ලියනගේ අමරකීර්තිගේ පොතක් විදිහට මුල්වරට කියවෙන්නේ අටවක පුත්තු. තමාගේ රසවිඳීමේ විචාරය තීරණය වෙන්නේ තමන්ගේ පෙර අත්දැකීම් හා තමාගේ වටාපිටාව එක්ක. ඉතින් මට අටවක පුත්තු සෑහෙන්න වැදගත් පොතක් වුනා. පොත කියවන්නේ උසස් පෙළ කරන කාලේ. එහෙම පොතක් නොකියෙව්වානම්, සමහර විට මට ගණිතය අංශයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න තිබුනා වෙන්න පුලුවනි. 😛
මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා අපේ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක්වුන. මනුස්සයා මං ගැන සෑහෙන්න විවේචනයක් අර යාලුවාට දීලා මාව මිතුරුකමෙනුත් අයින් කරන්න කිව්වේ උසස් පෙළ ගණිත අංශයෙන් කරන කෙනෙක් විෂයට පිට පොත් කියවන්න ඇබ්බැහිවුනොත්, එයින් ඇතිවෙන දරුණු විපාක ළඟ මිතුරන්ටත් බලපාන නිසා.
ඒ කතාව ඇත්ත.
කුරුලු හදවත ලියන්නේ අටවක පුත්තු පොතම ලියූ ලියනගේ අමරකීර්ති බව අඳුරගන්න ලැබෙන්නේ ඒ ලියන ශෛලියෙන් සහ කතාවට මුල්වූ පරිසරයෙන්. ඒත් අටවක පුත්තු පොත ලියන අමරකීර්තිගේ ලිවීමේ හැකියාවේ දරුණු පසුබෑමක් පෙන්වන පොතක් තමයි කුරුලු හදවත. ඇයි ඒ?
මම ඉපදෙන්නෙ අනූ දෙක අවුරුද්දේ, හැදෙන්නේ වැඩෙන්නේ රූපවාහිනියත් එක්ක. ගුවන්විදුලිය එක්ක සෑහෙන්න ලොකු සම්බන්ධයක් තිබුනේම නෑ. අනික මම ඉපදෙනකොට ගොඩක් ගුවන් විදුලි චරිත අභාවයට ගිහින්. එහෙම නැතිනම් අභාවප්‍රාප්ත ගන්වලා (ප්‍රේමකීර්ති ද අල්විස්). ඒක නිසා මේ පොතේ මුල් අර්ධයනම් මට දැනුනෙ නෑ. එකම දේ නැවත නැවත කියවෙන නිසා මේ පොත ලියන්නට වැය වුන අවුරුදු හයේ කාල සීමාවේ ලියනගේ අමරකීර්තිට වෙනත් බොහෝ දෑ කරන්නට ඉඩ තිබුනා කියලයි මට නම් හිතුනේ.
ඒ කොහොමවුනත්, කතාවේ අවසාන අර්ධයේ එකතුවන චරිත මේ කතාවට කිසියම් සාධාරණයක් ඉටුකරලා තියෙනවා. ලේඛකයා ඉදිරිපත් කරන්නට උත්සාහ කරන කතාවේ දේශපාලනය සහ මගේ දේශපාලනය සමපාතවෙන නිසා, පොතෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන දේශපාලනය වෙනුවෙන් ලොකු ඇගයීමක් මගෙන් ලියනගේ අමරකීර්තිට හිමිවෙනවා. මේ පොතෙන් සෑහෙන්න හොඳ දේශපාලනයක් ගෙනියන්න තිබුනා කතාවත් ඒ වගේම ශක්තිමත් වුනානම්. කතාව ඇඟට දැනෙන්නෙ නැති නිසා, ඒකෙන් කී දෙනෙක්ට මේ දේශපාලනය ගෙනියන්න පුලුවන්දැයි කියන එකනම් මට සැකයි.
කොහොමත් මේ පොත ලියනගේ අමරකීර්ති තමන්ගේ ජීවිතයේ රාජකාරි මැද ලියපු පොතක් බව පේන්න තියෙන්නේ පොතේ තියෙන බොහෝ කෙටි පරිච්ඡේදවලින්. සිංහල නවකතාකාරයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය, නවකතා ලියන්නට වෙලාවක් හොයාගන්න නොහැකි වීම. ඒකට ඉතින් ලංකාවෙ ආර්ථික රටාවට දොස් කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපිට වුනත් කැම්පස් එකේ නාට්‍යයක් ලියන්න, සින්දුවක් අහන්න, අලුත් නිර්මාණයක් කරන්න වෙලාවක් නෑ. හිතට එන අදහස් උඩට අලුත් තියරි ගොඩගැහෙන නිසා අලුත් නිර්මාණයක් හෝ කවියක් හෝ ලිවීමේ අදහස් ලත් තැනම ලොප් කරනවා.
ඉතින් පුංචි අපට එහෙමනම්, ලොකු රචකයින් ගැන කවර කතා ද?
මේ පොත මෙහෙම වුනත්, ලියනගේ අමරකීර්ති තව මොන විදිහේ පොතක් ලිව්වත් මම කියවනවා. බාගයක් යද්දි පොත පැත්තකින් නොතිව්වේ රචකයාට තියෙන ගෞරවය නිසා මිසක් වෙන යමක් නිසා නෙවෙයි. අනික මේ සටහන අවලාද කිරීමක් නෙවෙයි. මෑතක කියවපු “මාගම් සෝලිය”, “සෙංකොට්ටං” වැනි නවකතාවලට වඩා මේ පොතේ පරිණත සංයමක් තියෙනවා. 3
ඒත් මට ලොකු බයක් තියෙනවා. අපේ අලුත් පරම්පරාවෙ අයට සරත්චන්ද්‍රගේම, හෝ මාර්ටින් වික්‍රමසිංහගේම පොත් “හොඳ පොත්” කියල උදාහරණ වලට පෙන්නන්න වෙයිද කියලා. සමහරවිට සිංහල සාහිත්‍යයේ අභාවය, අනාගතයේ ලංකාවෙ විද්‍යා/ගණිත විෂයයන් කරන දරුවන්ටනම් හොඳක්ම සිදුකරයි. 🙂
ප. ලි:
මේ පොත තුළ දමයන්තගේ කෙරෙන ගෞරව නියෝජනය (Cameo එක?), අටවක පුත්තු පොතේ පාඨකයන් වෙනුවෙන් ලේඛකයා විසින් කරන ආචාරයක් විදිහටයි මම දකින්නේ. 🙂