Categories
තාක්ෂණික ලිපි

ඔබේ අනන්‍යතාව අර්බුදයකද?

ඔබේ අනන්‍යතාව අර්බුදයකද?

යාවත්කාලීන කිරීම: මෙතන කියලා තියෙන JanRain RPX plugin එකේ පොඩි අවුලක් තියෙනවා කියලා අපේ ඉන්දරේ අයියා වාර්තා කරලා තිබුනා ව‍ගේම අවුලක් තියෙනවා තමයි. ඉතින් ඒක නිසා ඒ ගැන තියෙන සටහන භාවිතා කිරීම වැඩක් නැහැ. කොහොමවුනත් තමන්ගේ ‍‍‍ඩොමේන් නාමය OpenID එකක් කරගන්න හැටි ගැන තියෙන සටහන නම් හරියටම වැඩ!

හැම කෙනාටම තමන්ගේ අනන්‍යතාව අන්තර්ජාල ඇතුලෙදී ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දේ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙන කාලේ මේ. නිකන් හිතලා බලන්න… කවුරුහරි…

අ‍ඩෝ මමයි සුදාරක!
නෑ නෑ මමයි සුදාරක!
උඹලා දෙන්නම නෙවෙයි මමයි සුදාරක!
නෑ නෑ ඩෝ… මම මම මම….!

මේ වගේ සංසිද්ධියක් Beyondframe බ්ලොග් අඩවියේ ඇතුළේදී දැක්ක නිසා, මම පොඩ්ඩක් හොයලා බැලුවා මේකට හොඳ විසඳුමක්.  කලින් ඉඳලාම හොඳම විසඳුම දැකලා තිබුනේ. ඒක තමයි OpenID. ඒ වුනාට තමන්ගේම සේවාදායකයක ස්ථාපනය කරගන්න වර්ඩ්ප්‍රෙස් පිහිටුවාගන්න වර්ඩ්ප්‍රෙස් අඩවියක් සඳහා OpenID සහය ලබාගන්න අවශ්‍ය නම්, කරන්න වෙන්නේ OpenID Plug-in එක පිහිටුවා ගන්න එක. ඒ වුනාට ළඟකදී ඉඳලා මේ වැඩේ හරියන්නේ නැහැ. Blogger, එහෙමත් නැතිනම් Blog Spot වල පිහිටුවලා තියෙන බ්ලොග් අඩවි වලට ප්‍රතිචාර එකතු කරද්දී එහෙම OpenID Plugin එක පිහිටුවාගෙන තිබුනත්, ඒක හරියට ක්‍රියාත්මක වුනේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණේ නිසා, OpenID භාවිතා කරන එක අතඇරලා තිබුනේ. ඉතින් මේ ළඟදී අර කලින් කිව්ව කා‍රණේ නිසා ආපහු හොයලා බැලුවා. මුලින්ම හොයලා බැලුවේ මේ OpenID Plug-in එක වැඩද කියලා. ම්…හු… ඒක හරිගියෙත් නැහැ.

ඉතින්, ඊළඟට බැලුවේ වෙන Plugin තියෙනවාද කියලා. එතකොටයි අහුවුනේ JanRain RPX Plug-in එක. මේක තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරන්න උදව් වෙනවා නොවුනාට, ‍අනිත් අයගේ අනන්‍යතාව ආරක්ෂා කරගන්න උදව් වෙන Plugin එකක්. ඉතින් තමනුත් පරාර්ථකාමී වෙන්න ඕනේ නිසා, ඔන්න මුලින්ම ඒ Plugin එක දාගන්න. ඒ Plugin එකෙන් පුලුවන්, Facebook Connect, Twitter, Google ව‍ගේම තවත් සමාජ ජාල අඩවි සහ OpenID එක හරහා ප්‍රතිචාර එකතු කරන අයව බ්ලොග් අඩවියට සම්බන්ධ කරගන්න. එතකොට අර අල වෙච්ච OpenID Plugin එකට වඩා සාර්ථකව මේක වැඩ කරනවා කියලා කියන්න පුලුවන්.

මුලින්ම, තමන්ගේ වර්ඩ්ප්‍රෙස් පාලක පැනලයට ඇතුළත් වෙන්න. (සාමාන්‍යයෙන් තමන්ගේම සේවාදායකයක වර්ඩ්ප්‍රෙස් පිහිටුවා ගෙන ඉන්න අයට යම්කිසි දැනුමක් මේ ගැන තියෙන නිසා, වැඩිපුර සවිස්තරාත්මක විදිහට විස්තර කරන්න නම් යන්නේ නැහැ.)

ඊළඟට ප්‍රධාන මෙනුවෙන් Plugins යටතේ ඇති “Add New” කියන එක ක්ලික් කරන්න. පාවිච්චි කරන්නේ සිංහල වර්ඩ්ප්‍රෙස් නම්, ප්‍රධාන මෙනුවෙන් ප්ලගින යටතේ ඇති “එක්කරන්න” මත ක්ලික් කරන්න.

ඊළඟ පිටුවෙන්, “JanRain RPX” ඉඟිවදන් ඇතුළත් කරලා “Search Plugins” එහෙමත් නැතිනම්, “ප්ලගින සොයන්න” මත ක්ලික් කරන්න. සෙවුම් ප්‍රතිඵල වලින් ලැබෙන Plugin එක Install ක්ලික් කරලා තමන්ගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට පිහිටුවා ගන්න. හරිම සරලයි වගේම හරිම පහසුයි 😉

තමන්ගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට පිහිටුවාගත්තාට පස්සේ, Plugin එක සක්‍රිය කරන්න. ඊළඟට ප්‍රධාන මෙනුවෙන් Settings (සැකසුම්) යටතේ තියෙන “RPX” මත ක්ලික් කරන්න. ඊළඟට ඔබ‍ට පෙනේවි, Plugin එක API key එකක් ඉල්ලනවා කියලා. ඉතින් ඒ API key එක කියන්නේ පොඩි කේත අංකයක්. හරියට නිකං පාස්වර්ඩ් එකක් වගේ දෙයක්. ඒක අරගන්න https://rpxnow.com/get වෙතට පිවිසෙන්න. සල්ලි ගෙවන්න පුලුවන් ගොඩක් සේවාවන් අරගන්න පුලුවන්. ඒත් බ්ලොග් ලියන්නෙකුට නොමිලේ සේවාව හොඳටෝම ඇති කියලයි, ‍මගේ අදහස නම්.

ඉතින්, ලියාපදිංචි වෙන්න නම් SIGN-UP ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔක්කොම අඳුරු වෙලා යනවා වගේ පෙනේවි, බය වෙන්න එපා… මම ඉන්නවානේ 😉 අඳුරු වෙලා මතුවෙන සුදු පාට කොටුවෙන් තෝරගන්න සේවාවන් කිහිපයක් පෙන්නාවී. ඔබට පුලුවන් ඔබේ GoogleFacebook ගිණුම, Blogger ගිණුම, Twitter ගිණුම වගේම තව තව අඩවි වලට සම්බන්ධ ගිණුම් වලින් Sign Up වෙන්න පුලුවන්.  Sign Up වෙන්න කැමති ගිණුම භාවිතා කරාට පස්සේ ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම තහවුරු කරන්න පිටුවක් ලැබේවි. ඊළඟට ඔබේ විද්‍යුත් තැපැල් ගිණුමට ලැබේවි විද්‍යුත් ලිපියක්. සාමාන්‍යයෙන් අඩවියක ලියාපදිංචි වුනාම ඒකෙන් ‍විද්‍යුත් ලිපියක් එනවානේ තහවුරු කරන්න. මේකත් ඒ වගේ, ඉතින් විද්‍යුත් තැපැල් ගිණුමට ගිහිල්ලා, RPX වෙතින් ලැබිලා තියෙන විද්‍යුත් ලිපියේ තියෙන යොමුව ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබව අලුත් Application එකක් හදන පිටුවට ඒක යොමු කරාවි. ඊළඟට Application එකට නමක් දෙන්න. මේක කඩ්ඩෙන් (ඉංග්‍රීසියෙන්) දෙන්න. ඊට පස්සේ මේකට පාවිච්චි කරන ඩොමේන් නාමය ලබාදෙන්න. උදාහරණයක් විදිහට blog.sudaraka.com දෙන්න පුලුවන්. ඩොමේන් එකටයි, සබ් ඩොමේන් හැම එකටමයි භාවිතා කරන්න අවශ්‍ය නම්, sudaraka.com වගේයි, *.sudaraka.com කියලා වුනත් එකතු කරන්න කැමති නම් පුලුවන්. ඒත් පාවිච්චි කරන්නේ අපේ බ්ලොග් එකට විතරක් නිසා, බ්ලොග් අඩවියට අදාල ඩොමේන් නාමය හරි සබ් ඩොමේන් නාමය විතරක් හරි ඇතුළත් කරන එක ඇති. ගිණුම.

සුබපැතුම්! ඊළඟ පිටුවෙන් ඔබට ඔබේ API key ‍‍කේතය ලැබේවි. දැන් ආපහු තමන්ගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියේ RPX Plugin එකට අදාල පිටුවට ගිහිල්ලා කේතය ඇතුළත් කරලා “Save” මත ක්ලික් කරන්න. හරිම සරලයි! ඊට පස්සේ “Insert RPX comment hints into my page automatically” ඉස්සරහා ‍කොටුවට හරියක් දාලා, “Save Comment Options” මත ක්ලික් කරන්න.

එච්චරයි. RPX වෙබ් අඩවියට ගිහිල්ලා ඒ වෙබ් අඩවියට ඇතුළත් වෙලා ඒකේ දකුණු අත පැත්තේ තියෙන Setup යටතේ තියෙන “Configure Providers” මත ක්ලික් කරලා තමන්ට සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙබ් අඩවි හය තෝරාගන්න පුලුවන්. මම නම් තෝරාගෙන තියෙන්නේ Google, WordPress, Twitter, Facebook සහ Blogger කියන වෙබ් අඩවි පහත් එක්ක OpenID හැඳුනුම. ඉතින් ඔන්න දැන් මගේ බ්ලොග් අඩවියෙත්, ඉතාමත් පහසුවෙන් තමන්ගේ අනන්‍යතාව තියාගෙන ප්‍රතිචාර එකතු කරන්න පුලුවන්. (මේක හරියටම වැඩකරනවාද කියලා බලන්න තම තමන්ගේ ගිණුම් වලින් මේ ලිපියට ප්‍රතිචාර එකතු කරාට කිසිම අවුලක් නෑ 🙂 )

හරි, දැන් ඊළඟට තම තමන්ට පුද්ගලිකව තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ…  තමන්ට පුද්ගලිකව OpenID එකක් අරගන්නේ කොහොමද කියන එක. තමන්ටම කියලා OpenID එකක් අරගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. දැන් ඔබේ වර්ඩ්ප්‍රෙස්(.com) වල තියෙ බ්ලොග් ලිපිනයත්, Blogspot බ්ලොග් ලිපියනත් OpenID ලිපිනයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. ඒ ‍වගේම තවත් OpenID සේවාවන් සපයන තැන් තියෙනවා. ඒ වුනත්, තමන්ගේ ඩොමේන් නාමයක් යටතේ බ්ලොග් අඩවියක් කරගෙන යට අයට තමන්ගේ ‍ඩොමේන් නාමය තමන්ගේ OpenID එක විදිහට පාවිච්චි කරන්න ගන්න එක නම් ‍ලොකු අවුලක්. ඒකට අර මුලින් කිව්ව OpenID Plugin එක ප්‍රයෝජනවත් වුනත්, ඒක හරියට Blogger බ්ලොග් අඩවි සඳහා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ පුංචි පහේ වැඩ කෑල්ල කරන එක. එතකොට Plugin ඕනෙත් නෑ. හරිම සිම්පල්. කරන්න තියෙන්නේ පොඩි වඩු වැඩක් කරන එක විතරයි.

මුලින්ම හරිම සරල ක්‍රියාදාමයක් තියෙන්නේ. https://www.myopenid.com/ වෙබ් අඩවියෙන් ගිණුමක් හදාගන්න. ලියාපදිංචි වෙලා http://ssudaraka.myopenid.com/ වගේ OpenID ලිපිනයක් අරගන්න. ඔබේ ඊට පස්සේ වර්ඩ්ප්‍රෙස් පාලක පැනලයට ගිහිල්ලා, ප්‍රධාන මෙනුවෙන් Appearance (පෙනුම) යටතේ ඇති “Editor”  එකෙන් (සකසනය කියන ‍යොමුවෙන්) ඔබේ දැනට තියෙන Theme එක සංස්කරණයට පිවිසෙන්න. ඊළඟ පිටුවෙන් දකුණු අත පැත්තේ තියෙන “Theme Files” (තේමා ගොනු) යටතේ ඇති “Header” (ශීර්ෂකය) මත ක්ලික් කරලා, ඒකේ <head> </head> HTML Tag අතරට පහත තියෙන කේතය ඇතුළත් කරන්න.

<link rel=”openid.server”

href=”http://www.myopenid.com/server” />

<link rel=”openid.delegate”

href=”http://youraccount.myopenid.com/” />

<link rel=”openid2.local_id”

href=”http://youraccount.myopenid.com” />

<link rel=”openid2.provider”

href=”http://www.myopenid.com/server” />

<meta http-equiv=”X-XRDS-Location”

content=”http://www.myopenid.com/xrds?username=youraccount.myopenid.com” />

ඒකේ youraccount.myopenid.com වෙනුවට තමන් myopenid.com එකෙන් ලබාගත්තු OpenID ලිපිනය (උදාහරණයක් විදිහට ssudaraka.myopenid.com කියන ලිපිනය) මාරු කරන්න.

එච්චරයි! උත්සාහ කරලා බලන්නකෝ… ඊට පස්සේ මේක Blogger මත පරික්ෂා කරන්න ඕනේ නම් බ්ලොගර් මත ඇති ප්‍රතිචාර පරික්ෂණ පිටුව https://www.blogger.com/comment.g?blogID=1504961872775281277&postID=1449318644434822126 ට ගිහිල්ලා OpenID තෝරලා පරික්ෂා කරලා බලන්න. OpenID එක විදිහට තමන්ගේ බ්ලොග් අඩවියේ ලිපිනය ඇතුළත් කරන්න. ඊට පස්සේ තමන්ව යොමු කරාවි myopenid.com වෙත. ඊට පස්සේ එතැනින් තමන්ගේ ගිණුමට ඇතුළත් වෙලා. ප්‍රතිචාර තහවුරු කරන එක විතරයි තියෙන්නේ…

එළකිරි වගේ වැඩ!
myopenid.com ගැන තව වැඩිදුර දැනගන්න අවශ්‍ය නම්, ඒකේ උපකාරක පිටුව https://www.myopenid.com/help බලන්න අමතක කරන්න එපා

බ්ලොග් අඩවියක් නැති අයට වුනත් දැන් තමන්ගේ අනන්‍යතාව රැකගෙන ප්‍රතිචාර යොමු කරන්න OpenID එකක් භාවිතා කරන්න පෙළඹුනා නං… වැඩේ ගොඩ! අන්වර්ථනාම වලින් ලියන අයට වුනත් ඒක ගොඩක් වැදගත්.

Categories
පොත් විචිත්‍ර

එකමත් එක පිටරටක – ලියනගේ අමරකීර්ති

එකමත් එක පිටරකට

හැම ශනිදාවකම පන්ති ඉවරවෙලා සරසවියට ගොඩවදින්න ඇබ්බැහි වෙලා ඉන්නේ සරසවියේ පොත් සුවඳ විඳින්න. වෙනදානං පන්තිය ඉවරවෙලා කාගෙහරි පස්සෙන් ගියා තමයි. ඒත් දැන් එව්වා නෑ. කොහොමහරි ඒ පස්සෙන් යාම වෙනුවට ඊට වඩා වැදගත් දෙයක් ජීවිතේට ආදේශනය වෙලා. කොටින්ම කිව්වොත් ගෑනු ළමයෙක් එක්ක පෙමින් වෙලෙනවාට වඩා හොඳයි සරසවියට ආදරය කරන එක. අනික මේක ආදරය මරණ දඬුවම් ලැබිය හැකි කාලයක් නෙව. සමහර වි‍ට ඉස්කෝලෙන් අස් කෙරෙන්නත් පුලුවන් නෙව. (ඒ අතුරු කතාව ගැන ළඟදීම ලියන්නම්). පොත් ගැන කතා කරොත් ඉතින් ඒකත් එක්තරා ආතල් එකක මාතෘකාවක්. එක තැනකින් පටන් අරගෙන ගියාට පස්සේ මොකද මෙන්න තව තව අතුරු මාතෘකා. හොඳයි. මාතෘකාවට බහිමුකෝ…

මාතෘකාවේ තියෙන විදිහටම මේක පොතක්. පොතක් කිව්වාට මේක කතා පොතක් නෙවෙයි. මේක කවි පොතක්. සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන අයට නම් අමතක නොවෙන චරිතයක් වෙන්න ඕනේ මේ ලියනගේ අමරකීර්ති ශූරීන්. ඔව්. අර අටවක පුත්තු පොත ලියපු කෙනා තමයි මේ. නුගේගොඩ සරසවි‍යට ඇතුළු වෙනවාත් එක්කම වම් අත පැත්තෙන් තියෙන පඩිපෙළත් එක්ක තියෙන්නේ අලුත් සිංහල පොත් රාක්ක දෙකක්. ඒකෙන් එකක තියෙන්නේ ටිකක් බරපතල පොත්. එක එක කරුණු කාරණා සම්බන්ධ විෂය සංවේදී පොත්. අනිත් පැත්තේ තියෙන්නේ රසාස්වාදනය සඳහා පොත්. ඉතින් හැමදාම ඕක දිහා අනිමිස ලෝචනයෙන් පටන්ගන්න සරසවි සංචාරය පටන්ගන්නේ එතැනින්. පොත් ටික දිහා බලාගෙන බලාගෙන යනකොට දැක්කා පොතක්. පොතේ නම එකමත් එක පිටරටක. පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති.  පොත අතට ගන්න හිතනකොටයි දැනගත්තේ දැනටමත් ‍අත තියෙන්නේ පොතේ බව. ලියනගේ අමරකීර්ති අටවක පුත්තු පොතෙන්, පොත් අල්ලන්න දුන්නු උත්ප්‍රේරකය තාම අතට අමතක වෙලා නෑ කියලා හිතුනේ ඒ වෙලාවේ තමයි.

ෂහ්, මේක මරු කවි පොතක් නෙව. සාමාන්‍යයෙන් මම වැඩිපුර කවි කියවන ජාතියේ කෙනෙක් නම් නෙවෙයි. ඒ වුනාට ළඟකදී ඉඳලා කියැවෙනවා වැඩියි. කවි ලියන්න ඕනේ නං පුතෝ කවි කියවලා ඉන්න ඕනෙයි කිව්වේ අපේ මේ ආනන්දවර්ධන මාමා. එතකොටයි තේරුනේ හැබෑම නේන්නං කියලා. ඉතින් අර කවි ලියන්න. ලියැවීම සඳහා කියවන්න තිබුන ආසාව හරියටම හිතට ආවේ ‍මේ වෙලාවේ තමයි. ඉතින් ළඟ තිබුන දෙසීයක් වියදම් කරලා. පල්ලෙහා තට්ටුවෙන් රුපියල් සීයකට ත්‍රිකෝණමිතිය පොතකුත් උස්සගෙන එළියට බහිනකොට හරියටම සරසවි‍ය ඇතුළේ පැය එකහමාරක් විතර ඉඳලා. සරසවියේ සිංහල පොත් තියෙන හතරවෙනි තට්ටුවේ ඉඳලා පොත් තොගේක සුවඳ විඳිනකොට දන්නෙම නැතුව පැය එකහමාරක් විතර ගිහිල්ලා ඉවරයි. හතරවෙනි තට්ටුව කිව්වේ පාතාලේ තියෙන තට්ටුව අංක එක විදිහට අරගෙන. අධ්‍යාපනික පොත් පාතාලෙටම දාලා තියෙන එක ලොකු දෙයක්. මොකද ඒ තරමටම අපට වද දෙනවා නෙව. මං දැක්කා අම්මා කෙනෙක් පුතාට මාස්ටර් ගයිඩ් පොත් ප්‍රකාශන සේරම අරගෙන දෙනවා. එක කතා පොතක්වත් තිබුනාද කියලා සැකයි. මොනවා කරන්නද… ත‍රගේ නෙව. මට ඉතින් ‍පොඩි‍ එකා ගැන දුකත් නොහිතුනා නෙවෙයි. පොත් වල සුවඳ දෙවෙනි වෙන්නේ ගෑනු ළමයින්ගේ සුවඳටද කොහෙද කියලා මට නිකන් හිතුනේ හතරවෙනි තට්ටුවේ ඉඳගෙන පොත් අතරේ කරකැවෙනකොට. සමහර විට ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. ඒ ඒ වෙලාවට සාපේක්ෂව නෙව එහෙම දැනෙන්නේ… 🙂 පොත් ප්‍රදර්ශනෙත් ළඟ නිසා කැරකි කැරකි ඉඳලා පොත් ටිකක් හිතට දාගත්තා.

පොත් ටිකත් අරගෙන බස්සෙකේ එනකොට කියවන්න අතට ගත්තේ එකමත් එක පිටරක පොත. ඕන්නං ඇතුළේ ඉඳගෙන වුනත් මේක කියවලා ඉවරකරන්න තිබුනා. ඒත් මේක ළඟ තියාගෙන කැමති කැමති වෙලාවට බලන එක ඊට වඩා හොඳ නිසයි බැලුවේ.  අම්මපා මට හිතයි කවි ඔක්කොම උපුටලා දාන්න. ඒ වුනාට ඒක හරි නෑ නෙව. කට්ටිය වෙලාවක මේ පොත අරගෙන බලන්න. මං හිතන්නේ රුපියල් දෙසීය අපතේ යන එකක් නැති වෙයි.
එක කවියක් දාන්නද, එපාද කියලා හිතුනත් හිත බල කරනවා එක කවියක් උපුටලා දාන්නම කියලා. මේක කවියක් කිව්වාට මේක කවි පන්තියක්. කවි පන්තියම උපුටලා දානවාද නැද්ද කියලා තාම කල්පනා කරනවා… කමක් නෑ… දාමු!

මේක තමයි තියෙන පළවෙනිම කවි පන්තිය. මේක ඇත්තටම කිව්වොත් නිසඳැසක්… හපොයි. මම දැන් කවිය කිව්වා, කවි පන්තියක් කිව්වා, අන්තිමේ නිසඳැසක් කියලත් කිව්වා… අනේ මන්දා කියවන අය ඕනේ එකක් හිතාගන්න. මෙන්න මම දැම්මා!

අතිනත ගත් පොත්

පතින් පත පෙරලා
පොතින් පොත අර ගන්න
පොතක් අල්ලන්නටම
මැවුනා වැනි
අතකි

පැහැපත
සිහිනි
දිග
ඇඟිලිය

පිලිඹිබු විය හැකිද
රසික මත
සුමුදු අතැඟිලි
තුඩු මත
මල් පෙතිවලින් මුද්‍රිත පොතද
නොරිදා පෙරලිය හැකි

අපේ අත් පොත් මත
එක ලඟ නතර වූයෙය
අහා මේ මනරම්
හිමිදිරි උදය සුවඳකි
මතු වන්නට හැකිය කවියක රස
රසිකාවියක සුවඳ ලෙස?

අපේ අත් නැවතින
අපේ ඇස් එක් විය
පොතපතට කල ඇල්මෙන
පින් කල බව දැනින

මේ නම් රසික දෑසකි
හොඳම කවි කියවා ඇති
සිංදු පද උඩ පාවෙන
නංගියෙකුට වැඩිය

මට පෙන්නුවා ඈ
උකුල උනුහුම රැඳි
ඇගේ කැමතිම පොත්
ඈට පෙන්නුවා මම
තාම හද ගැස්ම රැන්දුන
මගේ කැමතිම පොත්

අපේ අත් නැවතින
සිව් ඇස මුන ගැසින
හද කවි නටන්නට විය
අප දෙදෙනාගේ හදගත්
පොත් දෙක දෙක බැගිනි
මනාවට ගැලපෙන
ගත් මෙනිය අතිනත්
අපේ හිත්ගත් පොත්

එක සාහිත්‍ය මාසෙක
මනහර සැඳෑවකි
පොත්සල රසික යායකි
එකම ඉරනම් කවි පොතක් මත
අපේ අත් මුන ගැසින
අපේ ඇස් එක් විය

මා එදින කිව්වේ
කලක් මා සිත ගෙතූ කියුමකි:
“අකමැතිද අපි දෙන්නම
පොතකින් එකක් විතරක් ගන්න?”

ඇගේ මුව ගොලු විය
ඇස් බිමට යොමු විය
මා හද මතක කවි
හුදු වාර්තා බවර පෙරලින
එහෙත් ඒ අත එසවින
වලලු වීනා ගෑවෙය
දෙදෙනාම අත තැබූ
පොත මවෙත දිගු වින

“එහෙනං
ඔයා කියවලා මටත් දෙන්න”

ඒ මිහිරි ලජ්ජා මදහස
මහරුම හයිකු කවියකි
සාමකාමී උදයක
විහ‍ඟෙකු ගැයූ ගීයකි

සුලඟක අහම්බෙන් ආ
සමන් මල් සුවඳකි
තිබෙයි අපෙ ගෙදර දැන්
පොත් වලට වෙන් වූ කුටියක්
දල්වන ඈ සැඳෑ කල
බුදු සාදුටද පහනක්
තිබෙයි අප හද මැදුරුවල
ඒ ‍පොත් මුන ගැසුන දවසක්
වෙනමම රාක්කෙක
තිබෙයි පොත් වගයක්
එකින් දෙක දෙක පිටපත්

ගෙදර කරදර ඇති
හිතේ පීඩා ඇති
සමහර දවස්වල
ඒ රාක්කේ පොත්
වෙන වෙනම ගෙන කියවමු
තනි තනිවම නිහඬව
අපට වෙන් වූ තැන්වල

ඇගේ පොත්වල
සහ මගේ පොත්වල
අපේ පොත්වල නැති මිහිරකි
සුලඟක අහම්බෙන් ආ
සමන් මල් සුවඳකි
සිනාවක් වැනි උදයක
විහ‍ඟෙකු ගැයූ ගීයකි

මා සොඳුරට හොරෙන්
ඒ පිටු සිඹින කල
විඳින්නේ කවි උපන් දවසකි
එහෙත් එක් දවසක
ඒ පොත් රාක්කය අස
පොතක් දෝතින් ගෙන
සිඹින බව දැක
මා හද කපා ගිය හීයකි

එහෙත් සුහදිනි එය
කවියක් කරන රිදුමකි
අරුතක් සහිත විඳුමකි

ලියනගේ අමරකීර්ති
එකමත් එක පිටරටක