Categories
අන්තර්ජාලය විවිධ

තිස්සමහාරාමයේ සිට ලියමි.

ඔන්න ඉතින් නිවාඩුවට පරණ යාළුවෝ කට්ටිය බලලා යන්නයි. තිස්ස පන්සලේ බෝධි පූජාවකටයි සහභාගී වෙන්න ඇති වෙච්ච ආශාව සන්සිඳුවාගන්න තිබ්බ ඕනෑකමයි නිසා මගේ උපන් ගම නොවුනාට, ඒ වගේ ගම වෙන තිස්සමහාරාමයට ආවා. තිස්ස පැත්තේ හරියට ඇවිදින්න මේ ලැබුණේ අවුරුදු දෙකකට විතර පස්සේ මං හිතන විදිහට. මීට කලින් දවසක ආවාත් එදා ඉන්න වුනේ දවසක් විතරයි ඒක නිසා මේක තමයි අවුරුදු දෙකකට විතර පස්සේ ගමේ හරියට පය තියපු අවස්ථාව.

දැන් තිස්සමහාරාමයත් සෑහෙන්න දියුණුයි. දැන් තිස්සමහාරාමයටත් ADSL සම්බන්ධතාවය ලැබිලයි තියෙන්නේ. කියන්නත් සතුටුයි. මම මේ දැන් ඉන්න Internet Cafe එකේ සිංහල ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා. ඒ වගේම මගේ පරිගණක තියෙන යාළුවන් කිහිප දෙනෙකුත් සිංහල යුනිකේතයට උනන්දු කරන්න ලැබුනා. ඉදිරියේදී තිස්සමහාරාමෙනුත් හොඳ බ්ලොග්කරුවන් සෙට් එකක් හඳුන්වාදෙන්නයි ඉන්නේ.

ඒ වගේම මිට කලින් ලියපු “අබා සමඟින් සටහන් ශතක පූරණය” කියන සටහනට ලැබිච්ච ප්‍රතිචාර බලන්නත් ලැබුනේ අද තමයි. ඒ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. සටහනට ලැබෙන ප්‍රතිචාර වලින් සමහරක් මෙ‍ලෝ දෙයක් නැති ස්පෑම් නිසා ලැබෙන ප්‍රතිචාර mannually approve කරන්න තමයි සැකසුම් හදලා තියෙන්නේ. ඒක නිසා ඔබේ ප්‍රතිචාරය බ්ලොග් සටහනේ ප්‍රදර්ශන‍ය වෙන්න ප්‍රමාද වුනානම් සමාවෙන්න ඕනේ.

කැෆේ එකේ ඉන්න ගමන්, සිංහල බ්ලොග් සින්ඩිකේටරයටත් එබිලා බැලුවා. බලනකොට අබා චිත්‍රපටිය ගැන ගොඩක් දේවල් ඒ ඒ අඩවි වල ලියැවිලා තියෙනවා දැක්කා. අබා චිත්‍රපටිය ගැන සංවාදයක් ඇතිවීම හොඳ දෙයක්. ඒක මුලින් කියන ගමන් අර මම මගේ අබා ගැන සටහනේ ලියලා තියෙන…

ඒ වගේම පොඩි අඩුපාඩුවක් තියෙන තැනක් දකිනවා. ඒක තමයි, මේ චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතයට අමුතු දේව රූපයක් මවාදී තිබීම. මෙය හැරීපෝටර් චිත්‍රපටියේ/කතාමාලාවේ හැරීපොටර්ගේ දෙමව්පියන් මරණයෙන් පසු නැවතත් භූතාත්මයක් විදිහට පැමිණ තම පුතාට සහය ලබාදෙනවා. අන්න ඒ විදිහට අබා චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතය මතු කරලා තිබෙනවා. සමහරු කියනවා චිත්‍රරාජ චරිතය මේ චිත්‍රපටියේ නිර්මාණ කරලා තියෙන්නේ එක්තරා ආගමක නායකයෙක්ව සිහිගන්වමින් කියලා. රූපය නම් යම්තාක් දුරකට සමානයි. ඒත් එච්චර අන්තවාදීව හිතන එක හරි නෑ. මොකද මේ චිත්‍රපටියේ කිසිම විදිහකින් ඒ ආගම ඉස්මතු කරන්න උත්සාහ කරලා නැහැ. අපි අපිම තමයි ඒක බොරුවට ඉස්මතු කරගෙන අපි අපිටම ගහගන්න යනවා කියන දේ තමයි මට එක පැත්තකින් හිතෙන්නේ.

මෙන්න මේ කාරණාව ගැන මටත් වඩා හොඳට සංහිඳ බ්ලොග් අඩවියේ ලියැවිලා තියෙනවා දැක්කා. ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා කියලා තමයි මට හිතුනේ. මම නම් වැඩිය ක්‍රිස්තියානි ආගම පිළිබඳව දන්නේ නැහැ. ඒත් සංහිඳ බ්ලොග් අඩවියේ සටහන් කරු නාමල් උඩලමත්ත මහත්මාට නම්, මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ කතාවට මාත් එකඟයි. දැන් හිතෙනවා අබා චිත්‍රපටියෙන් චිත්‍රරාජ හරහා ක්‍රිස්තු චරිතය සම්බන්ධ සිදුවීම් ඉස්මතු වෙනවා කියලා. හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා, අබා චිත්‍රපටියේ චිත්‍රරාජට දේව ආරූඪයක් දීම හොඳයි. හැබැයි ඒක කරන්න තිබ්බේ ඒ විදිහට නෙවෙයි කියලායි හිතෙන්නේ. අපිට මෙහෙම හිතන්න පුළුවන්නේ,

චිත්‍රරාජ යක්ෂ ගෝත්‍රික නායකයෙක් හෝ නායක පරපුරකින් පැවත එන්නෙක්. පුරාණයේ තිබ්බ සිරිතක් අනුව රාජ්‍ය නායකයා සැලකුනේ දේවත්වයේ සංකේතයක් විදිහටයි. ඒක නිසා ඒ කා‍ලයේ ගෝත්‍රිකයා, තමන්ගේ නායකයාට දේවත්වයෙන් සලකන්නට ඉඩ ඇති. හැබැයි චිත්‍රපටියේ විදිහට ඒක ඉස්මතු කරන එක හරි නැහැ. අර සංහිද බ්ලොග් අඩවියේ තියෙන විදිහට, ඒ අවස්ථා ඒ කාලයට සමරූපී විදිහට නිර්මාණය කරානම්, චිත්‍රපටියේ අලංකාරය මීට වඩා වැඩි වෙන්න තිබුණා කියලා හිතෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අබා සාර්ථක චිත්‍රපටියක්.

මදැයි. කොහෙන් ආවත් දැන් වැටෙන්නේ අබා උඩටම තමයි. 🙂 කමක් නෑ දැන් ඒක තමයි වෙන්න ඕනේ. කඩා වැටිලා තිබ්බ සිංහල සිනමාව ගොඩ නගන්න අපිත් දායක වෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි.

තව ලියන්න වෙලාව නෑ. දන්නේ නැද්ද ඉතින් පරණ යාළුවොත් එක්ක සෙට් වුනාම 😀 කරන්නද දේවල් නැත්තේ??? 😀

Categories
විචිත්‍ර විවිධ

08.08.08ට පෙර

හෙට දිනය අප සියළුදෙනාටම සුවීශේෂී දවසක්. ‍නෑ, මම මේ කියන්නේ ඔලිම්පික් ගැන නෙවෙයි. මම මේ කියන්න හැදුවේ හෙට දිනයේ සිට ලංකාවේ සිනමාහල් ආක්‍රමණයට සූදානමින් සිටින අබා චිත්‍රපටිය ගැනයි. ඔව්! හෙට ඔබ මෙතෙක් බලා සිටි අබා චිත්‍රපටිය දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. මාත් චිත්‍රපටිය බලන්න යන්නයි ඉන්නේ. බැලුවාට පස්සේ හොඳ නරක කියන්නම්. මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර YuthMAX වෙබ් අඩවියේ වින්දන විශේෂාංගයෙන් ඔබට ලබා ගැනීමට හැකියි.

මා මගේ බ්ලොග් අඩවියේ පෙර සටහනක දක්වා ඇති පරිදි අබා, එසේත් නැතිනම් පණ්ඩුකාභය කුමරුගේ කතාව මහා වංශ කර්තෘ ගේ පට්ටපල් බොරුවක් කියලානේ කිව්වේ. මගේ අදහසත් ඒක තමයි. නමුත් චිත්‍රපටියක් වශයෙන් අපට මේ අබා චිත්‍රපටිය වැදගත් අන්තර්ජාතික සිනමාව ආක්‍රමණය කිරීමට සමත් හොඳ වාණිජ චිත්‍රපටි කලාවක ආරම්භයක් ලෙසයි මම නම් අබා චිත්‍රපටිය දකින්නේ. නමුත් දැන්ම ‍ඒ පිළිබඳව හරියටම කියන්න බෑ චිත්‍රපටිය සම්පූර්ණයෙන් බලනකන්. ඒත්, දැනට නරඹපු පූර්ව ප්‍රචාරක පටවලින් හා අබා චිත්‍රපටියේ ජායාරූප වලින් නම් චිත්‍රපටිය හොඳ එකක් කියලායි හිතන්නේ. ඒ කියන්නේ ලංකා ඉතිහාස කතාවේ පිටුවක් පෙරළීම කෙසේවෙතත්. මේ චිත්‍රපටිය සිංහල සිනමා වංශ කතාවේ නව පිටුවක් පෙරලනවා නියතයි කියලා තමයි මට නම් කියන්නට වෙන්නේ.

චිත්‍රපටි කතාව අස්සේ තව දෙයක් කියන්න තියෙනවා. ඒක තමයි මේ චිත්‍රපටියේ ගීතයක් නරඹනකොට මම දැක්කා අපේ පුරාණ යකඩ කර්මාන්තයේ දර්ශන වගයක්. ඒ කාලේ ලංකාවේ මිනිස්සු යකඩ හොයාගෙන ඒවායින් ආයුධ නිශ්පාදනය කරනකොටත් අපේ වර්තමාන මහා බලවතුන් සෙට් එක හිටියේ අමු නිරුවතින්, මස් පුච්චගෙන කාලා වනගත වෙලා. ඒත් දැන් බලනකොට? ඒ කාලේ ලෝක බලවත්තු මේ කාලේ වෙනකොට ඇඳුමින් නැතිවුනත් අනිත් හැම පැත්තෙන්ම අමු නිරුවතින් වගේනේ. ඇත්තටම එහෙම හිතෙන්නේ නැත්ද? අපි අපස්සට ගිහිල්ලානේ! යුරෝපා ජාතීන් අපිට වඩා සෑහෙන දුරක්, තාක්ෂණික අතින් ඉදිරියට ගිහිල්ලා. මේ සියල්ලම වුනේ නව දේශපාලනික චින්තන හරහා. ජාතික වාදය, සමාජ වාදය, ලිබරල් වාදය හා නට්සි/ෆැසිස්ට් වාද‍ය වගේ දේවල් එකට කාර්මික විප්ලවයන් එක්ක ගැටිලා මේ මුළු ලෝකය උඩු යටිකුරු කරා (හෝ වෙලා). ඉතින් මෙන්න මේකයි හැටි. අපි එකතැන වැඩවසම් ක්‍රමයත් එක්ක පල්වුනා ඒ අය පුනරුදයත් එක්ක ගොඩනැගුනා.

මේ පුනරුදය ගැනත් තියෙනවා හොඳ කතාවක්. පුරාණ ආසියාවේ අති විශාල චින්තන නිදහසක්, චින්තන ප්‍රබෝදයක් තිබුනා. විශේෂයෙන්ම බුදු දහම, කාන්තා නිදහස වගේ දේවල් වලට බුද්ධ කාලීනව ඉන්දියාවේදී නිදහස ලැබුනත්, ඉන්දියාවේ නැවතත් හින්දු ආගම නැගී සිටීමත් සමඟම ඒ නිදහස් චින්තනය, කාන්තා නිදහස, මානව අයිතිවාසිකම් වලට මුල් තැනක් ලැබුනු රටක් තමයි ලංකාව. මේ දේ කෙසේ හෝ වෙනස් වුනා. යුරෝපීය ජාතීන් වැඩවසම් ක්‍රමේ ඉඳලා නිදහස් චින්තනය, පුනරුදයට ඇතුල් වෙද්දී ආසියාවේ ජාතීන් බොහෝමයක්, (විශේෂයෙන්ම ශ්‍රී ලංකාව) ඒ තිබ්බ නිදහස් චින්තනයන් සියල්ලම අත ඇරලා වැඩවසම් ක්‍රමේකට ඇතුලත් වුනා හෝ ඇතුල් කරා.

මෙතැනින් ඇති වගේ. මදැයි අබා ගෙන් පටන් ඇරගෙන යු‍රෝපයෙත් සංචාරයක් ගිහිල්ලා නොවැ ආවේ!. පස්සේ වෙලාවක මේ ගැන වැඩි දුර කතා කරමුකෝ