Categories
පොත්

චයිනමන් – ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය

chinamn

සිංහල පොතක් කියවපු කාලයක් මතක නෑ. මතකෙ තියෙන අන්තිම පොතත් කුරුළු හදවත. පොතක් පිළිබඳ රෙකමදාරු අහන අහන තැන නිතරම කියවුන පොතක් තමයි ෂෙහාන් කරුණාතිලකගේ චයිනමන්. පොත ලියැවිලා තිබුනේ ක්‍රිකට් ගැන කියල දැනගන්න ලැබුනත් මගේ ක්‍රිකට් දැනුම මදිකම නිසා පොතේ නමයි ක්‍රිකට් ගැහිල්ලයි අතර සම්බන්ධය ගලපගන්න බැරුවයි හිටියේ.

ඔය අතරෙ තමයි අහන්න ලැබුනෙ පොත සිංහලට පරිවර්තනය වෙලා කියල. පොත පරිවර්තනය කරන්නේ මම කැමතිම සිංහල සිංදුවක පද රචක. කැමතිම සිංදුව තමයි “ඇරඹුමම කඳුලක් වෙලා“. පද රචක තමයි දිලීප අබේසේකර. මේ සටහන පොත පිළිබඳ විචාරයක් නෙවෙයි. හැඳින්වීමක් වගේ එකක්. පොත ගැන දැනටමත් බොහෝ ලිපි අන්තර්ජාලයේ ඇති නිසා මම මුහුන දෙන පළවෙනි ගැටලුව තමයි පොත ගැන මට අලුතෙන් මොනවද ලියන්න තියෙන්නේ කියන එක.

මුලින්ම කියන්න ඕනෙ පොතේ අකුරු පොඩියි. ඒක සමහර වෙලාවට රසවත් කියවීමකට ලොකු බාධාවක් කියලත් හිතෙනවා. ඒක නිසා වෙන්න ඇති මට තවමත් පොත කියවලා ඉවරයක් කරන්න බැරි වුනෙත්. 😛 අකුරු පොඩි වුනත් කතාව නම් රසවත් කියල තේරුනේ කතාවෙ මුල් අර්ධය කියෙව්වාම. ඒත් මුලින් රහට දැනෙන, ඒත් පොතේ මැද හරියක් වෙද්දි මෙලෝ රහක් නැති වෙන සිංහල පොත් කියවලා හොඳ පළපුරුද්දක් තියෙන නිසා මේක කොහොමවෙයිද කියලා කියන්න බෑ දැන්ම.

ඒත් එක අතකට පොත අරන් තියෙන සම්මාන ගොඩ බැලුවමනම් එහෙම අපේක්ෂා භංගත්වයට පත්වෙන්න ලැබෙයි කියලා හිතන්නත් බෑ තමයි. ලංකාවෙ ඉංග්‍රීසි පොතකට ලැබෙන ලොකුම සම්මානෙ, ඒ කියන්නෙ ග්‍රේෂන් සම්මානය ලැබෙන්න නම් එක්කො ඒ වෙනකොට සම්මානෙ දෙන්න වෙන පොතක් තිබිල නෑ. එහෙම නැතිනම් මේක තමයි සිරාම පොත. ඒත් කියවපු ටිකේ දැනුන රහ අනුව නම් මම වුනත් ඒ සම්මාන මණ්ඩලේ හිටියනම් ඉතිරි ටික නොකියවාම සම්මානෙට නිර්දේශ කරන්න තිබුනා.

ඔරිජිනල් පොතේ හිමිකාරයා ෂෙහාන් කරුණාතිලකනම් මට අලුත්. ඒ වගේම ඔනෙම පරිවර්තනයකදී ලිඛිත භාෂාවට එහා දේවලුත් පරිවර්තනය වෙනවා. පොතේ මුල් භාෂාවට අදාළ සංස්කෘතිය පරිවර්තන භාෂාවත් එක්ක ගැලපෙන්නෙ නැත්තන් පරිවර්තන කෘතියක් කියවල ආතල් එකක් ගන්න අමාරුයි. ඒත් කතාව ලංකාව වටේ ලියවුන එකක් නිසත්, ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන දෙයක් (වෙන මැච් නොබැලුවත් අඩුගානෙ ලංකාව තේරෙන ෆයිනල් හරි බලන) නිසත් ඉංග්‍රීසියෙන් සිංහලට කතාව පරිවර්තනය වෙද්දි, මේක පරිවර්තනයක් ය කියල හිතාගන්නවත් බැරිතරම් පරිවර්තනය නැවුම්. එහෙනම් ඉතින් ඒකෙ ගෞරවය දිලීප අබේසේකරට දෙන්න ඕනෙ.

පොත තවම කියවලා ඉවර නෑ. මොකද කියන්නෙ? ඉතිරි ටිකත් කියවන්නද? එපාද? 😛

පසු ලිවීම:
පොත අරගන්න හිතනවානම් ටකස් එකෙන් ගෙදරට ගෙන්නගන්නත් පුලුවනි. 😉

…..

ගිහින් එන්නම්. සෙස්ස පස්සට. 🙂

Categories
පොත්

Manuscript Found in Accra

manuscript-found-in-accra

පාවුලෝ කොයියෝ කියන්නේ ලංකාවෙ පරිවර්තන කියවන්නන් අතර ජනප්‍රිය චරිතයක්. සන්තියාගෝ නම් සැරිසරන්නා (The Alchemist), මිනිත්තු එකොළහේ කතාව (Eleven Minutes), යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය (Devil and miss Prime) සහ තවත් මෙකී නොකී පොත් රැසක් මෑත කාලයේ පොත් කියවන්නන් අතර හුවමාරු වුනා. මම පුද්ගලිකව කොයියෝගේ දේව කතා කියවන්න කැමති නැහැ. ඒත් මේ ළඟදි මහරගම සරසවියට ගිය වෙලාවක කොයියෝගේ අලුත් පොත, Manuscript Found in Accra මුනගැහුනා.

පොතේ මිල නිසා ගන්නවාද නැද්ද කියලා සෑහෙන්න හිතන්න වුනත් පිටු එකින් එක කියවද්දි පොත ළඟ තියාගන්න සෑහෙන්න ආශාවක් ඇතිවුනා. Manuscript Found in Accra පොතේ කවරය නම් ඇත්තටම ලස්සනයි. Gold Color ප්‍රින්ට් එකකුත් තියෙනවා.

මේක නවකතාවක් කියලා කියන්න නම් අමාරුයි. නවකතාවක ලක්ෂණ තිබුණත් වර්ගීකරණය කරන්න වෙන්නෙ ආගමික සහ උපදේශණාත්මක අන්තර්ගතයන් (content) ඇතුළත් පොතක් විදිහට. ලියවිල්ල ඇත්ත වශයෙන්ම අලංකාරයි. සිත් ඇදගන්නා සුළුයි. පාවුලෝ කොයියෝගෙ හැම පොතකම වගේ එන ජිවිතය පිළිබඳව කියවීම් එක තැනකට ගොනු කරලා කියලයි මට හිතුනේ. ඒ වගේම පොතේ තැන තැන සඳහන් වෙන අප බලාපොරොත්තු නොවන අමුත්තා, එහෙමත් නැතිනම් “මරණය” මට නම් ඉඟිකරේ කොයියෝ මෑතක ඉඳලා තමන්ගෙ මරණය බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා කියලා.

පොත වැඩිය ලොකු නැහැ. කතාවක්ම වාගේ නොවුනත් කියවාගෙන යන්න පුලුවනි. ඒ වගේම සංකීර්ණ ඉංග්‍රීසියකුත් නැහැ. (මේක පෘතුග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුන පොතක්) ඉතින් මේ පොත මඟඅරින්න එපා. සමහර විට ජීවිතය පිළිබඳව ඔබ හිතන විදිහ වෙනස් වෙන්න පුලුවනි. මටනම් කලින් කොයියෝ කියවා තිබුන ආකාරයට අලුත් යමක් දැනුන අවස්ථා අවමයි. නොදැනුනා නෙවෙයි. ඒත් අවමයි. වඩාම වැදගත් දේ ලියලා තියෙන ශෛලිය. ඒක ගැන නම් ඉතින් ලකුණු සීයෙන් සීයක් දෙන්න පුලුවනි. මැණික් කැටයක් ඔප දමන්නෙක් ආලෝකයට මැණික් කැටය නිරාවරණය කරලා හරව හරව බලන්නා වගේ අපි දන්න ජීවිත අත්දැකීමක්, ජීවිත අවබෝධයක් වඩාත් ඔපමට්ටම් කරල ඒ පිළිබඳ ආලෝකයක් අපට ලබාදෙන්න මේ පොත සමත්.

කෙටි සටහන නිමා කරන්නේ, උපුටා ගැනීමකින්. 🙂

Without solitude, Love will not stay long by your side.

Because Love needs to rest, so that it can journey through the heavens and reveal itself in other forms.

Without solitude, no plant or animal can survive, no soil can remain productive, no child can learn about life, no artist can create, no work can grow and be transformed.

Solitude is not the absent of Love, but its complement.

Solitude is not the absence of company, but the moment our soul is free to speak to us and help us decide what to do with our life.

Therefore, blessed are those who do not fear solitude, who are not afraid of their own company, who are not always desperately looking for something to do, something to amuse themselves with, something to judge.

If you are never alone, you cannot know yourself.