Categories
පොත්

අටවක පුතාලයි-මායි

පහුගිය බදදා දවසක පන්තියට වේලාසනින් ගියේ එක්තරා ආකාරයේ වැඩකට වුනත් කවුරුවත්ම පන්තිය ළඟ හිටපු නැති නිසා කෙලින්ම සරසවියට ගි‍යේ පොතක් දෙකක් ගන්නම හිතා ගෙන නම් නෙවෙයි. හුඟ කාලෙකට කලින් ඉඳලාම “ආනන්දවර්ධන” මාමා විසින් රෙකමදාරු කරලා තිබ්බ “අටවක පුත්තු” පොතයි “මාස්ටර් සහ මාගරීටා” පොතයි දැකලා ඒක ගන්නමයි කියලා හදවත වද දුන්නා. ළඟදී තිස්ස ඉඳලා යාලුවෙකුගෙන් උස්සගෙන ආපු මැක්සිම් ගෝර්කිගේ “මගේ විශ්ව විද්‍යාල”‍‍ පොත හේතුවකටද අහේතුවකටද මන්දා කියවාගන්න බැරි වෙලා තිබ්බ නිසා ආපහු පොතක් කියවාගන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවෙන් වුනත් පොත් දෙක අතට ගත්තාම පොත් දෙක අතේ ඇලුනේ, “අනේ බං මාව ගෙදර ගෙනියපන්” වගේ. ඒ ඉල්ලීම අහක දාන්න බැරි නිසා එක්තරා පුද්ග‍ලයෙක්ට දුරකථ‍නයෙන් ඇමතුමක් දීලා වැඩ තව දුරටත් තහවුරු කරගෙන පර්ස් එකෙන් සැලකිය යුතු ගානක් සෘණ කරලා වෙනත් වියදම් ගිණුමට හර හෝ බැර (මට දැන් ආර්ථික විද්‍යාව මතක නෑ!)  කරන කොට නම් මට ටිකක් අප්සට් වුනාට පස්සේ වෙලාවක පොත කියවද්දියි තේරුනේ “වෙනත් වියදම්” ගිණුමට බැර කරාට වඩා හොඳයි “ප්‍රාග්ධන වියදම්” ගිණුමට හර/බැර කරානං හොඳයි කියලා. මේක කියවන ආර්ථික වි‍ශේෂඥයෝ සමාවෙලා මේකේ වාච්‍යාර්ථය විතරක් තතේරුම් ගනියි කියලා හිතලා ඔන්න මං නැවතත් මාතෘකාවට බහින්නයි මේ සූදානම.

මාතෘකාවට බහින්න කලිං තව දෙයක්. පොත් වල ගණං නම් ටිකක් නෙවෙයි හුඟාක්ම වැඩියි කියලයි සුදාරකගේ පර්ස් එක නම් කියන්නේ. ගෙදරින් කෑගැහුවා ඔයිට වඩා හොඳයි නේ ඕයි උසස් පෙළ ගණිතයට පොත් හතරක් පහක් ගත්තානං හොඳයි කියලා. “ඒකත් ඇත්ත” කියලා යටහත් පහත්ව කියනගමන් සුදාරක හිමීට හිමීට පොතේ පිටු පෙරලන්න ගත්තා…

දෙවෙනි පාරටත් මාතෘකාවට බහින්නයි මේ සූදානම…

ලියනගේ අමරකීර්ති ශූරීන් විසින් කර්තෘභාගය හිමි කරගෙන ඉන්න මේ පොතේ නම ආපහු කිව්වොත්, නමින් “අටවක පුත්තු”. මට නම් මෙ‍තුවක් කාලෙකට මෙහෙම සිංහල පොතක් නම් අහු‍වුනේ ඕං. පොත නම් ලියැවිලා තියෙන්නේ නනලල භේදය නොසලකා හැරලා. මං කියන්න හැදුවේ මේ නණළල භේදය ගැනයි. ව්‍යාකරණ වලින් අක්ෂර වින්‍යාසයෙන් මට කිසි ප්‍රශ්නයක් නැති නිසා කතාවට විතරක් හිත යොමු කරලා කියවන අතරේ වුනත් සමහර තැන් වලදී මතක් වුනා මේ තැනට එ‍න්නේ “මේ” අකුර නෙවේයැ කියලා.

“උඹ නං මොකෙක්ද මන්දා… කතාව කියෝපං ඕයි!” අඬහදයා මට පොඩි සත්තමක් දැම්මා. ඒක නිසාම ආයෙත් මුකුත් නොහිතා පොත කියෙව්වා.

අනේ මන්දා… මං විචාර ලියන්න එච්චර දන්නේ නෑ. අර සාපෙට (සාමාන්‍ය පෙළට) තියෙන සිංහල පේපරේට ලියපු විදිහට විචාර ලියන්න ගියොත් නං ඉතින් මුලු පොතම ලියන්න වෙනවා. මුලු පොතම ලියන්න වුනොත් හෙන වෙලාවක් යතුරු ලියනය කරන්න වෙන නිසාත්, ඒ නිසා මේ සටහන කියවන අයට පොත කියවන්න හිතක් ඇති නොවේයැයි කියලාත් හිතුන නිසා. අටවක පුත්තු මට මොකක්ද කරේ කියලා කියන්නයි මේ උත්සාහය. පොත කියවන, පොත ගැන හිතන අතරෙයි තේරුනේ කව්දෝ එක්කෙනෙක් දුරින් ඉඳගෙන “මේ ‍පොත් ගැන හිතන්නේ නැතුව”… ඒ “අහවලා” ගැන හිතන්න කියලා කෑ ගැහුවා ඇහුනා වුනත් එයාට ඕන කුදයක් ගහන්න කියලා මම පොත ගැන. මං ගැන. චරිත ගැන හිතුවා…

පොත කියවපු මට මේක ඇත්ත කතාවක්ද? නැත්තං මනඃකල්පිතයක්ද? නැත්තං වෙන ක්ද? කියලා හිතගන්න බැරි වෙච්ච එක තමයි මුලින් වුනේ. නැත්තං මේක අර පොතේ පිටි පස්සේ ලියලා තියෙන විදිහට මේ පොතේ තියෙන්නේ කතාව ආදර කතාවක්ද?  රහස් පරීක්ෂක කතාවක්ද? නැත්තං කල වයස එළැඹීම ගැන කතාවක්ද? හුදෙක් විශ්ව විද්‍යාල කතාවක්ද? කියලා පඹගාලක පැටලෙන්න වුනා. කතාවට පාදක වෙච්ච 1956 ඉඳලා සුදාරක බබා උක්කුං වුන කාලේ වෙනකන් තියෙන මේ කතාව ලංකාවේ මෑත කාලීන ඉතිහාසය කියන අන්ධකාරේ පැටලිලා උන්නු සුදාකට විදුලි පන්දම් ආලෝකයක් වුනා කිව්වොත් නිවැරදි වෙන්න ඕනේ. “ඔව්. ඒක නිවැරදියි” දමයන්ත කිව්වා. කවුද මේ දමයන්ද?

දමයන්‍තගේ ඔළුවට දෙල් ගෙඩියක් වැටිච්ච නිසයි මේ සේරම ගිණි විජ්ජුම්බර පටන් ගන්නේ. පොඩි කාලේ ඉඳලා තමන්ගේ මැදි විය වෙනකන් කතාව පිටු ගානකට ගොනු කරන්න ඔහුගේ තිබ්බ දස්සකම දැකලා සුදාරකට හිතුනා දමයන්ත වගේ වෙන්න. නෑ… පස්සේ වෙලාවක හිතුනා රවී වගේ වෙන්න. ඒවා ඕනේ නෑ තමා තමා වුනාම හොඳටම ඇති කියලා. “තමා” කවුද කියලා බලනකොටයි තේරුනේ මේ කතා පොතේ ඔක්කොම චරිත සමාජේ පේන්න ඉන්න අය වගේ තමයි කියලා. එහෙම බලාගෙන යනකොටයි තේරුනේ බුදු හාමුදුරුවෝ වදාලපු “තමා” යැයි කියා දෙයක් මේ ලෝකේ නෑ කියනෙකේ තේරුම.

මේ පොත අද කියවලා ඉවර කරපු පාඨකයා කියවලා ඉවරවෙන්නත් කලින් පාඨකයාව වෙනස් කරපු මේ කතා පොතින් අතක් මතුවෙලා මට පෙන්නුවා වෙනස් වෙන හැටි. මේක තමයි යථාර්ථය කියලා පෙන්නුවා. දාගෙන හිටපු කණ්ණාඩිය කුඩු පට්ටම් කරලා දැම්මා. උපතින්ම හැමෝගෙන්ම එන දේශප්‍රේමය, දේශපාලනීකරණය කරන්නෙපා කියලා කිව්වා. එතකොටයි මට පෙනුනේ මේ වචන දෙකම “දේ” යන්නෙන් පටන්ගන්නවා කියලා. එතකොට දිල්කි කිව්වා. “අකුරු වල බැඳීම නෙවෙයි වචනේ දෙකේ තේරුම විතරක් හොයාගන්න එකයි හොඳ” කියලා. පොතකටයි ඒ පොත කියවලා ඒකෙන් උපමා උපමේය අරගෙන තව තැනක ‍ඉන්න කෙනෙක් ගැන හිතපු මට තේරුනා මේ දෙක මාව වෙනස් කරන්න හදනවා කියලා… වෙනස් වීම කියන්නේ වෙන්න ඕනේ දෙයක් නිසා ඔන්න ටික ටික වෙනස් වෙන්න හදනවා… වෙනස් වීම කෙසේ වෙතත් හොඳ පැත්තට වෙනස් වෙන්න කියලා “නන්ද” කිව්වා…

පොත තනියම කියවලා සතුටක් විඳිනාතුරේ (විඳින+අතරතුරේ) මට හිතිච්ච දෙයක් තමයි…
“අ‍‍ඩෝ ‍මේ පොත වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගනින්! වෙනස්කරපං!” කියලා…
ඉතින් එහෙම පොතක් කියවලා විඳින්න පුලුවන් ග‍මෙන් ආපු යාළුවෝ සෙට් එකක් කොළඹ හත කේන්ද්‍ර කරගෙන විසිරිලා ඉන්නවා කියන දේ පුදුමාකාර වාසනාවක් කියලත් හිතුනා. පොත බෙදන ගමන්. අන්න “අරූ” වගේ මගේ “සොඳුරු සිතුවම්” පොත ගල්ටික් නොකර මේක වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගෙන වෙනස් වෙයන් කියන්න සුදාරක නම් අමතකරන්නේ නෑ! නෑමයි…!!!

ඉතින් මගේ බ්ලොග් එක කියවන අයගෙන් එක අතඟ ඇඟිලි ගානකටක් වඩා අඩු ගානකට විතරක් පොත දෙන්න පුලුවන් නිසා සුදාරකගේ මේ සටහන කියවන අයට කියන්න තියෙන්නේ වහාම! හැකි ඉක්මනින්!! මේ දැන්!!! පුටුවෙන් නැගිටලා කොහේ හරි තැනකින් මේ පොත උස්සන් එන්න කියන එකයි… කියවලා ආතල් එකක් අරගෙන කැමතිනම් වෙනස් වෙන්න කියලයි! මේ ආතල් එක කියන්නේ අපේ සාමාන්‍ය භාෂාවෙන්. සතුටක් විදින්න කියලයි සුදාරක ඒකෙන් කිව්වේ. නැතුව “කුණු සතුටක්” විඳින්න නම් නෙවෙයි 😉

හෝව්! යන්න කලින් කමෙන්ටෙකක් ලියලාම යන්න… 😉