Categories
ජීවිතේ

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ…

ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි.
අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස.
කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස.
කොහෙද,
ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල…

ගෙදරින් කියන්නෙ,
පුතේ කලා උළෙල නං හොඳයි…
දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල.

මේක මට විතරක් නෙවෙයි.
අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්.

හ්ම්…

ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. මේ දවස්වල හති අරිනව. ඒත් හති අරින්නෙ බාගෙට. සම්පූර්ණයෙන් හති ඇරල ඉවරකරන්න වෙන්නෙ 2011 අවුරුද්දෙ තමයි. තවත් අවුරුදු එකහමාරක් විතර වගේ තිබුනාට මේ යන වේගෙට එහෙ බලල මෙහෙ බලනකොට ඔය දවස් ටික වාෂ්ප වෙලා තියේවි. කැලැන්ඩරේ පිටු ගැලවෙනකොට දැනෙන්නෙ දුකක්. 2009 අතඇරල යන්න බෑ වගේ. මොනව කරන්නද? අපිට කාලය වෙනස් කරන්න බෑ. කාලයත් එක්ක අපි වෙනස් වෙන එක තමයි වැදගත්. ලියන්න කියන්න ගොඩක් දේවල් තිබුනාට ‍දැන් ලියවෙන්නෙ නෑ. මේ දවස්වල එළියෙ පහළියෙ කතාකරන්න නම් ගොඩක් මාතෘකා. හැබැයි මම දැන් ඒ දේවල් කතා කරන්න කැමති නෑ. ඒ තරමටම ඒ දේවල් එපා වෙලා. මේ ‍මොනව ගැනද කියල ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. කතා කරන්න එපා වෙලා තියෙන්නෙ මේ රට යන අත ගැන. රට යන අත බලාගෙන ඉන්නෙ නැතුව. අඩුගානෙ තමන් යන අතවත් හරියට හදාගන්න උත්සාහ කරන්න වෙන කාලයක් මේක. හැබැයි ලැබෙන හැම වෙලාවකම එක්කෙනෙක්ගෙ හරි ආකල්ප හොඳ අතකට වෙනස් කරන්න ලැබෙනවානං ඒක නොකර ඉන්නෙ නැහැ.

මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලානෙ. මට නම් ප්‍රතිඵල ගැන වැඩිය දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ. මොකද මේ කලා උළෙලකට හිර වෙලානෙ. මොනව වුනත් ඒක නිසා මේ අපේ ගෙදර අයත් කම්පනයට පත් වෙලා වගෙයි පේන්නෙ. කෙනෙක්ට උසස් පෙළ නැතිවුනත්. දියුණුවෙන්න තමන්ගෙම මාර්ග නිර්මාණය කරගන්න පුලුවන් වුනත්, ඕ‍නකෙනෙක් උසස් පෙළ දකින්නෙ තමන්ව දියුණුවට ගෙනයන්න පුලුවන් ‍ෂෝට්කට් එකක් විදිහට. ඒකෙ ඇති වරදක් නැහැ. අපේ අයට තියෙන්නෙ හොඳ තෝරාගැනීම් දෙකයි. එක්කො මෙඩිසින්. නැතිනම් ඉංජිනියරින්. කොහොමහරි මම මේ කලා උළෙල කරද්දි මුනගැහුන අයගෙ සමහර රැකියා දැකල පුදුමයෙන් පුදුමයට පත් වුනා. තමන් තමන්ගෙ රැකියාව ගැන උපරිමයෙන් තෘප්තියෙන් ඉන්නවා වගේම. හරිම නිදහස් සහ උපරිම ඉපැයීම් (මාසයකට ලක්ෂය ඉක්මවා යන) රැකියා. ඒ අය ඒ රැකියාවලට යොමු වෙලා තියෙන්නෙ අපේ සම්මත අධ්‍යාපන විභාග ප්‍රතිඵලත් නැතිවයි! මට ඉතින් ඒවා කරන්න අවශ්‍ය නැහැ. මම බැලුවෙ ඒ රැකියා ගැන…

සාහිත්‍ය ඒකකයේ සභාපතිකම ගන්නත් ඉල්ලීමක් තියෙනව. ඒ අතරෙ කිරුළ සඟරාවටත් පුංචි පහේ දායකත්වයක් දක්වන්නත් හිතෙනව. මේ පාරනම් අධ්‍යාපන කටයුතු බාධා නොකරගන්න දැඩි විශ්වාසයක් තියෙනව. ආයෙමත් අපේ බාසාවෙන් කිව්වොත් වල නම් බහින්නෑ. වෙලාව කළමණාකරණය කරගෙන. කට්ටියත් එක්ක එකතුවෙලා. කලා කටයුතු හිමින් සීරුවෙ දියත් කරනව. එහෙමයි මගේ බලාපොරොත්තුව.

ඔය අතරමඟ පුංචි ආදර කතාවකුත් තියෙනව. ඒවා නං ඉතින් රාජ්‍ය රහස්!

Categories
ආදර සිතුවිලි නිර්මාණ

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්…

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්…

මේ දවස්වල ජීවිතේ ගැන කතාකරොත් පුදුම… අනේමන්ද වචනයකින් විස්තර කරන්න බැරිම අරුම පුදුම හැඟීම් සමුදායක හිරවෙලා ඉන්න කාලයක්. වාර විභාගයත්, කලා උළෙලත්. සාහිත්‍ය තරග දිනයත් අත ළඟ. එක පැත්තකින් කලාව. අනිත් පැත්තෙන් විද්‍යාව. තවත් පැත්තකින් ආදරය. මේ තුනම ගඩොල් තුනක් වගේ ගත්තොත්, ඒ උඩ ගානට තියපු හට්ටියක හොද්දක් වගේ මම තැම්බෙනව. ඒකත් එක්තරා ආකාරයක අතුරේ යෑමක්. හැබැයි විනෝදජනකයි. (ඒ කියන්නෙ පොඩ්ඩක් හරි ලිස්සුවොත් කෙලවෙනවා කියන අර්ථයෙන්)

මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු තවත් කවි කියලා සැක කරන්න පුලුවන් දේවල් දෙකක්. Perfect නැහැ. ටිකෙන් ටික Perfect කවියෙක් කතා කාරයෙක් වෙන්න උත්සාහ කරන නිසා අමු තිත්ත කුණුහරුපෙන් වුනත් විවේචනය කරන එක වැදගත්. අමු තිත්ත කුණුහරුප සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වයට පටහැනි නිසා වගේම. කුණුහරුප වචන කොටු ‍කොටු කරන්න බැරි නිසාම. මට විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් එව්වා නං හරි. කොහොමහරි විවේචනය සහ විචාරයයි වැදගත්.

අදත් වැඩිපුර ලියන්න වෙලාවක් නම් නැහැ. මෙන්න අර කවි කියලා සැක කරන්න පුලුවන් නිර්මාණ දෙක.

හරි නං මේ කවිය මෙතන දාන්න ඒ කවියෙ උරුමකාරියගෙන් අවසර ලැබෙන්න ඕනෙ. ඒත් මං මගේ හිතුමතේට අවසර නැතුවම මෙතන දානව.


ඇහුනා ඇහුනා ඇහුනා…
නුඹ සක්මන් කරනා වග
මසිත මත තාලයට
හැරලා කවුලුවෙන් කවුලුව
විවර කර දුනෙමි
නුඹට සැරි සරන්නට.

දැනුනා දැනුනා දැනුනා…
නුඹ ඇවිත් බව
සුමුදු සුසිනිදු පා කමල තබනා බව
මගේ හද නොරිදෙන්නට.

ලිවුවා ලිවුවා ලිවුවා…
හිතේ පෙම් කවක් නුඹ
හිත මත කුරුටු ගාමින්
සදා නොමැකෙන්නට.

හැඬුනා හැඬුනා හැඬුනා…
නුඹ ලබා ගන්නට
‍බොහෝ කල් ඉවසිය යුතු බව දැන.

හිඳිනු මැන හිඳිනු මැන හිඳිනු මැන…
සදා කල් හදවතේ
තනි නොතනියට සැම විට.

(පුංචි) අපේ නෙලාගැනීම.

අසිපත් කගපත් අරගෙන
අපි යනවා යුද්දයකට
පොලු කැති පිහි මුගුරු රැගෙන
අපි යනවා අපෙ යුද්දෙට.

ආනන්දෙයි
නාලන්දෙයි
රෝයල් අපියි
ඉසිපත‍නෙයි

ගහ ගන්නව
හරි හරියට

ඌ රෝයල්,
මූ තෝමස්.
නෙලපන් බං ඉන්නෙ නැතුව.

අපෙ මහ ලොකු හයි හත්තිය
අපෙ මහ ‍ලොකු ගරු නම්බුව
මුලු ලෝකෙට පෙන්නන්නට
නෙලපන් බං ඉන්නෙ නැතුව.

රෝයල් රොක්ස්
හැමෝම රොක්ස්

බාලිකාවෙ සුදු තාප්ප
බැබලෙනවා හරි එළියට.

හරියට ඒ බාලිකාව.
අපේම බූදලය වගේ…

සහෝදරී බාලිකාව
අපේම මනමාලියො ටික.

පිට එවුන්ට දෙන්නේ නෑ…

“ගමේ වැල ගමේ කපුටන්ට”

අපි හරියට කපුටො වගේ…
තාප්ප වල
අපේ වසුරු.

ඒත් කපුටු පරපුරෙ ඇති
එකමුතුකම අපෙ නම් නෑ…

මනුස්සයෝ අපි නිසානෙ,
ඒක එහෙම වෙන්න ඇත්තෙ.

ලාංකීය ආඩම්බරකම
අපේ ඇඟේ ඇති නිසානෙ,
අපේ එවුන්ටම නෙලන්නෙ.

අනේ අපේ දේශප්‍රේමේ.

ඉතින් අපේ තාත්තිලට
ජී එස් පී ප්ලස් ලැබෙයිද?

මේක ලියපු අනේ මටත්
නෙලලා පලයං දවසක.