Categories
ආරාධිත සටහන් විවිධ

ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

pragathi

අද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති මහීලාල්ය. ප්‍රගතිගේ රාජකාරිය වූයේ ලිපි ලිවීම හැරුණු විට අනෙක් සියළුම දේවල්ය. වෙළෙඳ දැන්වීම් සොයා ගැනීම, මුද්‍රණය, බෙදාහැරීම පමණක් නොව මට අවශ්‍ය පොත්පත් සොයා පොත්හල් ගානේ රස්තියාදුවීමද ඒ අතර විය.

“කළු මහත ළමයෙක්. කඩියා වගේ වැඩ!” මේ ලංකාදීප ප්‍රධන කතෘ සිරි රණසිංහයන් දෙවැකියකින් මට ප්‍රගති හඳුන්වා දුන් හැටිය. සහතික ඇත්ත. ප්‍රගති කඩියෙකි. වැඩක් බාරගත් මොහොතේ සිට සාර්ථකව ඉවර කරන තුරු ඔහුට නිවනක් නැත. උදේ සිට රෑ වනතුරු කළේ ඒ වෙනුවෙන් දුවන එකය.

මුල්ම පරිගණක සඟරාව එළි දක්වන්නට අප දෙදෙනාට මසක කාලයක් ලැබිණි. (මෙය ‘විජය පරිගණක’ වූයේ පසුවය. කලින් පුරුද්දට මට තවමත් එය කියැවෙන්නේ ‘පරිගණක’ සඟරාව හැටියටය.) අද නම් එවැන්නක් සතියකින් කළ හැකිය. එදා එය විශාල අභියෝගයකි. වසර දොළහකට පෙර පරිගණක තාක්ෂණය ගැන හොඳ ලිපියක් සරල භාෂාවෙන් ලියන්නට පවා කෙනකු නොවිණි. ලියූවන් ලිව්වේද එක්කෝ බාග ඉංගිරිසියෙනි. නැතිනම් පාඨකයන්ට තියා ලේඛකයාටවත් නොතේරෙන භාෂාවකිනි. නිසි වදන් නැතිවීම තවත් අඩුවක් විය. (බොහෝ වදන් බන්දුසීල, එඩ්වින් ආරියදාස වැනි වියතුන්ගේද සහාය ඇතිව අපි තනා ගතිමු. ‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,’සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය පරිගණක සඟරාවකට පිටපත් දස දහසකට වඩා අළෙවියක් නැති බවය. මේ කතා කරන්නේ 1997 ගැනය. දහයකින් කෙනකුවත් පරිගණකයක් දැක නොතිබිණි. රටේ භාවිතා වූ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව ලක්ෂයකට අඩුවිය. වෙනෙකක් තියා මුළු ලංකාදීප කතෘ මණ්ඩලයටම එකම පරිගණකයක් වත් තිබුනේ නැත.

විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියෙන් අපට සඟරාව පළ කරනවාට අමතරව තවත් අභියෝගයක් ලැබුණේය. ඒ සමාගමේ සියළුම ප්‍රකාශනවල පිටු සැකසීම පරිගණීකරණය ආරම්භ කරන ලෙසය. ඒ වන තුරුම විජය පුවත්පත් සමාගමට සිංහල පිටු සැකසීම් අංශයක් කියා දෙයක් නොතිබිණි. සිටියේත් පිටු සැකසීම් ශිල්පීන් නොව පරිගණක යතුරු ලියන්නන්ය. ඔවුන් කොලම් මහතට යතුරු ලියා දෙන ලිපි පරණ විදියට සුදු කඩදාසියේ ඇළවීමෙන්ය පිටු සකසා ගත්තේ. පේජ් මේකර් හා ෆොටෝ ෂොප් පරිගණකයන්හි ස්ථාපනය කොට තිබුනද භාවිතාවක් නොවීය. පළමු වරට ඒවා භාවිතා කළේ පරිගණක සඟරාව වෙනුවෙනි. අද මතක් වන විට සිනා පහළ වුවත්, වැඩි වැඩ නැතිව පළමු පිට සකසා ගැනීමට මටත් චන්දන, ගුණතිලක දෙසොහොයුරන්ටත් පැය තුනකට ආසන්න කාලයක් ගතවිය.
මේ දීර්ඝ අටුවාව ලීවේ ප්‍රගතිත් මාත් භාරගත් අභියෝගයේ තරම කියන්නටය. මම ප්‍රගතිගේ බොස් වීමිද, නැතහොත් ප්‍රගති මගේ බොස් වීද මම අදත් නොදනිමි. එවැන්නක් සිතීමට වත් අවකාශයක් වූයේ නොවේ. අගෝස්තු 12 වැනිදා ලංකාදීප පුවත්පත සමඟ නිකුත් වීමට නියමිත පළමු පරිගණක කලාපයේ වැඩ කටයුතු අප නිමා කළේ ඉන් පෙරදිනය. මුද්‍රණයට යන්නට පැයකට පෙරත් ප්‍රගති පිටු මාරුවක අවුල් ඇරියා මතකය. මුල්ම සඟරාව මුද්‍රණය වී එනතුරු විජය පුවත්පත් ආයතනයේ පහළ මහලේ බලා සිටීම ප්‍රගතිටත් මටත් නවමු අත්දැකීමක් විය. අපේ උත්සාහයේ මිහිර විඳ ගැනීමට ලැබුනේ පසුවදා පාරේ තැඹිලි විකුනන්නන්ද පරිගණක සඟරාව කියවනු දැකීමෙනි.
paraiganaka-first-issue

ප්‍රගති ගැනත් පරිගණක සඟරාව ගැනත් මට තවත් බොහෝ මතකයන් ඇත. එහෙත් ඒ වෙනුවට අප දිනාගත් දේ ගැන කතාකිරීම වඩාත් අවස්ථෝචිතය. 1999දී තනිව නැඟී සිටීම ආරම්භවූ පරිගණක සඟරාවට මුලදී දස දහසක මාසික අළෙවියක් වත් නොතිබිණි. මගේ මතකය නිවැරදි නම් දෙවැන්න කලාප 6,000 කටද, තෙවැන්න 5,000 කටද පහත වැටුණේය. මේ වනවිට අපේ උත්සාහය ගැන අපටම සැක පහළ වුවද අවසාන මොහොත දක්වා සටන අත නොහැරීමට අපි අධිෂ්ඨාන ශීලී වීමු. මාසයකට දහස දෙදහස ගණනේ අළෙවිය ඉහළ නැංගේය. 2001 ආර්ථික අවපාත සමයේ වෙනත් බොහෝ ප්‍රකාශනවල අළෙවිය වැටෙද්දී අපි නොකඩවා ඉහළ නැංගෙමු. අවසානයේ ප්‍රගති හා මා 2004 දී ඉන් ඉවත් වන විට විජය පරිගණක සඟරාවේ මාසික අළෙවිය 42,000 ඉක්මවා තිබුණේය. අපෙන් පසු ඒ කටයුත්ත භාරගත් පාලිත අමරසුරිය සොහොයුරා දැන් එය එමෙන් කිහිප ගුණයක් ඉහළ නංවා කිසිම තරගයක් නැතිව එය වෙළෙඳපළ නියමුවා කොට ඇත.

මීට අමතරව විජය පරිගණක සඟරාව මඟින් අපි ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික මට්ටමේ පරිගණක සම්මේලන පැවැත් වූයෙමු. පදනම් ආයතනයේ විශාල ශාලාව පිරෙන්නට මේවාට සෙනඟ එක් රැස්වූ බව මට මතකය. පළමු සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වුයේ එවකට ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකය. මහාචාර්ය වී. කේ සමරනායක, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය බන්දු රණසිංහ, ක්‍රිශාන්ත සිල්වා (දැනට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ), ගාමිණි ගුණවර්ධන, එස්. එම්. බන්දුසීල, ටී. එම්.ජී. චන්ද්‍රසේකර (ඔහුගේ ‘අන්තර්ජාලය ඔබේ නිවසට’ වැඩසටහන එවකට අතිශය ජනප්‍රිය විය.) හා නාලක ගුණවර්ධන  මේවාට සම්පත් දායකයින් සේ සහභාගි වූයේ සතයක් වත් නොගෙනය. මෙහි සම්පූර්ණ ගෞරවය යායුත්තේ ප්‍රගතිටය. ඔහුගේ අපූර්ව සංවිධාන ශක්තිය නොවීනම් මේ කිසිවක් සිදුවිය නොහැකිව තිබිණි.

වෘත්තීය සගයකු හැටියට ප්‍රගති සමඟ තරම් පහසුවෙන් මම වෙනත් කිසිවකු සමඟ කටයුතු කළේ යැයි නොසිතමි. සාමාන්‍යයෙන් මා සමඟ වැඩ කිරීම කෙනකුට පහසු නැත. මාධ්‍ය ජීවිතයේදී එය වඩාත් දැනේ. එහෙත් ඔහු සමඟ කටයුතු කළ දීර්ඝ කාලය තුළ වරක් හෝ අප අතර වාදයක්, උනුසුම් කතාබහක් නොවීය. අප දෙදෙනා එකකු ලෙස හැපුණේ අනුන් සමඟය.

විජය පරිගණක සඟරාව පිළිබඳ බොහෝ කටයුතු මා කළේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලිනි. විවිධ නම් විසි පහකට වැඩි සංඛ්‍යාවකින් මම ඊට ලියා ඇත්තෙමි. හේතුව මාධ්‍ය භාවිතාව මගේ අනෙකුත් රැකියා කටයුතු වලට බාධාවක් වීමය. මට සේම ප්‍රගතිටත් ඒ වෙනුවෙන් ලැබුනේ සොච්චමකි. එහෙත් ඒ ගැන අප දෙදෙනාටම අවංකව සතුටුවීමට කරුණු කාරණා තිබිණි. අද අපට හමුවන පරිගණක ක්ෂේත්‍රයේ දැනුමැති යව්වනයෝ ජීවිතයේ එක්තරා වයසක විජය පරිගණක සඟරාවෙන් එක්තරා මට්ටමකට උගැන්මක් ලැබූවෝය. ඔවුන් ඒ මට්ටමට ගත්තේ අපයැයි මම නොකියමි. එහෙත් අප ඔවුනට රුකුලක් වී නම් ඒ ගැන අවංකව සතුටු විය හැකිය.

පරිගණක සඟරාවෙන් ඉවත් වූ පසු ප්‍රගතිගේත් මගෙත් සන්නිවේදනය එක්තරා මට්ටමකට සීමා විය. එය වසර ගණනාවකට පසු මෑතක යළි අළුත් වූයේ ඔහු ‘ඩේලි මිරර්’ පුවත්පතෙහි වෙළඳ දැන්වීම් කළමනාකාර ධුරයට පත්වීම සමඟය. බොහෝ කාලයකට පසුව රැකියාවේ ධනාත්මක වෙනසක් වන්නට යෑම ප්‍රගතිට සුභ ආරංචියක් විය. (පරිගණක සඟරාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩි අභියෝගයක් නැති වැඩ කටයුතුය.) කෙසේවෙතත්, ආර්ථික අර්බූදයක් ඉදිරියේ තබාගෙන රැකියාවේ වෙනසක් වීමේ අවදානම ගත යුතුද යන්න ඔහුට ගැටළුවක් විය. ප්‍රගති ගැන දන්නා මම ඊට දිරි දුනිමි. ප්‍රගතිට අවශ්‍ය වූයේ අභියෝගය. අභියෝග නැති තැන ඔහු උදාසීන වෙයි. අළුත් රැකියාව ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අභියෝගය ඔහුට ලබා දෙනු ඇතැයි මම කල්පනා කළෙමි. ඒ සති කිහිපයකින් ඇසෙන්නට යන අසුභ ආරංචිය නොදැනය.

ප්‍රගති ‘පරිගණක’ පවුලේ අපට අහිමි වූ පළමුවැන්නා නොවේ. අප මුලින් සෝපත් කළේ PC Quest හි ආරම්භක කතුවරයා වූ ඇන්තනි ඩේවිඩ් රාජුය. ප්‍රගති සේම ඩේවිඩ්ද මියගියේ අඩු වයසිනි. ඩේවිඩ් පසට යටකළ ඒ අවාසනාවන්ත උදෑසන අපි ප්‍රගති සමඟ කඳුළ බෙදා ගතිමු. අද ප්‍රගතිද අප හැර ගොසිනි. අපි ඔහුද ඩේවිඩ් සේම දෙව් මව් තුරුළට යවමු.

“ප්‍රීතිමත් කුමාරයානෙනි – ඔබට සුභ රාත්‍රියක්” මේ ඩේවිඩ් වෙනුවෙන් අප මින් වසර දහයකට කලින් ලියූ ලිපියක මාතෘකාවය. ප්‍රගති වෙනුවෙන්ද එය භාවිතය නුසුදුසු යැයි මට නොසිතෙයි.

චානුක වත්තේගම
ආරම්භක සංස්කාරක (1997-2004)
‘විජය පරිගණක’

Categories
අන්තර්ජාලය විවිධ

එසේම වේවා…

ඔන්න “අවුරුදු අවසාන මහා පෝස්ට් රාජයා” ලියන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම මේ දවස්ටික නම් මට එපා වෙලා තියෙන්නේ. පන්තිත් නිවාඩු දීලා ලබන මුලු සතියෙම. වෙන අය නම් ඉතින් පන්ති එපා කියලා අඬනවා. මට පන්ති ඕනේ කියලා අඬනවා. කරන්නත් මහ ලොකු දෙයක්මත් නැති නිසාම කරන එකම වැ‍ඩේ තමයි Facebook අඩවිය මගේ Twitter අඩවියට හුවමාරු කරගත්ත එක. දිගට හරහට සිංහලෙන් Status Message දාන එක තමයි මේ දවස්වල මගේ විනෝදාංශය. යාලුවෝ ටික මට දැන් හොඳවයින් කුණුහරුපෙන් බනිනවාත් ඇති. ඉතින් මොනවා කරන්නද? කම්මැලි කමටම හිතට එන එක එක ඒවා ෆේස්බුක් එකේ Status Message එකට දාන එක තමයි කරන්නේ.

මේ දවස්වල ඇහෙන සිංදුවක් තමයි… “රම්බරී” කියන සින්දුව. ඇත්තටම මට නම් ඒක ඇහුවාම කරකවලා අතෑරියා වගේ මහා විකාර සින්දුවක් 😀 හැබැයි එකේ ශබ්ද රසයේ නම් පොඩි ගතියක් තියෙනවා. සිංදුවේ අයිතිකාරයා නම් කියන්නේ මේක බයිලා Style එකේ සින්දුවක් කියලා. ඒ වුනත් ඉතින් බයිලා වලත් යම් කිසි ‍තේරුමක් තියෙනවා නෙව. මේකේ නම් ඒ මොන‍ තේරුමක් වත් ඔලුවට එන්නේ නෑ…

මෙන්න මේ ගැන “මරණය” අයියාත් ලියලා තිබුනා…

ඉතින් ඔය අස්සේ තමයි FilmFare සම්මාන උළෙල බලන්න “SET” නාලිකාවෙන් අවස්ථාවක් ලැබුනේ. මේ සම්මාන දීම නම් මට එපා වුනා. මේ ගැන අවධානයෙන් ඉන්න අය නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ පාර හොඳම චිත්‍රපටිය සම්මානය ලැබුනේ “ජෝධා අක්බාර්” චිත්‍රපටියටයි. මේක නම් මාව කරකවලා අතඇරපු තවත් සිදුවීමක්. මේ චිත්‍රපටියත් එක්කම මේ හොඳම චිත්‍රපටිය සඳහා නිර්දේශ ‍වුන තවත් චිත්‍රපටි දෙකක් වුන “රබ් නේ බනා ඩි ජෝඩී” චිත්‍රපටියත් “ගජිනි” චිත්‍රපටිය ගැනත් තමයි වැඩිපුරම මගේ නම් අවධානය යොමු වෙලා තිබ්බේ. මේ චිත්‍රපටි දෙක ‍එක්ක “ජෝධා අක්බාර්” චිත්‍රපටිය චිත්‍රපටිය තිබ්බොත් “ජෝධා අක්බාර්” චිත්‍රපටියට අනිවාර්යයෙන්ම හිමිවෙන්නේ තුන් වෙනි ස්ථානය කියලයි මාත් ඇතුළුව මේ චිත්‍රපටි තුනම බලපු අයත් එක්ක මේ ගැන කතා කරද්දී කතා වුනේ.

චිත්‍රපටි ගැන කියද්දියි මතක් වුනේ මේ ළඟදී පෙන්නු‍වා නේ “Rang De Basanti” චිත්‍රපටිය ස්වර්ණවාහිනීයේ. මේක තමයි දැං මම කැමතිම අංක එකේ චිත්‍රපටිය. ඇත්තටම මේ චිත්‍රපටිය මට අර “මුඩුක්කුබලු ලක්ෂපති” (Slumdog Millionaire) චිත්‍රපටියටත් වඩා සිරා. වෙනස්ම කැමරාකරණ ක්‍රමවේදයක් භාවිතා කරමින් නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටිය ගැන නම් කතා දෙකක් නෑ සුපිරි වර්ගයේ චිත්‍රපටියේ චිත්‍රපටියක්. සංගීතය A. R. රහුමාන්ගෙනුයි. එහෙනම් ඉතින් සංගීතය ගැන අටුවාටීකා අවශ්‍ය නෑ නෙව. පුදුමය කියන්නේ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂකගේ දෙවැනි චිත්‍රපටිය. ඒ කියන්නේ පුදුම දැනීමක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා තමයි රාකේෂ් ඕම්ප්‍රකාශ් මෙහෙරා. මේ අධ්‍යක්ෂකවරයාගේ මේ ළඟදී නිකුත් වෙච්ච චිත්‍රපටිය තමයි “Delhi-6” ම්… මම චිත්‍රපටිය බැලුවේ නෑ. ඒ වුනාට මේ චිත්‍රපටියේ සින්දු වලට මම පිස්සු වැටිලා. ‍ඇයි ඒ විතරක් යැ? මම මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය (සෝනම් කපූර්) වගේ කෙනෙක්ටත් පිස්සු වැටිලා! (ඒවා ඕනේ නෑ නෙව. ඒවා පුද්ගලික දේවල් නේ… 😉 ) සංගීතය ගැන කිව්වොත්, මේ චිත්‍රපටියේ සංගීතයත් A. R. රහුමාන්ගේමයි. Googleට කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න තැනක් හම්බනොවෙන එකක් නෑ…

හරි. චිත්‍රපටි ගැන එච්චරයි. අපේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයෙන් කෙරෙනවා අලුත් වැඩක්. (මොකක්ද මේ අලුත් වැඩේ කියලා ළඟදීම දැනගන්න බැරි වෙන එකක් නෑ). ඉතින් මේ වැඩේදී මටයි, අපේ සහෝදර බ්ලොග්කරු ඉද්දාටයි පොඩි වැඩ වගයක් බාරයි. ඉතින් ඒ වැඩේට සැලසුම් ගහන එකයි මේ දවස්වල අපේ වැඩේ. ඉතින් මේ වැඩේට හොඳ අනුග්‍රාහකයෙකුත් අවශ්‍ය නිසා ‍අපේ තේරීම වුනේ ICTA ආයතනය. අපරාදේ කියන්න බෑ හරිම සුහදශීලි කාර්යමණ්ඩලයක්. හැබැයි මට හරහට හිටියේ ඒකේ තියෙන ලි‍ෆ්ට් එකයි, දොරකුයි තමයි. ඒක නං ඉතින් විලි ලැජ්ජාවේ සංතෝසේ කියන්න බැරි කතාවක්. ඔන්න අපේ ඉද්දාගේ බ්ලොග් එක බැලුවානං මෙලහකට දන්නවා ඇති.

මේ පාර අවුරුදු මහ ඉහළින් සැමරුමක් කෙරෙන්නේ නෑ මං නම්. මොකද කියලා මගේ බ්ලොග් එකත් එක්ක ටික කාලයක් ඉඳලා එකතු වෙලා ඉන්න අය නම් දන්නවාත් ඇති. සමහර විට අමතකත් ඇති. අපේ මාමා‍ගේ වියෝව නිසා ‍මේ පාර අවුරුදු සැමරීමක් වෙන්නේ නෑ.

ඔව්, විභාග ප්‍රතිඵල තියෙන අයනම් මේ පාර යහමින්  අවුරුදු සමරනවා ඇති. කොහොමත් මට විද්‍යාවට B නිසා හිත ඇතුලෙන් පොඩ්ඩක් කචල්. ඇයි හත්තිලව්වේ A8ක්ම ඇරගෙන අරක ‍ගොඩ දාගත්තානම්… පට්ට නේ. ඔන්න A7කුයි B2කුයි වත් තිබ්බානම් අවුලක් නෑ. එක විෂයකට විතරක් කෙල වුනාම අස්පට් එක වැඩී. දැන් ඉතින් පහුගිය දේවල් ගැන කළකිරිලා ඇති වැඩක් නෑ, A/L ගොඩදාගන්න එකයි තියෙන්නේ. මම නිකමට කියන්න… මම උත්සාහ කරන කෙනාට A9යි කියලත් දැනගන්න ලැබුනා. දැන් නම් මාව ගනන් ගන්න එකක්ම ‍නෑ කියලාමයි මට හිතෙන්නේ. අපෝ මාත් දාගන්න ලෙඩ වාට්ටු.

ඔය අතරේ මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් එක්ක ඔළුවට ආපු දෙයක් තමයි කෙටි චිත්‍රපටියක් හදන වැඩේ. අපේ “LÉ ROYALÉ” කණ්ඩායමට කිව්වා නම් වැඩේ ගොඩ. මෙන්න මේකයි අයිඩියා එක… ඔන්න දැං හිතින් මවා ගන්න

ඔන්න දර්ශණ තලය විවෘත වෙනවා…
දර්ශණ තලයේ තියෙන්නේ මේසයක් මත තියපු දුරකථනයක් (ජංගම දුරකථනයක් නෙවෙයි Land Phone එකක් 😉 )  ඒ මේසයට පිටිපස්සෙන් පුටුවක් තියලා තියෙනවා…

ඔන්න ඒ පුටුව පිටිපස්සෙන් දර්ශණ තලය හරහා (මේසයටයි, පුටුවටයි පිටිපස්සෙන්) කවුදෝ යනවා. යට කොටස විතරයි පෙන්නන්නේ… එයා දර්ශන තලයේ මැදට එද්දී, ඔන්න දුරකථනය නාද වෙනවා.

ට්‍රීං… ට්‍රීං…
ට්‍රීං… ට්‍රීං…

මිනිහා සිනාමුසු මුහුනින් යුතුව පුටුවේ වාඩිවෙලා රිසීවරය එක අතට ඇරගෙන…

හෙලෝ…
ආ… ඔව් මිස්. ප්‍රතිඵල හොඳයි මිස්. ඒ අටයි බී එකක් තියෙනවා මිස්.
බී තියෙන්නේ විද්‍යාවට මිස්. (මූන පොඩ්ඩක් ඇඹුල් වෙයි)
ඔව් අපරාදේ මිස්
ඔව් මිස් රී කරෙක්ෂන් දාලා බලන්න ඕනේ…
හරි මිස්.

ඔන්න ‍ඔහොම කියලා රිසීවරය තියලා පුටුවෙන් නැගිටිනකොටම ආපහු දුරකථනය නාද වෙනවා.
මෙයා ආපහු පුටුවේ වාඩි වෙලා රිසීවරය අතට ඇරගන්නවා.
හෙලෝ…
ආ මචන්!
උඹට කොහොමද?
ආ එළනේ…
මට මචන් ඒ අටයි… බී එකයි මචන්.
බී එක සයන්ස් වලට මචන්
ඔව් බං
ආ හරි පස්සේ කතා කරමු.
මිනිහා ‍ආපහු රිසීවරය තියනවාත් එක්කම තව කෝල් එකක් එනවා. මිනිහාට තද වෙනවා…
මිනිහා රිසීවරය ඇරගෙන ගත් කටටම වේගයෙන්…
A8යි බී එකයි
බී එක සයන්ස්
රිසිවරය තිව්වා
ට්‍රී…
A8යි බී එකයි
බී එක සයන්ස්
රිසිවරය තිව්වා
ට්ර
A8යි බී එකයි
බී එක සයන්ස්
රිසිවරය තිව්වා
ට්
A8යි බී එකයි
බී එක සයන්ස්
රිසිවරය තිව්වා
එහෙම වෙලා තිරය අඳුරු වෙලා තිරය වැහිලා ගිහිල්ලා
ආපහු තිරය ‍විවෘත වෙනකොට මිනිහා හොඳටම හෙම්බත් වෙලා. මූන පැත්තට හරවාගෙන මේසේ උඩ ති‍යාගෙන රිසීවරේ මූන ඉස්සරහින් තියාගෙන…
ඒ….
ආපහු තිරය අඳුරු වෙලා තිරය වැහිලා ගිහිල්ලා තිරය විවෘත වෙනවා. එතකොට දුරකථනය ෆෝන් එකේ තියලා… දුරකථනය ඔහේ නාද වෙනවා. මිනිහාට හොඳටම නින්ද ගිහිල්ලා…
නිමි.

ඔන්න ඕකයි කෙටි චිත්‍රපටියකට හිතිවිල්ල. ඕන්නං තව අඩුම කුඩුම දාලා කරන කෙනෙක් හදලා බලන්න ‍කොහොමද කියලා. මේකෙන් පෙන්නන්න උත්සාහ කරන්නේ A8යි B1යි ගත්ත මං වගේ කෙනෙකුගේ 😉 මානසික පීඩනයක තරම. හැබැයි මට නං ඔච්චරටම කෝල් ආවේ නෑ 😉

ඉතින් ඔහොම තමයි ජීවිතේ. ගමේ යන්නත් ඕනේ. වෙලාවක් නෑ මේ ව්‍යාපෘතියකට හිර වෙලා නිසා. ඒ මොනවා වුනත් ගම පැත්තේ අනිවාර්යයෙන්ම කරක්ගහලා එන්න ඕනේ මේ දහජරා කොළඹ, නුගේගොඩ, මහරගම පීඩ‍නයෙන් මිදෙන්න…

ඉතින් ‍එහෙනම් ඔන්න අවුරුදු අවසාන මහා පෝස්ට් රාජයා ලියලා අහවරයක් කරා.
ඔබ සැමට එසේම වේවා!!!

ආ එහෙම කියන එක හරි නෑනේ. ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුබ නව වසරක් වේවා! ආ ඒ විතරක් නෙවෙයි, බඩු මිල අඩුවෙන… පඩි වැඩි වෙන. සක්විති බැංකු බිහි නොවෙන… අලුත් අලුත් ගැජට් බැජට් අතගාන්න ලැබෙන දේශපාලන හා ආර්ථික අර්බුද ඇති නොවෙන සුබම සුබ පට්ට ආතල් අවුරුද්දක් වේවා!