Categories
විවිධ

කැමතිම දහය – පළමු ‍කොටස

යාවත්කාලීන සටහන – බ්ලොග් අඩිවියේ ඇතිවූ යම් යම් ගැටලු නිසා, මෙම සටහන නැවත වරක් සුදාරකගේ අන්තර්ජාල සටහනේ සටහන් කෙරේ. ඔබ විසින් මෙම සටහනට ලබා දුන් ප්‍රතිචාර ඉවත් වී ඇති බැවින්, ඔබට එයින් යම් කිසි අපහසුතාවක් වූවානම් සමාව ඉල්ලා සිටිමි. ස්තූතියි.

අද ටිකක් වෙනස් මාතෘකාවක්! විභාග පීඩනෙන් මිදෙන්න දැන්නම් මට තියෙන් හොඳම ක්‍රමේ තමයි බ්ලොග් ලියන එක. ඉතින් මේ බ්ලොග් සටහනෙන් මෙවර මම කියන්න යන්නේ එදාමෙදා තුර මම කැමතිම අංශ වලින් කැමතිම දහය ගැනයි.

කැමතිම වෙබ් අඩවි දහය

  1. ගූගල් (Google) – අන්තර්ජාලයේ සරලම හා වඩත් ආකර්ශණීම වෙබ් අඩවිය විදිහට මම නම් සලක‍න්නේ Google තමයි ඒක නිසා කැමතිම වෙබ් අඩවි දහයෙන් ප්‍රථම ස්ථානය හිමිවෙන්නේ Google වෙබ් අඩවියටයි.
  2. ෆේස්බුක් (Facebook) – අන්තර්ජාලයේ හොඳම සමාජ ජාලය ලෙස මම නම් සලකන්නේ facebook වෙබ් අඩවිය තමයි. පහසුවෙන් පිවිසීමට හැකිවීම හා පාසලේ මිතුරන් සමඟ පහසුවෙන් සම්බන්ධවීමට හැකිවීම තමයි මම වැඩියෙන්ම කැමති ගුණාංග
  3. එළකිරි වෙබ් අඩවිය කැමතිම වෙබ් අඩවි දහයෙන් ඉවත් කරන ලදී!
  4. යූ ටියුබ් (YouTube) –  වීඩියෝ බලන්න හොඳම තැන මේක තමයි. වැඩිපුර වෙබ් අඩවියට පිවිසෙන්නේ නැතිවුනත් මෙහි විශේෂ අංග වලට තමයි හිත ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි මේක මගේ ලැයිස්තුවේ හතරවෙනි තැනට තේරෙන්නේ.
  5. බොලිවුඩ් එෆ්. එම් (BollyFM) – හින්දි චිත්‍රපට සින්දු අහන්න කැමති අයට මේක තමයි නියම තැන. මම හිතන විදිහට මේ වෙබ් අඩවියේ දැනට තියෙනවා මුල්ම හින්දි චිත්‍රපටියේ ගීතය ඉඳලා දැනට එන්න තියෙන හින්දි චිත්‍රපටිවල ගීතත්. මම ගොඩක්ම කැමති හින්දි සින්දු අහන්න නිසා, මේ වෙබ් අඩවිය මගේ ලැයිස්තුවට එකතු වෙන්නේ 5වෙනි තැනට
  6. ජී-මේල් (GMail) – ගූගල් වෙබ් අඩවියේ කොටසක් වුනාට මගේ ලැයිස්තුවේ හය වෙනි තැන‍ට එකතු වෙන්නේ GMail අඩවියයි. මේ වන විට ඉතාමත් කාර්යක්ෂම ආකාරයෙන් ආ ආකර්ෂණීය ආකාරයෙන් වෙබ් අඩවියේ වැඩ ක‍ටයුතු නිම වෙලා තියෙනවා. ඒ වගේම වෙබ් අඩවිය තුල ඉඳගෙනම කට්ටියත් එක්ක Chat කරන්න ලැබෙන එකත් සෑහෙන්න වාසියක්. ඒ වගේම කරදරකාරී දැන්වීම් නැතී වීමත් හරිම වාසියක්
  7. සිංහල බ්ලොග් කියවනය – දැන‍ට ක්‍රියාත්මක වන සියළුම සිංහල බ්ලොග් අඩවි 70කට වැඩි ප්‍රමාණයක් එකතැනක ඉඳගෙන කියවන්න ලැබෙන එක කොච්චර දෙයක්ද.
  8. යාහූ! (Yahoo!) – මේක 8වෙනි තැනට එකතු වුනේ වෙබ් අඩවි‍යේ තියෙන ආකර්ශණීය බව නිසාමයි. ඉතාමත් පුලුල් පරාසයක විහිදෙන යාහූ වෙබ් අඩවිය හා එහි අනෙකුත් සේවාවන් වන තත්ත්වය නම් අති විශිෂ්ටයි!
  9. විකීපීඩියා (Wikipedia) – අන්තර්ජා‍ලයේ සැමටම වෙනස් කර හැකි, නව දැනුම එකතු කරහැකි අන්තර්ජාලගත හොඳම විශ්වකෝෂය ලෙස ‍‍මගේ ලැයිස්තුවේ 9වෙනි තැනට තේරෙන්නේ විකීපීඩියා වෙබ් අඩවියයි. විශාල දැනුම පරාසයක එකතුවක් විකීපිඩි‍යා වෙබ් අඩවිය සතුවීම නිසා මගේ විතරක් නෙවෙයි තවත් විශාල පිරිසකගේ ආදරය මෙම වෙබ් අඩවියට හිමිවි තිබෙනවා
  10. MediaFire – නොමිලේ ගොනු ස්ථාපනය කරන වෙබ් අඩවි නම් වැහි වැහැලා. ඒත් ඒ අතුරින් මම නම් කැමති MediaFire වෙබ් අඩවියටයි. නුසුදුසු දැන්වීම් නැති. ආරක්ෂාකාරී වෙබ් අඩවියක් වන MediaFire වෙබ් අඩවිය පහසුකම් රැසක් තමන්ගේ පරිශීලකයන් රැසකටම ලබාදෙනවා

කැමතිම චිත්‍රපටි දහය

  1. Om Shanthi Om – ආයේ කතා දෙකක් නෑ මේක තමයි මම බලපු හොඳම චිත්‍රපටිය. මේකට මම කොච්චර ආකර්ෂණය වුනා
  2. Jab We Met –  තවත් අනර්ඝ හින්දි චිත්‍රපටියක්! මේ චිත්‍රපටිය ගැන මම මීට කලින් මගේ බ්ලොග් එකෙත් ලියලා තිබ්බා.
  3. Guru –  මේකත් නියම චිත්‍රපටියක්, වැඩිය ආදායම් වාර්තා තබපු චිත්‍රපටියක් නොවුනත්, මේකේ කතාවයි, අන්තර්ගත වෙලා තිබ්බ සින්දුයි නම් නියමෙටම නියමයි.
  4. Rang De Basanti – රංග්‍ දේ බසන්ති, තවත් අනර්ඝ හින්දි සිනමා නිර්මාණයක් කිව්වොත් කිසිම වරදක් නෑ. මගේ ලැයිස්තුවේ 4වෙනි තැනට එකතුවෙන්නේ මේ හින්දි චිත්‍රපටියයි.
  5. Harry Potter චිත්‍රපටි – මම පස්වෙනි තැනට කැමතිම චිත්‍රපටි තමයි Harry Potter චිත්‍රපටි. පොතේ කතාවම ඒ විදිහටම සිනමාගත කරලා නැතිවුනත්, ඉතාමත් ආකර්ෂණීය ලෙස මේ චිත්‍රපටියත් නිමවෙලා තියෙනවා.
  6. Don – මගේ ලැයි‍ස්තුවේ 6වෙනි තැන හිමිවන්නේ Don හින්දි චිත්‍රපටියේ නව නිෂ්පාදනයටයි.
  7. Lord of the Rings – ලැයිස්තුවේ 7වෙනි තැන හිමිවෙන්නේ Lord of the Rings චිත්‍රපටි ත්‍රිත්වයටයි. කැමති වෙන්න හේතුව වෙන මොකක්වත් නිසා නෙමෙයි! ඒ චිත්‍රපටියේ තියෙන කතාවස්තුවටයි.
  8. SpiderMan 3 – මීළඟට 8වෙනි තැන හිමිවෙන්නේ Spider Man චිත්‍රපටි ත්‍රිත්වයෙන් තෙවැනි චිත්‍රපටියටයි.
  9. Sawariya – මෙලෝ හසරක් තේරෙන්නේ නැති චිත්‍රපටියක් වුනත්, මේකේ සින්දු වලටම් මාර ආසයි! ඒක නිසාම තමයි මේ චිත්‍රපටිය මගේ ලැයි‍ස්තුවේ 9වෙනි තැනට එන්නේ.
  10. Dhoom – ක්‍රියාදාම හින්දි චිත්‍රපටිවලින් කැමතිම චිත්‍රපටිය වන Dhoom චිත්‍රපටි ද්විත්වයට තමයි මගේ ලැයිස්තුවේ අවසාන තැන.

තව කැමති දේවල් ගොඩක් තියෙනවා. ඒවා පස්සේ ලියන්නම්… දැන් පන්ති යන්න තියෙනවා… නැවත හමුවෙමු.

Categories
විවිධ

නිදහස් අදහස් : ආරාධිත සටහන.

මෙම බ්ලොග් සටහන ලියන්නේ නිදහස් අදහස් බ්ලොග් අඩවියේ හිමිකරු වන වරුණ කණිෂ්කයි.

අපේ සුපුන් සුදාරක මලය ගෙ බ්ලොග් අඩවියෙ ආරාධිත සටහනක් ලියන්න කියල කිව්වෙ ටික දවසකට කලින් වුනත් වැඩේ ටිකක් අතපසු වුනා. ඒ පාර රාත්‍රියේ ඇහැරගෙන හරි ලියල දාන්න කල්පනා කලා. මොනවද ලියන්නෙ කියන කල්පනාව ආවා ඊ ළඟට. අපේ බ්ලොග් කරුවන් පහුගිය දවස් වල ලියපු Ten random things that makes me happy කියන මාතෘකාව යටතෙ ලියන්න කියල දිලින සොහොයුරාගෙන් ආරාධනාවක් ලැබිල තිබුනත් ඒක කල් ගියා දවසින් දවස. ඒක නිසා මේ ආරාධිත සටහනට “මම සතුටට පත්වන කාරණා දහයක්” කියන මාතෘකාව යටතේ ලියන්න හිතුවා.
එහෙනම් ඉතින් ඔන්න පටන් ගත්තා.

1) හොඳ/රසවත් කෑම වේලක් –

සාමාන්‍යයෙන් මේ කාරණාව මුලට ආවේ පෙරේත කම හින්දා නම් නෙවෙයි. කොහොමටත් මම ඒ තරම් කෑම පස්සෙ එළවන්නෙ නෑ. නමුත් ආහාර කියන එක අපේ මූලික අවශ්‍ය තාවයක් නෙ . ඒක නිසා හොඳ ආහාර වේලක් ගත්තට පස්සෙ හිතට සතුටක් දැනෙනවා. ටිකක් වුනත් රහට කන්න තියෙනවනම් තමයි මම කැමති. අම්මා උයන කෑම තමයි අංක එකට එන්නෙ. හැබැයි අවස්ථාව ලැබුනොත් අල තෝසෙ කන්න ලැබෙනවනම් බොහොම කැමතියි.

2) සුවදායක නින්දක් –

මේකත් බොහොම වැදගත් එකක්. මේ දවස් වල මට නොලැබෙන ප්‍රධාන දේ තමයි මේ. හේතුව වැඩ බහුල කම නම් නෙවෙයි. මොකද්දෝ හේතුවක් නිසා රෑට හරියට නින්ද යන්නෙ නෑ. ඒක නිසා උදේට නැගිටින්නෙ බාගෙට නිදි මතේ. නරකම ප්‍රථිඵලය තමයි දවල් දවසෙත් නිදි කිරා වැටෙන එක. නිදිමත වැඩි වුනාම වැඩක් කරන්නත් බෑ. වැටුණු තැනක නිදා ගන්න රක තමයි කරන්න තියෙන්නෙ. හැබැයි කාලයක් තිබ්බා දවසට නිදාගන්න ලැබෙන්නෙ උපරිම පැය හයක විතර කාලයක්. හැබැයි මැරුණා වගේ සනීපෙට නින්ද යනවා. රෑ ජාමේ ඇහැරෙන්නෙ නෑ. උදේට නැගිට්ටමත ඇඟට හරි ප්‍රබෝධයක් දැනෙනවා හරියට නින්ද ලැබුනම. මේ දවස් වල නම් එපා වෙලා ඉන්නෙ.

3) පොත් කියවීම

පොත් එක්ක මගෙ තියෙන්නෙ බොහොම තද බැඳීමක්. පුංචි කාලෙ ඉඳන් පාලුව , තනිකම මක් ගන්න පුරුදු වුනේ පොත් කියවල. ඒ කියවන කොට පොතේ ඉන්න චරිත හිතේ මැවෙනවා. සමහර වෙලාවට ටික දවසක් යනකම් මම ජීවත් වෙන්නෙ පොතේ චරිත එක්ක මනංකල්පිත ලෝකයක. කලබල වෙලා හරි දුකෙන් ඉන්න වෙලාවක දි හරා පොතක් කියවල හිත හදා ගනන පුලුවනි. හැබැයි අන්තිම කාලෙ (අවුරුදු තුනකට විතර කලින් ඉඳල) පොත් එක්ක තිබුන බැඳීම අඩු වුනා. හොඳ පොත් හොයාගන්න බැරි වීමත් සහ තව විවිධ හේතු ඒකට බල පෑවා.

4) මිත්‍රයෙක් ගෙන් ලැබෙන/ මම මිතුරන් හට ලබා දෙන දුරකථන හෝ කෙටි පණිවිඩ

මොන හේතුවකට ද මන්දා මට අනිත් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක හරි අමාරු වැඩක්. සමහර වෙලාවට වැඩිය අනිත් උදවිය එක්ක ආශ්‍රයක් නැතිව හුදකලාව ජීවත් වෙන්න උත්සහ කරල තියෙනව. ඒ වුනාට ඒක සාර්ථක වෙලා නෑ. හුදකලා වීමට තියෙන බය මොකක් හරි දුර්වල කමක් ද කියන්න දන්නෙ නැති වුනත් කවුරුන් හෝ සමීප කෙනෙක් ඇසුරු කරන්න ලැබෙන එකේ සතුට අති විශාලයි. හැබැයි මම ආශ්‍රය කරන පිරිස ඒ තරම් විශාල නැහැ. ඉතින් ආශ්‍රය කරන කෙනෙකා ගෙන් ලැබෙන දුරකතන හෝ කෙටි පණිවිඩයකින් හිතට ලොකු සතුටක් දැනෙනවා. හැබැයි ඉස්සර වගේ සමීපතමයෙක් අමතන එක ගැන එච්චර ආසාවෙන් බලාගෙන ඉන්න ගතිය මග ඇරිලා ගිහින්. සමහර වෙලාවට වෙනදා හැකියාවක් ලැබුන විගස අමතන මිත්‍රයන්ට මාස ගානකින් කතා කලේ නෑ. උදාසීන භාවයත් එක්ක චර්යාවන් වෙනස් වෙනවා කියල දැනෙන්නෙ එතකොට.

5) ක්‍රීඩා කරන එක

මගේ සෙල්ලම හොකී. ඊට අමතරව සැහැල්ලු පන්දු ක්‍රිකට් සෙල්ලමටත් කැමතියි. ක්‍රීඩා කරන කොට හිනා වෙලා , සැහැල්ලුවෙන් වෙලාව ගතවෙන එක නිසා තමයි මට හිතෙන විදිහට මම ගොඩක්ම ආස වෙන්න හේතුව. ඊට අමතරව කණ්ඩායමක කොටස් කාරයෙක් වෙන්න ලැබෙන එක ගැන මම හරි සතුටු වුනා.

6) ක්‍රීඩා තරඟ නරඹන එක –

හොකී තරඟ නම් මම සමහර වෙලාවට තනියම යනව බලන්න. අපේ සම වයසෙ සඟයො අපේ විදුහලේ වාර්ෂික මහා හොකී තරඟය බලන්න එනවා බොහොම අඩු වුනත් මම නම් නොවැරදී ම යනවා හැම අවුරුද්දෙම. ඊට අමතරව රගර් තරඟ නරඹන එක තමා ආසම. ක්‍රිකට් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැති වුනත් දැන්නම් පොඩි කාලේ වගේ උනන්දුවෙන් බලනවා අඩුයි කම්මැලි කම නිසා.

7) “මගේ සටහන” ලියන/නොලියන එක

ලියන්න පුංචි කාලේ ඉඳන්ම ආසාව තිබුනත් එක දිගට ලියන්න ගත්තෙ “නිදහස් අදහස්” බාලොග් අඩවිය ලියන්න ගත්තට පස්සෙ. ඒක මට වෙලාවකට බොහොම ආස්වාද ජනක වැඩක් වුනත් වෙලාවකට ඒක නොලිය් ඉන්න එක සැපක්. ලියම් දෝ නොලියම් දෝ කියන දෙගිඩියාවෙන් ඉඳු ඉරිදා රෑ කලබලේට ලියපු සටහන් තියෙනවා මෙතෙක් ලියපු ඒවා අතර. ඒක නිසා මම ඉන්න මානසික ස්භාවය සනුව වෙලාවකට ලියන එක සැපයි. වෙලාවකට වදයක්. එක පාරක් “උපුල් ශාන්ත සන්නස්ගල” කිව්වා මෙහෙම. “ඉස්සර මම විඳපු දුක් මට සැපක්. අද මම විඳින සැප වෙලාවකට මට දුකක්”

8) ගෙදරට වෙලා නිදහසෙ ඉන්න එක

ගෙදර ගිහින් පැත්තකට වෙලා වැඩක් කරමින් හෝ නොකරමින් ඉන්න එකත් ලොකු සතුටක්. මනෝ රාජධානිවල කිමිදෙමින් ඉන්නවා සමහර වෙලාවට

9) චිත්‍රපට බැලීම

මේකත් මම ආස වැඩක්. වැඩියෙන්ම බලන්නෙ ඉංග්‍රීසි ඒවා තමයි. අන්තර්ජාලය තියෙනකං මේ වැඩේ කරගෙන යන්න පුලුවන්. ළඟදි බැලුවා Euro trip, 2 Days in Paris, 100 girls වගේ ඒවා

10) ආදරය කිරීම

මේක අන්තිමට එන්නත් පුලුවන් උඩින්ම එන්නත් පුලුවන් එකක්.නමුත් මේ ගැන මුකුත් ලියන්නෙ නෑ

එහෙනම් ඉතින් සුදාරක මලයගෙ ඉල්ලීම පරිදි ආරාධිත ලිපිය ලිව්වවා. අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තූතියි.

පසු සටහන – ඔබේ ආරාධිත සටහනින්, සුදාර‍කගේ අන්තර්ජාල සටහන වර්ණවත් කිරීම වෙනුවෙන් බොහොම ස්තූතියි.