Skip to content

අසාමාන්‍ය කුමුදු

ජූලි 30, 2010

මේ මා‍ වෙත බ්ලොග් අඩවියේ පළ කරන මෙන් ඉල්ලා සිටිමින් විද්‍යුත් තැපෑලට එවන ලද්දාවූ කුමුදු පින්තු මහත්මා පිළිබඳ ලිපියකි. කර්තෘ අඥ්‍යාතයි. ඔහු පවසන අන්දමින් ඔහු කුමුදු පින්තු මහත්මාගේ පාඨශාලයීය ජීවිතයේ සමකාලීනයෙකි.

Read more…

වනචර කෙල්ල. (කෙටි කතාවකි)

ජූලි 29, 2010
සුපුන් සුදාරක ගෙනි

මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් නොවේ. මෙහි චරිත සියල්ල මනඃකල්පිතය.

හ්ම්…
යනවා ඉවරයක් නැති බස් එකේ ගමන් ගන්න වෙලාව අනන්තයක් වගේ හිතට දැනෙන්න පටන් අරගෙන දැන් අනන්ත වෙලාවක්. පන්තියට යන්නත් තව වෙලා තියෙනව. පන්තියට යන්නෙ නම් හොඳ හිතකින් නෙවෙයි. බස් එකට නඟින්න කලින් දුරකථන කතාවෙන් බහින්බස් වුන තරහත් අරගෙනයි බස් එකට නැග්ගෙ. ඇයත් එක්ක තරහ වෙලා කතා නැතිව ඉන්න‍කොට දැනෙන අනන්ත පාලුව අනන්ත කාලයකට පරිවර්තනය වෙලා වගෙයි.

Read more…

කුමුදු පින්තු බ්ලොග්කරුවාගේ අභාවය පිළිබඳව…

ජූලි 26, 2010
සුපුන් සුදාරක ගෙනි

බ්ලොග් කියවන පාඨකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් බ්ලොග් අඩවි අතර නම ගිය බ්ලොග් අඩවියක් වුන “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියේ කතෘ කුමුදු පින්තු මහත්මාගේ අභාවය සමස්ත සිංහල බ්ලොග් අවකාශයම ශෝකයෙන් පිරවූ ප්‍රවෘත්තියක් වුණා. කෙසේ හෝ ප්‍රවෘත්තිය දැන ගැනීමෙන් පසු මිතුරකු සමඟ ඔහුගේ නිවසට යාමට අවස්ථාව හිමිවුවත් අවාසනාවට ඔහුට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි නොවූයේ තවමත් ඔහු නිවසට පැමිණ නොසිටි නිසාවෙන්.

එතුමාගේ අවසන් කටයුතු ජූලි 28වැනි බදාදා දින සවස කොළොන්නාව පොදු සුසාන භූමියේ පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහෘද ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ ඔහුගේ නිවසේ ලිපිනය: 129/1, මීතොටමුල්ල, වැල්ලම්පිටිය.

ඔබට නිවන් සුව අත්වේවා! සිංහල බ්ලොග් අවකාශයට ඔබගෙන් වූ සේවය අප සිත් තුළ සදා නොමැකෙනු ඇත.

ආදරය ගැන කෙටි සටහනක්

ජූලි 16, 2010
සුපුන් සුදාරක ගෙනි

ආදරය මිනිස්සු වෙනස් කරනවා. සමහර වෙලාවට ගෙම්බ පොළොවෙ ගැහුව වගේ නැත්තටම නැති කරල දානවා. මිනිස්සු ආදරය පස්සෙන් එළවල එලවල අන්තිමට හති වැටිල විනාස වෙනව. එක දෙයක් කියන්න තියෙනව. ආදරය පස්සෙන් එළවන්න එපා. ආදරය හොයාගෙන යන්න එපා. ආදරය තමාව හොයාගෙන ඒවි. එකපාරක් නාස්ති වුනොත් ජීවිතේ අවුරුදු ගානක් පස්සට යනව. ඒත් පරක්කු නෑ. වෙනස් වෙන්න පුලුවන්…. හැබැයි හොඳ පැත්තට!

වරද කාගෙද?

ජූලි 14, 2010

සිංහල පොතේ කැකිල්ලේ රජ ගැන සඳහන් වුන පාඩමට මාතෘකාව යෙදිල තිබුනෙ “වරද කාගෙද?” නමින්. ඒ මගේ මතකය නිවැරදි නම් පමණයි. ඕනෑ වුනේ කැකිල්ලේ රජ ගැන කතාකරන්නවත්, දේශපාලනය ගැන කතා කරන්නවත් නොවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතා කරන්නයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතිකා ඇති වීම දැන් කාලේ විලාසිතාවක් වීම නිසා මගේ හිතේ ෆේස්බුක් ගැන කතාකිරීමට අකමැත්තක් තිබුනත්, නොලියාම බැරි නිසා පොඩි සටහනක් යොදන්නම්. සටහන යොදන්න හිතුනෙ ලංකා ටෘත් (Lanka Truth) වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් නිසාවෙන්.

ප්‍රවෘත්තියේ කියැවෙන විදිහට ෆේස්බුක් වෙබ් අඩවියට විරුද්ධව ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි 50කට වඩා ඇති බවත්, එයින් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙකේ. ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබන ඡායාරූප වලින් අසභ්‍ය ඡායාරූප නිර්මාණය කරලා!

මේ ගැන ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහත්මාගේ ප්‍රතිචාරය අගය කළ යුතුයි. ෆේස්බුක් එකිනෙකාගේ පුද්ගලික අවශ්‍යතාව අනුව භාවිතයේ වෙනස්කම් ඇති නිසාවෙන් පොදුවේ රටටම බලපාන ආකාරයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කරන්න බැහැ. මේ කාරණය නිසා පැමිණිල්ල ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව වුනත්, හරිනම් පැමිණිල්ල එල්ල වෙන්න ඕනෙ පැමිණිල්ල යොදන කෙනාටමයි.

ඒක හරියට නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (විවරණය: හාමුදුරුවො = ෆේස්බුක්) වගේ වුනත්, ෆේස්බුක් භාවිතා කරන උදවිය කිසිම පරික්ෂාවකින් තොරව තමන්ගෙ නොයෙකුත් ඡායාරූප ඇතුළත් කරන අතරෙ ඒ සඳහා අවශ්‍ය කරන පෞද්ගලිකත්ව ආරක්ෂණ උපක්‍රම යොදන්නෙ නැහැ. ඒ වගේම නොදන්න අය මහපරිමා‍ණයෙන් තමන්ගෙ මිතුරු මිතුරියන් කරගෙන.

විකල්ප තුනක් තියෙනවා. ඔබට මිතුරු මිතුරියන් සොයාගන්න අවශ්‍යනම්, මූන පෙන්නන්නම අවශ්‍ය නම්, හැඳුනුම්පතේ ඡායාරූපයක් වගේ එකක් Profile Picture එක විදිහට ඇතුළත් කරල අනිත් සියලුම තමාගේ ඡායාරූප අයින් කරන එක ඇඟට ගුණයි.

දෙවෙනි විකල්පය, තමන්ගෙ ඡායාරූප තියාගන්න වෙන තැනක් ඇත්තේම නැතුව ෆේස්බුක් එකට ඇතුළත් කරනවානම්, තමන් ඇත්ත ජීවිතයේ මුනගැහෙන අය විතරක් එකතු කරගන්න. ඇත්ත ජීවිත‍යේ අයත් විශ්වාස කරන්න බැරි මේ වගේ කාලයක, ටිකක් පරිස්සමෙන්. පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න! (වහෙන් ඔරෝ කිව්වෙ Privacy Settings හරියට හදාගන්න)

අනිත් දේ තමයි, ෆේස්බුක් භාවිතා නොකර ඉන්න එක.

නැතිනම් වෙන්නෙ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න වෙන එකයි.

කාලෙකට පස්සේ… ආයෙමත්.

ජූලි 11, 2010
සුපුන් සුදාරක ගෙනි

මේ දවස්වල මුකුත් ‍නොලිව්වට මොකද, හිතේ නම් තිබුනෙ ලියන්නම කියලයි. ඒත් මොනව කියල ලියන්නද? ජීවිතේ එන්න එන්න සංකීර්ණ වෙනව. උසස් පෙළත් අත ළඟ. මේ අගෝස්තු වල ලියන කණ්ඩායමෙන් පස්සෙ ඊළඟට හෙනහුරා වැටෙන්නෙ අපේ ඔළුවට. හරි. කමක් නෑ කියමු. උසස් පෙළ කියන්නෙ සැඟවුනු ආශිර්වාදයක්.

මේ දවස්වල සෑහෙන්න ප්‍රමාණයක් වැඩ කෙරෙනව. පුලුවන් තරම් කාල කලමණාකරණය කරගෙන හැම වැඩක්ම ගොඩදාගනව. පසුගිය මාස තුනක විතර කාලයක් ‍කිසියම්ම පසුබෑමකට ජීවිතේ ලක්වුනා කිව්වොත් හරි. ‍මොනව වුනත්, ආදරය ගොඩක් දේවල් අපිට උගන්වනවා.

‍මේ දවස්වල සාහිත්‍ය සංග‍මයේ අලුත් වැඩ ටික ලෑස්ති කරගෙන යන අතරෙ. කිරුළ හිමින් හිමින් ලියැවෙනව. වැඩිපුර බර ඇදෙන්නෙ මගෙ යාළුවගෙ අතින් කිව්වොත් හරි. කොහොමින් කොහොමින් හරි ළඟදීම කිරුළ එළියට එයි. සාහිත්‍ය.lk අඩවියත් එළියට එයි. ඒ ගැන බයවෙන්න එපා. සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ඊළඟ අදියරත් ළඟදීම ආරම්භ වෙයි. අලුත් විදිහකට මේ පාර බ්ලොග්කරණ තරගාවලිය තියන්නයි බලාපොරොත්තුව.

හැමදේම හොඳින් සිදුවෙනව කියන්නයි මේ සටහන ලියවෙන්නෙ. කොහොමහරි මාත් දැන් අවුරුදු 18ක් වුන ලොකු-කොට-වැඩිහිටි-ළමයෙක්!

පළමුවත් පාඩම!
දෙවනුවත් පාඩම!!
තෙවෙනුවත් පාඩම!!!