Categories
දිනපො​ත

සතියේ සටහන – ඔක්තෝබර් තිස් වෙනිදා

ඉතින්, ආයුබෝවන්. ​අඩපණ වෙලා තිබුන බ්ලොග් එක ආයෙමත් හදල ගන්න සෑහෙන කාලයක පටන් අවශ්‍ය වෙලා තිබුනත්, විවිධ වැඩ රාජකාරි නිසා හැමදාම පස්සට ගියා. මං හිතන් ඉන්නෙ ආයෙමත් ලිවිල්ල පටන්ගන්න. මොනවන් විශේෂ දෙයක් ගැන නෙවෙයි, ඔහේ ලියන්න.

පරණ සටහන් දිහා බලාගෙන යද්දි, මං මේ අවුරුද්දටම මුකුත් ලියලා නෑ. එතකොට මේ මසේ විස්සයි විස්සෙදී ලියවෙන පළමු ලියවිල්ල. ඒ ලියවෙන්නෙත් අවුරුද්ද අවසානයේදී. බලමුකෝ ඒකෙත් හැටි.

රස්සාව විදිහට පරිගණක සහ කේත අතර ඔට්ටු වෙනකොට ලියන්න දෙයක් හිතාගන්න අමාරුයි. ඉංග්‍රීසියෙන් වැඩ කරනකොට සිංහල අමතක වෙන ගතියක් තියෙනවා වගේම, සිංහලෙන් වැඩ කරනකොට ඉංග්‍රීසිත් අමතක වෙන ගතියක් තියෙනව. මේකට විසඳුමක් නැද්ද?

මේ ළඟදි අලුත් වැඩක් කරා. ඒ මගේ පාසල් කාලයේ මිතුරෙක් වෙන රේවියන් අලුතෙන් පටන්ගත්තු “අදිකාරම් සිතුවිලි” පොඩ් කාස්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එකට මගේ සත දෙක එකතු කරපු එක. ඉස්සරහටත් ඒ පොඩ් කාස්ට් එකට ඉඩ ලැබෙන විදිහට සම්බන්ධ වෙන්නට හිතාගෙන ඉන්නවා. කැමතිනං අහල බලන්න.

අපි ඒකෙත් කතාවෙන්නෙ නෙට්ෆ්ලික්ස් වාර්තා වැඩසටහනක් ගැන. ඒක තමයි The Social Dilemma. සමාජ මාධ්‍ය මිනිස්සුන්ගෙ ජීවිත ආක්‍රමණය කරමින් ඉන්නෙ කොහොමද කියල සරල හැදෑරීමක්. සමහරවිට මේ දේවල් අපි දැනටමත් දැනගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් මිනිස් ජීවිත ආක්‍රමණය කරමින් සිටිනා බව දැනගෙන සිටීම වැදගත්.

පළවෙනි උපාධිය SLIIT එකෙන් ගත්තාට පස්සෙ මං උත්සාහ කරා ආයෙ ඉගෙනගන්න. Msc එකක්, MBA එකක් කරන්නත් පටන්අරගෙන නවත්තල දැම්මා. විෂයන් රසවත් වුනා​ට ඒව ඉගෙනගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙන නිසා, විශේෂයෙන්ම 80% පැමිණීම වගේ දේවල් නිසා, ඒව තාවකාලිකව නවත්තල දැම්මා. ඉගෙනීම කරන්න ඕනෙ ආතල් එකකට මිසක් තවත් ආතතිය ඇති කරගන්න නෙවෙයිනෙ.

ඒක නිසා මං හොයාගත්තා විකල්ප උපාධියක්. ඒ, සිංහල ශාස්ත්‍රපති උපාධියක්. විභාග වලින් සමත් වීම කෙසේවෙතත්, සති අන්තයේ එක දිනයක කලාව, සිංහල භාෂාව ගැන දේශන අසා සිටීම, සතියෙ අනිත් දවස් හයේ මහන්සිය මකන වෙනමම ආතල් එකක්.

මට හිතෙන දෙයක් තමයි දැන් ලංකාවෙ ශාස්ත්‍රීය අධ්‍යාපනය බිඳ වැටෙමින් තියෙන බව. ඒක නිසා අන්තිමේ ලංකාවෙ ඉතුරු වෙන්නෙ සමාජය දේශපාලනය නොදත්, අනෙකා පිළිබඳ Empathy නැතිවුන, ව්‍යාපාරිකයන්ට සහ වැඩවසම්වාදී පවුල්වල අනසකට යටත් වුන, දීන ඉංජිනේරුවන් – වෛද්‍යවරුන් සහ කුලී සේවකයන්.

ඒක නිසා මිනිසාගේ වටිනාකම නොදත්, තමන් වෙනුවෙන් නීති සම්පාදනය කරගැනීමට නොදත්, ජාතිවාදය වෙතම ඇදෙන මිනිසුන් පිරිසක් ඇතිවීම වැලැක්වීමට අපහසු කාරණයක් වී අවසානයි.

දැනට මේ ඇති. ඊළඟ සතියෙදී ආයෙ මුනගැහෙමු. අලුතෙන් යමක් බලන්න කැමතිනම් The Boys ​හොයාගෙන බලන්න. මරු.

6 replies on “සතියේ සටහන – ඔක්තෝබර් තිස් වෙනිදා”

අඩෝ, සිංහල ශාස්ත්‍රපති උපාධිය ගැන විස්තර කියපං කෝ. මොන වගේ විෂශ කරුණු ද, කොහෙද තැන, කාලය වගේ එව්වා. මොකද මටත් ලාවට අදහසක් තියනවා ලංකාවට ආවට පස්සෙ ඉතිහාසය හෝ පුරාවිද්‍යාව හෝ සම්බන්ධ පාඨමාලාවක් කරන්න. උපාධියක් නොවන කෙටි කාලීන එකක්. මං හිතන්නෙ කැළණියෙ හරි කොළඹ හරි දැනට තියනවා.

මම ඉගෙනගන්නෙ කොළඹ. සිංහල භාෂාව සහ භාවිතය වගේම සාහිත්‍ය කොටසකුත් තියෙනව. පර්යේෂණයකුත් කරන්න තියෙනව. කාලය අවුරුද්දයි. සති අන්තයේ තමයි දේශන. සම්පූර්ණ විස්තරේ මෙතැන තියෙනවා. https://arts.cmb.ac.lk/sinhala/wp-content/uploads/Book-Inner-Page-.pdf

පිං බෝයි!

ආ… කියන්න අමතක උනා… මතක ඇතුව බ්ලොග් එක දිගටම ලියපං. 😄

මොන විද්‍යාව මොන ශාස්ත්රය ඉගෙන ගත්තත් empathy එක ඒවා ඉගෙන ගැනීමෙන් වැඩි වෙන්නේ නම් නැහැ.

ඕකෙ ඇත්තක් තියෙනව තමයි. කොහොමද Empathy හදන්නෙ? ඒක එහෙම හදන්න පුළුවන් දෙයක්ද?

Leave a Reply to srishanu Cancel reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.