මාර්කටින්ග්

වැඩ කෝටියක් තිබුනත් බ්ලොග් එක පාලුවෙන් තියන්න හොඳ නෑ නෙව. මේ දවස්වල මම ඇර අනිත් විද්‍යා ගණිත කාරයෝ උසස් පෙළ කරල නිවි සැනසිල්ලේ ගෙදරට වෙලා හෝ විනෝද චාරිකාවේ ඉන්න ගමන්.

මේ අතරෙ උසස් පෙළින් පසු අලුත් දැනුම හොයාගෙන යන්න පෙළඹවිම් ඇතිකරන්න එක එක ආකාරයේ වැඩසටහන් දියත් වෙලා තියෙනවා නෙව. ඔය අතරේ අපේ ගෙදරට ආවා ලිවුමක්. උසස් පෙළින් පසු!

රුපියල් 12,000ක් වටිනා ශිෂ්‍යාධාරයක්!

පරිගණක තොරතුරු තාක්ෂණය වෙනුවෙන් රු12000/- වටිනා ශිෂ්‍යාධාරයක් ඔබටද හිමිවී ඇති බව සතුටින් දන්වා සිටිමි.

රැකියාවකට යන විට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන විෂයන් තුනකින් නොමිලේ දේශන ආරම්භ වේ.

ඔබට උගන්වන ව්‍යාපාරික ගැටලු.
සුපිරි වෙළඳ සැලක ලාභ අලාභ, බැංකුවක තැන්පත් මුදල් සඳහා පොලී විශ්ලේෂණය, විදුලි බිල විශ්ලේෂණය, ලීසිං, වැටුප් පද්ධති, මුදල් වර්ග කිරීම, ව්‍යාපාරයත ලාභ හෝ පාඩු විශ්ලේෂණය, Breakeven analysis, විභාග පරිගණකගත කිරීම, අදායම් බදු…

(මෙන්න හොඳම හරිය)
මධුසමය ගත කිරීමට හෝටලයට යන ගනුදෙනුකරුවන්ගේ බිල් සකස් කිරීම, කුරුමිණියෙක් පියාඹා ඇවිත් රූමත් තරුණියකගේ හැට්ටය උඩට වසන අයුරු Animation නිර්මාණය කිරීම, කැළයෙන් එලියට පැමිණෙන ඇනකොණ්ඩා, ළමුන් දෙදෙනෙකු සපා කා නැවත කැළයට යන අයුරු…

Graphic Designing
ව්‍යාපාරික ලාංඡන 25ක් නිර්මාණය කිරීම, ශාරුක්ඛාන් නිදාසිටින ඇඳක ඔබද එහි නිදා සිටින අයුරු Image නිර්මාණය කිරීම, විලියම්ගේ මංගල ඇඳුම ඔබ ඇඳගෙන කේට් සමඟ සිටින අයුරු Image නිර්මාණය කිරීම, නිලියකගේ ඇඳගෙන සිටින ගවුම ඉවත්කර වෙනත් ගවුමක් ඇන්දවීම, පාරට වැස්සක් වහින ආකාරය, දේදුන්නක් මුහුදට වැටෙන ආකාරය, රූමත් යුවතියකට මහළු පෙනුමක් ඇතුළත් කිරීම යනාදී නිර්මාණ ගැටලු 100ක්

අයියෝ මාර්කටින්ග්!

සෝෂල් මීඩියාද? සෝෂල් ඩිසීස්ද?

මේ දවස්වල බලන්න එපැයි Twitter එකේ ආඩම්බර්! ලොකු ලොකු තැන්වලින් Twitter එකට බැහැල මාර්කටින්ග් වැඩ පටන් අරගෙන. ට්විටර් විතරක් නෙවෙයි. ෆේස්බුක් වලත් ඒ වගේම ලොකු මාර්කටින්ග් වැඩ. නොමිලේ යට ඇඳුම්, නොමිලේ කේක්, නොමිලේ iPad, ෆිල්ම් බලන්න ටිකට් සහ තවත් බොහෝ දේවල් ලබාගන්න කට්ටිය පොරකනව. පුද්ගලිකව මාත් කැමතියි නොමිලේ ලැබෙන කේක් කෑල්ලක රහ බලන්න. නිකන් දෙනවනං, ඕනෙ දෙමළ පත්තරයක්. එහෙම නේද? 😉

ඒත් මේ තරග වල ප්‍රමිතිය කොහොමද? මම දැක්ක එක්තරා මයිල් කැපීමට උදව් දෙන වෙළඳ භාණ්ඩයක්, ෆේස්බුක් හරහා පවත්වන තරගයක්. ඒ තරගය තමයි, තමන් පෙනී සිටින පුද්ගලික ඡායාරූපයක් අප්ලෝඩ් කරල, ඒකට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න එක. අනේ මේ ලස්සන ගෑනු ළමයි තමන් සුපිරිසිදුව මවිල් බෑ බවට සහතිකයක්, ෆේස්බුක් පිටුවට අප්ලෝඩ් කරල.

උන්ට හොඳනං අප්ලෝඩ් කරන්න, අපිට මොකද?

හරි. ඒව දැක්කම අපේ ඇහැත් ගිණිකන වැටෙනවා තමයි. ඒත් මේ අයගෙ පොටෝ වලට මොකද වෙන්නෙ? මොනවද මේ අයගෙ privacy policies? ලෝකෙ හතර වටේම අයට මේ පොටෝ බලන්න පුලුවන්ද?

ලංකාවෙ Adults වෙබ් අඩවි තහනම් කරපු එකේ. මේ ගැන අවදානම අඩුවෙන්න පුලුවන්. ඒත් ඊට වඩා දරුණුම දේ තමයි, මේ ෆේස්බුක් පිටුවලින් උස්සන ඡායාරූප, තප්පර දෙකක් ඇතුළත ElaKiri.com වගේ පට්ට ආතල් වෙබ් අඩවියක, OMG :O . Sexy Sri Lankan Girls වගේ thread එකක් ඇතුළට වැටෙන එක.

අන්තර්ජාලය ඇතුළෙ මේව වැටෙන එක අපිට නවත්වන්න බෑ තමයි. ඒත් කොහොමද තමුන් කසාද බඳින්න ලංවුනාම මනාල පාර්ශවේ වැඩිහිටියෙක්ට අහුවෙනව මේ වෙබ් අඩවිය. මෙන්න ඡායාරූපයක් තියෙනව. තමුන්ගෙ නෑදැ පුතා බඳින්නෙ මේ ගෑනු කෙනා. “අනේ පුතේ, මේ කොහෙවත් යන වෛශාවක්ව කසාද බඳින්න එපා, මං උඹට හොඳ එකක් හොයල දෙන්නං” කිව්වොත් තියෙන ආතල් එක? ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්නයක් නේද?

තමන් වෛශ්‍යාවක් නොවුනත්, අන්තර්ජාලය ඇතුළෙ තමන්ගෙ වෛශ්‍යා ප්‍රතිරූපයක් නිර්මාණය වෙලා තියෙන්න පුලුවන්. Fake profile හදල සිඟිති ආතල් ගන්න දේශප්‍රේමී ලාංකිකයෙකුට තමන්ගෙ ඡායාරූප හොඳ සම්පත්!

මේ ළඟදි තව එකක්. එක්තරා ලංකාවෙ FM නාලිකාවකින් කරන වෙබ් පිටුවක ආදර ගීත ඉල්ලුම් කරන ගෑනු ළමයින්ට පැණි හලන නිවේදකයෙක් ගැන කතාවක් ගියා. ඉතින් අර ගෑනු ළමයට කෝ පුද්ගලිකත්වයක්? ඒක නිසා, සෝෂල් මීඩියා-සෝෂල් ඩිසීස් එකක් වෙන්න දෙන්න එපා!

හරිහැටි වෙබ් අඩවියක්, තමන්ගෙ වැඩසටහන ගැන හරියට සටහනක් ඒ ආයතනයට නැතිනම්, (බ්ලොග් එකක් ඒ ආයතනයට තියෙනවානං වඩා සුදුසුයි!) සහ හරිහැටි privacy policy එකක් නැත්තං ඒ අයගෙ දේවල් වලට නැවිල දෙන්න යද්දි පරිස්සමෙන්!

මා ප්‍රිය හිතවත් සෝෂල් මීඩියා නෝනාවරණි, මහත්වරුණි, කරන මඟුලක් හරිහැටි සම්මතයක් ඇතුව කරන්න. ඔබගේ නොමිලේ කේක් කෑල්ලට ඉස්තූතියි…

ප.ලි: ඔය දෙන කේක් කෑල්ල, යට ඇඳුම, ටොපිය, ඩිස්කවුන්ට් එක දෙන්නෙ ඇත්තටම නිකන් නෙවෙයි. වැඩිපුර නොහිතුවත් ලොකු මාකටින් propaganda එකක් ඇතුළෙ. ඉතින්, පරිස්සමෙන්.

බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද?

බ්ලොග් ගැන බ්ලොග් ලිවිල්ල දැන් නම් එක්තරා ආකාරයක කම්මැලි වැඩක්. නොලියාම බැරි නිසා ලියවෙනව මිසක්, හීනෙකින්වත් ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. බොරු කියන්න ඕනෙ නෑ මම නං හරිහමන් බ්ලොග් එකක් කියවපු කාලයක් මතක නෑ. කමෙන්ට් කරලත් නෑ සෑහෙන්න කාලෙකින්. (ඔය ළඟදි බ්ලොග් කියවන්න කියල හිතල දහයක් පහ‍ළොවක් බලල කියවපු පහ හයකින් දෙක තුනක කමෙන්ට් කරත්) සිංහල බ්ලොග් අවකාශයට ඇතිවෙලා තියෙන ශෝචනීය ඉරණම වෙනස් කරන්න, U TURN එකක් දෙන්න ඕනෙ කියල හිතන්න පුලුවන් කාලයක් මේ.

ප්‍රධානම බ්ලොග් කියවනය වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ, ​සිංහල බ්ලොග් කියවනය දිහා බැලුවම දැනට ඇතුළත් වුන බ්ලොග් අඩවි ප්‍රමාණය එක්දහස් එකසිය දහ නවයක්. මේක පහුගිය අවුරුද්දු දෙකත් එක්ක බැලුවාම 200%ක විතර වැඩිවීමක්. (හරිහැටි ගණන් බැලීමකින් තොරව කට වහරෙන් අර්ථ දක්වනවානං) ඒත් ඒ හා සාපේක්ෂව ගුණාත්මක කියවීමක් කරන්න පුලුවන්ද? මේක නිකන් හරියට ලංකාවෙ පාර්ලිමේන්තුව වගේ. ඔළු ගාණ (මගේ ඔළුවත් ඇතුළත්ව) කොච්චර වුනත් කිසිම ගුණාත්මක භාවයක් නෑ.

(මාත් ඇතුළත්ව අනිත් අයත් ලියන) පුද්ගලික කතා-ස්වයං වින්දන කතා හැරුණ කොට අන්තර්ජාලයේ සිංහල කියවන්නන්ට වෙන හොඳ කියවීමක් ඇත්තේම නැද්ද?

තවත් දෙයක්, කට්ටිය බ්ලොග් ලියන්නෙ සින්ඩියකට වැටෙන්න බලාගෙන මිසක්, තමන්ගෙ ස්වයං අරමුණු සාක්ෂාත් කරගන්න නෙවෙයි වගේ. එහෙම කරන අය ඉන්නෙ එකක්-දෙකක් වගේ පිරිසක්. ඒ වගේම කට්ටිය ලියන්නෙ කමෙන්ට් බලාගෙන, හිට්ස් බලාගෙන. ඒක වැරදියි. තමන් අන්තර්ගතය නිර්මාණය කරන්න ඕනෙ තමුන්ට ඕනෙ විදිහට. මේක නිකන් රටේ ජනාධිපතිට හරි විපක්ෂ නායකට හරි තමන්ගෙ ළමය හදන්න දීල (ඒ අයගෙ ළමයි හැදීමේ හැකියාව ගැන කතා නොකර ඉමු නේද?) පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා වගේ වැඩක්. සින්ඩිකේටර මත යැපෙන්න එපා. හිට්ස් ලැබෙන්න ඕනෙ තරම් විකල්ප තියෙනවා. අන්තර්ගතය ලස්සන නම් එතනට හිට්ස් අනිවාර්යෙන්ම වැඩි වෙනවා සත්තයි. Google, Google Reader, Twitter, Buzz, Facebook සහ Social Bookmarking tools තියෙන්නෙ ඒකට තමයි.

මේ අවකාශය ඇතුළෙ පෙම් කෙළින, බූට් කන තරුණ තරුණියෝ විතරක් ඉඳල මදි. මේකට දෙමව්පියෝ, සාදාචාරවාදීන්, රස්තියාදුකාරයින්, ගුරුවරු, වඩුවො, බේබද්දො, ගණිකාවො, සල්ලාලයො, වෛද්‍යවරු, කුකරි ක්ලාස් කාරයො, සැලොන් කාරයො අනිවාර්යයෙන්ම ඕනෙ.

ඒ කිව්වෙ මෙහෙමයි… දැනටමත් වෙදකම, ගුරුකම වගේ දේවල් ගැන ලියන අය ඉන්නවා. හැබැයි ටිකයි. තව වැඩිවුනොත් තමයි වටින්නෙ. ඒක තනි වෙදෙකුට, ගුරුවරයෙකුට විතරක් කරන්න බෑ. තව අය එතනට ඕනෙ. ස්ටයිල් ගැන කාලයක් කෙරුණ බ්ලොග් එකත් අතෑරල දාලා…

මේක මේ කනෙන් ඇදල බලෙන් ලියවන්න හදන ලිපියක් නෙවෙයි. කොහොමත් කනෙන් අල්ලන්න තරම් මට උස මදි. මම කියන්නෙ කට්ටියට තවත් බොහෝ දේවල් කරන්න පුලුවන් කියල හැඟීමක් එන්න ඕනෙ.

තව කට්ටියක් Social Media ගැන කොහෙන්හරි course එකක් කරල, ඒක ලංකාවට ඇප්ලයි කරන්න හදල ලංකාවෙ බිස්නස් “so called win-win situation” එකට කරන්න හදනව. කොහොමද, ගෙදරට බොරු කියල, ක්ලාස් කට් කරල කොම්පැණියකින් තියපු පාටියකට ගිහින් තමන්ගෙ පොටෝ එකක් පත්තරේ පලවුනාම තියෙන ආතල් එක? කෝ අපේ මිනිස්සුන්ගෙ privacy policies?

වෙලාවකට හිතෙනව මේ රටේ විශ්ව විද්‍යාල වලට හෙණ ගහලද කියලත්. ඒක විශ්ව විද්‍යාල වල වරදද? ඉගෙන ගන්න එවුන්ගෙ වරදද? ක්‍රමේ වරදද?

හයිඩ්‍රජන් බන්ධනය

පූර්වකථනය | Prologue

මේක මේ one zero zero එකට ලියපු කතාවක්. වචන කොච්චර එහෙට මෙහෙට කරත්, වචන සීයකට කොටු කරගන්න අමාරු නිසයි මෙතන ලියන්නෙ.


“එහෙනං අපි කෙමිස්ට්‍රි පාඩමක් කරමු. හරිද?”
“හරි. ලෑස්තියි.”

“නියමයි. ඒත් ඊට කලින්, ඔයා මට ගෙවන්න ඕනෙ.”

“මොකා? තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි… කලින් කිව්වෙ කිසි ගාණක් ගෙවන්න ඕනෙ නෑ. සියල්ල නොමිලේ කියල”

“හරි. මම බොරු කිව්වෙ. ඒ වුනාට දැන් ඔයාට මට ගෙවන්න වෙනව. වැඩි ගාණක් නෙවෙයි. පැයට එක කිස් එක ගානෙ. තොල් වලට.”

“නෑ. මම ගෙවන්නෙ නෑ. ඒත් උගන්නන එක නතර කරන්න බෑ. හරිද?”

“අහ්. ඒ කොහොමද?”

“මොකද මම ඔහේට සෑහෙන්න ආදරෙයි. ඒ වගේම මම දන්නව තමුසෙ සෑහෙන්න රෝමැන්ටික් වැඩියි කියලත්. මම ඔහේගෙ ළඟට ඇවිත් ඔය තොල් දෙක කිස් කරොත්, මට මාවම පාලනය කරගන්න බැරිවෙයි. අන්තිමට මට නවතින්න වෙන්නෙ ඔහේ වගේම දඟ, ලස්සන, හැන්ඩ්සම්, කොට, පොඩි එකෙක් බඩට දාගෙන.”

“ඉතින් ඒක නරකද?”

නරකයි නේන්නං. මොකද මම මේ කරුම උසස් පෙළ පාස් වෙලා කැම්පස් එකට ගිහින් හොඳ ජොබ් එකකට සෙට් වෙන්න ඕනෙ. ඊළඟට, ඊට පස්සෙ මට පුලුවනි ගෙවීම කරන්න. එතකොට නං ඔන්න පොඩි එකාට හැදෙන්න හොඳ ලස්සන තැනක් අපි දෙන්නට හදන්න පුළුවනි. හරිද?

හහා! උඹ නං… මගේම ආදරණීය බිරිඳම තමයි.

අයියෙ, වෙන කතා ඇති.

ඔන්න ලියාගන්න…

“හයිඩ්‍රජන් බන්ධන”*


*හයිඩ්‍රජන් බන්ධන: http://en.wikipedia.org/wiki/Hydrogen_bond

චිත්‍රපටි පහක්

පූර්වකථනය | Prologue

ආයෙත් නොලියන්නම හිතාගෙන හිටියාට, ඒක හරියන වැඩක් නෙවෙයි. ඇරත් තුවාල බොහෝ දුරට සනීපයි. ඒ ගැන නොහිතෙනා තරම් වගේම Support System එකට පින්සිදුවෙන්නට දැන් හැමදේම සාමාන්‍යයි. මේ සුදාරකගේ අන්තර්ජාල සටහනේ ඊළඟ පරිච්ඡේදයේ ආරම්භය.

————

මේ, ඔබ නැරඹිය යුතුම චිත්‍රපටි කිහිපයක් ගැන සටහනක්. සමහර විට මේ චිත්‍රපටි ඔබ දැනටමත් නරඹලා තියෙන්න පුළුවන්. නරඹලා තියේනම්, ඒකෙ තේරුම මේ චිත්‍රපටි ගැන ඔබේ අදහස් මේ සටහනට එකතු කරන්න පුළුවන්. බ්ලොග්කරණයේ වාසිය ඒකයි. 😉

Inception

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය නරඹලා නැතිනම්, දැන්ම හොයාගන්න. රසවිඳින්න. සාමාන්‍යයෙන් චිත්‍රපටියක තියෙන්නෙ එක කතාවයි. චිත්‍රපටය නරඹන සියයට අනූ නවයක් චිත්‍රපටිය විග්‍රහ කරන්නෙ බොහෝ විට එකම විදිහකට. ඒ වුනත්, Inception චිත්‍රපටිය නරඹන අයට තමන්ගේම විග්‍රහයක් චිත්‍රපටයට ඉදිරිපත් කරන්න පුලුවන්. අන්න ඒකයි, මේ චිත්‍රපටියේ විශේෂත්වය. දෙතුන්පාරක් නැරඹුවාට පාඩුවක් වෙන්නෙ නම් නැහැ.

චිත්‍රපටියේ ප්‍රධාන රංගනය Leonardo DiCaprio මෙහෙයවූවත්, සහය නළුවාගේ (Joseph Gordon-Levitt) රංගනයත් හොඳින් කැපීපෙනන සුළුයි. අතිවිශිෂ්ඨ රංගනයක්, අතිවිශිෂ්ඨ අධ්‍යක්ෂණයක් වගේම සුපිරි විශේෂ ප්‍රයෝගත් නිසා, චිත්‍රපටිය අතිශයින්ම සාර්ථකයි.

Ariadne: Why is it so important to dream?
Cobb: Because, in my dreams we are together.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer


She’s Out of My League

ඕනම කෙනෙකුට තමන් ගැන තක්සේරුවක් තිබීම වැදගත්. ඒත්, තමන්ගැන හිතාගෙන ඉන්න විදිහ අවුල්නම්, ඒ කියන්නෙ තමන් අනිත් අයට සාපේක්ෂව කිසි වැඩකට නැති කැත, කිසි කික් එකක් නැති, කාන්තා ආකර්ෂණයක් ඇත්තේම නැති කෙනෙක් විදිහට හිතාගෙන ඉන්නවනම්, ඒක ලොකු අවුලක්. මේ විදිහට තමන් ගැන පහත් තක්සේරුවෙන් ජීවත් වෙන “කර්ක්” පළවෙනි ආදරේ කඩාගෙන, ඒ ආදරේ මත්තෙම නැහෙද්දි… ලස්සන කෙල්ලෙක් ජීවිතේට කඩන් පාත් වෙනව. තමන් තුළ නොදකින හොඳ ඈ දකින බව දැනගෙනත් තමන් ගැන තියෙන පහත් තක්සේරුව නිසාම කර්ක්ට පසුබහින්න සිද්ධ වෙනව. කොමඩියක් නිසා හිනාවෙන්න පුලුවන් වගේම තමන් ගැනම පොඩි දෙයක් හිතට ගන්නත් උදව් වෙන නිසා, මේ චිත්‍රපටිය මඟඅරින්න එපා. Jay Baruchelගේ රංගනය උපරිමයි!

මේ චිත්‍රපටිය බොහෝ දෙනෙක් නරඹලා තියෙන්න පුලුවන්. ඒත් නරඹලා නැති අය සහ නරඹන්න ආසාවෙන්න ඉන්න අයටයි මේ කියන්නේ… වහාම නරඹන්න!

අවවාදයයි: මා වැනි බිළින්ඳන්ට නැරඹීමට නොහැකි යැයි සම්මත දසුන් ඇති බැවින්, දහසය දාහත වයසේ බිළින්දන් තනියම නරඹන්න. නැරඹුවාට නරක් නොවේ. 😉 15ට අඩු ශ්‍රී ලංකා පුරවැසියන් චිත්‍රපටය නරඹා කරගන්නා දේවල්වලට වගකියනු නොලැබේ. 😛

Devon: Hey did she say anything about Wendy thinking I’m hot?
Kirk: No.
Devon: Shoot, I wonder if she is on Facebook?
Kirk: Devin you’re on Facebook?
Devon: Yeah… I got like 37 friends.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය Movie Trailer

(500) Days of Summer

මේ තවත් සුපිරිම ආදර කතාවක්. Ooops. O.o සමාවෙන්න. මේක ආදර කතාවක් නෙවෙයි. ආදරේ ගැන කතාවක්. මේ, හරිම සරලව ගලාගෙන යන හරි අපූරු චිත්‍රපටයක්. ටොම් හැන්සන් (Joseph Gordon-Levitt) කියන්නේ, සුබ පැතුම් පත් වලට එක එක දේවල් ලියන කෙනෙක්. ටොම් වැඩකරන තැනට සම්බන්ධ වෙනව අලුත් ගෑනු ළමයෙක්. එතනින් එහාට කතාව බලාගෙන යන්න. 🙂 කලින් කිව්වා වගේ කතාව සරලව ගලාගෙන යන නිසා කම්මැලිකමක් නැතිව ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්. ආදරේ ගැන හිතන්න දේවල් ඉතුරු කරන. ගෑනු මායම් වලට රැවටිලා පළවෙනි ආදරේ (හෝ ආදරයක්) නාස්ති කරගත්තා කියල හිතෙන කෙනෙකුට මේ චිත්‍රපටිය තරමක් වටියි. 😉 ගෑනු ළමයිතුත්, පිරිමි ගැන තේරුම්ගන්න මේ චිත්‍රපටිය නරඹනවානම් හොඳයි. 😉

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන Joseph Gordonගේ රංගනය අති විශිෂ්ටයි. තාත්විකයි. චිත්‍රපටයට සම්මාන රැසකට නිර්දේශ වෙලා තියෙනවා වගේම සම්මාන කිහිපයක් හිමිකරගන්න සමත්වෙලත් තියෙනව. චිචාරක ප්‍රතිචාර උපරිමයි. ඉතින්, මේ චිත්‍රපටිය මඟඅරින්න එපා. අනිවාර්යයෙන්ම නරඹන්න.

Tom: I love how she makes me feel, like anything’s possible, or like life is worth it.

IMDB පිටුව Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

Dabangg

මේ හින්දි චිත්‍රපටිය මෙතනට එකතු කරන්නෙ මේ චිත්‍රපටියෙ ලොකු දර්ශනයක්, ලොකු කතාවක්, ජීවිතේට එකතු කරගන්න දෙයක් තියෙන නිසා නෙවෙයි. මේ චිත්‍රපටිය වින්දනාත්මකයි. හිත අවුලෙන් තියෙන වෙලාවක, එහෙම නැත්තං ආතතියෙන් පිරුණ වෙලාවක චිත්‍රපටියක් බලල හිත නිදහස් කරගන්න ඕනෙ වගේ කියල හිතෙනවනං මේ චිත්‍රපටිය බැලුවාට කිසිම වරදක් නැහැ. එච්චර උසස්  රසවින්ඳනයක් බලාපොරොත්තු වෙන්න බැරිවුනාට. හිත සැහැල්ලු කරගන්න, සතුටු වෙන්න, කට්ටියක් එක්ක බලන්න, කියාපු චිත්‍රපටිය.

හොඳම දේ මේකෙ නිළිය. Sonakshi Sinha. මෙයා වගේ ඇහැට ප්‍රිය උපදවන නිළියක් මට තාම හොයාගන්න බැරිවුනා කියන්නෙ අතිශයෝක්තියෙන් වුනත්, ඇත්තටම ලස්සන නිළියක්. නිළිය ලස්සන නිසා හරි චිත්‍රපටිය බැලුවාට වැරදි නැහැ. 😉 චිත්‍රපටියෙ සංගීතය Sajid-Wajid සහ Lalit Pandit ගෙන්. සින්දු ලස්සනයි. එකපාරම රසවිඳින්න ගියොත් අමාරුවෙ වැටෙයි. ඒක නිසා, චිත්‍රපටිය බලල ඉවරවෙලා ඊළඟට සින්දු අහන්න. 🙂 චිත්‍රපටිය ගැන මට තියෙන පොඩි අවුල තමයි, චිත්‍රපටියට Sherlock Holmes චිත්‍රපටියෙනුයි, (500) Days of Summer චිත්‍රපටියෙන් පොඩි පොඩි කෑලි ටිකක් කොපි කරල තියෙන එක. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ. 😉

“When you lose the fear of death, Life begins”
– John Roy Hill

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

It’s Kind of a Funny Story (2010)

මේ තියෙන්නෙ මම කැමතිම චිත්‍රපටිය. සමහර විට ජීවිත කාලය පුරාම කැමති චිත්‍රපට ලැයිස්තුවේ අංක එකේ චිත්‍රපටිය විදිහට මේ චිත්‍රපටිය තියෙයි. (ඒත් කියන්න බෑ. මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙනව 😉 ) චිත්‍රපටිය සරලයි. ආකර්ෂණීයයි. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ක්‍රෙග්. විවිධ වූ ප්‍රශ්න කෝටියක් ඔළුවෙ තියාගෙන ආතතියෙන් පිරිල සියදිවිනසාගන්න තීරණය කරනව. ඒක හිතන තරම් පහසු වැඩක් නෙවෙයි බව අන්තිමේට ක්‍රෙග්ටම තේරිල, ඔහු ඇතුළුවෙනව මානසික රෝගීන්ගේ වාට්ටුවකට. ඒකෙ ඉන්න එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. පළවෙනි දවසෙම වාට්ටුව එපාවෙන ක්‍රෙග් වාට්ටුවෙන් පිටවෙන්න තීරණය කරත්, ඔහුගෙ (අ)වාසනාවට වාට්ටුවට ඇතුළත්වුන කෙනෙක් අවම වශයෙන් දවස් පහක්වත් වාට්ටුවේ බෙහෙත් ගන්න ඕනෙ. ඉතින් ඒ බෙහෙත් අතරමඟදි, ඔහුට ලස්සන ගෑනු ළමයෙක් හමුවෙනව.

අපි හැමෝටම ජීවිතේ එක කාලයකද සමහර විට සියදිවි නසාගන්න එකපාරක් හරි හිතිල තියෙන්න පුලුවන්. මට නං පුද්ගලිකව මේ ආසන්න කාලයේ බොහෝ වාරයක් සියදිවි නසාගන්න හිතිල තියෙනව. ඇත්තටම ඒ සිතිවිල්ල වෙනස් කරපු තමන්ගෙ හිත ශක්තිමත් කරගන්න උදව් වුන ලස්සන සරල චිත්‍රපටියක් මේ. ඔබ ජීවිතේ ආතතියෙන් පිරුණු, නරකම කාලයක් ගෙවනවා කියල හිතෙනවානම්, මේ චිත්‍රපටිය බලන්න කාලය වෙන් කරාට, ඒ කාලයෙන් පාඩු නෑ.

Bobby: See, that’s the part I don’t get, Craig. I mean, you’re cool, you’re smart, you’re talented. You have a family that loves you. You know, what I would do just to be you, for just a day? I would… I would do so much. I would… I don’t know. I would just… I’d just live. Like it meant something.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

————

අපරකථනය | Epilogue

මේ චිත්‍රපටි තියෙන්නේ කිසියම් අනුපිළිවෙලකට නෙවෙයි කිව්වොත්, ඒක වැරදියි. පිළිවෙල තමයි මගේ හිතට ආපු පිළිවෙල. මේ චිත්‍රපටි වලින් මම කැමතිම චිත්‍රපටිය It’s kind of a funny story වෙන අතරෙ, අනිත් චිත්‍රපටි වලට සමාන ලකුණු බෙදන්න කැමතියි. හැමදාම එක තැන පල් වෙන ආදර කතා වල් පල් වලට වඩා දෙයක් ලියන්නයි මේ පටන්ගැන්ම. 🙂 අන්තිම චිත්‍රපටිය ජීවිතයට උදව් වෙලා තියෙන්නෙ මට විතරක් නෙවෙයි. YouTube වීඩියෝවෙ පහළ comment එක කියවලා බලන්න. 😉 ඒ මම නෙවෙයි. මම වගේ කෙනෙක්. 😉

විශේෂ දර්ශනයක්: Behind The Scenes

ලක්පති විජේසේකරගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ Behind the Scenes චිත්‍රපටියේ විශේෂ දර්ශනයක් ඇමරිකානු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ ලබන 25වෙනිදා පැවැත්වෙනු ඇති. ඒ සවස 2.30ටත්, සවස 4.30ටත් දර්ශන වාර දෙකකින්.

ඔබ පැමිණෙනවානම්,

amcentersl@state.gov විද්‍යුත් තැපැල් ලිපිනයට “Behind the Scenes” Subject එක යටතේ පැමිණෙන පිරිසගේ නම් තැපැල් කරන්න. එසේත් නැතිනම්,

2498146, 2498169, 2498128 යන දුරකථන අංක අමතා ඔබගේ පැමිණීම තහවුරු කරන්න පුලුවන්.

ඉසව්ව සංවිධානය කරගැනීමේ පහසුව පිණිස: ෆේස්බුක් ඉසව් පිටුවේද ඔබේ පැමීණීම සටහන් කරන්න. 🙂

(ඔව්! නොමිලේ!!)

තවත් උදෑසනක්

මම අවදිවුනෙමි.

“අද ගෙදරද?”
අම්මා තේක රැගෙන මේසයෙන් තබා ඇඳේ තවමත් ගුලි වී සිටින මා දෙස බලාහිඳිමින් මගෙන් විමසුවාය.

ඔව්. අද ගෙදර. හවස පන්සල පැත්තෙ යන්න ඕනෙ.
ඒක හොඳයි. අද උපන්දිනේනෙ. පන්සල් යන්න. ඊයෙ රෑ බීල ආවෙ මොකද?

මම? නෑ. මම බිව්වෙ නෑ.

පුතා හැරෙනකොට මම දන්නව.
පුතා සිගරට් බොනව කියලත් මම දන්නව.

පුතා දැන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ. අවුරුදු 28ක්. ඉතින් මට පුතාව නවත්වන්න බැහැ. කොහොමවුනත් පොඩි කාලෙ ඉඳල අපිට පුතාව නවත්වන්න බැරිවුනානෙ. ඔය හිතුවක්කාරකම් නොකර ජීවිතේ ගෙනිච්චනං, අද පුතා හොඳ තැනක.

ඇයි? මං දැන් ඉන්නෙ හොඳ තැනක නෙවෙයිද? මම IT Consultant කෙනෙක්. Human Resource Manager කෙනෙක්. Event organizing company එකක් තියෙනව. ඒ මදිද?

පුතේ ජීවිතේ කියන්නෙ ඔය විදිහට හිරවෙලාම ඉන්න එක නෙවෙයි. අපිත් කොයි වෙලාවෙද කියන්න බැහැ. නරකද දැන්වත් වෙන දෙයක් ගැන හිතාගත්තොත්? අර පේරාදෙණිය පැත්තෙන් නිස්කාරණේ ඉඩමක් සල්ලි දීල ගත්ත. ඒ ඉඩම නිකන් කැලේ වෙනව. මොකටද එහෙන් ඉඩමක් ගත්තෙ?

මට ඕනෙනැති කසාදයක් නැහැ අම්මෙ. මම තව ටිකක් සල්ලි එකතු කරල පේරාදෙණියෙ ගෙයක් හදල එහෙට පදිංචියට යන්න කියලයි පේරාදෙණියෙන් පර්චස් හතක් ගත්තෙ.

ඉතින් කෝ ගියාද? කවදද යන්නෙ?

* * *
මම හරි ආසයි නුවරඑළියට. අපි මැරි කරල එහෙට යමු. මට ඕනෙ මේ හැමදේකින්ම ඈත් වෙලා ඔයා එක්ක ඉන්න.

ඇයි ඔයා කැමති නැද්ද නුවරට?

ආ… එහෙත් හොඳයි. එහෙනං ඔන්න නුවර. මම රට ගිහින් එනකොට ඔයා එහෙනං එහෙං ඉඩමක් අරගෙන තියන්න ඕනෙ. අපි දෙන්නම එකතු වෙලා පොඩි ගෙයක් හදමු. හරිද?

ඈ හුරතල් සිනාවෙන් මා ළඟට තුරුල් විය.

* * *

මොකද කතා නැත්තෙ?

නෑ. මුකුත් නෑ.
පුතේ. මිරිඟුවක් පස්සෙ යන්න එපා. ගෑනු කියන්නෙ පුදුම ජාතියක්. මමත් ගෑනියෙක්. ඔයා ඔය හීන මවාගෙන ඉන්න කෙනා ආයෙ එන්නෙ නැහැ. දැන්වත් හිත හදාගෙන, අලුත් දෙයක් ගැන හිතන්න. දැන් එයා අවුරුදු කීයකින් ඔයත් එක්ක කතා කරල නැත්ද?

හ්ම්…

අර ප්‍රපෝසල් එක ගැන මොකද කියන්නෙ?

මොන ප්‍රපෝසල් එකද?

අර තිස්සමහරාමෙ ගෑනු ළමය. ඔයාගෙ යාලුවගෙ නංගි.

අම්මට පිස්සුද? මම කැමති නෑ. මට ටිකක් පාඩුවෙ ඉන්න දෙන්න.

***
ඔයා හොඳට ඉගෙනගන්න, මම එහෙ ගිහින් එන්නං. අවුරුදු දෙකෙන් මම ඇවිත් ඔයාව මැරි කරල, ආයෙ යන්න වෙනව. ඒත් ඩිග්රි එක ඉවර කරල, මම එනව ඔයා එක්ක ඉන්න.

ඔයාත් හොඳට ඉගෙනගන්න. ඔයාට එහෙ හොඳ කෙනෙක් ලැබුනොත් මට කියන්න…

ආ… මෙන්න… අඬන්න එපා ළමයෝ… මම ඒක නිකමට කිව්වෙ…

මට වෙන කාටවත් ආදරය කරන්න බෑ මාලක, මම ආදරේ ඔයාට විතරමයි… ඔයා මම එනකන් ඉන්නව නේද? ඔයා මගෙ විතරමයි නේද?

ඔව් සඳුනි. ඔව්.

සඳුනි ප්‍රොමිස්?

සඳුනි ප්‍රොමිස්.
***
ඒ වසර මුලදීම අපි වෙන්වුනෙමු. ඒ අප නැවතත් මුනගැසෙන බලාපොරොත්තුවෙනි. ඈ යලි මුන ගැසෙන බව ඈ පැවසුවාය.

ඉන්පසු මා ඇය මුනගැසෙන්නට. ඈ කතාකරන්නට උත්සාහ කරද්දී ඈ මා ඉදිරියට පැමිණියේ නැත.

කිසිදු පෙර දැනුම්දීමකින් තොරව දුරකථනයෙන් ප්‍රතිචාර නොමැති විය.

සියලු සිහින බිඳ වැටෙද්දි පාසලට කළ සියලු බැලමෙහෙවරකම් සියල්ල පසෙකලා සියයට අසූව ප්‍රතික්ෂේප විය.

සියල්ල අහිමිවෙමින් පවතිද්දී මා නිසා පියා රෝගාතුරුවන්නට විය…

ඈ ගැන බලාපොරොත්තු හිතෙන් ඉවත් නොවීමට හේතු රැසක් විය. ඈ වෙනුවෙන් සහ දෙමාපියන් වෙනුවෙන් උත්සාහය අත නොහැරියෙමි.

අද මා මෙතැන ඇත. ඒත් ඈ තවමත් මෙතැන නැත.

ඇයි ඔච්චර පරක්කු?
***

අම්මේ… මෙතන තිබ්බ පොත දැක්කද?
මොකක්ද?
කොලරා කාලේ ආලේ..
ඔය ඇඳ යට බලනවා… මම දැක්ක ඒක ඇඳ යට තියෙනව අතුගාද්දි.

සංක්‍රාන්ති සමය – not a love story

අඳුර ගලා ගොස්
දැන්,
යන්තමින් ආලෝකය පැමිණෙමින් පවතී…
සයුරු රළ බිඳෙන හඬ දැන් නෑසේ.
ඇත්තේ මන්ද ආලෝකයක් පමණි.

නමුත් හිස් අවකාශය තවමත් එසේමය. අන්ධකාරයේ ශාපය මා වෙලාගනිමින්, තවමත් බලපවත්වනු දැනේ…
රස්තියාදු ගැසූ සිත ඔත්පලව එක තැන නැවතී ඇත්දැයි බියෙන් මන්දාලෝකයේ උදව්වෙන් සිත අත පත ගා බැලීමි.

සිත ඔත්පලව නැත.
සිත පනගසයි.
සිත තවමත් බලවත්ය.

තැන තැන තුවාල වී ලේ ගලද්දී මම නැගී සිටීමට උත්සාහ කළෙමි.
හදවත පුපුරා යළිත් ඇද වැටුනෙමි. සිටි තැනටම.

නැවතත් ඝන අන්ධකාරය මා වෙලාගත් අතර, කාලය හා අවකාශය පිළිබඳව අනවබෝධයෙන් මම සිරවුනෙමි.
කොතෙක් කාලය ගියේදැයි නොදනිමි.

යහළු යෙහෙලියන් මා අමතනු ඇසේ.
ඔවුන් මා නැවත් ඔවුන් වෙත ඔසවාගෙන යාමට උත්සාහ කරනු දැනින. ඒ වෙනුවෙන් ඔවුන් මා සිත තුළට වීමට උත්සාහ කරයි.

නමුත් මා සිත මගේය.
පනගන්වාගත යුත්තේ මාය.

දෙමසකුත් තවත් භාගයකට පසු…
***

දෙමසකුත් තවත් භාගයකට පසු…
ප්‍රචණ්ඩ රළ පහරක් වේගයෙන් මා වෙලාගත් බව දැනින.
වැල්ලේ ගොඩනැගූ මාලිගා සියල්ලේ නටඹුන්වත් දැන් පෙනෙන්නට නැත.

මා ඒ චණ්ඩ රළ පහර නම් කිරීමට නමක් සෙව්වෙමි.
කැත්‍රිනා?
ක්‍රිස්ට්‍රිනා?
ජූලියා?

නැත. මා හට ඒ නම් අවැසි නැත. හිතට ළඟ එකම නම යෙදීමටද මට සිත් නොදේ. වැල්ලේ මාලිගා තැනීමට යෙදූ අඩිතාලම ඕස්ට්‍රේලියා පුරය දෙසට ඈත සයුරේ ගසා යනු දුටුවෙමි.

අල්වාගන්නට දෑත දිගු කළ නමුදු දෑත දිග මදිය. අවසානයේ මිත්‍ර පාර්ශව එන්නත් ආධාරයෙන් මා යළි නැගී සිටියෙමි.

යලිදු සිහිනය ගොඩනැගීමට මට අවැසිව ඇත. අවසානයේ කිසිවකුත් නොමැති, ඉමක් කොනක් තොතේරෙන, තැන තැන නටඹුන් පෙනෙන අවු රශ්මියෙන් දැවුන අත්හැර දමා තිබූ මිටියාවතක් වෙත මා ඉබේ පැමිණියෙමි. එසේ නොවේ නම් නම හොඳින් දන්නා කවුරුන් විසින් හෝ මා ගුප්ත ලෙස මෙතැනට කැඳවා අත්හැර දමා ඇත. ඔබනාඳුනන මා පමණක් හොඳින් හඳුනන මළ හදවතක් මේ ගුප්ත මිටියාවතේ ඇවිදිමින් සිටියි…

මිතුරන් පෙනෙන්නට ඇත. නමුදු ඒ බොහෝ දුරිනි…
පෙරදා තෝරාගත් මාර්ගයේ වූ කටු පඳුරු සිදුරු කළ හදවත දෝතට ගෙන කාත් කවුරුත් නොමැති මාගේ, මටම පමණක් අයිති වූ, මේ මිටියාවතේ නිදන් කළෙමි. හදවතින් පිටවන වේගවත් රුධිර දහරා යවා ඒ තුළින් බල ගැන්වෙන රුධිර-විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමට මම සමත්වුනෙමි… එයට බොහෝ කල් ගතවූ බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

ජීවිතයේ කෙටි මං නොමැති බව හඳුනාගතිමි.

අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු සහ පරණ මම.

නවකතාවකින් කොටසක් යැයි සැකකළ හැකි යමක්

උදේ පාන්දර ඉස්කෝලෙට එන්ටර් වෙනකොට හද්ද චාටර්. ඉස්කෝලෙ තාප්පෙටත් වඩා උසට ප්‍රිෆෙක්ට්ල තාප්පෙ. ඇතුල්වුනෙත් මරණ බයෙන්. කඩාගෙන බිඳගෙන යන්න හැදුව විතරයි. ම්හු.!

“කොහෙ යනවයි කියලද හිතාගෙන ඉන්නෙ?
යනව ගිහින් හිටගන්නව.”

වෙලාව හරියටම උදේ පාන්දර හතයි හතලිස් පහයි. ඉස්සර නං සංගමේ වැඩ ඕන හුටප්පරයක් කියල ඇතුළට යත හැකි. අම්මෝ බලන්න එපැයි අලුතෙන් පත්වෙච්ච ශිෂ්‍ය නායක මණ්ඩලේ ආඩම්බර.

“මොකෝ පරක්කු?”
“බස් එක කැඩුන.”

“යකෝ අද පාරෙ කීයක් බස් කැඩිලද බං?”

එහෙම කියනකොටයි ටිකක් වටපිට බැලුවෙ. හත්වලාමෙ සෙනඟ. ඉස්කෝලෙන් බාගයක් එළියෙ. උදේ පාන්දර අව්ව තපිනවා. මොනව වුනත් අපරාදෙ කියන්න බෑ ශිෂ්‍ය නායකයො අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතනවා. විටමින් ඩී දෝරෙ ගලනව ඇඟේ. ඉර අව්ව ඔළුවට මාර සනීපයි. දිව්‍ය ලෝකෙ යන්න හිතෙනව.

එක එකා ගේට්ටුව ඇතුළෙන් එන විදිහ දැක්කම බඩ පැලෙන්න මාර හිනා. උදේට කාලත් නෑ. අපරාදෙ. රහීම එකෙන් පරාටයි පරිප්පුයි කාලා ආවානං ටිකක් හයිය ඇතිව හිටගන්න තිබුන. සමහරු ගේට්ටුවට සෑහෙන්න දුර තියල නැවතිලා බලාගෙනත් ඉන්නව පේනව.

රස සාගරයයි.

“යකෝ කොණ්ඩෙ කපල නෑ, රැවුල කපල නෑ, සපත්තු පොලිෂ් කරල නෑ. උඹල කුරුදුවත්තෙ ඉස්කෝලෙද? යකෝ ඔහොම ආවාම බස් පිටින් කැඩෙන එක අහන්නත් දෙයක්ද? බස් වල එන්න එපා යකුනේ බස් වලටත් අපලයි තොපි ඔහොම ආවාම.”

වැඩිය අවුලක් වුනේ නෑ. බිග් මැච් එකට කොඩි හදන්න කට්ටියට බාර දුන්න. කොණ්ඩෙ තමයි කොණ්ඩෙ. රැවුල නං ෂේප්.

“මෙහෙමද යකෝ ඉස්කෝලෙ එන්නෙ?”

“අයියෙ හෙට කපාගෙන එන්නං.”

“උඹලටත් ඉතින් බාලගිරි දෝෂෙ තමා.”

නායක අයියලා දන්නවයැ අපිට තියෙන ප්‍රශ්න. පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ තවත් බොහෝ දෑ උන්දැලාට තේරෙන එකක්යැ. මාත් ඉල්ලනව අම්මප ප්‍රිෆෙක්ට්ෂිප්. එතකොට ඔය ප්‍රශ්න සේරම අපිටත් නැති වෙනව නෙව.

පන්තියට යනකොට එක දානවා. සර්ට මල මාත් එක්ක. අවාරෙට හැලෙන පොල් වගේ පන්තියට යන්නෙ. දොර ළඟ හිටියට දැක්කෙ නෑ වගේ එක දානවා. හොඳ වෙලාවෙට මාත් එක්ක තව දෙනෙක් උදේ අව්ව තැපල දොරකඩ ළඟ ඉන්නව. කට තියෙන එකෙකුත් හිටිය නිසා හොඳට ගියා.

“සර්, මාත් ඉන්නව.”

ආ ඉන්නවද? එහෙනං එනව ඇතුළට.

ජයවේවා. අද පන්තියෙ මාර සෙනඟ. කරුමෙට අද පන්තියෙ ඔක්කොම ඇවිත්. ඒ කියන්නෙ අද රිවිෂන් ක්ලාස් නෑ. ඉඳගන්න තැනකුත් නෑ.

“ඒ, අඩෝ. මං ඔතන බං.”
“උඹ මේ පන්තියෙද?”
“ඔව් බං. සාහිත් යෙ චෙයාමන්.”
“අඩූ සොරි. පස්වාන් දහසකට බුදුවන්න.”

මේ වගෙ පන්තියක් තවත් නැතිව ඇති. සයන්ස් චෙයාමන්, මැත්ස් චෙයාමන්, ආර්ට්ස් චෙයාමන්, සාහිත්‍ය චෙයමන්, බැඩ්මින්ටර් කැප්ටන්, පිළියන්දල චූටි, හැම එයාම මේකෙ. දෙයියො බලල තෝරපු පංතියක් වගේ. ඒ මදිවට පැන්සලයි කොලෙයි අතේ තියාගත්තු චිත්‍ර කාරයෝ, වයලින් එක පිටේ එල්ල ගත්ත ඔකෙස්ට්‍රා එකේ කට්ටියත් මේකෙ. කොමස් චෙයාමන් විතරයි අඩු. මීඩියා චෙයාමන් ඉංග්ලිෂ් මීඩියම්.

“පුතේ දැන් දහතුන වසරෙත් අන්තිම හරිය.
මට නං හිතාගන්න බෑ තමුන් කොයි ලෝකෙන් ආපු උන්දැලාද කියල.
අනිත් පන්ති වලට ස්කන්ධ කේන්ද්‍රය කරල ටියුට් එකත් කරල ඉවරයි.
තමුන්ට තාම තියරි.
ඔහොම නං බෑ පුතේ. මගේ මේ උගන්වන 33වෙනි වසර. මම ආනන්දෙත් සෑහෙන්න කල් උගන්නල තියෙනව. ඒත් මේ වගෙ පන්තියක් නං මං දැකලම නෑ.”

ඩොන්ග වෙනුවට අලුතෙන් ආපු ඇප්ලයිඩ් සර් ස්කන්ධ කේන්ද්‍රය හදනව. පට්ටෙට උගන්වනව. අපේ එවුන් වැලන්ටයින් එකට මොනවද දෙන්නෙ කියල කල්පනා කරනව. එකෙක් රුපියල් 8000ක තෑගි උපන්දිනේට අරන්දීල දැන් වැලන්ටයින් එකට අරන් දෙන්න දෙයක් නැතිව කල්පනා කරනව. එකෙක් තව එකෙක්ට කියල කාඩ් එකේ ගෝල්ඩන් අකුරෙන් එක එක ඒව ලියවගන්නව.

මචන් සාහිත් යෙ, කියහංකො හොඳ ලව් වර්ස් එකක් උඹ දන්න. උඹ ඉතින් සාහිත්‍ය කාරයානෙ. හැබැයි සිංහලෙන් බෑ. කඩ්ඩෙන්. සිංහලෙන් හිතල කඩ්ඩට දාලා කියපං.

ආච්චිගෙ රෙද්ද. මම මේ වැලේ වැල් නැතුව ඉන්නව. මුං එනව සුරුට්ටු පත්තු කරන්න. ජෙනරල් ඉංග්ලිෂ් වලට මේ පාරත් හුලං තමයි.

කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් යනකොට නිකන් විකාරයි. එක එක දවසට එක එක ගඳයි.

“ආ මචන් කොහොමද? මේ තමයි මචං කෙමිස්ට්‍රි ලැබ් එක. උඹ අලුතෙන්නෙ අපෙ ක්ලාස් එකට ආවෙ. අඳුරගනිං. මේ තමයි අනුමාපන ප්ලාස්කුව.”

“මම දන්නවා ඕයි!”

දන්නව කිව්වට දන්නෙ නෑ…


දෙවෙනි කොටස පසුවට.

ඉල්ලීමක්

ඉල්ලීමක්.

මට සමාවෙන්න. මේ දවස් ටිකේ ජීවත් වුනේ ඇස් කන් නැති මනුස්සයෙක් වාගේ වීම සම්බන්ධයෙන්.

අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති වෙයි මේ කතාවනම්. ඉලන්දාරියා. ඔහු වෙනුවෙන් උපරිම උදව්ව කරන්න එකතුවෙන්න.

ඒකයි සුදාරකගේ අන්තර්ජාල සටහනේ ඉල්ලීම.

සම්පූර්ණ විස්තර ඇතුළත් වෙබ් අඩවිය:  https://sites.google.com/site/handsfordilum/