ආදරය, රාගය, විවාහය (සහ සංස්කෘතිය)

මේ මාතෘකාව ගැන ලියන්න මම වයස මදිද කියල මම දන්නෙ නැහැ. මම ලියනව. කියවන්නෝ කියවනව. ඉතින් ම‍ගේ වයසේ සුදුසුකම තීරණය කිරීම ඔබේ අතේ.

කෙලින්ම මාතෘකාව යන්න කලින් කතාවට අවශ්‍යකරන පදනම දාලාම කතාව ඉදිරියට අරගෙන යන්නම්. ලංකාව කියන්නෙ විශේෂයෙන්ම සංස්කෘතික රාමුවකින් විශේෂයෙන් කොටුවූ රාජ්‍යයක්. රාජ්‍යයක් ඉදිරියට යාමට, රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට මේ සංස්කෘතිය කියන රාමුව අවශ්‍යයි. උදාහරණයක් විදිහට ඇමරිකාවටත්, ඇෆ්ගනිස්ථානයටත් ඒ රටටම අනන්‍ය වුන සංස්කෘතික රාමුවක් ගොඩනගාගෙන තියෙනව. ඇමරිකාවෙ නිරුවතින් පෙළපාලි කරොත් හොඳයි, හැබැයි ඇෆ්ගනිස්ථානෙ නිරුවත තියා අඩ නිරුවතවත් බැහැ.

සාමාන්‍යයෙන් ලංකාවෙ පුරවැසියන් විදිහට අපි සමීපවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ සංස්කෘතියත් එක්ක. ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විකෘති වුන සංස්කෘතියක් කියල පේන්නෙ අපිට ඒ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම නිසා. අනික ඕනෑම රටක සංස්කෘතිය සම්මත කරන්නෙ ඒ රටේ ආගමික පූජකවරුන්, රදළයන් (දේශපාලකයන්) වුනත්. ඒක පොතක පතක ලියැවෙන දෙයක් නෙවෙයි. සංස්කෘතිය සම්මතවෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ භාවිතයත් එක්කයි.

එතකොට සංස්කෘතිය මිනිසුන්ගේ නිර්මාණයක්. ඒක කාලයෙන් කාලයට වෙනස්වෙනව. සංස්කෘතිය පේන්න තියෙන භෞතික දෙයක් නෙවෙයි. ඒක තියෙන්නෙ විවිධ මිනිසුන් හිතන පතන විදිහෙන්.

එතකොට රාජ්‍යයක් නිර්මාණය වෙන්නෙ එක විදිහට හිතන පතන මිනිසුන්ගෙන් නිසා, මිනිසුන් හිතන පතන ආකාරයේ සංස්කෘතියේ බහුතරයක් සමාන වෙනකොට එතන රාජ්‍යයක් උපදිනවා.

එතකොට ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ඇතුළෙ සංස්කෘතික බිඳීම් හරිම විකෘති සහගතයි.

සංස්කෘතිය ගැන වැල්වටාරම් කියාගෙන ආවෙ, අදාළ තැනට එන්නයි. මේ මාතෘකාව අදාළ තැන වෙන්නෙ; ආදරය, රාගය හා විවාහය කියන තැනයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ දේවල් ගැන කතාවෙන්නෙ රහසිගතව, පුද්ගලිකව. එහෙමත් නැතිනම් ‍තරුණයන් අතර ‍මේ දේවල් ගැන කතා නොවෙනා තරම්. තරුණ තරුණියන් බොහෝවිට එකතුවුනාම කතාවෙන්නෙ තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ අයගේ හැසිරීම, ලාලිත්‍ය පිළිබඳව මිසක්, ඒ හැසිරීමෙන් ඔබ්බට යන මේ සංකීර්ණ මාතෘකා ගැන කතා කිරීමට නොපෙළෙඹෙන තරම්.

මූලික වශයෙන් අපි මේ කතාකරන ආදරය (අතුරු කතා: මේ ආදරය, දෙමාපිය-දූදරු ආදරය වැනි දේ සමඟ පටලවා ගත යුතු නැහැ. මේ කතා කරන්නෙ ස්ත්‍රී-පුරුෂ රෝමාන්තික ආදරය ගැනයි) ඇතිවෙන්නෙ දෙන්නෙක්ගෙ පෙනුම මත, කතාබහ කරන විලාශය අනුව වගේ සරල දේවල් වලින්. ‍මම ආදරය
ගැන කතාකරන්නෙ මූලික වශයෙන් සමාජයේ බහුලව පෙනෙන ආදර සම්බන්ධතා පදනම් කරගෙන. ආදරයේ තවත් සංකීර්ණතා තියෙන්න පුලුවනි.  ඒ ගැන කතාකිරීමට මම කැමැත්තක් දක්වන්නෙ නැහැ. (උවමනා කෙනෙකුට කතාකරන්න පුලුවනි) මේ ආදරයට තවත් කල්යද්දි බොහෝවිට එකිනෙකාගේ රුචිඅරුචිකම් අනුව රාගය ලිංගික ආශාවන් එකතුවෙන්න පුලුවනි. ඒ වගේම ලංකාවෙ බොහෝ දෙනෙක් මුලින්ම හිතන දේ තමයි, ආදරය සම්බන්ධතාවකට මුලපුරන්නෙ ලිංගිකත්වය, ලිංගික ආශාවන් මත පදනම් වෙලා කියල, ඒක වැරදියි. මෘදු සිපගැනීම්, සැහැල්ලු බදාගැනීම් (Hugging) වලින් එහාට යන දේවල් තියෙන්න පුලුවනි. ඒත් ප්‍රථමයෙන් ආදරයක් ඇතිවෙන්නෙ එහෙම දෙයක් සඳහා නෙවෙයි. ඔබට එහෙම දෙයක් පිළිබඳ සිතිවිල්ලකින්, එය ඔබට ආදරයක් කියලා හැඟුනොතිත්, ප්‍රවේශමෙන්! ආදරය සහ රාගය දෙකක්!

සරලම උදාහරණය:
ආදරය කියන දේ විකුණන්න බැහැ.
රාගය විකුණන්න පුලුවනි

ඉතින් මේ දෙක දෙකක්.

ආදරය හරහා රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආදරය හරහා අන්‍යේන්‍ය ආකාර්ශනයක් තුළින් රාගික සිතිවිලි ඇතිවීමට පුලුවනි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහි අතුරු කතා පසුවට!

ආයෙත් සංස්කෘතිය සම්බන්ධවෙන්නෙ මෙතනට, ලංකාවෙ සංස්කෘතික රටාව ඇතුළෙ, මේ දේ ගැන තේරුම්ගන්න තරුණයෙකුට, තරුණියකට අවකාශ හිමිවෙන්නෙ නැහැ. ඒ ගැන ලියවුන පොතක් ‍සාමාන්‍යයෙන් පහළ පන්තියේ, පහළ මධ්‍යම පන්තියේ තරුණ තරුණියකට හිමිවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තරුණයන්ට නිසි උපදේශනයක් නැහැ. ඉතින් පුද්ගලිකව මේ අත්දැකීම් වලට එකතුවීමෙන් තමයි, තමන්ට මේ පිළිබඳව‍ තේරුම්ගන්න වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. ඒ වගේම, මේ ගැන ඒ අත්දැකීම් ලැබුන අය වුනත් විවෘතව කතාකරන්නෙ නැත්තෙ ඇයි කියන එකවුනත්, සෑහෙන්න ලොකු ගැටලුවක්. ඒ විවෘතභාවය නැතිවෙලා තියෙන්නෙ මේ තියෙන සංස්කෘතික රාමුව නිසාවෙන්.

මනුෂ්‍ය ආදරය ඇතිවෙලා තියෙන්නෙ, තම පරම්පරාව ගෙනියාම කියන ප්‍රාථමික අවශ්‍යතාව ඉදිරියට ගෙනයාමට පදනමක් විදිහෙනුයි. හැබැයි, ආදරය හරහා බැඳීම ඇතිවුනත්, තම පරම්පරාව ගෙනියාමට අවශ්‍ය පාර නිර්මාණය වෙන්නෙ රාගයෙනුයි, ලිංගික ආශාවන් තුළිනුයි. මේක ස්වභාවික දෙයක්.

එතකොට ලංකාවෙ සංස්කෘතියට සාපේක්ෂව ආදරය කරන්න නියමිත වයස වෙන්නෙ පාසළෙන් පිටවුනාම වයසයි. ඒ මොකද, ලංකාවෙ මිනිස්සුන් ආදරය ගැන හිතන්නෙ, ආදරය කරන්නෙ රාගය මූලික කරගෙන කියන මතයත් එක්ක නිසාවෙන්. (ප්‍ර‍යෝගික ලෝකෙදි, 99%ක්ම එහෙමම තමයි) ඒ වුනාට ප්‍රයෝගිකව, ආදර සම්බන්ධකම් පාසල් වයසේම ඇතිවෙනව-නැතිවෙනව. සමහරුන් තමන්ට ආදරයක් නෑ කියා දුකෙන් ඉන්න අතරෙ, සමහරු තමන් ආදරය කියලා, ඇති කරගත්ත බැඳීම නිසා දුක්වෙනව.

ඉතින් විවාහය කියන මාතෘකාවට ඇතුළත්වෙන්නෙ දැන්. විවාහය කියන්නෙ සංස්කෘතිකමය වශයෙන් නීත්‍යානුකූල ඇතිවෙන බැඳීමක්. මේකෙන් ආදරය කරන දෙන්නාගේ එකට ජීවත්වීමේ අයිතින සංස්කෘතිය (aka: සමාජය) විසින් සම්මත කරනව. එතකොට මංගල රාත්‍රිය වැදගත්වෙන්නෙ එතනදි. රාගය හරහා ඇතිවෙන අන්‍යෝන්‍ය ආකර්ෂණය නිසාවෙන් විවාහය ස්ථාවර වෙනව.

ආදරය කරන්න දෙන්නා අතර අන්‍යෝන්‍ය අවබෝධය තිබීම ප්‍රමාණවත්. ඒත්,
(http://kawuluwa.blogspot.com/2010/05/blog-post_04.html ලිපිය සඳහා ප්‍රතිචාරය:)

මෙහෙමයි, ඕකෙ එක එක ‍මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක කාරණා නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ඔය සම්බන්ධයක් තියෙන්න මූලිකවම දෙන්නාගේ අවබෝධයක් තියෙන්න ඕනෙ කියන කතාව මම පිළිගන්නවා වුනත්,

අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.

වයස ගැන මතවාද ගොඩක් හැදිල තියෙන්නෙ ‍මේ ලෝකෙ ආරම්භ‍යේ ඉඳලම එක එක අයගෙ අත්දැකීම්, ආගමික මතවාද සහ එක එක වැඩවසම් වරප්‍රසාද ලත් පැලැන්තියේ (උදා: බමුණන්, රජවරු) අයගෙ උවමනාවට හදාගන්න එක එක මතවාද එක්ක.

ඉතින්,
විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕනෙ.

‍කොච්චර දෙන්නාව තේරුම්අරගෙන තිබුනත් විවාහ‍යේදී ජීව විද්‍යාත්මකව කරුණුත් බලපානව.

උදාහරණයක් විදිහට තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහයේදී පිරිමියාට වඩා ඉක්මනින් කාන්තාව වයසට පත්වීම නිසා එක එක ගැටලු නිරායාසයෙන්ම ඇතිවෙන්න පුලුවනි. (හැබැයි වයස කොච්චර ගියත්, ඒ ආසාවන්, හැකියාවන් ඒ විදිහට රැක‍ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව)

ඔය කවුරු බණ දේශනා කරත්, ප්‍රායෝගික ලෝකෙදි නොයෙකුත් ප්‍රශ්න එනව.

ආදරය කියන සංකල්පයත්, විවාහයත් පටලවාගත යුතු නැහැ. විවාහය ගොඩනැගෙන්නෙ ආදරයත් රාගයත් එකතු වෙලා එතනින් තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න.

ඒත්, ආදරය කියන්නෙ වෙනම මතවාදයක්.

ඕනෙම කෙනෙකුට ආදරය කරන්න පුලුවනි. ඒත් ආදරයත් රාගයත් එකතුකරගත්තොත්, එතනදි ඒක වෙන්නෙ විවාහවීමේ අපේක්ෂාවත් එකතුකරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතුවෙලා.

රාගය අවශ්‍ය වෙන්නෙ විවාහය රැකගන්න.

මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම්, ඒ ‍දේ කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනව.

සංස්කෘතික රාමුවලින් එළියට යෑමේ අවසරය ඕනෑ කෙනෙකුට තියෙනව. මොකද ලංකාවෙ සංස්කෘතිය නෙවෙයි ඇමරිකාවෙ. 🙂


පසු ලිවීම: මේක මාතෘකානුකූල රචනාවක් නෙවෙයි. සිතිවිලි දහරාවක එකතුවක්. 🙂

Join the Conversation

37 Comments

      1. ආදරය විකුණන්න බෑ…ඒත් ආදරය කියන නම භාවිතා කරල තමන්ට ඔනේ දෙවල් විකුනගන්නව… උදා : ආදරයේ අළුත්ම පැහැය… 😀

    1. ඒකනං ඇත්ත. ආදරය කියන සබ්ජෙක්ට් එක ගැන කතාකරන්න ගියොත් ඉවරයක් නෑ. ඒක පිස්සු හැදෙන දෙයක්! 😀

  1. [said]
    එතකොට සංස්කෘතිය මිනිසුන්ගේ නිර්මාණයක්. ඒක කාලයෙන් කාලයට වෙනස්වෙනව.
    [/said]
    ලංකාවෙ “සංස්කෘතික ආරක්‍ෂකවරු” නොදන්නා දෙයක් තමා ඕක!

    මම නං හිතන්නෙ ප්‍රධාන හෙවත් වයසක සංස්කෘතිය විසින් ආදරය වගේ මාතෘකා කතා කිරීම “තහනම්” – මම “තහනම්” යන්න භාවිතා කළේ හිතාමතාමයි! – කරල තියෙන්නෙ හුදෙක් ඉරිසියාව නිසාමයි.

    “අඩෝ මට ඉස්සර කරන්න බැරිවෙච්ච දේවල්, දැන් ඉන්න හුජ්ජ කොල්ලො කළාම මට තියන තත්වෙ මොකක්ද?” වගේ හැඟීමක් තමා පරණ පරම්පරාවට තියෙන්නෙ. ඉතිං මේ කට්ටිය ආගමයි, සදාචාරෙයි, සාරධර්මයි ගහන්න පුළුවං හැම තුරුම්පුවක්ම ගහලා උං වැටිච්ච වලේ අපිවත් දාන්න හදන්නේ.

    1. මලයා ඔය අන්තිමට කියල තියන කෑල්ල නම් මටත් සෑහෙන්න හිතිල තියනවා…. ඒ විතරක් නෙවෙයි “ඒකලෙ අපට තිබුනෙ මේව අපි හිටියෙ මෙහෙමයි” කිය කිය දැන් කාලෙ අපටත් එහෙම ඉන්න කියල කියන කට්ටියත් ඉන්නව නෙව….

      1. @අමුතු:

        ඒව ඒකාලෙට හරි උනාට දැන් ඒව යල් පැනල බව මේ අයට එක්කෝ පෙනෙන්නේ නෑ, නැත්නම් පිළිගන්න කැමති නෑ!

        1. මේ දේවල් වලට ලොකුම හේතුව තමා වැඩිහිටියන්ට අතීතය (ලමා කාලය ) අමතක වීම සමහර විට හිතාමතාම අමතක කිරිම.

  2. මෙවැනි මාතෘකා සුපුන් වැනි දරැවෙකුට කථා කිරීමට තබා සිතීමටවත් සුදුසු නොවන මාතෘකා ඝණයටයි වැටෙන්නේ….:P

    සුපුන් මලයා කියන එක හරි. අද අපේ රටේ ( මම දන්නේ නැහැ හැම තැනම එහෙමද කියලා ) ආදරය කරන්න හිතන්නත් සෑහෙන සුදුසුකම් ප්‍රමාණයක් අවශ්‍යයි. ඇත්තම කිව්වොත් වැඩිහිටි පරම්පරාව හා තරැණ පරම්පරාව අතර මෙවැනි කාරණා සම්බන්ධයෙන් නිසි කථා බහක් හෝ අවබෝධයක් නැති එකෙන්, තවත් ගැටළු රාශියක් ඇතිවෙනවා ( මම නම් ඔය වගේ මාතෘකාවක් තියා කෙල්ලෙක් ගැනවත් වැඩිහිටියෝ ඉන්න තැනක කතා කරන්න යන්නේ නැහැ:P ) මේක ලොකුවට කතා කරන්න ඕනෙ දෙයක්. අපි අපි නෙවෙයි, සමාජය පුරා…..

    වයස 16යි මාසයයි වුනත් මෙවැනි මාතෘකා කරලියට ගෙන ඒම ලොකු දෙයක්…:)

    1. අඩු ගානෙ දොඩං ගෙඩි 3ක් වත් උස ඕන. මූ දෙකකට වඩා උසත් නෑ. වයස 8 ක්වත් වෙන්න ඕන මූට 3ක් වත් නෑ

  3. ඇත්ත ගොඩක් වෙලාවට තරුණියන් එකතු වුනාම කතා කරන්නේ බොරු මනස්ගාත කොටින්ම කිව්වොත් ඔපා දූප. කොල්ලෙක් ලගින් ගියොත් එයා ඇදන් ආපු ෂර්ට් එක, කලිසම,සපත්තු දෙක වගේ දේවල් ගෙන තමයි බලන්නේ. ගොඩක් කෙල්ලෝ මේ පිටින් පේන දේට ආදරේ කරලා අමාරුවේ වැටෙනවා. ඒ වගේමයි සිරාවට ආදෙරේ කරන කොල්ල කට්ට කාගෙන පස්සෙන් ආවත් සෙල්ලමට වගේ කෙල්ලොත් එකක් ආසය කරන්න එන කොල්ලට කෙල්ලෝ රැවටෙනවා. මම කියන්නේ හැම කෙල්ලම එහෙම නෑ. නමුත් බහුතරයක් එහෙමයි. සුදාරකට ආදරය ගෙන හොදට අත්දැකීම් තියෙනවා වගේ. 😛

    ස්තුතියි වැදගත් දෙයක් මතු කරන්න උත්සහ කළාට

  4. ම්, ප්‍රායෝගිකව ගත් කල අප සමාජය තුල නම් බොහෝ මතවාද ගැටළු තියෙනව. ඒත් අපි ජීවත්වෙන්නෙ මේ සමාජයේ නෙ. ඒ නිසා සමාජය හැඩගැහෙන විදිහට හැඩගැහෙන්න වෙනව. එහෙම නොවුනොත් මිනිස්සු අපි දිහා බලන්නෙ අමුතු විදිහට. අපිට ඒක එකපාර වෙනස් කරන්න බෑ. නිදසුනක් තමා, සිරස සුපර් ස්ටාර් පටන්ගත්තු කාලෙ මොනතරම් කතා කී‍වද, නමුත් දැන් රියැලිටි වැඩසටහන් සාමාන්‍යකරණය වෙලා. ආදරය විවාහයත් එහෙම වෙනස් වෙයි කියල හිතමු ඉදිරියේදි.

    අනික් දේ තමා ආදරය කරන අය විවාහ විය යුතුමද කියන එක. අද බොහෝ දෙනා/බහුතරය ආදරය කරන්නෙ කසාද බදින්න. මම දකින්නෙ විවාහ වීමට අවෂය නොමැති බව. මන්ද යත් ආදරය කිරීමට කාගෙන් හෝ බලපෑමක් අවසරයක් අවෂය නැති නිසා. නමුත් ආදරය ලැබීමට නම් අපිට ආදරය කරන්න කෙනෙක් හිටිය යුතුයි. ඒකට ඉතින් වාසනාව තියෙන්නත් ඕනි. 😛

    “අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.”
    මම නම් අකින්නේ ඒ අය හරියට ආදරය කරල, එකිනෙකාව අදුරගෙන/තේරුම් අරන් නෑ 🙂

    1. මට නං එතන පේන්නෙ තේරුම්ගැනීම කෙසෙවුනත් වෙනත් මානසික ශාරිරික ප්‍රශ්න බලපාන වෙලාවල් වුනත් තියෙනව. ඒ කියන්නෙ ළඟ එකට ඉන්නකොටයි ඒව ගැන අනෙක් කෙනාට ‍තේරුම්ගන්න යන්නෙ. හැබැයි ඒකත් ඉතින් එක්තරා ආකාරයකට තේරුම්ගැනීමේ අවුලක්ම තමා! 😀

  5. ඇත්තම තමා මල්ලි……….මල්ලි හරි මල්ලී………………

  6. පොදු කුලකයෙන් එහාට ගිට ආදර සම්බන්ෂකම් ගැන කතා කරන කොට නම්
    වයස
    තරාතිරම
    පෙනුම
    සිවිල් තත්ත්වය (විවාහක/ අවිවාහක බව)
    අධ්‍යාපන මට්ටම
    වගේ දේවල් වැදගත් වෙන්නෙ නැහැ………

    ඒත් මිනිසුන් වන අපි, අපි තැමති ,අපි ආශ කරන, අපි ආදරේ ,කරන අපි ට ඉතාම ගැලපෙන දේ ලං කර ගන්න බයයි අනිත් හේතු ගැලැපෙන්නෙ නැති නිසා. කොටින්ම සමාජය මොනව කියාවිද දන්නෙ නැහැනෙ කියල ඉතාම හොදට ගැලපෙන දේ පසෙක තියල භවුතිකව ගැලපෙන අය සමග විවාහ වෙලා හිත් වලින් හඩා වැලපෙනව.

    එහෙම නැතිව සමාජය මොනව කීවත් අ්‍ධ්‍යාත්මික ගැලපෙන කෙනා ලං කර ගන්න තරම් අපේ ගොඩක් අයගෙ හිත් තාමත් හයිය මදි

    බොහොම අගනා ලිපියක් …

    ෴ඔබට ජය෴

  7. සමහරුන් තමන්ට ආදරයක් නෑ කියා දුකෙන් ඉන්න අතරෙ, සමහරු තමන් ආදරය කියලා, ඇති කරගත්ත බැඳීම නිසා දුක්වෙනව.

    මේක නම් ඇත්ත…

    මේ මොනව උනත් අපිත් සමාජ රාමුවටම හිරවෙලා.. මොකද මේ සුවිසල් සමාජයේ දී අපිට තනියම උඩුගම් බලා යන්න බෑ…

  8. තමන් බොහෝ කලක් ආදරය කරපු කෙනා වෙනතක යන්න ගියාම ඒකෙනා දැලිපිහියෙන් ඇනල
    මරල දාන්න හිතන්නෙ මොකද? ඇත්තටම ඒ කෙනා ලග තිබිල තියෙන්නෙ ආදරයක්ද එහෙමත් නැත්නම් ඒ
    ඒ කෙනා තමාගේ කරගැනීමේ අරමුනක්ද ?
    ම‍ටනම් හිතෙන්නෙ ඔය ගොඩක් අය ආදරය කියල ටපලවාගෙන ඉන්නෙ ඔය මම කිව්ව දෙවෙනි කරුනයි
    ඔය විවාහය කියන දේ අප්සෙට් වෙන්න තවත් හෙතුවක් තමයි ආදරය කියන දේ පිටට පේන්නෙ නැති එක
    අපි කෙනෙක් දිහා බැලූ ගමන්ම අපිට ඒ කෙනාගෙ ආදරය පේනවද ..නෑ නෙ
    අපිට මුලින්ම පේන්නෙ ඔය කියන රාගයට මුල්වෙන ශරීරය…ඉතින් අපේ මුලින්ම හිතබැදෙන්නෙ ඔය පිටින්ම තියන ශරීරයට නොවේද …
    ආදරය ගැන මොනම අත්දැකීමක්වත් නැති මට උබේ අත්දැකීම් වටිනව …. හෙහෙ 😀

    ………………………………………………………………………….. දැලි පිහියා

  9. මල්ලී නියමෙට ලියලා තියනවා … සිතිවිලි දහරාව නියමයි.හිතන්න හුඟක් දේවල් තියනවා මේ පෝස්ට් එකෙ..

  10. බොහොම බරපතල කාරනයක් ගැන තමයි.. ඔයා ලියලා තියන්නෙ.. මගෙ පොඩි කාලෙ ඉදන් පුරුද්දක් තියන වයසට ගැලපෙන දෙවල් නෙමෙ මමත් කරන්නෙ.. යමක් එකතුකරගත්තා ඔයාගෙන්..මටනම් ප්‍රශ්නෙ තියන්නෙ සංස්කෘතිය කියනදෙ දැන් විෂම වෙලා තියන්නෙ.. පදනමක් නැති අර්ථයක් නැති සිරිත් විරිත් ගොඩකට අපෙ මිනිස්සු පුරුදුවෙලා.. වගෙ කියන හැගිම දැනෙනවා

  11. මම මාර්කේස් කියපු කතාවක් උස්සලා මෙතනට දාන්නම්.. ආදරය පවතින්න නම් එතන රාගය (sex) කියන එක තියෙන්න ඕනි විවාහය පවතින්න ඕනි නම් එතන තියෙන්න ඕනි sustainability එතන ආදරය රාගය කියන දෙකම ඇතුලත් වැඩියත්ම විශ්වාසය හා අවබෝධය.. හැබැයි අපි ආදරය කියලා අයිසිං එකක් දාන්නෙ ඇතුලෙ තියෙන රාගය කියන කේක් ගෙඩියට කියන එක අමතක කරන්න එපා මලයා..

  12. සුදාරක, ඉලෙක්ටෝනික් පරිපථ ටිකක් දාලා ඒ විශය ගැන ලිපි පෙළක් ලියන්න
    හැකිනම් ගොඩක් ස්තූති වෙනවා.

  13. Adaraya kiyanne hithe thiyagana inna deyak newei. Eka anith kenata therum yana widiha anuwa thamai adaraya pawathinne. Nathnam prashna athi wenawa

  14. සැබැ ආදරයක ලක්ෂණ

    1) පිලිගැනිම : මෙය කොන්දේසි විරහිත පිලිගැනිමක් විය යුතුය

    2) සෙනෙහස : වචන වලින් හා ක්‍රියාවෙන් පෙන්වන සමිප බව හා සැලකිලිමත් බව

    3) අගය කිරිම : අනෙකා කල කි දේ වටිනාකම ගැන කථා කිරිම,එයට ස්තුති කිරිම,ප්‍රශංසාව

    4) අනුමැති : අනෙකාගේ වැරදි අඩුපාඩුම නොසොයා යහපත්කම් ගැන අවධානය යොමු කිරිම හා අනුමැතිය දැක්විම. වැරදි අඩුපාඩුකම් හෙලා දැකිම වෙනුවට ඒවා නිවැරදි කර ගැනිමට උපකාරිවිය යුතුය.

    5) අවධානය : අනෙකා කරන කියන කටයුතු, ඔහුගේ/ඇගේ ලෝකය පිලිබදව අවබෝධයෙන් සිටිම

    6) සුවපහසුව : එකට සිටිමෙන් සතුට,සැහැල්ලුව විදිම,මෘදු බව දැක්විම

    7) දිරිගැන්විම : ඔහු/ඇය කැමති සතුටු දායක දේ තුලින් ඉදිරියට යැමට අවශ්‍ය සහයෝගය,ධෙර්ය ලබා දී උනන්දු කිරිම.

    8) ගෞරවය: ගැරහිමෙන් අපහාසකිරිමෙන් ටිකෙන් ටික ඇතිවන තුවාලය පසුව වනයක් සේ විශාල වෙයි.ඔහු/ඇය පුද්ගලයෙකු ලෙස කොයිතරම් වටිනා අයෙක්දැයි නිතර සිතා උසස් ලෙස සැලකිම

    9) සුරක්ශිතභාවය: කායික මෙන්ම මානසික සුරක්ශිතභාවයද ම්නිසෙකුට ඉතාම අවශයයි.හානි කිරිම්, තර්ජනය කිරිම්, වැනි බිය වලින් නිදහස්වි සැහැල්ලුවෙන් ජිවත්විමට නිදහස තිබිය යුතුය.

    10) සහයෝගය: බෙදා හදා ගනිමින්,කැමැත්තෙන් සහය දැක්විම

  15. wadagath sakachchawak… mama montisoriye indala kella gane hitiya kiyanna mage kella kiyala… eka wirudda lingikayage akarshanyata wada wadi yamak…

  16. මම නම් හිතන්නෙ අපේ පරපුරේ අය මේ ගැන අවබෝදයක් තියෙන නිසා අපිට පුලුවන් වේවි උඩුගන් බලා යන්න…

    මමත් හිතන්නෙ නම් සුදාරක හිතන විදිහටමයි..
    (මේක පොඩ්ඩක් පාඩමෙන් පිට යන cඔම්මෙන්ට් එකක්)

    මේ වගෙ දෙයක් එලිපිට කතා කරන්නත් රබර් මිශ්‍ර නොවිච්ච කොන්දක් තියෙන්න ඔනෙ…
    මෙ මතෘකාව කතා කරන්න ඔනෙ 18+ විතරයි කියල මම නම් හිතන්නෙ නෑ..මොකද අයාලෙ යන කස්ටියක් ඉන්නව නම් එ..18 ට අඩු අය කියලයි මම හිතන්නෙ…එ..අයව දැනුවත් කරන්න ගෙදර අම්ම තාත්ත ට ත් ලැජ්ජයි නම්, එ..කත් ඉස්කොඅලෙ teacher ට පවරනව නම්..teacher ත් ලින්ගිකත්වය හ ප්‍රජනනය කියන පාඩම ලමයින් ට තනියම ඉගෙන ගන්න කියනව නම්..
    ලමයි අතරමන් වෙන එක සාදාරනයි නෙ?

  17. ආදරය කියන එක නව්‍යකරනය වෙලා..කාටවත් නැ කියන්න බැනේ..මීට අවුරුදු 10කට කලින් ආදරයේ තිබුණු ස්වරූපය නෙවෙයි අද තියෙන්නෙ..කලින් O/L A/L කාලෙ නැත්නම් බස් එකකදි සෙට් වෙන ආදරය වෙඩ්න් එකකදි කානිවල් සෙට් වෙන කෙල්ලෙක්,කොල්ලෙක් වගෙ නෙවේනෙ දැන්.තත්වය වෙනස්…එදා නොතිබුන නිදහස අද කෙල්ලොන්ට,කොල්ලොන්ට තියනවා..තමන්ට තමන් ගෙ සහකාරයට මුනට කියන්න බැරි දේවල් අද චැට් එකකින් නැත්නම් SMS කියන්න පුලුවන්..එවා බොලඳද , කුනුහර්පද කියන දේ ඒ ආදරය හිතට ගේන හැඟීම මත රඳා පවතිනවා..තව දෙයක් තියනව..ආදරෙදි රාගය නැතත් විවාහය කියන බැඳිමට රාගය අනිවාර්යයි.මොකද විවාහය කියන ගෙදර හැදිල තියෙන්නෙ ගෞරවය,තෙරුම් ගැනීම,විශ්වාසය,රැකවරණය කියන බිත්ති හතරින් සහ ආදරය කියන වහලින් උනාට එකෙ අඩිතාලම වෙන්නෙ රාගය කියලයි මම නම් හිතන්නෙ..

  18. ගැහැණු පිරිමි කියන්නේ ශාරීරික වශයෙන්ම විතරක් නෙවේ, සිතුවිලි ගති පැවතුම්, ආසාවන් වගේ දේවල් වලිනුත් වෙනස් කොට්ටාස දෙකක්.ආදරේ ඇතිවෙන්නේ ගැහැණු පිරිමි අතරනේ……කොච්චර කොහොම කිඋවත් පොරොන්දම් බලල 100% ගැලපෙනවා කිවත් එයාලගේ වෙනස්කම් තියෙන එක පුදුම දෙයක් නෙවී.ඉතින් මෙහෙම දෙන්නෙක් එකතු වෙලා අලුත් ගමනක් යන්න පටන් අරගෙන මැදදී ප්‍රශ්න අවොත් එක මේ අරුම පුදුම දෙයක් කියල හිතන්න යන්න එපා.එහෙම උනාම ඉක්මන් තීරණ ගන්න යන්න එපා මෙය මට ගැලපෙන කෙනා නෙවෙඉ,මේක හරි හරියන්නේ නෑ කියල.තේරුම් ගන්න බලන්න ගැහැණු, පිරිමි අයගේ පැත්තෙන් සහ පිරිමි, ගැහැණු අයගේ පැත්තෙන්.මොකද සම්බන්දයක් ඇතිවෙනවට වඩා බොහොම ලේසියෙන් එක කැඩිලා යන්න පුළුවන්.ඉතින් එකිනෙකාව එපා කරගන්නේ නැතුව එකිනෙකාව තේරුම් ගන්න බලන්න. මොකද
    ළඟ නැති දවසට තමෛ කාට කාටත් කාගේ කාගේත් අගේ තේරෙන්නේ.ගැහැණු පිරිමි මේ වෙනස අඳුන ගන්න මේවත් ඔයාලට උදෞවක් වේවි කියල හිතනවා.

    01) ගොඩක් ගැහැණු කියනවනේ පිරිමි ඇහුන්කම් දෙන්නේ නැහැ කියල.එක මේ එයාලගේ වරදක් නෙවෙඉ.ශාරීරිකව එයාල එහෙමෛ හැඩ ගැහිලා තියෙන්නේ.ඇහුන්කම් දීමට හැඩ ගැහිලා තියෙන්නේ එයාලගේ වම්පැත්තේ මොලය විතරෛ.එයාලට කනින් අහන දේට වඩා ඇස් වලින් දකින දේවල්, දැනෙන දේවල් මතක හිටිනවා.ඒත් ගැහැණු අයට ඊට වැඩ වෙනස්.එයාලගේ මොලය දෙපසම ඒකට හැඩ ගැහිලෛ තියෙන්නේ.එකනේ මහ රෑ තමන්ගේ දරුවා කරන පොඩි සද්දෙදි පවා අම්මට ඇහැ ඇරෙන්නේ.ඉතින් ඇහුන්කම් දීමට ශාරීරිකව හැඩ ගැහිලා තියෙන එයාලත් දැනගන්න ඕන ටිකක් වැඩියෙන් ඇහුන්කම් දෙන්න.

    02) තව දෙයක් තමෛ, පිරිමි අයට එක වෙලාවකට හිත යොමු කරන්න පුළුවන් එක කාරණාවකට විතරෛ.සමහර ගැහැණු එක වෙලාවකට වැඩ කෝටියක් කියනවා කරන්න කියල පිරිමි අයට.අන්තිමට රණ්ඩුවක් වේලි නතර වෙන්නෙත්.ඇත ගැහැණු අයට එකම වෙලාවේදී ගොඩක් දේවල් වලට හිත යොමු කරන්න පුළුවන්.එකනේ ගොඩක් office වල secretary විදියට ගැහැණු කෙනෙක් ඉන්නේ.ඔලුවට එක පාරට ගොඩක් දේවල් දාගන්න පුළුවන්.බඩුවක් ගන්න ගියත් එහෙමනේ.ගන්න යන්නේ එක දෙයෛ.ඒත් දාහක් බඩු අරන් අන්තිමට බලනකොට.

    03) ගැහැණු අය කතා කරන්න හරි කැමති.ඕන වෙලාවට එපා වෙලාවට නිතරම කතාව.දුකක් දැනුන වෙලාවට ළඟම යාලුවට හරි කියනවා.හිතට සහනයක් ලබාගන්න අහිංසක බලාපොරොත්තුව ඇතුව.ගැණු ලමෛ හිතට ප්‍රශ්නයක් අවොත් ගොඩක් වෙලාවට කියන්නේ තමන්ගේ පෙම්වතාට.එකෙන් ගොඩක් වෙලාවට එය බලාපොරොත්තු වෙන්නේ කතා කරලා ප්‍රශ්නේ විසඳ ගන්න.ඇත පිරිමි ලමෛ එහෙම නෙවෙඉ.කතා කරනවා ගොඩක් අඩුනෙ.හැම ප්‍රශ්නෙම හිතේ තද………කරන් ඉන්නේ.තනියම ඒකට විසඳුම් හොයනවා.හිතට දැනෙන දුක් පිටට පෙන්නනවා ගොඩක්ම අඩුඉ.ithin එහෙම වෙලාවට ගැණු ලමෛ හිතන්න නරකෛ,අනේ මෙයාට දැන් මාව එපා වෙලා දැන් වෙන කෙනෙක් ඇති අරවද මේවද කියල.එහෙම වේලාවකදී එය එක්ක බලෙන් කතා කරලා ඒවා හාර අවුස්සන්න යන්න එපා.නිවාඩු පාඩුවේ හොඳ වෙලාවක් බලල එකතාවට ප්‍රවිශ්ටයක් ගන්න.ඕනෑම දෙයක් කතා කරන වෙලාවක් කලාවක් තියෙනවනේ.

    04) ගැණු ලමෛ මතක තියාගන්න, පිරිමි ලමෛ බලාපොරොත්තු වෙන්නේ ගැටලුවට විසඳීමක් මිසක් උපදෙස් මාලාවක් නම් නෙවෙඉ කියාල.

    05) තව දෙයක්.පිරිමි ලමෛ හැම දේම ඔලුවේ ගබඩා කරගෙනෛ ඉන්නේ.අවශ්‍ය වෙලාවට විතරෛ එලියට ගන්නේ.ඇත ගැණු ලමෛන්ගේ නම් හැමදේම නිතරම ඔලුවේ කැරකි කැරකි තියෙනවා.එකනේ එක වේලාවකදී දාහක් ඒවා කියන්නේ.

    06) දැන් ඕන කෙනෙක් ළග ජංගම දුරකථන තියෙනවනේ.පොඩි එකාගේ ළඟ පවා.ඉතින් කට්ටිය නිතරම මල් කඩන එකමෛ වැඩේ.ඒත් දවසින් දවස වයසින් වැඩි වෙනකොට සිතුවිලි වෙනස් වෙනකොට වගකීම් කියන දේ දැනෙනකොට මල් කඩිල්ලට ටිකක් ආයුබෝවන් කියන්න වෙනවා.ආදරේ වෙලාවකට බොලන්දෛ කියනවනේ.ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක් කතාව ටිකක් අඩු කලාම එක ගැන වැරදියට හිතන්න එපා.අපි හැමදාම කෙළිලොල් වයසේ ඉන්නේ නැහැනේ.ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක් පොඩ්ඩක් කාර්ය බහුල උනාම එයාට ඇනයක් වෙන්න යන්නේ නැතුව ටිකක් නිදහසේ ඉන්න දෙන්න.කතා නොකරම ඉන්න බැහැ කියල හිතෙන වෙලාවට තමන් වෙන වැඩක යෙදෙන්න.එතකොට හරිනේ 🙂

    07) ඔය දුරකථන සංවාද වෙලාවක හරිම බයනකෛ.ඇතුවත් බෑ.නැතුවත් බෑ.කතා කරන්න පටන් ගන්නේ මොකෙන්ද අන්තිමට ඉවර වෙන්නේ මේ කොහේදෝ නැති එකකට රණ්ඩු වෙලා.ගොඩක් වෙලාවට ගැණු අයට කතා කරන එකඊ අහන් ඉන්න එකඊ දෙකම එක පාරට කරන්න පුළුවන්.අපි මෙහෙම හිතමු.පිරිමි ළමය මොකක් හරි ප්‍රශ්නයක් ගැන කියනවා වාක්‍යය කියල ඉවර වෙන්න ලැබුණෙ නෑ ගැණු ළමය උත්තරයක් හරි උපදේසයක් හරි දෙන්න යනව.ඒත් එහෙම බාධා කරන්න යන්න එපා කතාව මගදී.ගොඩක් වෙලාවට පිරිමි ළමයෙක් ප්‍රශ්නයක් කියන්නේ උත්තරේකුත් ඒකට හොයාගෙන.ඉතින් බාධා කල කියල ඔන්න රණ්ඩු.ඇත එහෙම කියන පිරිමි ලමෛ කවද හරි හිතුවද ගැණු ළමය කතා කරනකොට තමන් කී පාරක් එයාට එහෙම බාධා කරලා තියෙනවද කියල.ඇත්තටම ගත්තොත් කතාවට බාධා කිරීම වැඩි වශයෙන් සිද්ද වෙන්නේ පිරිමි පාර්ශවයෙන්.එක තමෛ හැටි.

    මොකද පිරිමියෙක් හොයන්නේ තමගේ ජීවිතේට ගැහැනියක් මිසක් තවත් පිරිමියෙක් නෙවෙඉනෙ.නේද? 🙂

  19. ආදරේ හරි පුදුමෛ.වෙලාවකට ආත්මාර්ථකාමී.වෙලාවකට පරාර්ථකාමී.ආදරේ තියෙන්නේ සුන්දර කම විතරමද? කෙනෙක් තව කෙනෙක්ට නපුරුකම් කරන්නේ.රිද්දන්නේ ඒ ආදරේ නිසාම වෙන්න බැරිද? එතන ඔය සුන්දරෛ කියන ආදරේට වැඩ සමහර විට ගැඹුරු ආදරයක් තියෙන්න බැරිද?

    1. wdaraya puduma deyak nemei. me hama deyakama end eka kothanada kiyana ekai prasnaya. kochchara adarai kiyala pissu natuwata……………………… vinadi dahaya viramayen passe ……………………….. me loke gahanu pirimi hamotama oya boru vachanaya thiththa venawa. eka thamaiman hithana widihata atta.

  20. බොහොම හොඳ ලිපියක්. මගේ ලිපියට පිලිතුරු හැතියට ලියල තිබුනු නිසා මේ ලිපියට සබැ‍ඳියක් එක කර තිබුනා නම් මම මේ ලිපිය මීට පෙර දකින්නට තිබුනා 🙂

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: