පාවුලෝ කොයියෝ කියන්නේ ලංකාවෙ පරිවර්තන කියවන්නන් අතර ජනප්‍රිය චරිතයක්. සන්තියාගෝ නම් සැරිසරන්නා (The Alchemist), මිනිත්තු එකොළහේ කතාව (Eleven Minutes), යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය (Devil and miss Prime) සහ තවත් මෙකී නොකී පොත් රැසක් මෑත කාලයේ පොත් කියවන්නන් අතර හුවමාරු වුනා. මම පුද්ගලිකව කොයියෝගේ දේව කතා කියවන්න කැමති නැහැ. ඒත් මේ ළඟදි මහරගම සරසවියට ගිය වෙලාවක කොයියෝගේ අලුත් පොත, Manuscript Found in Accra මුනගැහුනා.
පොතේ මිල නිසා ගන්නවාද නැද්ද කියලා සෑහෙන්න හිතන්න වුනත් පිටු එකින් එක කියවද්දි පොත ළඟ තියාගන්න සෑහෙන්න ආශාවක් ඇතිවුනා. Manuscript Found in Accra පොතේ කවරය නම් ඇත්තටම ලස්සනයි. Gold Color ප්‍රින්ට් එකකුත් තියෙනවා.
මේක නවකතාවක් කියලා කියන්න නම් අමාරුයි. නවකතාවක ලක්ෂණ තිබුණත් වර්ගීකරණය කරන්න වෙන්නෙ ආගමික සහ උපදේශණාත්මක අන්තර්ගතයන් (content) ඇතුළත් පොතක් විදිහට. ලියවිල්ල ඇත්ත වශයෙන්ම අලංකාරයි. සිත් ඇදගන්නා සුළුයි. පාවුලෝ කොයියෝගෙ හැම පොතකම වගේ එන ජිවිතය පිළිබඳව කියවීම් එක තැනකට ගොනු කරලා කියලයි මට හිතුනේ. ඒ වගේම පොතේ තැන තැන සඳහන් වෙන අප බලාපොරොත්තු නොවන අමුත්තා, එහෙමත් නැතිනම් “මරණය” මට නම් ඉඟිකරේ කොයියෝ මෑතක ඉඳලා තමන්ගෙ මරණය බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා කියලා.
පොත වැඩිය ලොකු නැහැ. කතාවක්ම වාගේ නොවුනත් කියවාගෙන යන්න පුලුවනි. ඒ වගේම සංකීර්ණ ඉංග්‍රීසියකුත් නැහැ. (මේක පෘතුග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුන පොතක්) ඉතින් මේ පොත මඟඅරින්න එපා. සමහර විට ජීවිතය පිළිබඳව ඔබ හිතන විදිහ වෙනස් වෙන්න පුලුවනි. මටනම් කලින් කොයියෝ කියවා තිබුන ආකාරයට අලුත් යමක් දැනුන අවස්ථා අවමයි. නොදැනුනා නෙවෙයි. ඒත් අවමයි. වඩාම වැදගත් දේ ලියලා තියෙන ශෛලිය. ඒක ගැන නම් ඉතින් ලකුණු සීයෙන් සීයක් දෙන්න පුලුවනි. මැණික් කැටයක් ඔප දමන්නෙක් ආලෝකයට මැණික් කැටය නිරාවරණය කරලා හරව හරව බලන්නා වගේ අපි දන්න ජීවිත අත්දැකීමක්, ජීවිත අවබෝධයක් වඩාත් ඔපමට්ටම් කරල ඒ පිළිබඳ ආලෝකයක් අපට ලබාදෙන්න මේ පොත සමත්.
කෙටි සටහන නිමා කරන්නේ, උපුටා ගැනීමකින්. 🙂