Categories
දේශපාලනික

ඩිමොක්‍රසි විසංවා​ද

මදකට හිතින් මවාගන්න. ඔන්න එකමත් එක රටක, වන ගහනය බහුල වූ පෙදෙසක අලුතෙන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න යෝජනා වෙනවා. මේ කර්මාන්ත ශාලාව ඉදිකරන්නට ඒ ප්‍රදේශයේ වනාන්තර භූමි අක්කර 200ක් කපා එළි කිරීමට අවශ්‍ය වෙන අතර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තා කැඳවීමක් සිදු කරනු ලබනවා.

මේ වනාන්තර එලි කිරීම නිසා, ඒ ප්‍රදේශයට ආවේණික සත්වයින්ගේ නිජ භූමි විනාශ වන බවත්, ඔවුන්ගේ ආහාර දාමයට සිදුවන බලපෑම නිසා එම සතුන් සදහටම වඳ වී​මේ තර්ජනයකට ලක්වන බවත් පරිසර වේදීන් තම වාර්තාවේ සටහන් කළා. ඊට අමතරව එම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර විනාශ වී නල ළිං සිඳීයාම නිසා ජනතාවට ජල ගැටලු ඇතිවිය හැකි බවත් ඔවුන් වාර්තා කරා.

කොහොම වුනත් මේ කර්මාන්ත ශාලාව ඉදිරිකරොත් එය එම රටට විදෙස් ආයෝජන ලබාගැනීමේ ඉතා මහඟු අවස්ථාවක් බවත්, ඒ හරහා එම ප්‍ර​දේශයේ දස දහසක් රැකියා අවස්ථා ඇති කළ හැකි බවත් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශයට පත් කළා. ජනමාධ්‍ය තුළත් වාර්තා වුනේ රැකියා රහිත පෙදෙස් වැසියන් බොහෝ දෙනෙක් මෙම කර්මාන්ත ශාලාවෙන් රැකියා ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කර්මාන්තශාලාව ගැන ගැටලුව නිසා ආණ්ඩුකාරවරයා ඒ ප්‍රදේශයේ බහුතර මතය දැනගැනීමට ඡන්දයක් ප්‍රකාශයට පත් කළා. කර්මාන්තශාලාවට ආයෝජනය කරන ව්‍යාපාරිකයින් කර්මාන්තශාලා​ව හරහා උත්පාදනය වන රැකියා පිළිබඳ පුවත්පත් දැන්වීම් පළකර, රැකියා සඳහා ඉල්ලුම්කරන ලෙස ප්‍රදේශ වැසියන්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර පරිසර සංවිධාන වන සංහාරයට විරුද්ධව හඬ නගමින් ජල මූලාශ්‍ර විනාස නොකරන ලෙසත්, සත්වයින්ගේ නිජ භූමි ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඡන්දය අවසාන ප්‍රතිඵලය ලෙස 51%ක් කර්මාන්ත ශාලාව අවශ්‍ය බව ප්‍රකාශ කිරීම නිසා කර්මාන්ත ශාලාව ඉදිකිරීමට ආරම්භ කළා. දැන් අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

  • බහුතර මතයට ඉඩ දීම නිසා ඡන්දය ලබාදුන් 49%ක ප්‍රජාවගේ මතය නිශේධනය වීම කොතරම් සාධාරණද?
  • එම වනාන්තරයේ ජීවත්වන සතුන්​ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳ තීරණ ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට දැනුමක් තියෙනවාද?
  • කර්මාන්තශාලාව ඉදිකිරීමටත් පෙර රැකියා ලබාදෙන බවට කර්මාන්ත/ශාලාවේ හිමිකරුවන් ප්‍රචාරය කිරීම ඡන්දයේ ප්‍රතිඵලට අනිසි බලපෑමක් කරා ද?
  • වනාන්තරය කපා දැමීම නිසා ඇතිවෙන පාරිසරික බලපෑම් ඇතිවීමට තවත් කල්ගත වන නිසා, ජනතාව වැරදි තීන්දුවක් ගත්තා විය හැකිද? (පරිසර බලපෑම පිළිබඳ අවබෝධයක් නොමැති නිසා)

බොහෝ රටවල් සහ ආයතන මෙසේ බහුතර මතය මත පදනම්ව තීරණ ගන්නවා. ලෝකයම දැන් දශක ගණනාවක් මෙසේ ඩිමොක්‍රසිය මත රාජ්‍ය පාලනය කරමින් සිටිනවා. ඒ හරහා ලබාගත් ජයග්‍රහණත් බොහොමයි. පරාජයනුත් බොහොමයි.

පරාජයටනම් බොහෝ උදාහරණ අපේ රටෙන්ම අරගන්න පුළුවන්. අවුරුදු 30කට ආසන්න යුද්ධයත් ඒ හා සමගාමීව ඇදී යන ජාතීන් අතර ඇති යම් යම් විරසකද මේවාට උදාහරණ. බොහෝවිට බහුතරය බලය ලබා දී ඇත්තේ යම් යහපතක් බලාපොරොත්තුවෙන් වූවත්, බලයට පැමිණි අයට රිසිසේ “ආ දැන් ඔයාලා කරගෙන යන්නැයි” කියා ජනතාව පසෙකට වී තමන්ගේ වැඩක් කරගෙන ඉන්නත් පුරුදු වෙලා.

ග්‍රීක දාර්ශනකයෙක් වූ සොක්‍රටීස්නම් ඩිමොක්‍රසිය දකින්නෙ අති අසාර්ථක රාජ්‍ය පාලන ක්‍රමවේදයක් විදිහටයි. ඔහු වරෙක ඇඩිමැන්ටස් නම් තම අනුගාමිකයෙක්ගෙන් මෙසේ විමසනවා

ඔබ නෞකාවක නැගී මුහුදු චාරිකාවක යනවානම්, ඔබ එම නෞකාව හසුරුවන්නට භාර දෙන්නේ කාටද?

ඔබ කැමති ඕනෑම අයෙකුටද? එහෙමත් නැත්තං නෞකා හැසිරවීම ගැන හොඳින් දැනුවත් ඒ පිළිබඳ පළපුරුදු අයෙකුටද?

ඇඩිමැන්ටස් පිළිතුරු දෙන්නේ අනිවාර්යයෙන්ම නෞකා හැසිරවීම පිළිබඳ පලපුරුදු අයෙකුට බවයි. එවිට සොක්‍රටීස් ඇඩිමැන්ටස්ගෙන් පෙරළා විමසන්නේ එසේනම් රටක පාලකයා තීන්දු කිරීමට රටේ ඕනෑම කෙනෙකුට අයිතිය ලබාදීම කොතරම් සුදුසුදැයි කියායි. (ප්ලේටෝගේ The Republic පෝතේ හයවැනි කොට​ස)

මෙවන් තත්වයක් තුළ විවිධ වූ රටවල් ඩිමොක්‍රසියට සමගාමීව සුළුතර මතයද ආරක්ෂාවන ලෙස විවිධ උපක්‍රම යොදා තිබෙනවා. එය විමසන්නනම් මේ සටහනේ ඉඩ මදි. ඒත් මට කියන්නට ඕනෑ වුනේ, බහුතර – සුළුතර නොව නිවැරදි දෙය තෝරාගැනීමට අපි උත්සාහ කළ යුතු බවයි.

ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්!

Categories
දේශපාලනික

දේශපාලනයේ සදාකාලික මිතුරන්ද, සදාකාලික සතුරන්ද නැත | Conspiracy Theory and Game of Pawns

පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් සහ රටේ පොදු ජනතාවගෙන් අපකීර්තියට පත්වෙමින් සිටියදී හිටපු ජනාධිපති රාජපක්ෂ අපූරු තීන්දුවක් ගන්නා ලදී. ඒ, වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමයි.

අවශ්‍යතාව වූයේ ජනමතය පරීක්ෂාකර බැලීම සහ හදීසියේ හෝ ජනමතය වෙනස් වී ඇතිනම් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමයි.

පැවති තත්වය අනුව ලංකාව දරුණු මූල්‍ය අර්බුධයක වූ අතර, තව දුරටත් ජාත්‍යන්තර ණය ගැනීමට නොහැකි තත්වයට ආණ්ඩුව පත්ව සිටියේය. ඒ අතර යුරෝපයෙන් එල්ලවන මානව හිමිකම් චෝදනා උත්සන්න වෙමින් පැවතින. එමෙන්ම මූල්‍ය අර්බුධයෙන් ගැලවීමට අවශ්‍ය ආර්ථික ව්‍යාපෘති (පෝට් සිටි, කැසිනෝ, රෙඩ් ලයිට් සෝන්) ඇති කිරීම සඳහා සිංහල බෞද්ධ බලවේග සහය නොදක්වන තැනකට පැමිණ තිබිණ.

මේ සඳහා අවශ්‍ය වේලාව ලබාගැනීමට ජනාධිපතිවරණයෙන් අවස්ථාව ලැබුණ අතර හදිසි ආණ්ඩු පෙරළියෙන් පසු ජාත්‍යන්තරයෙන් මද අස්වැසිල්ලක් ලැබුණි. සංවර්ධන කටයුතු වලට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තර කරගැනීමට වර්තමාන ආණ්ඩුව දරණු ලැබූ ප්‍රයත්නය එය පැහැදිලි කරයි.

මේ සමය තුළ ඇල්ලූ හොරෙක්ද නැත, චෝදනා පමණි. දහනව වෙනි සංශෝධනයෙන් විධායකය අහෝසිවන්නේ නැත. අලුත් ඡන්ද ක්‍රමයක් සඳහා දින සියය කල් මදි ය.

*පවතිනා මූල්‍ය අර්බුදයේ ස්වභාවය පසුගිය රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට උත්සාහ කළ පනතෙන් අවබෝධ කරගත හැක.*

අවසානයේ “මහින්ද නැතුව බෑ” මතය තහවුරු වන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනේ අනෙකුත් සුළු පක්ෂ වල සහයෝගය නොමැතිව තරග කර අගමැති ධූරය ලබාගනු ඇත. එවිට සියල්ලට විරුද්ධවන සුළු පක්ෂ වල අවම බලපෑම යටතේ මේ වන විට රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘති ආරම්භකිරීමට හැකිවනු ඇත.

අප කැමති වූවත් අකමැති වූවත් ඉතා ඉක්මනින් කැසිනෝ සහ අනෙකුත් මෙගා ඩීල් ඇතිකරගැනීමට නොහැකි වුනොත් ආණ්ඩුවට දරුණු අයවැය හිඟයකට මුහුණදීමට සිදුවනු ඇත.

මේ ක්‍රියාදාමයේ රනිිල් වික්‍රමසිංහ ඉතාමත් වැදගත් භූමිකාවක් රඟදක්වා ඇත. පෝට් සිටි, කැසිනෝ වැනි ව්‍යාපෘති කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට පරිභාහිර ඒවා නොවේ. ඡන්දයෙන් පසු පෝට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔහුගේ මතයේ වෙනස එයින් පෙන්වයි. මෙය නරක තත්වයක් නොවේ. නමුත් පසුගිය ඡන්දයේදී ඔබේ ජන මතය දේශපාලකයින් විසින් පාවා දුන්නායැයි සිතෙන්නේනම් වහා හිත හදාගත යුතු කාලය එළඹ ඇත.