පසුබිමේ කතාව | Behind the scenes

මේ පසුගිය 17 වෙනිදා චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ එලිදැක්වුන අලුත් සිංහල චිත්‍රපටයක්. නම විතරයි ඉංග්‍රීසි. කතාව සිංහලෙන්.

චිත්‍රපටයෙ අධ්‍යක්ෂක ලක්පති විජේසේකර. අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙව. මීට අවුරුද්දකට කලින් සාහිත්‍ය ඒකකයේ සභාපති.

දැන් ලොකු ළමයි!

චිත්‍රපටය නරඹන්න ආපු බොහෝ දෙනා කිව්වෙ මේක අමුතුම චිත්‍රපටයක් කියලයි. නරකක් නොකී තරම්. ඒ, බොහෝ විට මේ චිත්‍රපටිය තාමත් එපමණ අත්දැකීම් නොමැති තරුණ කණ්ඩායමක වැඩක් නිසා වෙන්න ඇති.

තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක රජීව සහ ඔහුගේ තුන් දෙනාගේ කණ්ඩායම, පාසලෙන් ඉවත් වුනායින් පසු වාණිජ මට්ටමේ සුවිසල් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට ඇතුළත් වීමට දරන උත්සාහය මේ චිත්‍රපටියේ කතාවයි.

සරල සැහැල්ලු රංගනයකින් මේ චිත්‍රපටයට දායකත්වය දක්වන්නේ රජීව රාමනායක, දිනිඳු ඒකනායක, පියුමාල් සමින්ද, නිරන්ග කළුආරච්චි, රුවෙන්දි වක්වල්ල ඇතුළු තරුණ කණ්ඩායමක්. චිත්‍රපටයේ කැමරාකරණය චානුක ඩිමෙල්ගෙන්. චිත්‍රපටය ලියන්නේ තුන්දෙනෙක්. ඒ සුපුන් සුදාරක, කෝසල සෙනෙවිරත්න සහ ලක්පති විජේසේකර. චිත්‍රපටියෙ නිෂ්පාදන කළමණාකරු චිරත් අබේසිංහ. සංස්කරණය සමූද්‍ර උමයංගගෙන්.

අධ්‍යක්ෂණය, ලක්පති විජේසේකර.

චිත්‍රපටයේ පැත්තක දායකත්වය අපෙනුත් තියෙන නිසා චිත්‍රපටය විචාරය කිරීමේ අයිතිය තරමක් දුරට ගිලිහීම අභාග්‍යයක්. නමුත් දායකත්වය දැක්වීම ඊටත් වඩා විශාල භාග්‍යයක්.

අලුත් චිත්‍රපටයක්. වැඩි විස්තර පසුව දෙන්නම්.

ඡායාරූප සහ තවත් විස්තර කිහිපයක් මෙතැනින්: http://films.lk/FilmDetailsComing.php?id=1991

ජය!

පලි: නොයෙකුත් කාරණා මත සති ගානක් හිතේ කම්පනයෙන් හිටිය නිසා මුකුත් ලියන්න හිතුනෙ නැහැ. ආයෙත් හිත යථා තත්වයට ආවේ ඊයේ චිත්‍රපටිය එලිදැක්වීමේ අවස්ථාව නිසා. ඉතින් ඒකට දායකත්වය දැක්වීමෙන් හැදුන හිත නිසා දැන් හිත කම්පනයෙන් නිදහස්.

සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීමේදී හමුවෙමු!

තවමත් තරගාවලියට ඔබේ බ්ලොග් අඩවිය ඇතුළත් වී නොමැතිද?

තවමත් ඔබේ බ්ලොග් අඩවිය තරගාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැතිද? එසේනම් කරුණාකර නැවත ඉල්ලුම් පත් හරහා ඇතුළත් කරන්න. දත්ත පදනමේ සිදුවූ අවහිරතාවක් නිසා තරගාවලිය වෙත ඉල්ලුම් කරන ලද බ්ලොග් අඩවි කිහිපයක් ඇතුළත් වී නොමැත. එබැවින් කරුණාකර නොවැම්බර් පළමු දින මධ්‍යහ්න 12ට ප්‍රථම ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න.

සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

විවෘත අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-open/
පාසල් අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-school/
නැණසල අංශය සඳහා ඉල්ලුම් පත්‍රය: http://www.sahithya.lk/sinhala-blogging-competition/application-form-nenasala/

ඉර හඳ යට බඹර වළල්ල සහ අතුරු කතා

මේ කතාව ළඟදි ආපු අලුත් සිංහල චිත්‍රපටි දෙකක් ගැන. එකක් බෙනට් රත්නායකගේ “ඉර හඳ යට” වෙන අතරෙ, අනිත් චිත්‍රපටිය අතුල ලියනගේගේ “බඹර වළල්ල” චිත්‍රපටි දෙකම නරක නෑ. සමහර විට මේ චිත්‍රපටි දෙකම සිංහල වාණිජ සිනමාව අලුත් පාරකට ගෙන යන චිත්‍රපටි දෙකක් වෙන්න පුලුවන්.

හැම දෙයක්ම ක්‍රමිකව විකාශනය වෙන්න ඕනෙ. එහෙම නැතිනම් ඒකෙ අගයක් නෑ. භෞතික විද්‍යා විෂය ගත්තොත් අපි ඔක්කොම දොහොත් මුදුන් දීල වන්දනා කරන අයිසැක් නිව්ටන්ට තමන්ගෙ ජනප්‍රිය නිව්ටන් නියම තුන ඉදිරිපත් කරන්න ලැබෙන්නෙ නැහැ ඇරිස්ටෝටල්ගෙ ඉඳල ගැලීලියෝගෙ මතවාද පර්යේෂණ ඉදිරිපත් නොවුනානම්. හැම දෙයක්ම ක්‍රමිකව විකාශනය වෙන්න ‍ඕනෙ. බොහෝ දෙනා මියගිහින් පළවෙනි ලෝක යුද්ධය නිමාවෙලා දෙවෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්නත්, ඊළඟට සීතල යුද්ධයක් ඇතිවෙන්නත්, එයට උපකාරයක් වෙන්න අන්තර්ජාලය නිර්මාණය වීමත් ක්‍රමිකව විකාශනය වුන දෙයක්. අන්තර්ජාලය නැතිනම්, මෙතන ඔබත් නෑ මමත් නෑ.

දහස් ගණනින් මියයාම හෝ මරණයට පත් කිරීම සාධාරණීකරණය කරා නොවෙයි. මම කිව්වෙ ‍මේ ලෝකයේ හැටි. හැමදෙයක්ම සාධාරණත්වයක් නෑ. ඒත් මිනිස්සු ජීවත්වෙනව, මැරෙනවා. සංසාර චක්‍රය කියන්නෙ ඒකයි.

ලංකාව ඒ අතින් පුදුම රටක්. ලංකාව කවදාවත් ක්‍රමිකව දියුණුවට පත් වුන රටක් ‍නෙවෙයි කියලයි හිතෙන්නෙ. ගණිතයට අනුව හැමදෙයකම කිසියම් රටාවක් (pattern එකක්) තියෙනව. ගණිතඥයෝ ගණිතය සම්බන්ධ රටා හොයද්දි, සමාජ විද්‍යාඥයෝ තවත් රටා හොයන රාජකාරි වල. ගල් යුග, වැඩවසම් යුග, කාර්මික විප්ලව යුග පහු කරගෙන අපි නූතන යුගයට ඇවිත්. ලංකාව අපි අත්දකින සිතුම් පැතුම් වෙනත් රටවල‍ට සාපේක්ෂව බොහෝ යල්පැන ගිය දේවල්. ඒකනෙ ලංකාව තවම ඉන්නෙ වික්ටෝරියානු යුගයෙ කියන්නෙ.

අපි මේ ජීවත්වෙන්නෙ පුදුමාකාර යුගයක. ආණ්ඩුවෙන් මොනවහරි කරාද, ඒකට විපක්ෂයෙන් විරුද්ධ වෙනව. එහෙම නැතුව ඒක විපක්ෂයක් නොවෙයි නෙ. ඒ වුනාට දැන් විපක්ෂයක් නැති ගානයි. හිතන්න. ලංකාව එහෙන් මෙහෙන් දියුණු වෙනව. වරායවල් හැදෙනව, අධිවේගී මාර්ග හැදෙනව, ගුවන් පාලම් හැදෙනව, අසබ්‍ය වෙබ් අඩවි තහනම් වෙනව, පෞද්ගලික විශ්ව විද්‍යාල පටන්ගන්නව, ෆේස්බුක් නිසා කෙල්ලො අනාථ වෙනව, මොබයිල් ෆෝන් නිසා ගෑනු ළමයි සියදිවි නසාගන්නව, ළමා අපචාර වැඩිවෙනව, සිරා නාට්‍ය වේදිකාගත වෙනව (උදා: කලම්බො ‍කලම්බෝ), පරණ නාට්‍ය අලුත් වෙලා එනව (උදා: ඒකාඅධිපති), ඉන්දියාවෙ චිත්‍රපටි ගෙඩි පිටින් කොපි කරල නිෂ්පාදනය කරනව (උදා: සුවඳ දැනුනා ජීවිතේ), ගස් බැදීමේ ‍වීදි නාට්‍ය සංදර්ශනය කරනව

ඉස්සර වුනේ බෝම්බ පිපිරුන එක විතරයි. (ඒකත් කිව්වෙ සාපේක්ෂව)

ඉස්සල්ල කියපු ලැයිස්තුවට අලුතෙන් යමක් එකතුවෙන්න ඕනෙ. ඒ අලුතෙන් “සිරා” චිත්‍රපටි නිෂ්පාදනය වෙන එක.

සිරා කිව්වෙ සාපේක්ෂව. බඹර වලල්ල චිත්‍රපටිය වටේට සෑහෙන්න ප්‍රතිචාර. තැන තැන සම්මන්ත්‍රණ. ඒ විතරක් නොවෙයි, අන්තර්ජාලයෙත් සෑහෙන්න කතා වෙනව. බඹර වලල්ල චිත්‍රපටිය ගැන මට කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. චිත්‍රපටිය හොඳ වුනත් ප්‍රචාරණය කෙරෙන තරමට චිත්‍රපටිය හොඳ නම් නැහැ. කො‍හොම නමුත් චිත්‍රපටිය හරිම තාත්විකයි. Realistic!

ඊළඟ චිත්‍රපටිය ඉර හඳ යට. චිත්‍රපටියේ සිනමාකරණය නම් උපරිමයි. සිංහල චිත්‍රපටි වලට සාපේක්ෂව අති විශිෂ්ඨයි! ඒත් දෙබස්. අහෝ! මං හිතන්නෙ දෙබස් ලියල තියෙන්නෙ ප්‍රබුද්ධ ලේඛකයෙක්. චිත්‍රපටිය බලන්න. බො‍හෝ තැන් වල කතා කරන්නෙ ලියන භාෂාවෙන්. එතකොට චිත්‍රපටියෙ තියෙන බොහොම සංවේදී තැන් වල ඒ හැඟීම දැනෙන්නෙ නෑ. මට හිනා වෙන්නත් වුනා එයාල අඬන තැන් වල. දෙබස් වලට ලකුණු බින්දුවක් දෙන්නවත් වටින්නෙ නැහැ. ඒත් කතාව, චිත්‍රපටියෙ බෙනට් රත්නායක සිංහල සිනමාව වෙනුවෙන් කරල තියෙන අලුත් පර්යේෂණ බොහොම වැදගත්. ඒ පර්යේෂණ බඹර වළල්ලට වඩා මේ චිත්‍රපටිය (ඉර හඳ යට) නිසා සිංහල සිනමාවට විශේෂ සේවාවක් වෙයි.

චිත්‍රපටි දෙකට ලකුණු දෙන්න කිව්වොත් සමස්තයක් විදිහට අරගෙන මගෙන් බඹර වළල්ලට දහයෙන් හයකුත්, ඉර හඳ යට චිත්‍රපටියට දහයෙන් පහයි දශම පහකුත් දෙන්න පුලුවනි.

ඉඩ තියෙන වෙලාවක චිත්‍රපටි දෙක බලන්න යන්න. වියදම් කරන මුදල නම් නාස්තියක් වෙන්නෙ නෑ සිකුරුයි!

මේ තියෙන්නෙ තවත් අනාගත බලාපොරොත්තු තියාගන්න පුළුවන් චිත්‍රපටි දෙකක්. එකක් නිනෝ ලයිව්. අනිත් එක  “How I wonder what you are”. මේ චිත්‍රපටි ‍දෙකේම පූර්ව ප්‍රචාරක පට මේකට එකතු කරන්නම්. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනෙ. මේ චිත්‍රපටි අතරට කඩාගෙන පනින සුපර් සික්ස් චිත්‍රපටිය Total Disaster එකක් වෙයි කියල අනාවැකි කියන්න පුලුවන්. ඒ වගේ චිත්‍රපටි දැන් Out of Fashion. නිනෝ ලයිව් චිත්‍රපටියේ තාක්ෂණය පර්යේෂණාත්මක අත්දැකීමක් වෙයි. ඒ ඇරෙන්න ආරන්චි විදිහට නියෝ ලයිව් කියන්නෙ The Truman Show චිත්‍රපටියේ කොපියක්! කොහොම නමුත්, හිතපු ඉක්මනින් විදූ චිත්‍රපටිය සිනමා ශාලා වෙත නිකුත් නොවීම නම් දුකට කාරණයක්.

How I Wander What You Are

Nino Live

Super Six (The Total Disaster)


මට ජීවිතේ ගැන ගොඩක් දේවල් ලියන්න තියෙනව. ඒත් ලියන්න හිතෙන්නෙ නෑ. වෙනද වගේ නෙවෙයි. දැන් ජීවිතේ හරි සංකීර්ණයි. ඒ ඇති දැනට. 🙂

අසාමාන්‍ය කුමුදු

මේ මා‍ වෙත බ්ලොග් අඩවියේ පළ කරන මෙන් ඉල්ලා සිටිමින් විද්‍යුත් තැපෑලට එවන ලද්දාවූ කුමුදු පින්තු මහත්මා පිළිබඳ ලිපියකි. කර්තෘ අඥ්‍යාතයි. ඔහු පවසන අන්දමින් ඔහු කුමුදු පින්තු මහත්මාගේ පාඨශාලයීය ජීවිතයේ සමකාලීනයෙකි.

Continue reading “අසාමාන්‍ය කුමුදු”

වනචර කෙල්ල. (කෙටි කතාවකි)

මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් නොවේ. මෙහි චරිත සියල්ල මනඃකල්පිතය.

හ්ම්…
යනවා ඉවරයක් නැති බස් එකේ ගමන් ගන්න වෙලාව අනන්තයක් වගේ හිතට දැනෙන්න පටන් අරගෙන දැන් අනන්ත වෙලාවක්. පන්තියට යන්නත් තව වෙලා තියෙනව. පන්තියට යන්නෙ නම් හොඳ හිතකින් නෙවෙයි. බස් එකට නඟින්න කලින් දුරකථන කතාවෙන් බහින්බස් වුන තරහත් අරගෙනයි බස් එකට නැග්ගෙ. ඇයත් එක්ක තරහ වෙලා කතා නැතිව ඉන්න‍කොට දැනෙන අනන්ත පාලුව අනන්ත කාලයකට පරිවර්තනය වෙලා වගෙයි.

Continue reading “වනචර කෙල්ල. (කෙටි කතාවකි)”

කුමුදු පින්තු බ්ලොග්කරුවාගේ අභාවය පිළිබඳව…

බ්ලොග් කියවන පාඨකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් බ්ලොග් අඩවි අතර නම ගිය බ්ලොග් අඩවියක් වුන “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියේ කතෘ කුමුදු පින්තු මහත්මාගේ අභාවය සමස්ත සිංහල බ්ලොග් අවකාශයම ශෝකයෙන් පිරවූ ප්‍රවෘත්තියක් වුණා. කෙසේ හෝ ප්‍රවෘත්තිය දැන ගැනීමෙන් පසු මිතුරකු සමඟ ඔහුගේ නිවසට යාමට අවස්ථාව හිමිවුවත් අවාසනාවට ඔහුට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි නොවූයේ තවමත් ඔහු නිවසට පැමිණ නොසිටි නිසාවෙන්.

එතුමාගේ අවසන් කටයුතු ජූලි 28වැනි බදාදා දින සවස කොළොන්නාව පොදු සුසාන භූමියේ පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහෘද ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ ඔහුගේ නිවසේ ලිපිනය: 129/1, මීතොටමුල්ල, වැල්ලම්පිටිය.

ඔබට නිවන් සුව අත්වේවා! සිංහල බ්ලොග් අවකාශයට ඔබගෙන් වූ සේවය අප සිත් තුළ සදා නොමැකෙනු ඇත.

වරද කාගෙද?

සිංහල පොතේ කැකිල්ලේ රජ ගැන සඳහන් වුන පාඩමට මාතෘකාව යෙදිල තිබුනෙ “වරද කාගෙද?” නමින්. ඒ මගේ මතකය නිවැරදි නම් පමණයි. ඕනෑ වුනේ කැකිල්ලේ රජ ගැන කතාකරන්නවත්, දේශපාලනය ගැන කතා කරන්නවත් නොවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතා කරන්නයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතිකා ඇති වීම දැන් කාලේ විලාසිතාවක් වීම නිසා මගේ හිතේ ෆේස්බුක් ගැන කතාකිරීමට අකමැත්තක් තිබුනත්, නොලියාම බැරි නිසා පොඩි සටහනක් යොදන්නම්. සටහන යොදන්න හිතුනෙ ලංකා ටෘත් (Lanka Truth) වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් නිසාවෙන්.

ප්‍රවෘත්තියේ කියැවෙන විදිහට ෆේස්බුක් වෙබ් අඩවියට විරුද්ධව ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි 50කට වඩා ඇති බවත්, එයින් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙකේ. ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබන ඡායාරූප වලින් අසභ්‍ය ඡායාරූප නිර්මාණය කරලා!

මේ ගැන ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහත්මාගේ ප්‍රතිචාරය අගය කළ යුතුයි. ෆේස්බුක් එකිනෙකාගේ පුද්ගලික අවශ්‍යතාව අනුව භාවිතයේ වෙනස්කම් ඇති නිසාවෙන් පොදුවේ රටටම බලපාන ආකාරයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කරන්න බැහැ. මේ කාරණය නිසා පැමිණිල්ල ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව වුනත්, හරිනම් පැමිණිල්ල එල්ල වෙන්න ඕනෙ පැමිණිල්ල යොදන කෙනාටමයි.

ඒක හරියට නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (විවරණය: හාමුදුරුවො = ෆේස්බුක්) වගේ වුනත්, ෆේස්බුක් භාවිතා කරන උදවිය කිසිම පරික්ෂාවකින් තොරව තමන්ගෙ නොයෙකුත් ඡායාරූප ඇතුළත් කරන අතරෙ ඒ සඳහා අවශ්‍ය කරන පෞද්ගලිකත්ව ආරක්ෂණ උපක්‍රම යොදන්නෙ නැහැ. ඒ වගේම නොදන්න අය මහපරිමා‍ණයෙන් තමන්ගෙ මිතුරු මිතුරියන් කරගෙන.

විකල්ප තුනක් තියෙනවා. ඔබට මිතුරු මිතුරියන් සොයාගන්න අවශ්‍යනම්, මූන පෙන්නන්නම අවශ්‍ය නම්, හැඳුනුම්පතේ ඡායාරූපයක් වගේ එකක් Profile Picture එක විදිහට ඇතුළත් කරල අනිත් සියලුම තමාගේ ඡායාරූප අයින් කරන එක ඇඟට ගුණයි.

දෙවෙනි විකල්පය, තමන්ගෙ ඡායාරූප තියාගන්න වෙන තැනක් ඇත්තේම නැතුව ෆේස්බුක් එකට ඇතුළත් කරනවානම්, තමන් ඇත්ත ජීවිතයේ මුනගැහෙන අය විතරක් එකතු කරගන්න. ඇත්ත ජීවිත‍යේ අයත් විශ්වාස කරන්න බැරි මේ වගේ කාලයක, ටිකක් පරිස්සමෙන්. පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න! (වහෙන් ඔරෝ කිව්වෙ Privacy Settings හරියට හදාගන්න)

අනිත් දේ තමයි, ෆේස්බුක් භාවිතා නොකර ඉන්න එක.

නැතිනම් වෙන්නෙ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න වෙන එකයි.

කාලෙකට පස්සේ… ආයෙමත්.

මේ දවස්වල මුකුත් ‍නොලිව්වට මොකද, හිතේ නම් තිබුනෙ ලියන්නම කියලයි. ඒත් මොනව කියල ලියන්නද? ජීවිතේ එන්න එන්න සංකීර්ණ වෙනව. උසස් පෙළත් අත ළඟ. මේ අගෝස්තු වල ලියන කණ්ඩායමෙන් පස්සෙ ඊළඟට හෙනහුරා වැටෙන්නෙ අපේ ඔළුවට. හරි. කමක් නෑ කියමු. උසස් පෙළ කියන්නෙ සැඟවුනු ආශිර්වාදයක්.

මේ දවස්වල සෑහෙන්න ප්‍රමාණයක් වැඩ කෙරෙනව. පුලුවන් තරම් කාල කලමණාකරණය කරගෙන හැම වැඩක්ම ගොඩදාගනව. පසුගිය මාස තුනක විතර කාලයක් ‍කිසියම්ම පසුබෑමකට ජීවිතේ ලක්වුනා කිව්වොත් හරි. ‍මොනව වුනත්, ආදරය ගොඩක් දේවල් අපිට උගන්වනවා.

‍මේ දවස්වල සාහිත්‍ය සංග‍මයේ අලුත් වැඩ ටික ලෑස්ති කරගෙන යන අතරෙ. කිරුළ හිමින් හිමින් ලියැවෙනව. වැඩිපුර බර ඇදෙන්නෙ මගෙ යාළුවගෙ අතින් කිව්වොත් හරි. කොහොමින් කොහොමින් හරි ළඟදීම කිරුළ එළියට එයි. සාහිත්‍ය.lk අඩවියත් එළියට එයි. ඒ ගැන බයවෙන්න එපා. සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ඊළඟ අදියරත් ළඟදීම ආරම්භ වෙයි. අලුත් විදිහකට මේ පාර බ්ලොග්කරණ තරගාවලිය තියන්නයි බලාපොරොත්තුව.

හැමදේම හොඳින් සිදුවෙනව කියන්නයි මේ සටහන ලියවෙන්නෙ. කොහොමහරි මාත් දැන් අවුරුදු 18ක් වුන ලොකු-කොට-වැඩිහිටි-ළමයෙක්!

පළමුවත් පාඩම!
දෙවනුවත් පාඩම!!
තෙවෙනුවත් පාඩම!!!

විදූගේ කතාව.

ශමිලා නිමන්ති ප්‍රනාන්දුපහුගිය අඟහරුවාදා දවසේ කොළඹ රීගල් සිනමාශාලාවට යන්න සුදාරකට අවස්ථාවක් ලැබුනෙ අශෝක හඳග‍මගෙ නවතම අධ්‍යක්ෂණය වන “විදූ” චිත්‍රපටියේ මුහුරත් උළෙලට විශේෂ  දර්ශනයකට සහභාගී වෙන්න. චිත්‍රපටය නරකම නෑ. වැඩිහිටි තේමාවක් රැගත් ළමා චිත්‍රපටියක්!

චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ ළමයෙක් කේන්ද්‍ර කරගෙන. තමන්ගෙ මවට, තමාගෙ අනන්‍යතාව තහවුරු කරන්න නොහැකි නිසා පාසල් යන්න නොහැකි වෙන මේ ළමය ඉගෙනගන්නෙ තමන්ගෙ ජීවන අත්දැකීම් වලින්. මෙතන පැහැදිලි බෙදීමක් පෙන්නුම් කෙරෙනව. ලංකාවෙ පාසල් යන සිසුන් තමන්ගෙ ජීවිතයට අත්දැකීම් එකතු කරගන්නෙ පොත පතින්, පාසල් නොයන ළමයෙක් ඉන්නවානම්, ඔහු ඉගෙනගන්නෙ ප්‍රායෝගිකව. මේ දෙකම එකතුවෙන තැනක් ලංකාවෙ ඇතුළෙ තියෙන්නෙ කොහෙද කියලත් හිතෙන තරම්.

එතකොට සිද්ධාන්ත සහ ප්‍රායෝගික අත්දැකීම් එකතුකරගැනීමේ උවමනාව තියෙන්න ඕනෙ තමන්ටමයි.

චිත්‍රපටිය බලන්න ගියේ, අශෝක හඳගම කියන නිර්මාණකරුවා පිළිබඳව ගොඩනගාගෙන තියෙන ආකල්ප ගොඩක් ඔළුවෙ තියාගෙන නිසා… චිත්‍රපටියෙන් ඒ ආකල්ප ඇතුළෙ හිටපු අශෝක හඳගම දකින්න ලැබුනෙ නැහැ. චිත්‍රපටිය කරේ අශෝක හඳගම කියල නාමිකව නොදැනගෙන හිටියානම්, චිත්‍රපටිය කරේ ‍අශෝක හඳගම නොවන වෙන ඕනෑම කෙනෙක් කියල හිතෙන තරමටම මේ චිත්‍රපටිය අශෝක හඳගමගෙ වෙනත් චිත්‍රපටි එකක් සසඳන්න බැහැ. එක අතකට මේක අශෝක හඳගමගෙ දක්ෂතාවක්. ලංකාවෙ බහුතර ප්‍රේක්ෂක පිරිසෙ ඉල්ලුම හඳුනාගෙන, ඉල්ලුම‍ට සරිලන සැපයුම සපයන්න ඔහු සමත්!

චිත්‍රපටිය ලංකාවෙ වාණිජ චිත්‍රපටි අතර සැසඳීමේදී බොහොම ඉදිරියෙන්. ඒක බොහොම සාර්ථක ලක්ෂණයක්. හැබැයි සමහර කැමරා රාමු වලට නළු නිළියන් අනුගත වෙන්නෙ නැහැ. චිත්‍රපටියෙ ෆැන්ටසිමය අවස්ථා නිර්මාණය කිරීමට උත්සාහ කරල තිබුනත්, ඒ තැන් නිරුත්සාහයෙන්ම නළු නිළියන්ගෙන් නිරූපනය වෙන්නෙ නැති ගතියක් චිත්‍රපටියෙ මුල භාගයේ තිබුනත්, ටිකෙන් ටික ඒ ගතිය නැතිවෙලා යනව.

චිත්‍රපටියෙ සංගිතය සහ තාක්ෂණය භාවිතය‍ ‍බොහොම හොඳින් කෙරිල තියෙනව. ඒ වගේම කතාව ‍නිදහසේ ගලාගෙන යනව. චිත්‍රපටියෙ රඟපෑමට සම්මානයක් දෙනවානම්, මම තෝරාගන්නෙ ළමා නිළියව. ඇගේ රඟපෑම වයසට හරියන්න, උපරිමයි වගේම ආකර්ශනීයයි! කොහොම නමුත් මේ සින්දුවත්, ඒ රූප රාමුවත් මට නම් ගැලපෙන්නෙ නැහැ. සින්දුව අහනවානම්, ඇස් ව‍හගෙන සින්දුව අහන එක රසවින්දනයට හොඳ වේවි.

“විදූ” චිත්‍රපටිය ජුනි මාසයේ මැදදි CEL මණ්ඩලයේ සිනමා ශාලා වෙත පැමිණේවි. ‍ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය නරඹන්න. කතාව සරලව ගත්තොත්, ඉදිරි අනාගත අභියෝග වලට මුහුනදීමට ළමයි‍න්ගෙ අධ්‍යාපන ක්‍රමය හැඩගස්සවන්න අවශ්‍ය බව පෙන්වීමත් ඒ සඳහා කරන පෙළඹවීමක් ලෙසත් චිත්‍රපටිය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ළමයින්ව පෙන්වලා, ඒ යටින් ගෙනියන වැඩිහිටියන්ගෙ මහෝඩි වැඩ ගැනත් හිතන්න ඔබව පොළඹවාවි. චිත්‍රපටිය සමහර සංකේත එළිපිටම, සෘජුවම පෙන්වනව. ඒ සංකේත බලන්න නම්, චිත්‍රපටිය නරඹන්නම වේවි.


විදූ චිත්‍රපටියේ නිල වෙබ් අඩවිය
පීර පීර මං හෙව්වා… මගේ ලෝකයට වීරයෙක් !!
Asoka Handagama is BACK with a ǝɔuǝɹǝɟɟıD.. !
විදූ : කෝ හඳයා? | Vidhu

මගේ ලෝකයට වීරයෙක් – Download MP3

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

උපදෙස්: ඉදිරියට කියවාගෙන යන්න කලින්, සින්දුව අනිවාර්යයෙන්ම රසවිඳල ඉන්න. ඊට පස්සෙ සැහැල්ලුවෙන් කියවාගෙන යන්න

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර, මහවැලියට දමන්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: ධම්මික බණ්ඩාර
සංගීතය: විශාරද ඩෙනිස්ටර් පෙරේරා

සාමාන්‍යයෙන් සුදාරක සින්දුවක් ගැන බ්ලොග් සටහනක් නොලියාම ඇති තරම්. සුදාරක කවි/ගීත විචාරයට එතරම් දක්ෂ පුද්ගලයෙකු නොවුනත්, රූප පෙට්ටියේ සුපිරි(/සිහින)තරු පිළිබඳ දැන්වීමක් අතරමඟදි සිහිනතරුව‍ක‍ගේ හඬින් ඇහුන අමරසිරි පීරිස් ගායකයාගේ හඬින් ගායනා වෙන “හන්තානට පායන හද” ගීතයේ මුල් පද පේලි ඇහුන විගසින්ම ගීතයට ආකර්ෂණය වුනා කිව්වොත් හරි. සාමාන්‍යයෙන් ගීතයේ මුල් පදයෙන්ම ගීතයට ආකර්ෂණය වෙනවානම්, ඒ ගීතයේ තමන්ගෙ ජීවිතයට සම්බන්ධ දෙයක් කොහේහරි ඇති කියල මගේ හිත කියනව. එහෙම වෙන එක පැහැදිලි කරගන්න නම් අතුරු කතාවක් කියන්න වෙනව. සාමාන්‍යයෙන් පන්ති ඉවරවෙලා යැවෙන සරසවියේ සිංහල පොත් තියෙන උඩුමහලේ මම දැක්ක එක පොතක්. ඒ පොත එක පාරටම අතට ගත්තාට මම වැඩිය කියෙව්වේත් නැහැ. කොහොම හරි මේ පොත මට ආපහු තිබුන තැනින් තියන්න හිතුනෙම නැහැ. අන්තිමේ පොත අරගෙන කියවලා බලද්දි, මට තේරෙනව මේකෙ සමහර තැන් මගේ ජීවිතයත් එක්ක සසඳන්න පුලුවනි කියල. ඒක හරි පුදුමාකාර කතාවක්! ඒ කියන්නෙ, විශ්වාස කරනවනම් විශ්වාස කරන්න. නැතිනම් නිකන් ඉන්න!

හරි, ආයෙත් මාතෘකාවට එමුකො. මේ ගීතයේ පළමු ‍පේලියෙන්ම ගීතයට ආකර්ෂණය වුනාට පස්සෙ, අන්ත‍ර්ජාල පිහිටෙන් සින්දුව හොයාගත්ත. මුළු සින්දුවම, සින්දුවේ ආකාරයෙන් නොවුනාට සීයට සීයේ ප්‍රතිශතයෙන්ම ජීවිතානුබද්ධයි. ඒකයි සීරියස්ම කතාව.

ගීතයෙන් කි‍යවෙන්නෙ හරිම සරල කාරණයක්. ගීතය ගායනා කරන්නා පෙම්වතා නම්, අපිට ඉතිරි ටික සැහැල්ලුවෙන් ආදේශ කරගන්න පුලුවනි. මේ ගීතය පෙම්වතා කියන්නෙ, උසස් පෙළ හොඳින් සමත්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සමත්වුන තමන්ගෙ පෙම්වතියට. හන්තාන තියෙන්නෙ පේරාදෙණිය සරසවිය ආසන්නයේ නෙව. ඉතින් මෙතන හන්තාන කිව්වත්, හන්තාන කියන ‍එකෙන් අදහස් කරන්නෙ පේරාදෙණිය සරසවියමයි.

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන පෙම්වතාට බලන්න බැරිවෙන්නෙ පෙම්වතාට උසස් පෙළ සමත්වෙන්න බැරි ‍වීම හේතුවෙන් පේරාදෙණිය සරසවියට එන්නට නොහැකිවීම හේතුවෙනුයි. සමහරවිට අපිට මෙහෙම හිතන්නත් පුලුවනි උසස් පෙළ කෙසේවෙතත්, ඔහුට පේරාදෙණියට එන්න නම් කිසිම හැකියාවක් නැහැ. පේරාදෙණිය කියන්නෙ, පේරාදෙණිය සරසවියට.

සරසවි ජීවිතය හරිම සුන්දරයි, හරියට සිනිඳුවට කඩාගෙන වැටෙන වැස්සක් වගේ. ඒ වගේම සරසවි ජීවිතයෙ කටුක දේ ‍නැත්තෙම නැහැ. මේ කතාව ගීතයෙ හරි අපූරුවට ව්‍යංගයෙන් කියල තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

අඳුරෙන් සරසවියෙ කටුක ජීවිතය නියෝජනය කෙරෙනවා නම්, වැස්සෙන් සුන්දර සරසවි ජීවිතය නියෝජනය කරනවා වෙන්න පුලුවනි.

ඉතින්, මේ ජීවිතයෙදි තමන් ළඟින්ම තමන්ට දුක සැප බෙදාගෙන ඉන්න කෙනෙක් ළඟ ඉන්නව නම්, ඒක ගොඩක් වටිනව. ඉතින් ‍ඒකයි පෙම්වතා කියන්නෙ…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

දුරස්ථ ආදරයකදි, දෙන්නට දෙන්න නොපෙනෙන එක අර්බුදකාරී අවස්ථාවක ලොකු ගැටලු මතුකරන තැනක්. කොහොමනමුත් තමන් ආදරය කරන කෙනෙක් දුර හිටියත්… සමහර වෙලාවට දුකෙන් ඉන්න වෙලාවට ආරක්ෂාව රැකවරණය ඒ දුර ඉන්න කෙනාගෙන් ලබාගැනීමට හරි අසීරු දෙයක්. ඒ කියන්නෙ, ප්‍රායෝගික නැති කාරණයක්. ඒකයි පෙම්වතා කියන්නෙ,

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ඒ මුලින් ඇතිවෙන රාගයෙන් තොර ආදරය. ළඟදි හොයාගත්ත වචනයක් වන ප්ලේටොනික ආදරය. එතනින් එහාට යන ඊළඟ තැන… රාගයත් එක්ක එකතු වුන ආදරය. මහවැස්සෙ තනියම ‍නොයා අලුත් පෙම්වතාගෙ ආරක්ෂාව යටතෙ ය‍‍නකොට, දෙන්නටම තනිවෙන්න තැන් ලැබේවි. ඒ අවස්ථාව මඟඅරින්න එපා, මගෙන් නොලැබෙන දේ ලැබෙනවා නම්… මා ගැන මතකය හිතෙන් අමතක කරල දාන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න… දුක්විඳිනවාට වඩා සතුටට, නිවීමට පත්වෙන්න. ඒකයි වැදගත්. කාලය නමැති මහවැලි ගඟ මාවත් ඇදගෙන ගහගෙන යාවි.