Categories
පොත් විචිත්‍ර

එකමත් එක පිටරටක – ලියනගේ අමරකීර්ති

එකමත් එක පිටරකට

හැම ශනිදාවකම පන්ති ඉවරවෙලා සරසවියට ගොඩවදින්න ඇබ්බැහි වෙලා ඉන්නේ සරසවියේ පොත් සුවඳ විඳින්න. වෙනදානං පන්තිය ඉවරවෙලා කාගෙහරි පස්සෙන් ගියා තමයි. ඒත් දැන් එව්වා නෑ. කොහොමහරි ඒ පස්සෙන් යාම වෙනුවට ඊට වඩා වැදගත් දෙයක් ජීවිතේට ආදේශනය වෙලා. කොටින්ම කිව්වොත් ගෑනු ළමයෙක් එක්ක පෙමින් වෙලෙනවාට වඩා හොඳයි සරසවියට ආදරය කරන එක. අනික මේක ආදරය මරණ දඬුවම් ලැබිය හැකි කාලයක් නෙව. සමහර වි‍ට ඉස්කෝලෙන් අස් කෙරෙන්නත් පුලුවන් නෙව. (ඒ අතුරු කතාව ගැන ළඟදීම ලියන්නම්). පොත් ගැන කතා කරොත් ඉතින් ඒකත් එක්තරා ආතල් එකක මාතෘකාවක්. එක තැනකින් පටන් අරගෙන ගියාට පස්සේ මොකද මෙන්න තව තව අතුරු මාතෘකා. හොඳයි. මාතෘකාවට බහිමුකෝ…

මාතෘකාවේ තියෙන විදිහටම මේක පොතක්. පොතක් කිව්වාට මේක කතා පොතක් නෙවෙයි. මේක කවි පොතක්. සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන අයට නම් අමතක නොවෙන චරිතයක් වෙන්න ඕනේ මේ ලියනගේ අමරකීර්ති ශූරීන්. ඔව්. අර අටවක පුත්තු පොත ලියපු කෙනා තමයි මේ. නුගේගොඩ සරසවි‍යට ඇතුළු වෙනවාත් එක්කම වම් අත පැත්තෙන් තියෙන පඩිපෙළත් එක්ක තියෙන්නේ අලුත් සිංහල පොත් රාක්ක දෙකක්. ඒකෙන් එකක තියෙන්නේ ටිකක් බරපතල පොත්. එක එක කරුණු කාරණා සම්බන්ධ විෂය සංවේදී පොත්. අනිත් පැත්තේ තියෙන්නේ රසාස්වාදනය සඳහා පොත්. ඉතින් හැමදාම ඕක දිහා අනිමිස ලෝචනයෙන් පටන්ගන්න සරසවි සංචාරය පටන්ගන්නේ එතැනින්. පොත් ටික දිහා බලාගෙන බලාගෙන යනකොට දැක්කා පොතක්. පොතේ නම එකමත් එක පිටරටක. පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති.  පොත අතට ගන්න හිතනකොටයි දැනගත්තේ දැනටමත් ‍අත තියෙන්නේ පොතේ බව. ලියනගේ අමරකීර්ති අටවක පුත්තු පොතෙන්, පොත් අල්ලන්න දුන්නු උත්ප්‍රේරකය තාම අතට අමතක වෙලා නෑ කියලා හිතුනේ ඒ වෙලාවේ තමයි.

ෂහ්, මේක මරු කවි පොතක් නෙව. සාමාන්‍යයෙන් මම වැඩිපුර කවි කියවන ජාතියේ කෙනෙක් නම් නෙවෙයි. ඒ වුනාට ළඟකදී ඉඳලා කියැවෙනවා වැඩියි. කවි ලියන්න ඕනේ නං පුතෝ කවි කියවලා ඉන්න ඕනෙයි කිව්වේ අපේ මේ ආනන්දවර්ධන මාමා. එතකොටයි තේරුනේ හැබෑම නේන්නං කියලා. ඉතින් අර කවි ලියන්න. ලියැවීම සඳහා කියවන්න තිබුන ආසාව හරියටම හිතට ආවේ ‍මේ වෙලාවේ තමයි. ඉතින් ළඟ තිබුන දෙසීයක් වියදම් කරලා. පල්ලෙහා තට්ටුවෙන් රුපියල් සීයකට ත්‍රිකෝණමිතිය පොතකුත් උස්සගෙන එළියට බහිනකොට හරියටම සරසවි‍ය ඇතුළේ පැය එකහමාරක් විතර ඉඳලා. සරසවියේ සිංහල පොත් තියෙන හතරවෙනි තට්ටුවේ ඉඳලා පොත් තොගේක සුවඳ විඳිනකොට දන්නෙම නැතුව පැය එකහමාරක් විතර ගිහිල්ලා ඉවරයි. හතරවෙනි තට්ටුව කිව්වේ පාතාලේ තියෙන තට්ටුව අංක එක විදිහට අරගෙන. අධ්‍යාපනික පොත් පාතාලෙටම දාලා තියෙන එක ලොකු දෙයක්. මොකද ඒ තරමටම අපට වද දෙනවා නෙව. මං දැක්කා අම්මා කෙනෙක් පුතාට මාස්ටර් ගයිඩ් පොත් ප්‍රකාශන සේරම අරගෙන දෙනවා. එක කතා පොතක්වත් තිබුනාද කියලා සැකයි. මොනවා කරන්නද… ත‍රගේ නෙව. මට ඉතින් ‍පොඩි‍ එකා ගැන දුකත් නොහිතුනා නෙවෙයි. පොත් වල සුවඳ දෙවෙනි වෙන්නේ ගෑනු ළමයින්ගේ සුවඳටද කොහෙද කියලා මට නිකන් හිතුනේ හතරවෙනි තට්ටුවේ ඉඳගෙන පොත් අතරේ කරකැවෙනකොට. සමහර විට ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. ඒ ඒ වෙලාවට සාපේක්ෂව නෙව එහෙම දැනෙන්නේ… 🙂 පොත් ප්‍රදර්ශනෙත් ළඟ නිසා කැරකි කැරකි ඉඳලා පොත් ටිකක් හිතට දාගත්තා.

පොත් ටිකත් අරගෙන බස්සෙකේ එනකොට කියවන්න අතට ගත්තේ එකමත් එක පිටරක පොත. ඕන්නං ඇතුළේ ඉඳගෙන වුනත් මේක කියවලා ඉවරකරන්න තිබුනා. ඒත් මේක ළඟ තියාගෙන කැමති කැමති වෙලාවට බලන එක ඊට වඩා හොඳ නිසයි බැලුවේ.  අම්මපා මට හිතයි කවි ඔක්කොම උපුටලා දාන්න. ඒ වුනාට ඒක හරි නෑ නෙව. කට්ටිය වෙලාවක මේ පොත අරගෙන බලන්න. මං හිතන්නේ රුපියල් දෙසීය අපතේ යන එකක් නැති වෙයි.
එක කවියක් දාන්නද, එපාද කියලා හිතුනත් හිත බල කරනවා එක කවියක් උපුටලා දාන්නම කියලා. මේක කවියක් කිව්වාට මේක කවි පන්තියක්. කවි පන්තියම උපුටලා දානවාද නැද්ද කියලා තාම කල්පනා කරනවා… කමක් නෑ… දාමු!

මේක තමයි තියෙන පළවෙනිම කවි පන්තිය. මේක ඇත්තටම කිව්වොත් නිසඳැසක්… හපොයි. මම දැන් කවිය කිව්වා, කවි පන්තියක් කිව්වා, අන්තිමේ නිසඳැසක් කියලත් කිව්වා… අනේ මන්දා කියවන අය ඕනේ එකක් හිතාගන්න. මෙන්න මම දැම්මා!

අතිනත ගත් පොත්

පතින් පත පෙරලා
පොතින් පොත අර ගන්න
පොතක් අල්ලන්නටම
මැවුනා වැනි
අතකි

පැහැපත
සිහිනි
දිග
ඇඟිලිය

පිලිඹිබු විය හැකිද
රසික මත
සුමුදු අතැඟිලි
තුඩු මත
මල් පෙතිවලින් මුද්‍රිත පොතද
නොරිදා පෙරලිය හැකි

අපේ අත් පොත් මත
එක ලඟ නතර වූයෙය
අහා මේ මනරම්
හිමිදිරි උදය සුවඳකි
මතු වන්නට හැකිය කවියක රස
රසිකාවියක සුවඳ ලෙස?

අපේ අත් නැවතින
අපේ ඇස් එක් විය
පොතපතට කල ඇල්මෙන
පින් කල බව දැනින

මේ නම් රසික දෑසකි
හොඳම කවි කියවා ඇති
සිංදු පද උඩ පාවෙන
නංගියෙකුට වැඩිය

මට පෙන්නුවා ඈ
උකුල උනුහුම රැඳි
ඇගේ කැමතිම පොත්
ඈට පෙන්නුවා මම
තාම හද ගැස්ම රැන්දුන
මගේ කැමතිම පොත්

අපේ අත් නැවතින
සිව් ඇස මුන ගැසින
හද කවි නටන්නට විය
අප දෙදෙනාගේ හදගත්
පොත් දෙක දෙක බැගිනි
මනාවට ගැලපෙන
ගත් මෙනිය අතිනත්
අපේ හිත්ගත් පොත්

එක සාහිත්‍ය මාසෙක
මනහර සැඳෑවකි
පොත්සල රසික යායකි
එකම ඉරනම් කවි පොතක් මත
අපේ අත් මුන ගැසින
අපේ ඇස් එක් විය

මා එදින කිව්වේ
කලක් මා සිත ගෙතූ කියුමකි:
“අකමැතිද අපි දෙන්නම
පොතකින් එකක් විතරක් ගන්න?”

ඇගේ මුව ගොලු විය
ඇස් බිමට යොමු විය
මා හද මතක කවි
හුදු වාර්තා බවර පෙරලින
එහෙත් ඒ අත එසවින
වලලු වීනා ගෑවෙය
දෙදෙනාම අත තැබූ
පොත මවෙත දිගු වින

“එහෙනං
ඔයා කියවලා මටත් දෙන්න”

ඒ මිහිරි ලජ්ජා මදහස
මහරුම හයිකු කවියකි
සාමකාමී උදයක
විහ‍ඟෙකු ගැයූ ගීයකි

සුලඟක අහම්බෙන් ආ
සමන් මල් සුවඳකි
තිබෙයි අපෙ ගෙදර දැන්
පොත් වලට වෙන් වූ කුටියක්
දල්වන ඈ සැඳෑ කල
බුදු සාදුටද පහනක්
තිබෙයි අප හද මැදුරුවල
ඒ ‍පොත් මුන ගැසුන දවසක්
වෙනමම රාක්කෙක
තිබෙයි පොත් වගයක්
එකින් දෙක දෙක පිටපත්

ගෙදර කරදර ඇති
හිතේ පීඩා ඇති
සමහර දවස්වල
ඒ රාක්කේ පොත්
වෙන වෙනම ගෙන කියවමු
තනි තනිවම නිහඬව
අපට වෙන් වූ තැන්වල

ඇගේ පොත්වල
සහ මගේ පොත්වල
අපේ පොත්වල නැති මිහිරකි
සුලඟක අහම්බෙන් ආ
සමන් මල් සුවඳකි
සිනාවක් වැනි උදයක
විහ‍ඟෙකු ගැයූ ගීයකි

මා සොඳුරට හොරෙන්
ඒ පිටු සිඹින කල
විඳින්නේ කවි උපන් දවසකි
එහෙත් එක් දවසක
ඒ පොත් රාක්කය අස
පොතක් දෝතින් ගෙන
සිඹින බව දැක
මා හද කපා ගිය හීයකි

එහෙත් සුහදිනි එය
කවියක් කරන රිදුමකි
අරුතක් සහිත විඳුමකි

ලියනගේ අමරකීර්ති
එකමත් එක පිටරටක

Categories
පොත්

අටවක පුතාලයි-මායි

පහුගිය බදදා දවසක පන්තියට වේලාසනින් ගියේ එක්තරා ආකාරයේ වැඩකට වුනත් කවුරුවත්ම පන්තිය ළඟ හිටපු නැති නිසා කෙලින්ම සරසවියට ගි‍යේ පොතක් දෙකක් ගන්නම හිතා ගෙන නම් නෙවෙයි. හුඟ කාලෙකට කලින් ඉඳලාම “ආනන්දවර්ධන” මාමා විසින් රෙකමදාරු කරලා තිබ්බ “අටවක පුත්තු” පොතයි “මාස්ටර් සහ මාගරීටා” පොතයි දැකලා ඒක ගන්නමයි කියලා හදවත වද දුන්නා. ළඟදී තිස්ස ඉඳලා යාලුවෙකුගෙන් උස්සගෙන ආපු මැක්සිම් ගෝර්කිගේ “මගේ විශ්ව විද්‍යාල”‍‍ පොත හේතුවකටද අහේතුවකටද මන්දා කියවාගන්න බැරි වෙලා තිබ්බ නිසා ආපහු පොතක් කියවාගන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවෙන් වුනත් පොත් දෙක අතට ගත්තාම පොත් දෙක අතේ ඇලුනේ, “අනේ බං මාව ගෙදර ගෙනියපන්” වගේ. ඒ ඉල්ලීම අහක දාන්න බැරි නිසා එක්තරා පුද්ග‍ලයෙක්ට දුරකථ‍නයෙන් ඇමතුමක් දීලා වැඩ තව දුරටත් තහවුරු කරගෙන පර්ස් එකෙන් සැලකිය යුතු ගානක් සෘණ කරලා වෙනත් වියදම් ගිණුමට හර හෝ බැර (මට දැන් ආර්ථික විද්‍යාව මතක නෑ!)  කරන කොට නම් මට ටිකක් අප්සට් වුනාට පස්සේ වෙලාවක පොත කියවද්දියි තේරුනේ “වෙනත් වියදම්” ගිණුමට බැර කරාට වඩා හොඳයි “ප්‍රාග්ධන වියදම්” ගිණුමට හර/බැර කරානං හොඳයි කියලා. මේක කියවන ආර්ථික වි‍ශේෂඥයෝ සමාවෙලා මේකේ වාච්‍යාර්ථය විතරක් තතේරුම් ගනියි කියලා හිතලා ඔන්න මං නැවතත් මාතෘකාවට බහින්නයි මේ සූදානම.

මාතෘකාවට බහින්න කලිං තව දෙයක්. පොත් වල ගණං නම් ටිකක් නෙවෙයි හුඟාක්ම වැඩියි කියලයි සුදාරකගේ පර්ස් එක නම් කියන්නේ. ගෙදරින් කෑගැහුවා ඔයිට වඩා හොඳයි නේ ඕයි උසස් පෙළ ගණිතයට පොත් හතරක් පහක් ගත්තානං හොඳයි කියලා. “ඒකත් ඇත්ත” කියලා යටහත් පහත්ව කියනගමන් සුදාරක හිමීට හිමීට පොතේ පිටු පෙරලන්න ගත්තා…

දෙවෙනි පාරටත් මාතෘකාවට බහින්නයි මේ සූදානම…

ලියනගේ අමරකීර්ති ශූරීන් විසින් කර්තෘභාගය හිමි කරගෙන ඉන්න මේ පොතේ නම ආපහු කිව්වොත්, නමින් “අටවක පුත්තු”. මට නම් මෙ‍තුවක් කාලෙකට මෙහෙම සිංහල පොතක් නම් අහු‍වුනේ ඕං. පොත නම් ලියැවිලා තියෙන්නේ නනලල භේදය නොසලකා හැරලා. මං කියන්න හැදුවේ මේ නණළල භේදය ගැනයි. ව්‍යාකරණ වලින් අක්ෂර වින්‍යාසයෙන් මට කිසි ප්‍රශ්නයක් නැති නිසා කතාවට විතරක් හිත යොමු කරලා කියවන අතරේ වුනත් සමහර තැන් වලදී මතක් වුනා මේ තැනට එ‍න්නේ “මේ” අකුර නෙවේයැ කියලා.

“උඹ නං මොකෙක්ද මන්දා… කතාව කියෝපං ඕයි!” අඬහදයා මට පොඩි සත්තමක් දැම්මා. ඒක නිසාම ආයෙත් මුකුත් නොහිතා පොත කියෙව්වා.

අනේ මන්දා… මං විචාර ලියන්න එච්චර දන්නේ නෑ. අර සාපෙට (සාමාන්‍ය පෙළට) තියෙන සිංහල පේපරේට ලියපු විදිහට විචාර ලියන්න ගියොත් නං ඉතින් මුලු පොතම ලියන්න වෙනවා. මුලු පොතම ලියන්න වුනොත් හෙන වෙලාවක් යතුරු ලියනය කරන්න වෙන නිසාත්, ඒ නිසා මේ සටහන කියවන අයට පොත කියවන්න හිතක් ඇති නොවේයැයි කියලාත් හිතුන නිසා. අටවක පුත්තු මට මොකක්ද කරේ කියලා කියන්නයි මේ උත්සාහය. පොත කියවන, පොත ගැන හිතන අතරෙයි තේරුනේ කව්දෝ එක්කෙනෙක් දුරින් ඉඳගෙන “මේ ‍පොත් ගැන හිතන්නේ නැතුව”… ඒ “අහවලා” ගැන හිතන්න කියලා කෑ ගැහුවා ඇහුනා වුනත් එයාට ඕන කුදයක් ගහන්න කියලා මම පොත ගැන. මං ගැන. චරිත ගැන හිතුවා…

පොත කියවපු මට මේක ඇත්ත කතාවක්ද? නැත්තං මනඃකල්පිතයක්ද? නැත්තං වෙන ක්ද? කියලා හිතගන්න බැරි වෙච්ච එක තමයි මුලින් වුනේ. නැත්තං මේක අර පොතේ පිටි පස්සේ ලියලා තියෙන විදිහට මේ පොතේ තියෙන්නේ කතාව ආදර කතාවක්ද?  රහස් පරීක්ෂක කතාවක්ද? නැත්තං කල වයස එළැඹීම ගැන කතාවක්ද? හුදෙක් විශ්ව විද්‍යාල කතාවක්ද? කියලා පඹගාලක පැටලෙන්න වුනා. කතාවට පාදක වෙච්ච 1956 ඉඳලා සුදාරක බබා උක්කුං වුන කාලේ වෙනකන් තියෙන මේ කතාව ලංකාවේ මෑත කාලීන ඉතිහාසය කියන අන්ධකාරේ පැටලිලා උන්නු සුදාකට විදුලි පන්දම් ආලෝකයක් වුනා කිව්වොත් නිවැරදි වෙන්න ඕනේ. “ඔව්. ඒක නිවැරදියි” දමයන්ත කිව්වා. කවුද මේ දමයන්ද?

දමයන්‍තගේ ඔළුවට දෙල් ගෙඩියක් වැටිච්ච නිසයි මේ සේරම ගිණි විජ්ජුම්බර පටන් ගන්නේ. පොඩි කාලේ ඉඳලා තමන්ගේ මැදි විය වෙනකන් කතාව පිටු ගානකට ගොනු කරන්න ඔහුගේ තිබ්බ දස්සකම දැකලා සුදාරකට හිතුනා දමයන්ත වගේ වෙන්න. නෑ… පස්සේ වෙලාවක හිතුනා රවී වගේ වෙන්න. ඒවා ඕනේ නෑ තමා තමා වුනාම හොඳටම ඇති කියලා. “තමා” කවුද කියලා බලනකොටයි තේරුනේ මේ කතා පොතේ ඔක්කොම චරිත සමාජේ පේන්න ඉන්න අය වගේ තමයි කියලා. එහෙම බලාගෙන යනකොටයි තේරුනේ බුදු හාමුදුරුවෝ වදාලපු “තමා” යැයි කියා දෙයක් මේ ලෝකේ නෑ කියනෙකේ තේරුම.

මේ පොත අද කියවලා ඉවර කරපු පාඨකයා කියවලා ඉවරවෙන්නත් කලින් පාඨකයාව වෙනස් කරපු මේ කතා පොතින් අතක් මතුවෙලා මට පෙන්නුවා වෙනස් වෙන හැටි. මේක තමයි යථාර්ථය කියලා පෙන්නුවා. දාගෙන හිටපු කණ්ණාඩිය කුඩු පට්ටම් කරලා දැම්මා. උපතින්ම හැමෝගෙන්ම එන දේශප්‍රේමය, දේශපාලනීකරණය කරන්නෙපා කියලා කිව්වා. එතකොටයි මට පෙනුනේ මේ වචන දෙකම “දේ” යන්නෙන් පටන්ගන්නවා කියලා. එතකොට දිල්කි කිව්වා. “අකුරු වල බැඳීම නෙවෙයි වචනේ දෙකේ තේරුම විතරක් හොයාගන්න එකයි හොඳ” කියලා. පොතකටයි ඒ පොත කියවලා ඒකෙන් උපමා උපමේය අරගෙන තව තැනක ‍ඉන්න කෙනෙක් ගැන හිතපු මට තේරුනා මේ දෙක මාව වෙනස් කරන්න හදනවා කියලා… වෙනස් වීම කියන්නේ වෙන්න ඕනේ දෙයක් නිසා ඔන්න ටික ටික වෙනස් වෙන්න හදනවා… වෙනස් වීම කෙසේ වෙතත් හොඳ පැත්තට වෙනස් වෙන්න කියලා “නන්ද” කිව්වා…

පොත තනියම කියවලා සතුටක් විඳිනාතුරේ (විඳින+අතරතුරේ) මට හිතිච්ච දෙයක් තමයි…
“අ‍‍ඩෝ ‍මේ පොත වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගනින්! වෙනස්කරපං!” කියලා…
ඉතින් එහෙම පොතක් කියවලා විඳින්න පුලුවන් ග‍මෙන් ආපු යාළුවෝ සෙට් එකක් කොළඹ හත කේන්ද්‍ර කරගෙන විසිරිලා ඉන්නවා කියන දේ පුදුමාකාර වාසනාවක් කියලත් හිතුනා. පොත බෙදන ගමන්. අන්න “අරූ” වගේ මගේ “සොඳුරු සිතුවම්” පොත ගල්ටික් නොකර මේක වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගෙන වෙනස් වෙයන් කියන්න සුදාරක නම් අමතකරන්නේ නෑ! නෑමයි…!!!

ඉතින් මගේ බ්ලොග් එක කියවන අයගෙන් එක අතඟ ඇඟිලි ගානකටක් වඩා අඩු ගානකට විතරක් පොත දෙන්න පුලුවන් නිසා සුදාරකගේ මේ සටහන කියවන අයට කියන්න තියෙන්නේ වහාම! හැකි ඉක්මනින්!! මේ දැන්!!! පුටුවෙන් නැගිටලා කොහේ හරි තැනකින් මේ පොත උස්සන් එන්න කියන එකයි… කියවලා ආතල් එකක් අරගෙන කැමතිනම් වෙනස් වෙන්න කියලයි! මේ ආතල් එක කියන්නේ අපේ සාමාන්‍ය භාෂාවෙන්. සතුටක් විදින්න කියලයි සුදාරක ඒකෙන් කිව්වේ. නැතුව “කුණු සතුටක්” විඳින්න නම් නෙවෙයි 😉

හෝව්! යන්න කලින් කමෙන්ටෙකක් ලියලාම යන්න… 😉