මකරට සහ තවත් කතා.

දැන් නම් කැම්පස් එකේ නිවාඩුව ඉවරවෙන්න ළඟයි. මේ නිවාඩු කාලයේදී ස්ලිට් එකෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව වැඩමුළු කිහිපයක් සංවිධානය කරන්නට යෙදී තිබුනා. ඒ, ප්‍රතිභා හෙට්ටිආරච්චි මිස්ගේ මූලිකත්වයෙන්. තොරතුරු තාක්ෂණය ඉගෙනගන්න කේතනය වුන හිත් වලට නාට්‍ය හා රංගකලාව වගේ මානව කලාවක් අලුත් රිලැක්සේෂන් එකක් වුනා. හැමෝම බොහොම කැමැත්තෙන් වැඩමුලු වලට සහභාගී වෙත්දී, මම තමයි පළමු වසර සිසුන්ගෙන් එතන හිටි එකම එක කෙනා.

නාට්‍ය පිටපත් රචනයෙන් පටන්ගැනුන දේශන මාලාවන් අංගරචනය, රසවින්දනය වැනි විෂය පථයන් ආවරණය කළා. ඉතිරි කාලය සම්පූර්ණ වෙලා තිබුනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින්. වැඩමුළු සඳහා වෙන් වූ දින අට, ස්ලිට් එකේ තමන් ගත කළ හොඳම දින අට වූ බවයි හැම දෙනාගෙම අදහස වුනේ. අවසන් දින තුනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ක්‍රීඩා සැසි ඉතාමත් නිහතමානීව මෙහෙයවූ සරත් කරුණාරත්න සර්ටත් මෙහිදී විශේෂ ස්තූතියක් පුදකළ යුතුයි.

නාට්‍ය වැඩමුළුවේම කොටසක් විදිහට පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ රඟදැක්වුන චාමික හත්ලහවත්තගේ අලුත් නාට්‍ය නිෂ්පාදනය වුන “මකරට” බලන්න ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය වෙලා තිබුනා. මීට කලින් වේදිකා නාට්‍ය බලල තිබුනත්, ඒ කොළඹ අවට ලයනල් වෙන්ඩ්ට්, එල්ෆින්ස්ටන්, ටවර් හෝල් වගේ තැන්. එළිමහන් වේදිකාවක රඟදැක්වෙන නාට්‍යයක් බලලා තිබුනේ නෑ. අනිත් එක, පේරාදෙණිය සරසවිය. වළට ගොඩවෙන්න කලින් සරසවියෙ ඇස ගැටුන තැන්වලින් පේරාදෙණි සරසවියෙ ලස්සන මැනගන්න පුලුවන් වුනා වගේම. “හන්තානට පායන හඳ”(සිංදුව)ත් මතක් වුනා.

“මකරට” වේදිකා නාට්‍යය සෑහෙන්න සාර්ථක නිර්මාණයක්. චාමික හත්ලහවත්තගේ අනෙකුත් නිර්මාණ වුන “හරි අපූරු දවසක්” වගේ නිර්මාණ ගැන අසා තිබුනත් නරඹලා තිබුනෙ නම් නැහැ. නාට්‍යයේ රංගනයෙන් දායකත්වය දක්වන චරිත අතර ජයලත් මනෝරත්න, නලීන් ප්‍රදීප් උඩුවෙල, සරත් කරුණාරත්න සිටියා. නරඹන්න පෙර කියවූ ලියවිලි වලින් හඳුනාගත් විදිහටම නාට්‍ය කෝලම් සම්ප්‍රදාය ආශ්‍රයෙන් නිර්මාණය වෙලා තිබුනා. නාට්‍යය, යථාර්ථය හා සරල මායාව අතර දෝලනය වන්නක්. මේ දිනවල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන පවතින ක්‍රමය විචාරය කිරීමයි මේ නාට්‍යයෙත් අරමුණ. එය බොහෝ ලස්සනට මෙහි සිදුකෙරී තිබුනා. ජයලත් මනෝරත්නගේ රංගනය මේ වේදිකා නාට්‍යයේදී “විශිෂ්ටයි” කියන්න නම් මට අමාරුයි. නමුත්, තමන්ගේ කොටස බොහොම අපූරුවෙන් රංගනයේ යෙදෙනවා දුටුවා. නාට්‍ය රසික පිරිසක් විදිහෙන්ම නැතිව නාට්‍ය හා රංගකලාව ඉගෙනගන්නා පිරිසක් වශයෙන් මේ නාට්‍ය නැරඹූ අපිට නම් මෙයින් සෑහෙන්න දේ ඉගෙනගන්න ලැබුනා. එහෙම බැලුවාම “මකරට” වේදිකා නාට්‍යය, රංගකලාව අධ්‍යයනයේ යෙදෙන්නන්ට සෑහෙන්න පිටිවහලක්.

මකරට වේදිකා නාට්‍ය ඔබ වේදිකා නාට්‍ය රසිකයෙක් නම් නැරඹිය යුතු වේදිකා නාට්‍යයක්. ඒ වගේම වේදිකා නාට්‍ය නැරඹීම පටන්ගන්නට හිතාගෙන්න ඉන්නවානම්, ඒකටත් හොඳ වේදිකා නාට්‍යයක්. මොකද ඔබ “දොළහක්” වගේ වේදිකා නාට්‍යයකින් රසවින්දනය ආරම්භ කළොත් සෑහෙන්න තැන් වල හිරවෙන්න පුලුවන් නිසා.

නැවත හමුවෙනකන්….

Man of Steel (2013) ගැන කෙටි පෙර වදනක්.

man_of_steel_poster6-610x889

Man of Steel, ඊළඟ ජුනි මාසයේ 14 වෙනිදා චිත්‍රපට ශාලා වෙත නිකුත් වීමට නියමිතයි. මේ චිත්‍රපටියේ නවතම පූර්ව ප්‍රචාරක පටය ඊයේ නිකුත් වුනා. කොහොම නමුත් මේ චිත්‍රපටිය ලංකාවට ආනයනය කරනවාද කියන එක පිළිබඳව නම් දැනුවත් නැහැ.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ “සැක් ස්නයිඩර්” . ඔහු තමයි DC Comicsලාගේ Watchmen චිත්‍රපටිය මීට කලින් අධ්‍යක්ෂණය කළේ. ඒ චිත්‍රපටිය තරමක් අමුතු Super Hero මාදිලියේ චිත්‍රපටියක් වුනා. ඒ වගේම ඔහුගේ තවත් චිත්‍රපටියක් මතක් කළොත් 300.

මම සැක් ස්නයිඩර්ගේ වැඩ සම්බන්ධයෙන් එච්චර Familiar නැති වුනත්, Man of Steel චිත්‍රපටිය පිටිපස්සෙ ඉන්න අය දැකලා මේ චිත්‍රපටිය පිළිබඳව විශේෂ උනන්දුවක් ඇතිවුනා. ඒකයි මේ වගේ කෙටි සටහනක් ලියන්නේ.

චිත්‍රපටියේ කතා පිටපත ලියන්නේ දෙන්නෙක්. ඒ,
Davis S. Goyer සහ Christopher Nolan.

මේ දෙන්නාම තමයි දැනට IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ අංක 6ට ඉන්න Batman: The Dark Knight චිත්‍රපටියේ තිර පිටපත ලියන්නේ. Dark Knight චිත්‍රපටිය නරඹලා නැති නම්, ජීවිතෙන් භාගයයි. 😛

Goyer ගැන කතා කරනවානම් මේ දිනවල රූපවාහීනි වල ප්‍රදර්ශනය වන Alternative History මාදිලියේ ෆැන්ටසිමය රූපවාහිනී කතා මාලාවක් වෙන Davinci’s Demons කතා මාලාවේ රචකයාද ඔහුයි.

නෝලන් ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍යද? නෝලන්ගේ චිත්‍රපට පිටපත් අතර කලින් කිව්ව Dark Knight චිත්‍රපටයට අමතරව Inception, The Prestige, Batman Begins, Dark Knight Rises, Memento චිත්‍රපට ඇතුළත්. මේ හැම චිත්‍රපටයක්ම පාහේ බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනාගත් චිත්‍රපටි.

චිත්‍රපටයේ සංගීතය Hans Zimmerගෙන්. Hans Zimmer ගැන දන්නෙ නැතිනම්, මේ තියෙන්නේ Inception චිත්‍රපටි පසුබිම් සංගීතයේ එක් කොටසක Live Performance එකක්!

ඉතින් ඉහත කී කාරණා නිසා මේ චිත්‍රපටිය බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනාගන්න සමත් වී අවසන්. චිත්‍රපටියේ පසුබිම් සංගීතය  ජුනි 11 වෙනිදා නිකුත් වීමට නියමිතයි.

නිල වෙබ් අඩවිය | IMDB පිටුව | Rotten Tomatoes පිටුව | Wikipedia පිටුව

සබඳ අපි කඳු නොවෙමු

සබඳ, අපි කඳු නොවෙමු…
උනුන්… පරයා නැගෙන.
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන. 🙂

සබඳ, අපි කඳු නොවෙමු.
උනුන්… පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන..

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැළයට වසින

සබඳ, අපි කඳු නොවෙමු.
උනුන්… පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන..

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන!!!

සබඳ, අපි කඳු නොවෙමු.
උනුන්… පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන..

සබඳ, අපි කඳු නොවෙමු.
උනුන්… පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකම… ගඟකට වැටෙන..

මේ සින්දුව බොහොම රෝමාන්තික විදිහට ලංකාවෙ දේශපාලන වේදිකා වල  මිනිස්සු ගොනාට අන්දන්න භාවිතා කරපු එකක්. ඒත් ගොනාට ඇඳගන්න තරම්ම ඒ සින්දුව මාර ලස්සනයි සහ අර්ථවත්.

මට සින්දුවේ දේශපාලනය ගැන කතා කරන්න ඕනේ  නැහැ. මට කතා කරන්න ඕනෙ සින්දුව ගැන විතරයි. ඒ අස්සෙ මගේ දේශපාලනය එලියට එන්න පුලුවන්. එතකොට සොරි.
සින්දුව කියන්නෙ ගුණදාස කපුගේ.  සින්දුව ලියන්නේ දර්ශන මේදිස්. දර්ශන මේදිස්ගෙ එකම ගී පද රචනය මේක කියලත් මම අහල තියෙනවා. සින්දුව ගැන Google සෙවීම් අතරෙන් ලැබුන බූන්දි වෙබ් අඩවියෙන් තියෙන දර්ශන මේදිස්ගේ කෙටි සටහනකින්ම මම කලින් කී කාරණාව ඔප්පු වෙනවා.

මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි
-කතෘ

http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=985

අපේ තරුණ පරම්පරාව ඉදිරියේ හිටිය දැවැන්ත ප්‍රතිරූප සියල්ල අපිව දාලා යන්න ගිහින් වැඩි කාලයක් නෙවෙයි. ගුණදාස කපුගේ, හෙන්රි ජයසේන, ප්‍රේමසිරි කේමදාස ඒ අතරින් ටික දෙනෙක්. ඉතින් අපිට වෙනත් රටවල දැවැන්ත ප්‍රතිරූප හොයාගෙන යන්න වෙලා. ඉතින් ඒකට මේ සිංහල බෞද්ධ සහෝදරවරු අපිට කලු සුද්දෝ, නයිට්ක්ලබ් බෞද්ධයෝ කියල කොන් කරනවා. මම පුද්ගලිකව ඒ කොන් කිරීමට කැමතියි.
එහෙව් මොහොතක ලාංකීය සමාජය ඉදිරියේ මහා ප්‍රතිරූප වෙලා ඉන්නෙ දේශපාලන වෘත්තියේ නියැලී සිටින්නන් සහ මෙලෝ රහකට නැති නලු නිලියන්. අන්තිමට අපිට අපිව නියෝජනය කරන ඇඟ විකුණන වේසාවන්ට ඡන්දය ප්‍රකාශ කරන්න වෙලා.

මේක හරි විහිලුවක්. අපිට අලුත් සමාජයක් ඕනෙ. ඒ සමාජය ඉහත කී ගීයෙන් නිරූපනය වෙන සමාජය වෙන්න ඕනෙ. ධනපති ක්‍රමය ඇතුළෙ තමන් කැමති මඟුලක් සඳහා තරඟ වැදුනට කමක් නෑ. ඒ තරග වඳින අතරෙ මනුස්සකම අමතක කරන්න එපා. මුස්ලිම් මූලධර්මවාදීන්ට රට ආක්‍රමණය කරන්න නොදෙනවා වගේම ඔවුන්ගෙ ව්‍යාපාර වලට ගරු කරන්න පුරුද්ද තියෙන්න ඕනෙ. ශ්‍රී ලංකාවෙ උපත ලද පුරවැසියෙක් නම් කලු සුදු හෝ ලේ වර්ගයේ බේදයකින් තොරව අනිත් එකා එක්ක මූන බලල හිනාවෙලා කතා කරන්න ඉඩක් තියෙන්න ඕනෙ. එහෙම නැත්තන් ඔයාට ලංකාවෙ නෙවෙයි ලෝකෙ කොහෙවත් පය ගහන්න තියෙන අයිතියට ඔයා කරන්නෙ පට්ට නින්දාවක්. නිග්‍රහයක්.

බ්ලොග්?

මේක මේ සිංහල භාෂාව හා තොරතුරු තාක්ෂණය සම්බන්ද කතාවක්. දැන් උසස් පෙළටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම් කෙරෙනවා නෙව. ඔය අතරෙ මුනගැහෙනවා මෙලෝ රහක් නැති සිංහල වචන. උදාහරණයක් විදිහට ROM එකට කියන්නෙ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය කිව්වම ROM එකක් මැවිල පේනවාද?

නෑනෙ.

වචනයක් වුනාම ඒකෙන් අර්ථ දක්වන රූපය මවාගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඉතින් ඒ මවාගැනීම පහසුවෙන තරමට භාෂාව සරල වෙනවා වාගේම ඉගෙනීමේ ක්‍රියාවලියත් පහසු වෙනවා.

අටවක පුත්තු පොතේ මෙහෙම තියෙනවා. [SPOILER ALERT]

රෙජින නෝන බයිසිකලයෙන් බැහැලා මං ලඟට ඇවිත් “ගං මෙහාට ඕකගෙ මැනික් කටුව” කිව්වා. ඔය මැනික් කටුව කියන්නේ අපේ ඇඟේ තියෙන විකාරම තැන. කකුලෙ එහෙම තැනට වලලු කර කියලා අතේ එහෙම තැනට මැනික් කටුව කියන්නේ මොකද? සිංහල භාශාව හදපු එකා භාශා විද්‍යාව මොනව දැනගෙන හිටියත්, පාශාන විද්‍යාව ගැන මොන මඟුලක්වත් දන්නෙ නෑ. ඒ විතරක්යැ. පෝෂන විද්‍යාව ගැන උගේ දැනුමත් ඔහොම තමයි. නැත්තන් අර කකුලෙ අහවල් තැනට බත් කෙන්ද කියයියැ? කකුලෙ කොහෙද බත්?

ඉතින් ඔය වගේ සිංහල භාෂාවේ සමහර වචන හරිම පැටලිලි සහගතයි. ඉතින් “බටහිර දැනුම” ඉගෙනගන්නවා නම්, මුලින් ඉංග්‍රීසි දැනුම තියෙනවානම් එතනින් එහාට ඒ දේවල් ඉගෙනගැනීම හරි පහසුයි.

වටින් ගොඩින් කියාගෙන ආවෙ මට මේ ළඟදි ඉඳලා “බ්ලොග්” කියන වචනය අල්ලන්නෙ නැතුව ගියා. සිංහල පත්තර වල “බ්ලොග්” ගැන ලිපි දැක්කාම කියවන්න හිතුනෙත් නෑ. බ්ලොග් වලට වඩා සරල සිංහල වචනයක් යොදාගන්න බැරිද කියන ප්‍රශ්නෙ තමයි මට දැන් තියෙන්නේ. මුලින් ඕකට “වියුණ” කියන වචනය පාවිච්චි කරමු කියල යෝජනාවක් ආවත්, ඒක එහෙම්ම නැති වෙලා ගියා. ආණ්ඩුවෙනුයි මයික්‍රොසොෆ්ට් එකෙනුයි එකතුවෙලා මුද්‍රණය කරපු තොරතුරු සන්නිවේදන තාක්ෂණ වදන් මාලාවෙත්, බ්ලොග් කියන වචනය නිල වශයෙන් පිළිඅරගෙන තිබුනා. ඒත්… මේ බ්ලොග් කියන වචනය… සාමාන්‍ය පාඨකයන්ට ළඟා කරවන්න පුලුවන් වචනයක්ද කියලා හිතේ ප්‍රශ්නයක් තියෙනවා.

බ්ලොග්, බ්ලොග්කරුවෝ, බ්ලොග් ලියන්නෝ, බ්ලොග්කරණ තරගාවලිය වගේ ලියැවීම් ජුගුප්සාජනක (මෙලෝ රහක් නැති) හැඟීම් ඇති කරන්නේ මට විතරක්ද?

/*NO COMMENTS*/

කැම්පස් එකේ පළමුවෙනි සෙමෙස්තරය ඉවරයි. මේ දවස්වල විභාගෙ. ඒකෙනුත් විෂයන් හතරක් ඉවරයි. මේ හැමදේම සිදුවෙන අතරේ තමයි මේ ලිපිය ලියන්න හිතුනේ. ලිපි විතරක් නෙවෙයි. ජීවිතය වුනත් අලුතෙන් ලියවෙන කාලයක් මේ.

කැම්පස් එකේ මුහුනදෙන අත්දැකීම් සහ යොවුන් වියේ උච්චතම කාලයේ අත්දැකීම් අකුරු වලට හැරවීම බොහොම සියුම් වැඩක්. ලියුවාට විතරක් මදි නෙව. ඒව කියවන්න පුලුවන් වෙන්නත් ඕනෙ. කියවීම පාඨකයින්ට භාරයි. සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන්අරගෙන දැනට අවුරුදු 5කට ආසන්නයි. මේ කාලය ඇතුළත සිදුවූ සිදුවීම් ජීවිතය බොහෝ වෙනස්වීම් වලට ලක් කිරීම ආශ්වාදජනකයි. ඒ කියන්නේ ලිවීම ඇරඹීම සහ ජීවිතය වෙනස්වීම ඇරඹීම සමපාත වීම හරිම සහසම්බන්ධයි.

අන්තර්ජාලයට ලිවීම නිසා එක අතකින් යතුරු ලියනය වේගවත් වුනා කිව්වොත් හරි. සිංහල යුනිකෝඩ් සමූහයෙන් පටන් අරගෙන, එළකිරි ඩොම් කොම් එකේ සැලකිය තරම් නොහැකි කුඩා කාලයකුත්, ඊට පස්සෙ සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයත් ඇතුළෙත් එකිනෙකා සමඟ අතත්‍යව හඳුනාගත් මිත්‍රකම් තවමත් තියෙනවා. ඒ මිත්‍රකම් වල සමහර උදව්වල ණය නැවත ගෙවීමට නොහැකිවීම කණගාටුවට කරුණක්. අධ්‍යයන කටයුතු වලින් නිදහස් වූ වහාම ඒ වැඩෙත් කළ යුතුයි.

අවුරුදු උත්සව, සහ නොයෙකුත් හමුවීම් වලට නම් වැඩි කැමැත්තක් නැහැ දැන්. විශේෂයෙන්ම ප්‍රසාරණය වෙලා තියෙන සිංහල බ්ලොග් අවකාශයේ තියෙන ගුණාත්මක අවපාතය නිසා අදහස් දක්වන්න වුනත් හිතෙන්නේ නැහැ. බ්ලොග් කියන්නේ ජීවිතේ නෙවෙයි. බ්ලොග් කියන්නේ පොරත්වය නෙවෙයි. කීබෝඩ් එකෙන් ෆේස්බුක් එකෙන් එහාට තථ්‍ය ජීවිතයක් තියෙනවා යැයි හැමෝම තේරුම්ගත යුතුයි. ඒ වගේම අනන්‍යතා අර්බුද හඹා යෑම, සෙක්ස් ඇරියස්, හලාල් ප්‍රශ්න වගේ අනවශ්‍ය ප්‍රශ්න නිසා ලංකාවෙ මිනිස්සුන්ගෙ දූපත් මෙන්ටැලිටි එක එලියට එනකොට ඒක හරිම විකාර රූපී සහ ජුගුප්සාජනක දෙයක්.

අපි මේ වටකරගෙන පාලකයන්ට බැන්නාට මිනිස්සුන්ගෙ හැටියටයි පාලකයෝ. දූෂකයින්/ඝාතකයින් නිදැල්ලේ සිටියදී පාසල් ගාස්තු ගෙවාගැනීමට පොල් ගෙඩි අහුලන ගෑනු ළමයෙක් ලක්ෂ ගණන් ඇප දී බේරගන්න වෙනවා. පත්තර වල තව දුරටත් තියෙන්නෙ සෙක්ස් කතා සහ මන්තර ගුරුකම් ගැන විතරයි. මේ අතරෙ Google ආයතනය ලංකාවෙ මිනිස්සු සෙක්ස් වලින් අංක එකට පත් කරනවා. (සෙක්ස් සොයන්නන්!)

බ්ලොග් වලින් වුනත් ප්‍රතිරූපනය වෙන්නෙ මේ විකාර රූපී සමාජයම තමයි. මාත් ඒ විකාර රූපයට අයිතියි. මීට ටික කාලයකට කලින් පටන්ගත්ත වේදිකා නාට්‍ය ට්‍රෙන්ඩ් එක වුනත් දැන් ඩවුන්. වැඩේ කියන්නෙ විශ්ව විද්‍යාල වල මානව විද්‍යා ඉගෙන ගන්න උනුත්-නාට්‍ය කාරයොත්, ආදරය ගැන කවි ලියන උනුත් හලාල් ප්‍රශ්නය ගැන බැරෑරුම් දෑ සමාජ ජාල වල ෂෙයාර් කිරීම දකින්න ලැබෙන එක. ඒ කියන්නෙ අධ්‍යාපනයේ හිලක්.

අධාපන ප්‍රතිසංස්කරණ කිහිපයකට කලින් තිබූ පාඨ ග්‍රන්ථ සහ සහ දැන් පාසල් සිසුන්ගේ පාඨ ග්‍රන්ථ සැසඳීමෙන් මේ විකෘතියේ මූලාශ්‍ර සොයාගන්න පුලුවන්. පිට කවර ලස්සන වුනාට, ඇතුළ හිස්.

අවසන් වශයෙන් චිත්‍රපටි කිහිපයක් රෙකමදාරු කරන්නම්.

  • Inglorious Bastards.
  • Good Will Hunting.
  • Memento.
  • The Last Samurai.
  • V for Vendetta.
  • The Perks of Being a Wallflower.
  • Django Unchained.
  • X-Men First Class.
  • The Truman Show.

ප්‍රේම පාරමිතාව.

මේක මේ මම ලියපු එකක් නොවෙයි. මටම කියල දෙයක් ලියාගන්න බැරි නිසා උපුටා ගත්තා පද පේළියක්. පොත බත්තලංගුණ්ඩුව. පොත ලියන්නේ මංජුල වෙඩිවර්ධන.
පොතේ කතාවේ හැටියට ලියන්නා මේ පද පේළි උපුටාගන්නේ බයිබලයෙන්. බයිබලය කියවලා නැති නිසා සහ කතාවට අකුරු පැටලිලා තියෙන එළිසමයෙන් පද එළියට ගලවාගන්න බැරි නිසා මට හිතාගන්න බැරි මේ පද පේළි ඇත්තටම බයිබලයේ තියෙන ඒවාද නැතිනම් මංජුල වෙඩිවර්ධනගේ හිතෙන් ලියවුනාද කියලයි.

උපුටාගැනීම ඇරඹේ…

ප්‍රේම පාරමිතාව
මා මිනිසුන්ගෙන් ද, දේව දූතයන්ගේද,
භාෂා වලින් කතා කරතත්
ප්‍රේමය මට නැත්නම්
මම ගෝෂා කරන ඝණ්ඨාරයකට හෝ,
කටුක රාවය දෙන
කයිතාලමකට හෝ සමාන වෙමි.
දිවැසි වැකි දෙසීම වරම මට තිබුණත්
සියලු අභිරහස් ගැන අවබෝධයක් ද
සකල ඥානයද මට ඇතත්
කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්
ප්‍රේමය මට නැත්නම්
මම හිස් තැනැත්තෙක්මි.

දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්,
මගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්
ප්‍රේමය මට නැත්නම්
මට කිසි පලක් නැත.
ප්‍රේමය, ඉවසිලිවන්තය; කරුණාවන්තය;
ප්‍රේමය ඊර්ෂ්‍යාව වන්නේ නැත.
පාරට්ටු කරගන්නේ නැත.
උඩඟුවන්නේ නැත.
ප්‍රේමය, අවිනීත නොවේ.
ආත්මාර්තකාමී නොවේ.
හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගයි.
ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවේ.
හරි දේ ගැන ප්‍රීති වේ.
ප්‍රේමය, සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත.
බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනියකය.
දිවැසි වැකි වුවද පහව යන්නේ ය.
විවිධ ශබ්ද දෙසුම් වුවද නිම වන්නේ ය.
ඥානයද නැතිවන්නේ ය.
මන්ද අපේ ඥානය අසම්පූර්ණය.
දිවැසි වැකි දෙසීම ද අසම්පූර්ණවය.
සම්පූර්ණ දේ පැමිණි විට
අසම්පූර්ණ දේ පහව යන්නේ ය.

ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි.

උපුටාගැනීම අවසන් වේ.

සෑහෙන දවසකට කලින් කියවීම පටන්ගත්ත බත්තලංගුණ්ඩුව ඉවරවුනේ අද උදේ. ලැබ් රිපෝර්ට්, ව්‍යාපෘති මැද ගෙවෙන ජීවිතේ ඒකාකාරී නෑ. ඒත් මොකක්ද ඩිප්‍රෙස් ගතියක් තියෙනවා.

ඇයි දන්නෑ. වෙලාකට මැරෙන්න හිතෙනවා. 😛

සින්දු කතා.

සංගීතය කියන්නේ ජීවිතය ආශ්වාදනය කරන්න දෙවියන්වහන්සේ මැවූ දිව්‍යමය දායාදයක්ලු. ජීවිත කතා සින්දුවලට හැරවිලා සංගීතයත් එක්ක මිශ්‍ර වෙනකොට ජීවත් වෙන්න රාගයක් ඇතිවෙනවා. ඒ කියන්නෙ ජීවිතය පිළිබඳ ආදරයක්. ලස්සන සින්දු ටිකක් ලැබුනා. ෂෙයාර් කරන්න හිතුනා. කෑමක් කනකොට වුනත් බෙදාගෙන කනකොටයි රහ. කෙනෙක්ගෙ සංගීතය පිළිබඳ ආශාවන් විවිධ වුනත්, බෙදාගෙන සින්දු අහනකොටයි රහ.

සින්දුව නම් මට තේරුනේ නෑ. දෙමළ නිසා. ඒත් සින්දු රස විඳින්න භාෂාව කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. Google කරොත් ගී පද වල ඉංග්‍රීසි පරිවර්තනය හොයාගන්න පුලුවන් වෙයි. 🙂

මම Metallica අහන්න පුරුදු වුනේ මේ සින්දුවෙන්. මට තාම අනිත් Metallica සින්දු ඇල්ලුවේ නෑ. ඒත් මේක ලස්සනයි. සින්දුව පටන්ගනිද්දි ඇහෙන ගිටාර් වාදනය මට Colombo Colombo වේදිකා නාට්‍යයේ අහන්න ලැබුනා මතකයි. ඉතින් මට ආයෙමත් Colombo Colombo බලන්න හිතුනා. සින්දුවේ තේරුමත් මාරම ලස්සනයි. කියවලා බලන්න. මටත් එහෙමයි ආදරය කරන්න හිතුනේ. 🙂

 

මේ සින්දුව සිරා. ඇයි කියන්න තේරෙන්නෙ නෑ. :/

 

අටුවා ටීක අවශ්‍ය නැතැයි සිතමි. 🙂

 

අන්තිමට මේ හලාල් කරපු සින්දුවක්. මට ඇහෙන්නෙ ඉස්ලාම් භක්ති ගීයක් වගේ. ඉස්ලාම් ආගම ගැන දැනුම මදි නිසා සහ සින්දුවේ පද නොතේරෙන නිසා වැඩිය මුකුත් කියන්න බෑ. සින්දු පහෙන් දෙකක්ම A. R. Rahmanගේ වීම හරිම සාමාන්‍යයි. 🙂

ඉතින් නැවත ලියනකන් රසවිඳින්නැයි ඉල්ලා සිටිනවා. 🙂

කුරුලු කුමාරයා

ඔන්න එකමත් එක රටවල් දෙකක බොහොම කඩවසම් කුමාරයෙක් සහ කැතම කැත කුමාරිකාවක් ජීවත් වුනා. කුමාරයාගෙ රාජධානියට අසල්වැසි රාජධානි වල ලස්සන කුමාරිකාවන්ගෙන් කුමාරයාට විවිධාකාරයේ විවාහ යෝජනා ආවත් කවුරුත් නොදන්න හේතුවක් නිසා කුමාරයා ඒ විවාහ යෝජනා වලට කැමති වුනේ නැහැ.

මේ කාලෙ තමයි කොමියුනිස්ට්කාරයෝ රාජාණ්ඩු වලට එරෙහිව කැරලි ගහන්න පටන්ගත්තේ. කුමාරයාගේ රටේ වගේම අසල්වැසි රාජධානි වලත් රාජාණ්ඩු වල රජ පවුල් සිරභාරයට ගනු ලැබෙනවා. අවාසනාවට අර ලස්සන කුමාරිකාවෝ හැම දෙනෙක්ම වගේ සිරභාරයේදී කොමියුනිස්ට්කාරයෝ අතින් දූෂණය වෙලා මරා දැමෙනවා. කුමාරයා දූෂණය කරන්න නම් කවුරුවත් එන්නෙ නෑ.

මේ කුමාරයාට මිතුරියක් හිටියා. ඇය තරුණ මන්ත්‍රකාරියක්. මිතුරියක් කිව්වාට ඉතින් කුමාරයාගේ හිතේ නම් ඈ ගැන තිබුනෙ ආදරයක්. ඒ වුනත් රාජාණ්ඩුවේ නීති අනුව කුමාරයාට රාජ්‍යය හිමිවෙද්දි ඔහුට අයිතිවෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය විතරයි. රැජිනටයි භූමියේ බලතල හිමිවෙන්නේ. ඉතින් කොහොමත් මිනිස්සු තුළ මන්ත්‍රකාරියන් ගැන තිබුනෙ පැහැදීමක් නොවෙයි නිසා, මේ දෙන්න කවදාවත් එකතු වුනේ නම් නෑ.

සිරගෙයි හිර වෙලා හිටපු කුමාරයා බේරාගන්න, මන්ත්‍රකාරිය මේ කුමාරයාව කුරුල්ලෙක් කරනවා. කුරුලු වෙස්ගත්ත කුමාරයා හිරෙන් පැනලා යනවා. බොහෝ දින ගණන් පියාසර කරන කුරුලු කුමාරයා අන්තිමට එන්නෙ අර කැත කුමාරියගෙ රාජධානියට. කොමියුනිස්ට්කාරයන්ගේ කැරැල්ල පරාජය කරන්න සමත් වුනේ මේ රාජධානිය විතරයි. රාජාණ්ඩුව විසින් කැරලිකාරන්ව සමූල ඝාතනය කරලා නැවත රාජාණ්ඩුව පිහිටවනවා. තමන් ඇතුළුවන්නේ රජ උයනටයි නොදන්නා කුරුලු-කුමාරයා උයනේ මදක් නැවතිලා ගිමන් හරිනවා. ඒ අතරේ තමන්ට අර මන්ත්‍රකාරිය ගැන හිතේ තිබුන ආදරය ගීතයක් බවට ප්‍රකාශ කරලා ගායනා කරනවා.

උයනෙන් ඇහෙන කුරුලු ගී හඬට වහ වැටුන කුමාරිකාව රාජ පුරුෂයෝ යොදවලා කුරුලු-කුමාරයාව අල්ලලා කූඩු කරනවා. කෑම බීමත්, ආරක්ෂාවත් තියෙන නිසා… මන්ත්‍රකාරිය ඇවිත් බේරාගනිවී යැයි හිතාගෙන කූඩුවේ ජීවිතයට කුමාරයා පුරුදු වෙනවා. ඔහොම අවුරුදු ගතවෙන අතරෙ කොමියුනිස්ට් විප්ලවේ ප්‍රධාන සාමාජිකයෙක් එක්ක මන්ත්‍රකාරි විවාහ වෙන්න තීරණය කරනවා.

කල්ගතවෙද්දි කූඩුවේ ජීවිතය එපාවුන කුරුල්ලා සින්දු කියන එකත් නතර කරනවා. වැඩකට නැති කුරුල්ලාව කුමාරියටත්, රජ මාලිගාවේ සේවකයින්ටත් අමතක වෙනවා. කලට වේලාවට ආහාර හා සැලකිලි නොලැබෙන කුරුල්ලා අන්තිමේ ඇස් පියාගන්නවා… රටේ කලබල ඉවරවුනත්, අරාජිකත්වය සහ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයේ දුර්වලතා නිසා රටේ බලය අස්ථාවර වෙනවා. බලය සඳහා රටේ සීතල යුද්ධයක් ඇවිලෙන මොහොතේදී, මන්ත්‍රකාරිය තීරණය කරනවා ගිහින් කුමාරයාව බේරගන්න. ඒත් එතකොට ඈ ප්‍රමාද වැඩියි. ඇගේ ඉදිරිපිටදී කුරුලු-කුමාරයා අවසන් හුස්ම හෙලනවා.

මළ පුද්ගලයෙකුට නැවත ජීවිතය දීම බොහොම අපහසු කාර්යයක්. ඒ සඳහා ජීවත් වන පුද්ගලයෙක් මිය යා යුතුයි. මිය යන පුද්ගලයාගේ ආත්මයද බොහෝ බලගතු හා මියගිය පුද්ගලයාගේ ආත්මයට සම්බන්ධ විය යුතුයි. එහෙම හිටියේ මන්ත්‍රකාරිය විතරයි. ඒත් ඒ වෙනකොටත් ඇයට බලාගන්න පවුලක් තිබුනා. මායා ගින්නෙන් පුළුස්සන කුරුලු-කුමාරයාගේ අළු රැගෙන නැවත මව්බිමට එන ඈ, භූමියේ අළු නිදන් කරනවා.

මම කවුද?

බුදුන් කීවේ මම යැයි කියා දෙයක් නැතැයි කියාය. මට මගේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇත. මම සිංහලද, දෙමළද, ශ්‍රී ලාංකිකද එසේත් නැතිනම් නිකන්ම නිකන් මනුස්සයෙක්දැයි යන්න මට ප්‍රශ්නයකි. මගේ මිතුරන් ඔවුන් කියාගන්නා ජාතියේ නිසා ඔවුන්ගේ ජාතිය ගැන මට ප්‍රශ්නයක් නැත. ඉතින් මට සිංහල මිතුරෝද, දෙමළ මිතුරෝද, මුස්ලිම් මිතුරෝද, බෞද්ධ මිතුරෝද, කතෝලික මිතුරෝද වෙති. ඔවුන්ගේ ජාතියෙන් මට වැඩක් නැත.

“ආදරය කරනවානම් මචං දෙමළ කෙල්ලෙක්ට ආදරේ කරපං. උන්නං පණ වුනත් දෙයි.” මිතුරන් එසේද කියයි. අපේ තාත්තාද මට හොයන්නේ දෙමළ කෙල්ලකි. ජාතියක් අනුව ආදරයේ ස්වභාවය වෙනස්වන අයුරු මට ප්‍රශ්නයකි. ඒත් දෙමළ කෙල්ලන් හොඳ බව මමද සිතමි.

මගේ උප්පැන්න සහතිකයේ බෞද්ධ බව සඳහන්ය. නමුත් මා පන්සලකට ගිය කාලයක් මතක නැත. ගංගාරාමයට යන්න නම් කැමතිය. හැම පන්සලකම පරිසරයට මම කැමැත්තෙමි. ඒ නිස්කලංක බව නිසාය. දිනක්  බසයේ ගමන් කරද්දි වයස්ගත චීවරධාරියෙක් පන්සලට එන්නැයි යෝජනාවක් කළේය. මට මා ගැනම පිළිකුල් හැඟීමක් ඇති විය.

මම මස් අනුභව කරමි. ඒවාට හලාල් තිබේදැයි, නැතිදැයි මට අදාළ නොවේ. මම ඒ ලකුණ තිබේදෝ හෝ නැත්දෝ හෝ බලන්නේ නැත. එසේ නොබැලුවා කියා තවම නිෂ්පාදයනයක් හේතුවෙන් මට කිසි අසනීපයක් හැදී නැත. ඉතින් මගේ සෞඛ්‍ය තත්වය හොඳයැයි මම සිතමි. බෞද්ධ හිමිකාරීත්වය ඇතැයි පැවසෙන ඔඩෙල් ඇඳුම් මට මිල වැඩිය. සමහරවිට ඔඩෙල් එකට නොයන්නේම නොවේ. නමුත් නෝ-ලිමිට් එකේ ඇඳුම් මට ලාභය. ඇඳුම් පැළඳුම් වලට – ආහාර වලට මොන ආගමක්දැයි මට සිතේ. ඒ මගේ හැටිය.

අවසානයේ මා, උත්පත්තියේදී ප්‍රභාෂ්වරව තිබූ සිත වයස විස්සක් තුළ නොයෙකුත් දෙයින් කිළිටි වූ තවත් එක් මිලේඡ්ච මිනිසෙක්යැයි සිතේ. මම හොඳද නැත. ඇති නරකකුත් නැත.

ස්ලිට් එකේ කතා


සුදාරකට පොඩි කාලෙ ඉඳල ඕනෙ වෙලා තිබුණා කැම්පස් එකකට යන්න. ඒ කියන්නෙ කැම්පස් වටපිටාවක ඉගෙනගන්න. මේ කාරණේ නිසා වෙන්න ඇති සුදාරක උසස් පෙළ පටන්ගත්ත ගමන් “කැම්පස් වන්දනා කිරීමේ ගාථාව” ලියන්නේ. කොහොම වුනත් සුදාරකට රජයේ විශ්ව විද්‍යාලයකට නම් යන්න ලැබෙන්නෙ නෑ, බාහිර උපාධියක දෙවෙනි අවුරුද්දෙ හිටියත්.

සුදාරක යන්නෙ ස්ලිට් එකට. ඒ, කලින් කිව්ව වගේ කැම්පස් වටපිටාවක ඉගෙනගන්න ඕනෑකම තිබුන නිසා. ඉතින් පසුගිය නොවැම්බර් 19වෙනිදා සුදාරක ස්ලිට් එකේ ජීවිතේ පටන්ගත්තා.

කතා ලියන්න තරම් සුදාරක ස්ලිට් එකට අලුත් වැඩියි. තාම සතියයි. තාම ඉන්නෙ නම්නීකරණ පියවරේ දේශන වල. ස්ලිට් එකේ දේශණ වල තත්වය ඉහළයි සහ දේශණ කරන ආචාර්යවරු නව උපක්‍රම භාවිතා කරන්නට බොහෝ පෙළඹීමක් දකින්න පුලුවන්. කොහොමහරි තාම ඉස්කෝලෙ පුරුද්දට ආචාර්යවරු දැක්කම ආයුබෝවන් කියන්න හිතෙනවා. 🙂

නම්නීකරණ වැඩසටහනේ ගණිතය පිළිබඳ දේශණ කරන්නේ බොහොම සැර ආචාර්යවරියක්. උසස් පෙළට ගණිතය කරපු අයට බනින හැටි නම් අහගෙන ඉන්න අමාරුයි. 😛 ඒ වගේම රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගත්තු අයවත් පෙන්නන්න බෑ. ඒකට හේතුව නම් තවම දන්නෙ නෑ. ඒත් දේශණ සහ ඉගැන්වීම් බොහොම හොඳයි. ශිෂ්‍යයෝ ශිෂ්‍යාවෝ නම් මැඩම්ට කැමති වැඩිපුර රාජකීය විද්‍යාලයට බනින නිසා වෙන්න ඇති. කොහොමහරි දේශණ වල ඉඳිද්දී සහ ස්ලිට් එක ඇතුළෙ ඇවිදිද්දී නම් 3 Idiots චිත්‍රපටිය නිතරම මතක් වෙනවා. 😛 (විශේෂයෙන්ම වීඩියෝවේ 0:07)

ස්ලිට් එකේ නවක වදය නම් නැහැ. මම ස්ලිට් එකට එනවා කියල දැනගත්ත වෙලාවේ ඉඳල කට්ටියගෙන උපදෙස් ලැබුනෙ ස්ලිට් එකට දේශපාලනේ නම් ගේන්න එපා කියල. කොහොමවුනත් අපි හැමෝටම පුද්ගලිකව දේශපාලනයක් තියෙනවා වුනත් (ලංකාවේ) කැම්පස් ඇතුළෙ කණ්ඩායම් හදාගෙන දේශපාලනය කිරීම, කරන ආකාරය පිළිබඳව මගේත් එච්චර කැමැත්තක් නැහැ.

ස්ලිට් එකත් ප්‍රාථමික වශයෙන් අනෙක් හැම විශ්ව විද්‍යාලයක් වගේම තමයි. ශිෂ්‍ය සංගමයකුත් තියෙනවා. ඒ වගේම පොඩි සම්ප්‍රදායන් කිහිපයකුත් තියෙනවා වගෙයි පේනේනෙ… අලුත් සිසුන්ට නම් ඉංග්‍රීසි පිළිබඳව නම් පොඩි ගැටලුවක් තියෙනවා වගේ. මම ඒ අයත් එක්ක සිංහලෙන් කතා කරනකොට ඒ අයට සෑහෙන්න අවුල්. (තාම)

ප.ලි: ඒ අස්සෙ ගෑනු ළමයෙක් මට බයවෙලා මම එයාට කැමතියි (වගේ පෙන්නපු) නිසා. කොහොමවුනත් මගේ අදහස නම් ඉගෙනගන්න තැනින් නම් ඒ වගේ මුකුත් සම්බන්ධයක් නොතියාගන්න. නැත්තන් මට ඕකෙ ඉන්න හම්බවෙන්නෙ නෑ. මම මේ කල්පනා කරන්නෙ අර ගෑනු ළමයව ෂේප් කරගන්නෙ කොහොමද කියල. Any Tips? මම බැලුවෙ ආයෙ කතා නොකර ඉන්න. 😀