Categories
විවිධ

ඔබාමා…!! දිනපා…න්!!!

ධනවාදයේ පියා වෙච්ච ඇමරිකාවට ඔන්න දැන් පා…න් කියාගන්නවත් බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඇමරිකාවේ මිනිස්සු දැන් කන්නේ ඇහැටලු. සුපර් මාර්කට් දිහා බලාගෙන යනවා විතරලු. තරු පහේ හෝටල් වලින් කෑම ගන්න යන්නේ නැතිව ගෙදර උයාගෙන කනවාලු.

මේකෙන් ආර්ථික පිපිරීමෙන් ඇමරිකාවට විතරක් නෙවෙයි පාඩු.

ලංකාවට සහ තවත් බොහෝ ආසියානු රටවල‍ට

ඇයි එ?

ලංකාවේ සුපිරි වර්ග‍‍‍යේ තේ, ඇඟලුම් මිළඳී ගන්න රටක් තමයි ඇමරිකාව කියන්නේ. ඉතින් ඒ රටේ මිනිස්සුන්ගේ වියදම් කිරී‍‍‍මේ හැකියාව‍ හීන වෙන නිසා, දැන් වැඩේ බරපතලයි. දැන් ඉල්ලුම අඩු වෙලා සැපයුම වැඩි වෙලා තේ මිල බැහැලා. ඔන්න දැන් තමයි ඇමරිකාවේ කඩා වැටීමේ උණුසුම ලංකාවට වැදෙන්න පටන් ඇරන් තියෙන්නේ. චීනයේ, ඇමරිකාවේ බබාලට සෙල්ලම් බඩු හදපු කර්මාන්ත ශාලා දැන් ටිකෙන් ටික වැහීගෙන යනවා. රැකියා වලින් එළියට වැටෙන්නේ ඇමරිකාවේ මිනිස්සු විතරක් නෙවෙයි. දැන් වෙනත් රට වල වැහිලා යන කර්මාන්ත ශාලා වල මිනිස්සුත් පාරට වැටිලා.

ඔන්න ධනවාදයේ උච්ජතම අවස්ථාව එළැඹිලා

එහෙනම්… සමාජවාදය හිස ඔසවයිද?

මේ හුටප්පර අ‍ස්සේ අමෙරිකාවේ ජනාධිපතිවරණයත් පවත්වන්නයි යන්නේ. හැබෑටම කවුරු දිනයිද? මට තාම හරියට තේරුම්ගන්න නම් බැරිවුනා මේ ජනාධිපතිවරණේ තියන ක්‍රමය. මගේ මීටරේ අප්සැට් එකක්ද? නැත්තන් අමෙරිකාවේ ක්‍රමය අප්සට් එකක්ද කියලා හරියටම ෂුවර් නැහැ. ඔය දන්න කෙනෙක් කියලා දෙන්නකෝ…

මම නම් කැමතියි ඔබාමා ජනාධිපති වු‍නොත්. මොකද දැන් අමෙරිකාව ලෝකයේ පොලිස් කාරයා කියන කතාව අවිවාදයි නේ. ඔය මැකේන් මහත්තයා හිතන්නේ අමෙරිකානු ජාතිය ගැන විතරයි (හරියට නිකන් හිට්ලර් වගේ) අනික මිනිහා පුල් යුධ වාදියා. ඊට වඩා ඔබාමා මාමා ලෝකය ගැන හිතන නිසා මැකේන්ට වඩා මට ඔබාමා මාමා හොඳා. ඒත් පොඩි පරහක් තියෙනවා. ඔබාමා මාමා පත් වුනත්, එයා බලාපොරොත්තු වෙන වෙනස කරන්න ව‍ටේ ඉන්න හෙන්චයියෝ ටික ඉඩ දෙයිද? ඒ වගේම දෙන්නාගෙම විදේශ ප්‍රතිපත්ති වල වැඩි වෙනස්කමක් නෑ. දෙන්නාගෙම අදහස අමෙරිකාව ලෝක නායකයා බවට පත් වෙන්න අවශ්‍යයි කියන එකමයි. ඉතින් එහෙව් එකේ ඔය මොකා ආවත් අනිත් රට වලට අත දාන කැත පුරුද්ද නතර කරගන්න නම් අමෙරිකාවට පුළුවන් වෙන එකක් නෑ.

ඉතින් අපි මොකද කරන්න ඕනේ?

අමෙරිකාවේ ආර්ථිකය හරියනකන් අපි බලන් ඉඳලා නම් හරියන්නේ නෑ මේ වෙලාවේ. යුද්ධය අවසන් කරනවාත් එක්කම වගේ ලංකාව ස්වයංපෝෂිත කරන්න අවශ්‍යයි. ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් (මම අධ්‍යාපන ක්‍රමය කතිකාවට ඉදිරියටම ගෙනියන්නම්. මේ දවස්වල විභාගෙට ලෑස්ති වෙන නිසා මට හිතන්න එච්චර වෙලාවක් නෑ. ඒක නිසා විභාගෙන් පස්සේ ඒ ගැන අනිවා ඩෙෆා ලියනවා) නිර්මාණය කරන්න අවශ්‍යයි, ජාතීන් අතර සහයෝගය තවදුරටත් වර්ධනය කරලා හැමදෙනාම ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට ඉදිරියට යන්න ලෑස්ති වෙන්න අවශ්‍යයි. පටු අරමුණු වලින් අයින් වෙලා වැඩ කරන්න ඕනේ. ශක්තිමත් මාර්ග පද්ධතියක්, ප්‍රවාහන පද්ධතියක්, විධිමත් සංචාරක ව්‍යාපාර පද්ධතියක් නිර්මාණය කරන්න අවශ්‍යයි.

ඔව්, ඔව්… මම දන්නවා… දන්නවා… කියනවා වගේ නෙමෙයි කරන්න ගියාම අමාරුයි කියලා. ඒත් දැන් ඇතිවෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි අපේම ක්‍රමයක්. අපිට ඔය ධනවාදයයි, සමාජ වාදයයි දෙකටම නැති එකක් හරි දෙකේම හොඳ තැන් තෝරා බේරුම් කරගෙන හරි ක්‍රමයක් නිර්මාණය කරගන්න ඕ‍න්. වෙන මොනම රටකටවත් නැති ජලය, බලය කරගන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. වෙන මොනම රටකටවත් නැති අපිටම අනන්‍ය වූ ජෛව විවිධත්ව සම්පත ප්‍රයෝජනයට ගන්න ඕනේ. ගස් වැවීම, කැපීම සම්බන්ධයෙන් ශක්තිමත් ක්‍රියාමාර්ග ඇරගන්න ඕනේ. පන්ති අතර පරතරය අවම කරන්න ඕනේ. පරිසරය සහ ආර්ථිකය දෙකම රැකගෙන ඉදිරියට යන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ. හීන වෙලා යන ඉන්ධන සම්පතට ආදේශණයක් වෙන ආහාර, ජීව බලශක්තිය නිපදවීමේ නවතම ක්‍රම නිර්මාණය කරගන්න ඕනේ. මේ සදහා දිගු කාලීන,‍ කෙටි කාලීන සැලසුම් නිර්මාණය කරන්නත් ඕනේ.

මිනිසුන්ට ජීවන බර නොදැනී, වගකීම් දැරිය හැකි ක්‍රමයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් වඩා හොඳයි.

කියෙව්වා වැඩිද මන්දා 😀 ඔබාමා මාමාට සුබ පතන ගමන් සටහන අවසන් කරලා නැවතත් පාඩමට බහින්නයි හදන්නේ. පස්සේ වෙලාවක කට්ටිය සෙට් වෙලා කතා කරමුකෝ 😉
ආ… ඒක නෙවෙයි….

ඔබාමා දිනයිද? 😀

Categories
අන්තර්ජාලය විවිධ

තිස්සමහාරාමයේ සිට ලියමි.

ඔන්න ඉතින් නිවාඩුවට පරණ යාළුවෝ කට්ටිය බලලා යන්නයි. තිස්ස පන්සලේ බෝධි පූජාවකටයි සහභාගී වෙන්න ඇති වෙච්ච ආශාව සන්සිඳුවාගන්න තිබ්බ ඕනෑකමයි නිසා මගේ උපන් ගම නොවුනාට, ඒ වගේ ගම වෙන තිස්සමහාරාමයට ආවා. තිස්ස පැත්තේ හරියට ඇවිදින්න මේ ලැබුණේ අවුරුදු දෙකකට විතර පස්සේ මං හිතන විදිහට. මීට කලින් දවසක ආවාත් එදා ඉන්න වුනේ දවසක් විතරයි ඒක නිසා මේක තමයි අවුරුදු දෙකකට විතර පස්සේ ගමේ හරියට පය තියපු අවස්ථාව.

දැන් තිස්සමහාරාමයත් සෑහෙන්න දියුණුයි. දැන් තිස්සමහාරාමයටත් ADSL සම්බන්ධතාවය ලැබිලයි තියෙන්නේ. කියන්නත් සතුටුයි. මම මේ දැන් ඉන්න Internet Cafe එකේ සිංහල ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා. ඒ වගේම මගේ පරිගණක තියෙන යාළුවන් කිහිප දෙනෙකුත් සිංහල යුනිකේතයට උනන්දු කරන්න ලැබුනා. ඉදිරියේදී තිස්සමහාරාමෙනුත් හොඳ බ්ලොග්කරුවන් සෙට් එකක් හඳුන්වාදෙන්නයි ඉන්නේ.

ඒ වගේම මිට කලින් ලියපු “අබා සමඟින් සටහන් ශතක පූරණය” කියන සටහනට ලැබිච්ච ප්‍රතිචාර බලන්නත් ලැබුනේ අද තමයි. ඒ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. සටහනට ලැබෙන ප්‍රතිචාර වලින් සමහරක් මෙ‍ලෝ දෙයක් නැති ස්පෑම් නිසා ලැබෙන ප්‍රතිචාර mannually approve කරන්න තමයි සැකසුම් හදලා තියෙන්නේ. ඒක නිසා ඔබේ ප්‍රතිචාරය බ්ලොග් සටහනේ ප්‍රදර්ශන‍ය වෙන්න ප්‍රමාද වුනානම් සමාවෙන්න ඕනේ.

කැෆේ එකේ ඉන්න ගමන්, සිංහල බ්ලොග් සින්ඩිකේටරයටත් එබිලා බැලුවා. බලනකොට අබා චිත්‍රපටිය ගැන ගොඩක් දේවල් ඒ ඒ අඩවි වල ලියැවිලා තියෙනවා දැක්කා. අබා චිත්‍රපටිය ගැන සංවාදයක් ඇතිවීම හොඳ දෙයක්. ඒක මුලින් කියන ගමන් අර මම මගේ අබා ගැන සටහනේ ලියලා තියෙන…

ඒ වගේම පොඩි අඩුපාඩුවක් තියෙන තැනක් දකිනවා. ඒක තමයි, මේ චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතයට අමුතු දේව රූපයක් මවාදී තිබීම. මෙය හැරීපෝටර් චිත්‍රපටියේ/කතාමාලාවේ හැරීපොටර්ගේ දෙමව්පියන් මරණයෙන් පසු නැවතත් භූතාත්මයක් විදිහට පැමිණ තම පුතාට සහය ලබාදෙනවා. අන්න ඒ විදිහට අබා චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතය මතු කරලා තිබෙනවා. සමහරු කියනවා චිත්‍රරාජ චරිතය මේ චිත්‍රපටියේ නිර්මාණ කරලා තියෙන්නේ එක්තරා ආගමක නායකයෙක්ව සිහිගන්වමින් කියලා. රූපය නම් යම්තාක් දුරකට සමානයි. ඒත් එච්චර අන්තවාදීව හිතන එක හරි නෑ. මොකද මේ චිත්‍රපටියේ කිසිම විදිහකින් ඒ ආගම ඉස්මතු කරන්න උත්සාහ කරලා නැහැ. අපි අපිම තමයි ඒක බොරුවට ඉස්මතු කරගෙන අපි අපිටම ගහගන්න යනවා කියන දේ තමයි මට එක පැත්තකින් හිතෙන්නේ.

මෙන්න මේ කාරණාව ගැන මටත් වඩා හොඳට සංහිඳ බ්ලොග් අඩවියේ ලියැවිලා තියෙනවා දැක්කා. ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා කියලා තමයි මට හිතුනේ. මම නම් වැඩිය ක්‍රිස්තියානි ආගම පිළිබඳව දන්නේ නැහැ. ඒත් සංහිඳ බ්ලොග් අඩවියේ සටහන් කරු නාමල් උඩලමත්ත මහත්මාට නම්, මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ කතාවට මාත් එකඟයි. දැන් හිතෙනවා අබා චිත්‍රපටියෙන් චිත්‍රරාජ හරහා ක්‍රිස්තු චරිතය සම්බන්ධ සිදුවීම් ඉස්මතු වෙනවා කියලා. හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා, අබා චිත්‍රපටියේ චිත්‍රරාජට දේව ආරූඪයක් දීම හොඳයි. හැබැයි ඒක කරන්න තිබ්බේ ඒ විදිහට නෙවෙයි කියලායි හිතෙන්නේ. අපිට මෙහෙම හිතන්න පුළුවන්නේ,

චිත්‍රරාජ යක්ෂ ගෝත්‍රික නායකයෙක් හෝ නායක පරපුරකින් පැවත එන්නෙක්. පුරාණයේ තිබ්බ සිරිතක් අනුව රාජ්‍ය නායකයා සැලකුනේ දේවත්වයේ සංකේතයක් විදිහටයි. ඒක නිසා ඒ කා‍ලයේ ගෝත්‍රිකයා, තමන්ගේ නායකයාට දේවත්වයෙන් සලකන්නට ඉඩ ඇති. හැබැයි චිත්‍රපටියේ විදිහට ඒක ඉස්මතු කරන එක හරි නැහැ. අර සංහිද බ්ලොග් අඩවියේ තියෙන විදිහට, ඒ අවස්ථා ඒ කාලයට සමරූපී විදිහට නිර්මාණය කරානම්, චිත්‍රපටියේ අලංකාරය මීට වඩා වැඩි වෙන්න තිබුණා කියලා හිතෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අබා සාර්ථක චිත්‍රපටියක්.

මදැයි. කොහෙන් ආවත් දැන් වැටෙන්නේ අබා උඩටම තමයි. 🙂 කමක් නෑ දැන් ඒක තමයි වෙන්න ඕනේ. කඩා වැටිලා තිබ්බ සිංහල සිනමාව ගොඩ නගන්න අපිත් දායක වෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි.

තව ලියන්න වෙලාව නෑ. දන්නේ නැද්ද ඉතින් පරණ යාළුවොත් එක්ක සෙට් වුනාම 😀 කරන්නද දේවල් නැත්තේ??? 😀