Categories
දිනපො​ත

සතියේ සටහන – ඔක්තෝබර් තිස් වෙනිදා

ඉතින්, ආයුබෝවන්. ​අඩපණ වෙලා තිබුන බ්ලොග් එක ආයෙමත් හදල ගන්න සෑහෙන කාලයක පටන් අවශ්‍ය වෙලා තිබුනත්, විවිධ වැඩ රාජකාරි නිසා හැමදාම පස්සට ගියා. මං හිතන් ඉන්නෙ ආයෙමත් ලිවිල්ල පටන්ගන්න. මොනවන් විශේෂ දෙයක් ගැන නෙවෙයි, ඔහේ ලියන්න.

පරණ සටහන් දිහා බලාගෙන යද්දි, මං මේ අවුරුද්දටම මුකුත් ලියලා නෑ. එතකොට මේ මසේ විස්සයි විස්සෙදී ලියවෙන පළමු ලියවිල්ල. ඒ ලියවෙන්නෙත් අවුරුද්ද අවසානයේදී. බලමුකෝ ඒකෙත් හැටි.

රස්සාව විදිහට පරිගණක සහ කේත අතර ඔට්ටු වෙනකොට ලියන්න දෙයක් හිතාගන්න අමාරුයි. ඉංග්‍රීසියෙන් වැඩ කරනකොට සිංහල අමතක වෙන ගතියක් තියෙනවා වගේම, සිංහලෙන් වැඩ කරනකොට ඉංග්‍රීසිත් අමතක වෙන ගතියක් තියෙනව. මේකට විසඳුමක් නැද්ද?

මේ ළඟදි අලුත් වැඩක් කරා. ඒ මගේ පාසල් කාලයේ මිතුරෙක් වෙන රේවියන් අලුතෙන් පටන්ගත්තු “අදිකාරම් සිතුවිලි” පොඩ් කාස්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එකට මගේ සත දෙක එකතු කරපු එක. ඉස්සරහටත් ඒ පොඩ් කාස්ට් එකට ඉඩ ලැබෙන විදිහට සම්බන්ධ වෙන්නට හිතාගෙන ඉන්නවා. කැමතිනං අහල බලන්න.

අපි ඒකෙත් කතාවෙන්නෙ නෙට්ෆ්ලික්ස් වාර්තා වැඩසටහනක් ගැන. ඒක තමයි The Social Dilemma. සමාජ මාධ්‍ය මිනිස්සුන්ගෙ ජීවිත ආක්‍රමණය කරමින් ඉන්නෙ කොහොමද කියල සරල හැදෑරීමක්. සමහරවිට මේ දේවල් අපි දැනටමත් දැනගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් මිනිස් ජීවිත ආක්‍රමණය කරමින් සිටිනා බව දැනගෙන සිටීම වැදගත්.

පළවෙනි උපාධිය SLIIT එකෙන් ගත්තාට පස්සෙ මං උත්සාහ කරා ආයෙ ඉගෙනගන්න. Msc එකක්, MBA එකක් කරන්නත් පටන්අරගෙන නවත්තල දැම්මා. විෂයන් රසවත් වුනා​ට ඒව ඉගෙනගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙන නිසා, විශේෂයෙන්ම 80% පැමිණීම වගේ දේවල් නිසා, ඒව තාවකාලිකව නවත්තල දැම්මා. ඉගෙනීම කරන්න ඕනෙ ආතල් එකකට මිසක් තවත් ආතතිය ඇති කරගන්න නෙවෙයිනෙ.

ඒක නිසා මං හොයාගත්තා විකල්ප උපාධියක්. ඒ, සිංහල ශාස්ත්‍රපති උපාධියක්. විභාග වලින් සමත් වීම කෙසේවෙතත්, සති අන්තයේ එක දිනයක කලාව, සිංහල භාෂාව ගැන දේශන අසා සිටීම, සතියෙ අනිත් දවස් හයේ මහන්සිය මකන වෙනමම ආතල් එකක්.

මට හිතෙන දෙයක් තමයි දැන් ලංකාවෙ ශාස්ත්‍රීය අධ්‍යාපනය බිඳ වැටෙමින් තියෙන බව. ඒක නිසා අන්තිමේ ලංකාවෙ ඉතුරු වෙන්නෙ සමාජය දේශපාලනය නොදත්, අනෙකා පිළිබඳ Empathy නැතිවුන, ව්‍යාපාරිකයන්ට සහ වැඩවසම්වාදී පවුල්වල අනසකට යටත් වුන, දීන ඉංජිනේරුවන් – වෛද්‍යවරුන් සහ කුලී සේවකයන්.

ඒක නිසා මිනිසාගේ වටිනාකම නොදත්, තමන් වෙනුවෙන් නීති සම්පාදනය කරගැනීමට නොදත්, ජාතිවාදය වෙතම ඇදෙන මිනිසුන් පිරිසක් ඇතිවීම වැලැක්වීමට අපහසු කාරණයක් වී අවසානයි.

දැනට මේ ඇති. ඊළඟ සතියෙදී ආයෙ මුනගැහෙමු. අලුතෙන් යමක් බලන්න කැමතිනම් The Boys ​හොයාගෙන බලන්න. මරු.

Categories
ගීත

කම්පා නොවන් මහමායා!

ඉතින් කොහොමද? චරිත අතලගේ මේ ළඟදි නිකුත් කරා සින්දුවක්. සින්දුව කියන්නෙ සුපුන් පෙරේරා. සින්දුව ලියල තියෙන්නෙ චන්ද්‍රසේන තලංගම. නම තමයි කම්පා නොවන් මහාමායා. මුල්ම පාර අහද්දි නිකන් නුහුරුයි වගේ දැනුනට, ටිකක් වෙලා අහද්දි සින්දුව අල්ලලා ගියා. පස්සෙ තව තව අහද්දි තමයි තේරුම මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුනේ.

සින්දුව තවම අහන්න ලැබුනෙ නැද්ද? (සිරාවටම?) එහෙනම් මේ තියෙන්නෙ සින්දුව සහ ගී පද. සියළු හිමිකම් ඒ ගීතයේ සහ ගී පද වල අදාළ හිමිකරුවන් සතුයි. ඔබට මේ ගීතය චරිත අතලගේගේ වෙබ් අඩවියෙන් මිළදී ගන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=MYXu6tcvf0c

නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා
පුතුනූ අපේ, හැරදා ගියේ යශෝදරා හා බිළිදු පුතා…
කම්පා නොවන් සඳ මහමායා…
කුමාරයා හැරදා ගියා…
තුන්​ ලෝ උතුම් බුදු පදවි පතා…
කුමාරයා, හැරදා ගියා…

මහමායා… (කම්පා නොවන්)
මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

මහමායා… (කම්පා නොවන්)
මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

රුදු සසර ගිනී
බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී
වැසි වසිනු වැනී

අඩුවක් වුනාදෝ ජීවිතේ
ඉසුරින් පිරී මේ මාළිගේ..
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
හැරදා ගියේ ඇයි මාළිගේ

සදහම් අමා වැහි හෙළනා රඟේ…
නොසැලී බලන් මහාමායා…
සසරින් මිදී පුතු වඩිනා රගේ…
නොසැලී බලන් මහමායා…

මහාමායා (රුදු සසර ගිනී)
මාහාමයා (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙනී)
මහමායා… (වැසි වසිනු වැනී)

මහාමායා (රුදු සසර ගිනී)
මාහාමයා (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙනී)
මහමායා… (වැසි වසිනු වැනී)

සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙලා ආසන්න වශයෙන් අවුරුදු දෙකකට පස්සෙයි කිඹුල්වත්පුරයට වැඩම කරන්නෙ. අපි සාහිත්‍යයේ කොතැනකවත් අහල නැති සුද්ධෝදන රජතුමාගෙ මේ මහමායා දේවිය ඇමතීම කියන්නෙ වෙනස්ම කතාවක් කියල මට හිතුන.

දෙමව්පියන් තමන්දගෙ ​දරුවන් කුඩා කාලෙ ඉඳල හදන්නෙ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. මේ දරුව අනාගතයෙ ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් කරන්න, එහෙමත් නැත්තං සමහරවිට තමන්ගෙ ළමය තමන්ගෙ ව්‍යාපාරය ඉදිරියට ගෙනියයි කියල බලාපොරොත්තු තියාගෙන ඉන්​න කොයිතරම් දෙමව්පියන් ඇත්ද?

සුද්ධෝදන රජතුමා​ට සිද්ධාර්ථ කුමාරයා ගැන තිබුනෙත් ඒ බලාපොරාත්තුවම තමයි. තැන් තැන්වල රාජධානි විදිහ​ට කැඩිල තිබුන ඉන්දියා අර්ධද්වීපය එක්සේසත් කරල සක්විති රජකම ගනියි කියන බලාපොරොත්තුවෙන්, කිසිම දුකක් නොදී කිසිම අතුරු ආන්තරාවක් නොවෙන්න කරපු දේවල් ආයෙමත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේද?

ඒත්, සිද්ධාර්ථ කුමාරයාත් තමන්ගෙ අරමුණ වෙනුවෙන් සියල්ල හැරදාලා යන්න තීරණය කළා. මේ කියවෙන්නෙ, සුද්ධෝදන රජතුමා වගේම නූතන කාලයේ දෙමව්පියන් ගැන කියලයි මගේ හැඟීම. මේ ගීතයත් තමන්ගෙ අරමුණු වෙනුවෙන් දෙමව්පියන්ගෙ බලාපොරොත්තු පසෙකලා උඩුගං බලා​​ගෙන යන්නෙක් ​ගැන වෙන්නට බැරිද?

කොයිතරම් බලාපොරොත්තු කඩ කරත්, කම්පා නොවෙන්නයි මහමායා ​දේවියගෙන් ඉල්ලා සිටීමම, දෙමව්පියන්ගේ කවදාවත් වෙනස් නොවෙන අසීමිත ආදරය නොවෙයිද? සමහරවිට ඔබත් තමන් හරි කියල හිතෙන පාරෙ යනව ඇති. දෙමව්පියන්ගෙ බලාපොරොත්තු කඩ කරනව ඇති. ගැටුම් ඇතිවෙනව ඇති. ඒත් මේ බැඳීම සසර ගමන ඉවරයක් වෙනකන් තියේවි.