Categories
වේදිකා නාට්‍ය

නැරඹිය යුතු වේදිකා නාට්‍ය කිහිපයක්

ඔබ “කොලොම්​බො කොලොම්​බො” වේදිකා නාට්‍යය නරඹා තියෙනවද? අවාසනාවකට දැන් ඒ නාට්‍ය වේදිකා ගත නොවුනත්, මීට අවුරුදු අට නවයකට පෙර ඒ වේදිකා නාට්‍යය ලංකාවේ වේදිකා නාට්‍යවලට එකතු කරේ අමුතුම ජවයක්. මේ වේදිකා නාට්‍යයේ වීඩියෝවක්වත් දැන් සොයාගන්න​ට නැහැ. වේදිකා නාට්‍ය ගැන ඉගෙනගන්න අය වෙනුවෙන් සිංහබාහු, මනමේ නැවත නැවතත් නිෂ්පාදනය වෙද්දි, සාපේක්ෂව මෑත කාලයේ නිෂ්පාදනය වූ වේදිකා නාට්‍යයක් වේදිකාවෙන් ඉවත්ව යාම ශෝකය​ට කරුණක්.

මේ වේදිකා නාට්‍යයෙන් පසුව, එතරම් ජවසම්පන්න නාට්‍යයක් නොදැක්ක තරම්. වේදිකා නාට්‍යයක්ම ​නොවුනත් මෑතකදී ප්‍රදර්ශනය වූ “ගෝඨයිම්බර කෝලම”ත් සෑහෙන්න හොඳ නිර්මාණයක්. එයත් දැන් ප්‍රදර්ශනය වන්නේ නැහැ. හැබැයි YouTube වීඩියෝවක්නම් හොයාගන්න පුළුවන්.

ගෝඨයිම්බර කෝලම නිෂ්පාදනය කරන්නේ ඩෙනිස් පෙරේරා. ශ්‍රී ලංකාවෙ ශාන්තිකර්ම පිළිබඳ මැනෙවින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල වෙන්නට පුළුවන් මේ නාට්‍යය. සාමාන්‍ය පෙළ කාලෙ “නාට්‍ය හා රංග කලාව” ඉගෙනගත්තාට පස්සෙ මේ වෙනකොටනම් කෝලම්, ශාන්තිකර්ම, නාඩගම් ගැන මගේ දැනුම දුර්වලයි. ගෝඨයිම්බර කෝලම නැරඹුවාට පස්සෙනම් නැවත ඉගෙනගන්න හිතුනා.

පළමු කොරෝනා වටයෙන් පස්​සෙ, ලංකාවෙ මිනිස්සු ආයෙමත් වේදිකා නාට්‍ය බලන්න පුරුදු කරවන්න ටවර් හෝල් පදනමෙන් සංවිධානය කරා “ප්‍රේක්ෂා” කියල නාට්‍ය උළෙලක්. මේකෙදි පරණ වගේම අලුත් වේදිකා නාට්‍ය රැසක් ප්‍රදර්ශනය වුනා. මිනිස්සුත් සෑහෙන්න ආවා. ඒක බොහොම සතුටට කරුණක්. මං “ප්‍රේක්ෂා” ගි​යේ නැරඹිය යුතුම නාට්‍ය තුනක් බලන්න. ඒ, චාමික හත්ලහවත්තගේ නාට්‍ය තුනක්.

මුලින් කියපු නාට්‍ය වලට පස්සෙ මට බලන්නට ලැබුන හොඳම වේදිකා නාට්‍ය තුන තමයි “මකරට”, “රජා මං වහලා” සහ “බෝම්බයක් ඉතුරුයි” නාට්‍ය. වේදිකා නාට්‍ය සහ රංගනය පිළිබඳ මැනෙවින් කරන ලද පර්යේෂණවල යොදාගැනීම් මේ නාට්‍යවල ඇතැයි බැලු බැල්මටම කියන්නට පුළුවන්. ඒ නාට්‍ය වල ඇති ජවසම්පන්න බව නිසා, අලුතෙන් වේදිකා නාට්‍ය බලන්නට උනන්දුවක් දක්වන අයටත් බොහොම සුදුසුයි.

වේදිකා නාට්‍ය තුනේ තේමාව සමාන වුනත්, මේ තුනම වෙන වෙනම රස විඳින්නට පුළුවන්. යුද්ධය අවසන් වෙලා වසර එකොළහකට ආසන්න කාලයක් ගතවුනත්, ඉතිහාසයට ​මේක බොහොම පොඩි කාලයක්. අපි තවම යුද ජයග්‍රහණය සමරමින් අපිට ඇති අනෙකුත් ප්‍රශ්න අමතක කරමින් හෝ මග හරිමින්, තවත් පොදු සතුරෙක් සොයාගනිමින් ඉන්න කාලයක් මේ. ඔ​බේ දේශපාලන පක්ෂපාතීත්වය මොකක් වුනත්, මේ වේදිකා නාට්‍ය නරඹා හැකි පමණින් කල්පනා කරන්නට මා ආරාධනය කරනවා. මේ නාට්‍ය ආයෙ ආයෙමත් පෙන්නුවොත් ​​​හොඳයි.

​මේ අතර විශේෂ සටහනක් කර යුතු වේදිකා නාට්‍යයක් තියෙනවා. “මෙය තුවක්කුවක් නොවේ” වේදිකා නාට්‍යයත් ආයෙ වේදිකාගත වෙනවනම් කැමතියි. ඒ අතර මට මඟහැරුන – ඔබට හමුවුන වේදිකා නාට්‍ය මොනවද?

ඊළඟට සටහනක් ලියන දිනයක නැවත හමුවෙමු.

ඡායාරූප ලබාගත් තැන්

Categories
දිනපො​ත

සතියේ සටහන – ඔක්තෝබර් තිස් වෙනිදා

ඉතින්, ආයුබෝවන්. ​අඩපණ වෙලා තිබුන බ්ලොග් එක ආයෙමත් හදල ගන්න සෑහෙන කාලයක පටන් අවශ්‍ය වෙලා තිබුනත්, විවිධ වැඩ රාජකාරි නිසා හැමදාම පස්සට ගියා. මං හිතන් ඉන්නෙ ආයෙමත් ලිවිල්ල පටන්ගන්න. මොනවන් විශේෂ දෙයක් ගැන නෙවෙයි, ඔහේ ලියන්න.

පරණ සටහන් දිහා බලාගෙන යද්දි, මං මේ අවුරුද්දටම මුකුත් ලියලා නෑ. එතකොට මේ මසේ විස්සයි විස්සෙදී ලියවෙන පළමු ලියවිල්ල. ඒ ලියවෙන්නෙත් අවුරුද්ද අවසානයේදී. බලමුකෝ ඒකෙත් හැටි.

රස්සාව විදිහට පරිගණක සහ කේත අතර ඔට්ටු වෙනකොට ලියන්න දෙයක් හිතාගන්න අමාරුයි. ඉංග්‍රීසියෙන් වැඩ කරනකොට සිංහල අමතක වෙන ගතියක් තියෙනවා වගේම, සිංහලෙන් වැඩ කරනකොට ඉංග්‍රීසිත් අමතක වෙන ගතියක් තියෙනව. මේකට විසඳුමක් නැද්ද?

මේ ළඟදි අලුත් වැඩක් කරා. ඒ මගේ පාසල් කාලයේ මිතුරෙක් වෙන රේවියන් අලුතෙන් පටන්ගත්තු “අදිකාරම් සිතුවිලි” පොඩ් කාස්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එකට මගේ සත දෙක එකතු කරපු එක. ඉස්සරහටත් ඒ පොඩ් කාස්ට් එකට ඉඩ ලැබෙන විදිහට සම්බන්ධ වෙන්නට හිතාගෙන ඉන්නවා. කැමතිනං අහල බලන්න.

අපි ඒකෙත් කතාවෙන්නෙ නෙට්ෆ්ලික්ස් වාර්තා වැඩසටහනක් ගැන. ඒක තමයි The Social Dilemma. සමාජ මාධ්‍ය මිනිස්සුන්ගෙ ජීවිත ආක්‍රමණය කරමින් ඉන්නෙ කොහොමද කියල සරල හැදෑරීමක්. සමහරවිට මේ දේවල් අපි දැනටමත් දැනගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් මිනිස් ජීවිත ආක්‍රමණය කරමින් සිටිනා බව දැනගෙන සිටීම වැදගත්.

පළවෙනි උපාධිය SLIIT එකෙන් ගත්තාට පස්සෙ මං උත්සාහ කරා ආයෙ ඉගෙනගන්න. Msc එකක්, MBA එකක් කරන්නත් පටන්අරගෙන නවත්තල දැම්මා. විෂයන් රසවත් වුනා​ට ඒව ඉගෙනගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙන නිසා, විශේෂයෙන්ම 80% පැමිණීම වගේ දේවල් නිසා, ඒව තාවකාලිකව නවත්තල දැම්මා. ඉගෙනීම කරන්න ඕනෙ ආතල් එකකට මිසක් තවත් ආතතිය ඇති කරගන්න නෙවෙයිනෙ.

ඒක නිසා මං හොයාගත්තා විකල්ප උපාධියක්. ඒ, සිංහල ශාස්ත්‍රපති උපාධියක්. විභාග වලින් සමත් වීම කෙසේවෙතත්, සති අන්තයේ එක දිනයක කලාව, සිංහල භාෂාව ගැන දේශන අසා සිටීම, සතියෙ අනිත් දවස් හයේ මහන්සිය මකන වෙනමම ආතල් එකක්.

මට හිතෙන දෙයක් තමයි දැන් ලංකාවෙ ශාස්ත්‍රීය අධ්‍යාපනය බිඳ වැටෙමින් තියෙන බව. ඒක නිසා අන්තිමේ ලංකාවෙ ඉතුරු වෙන්නෙ සමාජය දේශපාලනය නොදත්, අනෙකා පිළිබඳ Empathy නැතිවුන, ව්‍යාපාරිකයන්ට සහ වැඩවසම්වාදී පවුල්වල අනසකට යටත් වුන, දීන ඉංජිනේරුවන් – වෛද්‍යවරුන් සහ කුලී සේවකයන්.

ඒක නිසා මිනිසාගේ වටිනාකම නොදත්, තමන් වෙනුවෙන් නීති සම්පාදනය කරගැනීමට නොදත්, ජාතිවාදය වෙතම ඇදෙන මිනිසුන් පිරිසක් ඇතිවීම වැලැක්වීමට අපහසු කාරණයක් වී අවසානයි.

දැනට මේ ඇති. ඊළඟ සතියෙදී ආයෙ මුනගැහෙමු. අලුතෙන් යමක් බලන්න කැමතිනම් The Boys ​හොයාගෙන බලන්න. මරු.