Categories
ආදර සිතුවිලි ගීත

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

උපදෙස්: ඉදිරියට කියවාගෙන යන්න කලින්, සින්දුව අනිවාර්යයෙන්ම රසවිඳල ඉන්න. ඊට පස්සෙ සැහැල්ලුවෙන් කියවාගෙන යන්න

[youtube=http://www.youtube.com/watch?v=1YudWDXULps&hl=en_US&fs=1&rel=0]

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර, මහවැලියට දමන්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: ධම්මික බණ්ඩාර
සංගීතය: විශාරද ඩෙනිස්ටර් පෙරේරා

සාමාන්‍යයෙන් සුදාරක සින්දුවක් ගැන බ්ලොග් සටහනක් නොලියාම ඇති තරම්. සුදාරක කවි/ගීත විචාරයට එතරම් දක්ෂ පුද්ගලයෙකු නොවුනත්, රූප පෙට්ටියේ සුපිරි(/සිහින)තරු පිළිබඳ දැන්වීමක් අතරමඟදි සිහිනතරුව‍ක‍ගේ හඬින් ඇහුන අමරසිරි පීරිස් ගායකයාගේ හඬින් ගායනා වෙන “හන්තානට පායන හද” ගීතයේ මුල් පද පේලි ඇහුන විගසින්ම ගීතයට ආකර්ෂණය වුනා කිව්වොත් හරි. සාමාන්‍යයෙන් ගීතයේ මුල් පදයෙන්ම ගීතයට ආකර්ෂණය වෙනවානම්, ඒ ගීතයේ තමන්ගෙ ජීවිතයට සම්බන්ධ දෙයක් කොහේහරි ඇති කියල මගේ හිත කියනව. එහෙම වෙන එක පැහැදිලි කරගන්න නම් අතුරු කතාවක් කියන්න වෙනව. සාමාන්‍යයෙන් පන්ති ඉවරවෙලා යැවෙන සරසවියේ සිංහල පොත් තියෙන උඩුමහලේ මම දැක්ක එක පොතක්. ඒ පොත එක පාරටම අතට ගත්තාට මම වැඩිය කියෙව්වේත් නැහැ. කොහොම හරි මේ පොත මට ආපහු තිබුන තැනින් තියන්න හිතුනෙම නැහැ. අන්තිමේ පොත අරගෙන කියවලා බලද්දි, මට තේරෙනව මේකෙ සමහර තැන් මගේ ජීවිතයත් එක්ක සසඳන්න පුලුවනි කියල. ඒක හරි පුදුමාකාර කතාවක්! ඒ කියන්නෙ, විශ්වාස කරනවනම් විශ්වාස කරන්න. නැතිනම් නිකන් ඉන්න!

හරි, ආයෙත් මාතෘකාවට එමුකො. මේ ගීතයේ පළමු ‍පේලියෙන්ම ගීතයට ආකර්ෂණය වුනාට පස්සෙ, අන්ත‍ර්ජාල පිහිටෙන් සින්දුව හොයාගත්ත. මුළු සින්දුවම, සින්දුවේ ආකාරයෙන් නොවුනාට සීයට සීයේ ප්‍රතිශතයෙන්ම ජීවිතානුබද්ධයි. ඒකයි සීරියස්ම කතාව.

ගීතයෙන් කි‍යවෙන්නෙ හරිම සරල කාරණයක්. ගීතය ගායනා කරන්නා පෙම්වතා නම්, අපිට ඉතිරි ටික සැහැල්ලුවෙන් ආදේශ කරගන්න පුලුවනි. මේ ගීතය පෙම්වතා කියන්නෙ, උසස් පෙළ හොඳින් සමත්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සමත්වුන තමන්ගෙ පෙම්වතියට. හන්තාන තියෙන්නෙ පේරාදෙණිය සරසවිය ආසන්නයේ නෙව. ඉතින් මෙතන හන්තාන කිව්වත්, හන්තාන කියන ‍එකෙන් අදහස් කරන්නෙ පේරාදෙණිය සරසවියමයි.

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන පෙම්වතාට බලන්න බැරිවෙන්නෙ පෙම්වතාට උසස් පෙළ සමත්වෙන්න බැරි ‍වීම හේතුවෙන් පේරාදෙණිය සරසවියට එන්නට නොහැකිවීම හේතුවෙනුයි. සමහරවිට අපිට මෙහෙම හිතන්නත් පුලුවනි උසස් පෙළ කෙසේවෙතත්, ඔහුට පේරාදෙණියට එන්න නම් කිසිම හැකියාවක් නැහැ. පේරාදෙණිය කියන්නෙ, පේරාදෙණිය සරසවියට.

සරසවි ජීවිතය හරිම සුන්දරයි, හරියට සිනිඳුවට කඩාගෙන වැටෙන වැස්සක් වගේ. ඒ වගේම සරසවි ජීවිතයෙ කටුක දේ ‍නැත්තෙම නැහැ. මේ කතාව ගීතයෙ හරි අපූරුවට ව්‍යංගයෙන් කියල තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

අඳුරෙන් සරසවියෙ කටුක ජීවිතය නියෝජනය කෙරෙනවා නම්, වැස්සෙන් සුන්දර සරසවි ජීවිතය නියෝජනය කරනවා වෙන්න පුලුවනි.

ඉතින්, මේ ජීවිතයෙදි තමන් ළඟින්ම තමන්ට දුක සැප බෙදාගෙන ඉන්න කෙනෙක් ළඟ ඉන්නව නම්, ඒක ගොඩක් වටිනව. ඉතින් ‍ඒකයි පෙම්වතා කියන්නෙ…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

දුරස්ථ ආදරයකදි, දෙන්නට දෙන්න නොපෙනෙන එක අර්බුදකාරී අවස්ථාවක ලොකු ගැටලු මතුකරන තැනක්. කොහොමනමුත් තමන් ආදරය කරන කෙනෙක් දුර හිටියත්… සමහර වෙලාවට දුකෙන් ඉන්න වෙලාවට ආරක්ෂාව රැකවරණය ඒ දුර ඉන්න කෙනාගෙන් ලබාගැනීමට හරි අසීරු දෙයක්. ඒ කියන්නෙ, ප්‍රායෝගික නැති කාරණයක්. ඒකයි පෙම්වතා කියන්නෙ,

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ඒ මුලින් ඇතිවෙන රාගයෙන් තොර ආදරය. ළඟදි හොයාගත්ත වචනයක් වන ප්ලේටොනික ආදරය. එතනින් එහාට යන ඊළඟ තැන… රාගයත් එක්ක එකතු වුන ආදරය. මහවැස්සෙ තනියම ‍නොයා අලුත් පෙම්වතාගෙ ආරක්ෂාව යටතෙ ය‍‍නකොට, දෙන්නටම තනිවෙන්න තැන් ලැබේවි. ඒ අවස්ථාව මඟඅරින්න එපා, මගෙන් නොලැබෙන දේ ලැබෙනවා නම්… මා ගැන මතකය හිතෙන් අමතක කරල දාන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න… දුක්විඳිනවාට වඩා සතුටට, නිවීමට පත්වෙන්න. ඒකයි වැදගත්. කාලය නමැති මහවැලි ගඟ මාවත් ඇදගෙන ගහගෙන යාවි.

Categories
ආදරය මතවාද

ආදරය, රාගය, විවාහය (සහ සංස්කෘතිය)

මේ මාතෘකාව ගැන ලියන්න මම වයස මදිද කියල මම දන්නෙ නැහැ. මම ලියනව. කියවන්නෝ කියවනව. ඉතින් ම‍ගේ වයසේ සුදුසුකම තීරණය කිරීම ඔබේ අතේ.

කෙලින්ම මාතෘකාව යන්න කලින් කතාවට අවශ්‍යකරන පදනම දාලාම කතාව ඉදිරියට අරගෙන යන්නම්. ලංකාව කියන්නෙ විශේෂයෙන්ම සංස්කෘතික රාමුවකින් විශේෂයෙන් කොටුවූ රාජ්‍යයක්. රාජ්‍යයක් ඉදිරියට යාමට, රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට මේ සංස්කෘතිය කියන රාමුව අවශ්‍යයි. උදාහරණයක් විදිහට ඇමරිකාවටත්, ඇෆ්ගනිස්ථානයටත් ඒ රටටම අනන්‍ය වුන සංස්කෘතික රාමුවක් ගොඩනගාගෙන තියෙනව. ඇමරිකාවෙ නිරුවතින් පෙළපාලි කරොත් හොඳයි, හැබැයි ඇෆ්ගනිස්ථානෙ නිරුවත තියා අඩ නිරුවතවත් බැහැ.

සාමාන්‍යයෙන් ලංකාවෙ පුරවැසියන් විදිහට අපි සමීපවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ සංස්කෘතියත් එක්ක. ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විකෘති වුන සංස්කෘතියක් කියල පේන්නෙ අපිට ඒ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම නිසා. අනික ඕනෑම රටක සංස්කෘතිය සම්මත කරන්නෙ ඒ රටේ ආගමික පූජකවරුන්, රදළයන් (දේශපාලකයන්) වුනත්. ඒක පොතක පතක ලියැවෙන දෙයක් නෙවෙයි. සංස්කෘතිය සම්මතවෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ භාවිතයත් එක්කයි.

එතකොට සංස්කෘතිය මිනිසුන්ගේ නිර්මාණයක්. ඒක කාලයෙන් කාලයට වෙනස්වෙනව. සංස්කෘතිය පේන්න තියෙන භෞතික දෙයක් නෙවෙයි. ඒක තියෙන්නෙ විවිධ මිනිසුන් හිතන පතන විදිහෙන්.

එතකොට රාජ්‍යයක් නිර්මාණය වෙන්නෙ එක විදිහට හිතන පතන මිනිසුන්ගෙන් නිසා, මිනිසුන් හිතන පතන ආකාරයේ සංස්කෘතියේ බහුතරයක් සමාන වෙනකොට එතන රාජ්‍යයක් උපදිනවා.

එතකොට ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ඇතුළෙ සංස්කෘතික බිඳීම් හරිම විකෘති සහගතයි.

සංස්කෘතිය ගැන වැල්වටාරම් කියාගෙන ආවෙ, අදාළ තැනට එන්නයි. මේ මාතෘකාව අදාළ තැන වෙන්නෙ; ආදරය, රාගය හා විවාහය කියන තැනයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ දේවල් ගැන කතාවෙන්නෙ රහසිගතව, පුද්ගලිකව. එහෙමත් නැතිනම් ‍තරුණයන් අතර ‍මේ දේවල් ගැන කතා නොවෙනා තරම්. තරුණ තරුණියන් බොහෝවිට එකතුවුනාම කතාවෙන්නෙ තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ අයගේ හැසිරීම, ලාලිත්‍ය පිළිබඳව මිසක්, ඒ හැසිරීමෙන් ඔබ්බට යන මේ සංකීර්ණ මාතෘකා ගැන කතා කිරීමට නොපෙළෙඹෙන තරම්.

මූලික වශයෙන් අපි මේ කතාකරන ආදරය (අතුරු කතා: මේ ආදරය, දෙමාපිය-දූදරු ආදරය වැනි දේ සමඟ පටලවා ගත යුතු නැහැ. මේ කතා කරන්නෙ ස්ත්‍රී-පුරුෂ රෝමාන්තික ආදරය ගැනයි) ඇතිවෙන්නෙ දෙන්නෙක්ගෙ පෙනුම මත, කතාබහ කරන විලාශය අනුව වගේ සරල දේවල් වලින්. ‍මම ආදරය
ගැන කතාකරන්නෙ මූලික වශයෙන් සමාජයේ බහුලව පෙනෙන ආදර සම්බන්ධතා පදනම් කරගෙන. ආදරයේ තවත් සංකීර්ණතා තියෙන්න පුලුවනි.  ඒ ගැන කතාකිරීමට මම කැමැත්තක් දක්වන්නෙ නැහැ. (උවමනා කෙනෙකුට කතාකරන්න පුලුවනි) මේ ආදරයට තවත් කල්යද්දි බොහෝවිට එකිනෙකාගේ රුචිඅරුචිකම් අනුව රාගය ලිංගික ආශාවන් එකතුවෙන්න පුලුවනි. ඒ වගේම ලංකාවෙ බොහෝ දෙනෙක් මුලින්ම හිතන දේ තමයි, ආදරය සම්බන්ධතාවකට මුලපුරන්නෙ ලිංගිකත්වය, ලිංගික ආශාවන් මත පදනම් වෙලා කියල, ඒක වැරදියි. මෘදු සිපගැනීම්, සැහැල්ලු බදාගැනීම් (Hugging) වලින් එහාට යන දේවල් තියෙන්න පුලුවනි. ඒත් ප්‍රථමයෙන් ආදරයක් ඇතිවෙන්නෙ එහෙම දෙයක් සඳහා නෙවෙයි. ඔබට එහෙම දෙයක් පිළිබඳ සිතිවිල්ලකින්, එය ඔබට ආදරයක් කියලා හැඟුනොතිත්, ප්‍රවේශමෙන්! ආදරය සහ රාගය දෙකක්!

සරලම උදාහරණය:
ආදරය කියන දේ විකුණන්න බැහැ.
රාගය විකුණන්න පුලුවනි

ඉතින් මේ දෙක දෙකක්.

ආදරය හරහා රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආදරය හරහා අන්‍යේන්‍ය ආකාර්ශනයක් තුළින් රාගික සිතිවිලි ඇතිවීමට පුලුවනි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහි අතුරු කතා පසුවට!

ආයෙත් සංස්කෘතිය සම්බන්ධවෙන්නෙ මෙතනට, ලංකාවෙ සංස්කෘතික රටාව ඇතුළෙ, මේ දේ ගැන තේරුම්ගන්න තරුණයෙකුට, තරුණියකට අවකාශ හිමිවෙන්නෙ නැහැ. ඒ ගැන ලියවුන පොතක් ‍සාමාන්‍යයෙන් පහළ පන්තියේ, පහළ මධ්‍යම පන්තියේ තරුණ තරුණියකට හිමිවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තරුණයන්ට නිසි උපදේශනයක් නැහැ. ඉතින් පුද්ගලිකව මේ අත්දැකීම් වලට එකතුවීමෙන් තමයි, තමන්ට මේ පිළිබඳව‍ තේරුම්ගන්න වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. ඒ වගේම, මේ ගැන ඒ අත්දැකීම් ලැබුන අය වුනත් විවෘතව කතාකරන්නෙ නැත්තෙ ඇයි කියන එකවුනත්, සෑහෙන්න ලොකු ගැටලුවක්. ඒ විවෘතභාවය නැතිවෙලා තියෙන්නෙ මේ තියෙන සංස්කෘතික රාමුව නිසාවෙන්.

මනුෂ්‍ය ආදරය ඇතිවෙලා තියෙන්නෙ, තම පරම්පරාව ගෙනියාම කියන ප්‍රාථමික අවශ්‍යතාව ඉදිරියට ගෙනයාමට පදනමක් විදිහෙනුයි. හැබැයි, ආදරය හරහා බැඳීම ඇතිවුනත්, තම පරම්පරාව ගෙනියාමට අවශ්‍ය පාර නිර්මාණය වෙන්නෙ රාගයෙනුයි, ලිංගික ආශාවන් තුළිනුයි. මේක ස්වභාවික දෙයක්.

එතකොට ලංකාවෙ සංස්කෘතියට සාපේක්ෂව ආදරය කරන්න නියමිත වයස වෙන්නෙ පාසළෙන් පිටවුනාම වයසයි. ඒ මොකද, ලංකාවෙ මිනිස්සුන් ආදරය ගැන හිතන්නෙ, ආදරය කරන්නෙ රාගය මූලික කරගෙන කියන මතයත් එක්ක නිසාවෙන්. (ප්‍ර‍යෝගික ලෝකෙදි, 99%ක්ම එහෙමම තමයි) ඒ වුනාට ප්‍රයෝගිකව, ආදර සම්බන්ධකම් පාසල් වයසේම ඇතිවෙනව-නැතිවෙනව. සමහරුන් තමන්ට ආදරයක් නෑ කියා දුකෙන් ඉන්න අතරෙ, සමහරු තමන් ආදරය කියලා, ඇති කරගත්ත බැඳීම නිසා දුක්වෙනව.

ඉතින් විවාහය කියන මාතෘකාවට ඇතුළත්වෙන්නෙ දැන්. විවාහය කියන්නෙ සංස්කෘතිකමය වශයෙන් නීත්‍යානුකූල ඇතිවෙන බැඳීමක්. මේකෙන් ආදරය කරන දෙන්නාගේ එකට ජීවත්වීමේ අයිතින සංස්කෘතිය (aka: සමාජය) විසින් සම්මත කරනව. එතකොට මංගල රාත්‍රිය වැදගත්වෙන්නෙ එතනදි. රාගය හරහා ඇතිවෙන අන්‍යෝන්‍ය ආකර්ෂණය නිසාවෙන් විවාහය ස්ථාවර වෙනව.

ආදරය කරන්න දෙන්නා අතර අන්‍යෝන්‍ය අවබෝධය තිබීම ප්‍රමාණවත්. ඒත්,
(http://kawuluwa.blogspot.com/2010/05/blog-post_04.html ලිපිය සඳහා ප්‍රතිචාරය:)

මෙහෙමයි, ඕකෙ එක එක ‍මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක කාරණා නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ඔය සම්බන්ධයක් තියෙන්න මූලිකවම දෙන්නාගේ අවබෝධයක් තියෙන්න ඕනෙ කියන කතාව මම පිළිගන්නවා වුනත්,

අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.

වයස ගැන මතවාද ගොඩක් හැදිල තියෙන්නෙ ‍මේ ලෝකෙ ආරම්භ‍යේ ඉඳලම එක එක අයගෙ අත්දැකීම්, ආගමික මතවාද සහ එක එක වැඩවසම් වරප්‍රසාද ලත් පැලැන්තියේ (උදා: බමුණන්, රජවරු) අයගෙ උවමනාවට හදාගන්න එක එක මතවාද එක්ක.

ඉතින්,
විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕනෙ.

‍කොච්චර දෙන්නාව තේරුම්අරගෙන තිබුනත් විවාහ‍යේදී ජීව විද්‍යාත්මකව කරුණුත් බලපානව.

උදාහරණයක් විදිහට තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහයේදී පිරිමියාට වඩා ඉක්මනින් කාන්තාව වයසට පත්වීම නිසා එක එක ගැටලු නිරායාසයෙන්ම ඇතිවෙන්න පුලුවනි. (හැබැයි වයස කොච්චර ගියත්, ඒ ආසාවන්, හැකියාවන් ඒ විදිහට රැක‍ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව)

ඔය කවුරු බණ දේශනා කරත්, ප්‍රායෝගික ලෝකෙදි නොයෙකුත් ප්‍රශ්න එනව.

ආදරය කියන සංකල්පයත්, විවාහයත් පටලවාගත යුතු නැහැ. විවාහය ගොඩනැගෙන්නෙ ආදරයත් රාගයත් එකතු වෙලා එතනින් තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න.

ඒත්, ආදරය කියන්නෙ වෙනම මතවාදයක්.

ඕනෙම කෙනෙකුට ආදරය කරන්න පුලුවනි. ඒත් ආදරයත් රාගයත් එකතුකරගත්තොත්, එතනදි ඒක වෙන්නෙ විවාහවීමේ අපේක්ෂාවත් එකතුකරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතුවෙලා.

රාගය අවශ්‍ය වෙන්නෙ විවාහය රැකගන්න.

මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම්, ඒ ‍දේ කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනව.

සංස්කෘතික රාමුවලින් එළියට යෑමේ අවසරය ඕනෑ කෙනෙකුට තියෙනව. මොකද ලංකාවෙ සංස්කෘතිය නෙවෙයි ඇමරිකාවෙ. 🙂


පසු ලිවීම: මේක මාතෘකානුකූල රචනාවක් නෙවෙයි. සිතිවිලි දහරාවක එකතුවක්. 🙂