Categories
ජන මාධ්‍ය

ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍රියාකාරීත්වය මගේ ඇසින්.

ශ්‍රී ලංකාව තුළ මේ වන රූපවාහිනී නාලිකා (චන්ද්‍රිකා මඟින් පමණක් විකාශය වන නාලිකා හැර) ආසන්න වශයෙන් 13ක් පමණ සිය විකාශන කටයුතු එකිනෙකා පරයමින් කරගෙන යනු ලබන අතර, එම නාලිකා වලටම සුවිශේෂී වැඩසටහන් මෙන්ම වෙනත් රටවල නාලිකා වල වැඩසටහන් වලට අයත් මොඩල යොදාගනිමින් නිර්මාණය වූ වැඩසටහන්ද ඔවුන් විකාශනය කරනු ලැබේ.

ශ්‍රී ලංකාව තුළ මාගේ ඇසට ගෝචර වූ නාලිකා 13 පහත පරිදි වේ.
ජාතික රූපවාහිනී
නේත්‍ර ටී.වී
චැනල් අයි
ස්වාධීන රූපවාහිනී
සිරස ටී.වී
T. N. L (ටෙලිෂාන් නෙට්වර්ක් ලංකා)
ස්වර්ණවාහිනී
මැක්ස් ටී.වී
දෙරණ
චැනල් වන් එම්. ටී. වී
ඊ.ටී.වී
ටී. වී ලංකා
ආ(ර්)ට් ටී.වී

මෙම නාලිකා අතුරින් චැනල් අයි හා නේත්‍ර ටී. වී එකම නාලිකාව තුළ නාළිකා 2ක් ලෙස මේ වන විට ක්‍රියාත්මක වන අතර. මෙයින් නේත්‍ර ටී. වී තුළ දෙමළ මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වන අතර චැනල් අයි තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේවාට අමතරව දෙමළ මාධ්‍යයෙන් ක්‍රියාත්මක වන නාලිකාවක් ලෙසින් ශක්ති T. V. පෙන්වා දිය හැක. ඉංග්‍රීසි මාධ්‍ය‍යෙන් විකාශනය වන නාලිකා ලෙස ඊ. ටී. වී (ETV), ආ(ර්)ට් ටී. වී. (ART TV) හා Channel One MTV හැඳින්විය හැක. අනිකුත් සියළුම නාලිකා සිංහල භාෂා මාධ්‍යය ‍ඔස්සේ සිය වැඩසටහන් විකාශනය කරනු ලබයි.

මෙම නාලිකා ප්‍රධාන වශයෙන් කොටස් 2ක කට පැහැදිලිව වෙන් කිරීමට හැකි අතර ඒවා නම්,
රජයේ මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වේ. ජාතික රූපවාහිනී, Channel Eye, Nethra TV හා ස්වාධීන රූපවාහිනී ප්‍රධාන වශයෙන් රජයේ මාධ්‍ය ලෙස පැහැදිලිව වෙන් කිරීමට හැකියාව ඇති අතර අන් සියළුම නාලිකා පෞද්ගලික නාලිකා වේ.

ජාතික රූපවාහිනී නාලිකාව පිළිබඳ…
ජාතික රූපවාහිනිය මීට කාලයකට පෙර අති උසස් අන්දමින් සිය වැඩසටහන් විකාශනය කරන ලද අතර, මේ වන විට සිය තත්ත්වය පහත මට්ටමකට ගෙන ගොස් ඇති අතර මේ වන සිය ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහත වැටීමකට ලක්වී ඇති බව එක් එක් සමීක්ෂණ වාර්තා වලින් පැහැදිලි වේ. රට පුරාම පැහැදිලිව නැරඹීමේ හැකියාව ඇති වීම විශේෂත්වයක් වන අතර, සාමාන්‍යයෙන් මෙම නාලිකාව වැඩි වශයෙන් නරඹනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර වූ වැඩිපුර නාගරීකරණයට ලක් නොවූ දිස්ත්‍රික්ක වල වේ. තාක්ෂණය යොදා ගෙන ඇසට ප්‍රිය අන්දමින් වැඩසටහන් ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක් නොමැති බව පෙන්නුම් කරන අතර එනිසා වෙනත් නාලිකා වලට සැලකිය යුතු පිරිසකගේ යොමුවීම නිසා එය ඔවුන්ගේ ග්‍රාහකයින් අඩු වීමට තවත් එක් හේතුවකි. නමුත් මෑතකදී තිරගත වූ චිත්‍රපටි ඔවුන්ගේ නාලිකාව තුළින් විකාශනය කිරීම ප්‍රේක්ෂකයින්ගේ සතුටට කාරණයකි. කලකට පෙර ඔවුන්ගේ ළමා වැඩසටහන් වල තිබූ ගුණාත්මක භාවය මේ වන විට ගිලිහී ගොස් ඇති අතර, එම ‍පෙර තිබූ ගුණාත්මක භාවයට සම කළ හැකි කිසිදු වැඩසටහනක් දැන් පවතින් අනෙකුත් නාලිකා වල පවා විකාශය නොවීම තවත් එක් විශේෂ කරුණක් වේ. එමෙන්ම මෙම නාලිකාව දැඩි ලෙස (ඕනෑවටත් වැඩියෙන්) රජයට පක්ෂපාතී ලෙසට ඔවුන්ගේ වැඩසටහන් සියල්ලම හසුරුවයි.

මෙම නාලිකාවෙන් ඉදිරිපත් වූ හා ඉදිරිපත් වන වැඩසටහන් අතුරින් මා සිත් ගන්නේ…
මීට වසර කීපයකට පෙර විකාශය වූ ප්‍රවෘත්ති වැඩසටහන්.
මායා බන්ධන (1 හා 2 කොටස්)
රොබින් හුඩ් (සිංහල උපසිරැසි)
කද මල්ල
නවයයි පහ
පිස්සූ පූසා (කාටූන් – සිංහල හඬ කැවීම්)
දොස්තර හොඳ හිත (කාටූන් – සිංහල හඬ කැවීම්)
හසරැලි රසාර (මපට් ෂෝ)
X-Files Series (සිංහල උපසිරැසි – මේ වන විට නම් විකාශය වන්නේ නැවත විකාශයන් ලෙසය)
බදාදා සැඳෑ නිම්නය (3to5ලෙස මීට වසර කිහිපයකට පෙර විකාශය වූ)
සෙනසුරාදා (ශනිදා) හා ඉරිදා ආයුබෝවන් වැඩසටහන් (මීට වසර 4කට පමණ පෙර විකාශය වූ)
ඉලක්කය

නමුත් මේ ලියන අවස්ථාව වන කාලයට පෙර ගතවී ගිය වසර 2 තුළම “ඉලක්කය” වැඩසටහන හැර කිසිදු අළුත් ගුණාත්මක වැඩ සටහනක් ‍දැක ගැනීමට නොහැකි විය.

නේත්‍ර ටී. වී හා චැනල් අයි නාලිකා පිළිබඳ…
මෙම නාලිකා ඉහත කී ශ්‍රී ලංකා රූප‍වාහිනී ආයතනයට අනුබද්ධ නාලිකා 2ක් වන අතර රූපවාහිනී නාලිකාවේ කලින් විකාශය වූ වැඩසටහන්ද විකාශය කෙරේ. කිසිදු සිත් ගත් වැඩසටහනක් නොමැත.

ස්වාධීන රූපවාහිනී පිළිබඳව…
ස්වාධීන රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාවේ පැරණිතම රූපවාහිනී නාලිකාවයි. මෙම නාලිකාව මේ වන විට සීඝ්‍ර වර්ධනයක් ලබා ගැනීමට හැකිවී ඇති නමුත්, රජයට දැඩි ලෙස පක්ෂපාතී වන නිසාවෙන් ඔවුන්ගේ අති විශිෂ්ටම දේශපාලනික වැඩ සටහන වූ “තුලාව” දේශපාලනික වැඩටහන රජයේ නියෝජිතයින්ට පමණක් සීමා වීම අතිශය කණගාටුදායක කාරණයකි. ජනතා විමුක්ති පෙරමුණෙහි නියෝජිතයින්ද මෙම ‍වැඩසටහනට එකතු කරගන්නේ නම් ඒද ජනතා විමුක්ති පෙරමුණ රජයට පක්ෂපාතී වන අවස්ථාවකදී පමණකි. UNP එකේ කුමන හෝ නියොජිතයෙක් දැක ගැනීම හරිම අපහසු කාරණයකි. ඒ අනුව “තුලාව” වැඩසටහනෙහි ඇති ගුණාත්මක භාවය 100%කින් පහතට හෙලී ඇත. කෙසේ නමුත් “දොරමඬලාව” සංවාද වැඩසටහන එදත් අදත් මගේ සිත් ගත් වැඩසටහනක් වන අතර එහි ඇති ගුණාත්මක භාවය, වටිනාකම දිනෙන් දින ඉහලට යාම ඉමහත් සතුටකි. ප්‍රවෘත්ති වලින් විකාශය වන දේශීය ප්‍රවෘත්ති වලින් 75%ක්ම යුධමය හා ආරක්ෂක ප්‍රවෘත්ති වීම විශේෂයක් වේ. නව තාක්ෂණය යොදාගනිමින් ඇසට ප්‍රිය ලෙස වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව ඇගයීමකට ලක් කළ යුතුය.

සිත් ගත් වැඩසටහන්…
දොරමඩලාව
මීට වසර කිහිපයකට පෙර විකාශය වූ “තුලාව” වැඩසටහන්
අටපට්ටම

සිරස නාලිකාව පිළිබඳ…
සිරස නාලිකාව යනු ලාංකීය සම්ප්‍රදායට, සංස්කෘතියට දැඩි ලෙස බලපෑම් කරන ලද බටහිර නාලිකා අනුගමනය හෝ අනුකරණය (මේ වචන 2න් ඕනෑම වචනයක් යොදාගත්තත් ගැටළුවක් නැත) කරමින් ලාංකීය ප්‍රේක්ෂකයින්ට දැඩි ලෙස බලපෑම් කරන ලද, දේශපාලනික වශයෙන් වැදගත් මාධ්‍යක් වූ නාලිකාවක් වන අතර. බොහෝ පිරිස් ඉහත කී කරුණු නිසාම එල්. ටී. ටී. ඊ සංවිධානයට මෙම නාලිකාව සම්බන්ධ බවට චෝදනා එල්ල කරයි. ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකාවක් හොබවන මෙම නාලිකාව අනුකරණය හෝ අනුගමනය කිරීමටද සමහරක් නාලිකා පෙළඹී ඇත. ඇත්ත වශයෙන්ම මෙහි විකාශය වන වැඩසටහන් වෙනත් බටහිර නාලිකා වල වැඩසටහන්වල මොඩලයන් භාවිතා කරමින් සිය වැඩසටහන් ඉදිරිපත් කරයි. උදාහරණයක් වශයෙන් American Idol වැඩසටහන “Sirasa Super Stars” ලෙසත්, Larry King Live සංවාද වැඩසටහන “කෙලින් කතාව” ලෙසත් ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස ඉදිරිපත් කරයි. විවිධ සමීක්ෂණ වාර්තාවන් අනුව වැඩියෙන්ම නරඹන රූපවාහිනී නාලිකාව ලෙස සිරස වාර්තාගතවී ඇත. මෙම නාලිකාව වැඩි වශයෙන් නරඹනුයේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු වෙනත් නාගරීකරණය වූ ප්‍රදේශ වල බව නොරහසකි. මොවුන්ගේ බහුතරයක් වැඩසටහන් Reality ආකාරයෙන් විකාශනය වීම නිසා වැඩි ප්‍රේක්ෂක ග්‍රහනයක් ලබා ගැනීමට සමත් වී ඇත. කෙසේ වෙතත් ඉන්දියාවේ නිෂ්පාදනය වන බොළඳ ලාබාල වර්ගයේ ටෙලි නාට්‍ය විකාශනය කිරීම නම් කිසිසේත්ම මා අනුමත නොකරන නමුදු කිසිදු රසඥතාවකින් තොර හින්දි මෝස්තර දැක බලාගැනීමට කැමති (විශේෂයෙන්ම කාන්තාවන්ගේ) අයගේ සිත් ඇදගැනීමට මෙම නාට්‍ය සමත්වී ඇත. මෙම නාට්‍ය වලින් දේශීය නාට්‍ය වලට එල්ල වූ තරඟකාරීත්වය නිසාවෙන් දකුණු ඉන්දීය ටෙලි නාට්‍ය ශිල්පීන් ගෙන්වා ලංකාවේ රංගන ශිල්පීන් යොදා ගනිමින් දීර්ඝ කතා පෙළක් සහිත නාට්‍ය නිපදවීමට වෙනත් නාලිකා යොමුවීම අ‍පගේ දේශීය නාට්‍ය ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල කරනු ලැබේ.මෙම නාලිකාව තුළ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව විකාශය වීම අවම ප්‍රතිශතයක් ගන්නා නමුත් රජයට විපක්ෂ අදහස් කෙරේ වැඩි යොමුවීමක් දක්නට ලැබේ. ප්‍රවෘත්ති යම් කිසි ගුණාත්මක භාවයකින් ඉදිරිපත් කරන නමුත් ඔවුන්ගේ සමබර භාවය පිළිබඳව ගැටළු පැන නැගී ඇත. බොහෝ විට අපට දැක ගත හැකි විශේෂයක් වන්නේ මෙම නාලිකාවට ආචාර්ය මර්වින් සිල්වාගෙන් එල්ලවන චෝදනා ප්‍රමාණයයි. සමහරු මෙම නාලිකාව වෙත බැඳී ඇති අතර සමහරු වෙනත් නාලිකාවල නැරඹීමට යමක් නැති නිසාවෙන් හෝ මෙම නාලිකාවට බැන බැනම මෙම නාළිකාවන නැරඹීම තවත් විශේෂත්වයක් වේ. එමෙන්ම මෙම නාලිකාව දේශපාලනික වැඩසටහන් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කර නැති අතර විනෝදාස්වාදය සඳහා සිය විකාශන කාලය වැඩි වශයෙන් යොදාගනී.

සිත් ගත් වැඩසටහන්…
කෙලින් කතාව
සිරස සුපර් ස්ටාර්ස්
සූර පප්පා (සිංහල හඬ කවන ලද කාටූන්)
News 1st
විවාද
ආර්ට් එක

T. N. L. (ටෙලිෂාන් නෙට්වර්ක් ලංකා) නාලිකාව පිළිබඳව…
මෙම නාලිකාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නාලිකා අතුරින් සිය වැඩසටහන් සිය ග්‍රාහකයන්වෙත ගෙනයාම සඳහා ‍තාක්ෂණය අවම වශයෙන් යොදා ගන්නා නාලිකාවක් වේ. දේශපාලනික වැඩසටහන් සමබර ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව නම් මෙම නාලිකාවට විශේෂ ගෞරවයක් හිමි විය යුත්තේය. ‍‍”ජන හඬ” දේශපාලනික වැඩසටහන ඉතා උසස් ගණයේ දේශපාලනික වැඩසටහනක් ලෙස නම් කළ හැක.

සිත් ගත් වැඩසටහන්…
ජන හඬ

ස්වර්ණවාහිනී නාලිකාව පිළිබඳ…
ආදරණිය ස්වර්ණවාහිනිය ලෙස තමන්වම හඳුන්වාගන්නා මෙම නාලිකාව දේශපාලනික වශයෙන් සමතුලිත භාවයක් පෙන්වන, රසවින්දනාත්තමක වැඩසටහන් වල ගුණාත්මක භාවයක් පෙන්වන හා විටෙක අසාර්ථක වූ රසවින්දනාත්මක වැඩමටහන් ප්‍රචාරණය කරන ලද, කිරීමට ඉඩ තිබෙන නාලිකාවක් වේ. ඔවුන්ගේ සාර්ථක හා අසාර්ථක වූ වැඩසටහන් දෙස විමර්ශනාත්මක ඇසකින් ලබන විට පෙනෙන්නේ මෙම නාලිකාව විවිධ පරීක්ෂණ සමීක්ෂණ හරහා සිය ප්‍රේක්ෂක ප්‍රමාණය අඩු හා වැඩි කර ගන්නා බවයි. තරඟයට නිර්මාණය කරන ලද “ශක ලක බේබී”,”ගෞතමී”හා “ෆ්‍රෙන්ඩ්ස්” යන ටෙලි නාට්‍ය අසාර්ථක ගණයට වැටුනු නමුත් “නිලංජනා” ටෙලි නාට්‍යය හරහා යම් කිසි සාර්ථකත්වයක් ලැබීමට සමත් විය. නව තාක්ෂණය උපරිම ලෙස යොදාගනිමින් ආකර්ෂණීය ග්‍රැෆික් නිර්මාණය කිරීම හා කාල සටහනකට තමන්ගේ වැඩසටහන් විකාශනය කිරීම නිසා මෙම නාලිකාවට ජනතා ප්‍රසාදය වැඩි වශයෙන් හිමිවී ඇත. “රතු ඉර” දේශපාලනික වැඩසටහන ඉතාමත් සමබර දේශපාලනික වැඩසටහනක් වන එය වැඩසටනට උපරිම ජන ප්‍රසාදය හිමිවී ඇත.කෙසේ වෙතත් මෙම නාලිකාව විසින් විකාශනය කරනු ලැබූ බහුතරයක් දේශීය ටෙලි නාට්‍ය වලට ජනතා ප්‍රසාදය හිමිවී ඇත.

සිත් ගත් වැඩසටහන්…
රතු ඉර
ඇන්ඩ් කොම්පැණි
නාන කාමරේ
ෆැමිලි ඩොක්ටර්
Live @ 8
පරණ හපන් පැදුර
හත්දින්නත් තරු
මහා සිංහලේ වංශ කථාව

මැක්ස් ටී. වී පිළිබඳව…
මෙ ලියන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ නවතම නාලිකාව වනුයේ මැක්ස් ටී. වී නාලිකාව වේ. වැඩි විස්තර මෙම නාලිකාවට පිළිබඳව පැවසීමට නැතත් සුභ අනාගතයක් ඇති නාලිකාවක් ලෙසට පැවසීමට කිසිදු පැකිලීමක් නම් මගේ නොමැත. එයට හේතුව ඔවුන්ගේ වැඩසටහන් අතුරින් දේශපාලනික වශයෙන් වැදගත් වන “හතරවෙනි තට්ටුව” වැඩසටහන හා රසාස්වාදය, වින්දනය පිළිබඳ සැලකීමේදී ” Cinemato” වැඩසටහන පිළිබඳව ප්‍රසාදයක් මසිත තුළ ඇති අතර, විචාරක් කිරීමට තරම් ඔවුන්ගේ නාලිකාව පරිණත නොවන බැවින් විචාරයෙන් වැලකී සිටිමි. කෙසේ වෙතත් යම් කිසි අළුත් දෙයක් කළ හැකි නවකයින් පිරිසක් හා චමුදිත සමරවික්‍රමගෙන් සන්නද්ධ ව මේ නව නාලිකාව පිළිබඳව මැදහත් සිතින් බලා සිටීම මේ අවස්ථාවේ කිරීමට ඇති එකම දෙය වේ.

සිත් ගත් වැඩසටහන්…
හතර වෙනි තට්ටුව
Cinemato

දෙරණ නාලිකාව පිළිබඳ…
වෙනත් නාලිකාව වල විකාශය වූ වැඩසටහන් ඔවුගේම නවමු ආකාරයකින් ඉදිරිපත් කරන මෙම නාලිකාව මේ වන විට ප්‍රේක්ෂකයින් ඉතාමත් සීඝ්‍රයෙන් ග්‍රහණය කර ගැනීමට සමත් වී ඇත. ඔවු‍න්ගේම අනන්‍යතාවයකින් යුතුව විකාශය වන වැඩසටහන් ලෙස සැලකිය හැක්කේ “සිකුරු සෙනසුරු” ජෝතිෂමය වැඩසටහන, තවත් ජෝතිශමය වැඩසටහනක් වන “පාර කියන තාරුකා” වැඩසටහන හා “Colombo Fashion Show” යන වැඩසටහන් වන අතර, “වාද පිටිය”, “Star in minute” වැනි වැඩසටහන් මෙන්ම “360” සංවාද වැඩසටහන වෙත දැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමුවී ඇත. එමෙන්ම “අද දෙරණ” නමින් ගෙන එන ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශයට තාක්ෂණය මුසු කරමින් සිය ග්‍රාහකයින්ට ළඟා වීමට ඔවුන්ට හැකිවී ති‍බීම විශේෂයක් වේ. සාපේක්ෂව අළුත් නාලිකාවක් වුවත් ඔවුන්ගේ විකාශයන් සිදුවූ කාලය තුළ ඉතාමත් ඉහල මට්ටමකට පැමිණීම විශේෂත්වයකි.

සිත් ගත් වැඩසටහන්…
අද දෙරණ
Bid 2 Win
වාද පිටිය
360
වාණිජ විත්ති
හනු මෑන්
වැ‍ටෙන් එහා ටෙලි නාට්‍යය

අනෙකුත් නාලිකා 4 පිළිබඳව පැවසීමට යමක් නොමැති බැවින් ඒ පිළිබඳව ලිවීමට කාලය යොමු නොකොට මෙම නාලිකා වලට මවිසින් ලබා දෙන ළකුණු පහත පරිදි වේ.

දෙරණ – 85%
සිරස – 83%
ස්වාධීන රූපවාහිනී – 79%
ස්වර්ණවාහිනී – 79%
චැනල් වන් MTV – 75%
ජාතික රූපවාහිනී – 73%
ශක්ති TV – 70%
MAX TV – 69%
T. N. L – 68%
Channel Eye සහ Nethra TV – 60%
ETV – 58%
ART TV – 55%
TV ලංකා – 55%

සුපුන් සුදාරක – http://blog.sudaraka.com

One reply on “ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍රියාකාරීත්වය මගේ ඇසින්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.