මෙතැන් සිට තව සුළු මොහොතක් ගිය පසු.

මෙම සටහන ඩේටාබේස් එකේ ගැටලුවක් නිසා අතුරුදහන් වුනා. වේලාවට බැකප් එකක් ළඟ නොතබාගැනීම නිසා ලැබී තිබුණු ප්‍රතිචාරත් අතුරුදහන්. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා.

ආයුබෝවන්. මගේ ජාතියේ අය එහෙමයි ඕනෑම කතාවක් පටන් ගන්නේ. ඒකෙ තේරුම ආයුෂ බොහෝ වේවා කියලයි.

එක්සත් ඇමරිකා ජනපදයේ විශ්ව විද්‍යාලයක සම්මන්ත්‍රණයක් අමතන තවමත් අවුරුදු පහළොවක් නැති මේ පොඩි දරුවා ශ්‍රී ලාංකිකයෙක්. නමින් ඇන්ඩෘ ස්වස්තික ලියනගේ. අපි ඔහුගේ කතාවට සවන් දෙමු.

පොඩි කාලෙ ඉඳල මට ප්‍රශ්නයක් තිබුනා. මගේ අම්මා තාත්තා සහ මම, ඔබගෙන් බොහෝ වෙනස්. මට එය මුලින්ම තේරුණේ හමේ පැහැයෙන්. මාත් එක්ක එකම පාසලේ ඉගෙනගත් ළමයින්ගේ දෙමව්පියන් එක්ක සසඳනකොට මගේ දෙමව්පියන් ඉංග්‍රීසි කතා කරන විදිහ හරි අමුතුයි. ඉතින් මම දවසක් අම්මගෙන් ඇහුවා…

“ඇත්තටම අපි කවුද?”

අම්මා මට හිනාවෙලා සෑහෙන්න දිග කතාවක් කිව්වා. ඒක ඇත්තටම පුදුම එළවන සුළු කතාවක්. දිග ගමනක්.

මම පැවත එන්නෙ ශ්‍රී ලාංකිකයන්ගෙන්. ශ්‍රී ලංකාව නමැති රට ඇත්තටම පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ. ඉන්දියාවට පහළින්. අම්මා මට ලෝක සිතියමක් අරගෙන පෙන්නුවා. අද ශ්‍රී ලංකාව මහජන චීන සමූහාණ්ඩුවට අයිති දූපතක්. කලින් ජීවත් වු මිනිසුන්ට ගරු කිරීමක් වශයෙන් තවමත් මේ දූපතට කියන්නේ ශ්‍රී ලංකාව කියලා.

ශ්‍රී ලංකාව අද මිනිසුන්ට ජීවත් වීමට නුසුදුසු රටක් වශයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරලා අවසන්. ඇත්තටම මගේ සීයලාගේ කාලයේ තිබුන සරුපස දැන් හොයාගන්නට නැහැ. ඉස්සර ඒ රටේ මිනිස්සුන්ට වගා කරන්න සහනාධාර වශයෙන් අඩුමිලට ලබාදුන් පොහොර වල තිබුන කැඩ්මියම් ආදී බැර ලෝහ පසේ තැන්පත් වෙලා පස දූෂණය වුනායින් පස්සේ නැවත වගා කටයුතු කරන්න අපහසු වුනා වගේම, පානීය ජලයත් දූෂිත වුනා. බොහෝ අහිංසක මිනිසුන් ප්‍රමාණයක් වකුගඩු රෝග වලට ලක් වුනා. මීට අමතරව නිසි ප්‍රමිතියෙන් තොර කර්මාන්තශාලා නිසාද බොහෝ පිරිසකට නොමිලේ හිමිවුන පානීය ජලය උල්පත් දූෂිත වුනා.

මේ සියල්ල සිදුවෙන අතරේ රටේ විවිධ වූ ආගමික කල්ලි ඇතිවුනා. පල්ලි වලට ගල් ගැහුවා, බෝ ගස් කැපුවා… තමන්ගේ අනිකා සැක කිරීම නිසා බොහෝ දෙනා එකිනෙකාගෙන් දුරස් වුනා. මගේ අම්මා සිංහල නිසා සහ තාත්තා දෙමළ නිසා එයාලාට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුනදෙන්න සිදුවුනා. අන්තිමේ ඔවුන් දෙදෙනා තීරණය කරේ ඇමරිකාවට එන්න. මම සිංහලද, දෙමළද කියලා මම තවම තීරණය කරලා නැහැ.

ශ්‍රී ලංකාව ඇත්තටම ලස්සන රටක්. මගේ අම්මා ළඟ තවමත් එහි පින්තූර තියෙනවා. සුන්දර මුහුදු වෙරළක් සහ රට මැද කඳුකරය අතිශයින්ම දර්ශනීයයි. ඒත් මෑතකදි ලබාගත් ඡායාරූප නම් අතිශයින්ම බිය උපදවන සුළුයි. රතු වූ පස් කඳු, දුමින් පිරුණ වළාකුළු මීට වසර කිහිපයකට පෙර තිබූ  ලංකා භූමිය පිළිබඳව සාධක කිසිවක් ඉතිරි කර නැහැ.

ඒ මගේ කතාව. මම ශ්‍රී ලාංකිකයින්ගෙන් පැවත ඒම පිළිබඳව මම සෑහෙන්න සතුටුවෙනවා. නමුත් මට කවදාවත් මගේ මව්රට දකින්නට ලැබෙන්නේ නම් නැහැ. ඉතින් මගේ කතාව මෙහින් අවසාන කරන්නම්. මේ පිළිබඳ නිගමන වලට එළඹීම ඔබට බාරයි.

ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා ඔබට.

ප.ලි: පහත වීඩියෝව බලන්න. හදිස්සියේවත් එක්කෙනෙක් අතින් මෙහි රිද්මය වෙනස් වුනානම්, හැමදේම අලුතෙන් කරන්න සිද්ධ වෙනවා. ඇත්තෙන්ම එහෙම කරන්නත් ඇති. ඒ වුනත් වැදගත්කම, තමන්ගේ අනිකා විශ්වාස කිරීම සහ තමන්ගේ කාර්යය අවබෝධ කරගෙන නිවැරදිව කිරීම. ඒකට අපි!

Join the Conversation

6 Comments

  1. මේ සට‍හන ලියලා දවස් කීපයක් උනත්…, මේකට කොමෙන්ට් එකක් දැම්මේ නැති එකට සමාවෙයන්.., පරිකල්පන ශක්තිය නිසාම නෙවෙයි මචන්.., ඒත් මම මේක කියවනකොට මට සිරාවට ම බය හිතුනා.., අපේ රටත් තවත් එක නාවුරු දූපතක් වෙයිද කියලා..!

    1. ඇත්තටම! පරිකල්පනය කෙසේවෙතත්, කියන්න ඕනෙ වුනේ මට ඇතිවුන බය. ත්‍රස්තවාදය තියෙන්නේ වෙනත් ජාතියකින් තවත් ජාතියකට නෙවෙයි. අපි ඇතුළෙමයි කියලයි මට හිතුනේ.

  2. කීමට කිසිත් නැත.ඒ දරුවාට ඔය අනාගතය හිමිකර දෙන්න මාත් දායක වුනා නේද කියල වරදකාරී හැඟීමක් දැනෙමින් තියෙනවා.ඒ කතා කළ යුතු දේට කතා නොකර නිහඬව සිටින බව මට දැනෙන නිසා…
    මා කළ යුතු දේ කුමක් දැයි හැඟුනේ වීඩියෝව නරඹපු පසුවයි…

    පරිකල්පනයෙන් යථාර්ථයට………..

    ස්තූතියි සුදාරක…….

    1. ස්තූතියි ප්‍රතිචාරයට! 🙂

      කොහොමත් පුරවැසියන් වශයෙන් ඔබ විතරක් නෙවෙයි, අපි හැමෝම වගකිව යුතුයි. 18ක් වෙන්න ඕනේ නෑ. ලාබාල වයසෙ ඉඳලාම රටේ ඉරණම පිළිබඳ හැමෝටම වගකීමක් තියෙන්න ඕනේ. රටේ මිනිසාගේ හැටියටයි ඒ රටේ ජනමාධ්‍ය හා දේශපාලකයින් ක්‍රියාත්මක වෙන්නේ. විෂම චක්‍රයක්. 🙂

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: