Categories
ජීවිතේ

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ…

ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි.
අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස.
කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස.
කොහෙද,
ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල…

ගෙදරින් කියන්නෙ,
පුතේ කලා උළෙල නං හොඳයි…
දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල.

මේක මට විතරක් නෙවෙයි.
අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්.

හ්ම්…

ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. මේ දවස්වල හති අරිනව. ඒත් හති අරින්නෙ බාගෙට. සම්පූර්ණයෙන් හති ඇරල ඉවරකරන්න වෙන්නෙ 2011 අවුරුද්දෙ තමයි. තවත් අවුරුදු එකහමාරක් විතර වගේ තිබුනාට මේ යන වේගෙට එහෙ බලල මෙහෙ බලනකොට ඔය දවස් ටික වාෂ්ප වෙලා තියේවි. කැලැන්ඩරේ පිටු ගැලවෙනකොට දැනෙන්නෙ දුකක්. 2009 අතඇරල යන්න බෑ වගේ. මොනව කරන්නද? අපිට කාලය වෙනස් කරන්න බෑ. කාලයත් එක්ක අපි වෙනස් වෙන එක තමයි වැදගත්. ලියන්න කියන්න ගොඩක් දේවල් තිබුනාට ‍දැන් ලියවෙන්නෙ නෑ. මේ දවස්වල එළියෙ පහළියෙ කතාකරන්න නම් ගොඩක් මාතෘකා. හැබැයි මම දැන් ඒ දේවල් කතා කරන්න කැමති නෑ. ඒ තරමටම ඒ දේවල් එපා වෙලා. මේ ‍මොනව ගැනද කියල ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. කතා කරන්න එපා වෙලා තියෙන්නෙ මේ රට යන අත ගැන. රට යන අත බලාගෙන ඉන්නෙ නැතුව. අඩුගානෙ තමන් යන අතවත් හරියට හදාගන්න උත්සාහ කරන්න වෙන කාලයක් මේක. හැබැයි ලැබෙන හැම වෙලාවකම එක්කෙනෙක්ගෙ හරි ආකල්ප හොඳ අතකට වෙනස් කරන්න ලැබෙනවානං ඒක නොකර ඉන්නෙ නැහැ.

මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලානෙ. මට නම් ප්‍රතිඵල ගැන වැඩිය දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ. මොකද මේ කලා උළෙලකට හිර වෙලානෙ. මොනව වුනත් ඒක නිසා මේ අපේ ගෙදර අයත් කම්පනයට පත් වෙලා වගෙයි පේන්නෙ. කෙනෙක්ට උසස් පෙළ නැතිවුනත්. දියුණුවෙන්න තමන්ගෙම මාර්ග නිර්මාණය කරගන්න පුලුවන් වුනත්, ඕ‍නකෙනෙක් උසස් පෙළ දකින්නෙ තමන්ව දියුණුවට ගෙනයන්න පුලුවන් ‍ෂෝට්කට් එකක් විදිහට. ඒකෙ ඇති වරදක් නැහැ. අපේ අයට තියෙන්නෙ හොඳ තෝරාගැනීම් දෙකයි. එක්කො මෙඩිසින්. නැතිනම් ඉංජිනියරින්. කොහොමහරි මම මේ කලා උළෙල කරද්දි මුනගැහුන අයගෙ සමහර රැකියා දැකල පුදුමයෙන් පුදුමයට පත් වුනා. තමන් තමන්ගෙ රැකියාව ගැන උපරිමයෙන් තෘප්තියෙන් ඉන්නවා වගේම. හරිම නිදහස් සහ උපරිම ඉපැයීම් (මාසයකට ලක්ෂය ඉක්මවා යන) රැකියා. ඒ අය ඒ රැකියාවලට යොමු වෙලා තියෙන්නෙ අපේ සම්මත අධ්‍යාපන විභාග ප්‍රතිඵලත් නැතිවයි! මට ඉතින් ඒවා කරන්න අවශ්‍ය නැහැ. මම බැලුවෙ ඒ රැකියා ගැන…

සාහිත්‍ය ඒකකයේ සභාපතිකම ගන්නත් ඉල්ලීමක් තියෙනව. ඒ අතරෙ කිරුළ සඟරාවටත් පුංචි පහේ දායකත්වයක් දක්වන්නත් හිතෙනව. මේ පාරනම් අධ්‍යාපන කටයුතු බාධා නොකරගන්න දැඩි විශ්වාසයක් තියෙනව. ආයෙමත් අපේ බාසාවෙන් කිව්වොත් වල නම් බහින්නෑ. වෙලාව කළමණාකරණය කරගෙන. කට්ටියත් එක්ක එකතුවෙලා. කලා කටයුතු හිමින් සීරුවෙ දියත් කරනව. එහෙමයි මගේ බලාපොරොත්තුව.

ඔය අතරමඟ පුංචි ආදර කතාවකුත් තියෙනව. ඒවා නං ඉතින් රාජ්‍ය රහස්!

Categories
ජීවිතේ

ලැජ්ජාව…

මේ දවස්වල හිතට කිසිම නිවනක් නැත්තෙ ළඟ ළඟම එන කලා උළෙලේ වැඩ නිසා. උදේ පහට ගෙදරින් පිටත් වුනාම ආයෙත් ගෙදර එනකොට අඩුමගානෙ රෑ හත අටවත් වෙන තරම්. ඉතින් මේ වැඩ ගොඩ අස්සෙ බස් එකේ එහෙට මෙහෙට යද්දි හිතේ කාන්සිය නිවාගන්නෙ සාක්කුවෙ තියෙන ජංගම දුරකථනයෙන්. කාටවත් කරදරයක් නොවෙන්නෙ හෙඩ් සෙට් එකකුත් ගහගෙන ම‍ගේ පාඩුවේ මම මගේ ‍සින්දු ඇහිල්ලෙ. ඒකවත් නැත්තං සිද්ධ වෙන්නෙ මම බස් එක ඇතුළෙ නිදාගන්න එක තමයි. නැත්තං නින්ද යනව. නින්ද යන තදකමට කොහෙන් බහින්න වෙයිද කියල නොදන්න නිසා නින්දෙන් නැගිටලා ඉන්න එකයි වැදගත්. ඒකට උදව් කරන්නෙ දෙන්නෙක්. එකක් ජංගම දුරකථනය. අනික කවුද කවුරුන්ද කියල දැන්ම කියන්න බෑ. ඒක තහනම් වචනයක්. ජංගම දුරකථනය මට උදව් වෙන්නෙ මහන්සිය නිවාගන්න විතරක් නෙවෙයි. උපහාර පැකේජ් එකට පිංසිද්ධ වෙන්න ගොඩක් වැඩ වලට එක එක ආයතන වලට කතා කරන්නත් මගේ දුරකථනය අපිට අපේ වැඩවලට ලොකුඋදව්වක්.

මාතෘකාව ‍වුනේ ලැජ්ජාව. ජංගම දුරකථනයයි ලැජ්ජාවයි අතරෙ සම්බන්ධය මොකක්ද කියල උභතෝ‍කෝටික ප්‍රශ්නයක වෙන්න ඇති ‍මේක කියවන අය නම් ඉන්නෙ. ඉතින් වැඩි අටුවාටීකා අවශ්‍ය නෑ. අටුවාටීකා ලියන්න තරම් වෙලාවකුත් නෑ. ඒ ගැන සමාවෙන්න.

අද උදේ බස් එකේ යද්දි නිදිමත යන්න වගේම මගේ රසාස්වාදනය වෙනුවෙන් කාටවත් කරදරයක් නොවෙන්න මගේ පාඩුවේ මම ‍මගේ ජංගමයට හෙඩ්සෙට් එකත් ගහගෙන වාඩිවෙලා සින්දු අ‍හගෙන ගියා කියමු‍කෝ. බහින්න තැනත් ළං වුනා කියමුකෝ. ඔන්න මම ම‍ගේ සීට් එකෙන් නැගිටලා බහින්න දොර ළඟට ළංවුනා විතරයි මෙන්න ගරු කටයුතු වැදගත් මහත්මයෙක් මගේ අතට තට්ටු කරනව.

මයා: තමුසෙ ඔය ඉස්කෝලෙද යන්නෙ
මම: ඔව්.
මයා: තමුසෙට ලැජ්ජ නැද්ද ඔව්ව එල්ලගෙන ඉස්කෝලෙ යන්න?

මම හිනා වෙලා බස් එකෙන් බැස්ස. මට වාද විවාද කරන්න තරම් වෙලාවක් තිබුනෙවත්. වැඩිය කියපු දේ ගාණකට ගන්නවත් වෙලාව තිබුනෙ නැහැ. ඊළඟ බස් එකේ වාඩි වෙලා මම මගේ කල්පනාවෙ. ඒ කල්පනා කරේ ලැජ්ජාව ගැන.

මේ රටේ බස් එකක පන්ති ඉවරවෙලා (ලස්සන) ගෑනු ළමයෙක්ට තමන්ගෙ ගෙදරට පුංචි හරි අතවරයක් නොවී ගෙදරට අඩිය තියන්න විදිහක් නෑ. තමන්ගෙ වෛරය පිරිමහගන්න තමන්ට හීනෙකින්වත් වරදක් නොකරපු පුංචි එවුන් ඉස්කෝලෙ යන වෑන් එකකට බෝම්බ තියනව. ලෙඩක් ‍ඇති නොවෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම මැරිල වැටෙනව. අපේ වයසෙ අපේ සහෝදර සහෝදරියො කනේරු ඇට කාලා තමන්ගෙ ජීවිත තමන්ම නැති කරගන්නව. උපාධිකාරයො මහ පාරෙ රැකියා හිඟා කනව. ශ්‍රේෂ්ඨ අධ්‍යයන ආයතන කියල අපි අපිම වන්දනාමාන කරන ඒවා ඇතුළෙ ඉන්න ලොකු අයියල මරාගන්නව. ඉතින් ඒ වගේ රටක ජීවත් වෙන එකද ලැජ්ජාව? බස් එක ඇතුළෙ තනියම තමන්ගෙ පාඩුවේ සින්දුවක් අහගෙන යන එකද මහ ‍ලොකු ලැජ්ජාව?


අපි ඉස්කෝලෙ ඇතුළෙ හෙඩ් සෙට් ක‍නේ ගහගෙන පිස්සු කෙලින්න යන්නෙ නැහැ. අපි තැනට සුදුසු විදිහටයි අපේ ‍වැඩ. මහ පාරෙ වාහන සද්දෙයි හෝන් සද්දෙයි. කනට හෙන ගහන රේඩියෝවයි. අහගෙන ඉන්න එකද හොඳ? තමන් කැමති සින්දුවක් අහගෙන පාඩුවේ කාටවත් වෛර නොකර තමන්ගෙ ගමන යන එකද හොඳ?