Categories
ඉසව් පොත් විවිධ

කාලය සහ අවකාශයෙන් මිදීම නොහොත් (දෙවෙනි වතාවට) දිව්‍ය ලෝක ගත වීම

ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ගොනා හැරෙනකොට වගේ දන්නවා ඇති ‍මොකක් ගැනද මේ ලියන්න යන්නෙ කියලා. දිව්‍ය ලෝකය, සැප්තැම්බර් මාසයත් එක්ක බ්ලොග් එකත් එකතු වුනාම නිර්මාණය වෙන්නේ අමුතුම බ්ලොග් සටහනක් (කලින් එක) කියලයි මටනං හිතෙන්නෙ.

ඔව්. ඔන්න මම මේ අවුරුද්දෙත් ගිය අවුරුද්දෙ වගේම (ජාත්‍යන්තර) පොත් ප්‍රදර්ශනය බලන්න ගියා කියමුකෝ. ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දිව්‍ය ලෝකයක්ම තමයි. දිව්‍යලෝකයෙන් මිහිබට සුරංගනාවෝ පොත් තෝරනවා. අපි සුරං‍ගනාවෝ තෝරනවා. වැඩේ හරියන්නෑ. සුරංගනාවොත් එක්ක දෙවිවරුත් ඇවිල්ලා. ඉතින් අපිට නෝ චාන්ස්. දැකීමෙන් පමණක් සිත් පහන් කරගෙන. ඔන්න පොත් සමඟ සුරංගනාවෝ තෝරන්න පටන්ගත්තා.

යන්න හිටියේ ඉරිදා දවසේ වුනත්. අදම යන්න හිතිලා… අදම ගියා නෙවෙයි යැවුනා. මේ පාර ගියේ තනියම. තනියම ගියේ තනියම යන්න ඕනේ කියලා අදහසකින් නෙවෙයි. අපේ ගැන්සියේ එක්කෙනෙක්ට සම්බාධක. අනිත් කෙනාත් ලෙඩ වෙලා. අනිත් කෙනා නුවර ගිහිල්ලා. ඉතින් මං විතරයි. තනියම ඉන්න එකේ, තනියම ගිහිල්ලා බලන එක නරකද කියලා හිතලා ‍ඔන්න ගියා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. පොකට් එක සඳහා අනුග්‍රහය අමාරුවෙන් අම්මාටයි, තාත්තාටයි කියලා පාස් කරවගෙන රුපියල් දහයක ටිකට් එකකුත් අරගෙන ඇතුල් වුනා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට.

මට මේ පොත් ප්‍රදර්ශනයට “ජාත්‍යන්තර” කියලා කියන්නේ ඇයි කියලා තිබුනේ ලොකුම අවුලක්. මට ඉතින් කිසි ජාත්‍යන්තර ගතියක් දැනුනේ නෑ හේතුවකට හරි ‍අහේතුවකට හරි. ඒත්, ඇයි ජාත්‍යන්තර කියලා කියන්නේ කියලා පොඩි අදහසක් නම් ඔළුවට ආවා. සමහර විට සාහිත්‍යකාරයෝම එකතු වෙලා සංවිධානය කෙරෙන ඉසව්වක් නිසා… ව්‍යංගාර්ථයෙන්ම ජාත්‍යන්තර කියලා නම් කරන්න හේතුවක් තියෙන්න ඕනෙ.

ජාත්‍යන්තර කියලා කියන්නේ, ඔය ජාතීන් අතර කියන එකනේ. ඉතින් මෙතනට එන්නෙත් එක එක ජාතියේ අය තමයි.

කොටට ඇඳපු අය
දිගට ඇඳපු අය
ඩෙනිම් ගහපු අය
සරම ඇඳපු අය
රැවුල වවපු අය
රැවුල කපපු අය
රැවුල වැවෙන්න ඉන්න අය
වයසක අය
තරුණ අය
අත දරුවො
අම්මල
තාත්තල
අයියල
අක්කල
නංගිලා
දේශප්‍රේමී අය
දේශද්‍රෝහී අය
ක්ලාස් ගිහිල්ල එන අය
ක්ලාස් කට් කරල එන අය
ක්ලාස් යනවා කියල එන අය
පොත් බලන්න එන අය
ගෑනු ළමයි බලන්න එන අය
පොතුයි ගෑනු ළමයිතුයි බලන්න එන අය
උදේට කාලා එන අය
දවල්ටත් එක්කම කාලා එන අය

ඉතින් ඔය එක එක විදිහේ ජාතීන්ට අදාල නිසා. මේකට ජාත්‍යන්තර කියලා කියන එකෙත් ඇති වැරැද්දක් නෑ කියලා තමයි ඉතින් මටත් හිතෙන්නෙ. පොත් අඩුවට දෙන එකම විතරයි මටනං මේපාර වි‍ෙශ්ෂයක් කියලා දැනුනේ. මොකද ගිය පාර තිබුන පොත් ප්‍රදර්ශනයම තමයි මේ පාරත්. මටනං දැනුනෙ එහෙම. කට්ටියට පොතක් නිද‍හසේ තෝරගන්න කියවලා බලන්න නොලැබීම ලොකුම පාඩුවක්. අනික කඩු පොතක ගාන දැක්කාම කඩුවක දෙපැත්තෙ කඹ දෙකක් ගැටගහල කොහේ හරි එල්ලගෙන සිය දිවි නසාගන්න හිතෙන තරම්. කඩුවෙන් කපාගන්න එක ඒ තරම්ම ගණං!

තනියම යන එකේ ලොකු නිදහසක් ලැබෙනවා. මොකද පොත් ප්‍රදර්ශනේට යන්නේ පොත් ගන්නවාමයි කියන අදහසකින් යනවානං. මොකද කිව්වොත් සාපේක්ෂව නිදහසේ පොත් තෝරන්න ලැබෙනවා නෙව.

මේ පාර අධ්‍යාපනික වැදගත්කමකින් තියෙන පොත් වලට වඩා හිත ගියේ ටිකක් සාහිත්‍යයට බර පොත් වලට. ප්‍රියතම ලේඛකයා වෙන ලියනගේ අමරකීර්ති සූරීන්ගේ මුල් කාලයේ පොත් හෙව්වත් හොයාගන්න නම් ලැබුනෙ නැති එක ලොකු දුකක්. සමහර විට තියෙන්නත් ඇති. ඒත් මඟඇරෙන්න ඇති. ලියනගේ අමරකීර්ති සූරින්ගෙන් හොයපු පොත් ලැයිස්තුවේ තිබුනේ…

‍මානව භක්තිය හා සිත්තරා, රළ, නන්දන උයන, මම දැන් නිදමි, විල සහ මල කියන කෙටි කතා පොත් වගේම මහකන්ද පාමුල කියන නවකතාව. ඒ ටික තිබ්බානං අනිවාර්යයෙන්ම අනිත් පොත් ටික අඩුකරලා ඒ ටිකම තමයි අරගන්නෙ.

ඒ වගේම… හොය හොය හිටපු මංජුල වෙඩිවර්ධනයන්ගේ බත්තලංගුණ්ඩුව පොතත් අරගන්න ලැබුනා. ඒක ලොකු දෙයක්. ඊළඟට මහගම සේකර සූරීන්ගේ බෝඩිම, හෙට ඉරක් පායයි, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, මක්නිසාද යත් කියන කාව්‍යමය ප්‍රබන්ධ පොත් ටිකත් අරගන්න ලැබුනා. ඊළඟට දෙ‍දාස් අට (2008) අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනපු කවි පොත වෙන ලක්ශාන්ත අතුකෝරලයන්ගේ “යටි වියන” පොතත් අරගන්න ලැබුනා.

කවි කියවන්න ඇතිවුන පෙළැඹවීමත් නිසාම තමයි කවි පොත් වලට මේ පාර වැඩිපුර අවදානයක් යොමු වුනේ ඉබේටම. ඊළඟට බූන්දියේ කට්ටිය ප්‍රකාශයට පත් කරා කියලා දැනගන්න ලැබුනු “අක්ෂර සෙනඟ” පොතටත් හිත ගියේ අන්තර්ජාලයේ අපේ කට්ටියගේ කවි ටිකක්, කෙටි කතා ටිකක් ළඟ තියාගන්න තිබුන අවශ්‍යතාව නිසයි. ඊළඟට සුනිල් විජේවර්ධනයන් විසින් රචනා කෙ‍රුන රත්නවල්ලි නාට්‍යයේ පොතටත් හිත ගියා.

නවකතා නම් හතරයි අරගන්න ලැබුනේ. මේ පාර. මේ අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනපු නවකතාව වෙන සුනේත්‍රා රාජකරුණානායක සූරිනියගේ “පොදු පුරුෂයා” පොතත්, උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ “සරසවි දියණියෝ” පොතත්, සත්‍යජිත් රායි විසින් ලියැවුනු ගුණතිලක මැටිය‍ගනේ අතින් පරිවර්තනය වුන “මම භූතයෙක්මි” කියන පොතත් අවසාන වශයෙන් තාරකා වාසලමුදලිගේ “දෙහි” පොතත් අරගන්න ලැබුනා. මං ආසාවෙන් හිටියේ තාරකා වාසලමුදලිගේ පොත් කියවන්න. ඉතින් ‍ඒකට පළවෙනි පියවර විදිහට තමයි මේ පොත.

ඔන්න චන්දන මෙන්ඩිස් මේ අවුරුද්දෙත් ෂර්ලොක් හෝම්ස් පොතක් නිකුත් කරලා තියෙනවා දැක්කා. හැබැයි මේ පාර නං අතට අරගෙන උඩින් පල්ලෙන් බලලා ආයෙත් තිබ්බ තැනම තිබ්බා මිසක් ගන්න හිතක් පහල වුනේ නෑ. වෙනද පුරුද්දට ‍වගේ ෂර්ලොක් හෝම්ස් පොතක් ගත්තත්. දැන් ෂර්ලොක් හෝම්ස්වත් කණගාටුදායක ලෙස එපාකරවලා තියෙන නිසා මේ පොත ගන්න ගියේ නෑ. ඉස්සරහට එන එව්වා ගන්නෙත් නෑ කියලා හිතාගත්තා. කොහෙන්හරි හම්බවුනොත් කියවනවා කියලා විතරක් හිතාගෙන.

කොහොමහරි පොතුයි- ගැනුළමයිතුයි-කොකාකෝලයි-මායි ඔක්කොම එකට ඇඹරිලා දවල් මඤ්ඤං වෙලා ඉන්නකොට. අපේ යාලුවෝ ටිකකුත් පොත් ප්‍රදර්ශනේට සේන්දු වුනා. ඒ අයත් එක්කත් කතාවෙන් කතාවෙන් හතර වටේ ඇවිදිනකොට…

අන්න සිරා පොතක් පොතක්!
නෑ බූරුවො! ඒ කෙල්ලෙක් කෙල්ලෙක්!

හුටා. පොතුයි ගෑනුයි දෙගොල්ලෙම පැටලිලා ගිහිල්ලා 😀

තව ඉතින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය වෙන ග්‍රීක දර්ශනය ගැන පොතකුයි, රාජ්‍ය ගැන ලියවුන පොතකුයි, සුභාශිතයයි, ලෝවැඩ සඟරාවයි අරගෙන ගෙදරට එන්න පිටත්වුනා.

බස් එකේ එනකොට හිතිච්ච දේ තමයි ටිකක් පොත් රාක්ක අතර දුර වැඩිවුනානං හොඳයි කියන එක 😀


පසු ලිවීම:

1. ඔය විකීපීඩියා ලිපි වලට දාලා තියෙන යොමු මට නිකං ඉන්න බැරුව හිටිය වෙලාවක පටන්ගත්ත පිටු ටිකක් (මහගම සේකර පිටුව ඇරෙන්න අනිත්වා). ඔන්න පුලු පුලුවං අය ඒවා සංස්කරණය කරන්න අමතක කරන්න එපා!

2. මේ ලිපියේ සමහර තැන් වලට (ගෑනු ළමයි ගැන) ලියලා තියෙන එව්වා මනඃකල්පිතව සටහන ලස්සන‍ වේවි කියලා හිතලා කුළුබඩු විදිහට එකතු කරපු එව්වා. මටනං දැන් ගෑනු ළමයි එපා වෙලා තියෙන්නේ! 😀

Categories
අධ්‍යාපනික විශේෂාංග ලිපි

ලංකාවේ අධ්‍යාපනයට නව මුහුනුවරක් අවශ්‍ය ඇයි…

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට වෙනසක් අවශ්‍ය ඇයි?අධ්‍යාපනික වශයෙන් යල් පැනගිය ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන රටාව කාලානුක්‍රමිකව වෙනස් වීමේ තදබල අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින ශිෂ්‍ය අසහනය පිළිබඳව සලකා බැලීමේදී මතුවූ තදබල අවශ්‍යතාවකි. වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු. විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් වීමේදී ශිෂ්‍යයින්ට මුහුනපාන්නට සිදුවන ගැටලු සහ වාර විභාග වලට මුහුනදීමට නොහැකිව සියදිවි නසාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ යමින් පවතින යුගයකි මේ. නිසි බලධාරීන් නිසි පියවර නොගතහොත් අඳුරට යැවෙන්නේ මේ රටේ අනාගතයයි. මේ රටේ ශිෂ්‍ය ප්‍රජාවයි. සියලුම අංශ හී වගකීම රජයකට, ආණ්ඩුවකට පැවරීම වර්තමානයට නොගැලපෙන කරුණකි. අවශ්‍යවන්නේ රජය අවශ්‍ය කරනු ලබන ප්‍රතිපාදන නිසි ලෙසින් නිසියාකාරව සපයා වඩාත් ශක්තිමත් අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය වීමට ඉඩහසර සැලසීම ය. ර‍ටක, එසේත් නැතිනම් යම් කිසි භූගෝලීය වපසරියක් තුළ අනාගතය පදනම් වන්නේ එරට අධ්‍යාපනික පදනම හරහා වේ. එබැවින් වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුතු පාසල්, විශ්ව විද්‍යාල නිර්මාණය වීම අත්‍යවශ්‍ය කරුණකි. පාසල් තුළ පවතින ශිෂ්‍ය අසහනකාරී තත්වයන් උදා වීමට ප්‍රධානතම හේතුව කාලානුක්‍රමිකව යාවත්කාලීන නොවන ගුරු පද්ධතියක් සිටීම සහ විෂය නිර්දේශයක් නිර්මාණය වී තිබීම ය.

අධ්‍යයන අවකාශයක් තුළ ශිෂ්‍යයා වඩාත් නිදහස් පුද්ගලයෙක් බවට පත් නොකර විෂය නි‍ර්දේශයකට පමණක් සීමා කරවීම නිසා ශිෂ්‍යයා පත්වන අපහසුතාව මෙතෙකැයි කිය නොහැක. උදාහරණයක් වශයෙන් උසස් පෙළ ශිෂ්‍යයා, උසස් පෙළ විභාගයට මුහුනදීම සඳහා 80%ක පාසල් පැමිණීම සටහන් කළ යුතු ය. මෙයින් ශිෂ්‍යයා තව දුරටත් විෂය නිර්දේශයටම සහ පාසල් භූමියටම සීමා කිරීම පමණක් සිදුවන අතර එයින් බලාපොරොත්තු විය හැකි යහපතක් නොමැත. පවතින විභාග ක්‍රමය තුළ ඉහළට යාමට නම් බහුතරයක් උප‍යෝගී කරගන්නා ක්‍රියාමාර්ගය වනුයේ පොතෙහිම ඇලී ගැලී බාහිර කාල්පනිකත්වයකින් තුරුව විෂය නිර්දේශ අධ්‍යයනයෙහි නියැලීම ය. එය වූ කලී සීමිත පිරිසකට පමණක් යෝග්‍ය වන කරුණක් මිසක විවිධ වූ දක්ෂතාවන්ගේ නිරත පාසල් සිසුන්ට සිදුවන අසාධාරණයකි. වි‍ශේෂයෙන්ම ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට ආවේණික වූ අධ්‍යයන ක්‍රමවේදයක් ඇත. එලෙස ගත් කල මේ ක්‍රමය හරහා බිහිවන්නේ තවදුරටත් ආත්මාර්ථකාමීත්වයට යොමු වූ සමාජයට වෛර කරන “බුද්ධිමත්” “උගත්” ප්‍රජාවක් පමණි.

ඒ ආකාරයෙන් වර්තමාන අධ්‍යාපන රාමුවෙන් මිදී තමාටම ආවේණික ක්‍රමයන් හරහා ඉදිරියට පැමිණි පිරිස් සැලකිල්ලට ගැනීමේදී එයින් බහුතරයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පිරිසකි. ඔවුන් තමන්ට ලැබෙන අධ්‍යාපනික අවකාශය පිළිබඳ දැනීම සහ අතැති මුදල් නිසාවෙන් අනෙකුත් අධ්‍යාපනික මූලාශ්‍රයන් හඹායෑමේ සමත්කම් දක්වයි. වර්තමානයේ කොළඹින් බැහැර පෙදෙස්වලින් ඉදිරියට පැමිණ ජීවිතය ජයගනු ලබන්නේ සැලකිය යුතු සුලු පිරිසක් පමණි.‍ ඒ තමන්ගේ ඇති ආසාව නිසාම පමණක් මිස වෙනත් උත්ප්‍රේරකයක් නිසා නොවේ.

සත්‍ය නම් අධ්‍යාපනික රාමුවෙන් මිදී පැමිණීමට ස්වෝත්සාහය අවශ්‍ය බවයි. නමුත්. එලෙස ස්වෝත්සාහී වීමට පවතින අධ්‍යාපනය ක්‍රමයෙන් උත්ප්‍රේරක ලැබෙන්නේද?

නැත. කිසිසේත්ම නැත. පාසලේ ඉගැන්විය යුතු නිසා ගුරුවරුන් උගන්වන අතරතුර ඉගෙනගත යුතු නිසා සිසුන් ඉගෙනීමෙහි නිරත වෙයි. වඩාත් ලෝකයට විවෘත විය යුතු උසස් පෙළ සිසුවාද සංවෘත කරදමන්නේ අධ්‍යාපන ක්‍රමයයි. අවසානයේ බිහිවන්නේ පෙර කී පරිදි සමාජයට වෛර කරන ප්‍රජාවකි.

මෙය 100%ක්ම සාධාරණීයකරණය කිරීමට නොහැකි වූවත් අවම වශයෙන් 85%ක ප්‍රතිශතයකින්වත් සාධාරණීයකරණය කළ හැකි තත්වයකි. වහාම මේ ක්‍රමයන් වෙනස් නොවන්නේ නම් ඉදිරියේදී රටක් වශයෙන් සහ භූගෝලීය බිම් ප්‍රදේශයක් වශයෙන් මුහුන දීමට සිදුවන අපහසුතාව ගණනය කළ ‍නොහැක.

‍‍මේ සඳහා තවදුරටත් කෑ ගැසීමෙන් ඇතිවන ප්‍ර‍යෝජනයක් නැත. අප අපම හැකි පමණින් විසඳුම් ඉදිරිපත් නොකළහොත් මේ සඳහා පියවරක් කා හටවත් තැබීමට නොහැකි වනු ඇත. පුළුන් කොට්ට මත මොළය තබා ඒ මත වාඩි වී සිහිල් වායු සමීකරණ සුළං රැල්ලෙන් සිත සනහා තීන්දු තීරණ ගන්නා යුගයක. අප අපම වහ වහා විසඳුම් යෝජනාකරමින් පතුරුවා හැරිය යුතු ය. ඒ තුවක්කුවෙන් නොවේ. අවිහිංසකවාදී ප්‍රතිපත්තිමය විලාශයෙනි. එවිට අපට නොමැති වුවත් අපගේ ඉදිරි පරම්පරාව‍ට එයින් යම්කිසිම හෝ ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකි වනවා නියත ය.

ශිෂ්‍යත්වයේදී සමත්කම් නොපෑ ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ දී සමත්කම් ප්‍රදර්ශනය කළ හැක. එසේත් නැතිනම් උසස් පෙළ මට්ටමේදී සමත්කම් ප්‍රදර්ශනය කළ හැක. නොඑසේනම් පසුකාලීනව තම හැකියාවන් ඉදිරිපත් කරනු ඇත. මේ බව තේරුම්ගනිමින් එක්තරා සීමාවකට කොටු නොකර. ශිෂ්‍යයින් සියල්ලන්ම එකම මට්ටමකැයි නොසලකා නිදහස් අධ්‍යාපනික වාතාවරණයක් නිර්මාණ කළ යුතු ය. විෂය නිර්දේශයකට අනුකූලව ඉගැන්වීමෙහි සහ ඉගෙනීමෙහි නිරත විය යුතු ය. නමුත් ශිෂ්‍යයා එයට කොටු නොකළ යුතු ය.

සත්‍ය වශයෙන්ම අතිරේක පන්ති ශිෂ්‍යයාගේ අධ්‍යාපනය අවකාශය සීමා කර දමනු ලබයි. අතිරේක පන්ති වලින් ලබන්නේ අතිරේක දැනුමක් නොව විෂය නි‍ර්දේශයටම සීමා කරන ලද දැනීමකි. පාසලේ ඉගැන්වෙන දෙය ඊට පෙර ඉගෙන යාමට අවශ්‍ය කරනු ලබන කටයුත්ත එයින් ඉටුවනවා පමණක්ම මිස ‍ඇතිවන විශේෂ දැනුමක් නොමැත. අතිරේක පන්ති වලට යොමුවන්නේ පාසල තුළ ඉගැන්‍වීම් නිසියාකාරයෙන් සිදුනොවෙතැයි යන සිතුවිල්ලෙනි. එනිසාවෙන් අතිරේක පන්ති වෙත යොමු නොවී පාසල තුළම සහ එයින් බාහිරව අන්තර්ජාලය හා පොත් පත් ඇසුරින් දැනුම ‍සොයා යාමේ ක්‍රමවේදයක් නිර්මාණය වී යුතු ය. ශිෂ්‍යයා වඩාත් දැනුවත් වෙන්නේ එකතැන හිඳිමින් ඉගෙනීමෙන් නොව දැනුම සොයා යාමෙනි.

තවත් කරුණක් නම් ඇතැම් පාසල් වල ගුරුවරුන්ගේ සහ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ක්‍රියා කලාපයයි. පාසල ක්‍රියාත්මක විය යුත්තේ අධ්‍යාපනික වශයෙන් මිස පාසල පවුල් සහ සමාජ සම්බන්ධතා වෙත අත නොදැමීමේ බලවත් අවශ්‍යතාව මේ වන විට මතු වෙමින් පවතී. පසුගිය දිනෙක තම පෙම් සම්බන්ධතාව පාසලට ආරන්චි වී තම දෙමව්පියන් පාසලට කැඳවන්නට යැයි ලැබූ නියෝගයත් සමඟ අත්තන ඇට කා සිය දිවි නසාගත් පුවතක් වාර්තා විය. සමාජ සම්බන්ධතාවන්ට අත දැමීම බරපතල කරුණකි. එය අධ්‍යාපනය සම්බන්ධ ගැටලුවක් නොව හැඟීම් හා දැනීම් සම්බන්ධ ගැටලුවකි. පාසල විසින් එලෙස දෙමාපියන් කැඳවන්නටැයි නියෝග කිරීමද, සියදිවි නසාගැනීමද අතිශයින්ම පිළිකුල් සහගත කරුණු බව නැවත නැවතත් සිහිකැඳවිය යුතු නැත. සියදිවි නසාගැනීමට මෙහිදී මුලික හේතුව නිසි සමාජ දැනීමක් නොමැති වීමද, නිසි සමාජ දැනීමක් නොමැති වීමට හේතුව වන්නේද පෙර කී පරිදි විෂය නිර්දේශයන්ට සහ පාසලට පමණක් සිසුවා කොටු කර තැබීම ය. සමාජ අවබෝධය ඇතිවන්නේ සමාජය සමඟ කටයුතු කිරීමෙනි. එය විෂය නි‍ර්දේශයකින් ඉගෙනිය නොහැක. එය ඉගෙනගත හැක්කේ සමාජය සමඟ ගැටීමෙන්, සාහිත්‍ය කලා අධ්‍යයනයෙන්, නව කතා – කෙටි කතා පරිශීලනයෙනි. නමුත් එලෙස වටපිටාවක් වර්තමානයේ නිර්මාණය වී නොමැති බව පවසන්නට සිදුව ඇත්තේ කණගාටුවෙනි. මේ මිය යන්නේ රටේ අනාගතයයි.


සියදිවි නසාගැනීමේ ප්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් කළ සුපුන් බුධාජීව සොහොයුරාට තුති.