Categories
ආදරය මතවාද

ආදරය, රාගය, විවාහය (සහ සංස්කෘතිය)

මේ මාතෘකාව ගැන ලියන්න මම වයස මදිද කියල මම දන්නෙ නැහැ. මම ලියනව. කියවන්නෝ කියවනව. ඉතින් ම‍ගේ වයසේ සුදුසුකම තීරණය කිරීම ඔබේ අතේ.

කෙලින්ම මාතෘකාව යන්න කලින් කතාවට අවශ්‍යකරන පදනම දාලාම කතාව ඉදිරියට අරගෙන යන්නම්. ලංකාව කියන්නෙ විශේෂයෙන්ම සංස්කෘතික රාමුවකින් විශේෂයෙන් කොටුවූ රාජ්‍යයක්. රාජ්‍යයක් ඉදිරියට යාමට, රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට මේ සංස්කෘතිය කියන රාමුව අවශ්‍යයි. උදාහරණයක් විදිහට ඇමරිකාවටත්, ඇෆ්ගනිස්ථානයටත් ඒ රටටම අනන්‍ය වුන සංස්කෘතික රාමුවක් ගොඩනගාගෙන තියෙනව. ඇමරිකාවෙ නිරුවතින් පෙළපාලි කරොත් හොඳයි, හැබැයි ඇෆ්ගනිස්ථානෙ නිරුවත තියා අඩ නිරුවතවත් බැහැ.

සාමාන්‍යයෙන් ලංකාවෙ පුරවැසියන් විදිහට අපි සමීපවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ සංස්කෘතියත් එක්ක. ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විකෘති වුන සංස්කෘතියක් කියල පේන්නෙ අපිට ඒ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම නිසා. අනික ඕනෑම රටක සංස්කෘතිය සම්මත කරන්නෙ ඒ රටේ ආගමික පූජකවරුන්, රදළයන් (දේශපාලකයන්) වුනත්. ඒක පොතක පතක ලියැවෙන දෙයක් නෙවෙයි. සංස්කෘතිය සම්මතවෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ භාවිතයත් එක්කයි.

එතකොට සංස්කෘතිය මිනිසුන්ගේ නිර්මාණයක්. ඒක කාලයෙන් කාලයට වෙනස්වෙනව. සංස්කෘතිය පේන්න තියෙන භෞතික දෙයක් නෙවෙයි. ඒක තියෙන්නෙ විවිධ මිනිසුන් හිතන පතන විදිහෙන්.

එතකොට රාජ්‍යයක් නිර්මාණය වෙන්නෙ එක විදිහට හිතන පතන මිනිසුන්ගෙන් නිසා, මිනිසුන් හිතන පතන ආකාරයේ සංස්කෘතියේ බහුතරයක් සමාන වෙනකොට එතන රාජ්‍යයක් උපදිනවා.

එතකොට ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ඇතුළෙ සංස්කෘතික බිඳීම් හරිම විකෘති සහගතයි.

සංස්කෘතිය ගැන වැල්වටාරම් කියාගෙන ආවෙ, අදාළ තැනට එන්නයි. මේ මාතෘකාව අදාළ තැන වෙන්නෙ; ආදරය, රාගය හා විවාහය කියන තැනයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ දේවල් ගැන කතාවෙන්නෙ රහසිගතව, පුද්ගලිකව. එහෙමත් නැතිනම් ‍තරුණයන් අතර ‍මේ දේවල් ගැන කතා නොවෙනා තරම්. තරුණ තරුණියන් බොහෝවිට එකතුවුනාම කතාවෙන්නෙ තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ අයගේ හැසිරීම, ලාලිත්‍ය පිළිබඳව මිසක්, ඒ හැසිරීමෙන් ඔබ්බට යන මේ සංකීර්ණ මාතෘකා ගැන කතා කිරීමට නොපෙළෙඹෙන තරම්.

මූලික වශයෙන් අපි මේ කතාකරන ආදරය (අතුරු කතා: මේ ආදරය, දෙමාපිය-දූදරු ආදරය වැනි දේ සමඟ පටලවා ගත යුතු නැහැ. මේ කතා කරන්නෙ ස්ත්‍රී-පුරුෂ රෝමාන්තික ආදරය ගැනයි) ඇතිවෙන්නෙ දෙන්නෙක්ගෙ පෙනුම මත, කතාබහ කරන විලාශය අනුව වගේ සරල දේවල් වලින්. ‍මම ආදරය
ගැන කතාකරන්නෙ මූලික වශයෙන් සමාජයේ බහුලව පෙනෙන ආදර සම්බන්ධතා පදනම් කරගෙන. ආදරයේ තවත් සංකීර්ණතා තියෙන්න පුලුවනි.  ඒ ගැන කතාකිරීමට මම කැමැත්තක් දක්වන්නෙ නැහැ. (උවමනා කෙනෙකුට කතාකරන්න පුලුවනි) මේ ආදරයට තවත් කල්යද්දි බොහෝවිට එකිනෙකාගේ රුචිඅරුචිකම් අනුව රාගය ලිංගික ආශාවන් එකතුවෙන්න පුලුවනි. ඒ වගේම ලංකාවෙ බොහෝ දෙනෙක් මුලින්ම හිතන දේ තමයි, ආදරය සම්බන්ධතාවකට මුලපුරන්නෙ ලිංගිකත්වය, ලිංගික ආශාවන් මත පදනම් වෙලා කියල, ඒක වැරදියි. මෘදු සිපගැනීම්, සැහැල්ලු බදාගැනීම් (Hugging) වලින් එහාට යන දේවල් තියෙන්න පුලුවනි. ඒත් ප්‍රථමයෙන් ආදරයක් ඇතිවෙන්නෙ එහෙම දෙයක් සඳහා නෙවෙයි. ඔබට එහෙම දෙයක් පිළිබඳ සිතිවිල්ලකින්, එය ඔබට ආදරයක් කියලා හැඟුනොතිත්, ප්‍රවේශමෙන්! ආදරය සහ රාගය දෙකක්!

සරලම උදාහරණය:
ආදරය කියන දේ විකුණන්න බැහැ.
රාගය විකුණන්න පුලුවනි

ඉතින් මේ දෙක දෙකක්.

ආදරය හරහා රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආදරය හරහා අන්‍යේන්‍ය ආකාර්ශනයක් තුළින් රාගික සිතිවිලි ඇතිවීමට පුලුවනි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහි අතුරු කතා පසුවට!

ආයෙත් සංස්කෘතිය සම්බන්ධවෙන්නෙ මෙතනට, ලංකාවෙ සංස්කෘතික රටාව ඇතුළෙ, මේ දේ ගැන තේරුම්ගන්න තරුණයෙකුට, තරුණියකට අවකාශ හිමිවෙන්නෙ නැහැ. ඒ ගැන ලියවුන පොතක් ‍සාමාන්‍යයෙන් පහළ පන්තියේ, පහළ මධ්‍යම පන්තියේ තරුණ තරුණියකට හිමිවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තරුණයන්ට නිසි උපදේශනයක් නැහැ. ඉතින් පුද්ගලිකව මේ අත්දැකීම් වලට එකතුවීමෙන් තමයි, තමන්ට මේ පිළිබඳව‍ තේරුම්ගන්න වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. ඒ වගේම, මේ ගැන ඒ අත්දැකීම් ලැබුන අය වුනත් විවෘතව කතාකරන්නෙ නැත්තෙ ඇයි කියන එකවුනත්, සෑහෙන්න ලොකු ගැටලුවක්. ඒ විවෘතභාවය නැතිවෙලා තියෙන්නෙ මේ තියෙන සංස්කෘතික රාමුව නිසාවෙන්.

මනුෂ්‍ය ආදරය ඇතිවෙලා තියෙන්නෙ, තම පරම්පරාව ගෙනියාම කියන ප්‍රාථමික අවශ්‍යතාව ඉදිරියට ගෙනයාමට පදනමක් විදිහෙනුයි. හැබැයි, ආදරය හරහා බැඳීම ඇතිවුනත්, තම පරම්පරාව ගෙනියාමට අවශ්‍ය පාර නිර්මාණය වෙන්නෙ රාගයෙනුයි, ලිංගික ආශාවන් තුළිනුයි. මේක ස්වභාවික දෙයක්.

එතකොට ලංකාවෙ සංස්කෘතියට සාපේක්ෂව ආදරය කරන්න නියමිත වයස වෙන්නෙ පාසළෙන් පිටවුනාම වයසයි. ඒ මොකද, ලංකාවෙ මිනිස්සුන් ආදරය ගැන හිතන්නෙ, ආදරය කරන්නෙ රාගය මූලික කරගෙන කියන මතයත් එක්ක නිසාවෙන්. (ප්‍ර‍යෝගික ලෝකෙදි, 99%ක්ම එහෙමම තමයි) ඒ වුනාට ප්‍රයෝගිකව, ආදර සම්බන්ධකම් පාසල් වයසේම ඇතිවෙනව-නැතිවෙනව. සමහරුන් තමන්ට ආදරයක් නෑ කියා දුකෙන් ඉන්න අතරෙ, සමහරු තමන් ආදරය කියලා, ඇති කරගත්ත බැඳීම නිසා දුක්වෙනව.

ඉතින් විවාහය කියන මාතෘකාවට ඇතුළත්වෙන්නෙ දැන්. විවාහය කියන්නෙ සංස්කෘතිකමය වශයෙන් නීත්‍යානුකූල ඇතිවෙන බැඳීමක්. මේකෙන් ආදරය කරන දෙන්නාගේ එකට ජීවත්වීමේ අයිතින සංස්කෘතිය (aka: සමාජය) විසින් සම්මත කරනව. එතකොට මංගල රාත්‍රිය වැදගත්වෙන්නෙ එතනදි. රාගය හරහා ඇතිවෙන අන්‍යෝන්‍ය ආකර්ෂණය නිසාවෙන් විවාහය ස්ථාවර වෙනව.

ආදරය කරන්න දෙන්නා අතර අන්‍යෝන්‍ය අවබෝධය තිබීම ප්‍රමාණවත්. ඒත්,
(http://kawuluwa.blogspot.com/2010/05/blog-post_04.html ලිපිය සඳහා ප්‍රතිචාරය:)

මෙහෙමයි, ඕකෙ එක එක ‍මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක කාරණා නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ඔය සම්බන්ධයක් තියෙන්න මූලිකවම දෙන්නාගේ අවබෝධයක් තියෙන්න ඕනෙ කියන කතාව මම පිළිගන්නවා වුනත්,

අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.

වයස ගැන මතවාද ගොඩක් හැදිල තියෙන්නෙ ‍මේ ලෝකෙ ආරම්භ‍යේ ඉඳලම එක එක අයගෙ අත්දැකීම්, ආගමික මතවාද සහ එක එක වැඩවසම් වරප්‍රසාද ලත් පැලැන්තියේ (උදා: බමුණන්, රජවරු) අයගෙ උවමනාවට හදාගන්න එක එක මතවාද එක්ක.

ඉතින්,
විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕනෙ.

‍කොච්චර දෙන්නාව තේරුම්අරගෙන තිබුනත් විවාහ‍යේදී ජීව විද්‍යාත්මකව කරුණුත් බලපානව.

උදාහරණයක් විදිහට තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහයේදී පිරිමියාට වඩා ඉක්මනින් කාන්තාව වයසට පත්වීම නිසා එක එක ගැටලු නිරායාසයෙන්ම ඇතිවෙන්න පුලුවනි. (හැබැයි වයස කොච්චර ගියත්, ඒ ආසාවන්, හැකියාවන් ඒ විදිහට රැක‍ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව)

ඔය කවුරු බණ දේශනා කරත්, ප්‍රායෝගික ලෝකෙදි නොයෙකුත් ප්‍රශ්න එනව.

ආදරය කියන සංකල්පයත්, විවාහයත් පටලවාගත යුතු නැහැ. විවාහය ගොඩනැගෙන්නෙ ආදරයත් රාගයත් එකතු වෙලා එතනින් තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න.

ඒත්, ආදරය කියන්නෙ වෙනම මතවාදයක්.

ඕනෙම කෙනෙකුට ආදරය කරන්න පුලුවනි. ඒත් ආදරයත් රාගයත් එකතුකරගත්තොත්, එතනදි ඒක වෙන්නෙ විවාහවීමේ අපේක්ෂාවත් එකතුකරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතුවෙලා.

රාගය අවශ්‍ය වෙන්නෙ විවාහය රැකගන්න.

මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම්, ඒ ‍දේ කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනව.

සංස්කෘතික රාමුවලින් එළියට යෑමේ අවසරය ඕනෑ කෙනෙකුට තියෙනව. මොකද ලංකාවෙ සංස්කෘතිය නෙවෙයි ඇමරිකාවෙ. 🙂


පසු ලිවීම: මේක මාතෘකානුකූල රචනාවක් නෙවෙයි. සිතිවිලි දහරාවක එකතුවක්. 🙂

Categories
කාලීන

තවත් සියදිවිනසාගැනීමක්!

වෙනද වගේ සංගම් වැඩවලට පන්තියේ වැඩ අතපසු කරගන්නෙ නැතුව හොඳ ළම‍ය වගේ කලාතුරකින් පන්තියට වෙලා ඉන්නකොට, පන්තියේ යාළුවෝ කතා වෙන දෙයක් එක පාරටම කනට වැටුන. කනට වැ‍ටුනෙ නම් එච්චර සුබ ආරන්චියක් නෙවෙයි. මේක තවත් සිය දිවි නසාගැනීමක්!

සියදිවි නසාගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යයෙක්. නම ගම වයස මම කියන්නෙ නම් දන්නේ නැහැ. නමුත් මරණයට මුල්වූ සිද්ධිය, එහෙමත් නැත්නම් සියදිවි නසාගැනීමට හේතුවක් වුන කාරණය නම් මගේ යාළුවන්ගේ කතාබහෙන් දැනගන්න ලැබුන. ඒ කතාව කෙටියෙන් කිව්වොත්; තමන් ආදරය කරපු තමන්ගේ පෙම්වතිය. තමන්ව අතඇරලා තමන්ගේ හොඳම යාළුවෙකුගේ පෙම්වතිය වීමයි මේ අවාසනාවන්ත සියදිවි නසාගැනීමට හේතුව.

පහුගිය වර්ෂයේ එක්තරා විශේෂ සහගත සියදිවි නසාගැනීමේ සිද්ධියකින් පස්සෙ, ජනමාධ්‍යවලට විකිණීමට සුදුසු මට්ටමෙන් ඉහළ ගියපු ප්‍රවෘත්ති ඉල්ලුම වුනේ සියදිවි නසාගැනීම් පිළිබඳ ඉල්ලුම. සියදිවි නසාගැනීමක් පිටිපස්සෙ බොහෝ සංවේදී කතා රැසක් ‍ගොනු වෙලා තියෙන නිසා තමයි, බොහෝ දෙනා නිරායාසයෙන්ම මේ වගේ ප්‍රවෘත්ති පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නට ඇත්තෙ.‍ කොහොම වුනත්, මනෝවිද්‍යාත්මක සාධක මත සියදිවි නසාගැනීම් පිළිබඳ ප්‍රවෘත්ති දැන් වාර්තා වෙන්නේ නැහැ.

කොහොමහරි තවමත් සියදිවි නසාගැනීම් වෙනව. ඒක තවත් වැඩිවෙන ප්‍රතිශතයක් මිසක්, අඩුවෙන ප්‍රතිශතයක් ගැන නම් හිතාගන්න බැහැ. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය අතින් ඉහළම රට ජපානය. ළඟදි නිකුත් වුන “ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය යටින් යන්නෙත් සියදිවි නසාගැනීම පිළිබඳ කෙරෙන වි‍වේචනයක් හරහා. සියදිවි නසාගැනීම් සියයට සියයකින් නවත්වන්න නම් බැරිවෙයි. ඒත් අවාසනාවන්ත සියදිවි නසාගැනීම් එකක් දෙකක් හෝ නවත්වාගන්න හැකි‍වුනොත්, මේ ලෝකය තවත් ලස්සන වෙන්න පුලුවන්.

මීට කාලයකට පෙර සිසු සිසුවියන් කණ්ඩායමක්ම සියදිවි නසාගත්තේ තම ගුරුවරයා විසින් තමන්ගේ නිවෙස් වලට තමන්ගේ පෙම් සම්බන්ධාව එළිදරව් කියනවා කෙ‍රුනු තර්ජනය උඩ. සියදිවි නසාගැනීම් සඳහා මුල් වෙන ප්‍රධානම සාධකය අද ආදරය කියන මාතෘකාව වෙලා.

ආදරය සුන්දර නම්, ඇයි ආදරය නිසා සියදිවි නසාගන්නෙ?

මේක බරපතළ කාරණයක්. ආදරය තරම් දරුණුවට දැනෙන තවත් දෙයක් නැති බව මමත් පිළිගන්න කාරණයක්. මමත් මේ වෙනකොට පෞද්ගලිකව සමහර දේවල් ගැන ගොඩක් හිතන්න බලන්න පුරුදු වෙලා තියෙන කෙනෙක්. ආදරය සුන්දර නිසා, ආදරය නිසා සියදිවි නසාගැනීමට පෙළබෙන්නෙ, ඒ ආදරයේ සුන්දරත්වය තමන්වෙත අහිමි වීමේ විරහවෙන්ද? තමන්ට තමන් පිළිබඳ අවතක්සේරුවක්, එහෙමත් නැත්නම් තමන්ගේ හිත ඇතුළෙ විශාල රික්තයක් නිර්මාණය වෙලා, ඒ රික්තයේ පුපුරායාමක් විදිහට මේක දකින්නත් පුලුවන්.

තමන් ආදරය කරන්නේ සාපේක්ෂව කියන කාරණය මම බොහෝ විට කියල ඇති. ‍ඉතින් තමන් ආදරය කරන කෙනාගේ සිතැඟි තේරුම්ගෙන ඇයට හෝ ඔහුට කැමති තෝරාගැනීමක් කරගැනීමට ඉඩදීම උපේක්ෂාවෙන් භාරගැනීමට අර මුලින් කියපු කතා නායකයාට හැකියාවක් තිබුනානම්, ඒ අවාසනාවන්ත මරණය නවත්වාගැනීමට හැකියාව තිබුනා වෙන්න පුලුවන්. ඒත් අපි කියන තරම් මේ කාරණය ලෙහෙසි පහසු කාරණය නෙවෙයි. හුදෙක් ආදරය, බොහෝවිට ආත්මාර්ථකාමය වෙන්නත් පුලුවන්. මේ ආත්මාර්ථකාමය මගේ, ඔබේ කාගෙහරි හිතක හොර රහසේ සැඟවිලා ඉන්න පුලුවන්. අපි මොනව කිව්වත්, අපි පෘතග්ජන මිනිස්සු.

තවත් දෙයක්, බොහෝ දෙනෙක් ආදරය කළත්. ආදරයේ සොබාවික නීති පද්ධතිය අඳුනගෙන ඉන්න එක වැදගත්. ඉතින් මේ දේවල් අපේ පාසලේ සිලබස් එකේ නැහැ. තියෙන තරගකාරී සමාජය ඇතුළෙ මේ දේවල් අඳුරගන්න මටත් බැරිවෙලා තියෙනව. මොනදේ වුනත්, ඔබ ආදරය කරන කෙනා එක්ක විවෘතව කතා කරන්න. ආදරය කරන කෙනා අඳුරගන්න. සමහර විට ඔබේ ආදරය අවුරුදු 5ක් 10ක් වෙන්නත් පුලුවන්. ඒත් අපි නොදන්න පැති ගොඩක් තියෙන්න පුලුවන්. ‍බොහෝවිට වර්තමානයේ පෙනෙන දෙයක් තමයි අවුරුදු ගාණක් පෙම් සම්බන්ධතා පවත්වාගෙන ඉඳල, විවාහ වෙලා ටික දවසකින් තමන්ගෙ විවාහ ජීවිතය කටුගාන අය.

ආදරය හා ලිංගිකත්වය කියන්නෙ සෑහෙන සීරියස් දෙයක්. අපේ වැරදි ගොඩක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ වැරදි අවබෝධ කරගෙන ඉදිරියට යන්න. කවදාවත් තමන්ගෙ ගමන සියතින් නසාගන්න උත්සාහකරන්න එපා. පුලුවන්තරම් ඔබේ යහළුවන්, මිතුරු මිතුරියන්, පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඇතිතරම් කතාකරන්න. ප්‍රශ්න විසඳගන්න. තත්වය දරුණු නම් හෝ පාලනය කරගැනීමට නොහැකි නම් කරුණු අවබෝධයෙන් යුතුව දෙපාර්ශවයම සතුටෙන් වෙන්වෙන්න. හැබැයි, අමතක කරන්න එපා! තමාට තමාවත් විශ්වාස කරගන්න බැරි ලෝකයකයි අපි ඉන්නෙ.

විශ්වාසය ගැන අතුරු කතාවක් මේ මාතෘකාව ඇතුළටම ගේන්නම්. කවදාවත් ජනමාධ්‍ය විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම ලංකාවෙ ජනමාධ්‍ය. කවුද ඇත්ත කියන්නෙ, කවුද බොරු කියන්නෙ කියල තේරුම්ගන්න බැරි ලෝකයක් මේක. එහෙම කවුරුවත් තේරුම්ගන්න බැරිවෙන ලෝකයක ඉන්න අපි, සියදිවිනසාගන්නේ අපිට කවුරුවන්වත් විශ්වාස කරන්න බැරි නිසාද? ලෝකෙ අපිට විශ්වාස කරන්න පුලුවන් කවුරුත්ම නැද්ද?

අපි අසරණයි.