Categories
විවිධ

ජීවත් වෙලා මක්කටෙයි?

අපිව මේ ලෝකයේ ජීවත් කරවන කරුණු කාරනා කිහිපයක්ම තියෙනවා කියලා මට මතක් වුනේ කෑමෙන් පස්සේ දත් ටික මැද මැද ඉන්නකොට. දත්ටික නැත්තං ජීවත් වෙලා හමාරයි වගේ තේරුමක් දත් ටික මැද මැද ඉන්නකොට හිතට ආවත්. මනුස්සයා කියන සතා දස්සයා නිසා දත්ටික බඩට යන්න පාරක් වැදිලා හිටියත් බටේකින් හරි ආහාර අරගෙන ජීවත් වෙන්න ට්‍රයි කරන නිසා… දත් ටික මිනිසා ජීවත් කිරීම ‍හෝ කරවීම පිළිබඳ ලොකු බලපෑමක් එල්ල කරන්නේ නැහැ කියන කාරණය තමයි එතනින් ගම්‍ය වෙන්නේ. ඒ වුනාට දත් ටික නැතිව ජීවත් වෙලා මොකටද වගේ කතාවක් කතා කෙරුනත්. ඔය ඕනතරම් මිනිස්සු දත් ටික නැතිව ජීවත් වෙන්නේ…

අර සින්දුවකුත් තියෙන්නේ…

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ…
‍ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඕනෑ වේ…

මංජූ…… හ්ම්… හ්ම්…

ඕක අපේම අය. මේ විදිහට කිව්වා.

ලෝකේ ජීවත් වන්නට බත් ටික ඕනෑ වේ…
ඒ බත් ටික කන්නට දත් ටික ‍ඕනෑ වේ…
ඒ දත් ටික කන්නට පනුවෝ ඕනැ වේ…
…………………………….. ඕනැ වේ…

ඔහොම ඉවරයක් නැති සින්දුවක් කියාගෙන ගියපු එකෙක්ව නවත්තන්න වුනේ කටට ප්ලාස්ටරයක් දාලා…

නෑ. ඒක බොරු. අපිත් හිනාවෙවි අහ අහ හිටියා මිසක් (සමහර කෑලි අපිත් එකතු කළා මිසක්) ප්ලාස්ටර් දාන්න යන්න තරම් වාරණ චේතනාවක් අපට ඇතිවුනේ නැහැ.

හරි. ඒ අතුරු කතා. මං කියාගෙන ගියේ මේ. ජීවත් වෙන්නේ ඇයි කියන කාරණේ ගැන නෙව. හරි. වෙනදා වගේම මාතෘකාවෙන් පිට පැන්නත් ආයෙමත් මාතෘකාවටම එමු.

හරි. දැන් අර කලින් කියපු විදිහට ලෝකේ ජීවත් වෙන්නට බත්ටික ඕනෑ ‍වේ කියන කා‍රනේ වෙනම අරගෙන බැලුවොත් එතන පේනවා ජීවත් වෙන්න නං ආහාර ගන්නම ඕනෑ කියලා. ඒක ගැන කල්පනා කර කර ඉන්නකොට මගේ ඔළුවට ආවේ අපේ හොස්ටල් කන්න පෝලිම් ගැහිලා පැරේඩ් එකේ ඉන්නකොට එතනට ආපු හොස්ටල් එකේ නතර වෙලා හිටපු සිංහල ගුරුවරයෙක් කියපු කතාවක්.

සමහරු ජීවත් වෙන්න කනවා.
සමහරු කන්න ජීවත් වෙනවා.

අපි පොඩි එවුන් නිසා අපිට හිතුනේ‍ මේක ගුරුවරයාම කියපු කතාවක් කියලා. ඒත් ඒක ‍එහෙම නෙවෙයි. පස්සේ තමයි දැනගත්තේ ඒක ප්‍රසිද්ධ කියමනක් කියලා. හරි. එහෙම බැලුවාම ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට තවත් උත්තරයක් ලැබෙනවා. ඒ ජීවත්වෙන්නේ… කන්න. ඔය කෑමත් ඉතින් බඩට යන කෑම විතරක් නෙවෙයි නෙව. ගසා කෑම. සූරා කෑම. ඉතින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ගසා කන්න. සූරා කන්න. ඉතින් ඒ දිහා බලන් ඉන්න අපිට හිතෙනවා තමයි මුං ජීවත් වෙලා ඇති වැඩේ මොකක්ද කියලා. බලාගෙන ගියාම සූරං කන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ සූරං කන්න. හරිම පුදුම අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධයක්.
කාගෙහරි ඔළුවට අදහසක් ආවාද නිකං ජොලියට හරි මැරිලා බලන්න. ඒත් ඕනම කෙනෙක්ට අවාසනාවට මැරෙන්න පුලුවන් එක පාරයි. ඔය කවුරු කිව්වත් මං මැරිලා ඉපදුනා කියලා… ඒක බොරු. නිකං අහලා බලන්න මැරුනාම කොහොමද දැන්නේ කියලා… මං කියන්නේ මැරෙන එකෙත් ආතල් එකක් තියෙනවා කියන එක. ඒ වුනාට ආතල්ද නැද්ද කියලා මට තාම හරියටම කියන්න බෑ. මොකද මං තාම මැරිලා ‍නෑ නෙව. පහුගිය ආත්ම භව වල මැරිලා තියෙන්න පුළුවන් බව හැබැයි. ඒත් කවුද දන්නේ මට පහුගිය ආත්ම භවයක් තිබුනාද කියලා. සමහර විට මේ මගේ පළවෙනි ආත්ම භවේ වෙන්න ඇති. පහුගිය ආත්ම භාව තිබ්බා නං අනිවාර්යයෙන්ම පව් කරන්න 90%ක සම්භාවිතාවක් තියෙන නිසා මේ ආත්මේ මනුස්ස භාවයක් ලබන්න නං පහුගිය ආත්ම භාවයක් තිබිලා නෑ කියලා තමයි මට නං හිතෙන්නේ. කොහොමත් මට ආගම දහම ගැන වැඩි දැනීමක් නැති නිසා මෙතනින් එයාට යන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ දේසනා කරලා තියෙනවා බුදුදහම සර්පයෙක් වගේ. වලිගයෙන් අල්ල‍ගත්තොත් නං ඉවරයි, ඒක නිසා හරියටම ඔළුවෙන් අල්ලගන්න කියලා. ඉතින් ආගමික දේවල් ගැන විවාද කිරීම ඒ ගැන හරිහැටි දැනීමක් නැතිව වාද කිරීම හරි බැරෑරුම්. ඉතින් වැඩිදුර ඒ ගැන කතාකරන්න යන්නේ නැතිව මාතෘකාවට එමුකෝ…

මාතෘකාවට එන අතරේ මට ලෝවැඩ සඟරාවෙන් කවියක පද දෙකක් මතකයට ආවා…

කලකිනි බුදු කෙනෙකුන්     උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ    ගන්නේ

ඉතින් අපි මේ අපිට ලැබුනු මනුස්සකම අරගෙන ජීවත් වෙනවා. ඇයි ඉතින් අපි ජීවත් වෙන්නේ?
ඕකට හරි කෙටි පිළිතුරක් තියෙනවා ජීව විද්‍යාවේ.

තමන්ගේ වර්ගයා බෝ කරන්න.

ඒත් මට ඒකෙන් සෑහීමට පත් වෙන්න කොහෙත්ම නං බෑ. ඔන්න ඕක ඇමීබාවා වගේ එකෙක්ට කිව්වානං අවුලක් නෑ. ඌට කං ඇහෙන්නෙත් නැති නිසා ඌ ඒක වැඩි ගානකට ගන්න එකකුත් නෑ.

මේක සිරා ප්‍රශ්නයක්. ඇයි අපි ජීවත් වෙන්නේ… හරි. අපි ජීවත් කරවන කරුණු කිහිපයක් තියෙනවා.

එකක්. “අම්මා.”
අනික “ආදරය.”
තව එකක් “මුදල්”
තව එකක් “ආහාර”
තව එකක් “ගින්දර”

ඔය වගේ කරුණු ගොඩක් කිව්වත්. ඕකෙන් පළවෙනි කාරණය විතරයි හරියටම අපිව ජීවත් කරවන්නේ. ආදරය (මං මේ කියන්නේ කෙල්ලෙක් ගැන කොල්ලෙක්ට හිතේ ඇතිවන ආදරය ව‍ගේ දෙයක්. සරලව. ඔයිට වඩා සංකීර්ණතා තියෙනවා ලෝකේ. ඒත් මං කතාකරන්නේ මේ ආදරය ගැන) එතනට ආසන්නව ලං වුනත්. ආදරය නිසා මැරිච්ච අය ලෝකේ ඕනේ තරම් ඉන්නවා. හොඳම උදාහරණය රෝමියෝ අයියයි. ජුලියට් අක්කයි. ඕවා පොතේ තිබුනාට. පොතෙන් මෙහාටත් ඒක එහෙම්මම තමයි. මුදල්, ආහාර, ගින්දර, ජලය වගේ තවත් දේවල් තිබුනාට. ඒවාම අනිත් පැත්තට අපිව මරවන කාරණා. ඉතින් අම්මා තරම් තවත් වස්තුවක් මේ ලෝකේ නෑ කියන්නේ කට කහනවට නෙවෙයි.

ඉතින් අම්මා වුනත් මේ මැරීමට සමහර විට දායක වෙන තැන් අපි දැකලා තියෙනවා නෙව. ඒ අතින් බැලුවාම ගබ්සාව හරිම අමානුෂිකයි තමයි. ඒත් සමාජය විසින් මේ වගේ සමාජ තත්වයන් ඇති කරලා තියෙනවා.

ඉතින් මං තාමත් හොයනවා ජීවත් වෙන්නේ ඇයි කියලා…
හැබැයි මගෙ නං තාම මැරෙන්න අදහසක් නැහැ.

ලෝවැඩ සඟර‍ාවේ කවිය සම්පූර්ණ කරලාම මම එහෙනං නවතින්නම්.

කලකිනි බුදු කෙනෙකුන්         උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ            ගන්නේ
මෙදෙකින් මෙසසර දුක් දුර        ලන්නේ
සුදනෙනි කිම වීරිය නො          කරන්නේ

Categories
ආදර සිතුවිලි නිර්මාණ හිනා

බස් එකේ එන ගමන්…

බස් එකේ එන ගමන්...

[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!]

අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් හැම දවසම වගේම සුවිශේෂී දවසක් වුන නිසා. උදේ 7ට පටන් ගත්තු ගණිතය අතිරේක ත්‍රිකෝණමිතිය පන්තිය අද කලින්ම ඉවරවුනේ දවල් එකොළහට. හික්! ඔව්, කලින් තමයි! ඕක නතර කරන්න තිබුනේ දොළහට 😛 ඉතින් ඉබ්බා දියේ දැම්මා‍ම ඇන්නෑවේ කියාපි. යාලුවෝ දෙන්නෙකුත් ඇදගෙන ගියා සරසවියට. එකෙක් නං කිව්වේ…

අ‍පෝ… බෑ බං… පොත් කියවන එක නං මට එපා වෙලා… තියෙන්නේ…. යමුකෝ KFC… ගිහිල්ලා ඉන්න එකත් සැපයි බං. උඹ දන්නෑ, එකදවසක් එතනට ආපු ප්‍රසිද්ධ නෝනා කෙනෙක් දුන්නා නෙව ප්‍රසිද්ධියේ කොල්ලාට කිස් එකක්!

(නීති හා රෙගුලාසි මත එම වාක්‍යය සභ්‍ය වන පරිදි සංස්කරණය කර ඇත – ළඟදීම KFC එකටත් ලෑලි ගහලා වහයිද දන්නෑ මේක දැකලා. නෑ නෑ. එක්කෝ එව්වා එක පැලැන්තියකට විතරක් සීමා වෙච්ච ඒවා නිසා. එහෙම වෙන එකකුත් නෑ…)

මෙන්න මෙහෙ වරෙන් බං යන්න. සරසවියත් ඒසී කරලා තමයි තියෙන්නේ. අනික ඒකටත් එනවා හොඳ හොඳ ගෑනු ළමයි…

අර මතකද දන්නෑ පරණ බුද්ධෝත්පාද කාලේ කතාවක් තියෙනවා එක්තරා සිටු පුත්‍රයෙක් තමන්ගේ පුත්‍රයාට බණ අස්සවන්න පුත්‍රයාට බණ අහගෙන එන්න කියලා. ඒ බණ පාඩම් කරගෙන ආවාම පොඩි ගානක් අතට දෙන කතාවක්? (නම් ගම් නං මතක නෑ, දැන් අපි බුද්ධාගම ඉගෙන ගන්නේ නෑ නෙව 🙁 )

ඉතින් මේකත් ඒ වගේ තමයි, මුන්ට ඉතින් ගෑනු කිව්වොත් වෙන කවුරුත් ඕන්නෑ. ඕක ඉතින් කාටත් සාධාරණයි. මාත් පඬියා වගේ කිව්වාට මාත් ඉතින් එහෙම තමයි 😀 නැත්තං ඉතින් අපිත් රහත් වෙලා ඉන්න ඕ‍නේ.

හරි. ඇති! බණ දහම් ගැන කතා කරා හොඳටෝම ඇති.

සරසවියේ ඇතුලේදී ෂෝක් ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා උසස් පෙළ අලුත් නාට්‍ය හා රංග කලාව සිලබස් පොත් තියෙනවාද කියලා හොය හොය ඉන්නවා දැක්ක වෙලාවේ මාත් රහසිං අපේ යාලුවොන්ට කිව්වේ, නෑ නෑ මගේ කටින් කියවුනේ…

අඩේ, අපරාදේ! ආර්ට් කරන්න තිබුනේ බං…

හැබටම. උඹ ආර්ට් කරන්න යනවා කිව්වා නේද බං? මොකෝ වුනේ?

හික්. මම ගියා බං ආර්ට් කරන්න. ආර්ට් සෙක්ෂන් එකේ හිටියේ දවස් දෙකයි! මෙන්න කොල්ලා ආපහු මැත්ස් පංතියේ ඊළඟ දවසේ! 😀 Sectional Headගෙන් ඇහුවා බං නැති වෙන්න. 😀

උඹටත් තියෙන්නේ පුදුම පිස්සු තමයි බං.

සරසවි‍ය ඇතුළට වෙලා පැයක් එකහමාරක් හිටපු අපි, ඊළඟට පොඩි කඩේකින් මොනවාහරි කටේ ඔබාගෙන ආපහු පිටත් වුනේ අපේ ආදරණීය පිසික්ස් පංතියට. උදේ පාන්දරම මට කෙලවපු මගේම ආදරණීය භෞතික විද්‍යා පංතිය.

ෂහ්, උදේ පාන්දරින් නැගිට්ට නිසා අම්බානකට නිදි මතක් දැනුනේ පංතිය පටන්ගත්ත ගමන්මයි. ගුරුතුමා උගන්නනවා. මම නිදිකිරා වැටෙනවා. ‍ගෑනු ළමයි බල බල
හොරෙන් හිකි හිකි ගාලා හිනා වෙනවා වගේ හීනෙන් දැක්ක නිසා ඔන්න ආපහු පියවි සිහියට ආවා. කොහොමහරි මම පර්යේෂණාත්මකව අත්හදා බලපු දෙයක් තියෙනවා. ඒ තමයි නිදිමතේ වුනත් ඇහෙන එක පොතේ ලියාගන්න පුලුවන්ද කියන දේ. කොහොමහරි සමහර දවස්වලට නං අවුලක් නැතුව ලියවෙනවා. ඒත් අද නං ටිකක් විතර චාටර් වුනා. ගුරුතුමා පැහැදිලි කර කර ලියන්න දීපු නිසා මම ඇහැ ඇරලා බලනකොට පොතේ ලියලා තියෙන්නේ වෙන මඟුලක්. ගුරා ක්‍රිකට් පිත්තක් ගැන මොකක්දෝ කියනවා වගේ මතකෙත් තිබුනා.

පන්දුව = ආවේගය x කාලය
ආවේගය = ක්‍රිකට් ගම්‍යතා වෙනස

පිසික්ස් පොත නිකං සීගිරි කුරුටු ගී‍ පොතක් ව‍ගේ වෙලා ති‍යෙනවා දැක්කාම මං ගැන මටම හිත ඇතුළෙන් හිනා. වෙන එවුන් දැකගනියි කියලා ලැජ්ජාවට පොතේ අනිත් හිස් පිටුව පෙරලලා තියාගත්තා. මෙන්න මම ආයෙත් නිදි!

ආ ආයෙත් තව එකක්. සාමාන්‍යයෙන් අපි චැට් එකේ දී සිංහල වචන ඉංග්‍රීසියෙන් ගහනවා නෙව. මම පොතේ දඬු කියන වචනේ තැන් කිහිපයකම ලියලා තිබුනේ දණ්ඩු කියලා (මූර්ධජ ණයන්නත් එක්කම තමයි 😉 ) ඒ අර චැට් එකේ සඤ්ඤක පුරුද්දටම වෙන්න ඇති. අපි දඬු කියන එක dandu කියලා ටයිප් කරනවා නෙව. මොනවා වුනත්, යටි හිත හැම‍ වෙලේම වැඩ!

මොනවා වුනත් පො‍තේ නෝට් එක නං පොඩි පොඩි අඩුපාඩුවක් නැතුව වුනත් සම්පූර්ණයෙන් ලියාගෙන. ෂහ්! මේකට තමයි කියන්නේ නියම දක්ෂතාව කියලා! 😛

හරි. හරි. දැන් කට්‍ටිය බලනවා ඇති මොකක්ද මේ මාතෘකාවේ තියෙන්නේ කියලා. බස් එකක් ගැන කියලා මූ රට වටේ අපිව එක්ක යනවා කියලා කට්ටිය හිතනවා කියලා මං දන්නවා. හරි හරි. කලබල වෙන්න එපා… අපි මාතෘකාවට එමු.

පන්ති ඉවරවෙලා බස් එකට නැග්ගේ ගෙදර එන්න. මට එපා කරපුම දේ තමයි බස් එකේ යද්දී රේඩියෝව අහන එක. වි‍ශේෂයෙන්ම රෑට යන කණාමැදිරි රාත්‍රිය අහන්න මං මං මහාම මහා පව්කාරකමක් කරලා තියෙන්න ඕනේ. ගිය ආත්මේ කාගේ හරි කනට ගහලා නිසා වෙන්න ඕනේ මට මේකට මුහුන දෙන්න වෙන්න ඇත්තේ. මොකද එහෙම කියන්නේ, බස් ගාලේ නවත්තලා තිබ්බ අනිත් බස් වල දාලා තියෙනවා ඇහුනේ විස්සයි-විස්ස ත‍රගේ විස්තර විචාරය. මාත් හිතුවේ රේඩියෝව දානවානං ඒකම දායි කියලා…

මොන මඟුලක්ද… බස් එක ඉස්ටාට් කොරා විතරයි කන පලාගෙන කණාමැදිරි රාත්‍රිය!

සාමාන්‍යයෙන් අටවක පුත්තු පොතෙන් ලැබුන උත්ප්‍රේරකය නිසා මම දැං ගමනක් යනකොට පොතක් කියවන එක තමයි වැඩේ. විශේෂයෙන්ම මම එන කොට-කොට බස් ගමන නිසාම මේකට පුරුදුවෙන එක මහලොකු කජ්ජක් වුනේ නෑ. ඉතින් මේ දවස්වල අතේ තියෙන්නේ මහගම සේකරයන්ගේ “ප්‍රබුද්ධ”. ඉතින් අර බස් එක කොටන ජරමරයයි, කණාමැදිරි රාත්‍රියේ විලාප හඬයි දෙක අතරමැද වුනත් ටිකෙන් ටික හිත පොතට එකඟ කරගන්න ලැබුනා.  පොත කියවන අතරතුරේ හිතට ආපු කවි සිතිවිලි ටිකක් ලියාගන්න විදිහස් හොය හොය ඉන්නකොට අත ගියේ සාක්කුවට. සාක්‍කුවේ තිබ්බ ෆෝන් එකට. ෂහ්! දැන් මොකටද කොල කෑලි? නව තාක්ෂණයේ උපරිම ඵල ‍ප්‍රයෝජන නෙලා ගැනීම තමයි අපේ (වි)ජාතික වගකීම!

‍මේකෙන් එක කවියක් (කවි පේලියක්, එහෙමත් නැත්තං නිසඳැසක්) ලියලා ඉවරවෙනකොට හරියටම ග‍මනෙන් බාගයක් ඉවරයි. ඊළඟ කවිය ලියලා ඉවරවෙනකොට බහින තැනටමත් නොදැනීම ඇවිල්ලා. ෂහ්. බස්සෙකේ යන ගමන් කවි ලියන එකෙත් සිරාම ආතල් එකක් තියෙනවා!

අර්ධ්‍යාසත්‍යගත කරන ලද ආදර සංක්ෂිප්තය

ඔන්න එක දවසක්
පාන්දර පන්තියක්
ගියේ මම පාන්දර,
අල්ලගන්නට තැනක්.

හිටියා බලාගෙන,
එනකන් අනිත් එවුනුත්.
පන්ති‍යේ ‍‍ද්වාරයෙන්,
දිටී මම සඳවතක්

අහම්බෙන්,

හදවතද ගොළු විය,
කාලයද ලත් තැනම ලොප් විය.

අනේ මම බැලුවා,

“හඳ කොහොමද මෙතෙන්ට ආවේ?”

වුනා මහ වෙනසක්,
නුදුටුවෙමි අන් කිසිදු වතක් සත්සර හදක්.

අපි දෙන්නා පරස්පරයි,
ඇත්තටම “සාපේක්ෂව වෙනස්!”

පුලුවන්ද මිනිහෙක්ට
කරන්නට ආදරය තවමත් නොහඳුනන ලස්සන ගෑනු ළමයෙක්ට?

කුමරා කුමරි‍යගේ
හඳවත නොහැඳිනී…
ආලයෙන් අඳ වුනී…

මෙය නොදත් කුමරිය,
කීවේ ඇගේ සහපිරිවරට
“මූ නං පොඩි එකෙක් වගේ”

අහෝ එක උදයක්,
ආවේ ෆේස්බුක් හසුනක්,
කුමරියට නොකරනු කරදරයක්.
රජුන්ගෙන් පණිවිඩයක්!

ඇය රාජසන්තකය,
කුමරුන්ට ඇගේ සෙනෙහස නොලද හැක.

කුමරිය රජ සතු විය
කුමරාට කෙල විය

පායයි සැමදාම පංතියට පුන්සඳ,
ඒත් ඇයි අද අමාවක?

හරි අපූරු ‍නුගේගොඩ

එකමත් එක රටක,
එකමත් එක උදයක,
ගොඩබැස්සෙමි මමත්,
එකමත් එක නුගේගොඩකට

අරුම පුදුම නගරයකි නුගේගොඩ
ආධුනික පෙම්වතුන් මුනගැසෙන
අරුම පුදුම හන්දියකි,
හන්දිය නුගේගොඩ

උස මිනිස්සු
කොට මිනිස්සු
අත පය හතර ඇති මිනිස්සු
අත පත නැති මිනිස්සු
අන්ධ මිනිස්සු
අන්ධ වගේ ඉන්න මිනිස්සු
හදවතක් ඇති මිනිස්සු
හදවතක් නැති මිනිස්සු
අත දිගුකර රුපියල් සත ඉල්ලන මිනිස්සු
විරිඳු පද බෙදන හරි අපූරු කලාකාමී මිනිස්සු
ළඟම ඇති කේ ඇෆ් සියෙන් කන්න පෙරුම් පුරන මිනිස්සු
බත් කඩ දැක දැකත්,
කන්න පින නැති අසරණ මිනිස්සු.
මිනිස්සු වෙන්න ඉන්න,
පුංචි පහේ මිනිස්සු.

ලස්සන ප්‍රාණියෝ

දැක්කෙමි තරුණ ජෝඩුවක්,
බත් පැකට් අරගෙන
බෙදන අර මිනිසුන්ට.
අන්න හොඳ ලස්සන මිනිස්සු!

එක එක විදිහේ හරි අපූරු මිනිස්සු.

හරිම ලස්සන නගරයකි නුගේගොඩ
ඇයි වියදම් කරන්නෙ යන්න දෙහිවල?
එන්න මේ නුගේගොඩ…
හරි අපූරු ‍නුගේගොඩ