Categories
කෙටි කතා නිර්මාණ

ජනාධිපති මියයයි #කෙටි-කතාවකි

මෙය ප්‍රබන්ධයකි. සියලු නම්, ගම් හා සිදුවීම් මනඃකල්පිත වේ.

තේමා ගීතය වාදනය වේ…

ආයුබෝවන්, මේ සිරස විශේෂ ප්‍රවෘත්ති විකාශයයි. මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාමයේ පැවති දේ‍්ශපාලනික රැස්වීමක් අමතමින් සිටි ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ලක්විය. මේ වන විට එතුමා තිස්සමහරාම දිසා රෝහල වෙත ගුවන් මඟින් රැගෙනයමින් සිටියි. මේ ප්‍රහාරය සම්බන්ධ වැඩි විස්තර අප වෙත ලැබුනු සැනින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. රැදී සිටින්න වී රිපෝර්ට් – යූ ඩිසයිඩ් සමඟින්…

අලුත්ම පදේ ශ්‍රී!

තක දුන් තක දුන් තක දුදුන් දුන් – තක තක තක තක… මීට ටික වෙලාවකට කලියෙං තිස්සමහරාම පැත්තෙන් ස්නයිපර් වෙඩිල්ලක් පත්තුවෙලා. වෙඩි කාගෙන බිමට ඇදං වැටුන ජනාධිපති දැන් හෙලිකොප්ටරයකින් තිස්සමහරාම දිසා රෝහල වෙත අරගෙන යනවා කියල අපේ ප්‍රාදේශීය වාර්තාකරු සුරාජ් මාපා අපට කිව්වා. ජනාධිපතිට මොනවහරි වුනොත් අපි මුලින්ම දන්වන්නම්. එතකන් ඉරාජ්ගේ අලුත්ම ශ්‍රාස්තීය ගීතය රසවිඳින්න…

රෑ අට පසු වී තත්පරයයි…

ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට්.

අද මුළු ශ්‍රී ලංකාවට හරිම අදුරු දවසක්. ආයෙත් වෙනද වගේ ලංකාවට ආයෙ ඉර පායන්නෙ නැතිවෙයි, ඒ ලංකාව බබලමින් මෙතෙක් කල් රජකරපු අපේ අතිගරු ජනාධිපති තුමා…

“මොන මඟුලක්ද යකෝ මේ කියවන්නෙ? දාපං ගෑණියෙ දෙරණ!”
“ඇයි වදේ, ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නෙව හොඳ.”
“මගෙන් තෝ හොඳවයින් අහගන්නයි හදන්නෙ, කෝ ඕක මෙහෙ දියං.”

…ස්නයිපර් වෙඩි පහරින් බරපතල තුවාල ලබා තිස්සමහරාම දිසා රෝහලට ඇතුළත් කරන ලද ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතා ඉන් සුළු මොහොතකට පසු අභාවප්‍රාප්ත විය. මීට දොළොස් වසරකට පෙර ශ්‍රී ලංකා ප්‍රතිසංස්කරණවාදී පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාන්තත්‍රවාදී ජනරජයේ ජනාධිපති ලෙස පත්වූ එතුමා දෙස් විදෙස් ජන ප්‍රසාදය මැද වසර දොළහක කාලයක් මුළුල්ලේ ජනාධිපති ධූරය හෙබවූයේය. සිව්වෙනි ලෝක යුධ සමයේ ඉන්දු-චීන-ශ්‍රී ලංකා බල ත්‍රිකෝණය ආරම්භ කරමින් නොබියව ඇමරිකාව හා රුසියාව ප්‍රමුඛ යුරෝපා න්‍යෂ්ඨික බලය බිදි මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතීන්ගේ කමිටුවේ විශේෂ ප්‍රසාදය හිමි කරගත්තේය.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්!
– විපක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා (සිළුමිණ පුවත්පත)

පසුදින ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති

… පුරප්පාඩුවට පත්වූ ජනාධිපති ධූරයට, අග්‍රාමාත්‍ය සුභාෂ් දිල්ෂාන් කටුවනයාපාආරච්චි මහතා වැඩබලන ජනාධිපති ලෙස පත්කෙරින. ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳ අද දින මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ජාතික හෙළ උරුමයේ සභාපති වැඩිදුර අදහස් දක්වමින්…

මේ මීට අවුරුදු තිහකට පෙර බිමට සමතලා කළ කුරිරු දෙමළ ඊළාම් ත්‍රස්තවාදයේ යලි හිස එසවීමක්. ජනාධිපති සෙනෙවිරත්න විසින් ගෙනගිය සැහැල්ලු ලිබරල්වාදී දේශපාලනික ආර්ථික ප්‍රතිපත්ති නිසාවෙන් ඔහුටම එහි ප්‍රති විපාක විඳින්නට සිදුවීම දෛවයේ සරදමක් ලෙස අපි දකිනවා…

මේ අතර තවත් මාධ්‍ය සාකච්ඡාකවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු ජනාධිපති අපේක්ෂිකා මෙන්ම හිටපු ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්නගේ බිරිඳ සහ අධිකරණ වෛද්‍යවරියකද වන පබසරා කාවින්දි මාධ්‍ය අමතා ප්‍රකාශ කරමින්…

අපි දෙදෙනා අතර දේශපාලනික  වශයෙන් මතවාදීමය ගැටළු තිබුනත් අපි අතර කවදාක හෝ පවුල තුළ ගැටුම් ඇතිවී නැහැ. ඔහු හොඳ දේශපාලඥයෙක් වගේම හොඳ සැමියෙක්. කෙසේ නමුත් අප පක්ෂයක් වශයෙන් මෙම ප්‍රහාරය හෙළා දකින අතරම මෙය නව යුගයක් සනිටුහන් කරනු ඇති බව අප පක්ෂයක් වශයෙන් විශ්වාස කරනවා.

(Gossip Lanka news වෙබ් අඩවියේ මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන මොහොතේ ඇගේ ඇස් වල කඳුළු රැඳී තිබුණු බවත් කෙසේ නමුත් ඇගේ හඬ සෘජුව, ගාම්භීරව තිබූ බවත් සඳහන් වුනා)

… ​ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති

ඊයේ මිලින වූ පහන් තරුව, අති ගරු ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතාගේ අතීතය හාරා අවුස්සා බලන්න අපි නං ඔන්න අමතක කරේ නෑ. එතුමා කොළු ගැටයා කාලෙ ලියපු බ්ලොග් සටහන් කියවද්දි, Ex, Bitch වගේ නම් වලින් අමතපු චරිතයක් අපි හොයාගෙන ගියා. නව තාක්ෂණයට පිංසිද්ධ වෙන්න අපි ඇයව ඕස්ට්‍රේලියාවෙන් සොයාගත්තා. ඇය දැන් දෙදරු මවක්. එයාගෙ නම නම් අපි පුද්ගලික හේතු මත කියන්නේ නෑ. ඇය කැමති වුනෙත් නෑ මේ ගැන කතාකරන්න. ඒත් අපි බොහොම අමාරුවෙන් ඇයව කැමති කරගත්තා අපිත් එක්ක වචන දෙකතුනක් කතා කරන්න.

(තිරයේ කොටු කොටු. පහළින් දැන්වීමක් යයි: සියවස් ගණනක ඉතිහාසය! රුවන්වැල්ලේ සොභිත මහත්මාගේ පුතාගේ විශේෂ වෂී ගුරුකම්. ඔබත් කරවාගන්න. ප්‍රතිපල එසැණින්)

මට ඔය තුච්ච මනුස්සයා මතක් කරන්න එපා. ඌ මගේ ජීවිතේ කෑවා. මම ඌව අතෑරියාම ඌ මගේ පස්සෙන් වැඳ වැඳ ආවාත් මම ගණන් ගත්තෙ නෑ. පස්සෙ මම ආයෙ ඌ ගැන හොයන්න බලන්න ගියේ නෑ. මම ඕස්ට්‍රේලියාවට වෙලා දැන් සතුටෙන් මගේ මහත්තයත් එක්ක ජීවත් වෙනව.

දෙරණ ප්‍රවෘත්ති…

මේ අතර මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ප්‍රවීණ සාහිත්‍යවේදී මාහාචාර්ය ලිෂාන් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ…

මට ඌ වගේ පොරක් කවදාවත් මුනගැහිලා නෑ. ඌ මට මගේ මල්ලි වගේ. අපි හිතුවෙ නෑ මූ මෙච්චර දුර යයි කියල. ඒත් ඌ සිරා. මට මාර දුකක් ඇතිවුනේ මේ ප්‍රවෘත්තිය අහලා.

මාධ්‍ය වෙත සිය අදහස් දැක්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ලක්පති එගොඩවත්ත මහතා…

මේක හරිම කණගාටුදායක අවස්ථාවක්. රාජකීය විද්‍යාලයේ අපිත් එක්ක එකට ඉගෙනගත්තු සහෝදරයෙක් හැටියට ඔහුට බොහෝ දුර යා හැකි බව අපි දැනගත්තා. ඔහු ඒ වගේම ඔහුගෙ ගමන ඔහු ගියා. දේශපාලනයට සම්බන්ධ වීම මම නම් අනුමත කරන්නේ නෑ. ඔහු සාහිත්‍යවේදියෙක් වුනානම් ඔහුට හොඳ ගමනක් යන්න තිබුනා.

රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ලියනගුණවර්ධන මහතා…

මට මතකයි, ඔහු ඉස්කෝලෙ වැඩ පවා අත්ඇරලා ඉස්කෝලෙ සංගම් වෙනුවෙන් වැඩ කරා. සාහිත්‍ය.lk අඩවිය පටන්ගත්තා. ඇත්තටම ඔහු ඒ වෙනකොට උසස් පෙළට මුහුනදෙන්න 80% නැතිවයි හිටියේ. මම ඔහුට උසස් පෙළ ලියන්න නුදුන්නා නම් ඔහුගේ ගමන එතැනින්ම නතර වෙන්න තිබුනා.

මීට සති දෙකකට පෙර, අරලිය ගහ මන්දිරය – ජනාධිපති කාර්යාලය.

“මම මේක කරන්න ඕනේමද ප්‍රසිඩන්ට්? මට මං ගැන ප්‍රශ්නයක් නෑ. ඒත්,”

“උඹ බය නැතුව මේ වැඩේ කරන්න ඕනෙ. උඹට මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල මම පොරොන්දු වෙනව. උඹ මේ වැඩේ ඉවර කරල කෙලින්ම USA පනින්න ඕනෙ. මම උඹේ වීස ලෑස්ති කරලයි තියෙන්නෙ ”

“මම කිව්වනෙ මිස්ට ප්‍රසිඩන්ඩ් මට මං ගැන ප්‍රශ්නයක් නෑ කියල. ඇයි ඒත් මේක කරගන්නෙ?”

“මගෙන් වෙන්න ඕනෙ දේවල් මේ රටට මම කරල ඉවරයි.”

“ඉතින් ඇයි මැරෙන්නෙ? සර්, මැඩම් මේ ගැන දන්නවද?”

“තාම නෑ. මැරුනට පස්සෙ දැනගනියි.”

Categories
කාලීන විවිධ

මාර්කටින්ග්

වැඩ කෝටියක් තිබුනත් බ්ලොග් එක පාලුවෙන් තියන්න හොඳ නෑ නෙව. මේ දවස්වල මම ඇර අනිත් විද්‍යා ගණිත කාරයෝ උසස් පෙළ කරල නිවි සැනසිල්ලේ ගෙදරට වෙලා හෝ විනෝද චාරිකාවේ ඉන්න ගමන්.

මේ අතරෙ උසස් පෙළින් පසු අලුත් දැනුම හොයාගෙන යන්න පෙළඹවිම් ඇතිකරන්න එක එක ආකාරයේ වැඩසටහන් දියත් වෙලා තියෙනවා නෙව. ඔය අතරේ අපේ ගෙදරට ආවා ලිවුමක්. උසස් පෙළින් පසු!

රුපියල් 12,000ක් වටිනා ශිෂ්‍යාධාරයක්!

පරිගණක තොරතුරු තාක්ෂණය වෙනුවෙන් රු12000/- වටිනා ශිෂ්‍යාධාරයක් ඔබටද හිමිවී ඇති බව සතුටින් දන්වා සිටිමි.

රැකියාවකට යන විට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන විෂයන් තුනකින් නොමිලේ දේශන ආරම්භ වේ.

ඔබට උගන්වන ව්‍යාපාරික ගැටලු.
සුපිරි වෙළඳ සැලක ලාභ අලාභ, බැංකුවක තැන්පත් මුදල් සඳහා පොලී විශ්ලේෂණය, විදුලි බිල විශ්ලේෂණය, ලීසිං, වැටුප් පද්ධති, මුදල් වර්ග කිරීම, ව්‍යාපාරයත ලාභ හෝ පාඩු විශ්ලේෂණය, Breakeven analysis, විභාග පරිගණකගත කිරීම, අදායම් බදු…

(මෙන්න හොඳම හරිය)
මධුසමය ගත කිරීමට හෝටලයට යන ගනුදෙනුකරුවන්ගේ බිල් සකස් කිරීම, කුරුමිණියෙක් පියාඹා ඇවිත් රූමත් තරුණියකගේ හැට්ටය උඩට වසන අයුරු Animation නිර්මාණය කිරීම, කැළයෙන් එලියට පැමිණෙන ඇනකොණ්ඩා, ළමුන් දෙදෙනෙකු සපා කා නැවත කැළයට යන අයුරු…

Graphic Designing
ව්‍යාපාරික ලාංඡන 25ක් නිර්මාණය කිරීම, ශාරුක්ඛාන් නිදාසිටින ඇඳක ඔබද එහි නිදා සිටින අයුරු Image නිර්මාණය කිරීම, විලියම්ගේ මංගල ඇඳුම ඔබ ඇඳගෙන කේට් සමඟ සිටින අයුරු Image නිර්මාණය කිරීම, නිලියකගේ ඇඳගෙන සිටින ගවුම ඉවත්කර වෙනත් ගවුමක් ඇන්දවීම, පාරට වැස්සක් වහින ආකාරය, දේදුන්නක් මුහුදට වැටෙන ආකාරය, රූමත් යුවතියකට මහළු පෙනුමක් ඇතුළත් කිරීම යනාදී නිර්මාණ ගැටලු 100ක්

අයියෝ මාර්කටින්ග්!