Categories
Uncategorized

අවුරුදු මතක

අලුත් අවුරුද්ද ලබන්න තව ඉතින් සුළු වෙලාවක් වෙනකොටත් මට තවමත් ‍අවුරුද්ද ගැන මුකුත් ලියාගන්න බැරිවීම නං ටිකක් කණගාටුවට කරුණක්. මේ දවස්වල ටිකක් ආතතිය වැඩියි. අනේමන්ද ඇයි කියල. අවුරුද්දට ලියන්නෙ මොකක්ද කියල හිත හිත ඉන්නකොට එකපාරම හිතගියේ මීට අවුරුදු ගානකට කලින් සැමරුන අවුරුද්ද ගැන. ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ එන්න කලින් තිස්සමහරා‍මෙ ගත වුන කුඩා කාලෙ අවුරුද්ද සැම‍රුනේ පුදුම සැහැල්ලුවක් හිතේ තියාගෙන.

අපේ කාලෙ වෙනකොට සාම්ප්‍රදායික සිංහල ගැමි ක්‍රීඩා නම් බො‍හෝමයක් අපේ අතර තිබුනෙ නැහැ. ඔළිඳ කෙළිය, චක්ගුඩු, එල්ලේ, පංච කෙලිය තිබුනෙ ටීවි එකෙයි පොත් පත් වලයි විතරයි. එල්ලේ ගැහිල්ලට නම් හොඳ ඉඩක් නැති නිසාම ඒක අපේ අතරින් වෙන්වෙලයි තිබුනෙ. කොහොම නමුත් අපේ සෙල්ලම වුනේ ක්‍රිකට්. වෙනද ‍වගේ නෙවෙයි, නොනගතේට හැම වැඩක්ම අතෑරලා ඉන්න වැඩිහිටි අයත්, පොඩි අයත් එක්ක ක්‍රිකට් සෙල්ලමට එකතු වෙන නිසා, එතන සතුටු සාගරයයි!

මේ අතර හිටියා කඩයක අයිතිකාරයෙකුත්. ඉතින් දිනන පිලට තෑග්ග විදිහට ලැබෙන කේක් එක ලැබෙන්නෙ මේ කඩකාරයාගෙනුයි. කොහොමවුනත් පැවැත්වෙන ක්‍රිකට් තරග තුනෙන් පස්සෙ දෙපිල කෙසේ වෙතත්, කේක් කෑල්ල සමසේ බෙදෙනවා. 🙂

අවුරුදු කාලෙට ගෙන්ගෙට යන එකත් එකතු කරේ පුදුම සතුටක්. ගෙන් ගෙට යන එකත්, ගෙදරට තවත් කෙනෙක් එනකොටත් දැනුන සතුට පුදුමාකාරයි.

කො‍හොම නමුත් දැන් අවුරුදු ගානක් ගතවෙලා ගිහින්. පවුලේ තනියම සිටින්නා වීමත්, පාඩම් වැඩවලට, පරිගණකයට සහ ගමෙන් බොහෝ දුර ගෙයක සිරගතවෙලා ඉන්න නිසාත් අවුරුද්ද, “අවුරුද්ද” තරම්ම නොදැනෙන තරම්. ඒ වගේම ආරන්චි විදිහට දැන් තිස්ස ගම් පළාතෙත් අවුරුද්ද ඒ හැටි සැමරෙන්නෙ නැත්තෙ මීට අවුරුදු ගානකට කලින් මගේ මිතු‍රන්ගෙ නෑදැයන් බොහෝ ප්‍රමාණයක් සුනාමියෙන් අන්ත්‍රා වීම නිසාවෙන්. ඒ වගේම ශිෂ්‍යත්වයෙන් සමත් වුන බොහෝ දෙනෙක් දැන් තැන තැන විසිරිලා. කොළඹම ඇවිත් පදිංචි වෙලා කිව්වොත් හරි.

කාලයත් එක්ක සමාජය වෙනස් වෙනවා. ටිකෙන් ටික අපි හුදකලා වෙනව වගෙයි දැනෙන්නෙ. ෆේස්බුක් එකේ යහ‍ළුවෝ දහස් ගණනින් හිටියත්, එකතුවෙලා අවුරුද්ද සමරන ප්‍රීතියක් දැනෙන්නෙම නැති තරම්. කොහොමහරි ඇත්තම කිව්වොත් මම දැන් අවුරුදු පහ හයකින් අවුරුද්දකට නිලා කූරක්, රතිඤ්ඤයක් ආසාවට පත්තු කරලා නැති තරම්. ඒක සෑහෙන්න දුකක්.

මොනව වුනත් තව අවුරුදු දෙක තුනකට පස්සෙ වත් අවුරුද්ද හොයාගෙන යන්න පුලුවන්කම ලැබෙයි. එතකන් බලාගෙන ඉමු! 🙂 කොහත් නිවාඩුවට ගමේ ගිහින් නිසා, කොහෝ සද්දෙත් ඇහෙන්නෙ අපි වගේ ටවුමෙ නතරවුන බිසී කොහෙක්ගෙන් විතරයි. ඒත් ඌට නිවාඩු පාඩුවක් ලැබෙන කලාතුරකින් විතරයි.

ඔහොම තමයි ජීවිතේ… එන්න එන්න සංකීර්ණ වෙනව.

මොනව වුනත්,

ලබන්නා වූ මේ ශ්‍රී සුබ නව වසර සාමය සතුට සෞභ්‍යාග්‍ය පිරි ශ්‍රී සුබ නව වසරක් වෙන්නත්, සිතේ දුක් කම්කටොළු සියල්ල අමතක කරල අලුතෙන් ජීවිතය අරඹන්න සුබ මොහොතක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව. අලුත් වෙන්නත්, වෙනස් වෙන්නත් මේක සුබ ‍මොහොතක් කරගන්න. ඉදිරියට එන නව වසර සෑම අතින්ම සාර්ථක කරගන්න අවකාශ ලැබෙන්නත්, ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ලැබෙන්නත් මේ සටහන කියවන ඔබටත්, සකල ලෝක වාසී සියලුම දෙනාටත් සුබ ප්‍රාර්ථනා කරනව.

සුබම සුබ, සුබ අලුත් අවුරුද්දක් වේවා!