයක් තමයි…
“අ‍‍ඩෝ ‍මේ පොත වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගනින්! වෙනස්කරපං!” කියලා…
ඉතින් එහෙම පොතක් කියවලා විඳින්න පුලුවන් ග‍මෙන් ආපු යාළුවෝ සෙට් එකක් කොළඹ හත කේන්ද්‍ර කරගෙන විසිරිලා ඉන්නවා කියන දේ පුදුමාකාර වාසනාවක් කියලත් හිතුනා. පොත බෙදන ගමන්. අන්න “අරූ” වගේ මගේ “සොඳුරු සිතුවම්” පොත ගල්ටික් නොකර මේක වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගෙන වෙනස් වෙයන් කියන්න සුදාරක නම් අමතකරන්නේ නෑ! නෑමයි…!!!

ඉතින් මගේ බ්ලොග් එක කියවන අයගෙන් එක අතඟ ඇඟිලි ගානකටක් වඩා අඩු ගානකට විතරක් පොත දෙන්න පුලුවන් නිසා සුදාරකගේ මේ සටහන කියවන අයට කියන්න තියෙන්නේ වහාම! හැකි ඉක්මනින්!! මේ දැන්!!! පුටුවෙන් නැගිටලා කොහේ හරි තැනකින් මේ පොත උස්සන් එන්න කියන එකයි… කියවලා ආතල් එකක් අරගෙන කැමතිනම් වෙනස් වෙන්න කියලයි! මේ ආතල් එක කියන්නේ අපේ සාමාන්‍ය භාෂාවෙන්. සතුටක් විදින්න කියලයි සුදාරක ඒකෙන් කිව්වේ. නැතුව “කුණු සතුටක්” විඳින්න නම් නෙවෙයි 😉

හෝව්! යන්න කලින් කමෙන්ටෙකක් ලියලාම යන්න… 😉

27 thoughts on “අටවක පුතාලයි-මායි

  1. Reply මලින්ත May 17,2009 7:34 pm

    එළ. මටත් ගන්න කියලා රෙකමදාරුවක් ඇවිත් තිබ්බ. දැන් නම් ගන්න එක හොඳයි කියලා හිතෙනව 😀

    PS: OpenID තාම අල වගේ කොල්ලො

  2. Reply බුධාජීව May 17,2009 7:47 pm

    අද උඹෙ ශෛලිය නං මල් 7+ !

    උඹ කියන විදියට මටත් පොත කියවන්‍න හිතුනත්, කෝ ටයිම් ??? :-O

  3. Reply samadie May 17,2009 7:49 pm

    හ්ම්…………. ඇත්තටම කියනවා නම් ඔයාගේ ව්‍යාකරණ දැනුම බොහොම හොදයි මොකද නනලල භේදය පවා හරිම වැදගත් කොට සලකලා ලියලා තිබුණා තව දෙයක් මට හිතෙන්නේ සුදාරක තව පොත් දෙකක් තුණක් කියෙව්වෙත් නවකතාවක් ම ලියයි වගේ. ඒත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ නැහැ නැහැ කිසිම ප්‍රශ්ණයක් නැහැ එයාට ව්‍යාකරණ ගැන ප්‍රශ්ණයක් නැති බව කියලා තිබුණනේ තැන්ක්ස්
    සුදාරක ඔයාට

    මම අටවක පුතාලයි මායි ලිපිය කියවපු කෙනෙක්

  4. Reply Supun Sudaraka May 17,2009 7:54 pm

    @බුධාජීව- මචන් ශෛලියට නම් ස්තූතිය හිමිවෙන්නෝනේ “ලියනගේ අමරකීර්ති” ශූරින්ටයි. ඒ ශෛලියට නිකම්ම ඇදිලා ගියා. මාරයි! වෙලාව වෙන් කරගන්න. මම නම් බස් එකේ යන ගමන් තමයි වැඩිපුරම කියෙව්වේ… පොත කියවන්න කොච්චර උනන්දුවුනාද කිව්වොත් බස්සෙකේ දොස්තර කොන්දොස්තොර කෑ ගැහනකොටයි මතක් වුනේ බස්සෙකෙන් බහින්නෝනෙයි කියලා 🙂

  5. Reply Supun Sudaraka May 17,2009 7:56 pm

    @samadie- බොහොම ස්තූතියි. ප්‍රතිචාරයට. ඒ වගේම බ්ලොග් සටහන කියෙව්වාට. ලිපිය කියෙව්වා වගේම පොත කියවන්නත් අමතක කරන්න නම් එපා… 😉

  6. Reply බුධාජීව May 17,2009 7:57 pm

    @ සුදාරක :
    බස් එකේදි කියවන එක නං හරියන වැඩක් නෙවේ මචෝ. ඒවෙලාවට පොත් කියෙවුවොත් කොහොමද සොභාදහමෙ විශිෂ්ඨතම නිර්මාණයේ සුන්‍දරත්‍වය රසවිඳින්නෙ ? 🙂

  7. Reply Supun Sudaraka May 17,2009 8:00 pm

    @බුධාජීව- ‍හපොයි! ඒකේනම් ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. එහෙනං ඉතින් මොකද කරන්නේ…

    කොහොමහරි පොත කියෝපං බං! 😉

  8. Reply ඉද්දා May 17,2009 8:24 pm

    ෂා මරු නෙව.. මම නම් ඔන්න පොත කලින්ම ඕඩර් කලා හරිද??? අවුරුදු පහකින් විතර පොතක් කියවල නැති මට මේක කියෙව්වහම මේ පොත කියවන්න හිතුනා.. බලමුකො කියෝලා!!

  9. Reply Thilina May 17,2009 8:52 pm

    එළටම ලියල තියෙනවා. ම‍ට මතක හැටියට මම අන්තිමටම කියවපු පොත විලම්බිත. (පොතේ නම හරිය‍ටම ෂුවර් නෑ. අර තිලක එහෙම හිටියේ) ඒ මීට අවු 6කට විතර කලින් O/L කරන කාළේ. දැන් ආයෙත් පොතක් කියවන්න ආසා හිතෙනවා

  10. Reply May 17,2009 9:12 pm

    මාත් කියෙව්වා. මම නම් ගත්තේ පොත් ප්‍රදර්ශනයෙන් මොකෝ ඒකෙ 20% වට්ටමකුත් ලැබුනනේ.
    කතාවනම් හිතට ඇල්ලුවා ඒත් අර නණලළ ලියලා තියෙන හැටි දැක්කම නම් සමහර වෙලාවට එපා වෙනවා. මාත් නණලළ ඔවා වැඩිය දන්නේ නැහැ ඒත් පොතක්වත් හරියට තියෙන්න එපායැ.

    මලී ඕක ගැන පොඩ්ඩක් ලියලා තිබ්බ කාලෙකට කලින්

  11. Reply Supun Sudaraka May 17,2009 9:19 pm

    @Thilina- ඔව් ඔව්. ‍කියවන්න කියවන්න… 😉
    @ම- ඔව්‍‍‍නේ.. ප්‍රදර්ශනේ තියෙන කාලේ සා.පෙ ළඟ තිබ්බ නිසා වැඩිපුරම අවධානේ ගියේ වැඩ පොත්, ප්‍රශ්න පත්‍ර පොත් වලට. ඒක නිසා අටවක පුත්තු පොත ගන්න එක මඟ ඇරිලා ගියා. කතාව තමයි මගෙත් වැඩිපුරම අවධානෙට ‍යොමු වුනේ. අර කිව්වා වගේ නණළල සීන් එකක් තියෙනවා. අටවක පුත්තු ගැන අන්තර්ජාලේ හෙව්වාම ආවේ නණළල ගැන සංසිද්ධි තමයි බොහෝමයක්ම 😉 මලී අක්කාට නම් ‍පොත අල්ලලා නෑ වගේ නේ… 😉

  12. Reply මනුශාන් May 17,2009 9:29 pm

    අනිවා මමත් හෙට ගන්නවා ඔක
    එළ කතාවක් වගේ ස්තුතියි සුදා මේ ගැන කිව්වට පොතේ ගාන මට ප්‍රයිවට් එකෙ කියන්න හොදේ

  13. Reply Supun Sudaraka May 17,2009 9:34 pm

    @මලින්ත- OpenID එක මම තාවකාලිකව අයින් කරා… ඒක මාර අලයක් නෙව. ‍ගන්න ගන්න! සිරා පොතක්!!
    @මනුෂාන්- ආ… මේක රුපියල් 530ක් වෙනවා… 🙂 ගාන නම් වැඩියි… හැබැයි කතාව නම් සිරා!
    @Anandawardhana- 😉

  14. Reply හිරන්‍යා May 17,2009 11:02 pm

    ලිපිය ලස්සනට ලියලා තියෙනවා. මාත් කියෙව්වා ඔය පොත. සිංහල ‍පොත් වලින් මම කියවලා තියෙන විශීෂ්ටම පොතක්. මාත් හිතනවා හැම කෙනෙක්ම මේ පොත කියවන්න ඕන කියලා.

  15. Reply පිටස්තරයා May 18,2009 12:51 am

    හොයාගෙන කියවන්න ඕනේ.. කොහෙද මේ දවස් වල හැරෙන්නවත් වෙලාවක් නෑ‍.

  16. Reply Supun Sudaraka May 18,2009 5:56 am

    @හිරන්‍යා- ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. 🙂 ඔව්. අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක්
    @පිටස්තරයා- ඔව් ඔව් කියවන්න කියවන්න. පොත අතට ගත්තොත් අනිවාර්යයෙන්ම වෙලාවක් හැදෙයි කියවන්න 😉

  17. Reply බුද්ධික May 18,2009 7:35 am

    මගේ පුද්ගලික අදහස නම් දැන් මේ කතන්දර පොත් වල ගාන නම් ගොඩක්ම වැඩී….ඒත් අධ්‍යපනික පොත්(ඉංග්‍රීසි) නම් අඩුයි…ඒවා ඇසුරින් ලියන සිංහල පොතුත් අස්ප ගණන්….සිංහල පොත් කියවනවට වඩා ඉංග්‍රීසි එකම කියවන එක ඊට හොදයි.මොකද පරිවර්තනයේදි වෙන්සකම් වෙලත් නෑ නේ…ලාබයිත් එක්ක..

    මොකද අපි තාම ගෙදරින් නේ යැපෙන්නේ…ඔහොම පොත් ගන්න සල්ලි කොයින්ද?බුදු අම්මෝ 530ක්?මාත් එක්ක මලින්ත මලයා ගිහින් බැලුවේ මේ පොත නේද දවසක්?

    ප.ලි:මහාවංශයත් රු530යි…ඒක අරන් කියවපන්…ඉතිහාසයෙන් අපට ගොඩක් පාඩම් ඉගෙනගත හැකි…මමත් ගෙනාව කියවන්න ඕනි 😉

  18. Reply Anandawardhana May 18,2009 8:45 am

    කතන්දර පොතක් නෙමෙයි අටවක පුත්තු කියන්නෙ නවකතාවක්. කතන්දරයකත් නවකතාවකත් වැදගත් වෙනස්කම් පවතිනව. නවකතාවක් කියැවීමෙන් ලැබෙන ජීවිතපරිඥානය වෙනත් පොත්වලින් ලබන්න බැහැ. ඒක ඉතිහාසයෙන්වත් විද්‍යාවෙන්වත් ලැබෙන්නෙ නැහැ. ඒ ඥානයට කියනව කලාත්මක ඥානය කියල. නවකතාව කියන්නෙ මිනිස් සංහතිය විසින් වර්ධනය කරනු ලැබූ වෙනත් ඕනෑම අර්ථසිද්ධියකට නොදෙවෙනි වැදගත් ජයග්‍රහනයක්. ඒවා භුක්ති විඳින්න අවශ්‍යයි කියල සිතිවිල්ලක් පහල වීම මත් පිනක් කියලයි මම නම් හිතන්නෙ.

    මුර්ඛෝපි ශෝභතේ යාවත්
    සභායාං වස්ත්‍රවේෂ්ටිතඃ
    තාවච්ච ශෝභතේ මූර්ඛෝ
    යාවත් කිඤ්චින් න භාෂතේ

    සිංහල අදහස – අගනා වස්ත්‍රාභරනයෙන් සැරසුනු මූර්ඛයා (මෝඩයා) සභාව අබියස බබලමින් ඉන්නවා. ඔහු බබලන්නේ කොපමන කාලයක් ද? කට ඇර යමක් නොකියන තාක් කල් පමනයි.

    පුරාන ඉන්දීය කියමනක්. ඒ කිව්වෙ මම ගැන.

  19. Reply Anandawardhana May 18,2009 9:24 am

    ආ තව එකක්, සල්ලි නැති කාරනේ පමනක් නම් පුරස්නෙ, හැමෝම ඉන්නෙ ලංකාවෙ හොඳම මහජන පුස්තකාල දෙක තියෙන නගර දෙකේ නෙ. කොලඹයි නුවරයි. ඔය දෙකේ ම මේ පොත තියෙනව 😀 නොමිලෙ කියවතෑකි.

  20. Reply මලී May 18,2009 10:32 am

    හප්පා.. මේ පොත මම ගත්තේ ගිය අවුරුද්දේ බණ්ඩාරනායක එකේ පොත් ප්‍රදර්ශණයෙන්නේ.. ඒ වගේම ගිය අවුරුද්දේ හොදම නවකතාවට හිමි සම්මානයත් හිමි උනානේ.. ඇත්තම කියනවා නම් මම වැඩියෙන්ම කැමති පොතේ අඩහදයා ඉන්න පළමු කොටසට.. අනිත් හරිය හොද නැහැ කියනවා නෙවෙයි.. නමුත් සමස්තකථාව ‍පොදු කථාවක් නැත්නම් අපි හැමෝම දන්න කථාවක් කියලා මට හිතෙනවා..ඒත් කථාව ඇතුලේ දුවන චරිත වෙනස් වෙනස් විදියට අපිට කථාව රස කරලා දෙනවා නම් තමා..!

  21. Reply යූත්මැක්ස් May 18,2009 11:48 am

    අහ්… අටවක පුත්තු… එළම එළ පොතක් බං. අනිවා කියවන්න ඕන…

  22. Reply Palitha Aug 12,2009 12:06 pm

    මෙවර අකුරුමංපෙත පොත් ගැන කතාකිරීමේ වැඩසටහනේදී “අටවක පුත්තු ” පොත තමයි සාකච්ජා කරන්නේ. ලියනගේ අමරකීර්ති මහතාත් සහභාගි වීමට නියමිතයි. 19 වැනි බදාදා හවස 5.45 ට නුගේගොඩ අළුත් සරසවියේ 3 වන තට්ටුවේ තමයි වැඩේ තියෙන්නේ. මේ ඒ සදහා විවෘත ආරාධනයක්.

  23. Reply Anju Aug 15,2009 11:35 am

    මචං සුදාරක, උඹේ සටහනට ප්‍රතිචාර දක්වන්න මෙච්චර කල් ගත්තු එක ගැනනම් සමාවෙන්න ඕනෙ. පොත කියවලම බලල කමෙන්ට් එකක් දාන්නනෙ උන්නෙ, ඒකයි. ඇත්තටම සිරා කතාවක් ඒක. කියවන්න පටන් ගත්තු වෙලේ ඉදන් කියවල ඉවර වෙනකන් ඉස්පාසුවක් තිබ්බෙ නෑ. ඒ තරමටම කතාව ලස්සනයි. භාෂාවත් කිසි අවුලක් නෑ. අර නණලළ භේදෙ නොසලකා හැරල ලියල තියෙන එකත් මට එච්චරම මීටර් වුනේ නෑනෙ. මම කොහොමටත් ඔය අක්ෂර වින්‍යාසෙ ගැන දැනීමක් තියෙන එකෙක් නෙවෙයිනෙ. 😉 ඒක නිසා වෙන්න ඇති. කොහොමවුනත් පොත ලියල තියෙන ශෛලිය නම් මරු…. ආ තව එකක්.. පොත කියවන්න දීල ආතල් එක බෙදාගන්න හිතපු එකත් බොහොම හොද දෙයක්. ඒකට ගොඩක් පිං 🙂

  24. Reply nirvt2to Jan 9,2010 7:38 pm

    මේ ප්‍රතිචරය නම් ඕනවටත් වඩා ප්‍රමාදයි.. ඒ නිසාම හා ඒ නැතත් මේ ප්‍රතිචාරය නම් වැදගත් වෙන එකක් නෑ අන්ශුවක් වත්

    ඒත් මෙහෙම කියලා යන්න හිතුනා..

    කියවනවා මාත් කොහොමහරි..
    යොමුවට ඔබට තුති ! 🙂

  25. Reply නිම්ශා Jun 1,2011 5:26 am

    මමත් ලංකාවෙන් ගෙන්න ගත්තා අටවක පුත්තු කතා පොත ..දවසින් මම පිටු 150ක් පමණ එක හුස්මට කියවලා දැම්මා…මට හුගාක් ම ආසා හිතුනේ අර අඬ හදයා පලමු කොටස්..දෙවෙනි එක මට ටිකක් පැහැදිලි මදි වෙනවා…එත් ආයේ ආයේම එ ගැන හිතද්දි මවාගන්න පුලුවන් වෙනවා මේ මොන දේ ගැනද… ස්වයංජාත වල විභුති ට හිතින් ආදරේ කරන්න උනා වගේ මට දෙවෙනි කොටසේදි හුගක් හිත ගියේ රවී ගේ චරිත ස්වාභාවයට…කෙලින් තිරණ …අමුතු හැසිරිම්… මේ ඔක්කොම ගත්තාම රවිත් එකතරා අමුතු නොවෙන එත් ප්‍රිය මනාප කැර්ක්ටර් එකක්..කොහොමත් මට මුලින්ම ආපු ගැටලුවත් මේ භශාව ලියලා තියෙන ව්යකරණ වල වැරැද්ද..එ වගේම පුදුම හිතුනා ව්‍යකරණ ඔය විදියට වැරදි උනත් හොදම පොත ලෙසට සම්මාන දිය හැකිද යන්නත් කියලා..එ උනත් මම තවම මේ පොත මුල් හරියේ කියවනා විතරනේ..අවසානය කොහොම මට දැනේයිද මන්දා…දැනට නම් මට හිතට ඇල්ලුවා කතවා..

    ඔයා ලියලා තියෙන රටාව ඇත්තටම ලස්සනයි…

  26. Pingback: කුරුලු හදවත ගැන කෙටි සටහනක් ← සුදාරකගේ අන්තර්ජාල සටහන

Leave a Reply

%d bloggers like this: