කාලය සහ අවකාශයෙන් මිදීම නොහොත් (දෙවෙනි වතාවට) දිව්‍ය ලෝක ගත වීම

ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ගොනා හැරෙනකොට වගේ දන්නවා ඇති ‍මොකක් ගැනද මේ ලියන්න යන්නෙ කියලා. දිව්‍ය ලෝකය, සැප්තැම්බර් මාසයත් එක්ක බ්ලොග් එකත් එකතු වුනාම නිර්මාණය වෙන්නේ අමුතුම බ්ලොග් සටහනක් (කලින් එක) කියලයි මටනං හිතෙන්නෙ.

ඔව්. ඔන්න මම මේ අවුරුද්දෙත් ගිය අවුරුද්දෙ වගේම (ජාත්‍යන්තර) පොත් ප්‍රදර්ශනය බලන්න ගියා කියමුකෝ. ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දිව්‍ය ලෝකයක්ම තමයි. දිව්‍යලෝකයෙන් මිහිබට සුරංගනාවෝ පොත් තෝරනවා. අපි සුරං‍ගනාවෝ තෝරනවා. වැඩේ හරියන්නෑ. සුරංගනාවොත් එක්ක දෙවිවරුත් ඇවිල්ලා. ඉතින් අපිට නෝ චාන්ස්. දැකීමෙන් පමණක් සිත් පහන් කරගෙන. ඔන්න පොත් සමඟ සුරංගනාවෝ තෝරන්න පටන්ගත්තා.

යන්න හිටියේ ඉරිදා දවසේ වුනත්. අදම යන්න හිතිලා… අදම ගියා නෙවෙයි යැවුනා. මේ පාර ගියේ තනියම. තනියම ගියේ තනියම යන්න ඕනේ කියලා අදහසකින් නෙවෙයි. අපේ ගැන්සියේ එක්කෙනෙක්ට සම්බාධක. අනිත් කෙනාත් ලෙඩ වෙලා. අනිත් කෙනා නුවර ගිහිල්ලා. ඉතින් මං විතරයි. තනියම ඉන්න එකේ, තනියම ගිහිල්ලා බලන එක නරකද කියලා හිතලා ‍ඔන්න ගියා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. පොකට් එක සඳහා අනුග්‍රහය අමාරුවෙන් අම්මාටයි, තාත්තාටයි කියලා පාස් කරවගෙන රුපියල් දහයක ටිකට් එකකුත් අරගෙන ඇතුල් වුනා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට.

මට මේ පොත් ප්‍රදර්ශනයට “ජාත්‍යන්තර” කියලා කියන්නේ ඇයි කියලා තිබුනේ ලොකුම අවුලක්. මට ඉතින් කිසි ජාත්‍යන්තර ගතියක් දැනුනේ නෑ හේතුවකට හරි ‍අහේතුවකට හරි. ඒත්, ඇයි ජාත්‍යන්තර කියලා කියන්නේ කියලා පොඩි අදහසක් නම් ඔළුවට ආවා. සමහර විට සාහිත්‍යකාරයෝම එකතු වෙලා සංවිධානය කෙරෙන ඉසව්වක් නිසා… ව්‍යංගාර්ථයෙන්ම ජාත්‍යන්තර කියලා නම් කරන්න හේතුවක් තියෙන්න ඕනෙ.

ජාත්‍යන්තර කියලා කියන්නේ, ඔය ජාතීන් අතර කියන එකනේ. ඉතින් මෙතනට එන්නෙත් එක එක ජාතියේ අය තමයි.

කොටට ඇඳපු අය
දිගට ඇඳපු අය
ඩෙනිම් ගහපු අය
සරම ඇඳපු අය
රැවුල වවපු අය
රැවුල කපපු අය
රැවුල වැවෙන්න ඉන්න අය
වයසක අය
තරුණ අය
අත දරුවො
අම්මල
තාත්තල
අයියල
අක්කල
නංගිලා
දේශප්‍රේමී අය
දේශද්‍රෝහී අය
ක්ලාස් ගිහිල්ල එන අය
ක්ලාස් කට් කරල එන අය
ක්ලාස් යනවා කියල එන අය
පොත් බලන්න එන අය
ගෑනු ළමයි බලන්න එන අය
පොතුයි ගෑනු ළමයිතුයි බලන්න එන අය
උදේට කාලා එන අය
දවල්ටත් එක්කම කාලා එන අය

ඉතින් ඔය එක එක විදිහේ ජාතීන්ට අදාල නිසා. මේකට ජාත්‍යන්තර කියලා කියන එකෙත් ඇති වැරැද්දක් නෑ කියලා තමයි ඉතින් මටත් හිතෙන්නෙ. පොත් අඩුවට දෙන එකම විතරයි මටනං මේපාර වි‍ෙශ්ෂයක් කියලා දැනුනේ. මොකද ගිය පාර තිබුන පොත් ප්‍රදර්ශනයම තමයි මේ පාරත්. මටනං දැනුනෙ එහෙම. කට්ටියට පොතක් නිද‍හසේ තෝරගන්න කියවලා බලන්න නොලැබීම ලොකුම පාඩුවක්. අනික කඩු පොතක ගාන දැක්කාම කඩුවක දෙපැත්තෙ කඹ දෙකක් ගැටගහල කොහේ හරි එල්ලගෙන සිය දිවි නසාගන්න හිතෙන තරම්. කඩුවෙන් කපාගන්න එක ඒ තරම්ම ගණං!

තනියම යන එකේ ලොකු නිදහසක් ලැබෙනවා. මොකද පොත් ප්‍රදර්ශනේට යන්නේ පොත් ගන්නවාමයි කියන අදහසකින් යනවානං. මොකද කිව්වොත් සාපේක්ෂව නිදහසේ පොත් තෝරන්න ලැබෙනවා නෙව.

මේ පාර අධ්‍යාපනික වැදගත්කමකින් තියෙන පොත් වලට වඩා හිත ගියේ ටිකක් සාහිත්‍යයට බර පොත් වලට. ප්‍රියතම ලේඛකයා වෙන ලියනගේ අමරකීර්ති සූරීන්ගේ මුල් කාලයේ පොත් හෙව්වත් හොයාගන්න නම් ලැබුනෙ නැති එක ලොකු දුකක්. සමහර විට තියෙන්නත් ඇති. ඒත් මඟඇරෙන්න ඇති. ලියනගේ අමරකීර්ති සූරින්ගෙන් හොයපු පොත් ලැයිස්තුවේ තිබුනේ…

‍මානව භක්තිය හා සිත්තරා, රළ, නන්දන උයන, මම දැන් නිදමි, විල සහ මල කියන කෙටි කතා පොත් වගේම මහකන්ද පාමුල කියන නවකතාව. ඒ ටික තිබ්බානං අනිවාර්යයෙන්ම අනිත් පොත් ටික අඩුකරලා ඒ ටිකම තමයි අරගන්නෙ.

ඒ වගේම… හොය හොය හිටපු මංජුල වෙඩිවර්ධනයන්ගේ බත්තලංගුණ්ඩුව පොතත් අරගන්න ලැබුනා. ඒක ලොකු දෙයක්. ඊළඟට මහගම සේකර සූරීන්ගේ බෝඩිම, හෙට ඉරක් පායයි, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, මක්නිසාද යත් කියන කාව්‍යමය ප්‍රබන්ධ පොත් ටිකත් අරගන්න ලැබුනා. ඊළඟට දෙ‍දාස් අට (2008) අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනපු කවි පොත වෙන ලක්ශාන්ත අතුකෝරලයන්ගේ “යටි වියන” පොතත් අරගන්න ලැබුනා.

කවි කියවන්න ඇතිවුන පෙළැඹවීමත් නිසාම තමයි කවි පොත් වලට මේ පාර වැඩිපුර අවදානයක් යොමු වුනේ ඉබේටම. ඊළඟට බූන්දියේ කට්ටිය ප්‍රකාශයට පත් කරා කියලා දැනගන්න ලැබුනු “අක්ෂර සෙනඟ” පොතටත් හිත ගියේ අන්තර්ජාලයේ අපේ කට්ටියගේ කවි ටිකක්, කෙටි කතා ටිකක් ළඟ තියාගන්න තිබුන අවශ්‍යතාව නිසයි. ඊළඟට සුනිල් විජේවර්ධනයන් විසින් රචනා කෙ‍රුන රත්නවල්ලි නාට්‍යයේ පොතටත් හිත ගියා.

නවකතා නම් හතරයි අරගන්න ලැබුනේ. මේ පාර. මේ අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනපු නවකතාව වෙන සුනේත්‍රා රාජකරුණානායක සූරිනියගේ “පොදු පුරුෂයා” පොතත්, උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ “සරසවි දියණියෝ” පොතත්, සත්‍යජිත් රායි විසින් ලියැවුනු ගුණතිලක මැටිය‍ගනේ අතින් පරිවර්තනය වුන “මම භූතයෙක්මි” කියන පොතත් අවසාන වශයෙන් තාරකා වාසලමුදලිගේ “දෙහි” පොතත් අරගන්න ලැබුනා. මං ආසාවෙන් හිටියේ තාරකා වාසලමුදලිගේ පොත් කියවන්න. ඉතින් ‍ඒකට පළවෙනි පියවර විදිහට තමයි මේ පොත.

ඔන්න චන්දන මෙන්ඩිස් මේ අවුරුද්දෙත් ෂර්ලොක් හෝම්ස් පොතක් නිකුත් කරලා තියෙනවා දැක්කා. හැබැයි මේ පාර නං අතට අරගෙන උඩින් පල්ලෙන් බලලා ආයෙත් තිබ්බ තැනම තිබ්බා මිසක් ගන්න හිතක් පහල වුනේ නෑ. වෙනද පුරුද්දට ‍වගේ ෂර්ලොක් හෝම්ස් පොතක් ගත්තත්. දැන් ෂර්ලොක් හෝම්ස්වත් කණගාටුදායක ලෙස එපාකරවලා තියෙන නිසා මේ පොත ගන්න ගියේ නෑ. ඉස්සරහට එන එව්වා ගන්නෙත් නෑ කියලා හිතාගත්තා. කොහෙන්හරි හම්බවුනොත් කියවනවා කියලා විතරක් හිතාගෙන.

කොහොමහරි පොතුයි- ගැනුළමයිතුයි-කොකාකෝලයි-මායි ඔක්කොම එකට ඇඹරිලා දවල් මඤ්ඤං වෙලා ඉන්නකොට. අපේ යාලුවෝ ටිකකුත් පොත් ප්‍රදර්ශනේට සේන්දු වුනා. ඒ අයත් එක්කත් කතාවෙන් කතාවෙන් හතර වටේ ඇවිදිනකොට…

අන්න සිරා පොතක් පොතක්!
නෑ බූරුවො! ඒ කෙල්ලෙක් කෙල්ලෙක්!

හුටා. පොතුයි ගෑනුයි දෙගොල්ලෙම පැටලිලා ගිහිල්ලා 😀

තව ඉතින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය වෙන ග්‍රීක දර්ශනය ගැන පොතකුයි, රාජ්‍ය ගැන ලියවුන පොතකුයි, සුභාශිතයයි, ලෝවැඩ සඟරාවයි අරගෙන ගෙදරට එන්න පිටත්වුනා.

බස් එකේ එනකොට හිතිච්ච දේ තමයි ටිකක් පොත් රාක්ක අතර දුර වැඩිවුනානං හොඳයි කියන එක 😀


පසු ලිවීම:

1. ඔය විකීපීඩියා ලිපි වලට දාලා තියෙන යොමු මට නිකං ඉන්න බැරුව හිටිය වෙලාවක පටන්ගත්ත පිටු ටිකක් (මහගම සේකර පිටුව ඇරෙන්න අනිත්වා). ඔන්න පුලු පුලුවං අය ඒවා සංස්කරණය කරන්න අමතක කරන්න එපා!

2. මේ ලිපියේ සමහර තැන් වලට (ගෑනු ළමයි ගැන) ලියලා තියෙන එව්වා මනඃකල්පිතව සටහන ලස්සන‍ වේවි කියලා හිතලා කුළුබඩු විදිහට එකතු කරපු එව්වා. මටනං දැන් ගෑනු ළමයි එපා වෙලා තියෙන්නේ! 😀

Join the Conversation

11 Comments

  1. හ්ම්.. මමත් යන්න කියල තමා හිතාගෙන ඉන්නෙ. පොත් ගන්න මේ දවස්වල අතේ සල්ලිත් නෑ. ඒ සේරෝටමත් වඩා මේ මැෂිමට පුරුදු උනායින් පස්සේ පොත් කියවිල්ල ඉබේම දුරස් වෙලා.

    ජාත්‍යන්තර කියන්නේ මොකද කියන එක නං මටත් ප්‍රස්නයක්. සමහරවිට කඩු පොත් තියෙන නිසා සංවිධායකයො මේක “ජාත්‍යන්තර” කියල හිතනවා ඇති.

    උඹ පරිවර්තන කියවන්නෙ නැද්ද බං?

    1. පරිවර්තන කියෝනවා. ඒත් මේ දවස්වල වැඩිපුර අතට අහුවුනේ නෑ. කොහොමහරි ඔය “මම භූතයෙක්මි” කියන පොත පරිවර්තනයක් තමයි 🙂

  2. ඇහුවට තරහ අවසර!

    බැලුවද මචං මගේ ඉල්ලීම ගැනත් පොඩ්ඩක්? එදා බලන්න කිව්ව පොත් ටික?

    ජාත්‍යන්තර කියලා හදුන්වන ඒක ගැන මට අර්බුදයක් තිබ්බා තමා, ඒ දවස් මම හිතුවේ සුද්දෝ වගේ ඉන්න අයයි ගොඩයොයි ‍නිකං මනුස්සයෝයි ඇත්තටම සුද්දෝයි එන හින්දා කියලා.

    මේපාර මට ගියපාර වගේම ඕකට යන්න වාසනාව ඇදුණේ නෑ නෙව 🙁 ලංකාවේ පොත් ප්‍රකාශයෝගේ ජාත්‍යන්තරත්වය ගැන කුණු හබ්බ මතක් වෙන්නේ උන්ගේ සයිට්වල Online Store ඒකට ගියාම.

    “මටනං දැන් ගෑනු ළමයි එපා වෙලා තියෙන්නේ!”
    ෂුවර්ද? කෝ පෙන්නපං බලන්න දිව? අප්පේ නහය දික් වෙලා නෙව, ඇයි ඒ?

    1. මේපාර මට ගියපාර වගේම ඕකට යන්න වාසනාව ඇදුණේ නෑ නෙව 🙁 ලංකාවේ පොත් ප්‍රකාශයෝගේ ජාත්‍යන්තරත්වය ගැන කුණු හබ්බ මතක් වෙන්නේ උන්ගේ සයිට්වල Online Store ඒකට ගියාම.

      අපොයි ඔව්, ඒකනං හෙන චාටර් වැඩක්. ‍සයිට් නං ගන්න දෙයක් නෑ.

  3. සුරංගනාවොද, මාර දූතියොද දන්නෙ නෑ හිටියනම් තමයි.

    ජාත්‍යන්තර වීම ගැන නම් උඹ කියන එක හරි. දැනට අවුරුදු කීපයකට කලින් නම් ඉන්දියන් ප්‍රකාශකයො කීප දෙනෙක් හරි ආවා. දැන් ඒ පොතුත් දාගෙන ඉන්නෙ ලංකාවෙ පොත් සාප්පු වල.

  4. අපිට ඉතින් වාර නිවාඩුවකට ඇරෙන්න කොළඹ රටේ ඇවිදින්න වෙන්නෑ නොවෑ 😛
    අපේ අක්කට කිව්වා පොත් ටිකක් ගෙනත් දෙන්න කියලා 🙂 ඒ උනාට නවකතා පොත් එහෙම හම්බ වෙන්නේ නෑ ඉගේනිමට අවශ්‍ය ඒවා විතරලු ගෙනත් දෙන්නේ 🙁
    මොනා කරන්නද ඉතින් කමක් නෑ කිව්වා දුක තමා 🙁

  5. මං නං ඕකට ගිහිල්ලා නෑ.ලබන අවුරුද්දෙවත් යන්න කියලයි ඉන්නෙ

  6. මානව භක්තිය හා සිත්තරා මම දෙන්නම්. ඒක කියෙව්වම අර සූරීන් කෑල්ල ක ඩන් වැටෙයිද දන්නෑ.. මේ ඔයා සූරීන් කියල දාන්නෙවයස අනුවද වෙන මොකක් හරි හේතුවක් නිසාද ?

    1. හිහී… මට ඔය ප්‍රශ්නෙ ආවා කොහොමද ආමන්ත්‍රණය කරන්නෙ කියලා… 😀 මම හිතුන හිතුන තැන් වලට දානවා මිසක් වැඩිය හොයා බැලිල්ලක් නැහැ. ඇයි? කාටහරි අසාධාරණයක් වෙලා තියෙනවා ව‍ගේද? 😉

      ඔන්න එහෙනම් මට අනිවා ඒ පොත දෙන්න ඕනේ! බොහොම ඉස්තූතියි 🙂

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: