Skip to content

අවුරුදු මතක

අප්‍රේල් 13, 2010

අලුත් අවුරුද්ද ලබන්න තව ඉතින් සුළු වෙලාවක් වෙනකොටත් මට තවමත් ‍අවුරුද්ද ගැන මුකුත් ලියාගන්න බැරිවීම නං ටිකක් කණගාටුවට කරුණක්. මේ දවස්වල ටිකක් ආතතිය වැඩියි. අනේමන්ද ඇයි කියල. අවුරුද්දට ලියන්නෙ මොකක්ද කියල හිත හිත ඉන්නකොට එකපාරම හිතගියේ මීට අවුරුදු ගානකට කලින් සැමරුන අවුරුද්ද ගැන. ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ එන්න කලින් තිස්සමහරා‍මෙ ගත වුන කුඩා කාලෙ අවුරුද්ද සැම‍රුනේ පුදුම සැහැල්ලුවක් හිතේ තියාගෙන.

අපේ කාලෙ වෙනකොට සාම්ප්‍රදායික සිංහල ගැමි ක්‍රීඩා නම් බො‍හෝමයක් අපේ අතර තිබුනෙ නැහැ. ඔළිඳ කෙළිය, චක්ගුඩු, එල්ලේ, පංච කෙලිය තිබුනෙ ටීවි එකෙයි පොත් පත් වලයි විතරයි. එල්ලේ ගැහිල්ලට නම් හොඳ ඉඩක් නැති නිසාම ඒක අපේ අතරින් වෙන්වෙලයි තිබුනෙ. කොහොම නමුත් අපේ සෙල්ලම වුනේ ක්‍රිකට්. වෙනද ‍වගේ නෙවෙයි, නොනගතේට හැම වැඩක්ම අතෑරලා ඉන්න වැඩිහිටි අයත්, පොඩි අයත් එක්ක ක්‍රිකට් සෙල්ලමට එකතු වෙන නිසා, එතන සතුටු සාගරයයි!

මේ අතර හිටියා කඩයක අයිතිකාරයෙකුත්. ඉතින් දිනන පිලට තෑග්ග විදිහට ලැබෙන කේක් එක ලැබෙන්නෙ මේ කඩකාරයාගෙනුයි. කොහොමවුනත් පැවැත්වෙන ක්‍රිකට් තරග තුනෙන් පස්සෙ දෙපිල කෙසේ වෙතත්, කේක් කෑල්ල සමසේ බෙදෙනවා. :)

අවුරුදු කාලෙට ගෙන්ගෙට යන එකත් එකතු කරේ පුදුම සතුටක්. ගෙන් ගෙට යන එකත්, ගෙදරට තවත් කෙනෙක් එනකොටත් දැනුන සතුට පුදුමාකාරයි.

කො‍හොම නමුත් දැන් අවුරුදු ගානක් ගතවෙලා ගිහින්. පවුලේ තනියම සිටින්නා වීමත්, පාඩම් වැඩවලට, පරිගණකයට සහ ගමෙන් බොහෝ දුර ගෙයක සිරගතවෙලා ඉන්න නිසාත් අවුරුද්ද, “අවුරුද්ද” තරම්ම නොදැනෙන තරම්. ඒ වගේම ආරන්චි විදිහට දැන් තිස්ස ගම් පළාතෙත් අවුරුද්ද ඒ හැටි සැමරෙන්නෙ නැත්තෙ මීට අවුරුදු ගානකට කලින් මගේ මිතු‍රන්ගෙ නෑදැයන් බොහෝ ප්‍රමාණයක් සුනාමියෙන් අන්ත්‍රා වීම නිසාවෙන්. ඒ වගේම ශිෂ්‍යත්වයෙන් සමත් වුන බොහෝ දෙනෙක් දැන් තැන තැන විසිරිලා. කොළඹම ඇවිත් පදිංචි වෙලා කිව්වොත් හරි.

කාලයත් එක්ක සමාජය වෙනස් වෙනවා. ටිකෙන් ටික අපි හුදකලා වෙනව වගෙයි දැනෙන්නෙ. ෆේස්බුක් එකේ යහ‍ළුවෝ දහස් ගණනින් හිටියත්, එකතුවෙලා අවුරුද්ද සමරන ප්‍රීතියක් දැනෙන්නෙම නැති තරම්. කොහොමහරි ඇත්තම කිව්වොත් මම දැන් අවුරුදු පහ හයකින් අවුරුද්දකට නිලා කූරක්, රතිඤ්ඤයක් ආසාවට පත්තු කරලා නැති තරම්. ඒක සෑහෙන්න දුකක්.

මොනව වුනත් තව අවුරුදු දෙක තුනකට පස්සෙ වත් අවුරුද්ද හොයාගෙන යන්න පුලුවන්කම ලැබෙයි. එතකන් බලාගෙන ඉමු! :) කොහත් නිවාඩුවට ගමේ ගිහින් නිසා, කොහෝ සද්දෙත් ඇහෙන්නෙ අපි වගේ ටවුමෙ නතරවුන බිසී කොහෙක්ගෙන් විතරයි. ඒත් ඌට නිවාඩු පාඩුවක් ලැබෙන කලාතුරකින් විතරයි.

ඔහොම තමයි ජීවිතේ… එන්න එන්න සංකීර්ණ වෙනව.

මොනව වුනත්,

ලබන්නා වූ මේ ශ්‍රී සුබ නව වසර සාමය සතුට සෞභ්‍යාග්‍ය පිරි ශ්‍රී සුබ නව වසරක් වෙන්නත්, සිතේ දුක් කම්කටොළු සියල්ල අමතක කරල අලුතෙන් ජීවිතය අරඹන්න සුබ මොහොතක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව. අලුත් වෙන්නත්, වෙනස් වෙන්නත් මේක සුබ ‍මොහොතක් කරගන්න. ඉදිරියට එන නව වසර සෑම අතින්ම සාර්ථක කරගන්න අවකාශ ලැබෙන්නත්, ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ලැබෙන්නත් මේ සටහන කියවන ඔබටත්, සකල ලෝක වාසී සියලුම දෙනාටත් සුබ ප්‍රාර්ථනා කරනව.

සුබම සුබ, සුබ අලුත් අවුරුද්දක් වේවා!

ප්‍රතිචාර 15 leave one →
  1. Ansh Lucky Sri Jay permalink
    අප්‍රේල් 13, 2010 9:31 ප.ව.

    ඔහොම තමයි ජීවිතේ… එන්න එන්න සංකීර්ණ වෙනව.
    සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා මල්ලි.!!! :)

    • අප්‍රේල් 23, 2010 11:56 පෙ.ව.

      ඒකනං ඇත්ත. එන්න එන්න ජීවිතේ සංකීර්ණ වෙන එක විතරයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ දවස්වල ඒ සංකීර්ණකමේ උපරිමය විදින කෙනෙක් මම :)

  2. සචිනි පෙරේරා permalink
    අප්‍රේල් 13, 2010 10:21 ප.ව.

    ගෙදරින් ගොඩාක් දුරස්වෙලා අපි ගෙවන ජීවිතයත් ඔය වගේම තමා මල්ලි…මනස පොත් ගොඩවල් අස්සෙ හිරවෙලා..කොහොම උනත් ඔයා ලියන දේවල් ලස්සනයි..දිගටම ලියන්න…
    සුභ අලුත් අවුරුද්දක් …!!!

  3. අප්‍රේල් 13, 2010 10:44 ප.ව.

    එහෙම තමයි මිත්‍රයා.. සමාජය සංකීර්ණ වෙද්දි තාක්ෂණය මගින් අපව ළං කරනවා වගේ දැනුනත් ඒ තාක්ෂණයම අපව දුරස් කරනවා. ඒක අපේවත් තාක්ෂණයේ වත් වැරැද්දක් නෙවෙයි. ඒක නොවුනනම් තමයි පුදුම වෙන්න ඕන..
    ඔබේ ලිපි වල අමුතුම සුන්දරත්වයක් හා සිතුවිලි රැසක් තියෙනවා.. දිගටම ලියන්න සුබ පැතුම්….

    සියලු පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා..!

  4. අප්‍රේල් 14, 2010 12:26 පෙ.ව.

    සුබ අලුත් අවුරුද්දක වෙවා… මෙතන ඉන්න පරණම කෙනෙක් නෙද ඔයා…

    • අප්‍රේල් 23, 2010 11:57 පෙ.ව.

      ටිකක් පරණයි. දැන් මේ ගෙවෙන්නෙ මගේ බ්ලොග් කෙරුවාවෙ තුන්වෙනි අවුරුද්ද. :)

  5. අප්‍රේල් 14, 2010 5:49 පෙ.ව.

    මලයා මොකද අවුරුද්දටවත් ගමේ නොගියේ? අපිනම් ඉතින් යන්න විදියක් නැතිකමට නොවැ ඉන්නේ.
    ලඟපාත ඉන්න යාළුවෙකුගේ ගෙදරකට set වෙලා අවුරුද්ද සමරන්න, අපි හිටපු කාලේ නම් hostel හිටපු එවුන් එහෙම set වුනා. කොහොම උනත් ඔන්න සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… කියලා නිශාචරයත් ප්‍රාර්ථනාවක් එකතු කලා.

    • අප්‍රේල් 23, 2010 12:02 ප.ව.

      මේ පාර අවුරුද්දට ග‍මේ යන්න බැරිවුනේ මේ පාර අවුරුදු නිවාඩුව සති දෙකක තරම් කාලයකට කෙටි වුන නිසයි. අවුරුද්දක් ගැන කිසිම හිතක් පපුවක් නැති අධ්‍යාපන බලධාරීන් නිසා, මේ නිවාඩුව කොළඹම හිරවුනා. ‍කො‍හොමවුනත් උසස් පෙළ ඉවරවෙනකන් දැන් ගමේ යන්න ගැලවීමක් නැහැ.

  6. අප්‍රේල් 14, 2010 6:51 පෙ.ව.

    Wish your Happy New Year

  7. අප්‍රේල් 14, 2010 8:34 පෙ.ව.

    හිතේ ඇදුනු අවුරුද්ද ගැන සුන්දර මතකයක්……!!!!
    සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

  8. අප්‍රේල් 14, 2010 12:05 ප.ව.

    මොනා කරන්නද මලේ . . කාලය මැව් වෙනසක අරුමේ තමයි . .

    • අප්‍රේල් 23, 2010 12:02 ප.ව.

      හ්ම් හ්ම්… අනේ කාලේ කොළඹ වාසේ කිව්වලු. :D

  9. වසන්ත දේශප්‍රිය permalink
    අප්‍රේල් 16, 2010 12:22 ප.ව.

    සුධාරකගේ අවුරුදු මතකය කියෙව්ව ම මටත් දුකක් ඇති වුනා. අපි අතර අවුරුදු 30 ක පමණ වෙනසක් වයසින් තිබ්බත් අපි දෙන්නම එකම සමාජ විපර්යාසයකට අහු වෙලා සමාජ පද්ධතියෙ අතර මං වුන අය නේද කියලා හිතුනා. මම 1978 සරසවියට යන්න ගමෙන් (අමබලන්ගොඩ) ගියා ගියාමයි ගමේ අවුරුද්දත් එයින් ම නැවතුනා. සුධාරකගේ වගේම මගේ හිතෙත් අවුරුද්ද කියලා ඉතුරු වෙලා තියෙන්නෙ සුන්දර මතක කිහිපයක් විතරයි. අවුරුද්දදට අළුත් සරමක් කමීසයත් ඇඳ ගෙන යාළුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි වැඩිම විනොදේ. අපි නම් ක්‍රිකට්වලට වඩා ජල්ලි ගැහීම, කැට ගැහීම අවුරුදු උත්සව වල ආදියේයි කාලය ගත කළේ. අවුරුදු නිවාඩුව දුන්න ගමන් කජු කඩන්න යාම, කැවිලි හදන කොටම උණු උණුවෙම හොරෙන් එකක් දෙකක් කෑම ආදියත් තවම මතකයි! අවුරුද්දට නෑ ගෙවල්වල යාමත් සොඳුරු දෙයක්. නැන්දල මාමලට වැන්දම ඔළුව අත ගාලා බුලත් කොලේ ක ඔතලා දෙන සත 25 කාසිය කින් ලැබුව සතුට අද කීයකින්වත් පිරිමහන්න බැහැ.
    බුද්ධි ගලනයට අපි ගොදුරු වුනාද, 78 සමාජ විපර්යාසයෙන් අපේ මුල් ගලවලා දැම්මා ද කියලා හරියටම කියන්න අමාරුයි. ඒත් ගමේ ඉපදිලා නගරෙට වැදිලා ගමේ රසවත් අතීතය හීනෙන් ලෙව කමින් නගරෙට කොටු වෙලා ඉන්න අපි වගේ අති බහුතරයක් නාගරිකයො ඉන්නවා. අපට ඒ හීනෙ විකුණන්න තමයි කාරගිල්ස් එකේ ළමයින්ට චීත්ත රෙදි අන්දලා, පොල් අතු ගහපු මැටි පැලක තියලා කැවිලි විකුණන්නෙ. සියළු නාලිකා අපේ හිතේ තියෙන ඒ අඩුපාඩුව අයිසින් කරලා අපි වගේ එවුන්ට පැය 24 පුරාම විකුණනවා. අපට තියෙන්නෙ ඒ සිහිනය කොටස් හැටියට මිළ දී ගනිමින් ජීවත් වෙන කම් ලෙව කන්නයි!
    හැබැයි මගේ දරුවො දෙන්නට නම් එහෙම ගැටළුවක් නැහැ. උන් ගෙන්දගම් පොළොවෙම උපන්න, ගමේ අවුරුදු මෝඩයගේ පෙට්ටියෙන් විතරක් දකින පරම්පරාවට අයිති නිසා. ඒකත් සහනයක් උන්ට මට වගේ කෑලි දෙකකට කැඩුනු අවුරුදු හිතක් නැති නිසා. අවුරුදු කිහිපයකින්ම නිලාවක් රතිඤ්ඤාවක් පත්තු නොකරපු සුධාරක මගේ සියුම් දුකේම දිගුවත් වගෙයි මට හිතෙන්නෙ. ඒත් ජීවිතේ කියන්නෙ අවුරුද්ද විතරක් ම නොවෙයි නෙ. සරසවි වරම් ලැබුවම අත්තටු සවි වෙලා තනිව ම පියාඹන්න පුළුවන් වුනා ම වෙනම ලෝකයක් විවෘත වෙයි. ඒ නිසා හැකි ඉක්මනින් අවුරුදු සිහිනයෙන් චුත වෙලා සරසවි සිහිනයට පිය මනින එකයි දැන් සුධාරක කරන්න ඕන.

    • අප්‍රේල් 23, 2010 12:04 ප.ව.

      බොහොම ඉස්තූතියි මෙතනට තමන්ගේ මතකයනුත් එකතු කරාට. අවුරුදු සිහිනය කෙසේවෙතත්, සරසවි සිහිනය ඊට ව‍ඩා බරපතල හීනයක්! :D

  10. අප්‍රේල් 23, 2010 11:56 පෙ.ව.

    අලුත් අවුරුද්දට සුබ පතපු හැම දෙනාටම බොහොම ඉස්තූතියි. ඒ වගේම එසේම වේවා! :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers