Categories
ආදරය ජීවිතේ

පෙම් හබයක් නිමා වූ සඳ… | How To Survive a Break-Up

හමුවීම් සහ වෙන්වීම් සාමාන්‍ය ලෝකයේ බොහොම සුලබ සංසිද්ධියක්. ආදරය කරපු දෙදෙනෙක් වෙන්වෙනකොට ඇතිවෙන වේදනාව සාමාන්‍යයි. ඉතින් දිගටම මේ වේදනාව සමඟ ජීවත්වීම අනවශ්‍ය කාරණයක් කියලයි මේ ලියන මටනම් හිතෙන්නෙ. කොහොම නමුත් පිරිමියෙක් වුනාම ඇත්තටම ආදරය කරල විරහ වේදනාව විඳින එක එක්තරා ආකාරයක සුවිශේෂී ජීවන අත්දැකීමක්.

මේ ලිපිය ලියවෙන්නෙ සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන පිරිමි පාඨකයන් වෙනුවෙන්. කොහොමත් මම හිතනවා වෙන්වීමේ දරාගැනීමේ හැකියාව සහ වෙන්වීමේ වේදනා පාලනය කරගැනීමේ ක්‍රමවේදයන් ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සුළු වශයෙන් හෝ වෙනසක් ඇති බව. ඉතින් ඒක නිසා ගැහැනු ගැන හැඟීමකින් තොරව ලියවෙන පිරිමි ලිපියක් මේ.
[youtube=http://www.youtube.com/watch?v=YR12Z8f1Dh8]
වෙන්වීම් දරාගැනීම පිළිබඳ ඕනෑතරම් ලිපි අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවනි. මේවාගේ උපදෙස් බොහොම සමාන වුනත් මේ උපදෙස් යුරෝපයේ සංස්කෘතික වටපිටාවට බොහොම බරයි. අපි තේරුම්ගන්න ඕනෑ දෙදෙනෙක් ආදරය කරනකොට ඒ ආදරය දෙදෙනාගේ තේරුම්ගැනීමම මත පමණක් රඳා නොපවතින බව. ඒකට දෙමව්පිය නෑදෑ මිතුරන්ගේ බලපෑම් සහ සංස්කෘතික රාමුවේ බලපෑම් අනිවාර්යයෙන්ම ඇතිවෙනවා. ඒක අකමැත්තෙන් වුනත් තේරුම්ගත යුතුයි.

ඉතින් යුරෝපයේ සංස්කෘතියට අදාළව ලියවුන බොහෝ ලිපි ගැලපෙන්නෙ ඒ ඒ යුරෝපා රටවල් වල සංස්කෘතික සහ ආර්ථික රටාවට අදාළව. තාමත් වැඩවසම් යුගයේ ජීවත්වෙන අපේ ලංකාවට මේක ගලපාගන්න පුලුවන්වෙන්නේ සියයට පණහක ප්‍රතිශතයෙන්.

අනික මේ අපි යාලුවෝ කතාවුන දෙයක් තමයි, බොහෝ පිටරට මිනිසුන්ට ආදරය කරන්න නිදහස තියෙනවා සංස්කෘතියෙන්. තමාගේ අනෙකුත් සගයාව සොයාගන්න dating ක්‍රමත් භාවිතාවෙනවා වුනාට, තවම ලංකාවේ dating ක්‍රම ජනප්‍රිය නැහැ. ඉතින් ඒක නිසා බොහෝ විට මුලින් රූපයට හෝ කිසියම් කුසලතාවක් නිසා ආකර්ශණය වී ඉන් පසු දෙදෙනා හඳුනාගැනීමත් සමඟ ගොඩනැගෙන ආදරය සම්බන්ධතා තමයි ලංකාවේ වඩාත් සුලභ. වෙනත් රටවල මිනිස්සු ආදර සම්බන්ධතා ගොඩනගාගන්නේ තමන්ගෙ ජීවිතයට අවශ්‍ය මානසික සහනයක් සහ වින්දනය වෙනුවෙන්. නමුත් ලංකාවේ (තරුණ ආදරවන්තයන් අතර) සිදුවන්නේ තමුන්ගේ ආදරය රැකගැනීම වෙනුවෙන් අනෙකුත් සියල්ල කැපකිරීම.
ආදරය කරන දෙදෙනෙක් වෙන්වෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.

  • එකිනෙකාව තේරුම්ගැනීමට නොහැකිව නොගැලපෙන බව නිසා වෙන්වීම.
  • දෙදෙනාගෙන් කෙනෙක් තුන්වන (හතරවන, පස්වන, සයවන…) පුද්ගලයෙකු සමඟ අනෙකා රැවටීම පදනම් කරගෙන.

මීට අමතරව දෙමව්පියන්ගේ, ඥාතීන්ගේ හෝ මිතුරන්ගේ (ප්‍රමුඛතා පිළිවෙල අනුව වමේ සිට දකුණට) බලපෑම් වලට යටත්ව සහ ආර්ථික අධ්‍යාපනික කරුණු මත ලංකාවේ දෙදෙනෙක් වෙන්වෙනවා දකින්න පුලුවන්.

හොඳයි. මූලික වශයෙන් දෙදෙනෙක් දෙදෙනාගැන තේරුම්ගෙන ආදරය කරනවා නම් අනිවාර්යයෙන්ම කොච්චර ප්‍රශ්න ආවත් දෙදෙනා හැරයන්නේ නැතිබව මූලික වශයෙන් තේරුම්ගන්න ඕනෙ කාරණයක්. සිදුවෙන්නෙ කාලයත් සමඟ ආදරය හෝ සම්බන්ධතාවේ තීව්‍ර ගතිය නැතිවෙලා දෙදෙනාට වෙන්වෙලායන්න සිදුවීම. ඒක නිසා වෙන්වෙන්න තීරණය කළා නම් වටහාගන්න, එතන ආදරය නැතිවෙලා ඇති බව. එකිනෙකා නොමැතිව තමන්ට ජීවත් වීමට හැකිබව අනෙකා තේරුම්ගෙන ඇති බව. මේ කාරණය තේරුම්ගැනීමම ඇති වෙන්වීමේ වේදනාව දරාගැනීමට සහ එම වේදනාව තේරුම්ගැනීමට. ඒ වගේම කෙනෙක්ට තව කෙනෙක් අයිති කරගන්න බෑ. ආදරය කරන කාලෙ ඔයා මගේ – මම ඔයාගෙ කියල කිව්වට ඒක සත්‍ය වෙන්නෙ ආදරය කරන රාමුවේදි රෝමාන්තිකව විතරයි. ඒක හරියට නිව්ටන්ගෙ නියමයක් වගේ.

වැදගත්: කොහොමහරි දෙදෙනා වෙන්වෙලා නැවත සම්බන්ධවෙන්න ඕනෙතරම් අවස්ථා තියෙනවා. බොහොම තාවකාලික වෙන්වීම්. ඒ වුනාට පළමු වෙන්වීමෙන්ම තේරුම්ගැනීම ඉතාමත් වැදගත්. මොකද ආයෙ ආයෙත් කියනවානම් දෙදෙනෙක් ඇත්තටම ආදරය කරනවානම් වෙන්වෙන්න තීරණය කරන්නේ නෑ. මොකද දෙදෙනෙක් තේරුම්ගෙන එකට ආදරයෙන් ජීවත්වෙනවානම් ඒක තමයි වඩාත් ශක්තිමත්ම බැඳීම.
බීබීසි ආයතනය විසින් නිෂ්පාදිත රොබින්හුඩ් ටෙලි නාට්‍ය මාලාවේ එකතැනක මෙහෙම තියෙනවා…

Robin Hood to Marian:
Will you marry me?
– What?
The first time I held my bow, I knew. It felt right, Like it had been made for me, and that’s how I feel about you. I promised your father I would protect and look after you.
But It works both ways. I look after my bow because it protects and looks after me. Together we’re stronger.
So..
Marian, will you marry me?

[youtube=http://www.youtube.com/watch?v=IX5zfjCeTN4]
හරි. ඊළඟට තේරුම්ගන්න ඕනෙ ක්ෂණිකව මේ වේදනාව අඩුවෙන්නෙ නෑ කියන කාරණය. වෙලාවෙන් වෙලාවට වේදනාව අඩු වැඩි වෙන්න පුලුවන්. ඉතින් වෙන්වුනාම කරන්න ඕනෙ ප්‍රධානම දේ තමයි තමන්ට නිදහස් තැනකට ගිහින් අඬන එක. තනියම. කවුරුත් නැති තැනක. (හැමෝම ඉන්න තැනක අඬන එක චාටර්නෙ.) මතක තියාගන්න අඬන එක හොඳට අඬන්න. හිත නිදහස් වෙනකන් අඬන්න. වැඩිපුර අඬන තරමට තමන්ට තේරෙනව අන්තිම මොහොතෙදි හරි. දැන් ඇති. මඟඇරුන දෙයක් වෙනුවෙන් තවදුරටත් අඬන්න අනවශ්‍ය බව. මින් ඉදිරියට තමන්ගෙ බිඳුන බලාපොරොත්තු සහ සැලසුම් අලුත් විදිහට ඉදිරියට ගෙනියන බව.

බොහෝ දෙනෙක් දෙන උපදෙසක් තමයි, මේ වේදනාවෙන් ගැලවෙන්න හොඳම දේ තමුන් කාර්යබහුල වීම කියල. මේක සාපේක්ෂයි. කාර්යබහුල වෙනකොට හැමදේම අමතක වෙනව තමයි. ඒත් හිතන්න ළඟ එන විභාගයක් ගැන. ඇත්තටම පාඩම් කරනවා කියන දේ අපි ගොඩක් දෙනෙක් අකමැති කාරණයක් කියන එක හැමදෙනාම පිලිගතයුතුයි. ඉතින් අකමැති දෙයක් බලෙන් කරන අතරෙ තවත් සිතිවිලි ඔළුවට එනකොට ඒක පාලනය කරගන්න අමාරුයි. ඉතින් බලෙන් පාඩම් කරන්න අවශ්‍ය නෑ. විභාගය තාවකාලිකව අතාරින්න. (ඔව්! අතඅරින්න. හැබැයි ආයෙත් ප්‍රකෘති තත්වයට ආව ගමන් වැඩ පටන්ගන්න! මොකද අමාරු විභාග තමයි ජීවිතේ ඉක්මනින් ගොඩට ගන්න තියෙන ලේසිම ක්‍රමය.)

වැදගත්: කොහොමවුනත් සමහර අය ඉන්නවා මේ වේදනාව මකාගන්න පැය ගණන් එකදිගට පාඩම් කරල විභාගය ගොඩදාන අය. ඉතින් මුලින් උත්සාහ කරල බලන්න එහෙම තමන්ටත් කරන්න පුලුවන්ද කියල. දෙවෙනි, තුන්වෙනි වතාවෙ මේක හරි වගේ දැනෙනවනම්, ඔව්. ඔබට හිතනවානම් මේකයි වේදනාවෙන් අයින්වෙන්න හොඳම මාර්ගය කියල ඒ මාර්ගය තෝරගන්න. ඔබ හිතනවාටත් වඩා හොඳින් උසස් ප්‍රතිඵල සමඟ විභාගය සමත්වෙයි. ඉහත උපදෙස පාඩම් කරන්න අකමැති බහුතරයට.

ඊළඟට බලන්න තමන් කරන්න කැමති මොනවද කියල. එහෙම දෙයක් නැතිනම් අලුත් විනෝදාංශයක් හදාගන්න. කොහොම වුනත් මේ විනෝදාංශය තනියම කරන දේකට වඩා මිතුරන් සමඟ කරන්න පුලුවන් දෙයක්නම් වඩා හොඳයි. සමහර වෙලාවට මුහුද ළඟට ගිහින් යාළුවෝ එක්ක කතාකරන එකෙන් ගොඩක් දේවල් අමතක කරන්න පුලුවන්. ඒ වගේම මුහුද දිහා බලාගෙන ඉන්න එකත් කොහොමටත් කම්මැලි දෙයක් නෙවෙයි. ඉතින් අලුත් දෙයක් අත්හදා බලන්න. ඒක තමන් කැමත්ත දක්වන ‍ක්‍ෂේත්‍රයක ව්‍යාපෘතියක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් පීනන්න පුරුදුවෙන්න, ජිම් එකට යන්න වගේ දෙයක් වෙන්නත් පුලුවන්. සමහර වෙලාවට එක දිගට පරිගණක කණ්ඩායමක් එක්ක (Multiplayer) පරිගණක ක්‍රීඩා කරන එකෙනුත් කිසියම් මානසික සහනයක්, ශක්තියක් ලැබෙන්න පුලුවන්. (DOTA, Call of Duty Modern Warfare)

මුවහමට තලන්න. ඔබට සමහර දේවල් ඔළුවට දිගින් දිගටම එනවානම්, ඒ ලියන දේවල් කොහේහරි ලියන්න ඕනෑනම්… ෆේස්බුක්, ටිව්ටර් පාවිච්චි කරන්න. ඇත්තම කතාව අපි ගොඩක් දෙනෙක් අනිත් අයගෙ අවධානය දිනාගන්න කැමතියි. ඉතින් හිතෙන හිතෙන දේවල් ෆේස්බුක් එකේ, ට්විටර් එකේ ලිව්වාට අවුලක් නෑ. ඇත්තටම ඒකත් එක්තරා ආකාරයකට (අලුත් පරම්පරාවේ අයට) මානසික සහනයක් ලබාදෙනවා. කොහොමවුනත් ටික දවසක් ගියාට පස්සෙ ඒ ලියපුවා මැකුවට අවුලක් නෑ. 😉

පරණ පරම්පරාවෙ අය කරේ තමන්ගෙ වේදනාව මකාගන්න නවකතා, කෙටි කතා, කවි ලියන්න පටන්ගත්තා. ඇත්තටම දැංකාලෙත් එහෙම ලියන්න පුලුවන්නම් වඩා හොඳයි. ඒත් එහෙම ලියන්න අමාරු අයට, ෆේස්බුක් ට්විටර් කියන්නෙ බොහොම වටිනා තැනක්.
500 Days of Summer චිත්‍රපටයෙන්…

Well, you know, Henry Miller said the best way to get over a woman is to turn her into literature.

පුලුවන්තරම් යාලුවෝ එක්ක ඉන්න එක සෑහෙන්න හොඳ දෙයක්. මොකද යාළුවෝ උදව්වෙනව සිදුවුන සිදුවීම් ටික වෙලාවකට හරි අමතක කරන්න. රස්තියාදුගහන එකත් මේ වගේ වෙලාවක සෑහෙන්න වැදගත්. රස්තියාදු ගහනකොට මිනිස්සු ගැන සෑහෙන්න දේවල් ඉගෙනගන්න ලැබේවි. ඒව රැකියාවක් කරනකොට අමතර සුදුසුකම්වෙයි.

ආදරය කරපු අයට වෛර කරන්න.

මේක ඇත්තටම බොහොම අමාරු දෙයක්. ඒත් වෛර කිරීමෙන් ආදරය සෑහෙන්න දුරකට මකන්න පුලුවන්. මතක තියාගන්න වෛර කරනවා කියන්නෙ ගෑනු ළමයව මරන්න, ඇසිඩ් ගහන්න කියන එක නෙවෙයි. හිතින් බනින්න. යාළුවෝ එක්ක එකතු වෙලා බනින්න. මේක හැබැයි වෙන්වුන ගමන්ම කරන්න අමාරුයි. ටික දවසක් ගියාට පස්සෙ මේදේ කරනකොට අර ඉතිරිවෙලා තියෙන හැඟීම් ටිකත් මිරිකලා යවන්න පුලුවන්. (අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි!!!)
Delhi Belly චිත්‍රපටියෙ ලස්සන සින්දුවක් තියෙනවා. මේක මම අදහස ඉවත්කරගත්තෙ මෙහෙමයි…

මම ඔබට ආදරය කරේ කොපමණක්ද, මම එසේම ඔබට වෛර කරමි.

[youtube=http://www.youtube.com/watch?v=dOurENrwto0]

අතීතයේ සිදුවූ දේට සමාව දෙන්න.

මුලින්ම තමන්ට වරදකාරී හැඟීමක් ඇතිවෙයි මේ සම්බන්ධය නැවතුනේ මගේ වරදකින්නේද කියල. ඒ වගේම අනිත් කෙනත් තමන්ගෙ ඔළුවට දාන්න පුලුවන් ඔයාගෙ වරදින් තමයි මේ සම්බන්ධෙ නැවතුනේ කියල. මුලින්ම තමන් තමන්ට සමාව දෙන්න. තමන් තේරුම්ගන්න තමන් ඒ සම්බන්ධය තියෙන මොහොතේ තමන් සිදුකරේ තමන්ට කරන්න පුලුවන් හොඳම දේ බව. ඒ ගැන ආයෙමත් පසුතැවිල වැඩක් නෑ. ඒ වගේම තමන් යමක් කළා නම් ඒ කලේ ආදරය වෙනුවෙන්. ඉතින් ආදරය වෙනුවෙන් කරන දේවල් වැරදියි කියල තේරුම්ගන්න එපා. ඉතින් වරදකාරී හැඟීමෙන් තමන් මුලින් මිදිලා ඉන්න. එතකොට අනික් කෙනා තමන්ට වරද පටවන්න හදනාවනම්, එයා කියන දේ එක කනකින් අහල අනිත් කනෙන් පිටකරන්න. “ඔව්. මම තමයි වැරදි. ඔයා වැරදි නෑ” කියල එයාවත් වරදකාරී හැඟීමෙන් ගලවගන්න.

මීට අමතරව තවත් අනුමත නොකරන දේවල් දෙකක් තියෙනවා. එයින් එකක් තව ඉක්මනින් කෙල්ලෙක් යාලු කරගන්න එක සහ ගණිකාවක් සමඟ නිදිවදින එක. මේ දෙක එච්චර හොඳ දෙයක් විදිහට කියන්න අමාරුයි. වේදනාවෙන් මිදෙන්න කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්නවාට වඩා, ආදරය කරන්න තමාව තේරුම්ගන්න කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න එක වඩා හොඳයි.  මම අහල තියෙනවා ගණිකාවක් එක්ක නිදිවැදීමත් එක්තරා ආකාරයක සහනයක් ගෙනදෙනව කියල. ඒක සාපේක්ෂ කාරණයක් නිසා ඒ ගැන නොහිත ඉන්න එක තමන්ගෙ අනාගතයට හොඳයි.

හිඳීවි කොතැනක හෝ … හිමිකාරයා උපන් ඔබේ නමින්…

ඊළඟට අනුමත නොකරන දේ තමයි සෑහෙන්න (සැර ජාති) බොන එක. මේක ඇත්තටම තාවකාලිකව සහනයක් අරගෙන එනව තමයි. ඒත් ඉතින් වෙරිමත හිඳුනම සමහර විට වේදනාව එක දෙක වෙලා එන්න පුලුවන්. ඉතින් මේ දේ කරනවානම් හරි පදමට කරන එක හොඳයි. වරදක් කියන්න අමාරුයි. සාපේක්ෂ කාරණයක්. ඔබ අමද්‍යප කෙනෙක්නම්, තරයේ අවවාද කරනවා මේ සිදුවීම නිසාම බොන්න පුරුදු වෙන එක නම් අපරාදයක්. නොකර ඉන්න එක හොඳයි කියල.

තවත් කාරණා බොහෝමයක් නම් ලියන්න තියේ. ඒව පසුව ප්‍රතිචාර වල කතා කරමු. නැතිනම් දැනටමත් දිග ඇදිල තියෙන සටහන තව දුරටත් දිග ඇදෙන්න පුලුවන්.

මේ වගේ ප්‍රශ්න කාලයට ඉඩදෙන්න. බොහෝ ප්‍රශ්න කාලය විසින් විසඳනවා ඇති. ඒ වගේම වේදනාව මැකිල ගියාම ආදරය කිරීමේ පසු බලපෑම් (After Effects) ඇතිවෙන්න පුලුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් ඒවට එහෙම්මම ඉන්න දීල නොසලකා හරින්න.

මීට අමතරව අසහනය මානසික අවපීඩන තත්වයක් තරමට දුරගියොත් කවුන්සලින් කරන විශ්වාසවන්නකෙනෙක් මුනගැහෙන එක බොහොම ඵලදායී ප්‍රතිඵල අරගෙන එන්න පුලුවන්. හැබැයි මගේ අවවාදය දෙරණෙ සිත් ගිමන්හල වගේ වැඩසහන්වල මාර්කට් කරන තරමට අවුල ඉදිරියට නොගෙන විශ්වාසවන්ත තැනකට, යාළුවෙක්ට සම්බන්ධවෙන එක වඩා හොඳයි. ඒ වගේම It’s Kind of a Funny Story චිත්‍රපටය බලන්නත් අමතක කරන්න එපා!

ඒ වගේම කායිකව දරුණු හදවත් වේදනා වලින් පෙලෙනවානම් ඒ වේදනාව දරාගන්න උත්සාහ කරන්න. අමාරුම තත්වයකට එනවානම් වෛද්‍යවරයෙක් මුනගැහෙන්න බය නැතිව.
ලිපිය අවසන් කිරීමට පෙර තවත් බ්ලොග් ලියන දෙදෙනෙක් කියපු දේවල් උපුටලා දක්වන්නම්.

ආනන්දවර්ධන: කෙනෙක් තමුන්ගේ ලෝකයට ආවම ඒ කෙනා වෙනුවෙන් නිර්මාණය වෙන ලෝකයක් තියෙනවනේ තමුන් තුළ. ඒක වෙනත් කෙනෙක් විසින් පුරවන එකක් නෙමේ. ඉතින් කොපමණ කලක ගියත් සමහර විට ඒ අවකාශය ඒ කෙනා සම්බන්ධ එකක්. වෙන අය ඇවිත් වෙනත් ලෝක නිර්මාණය කරන්න ඉඩ තියෙනව. ඉතින් ඕකයි වැඩේ. ස්වාභාවික සුවපත් වීමක් තමයි තියෙන්නෙ. ඒත් අර අවකාශය තියෙනව.

නොදරුවා:ප්‍රේමය අත්හදා බැලීමක්, එක්තරා විද්‍යා පරික්ශනයක්, සමහර විට හරි ගිහිල්ල තමන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිපලය ලැබෙන්නත් පුලුවන්. සමහර විට විනාසයක් වෙන්නත් පුලුවන්. නමුත් වැරෙදෙන පරීක්ශන වලින් අලුත් සොයා ගැනීම් වෙන්නත් පුලුවන්.

විශ්වාස කරන්න. හැමදේම හොඳ අතට හැරෙනවා. ඒ වගේම වැඩක් කරනකොට හරියට කරන්න. ආදරය කරනකොට ඒකත් හරියට කරන්න. 🙂

ප.ලි:
පාවුලෝ කොයියෝත් වෙන්වීම ගැන ගිවිසුමක් ලියල තියෙනවා. මේ තියෙන්නෙ ඒක: http://paulocoelhoblog.com/2010/08/21/convention-of-those-wounded-in-love-2/

Categories
කෙටි කතා ජීවිතේ නිර්මාණ

තවත් උදෑසනක්

මම අවදිවුනෙමි.

“අද ගෙදරද?”
අම්මා තේක රැගෙන මේසයෙන් තබා ඇඳේ තවමත් ගුලි වී සිටින මා දෙස බලාහිඳිමින් මගෙන් විමසුවාය.

ඔව්. අද ගෙදර. හවස පන්සල පැත්තෙ යන්න ඕනෙ.
ඒක හොඳයි. අද උපන්දිනේනෙ. පන්සල් යන්න. ඊයෙ රෑ බීල ආවෙ මොකද?

මම? නෑ. මම බිව්වෙ නෑ.

පුතා හැරෙනකොට මම දන්නව.
පුතා සිගරට් බොනව කියලත් මම දන්නව.

පුතා දැන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ. අවුරුදු 28ක්. ඉතින් මට පුතාව නවත්වන්න බැහැ. කොහොමවුනත් පොඩි කාලෙ ඉඳල අපිට පුතාව නවත්වන්න බැරිවුනානෙ. ඔය හිතුවක්කාරකම් නොකර ජීවිතේ ගෙනිච්චනං, අද පුතා හොඳ තැනක.

ඇයි? මං දැන් ඉන්නෙ හොඳ තැනක නෙවෙයිද? මම IT Consultant කෙනෙක්. Human Resource Manager කෙනෙක්. Event organizing company එකක් තියෙනව. ඒ මදිද?

පුතේ ජීවිතේ කියන්නෙ ඔය විදිහට හිරවෙලාම ඉන්න එක නෙවෙයි. අපිත් කොයි වෙලාවෙද කියන්න බැහැ. නරකද දැන්වත් වෙන දෙයක් ගැන හිතාගත්තොත්? අර පේරාදෙණිය පැත්තෙන් නිස්කාරණේ ඉඩමක් සල්ලි දීල ගත්ත. ඒ ඉඩම නිකන් කැලේ වෙනව. මොකටද එහෙන් ඉඩමක් ගත්තෙ?

මට ඕනෙනැති කසාදයක් නැහැ අම්මෙ. මම තව ටිකක් සල්ලි එකතු කරල පේරාදෙණියෙ ගෙයක් හදල එහෙට පදිංචියට යන්න කියලයි පේරාදෙණියෙන් පර්චස් හතක් ගත්තෙ.

ඉතින් කෝ ගියාද? කවදද යන්නෙ?

* * *
මම හරි ආසයි නුවරඑළියට. අපි මැරි කරල එහෙට යමු. මට ඕනෙ මේ හැමදේකින්ම ඈත් වෙලා ඔයා එක්ක ඉන්න.

ඇයි ඔයා කැමති නැද්ද නුවරට?

ආ… එහෙත් හොඳයි. එහෙනං ඔන්න නුවර. මම රට ගිහින් එනකොට ඔයා එහෙනං එහෙං ඉඩමක් අරගෙන තියන්න ඕනෙ. අපි දෙන්නම එකතු වෙලා පොඩි ගෙයක් හදමු. හරිද?

ඈ හුරතල් සිනාවෙන් මා ළඟට තුරුල් විය.

* * *

මොකද කතා නැත්තෙ?

නෑ. මුකුත් නෑ.
පුතේ. මිරිඟුවක් පස්සෙ යන්න එපා. ගෑනු කියන්නෙ පුදුම ජාතියක්. මමත් ගෑනියෙක්. ඔයා ඔය හීන මවාගෙන ඉන්න කෙනා ආයෙ එන්නෙ නැහැ. දැන්වත් හිත හදාගෙන, අලුත් දෙයක් ගැන හිතන්න. දැන් එයා අවුරුදු කීයකින් ඔයත් එක්ක කතා කරල නැත්ද?

හ්ම්…

අර ප්‍රපෝසල් එක ගැන මොකද කියන්නෙ?

මොන ප්‍රපෝසල් එකද?

අර තිස්සමහරාමෙ ගෑනු ළමය. ඔයාගෙ යාලුවගෙ නංගි.

අම්මට පිස්සුද? මම කැමති නෑ. මට ටිකක් පාඩුවෙ ඉන්න දෙන්න.

***
ඔයා හොඳට ඉගෙනගන්න, මම එහෙ ගිහින් එන්නං. අවුරුදු දෙකෙන් මම ඇවිත් ඔයාව මැරි කරල, ආයෙ යන්න වෙනව. ඒත් ඩිග්රි එක ඉවර කරල, මම එනව ඔයා එක්ක ඉන්න.

ඔයාත් හොඳට ඉගෙනගන්න. ඔයාට එහෙ හොඳ කෙනෙක් ලැබුනොත් මට කියන්න…

ආ… මෙන්න… අඬන්න එපා ළමයෝ… මම ඒක නිකමට කිව්වෙ…

මට වෙන කාටවත් ආදරය කරන්න බෑ මාලක, මම ආදරේ ඔයාට විතරමයි… ඔයා මම එනකන් ඉන්නව නේද? ඔයා මගෙ විතරමයි නේද?

ඔව් සඳුනි. ඔව්.

සඳුනි ප්‍රොමිස්?

සඳුනි ප්‍රොමිස්.
***
ඒ වසර මුලදීම අපි වෙන්වුනෙමු. ඒ අප නැවතත් මුනගැසෙන බලාපොරොත්තුවෙනි. ඈ යලි මුන ගැසෙන බව ඈ පැවසුවාය.

ඉන්පසු මා ඇය මුනගැසෙන්නට. ඈ කතාකරන්නට උත්සාහ කරද්දී ඈ මා ඉදිරියට පැමිණියේ නැත.

කිසිදු පෙර දැනුම්දීමකින් තොරව දුරකථනයෙන් ප්‍රතිචාර නොමැති විය.

සියලු සිහින බිඳ වැටෙද්දි පාසලට කළ සියලු බැලමෙහෙවරකම් සියල්ල පසෙකලා සියයට අසූව ප්‍රතික්ෂේප විය.

සියල්ල අහිමිවෙමින් පවතිද්දී මා නිසා පියා රෝගාතුරුවන්නට විය…

ඈ ගැන බලාපොරොත්තු හිතෙන් ඉවත් නොවීමට හේතු රැසක් විය. ඈ වෙනුවෙන් සහ දෙමාපියන් වෙනුවෙන් උත්සාහය අත නොහැරියෙමි.

අද මා මෙතැන ඇත. ඒත් ඈ තවමත් මෙතැන නැත.

ඇයි ඔච්චර පරක්කු?
***

අම්මේ… මෙතන තිබ්බ පොත දැක්කද?
මොකක්ද?
කොලරා කාලේ ආලේ..
ඔය ඇඳ යට බලනවා… මම දැක්ක ඒක ඇඳ යට තියෙනව අතුගාද්දි.