ජීවිතය කම්මැලිම කම්මැලි වෙලා දැන් හුඟක් දවස්. තේරුමක් නැති මාවත් ඔස්සේ තේරුමක් නැතිව ඇවිදිනකොට මුලින් පුදුම නිදහසක් දැනුනත් දැන් ඒකත් එපා වෙලා. හිතේ ගොඩක් දේවල් තිබුනත් ක්‍රියාවට නගන්න බැරි තරම් ඇඟ පත තෙහෙට්ටු කරන්න මේ තේරුමක් නැති ඇවිදිල්ල හේතු වෙන්න ඇති.
ඒත් මම ජීවතුන් අතර.
ජීවතුන් අතර අජීවීව සිටීමම තරම් නාස්තියක් වෙන කොහේද? උදේට හිරු නැගලත් පැය ගාණකට පස්සෙ නැගිටින මේ ජීවිතේ මීට වඩා වටිනාකමක් තියෙන කෙනෙක් වෙනුවෙන් පූජා කරන්න පුලුවන්නම් කොච්චර වටිනවාද? මීට අවුරුදු ගාණකට කලින් මගේ ලේ සහෝදරයෙක් යුද්ධයෙන් මා ආරක්ෂා කරන්නට මිය ගියේ මෙහෙම ජීවිතය නාස්ති කරන්නද?
පෙරදින රෑ සුරඟනක් සිහිනයෙන් පැමිණ අනාගතය පෙන්වා ගමන් කරන්නයි පැවසුවා. ඇයත්, ඒ මොහොතට පෙර ගතවූ සෑම තත්පරයක වූ සතුට-දුක මිශ්‍ර අතීතය අමතක කර කාලයේ ගමන් කරන්නැයිද, තම ජීවිතයට වටිනාකමක් දෙනු නොහැකිනම් අනෙකෙකුට වටිනාකමක් ලබාදෙන්නට වෙහෙසන්නයි පවසමින් ඈ නිහඬ වුනා.
නමුත් සිදුවූයේ අතීතයට එක් වූ සුරඟනද ආවර්ජනය කරමින් මා තවම නතර වී සිටීමයි.
ඉතින් මා තවදුරටත් නතර වී නොසිට යා යුතු නොවෙද අරුතක් සොයමින් අලුත්?
තෙවන ලොවක ඉපදීමට තරම් අන් වාසනාවක් නැතැයි මම සිතමි. මෙහි වෙනස් කිරීමට තරම්, ඉගෙනීමට තරම් කිසිවක් ලොව අන් තැනක නැතැයි සිතමි. මා පමණක් නොව අන් බොහෝ දෙනා නොයෙක් මාවත් තුළ ඔහේ ඇවිදියි… නිවැරදි පාර සොයා ඔවුන්ට පවසනු පිණිස මා සාදා ගත යුතු ය පියාපත්.
ඉතින් මේ මා පියාපත් සදනු එළඹෙන පළමු දිනයයි.