Categories
දේශපාලනික

ඩිමොක්‍රසි විසංවා​ද

මදකට හිතින් මවාගන්න. ඔන්න එකමත් එක රටක, වන ගහනය බහුල වූ පෙදෙසක අලුතෙන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න යෝජනා වෙනවා. මේ කර්මාන්ත ශාලාව ඉදිකරන්නට ඒ ප්‍රදේශයේ වනාන්තර භූමි අක්කර 200ක් කපා එළි කිරීමට අවශ්‍ය වෙන අතර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තා කැඳවීමක් සිදු කරනු ලබනවා.

මේ වනාන්තර එලි කිරීම නිසා, ඒ ප්‍රදේශයට ආවේණික සත්වයින්ගේ නිජ භූමි විනාශ වන බවත්, ඔවුන්ගේ ආහාර දාමයට සිදුවන බලපෑම නිසා එම සතුන් සදහටම වඳ වී​මේ තර්ජනයකට ලක්වන බවත් පරිසර වේදීන් තම වාර්තාවේ සටහන් කළා. ඊට අමතරව එම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර විනාශ වී නල ළිං සිඳීයාම නිසා ජනතාවට ජල ගැටලු ඇතිවිය හැකි බවත් ඔවුන් වාර්තා කරා.

කොහොම වුනත් මේ කර්මාන්ත ශාලාව ඉදිරිකරොත් එය එම රටට විදෙස් ආයෝජන ලබාගැනීමේ ඉතා මහඟු අවස්ථාවක් බවත්, ඒ හරහා එම ප්‍ර​දේශයේ දස දහසක් රැකියා අවස්ථා ඇති කළ හැකි බවත් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශයට පත් කළා. ජනමාධ්‍ය තුළත් වාර්තා වුනේ රැකියා රහිත පෙදෙස් වැසියන් බොහෝ දෙනෙක් මෙම කර්මාන්ත ශාලාවෙන් රැකියා ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කර්මාන්තශාලාව ගැන ගැටලුව නිසා ආණ්ඩුකාරවරයා ඒ ප්‍රදේශයේ බහුතර මතය දැනගැනීමට ඡන්දයක් ප්‍රකාශයට පත් කළා. කර්මාන්තශාලාවට ආයෝජනය කරන ව්‍යාපාරිකයින් කර්මාන්තශාලා​ව හරහා උත්පාදනය වන රැකියා පිළිබඳ පුවත්පත් දැන්වීම් පළකර, රැකියා සඳහා ඉල්ලුම්කරන ලෙස ප්‍රදේශ වැසියන්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර පරිසර සංවිධාන වන සංහාරයට විරුද්ධව හඬ නගමින් ජල මූලාශ්‍ර විනාස නොකරන ලෙසත්, සත්වයින්ගේ නිජ භූමි ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඡන්දය අවසාන ප්‍රතිඵලය ලෙස 51%ක් කර්මාන්ත ශාලාව අවශ්‍ය බව ප්‍රකාශ කිරීම නිසා කර්මාන්ත ශාලාව ඉදිකිරීමට ආරම්භ කළා. දැන් අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

  • බහුතර මතයට ඉඩ දීම නිසා ඡන්දය ලබාදුන් 49%ක ප්‍රජාවගේ මතය නිශේධනය වීම කොතරම් සාධාරණද?
  • එම වනාන්තරයේ ජීවත්වන සතුන්​ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳ තීරණ ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට දැනුමක් තියෙනවාද?
  • කර්මාන්තශාලාව ඉදිකිරීමටත් පෙර රැකියා ලබාදෙන බවට කර්මාන්ත/ශාලාවේ හිමිකරුවන් ප්‍රචාරය කිරීම ඡන්දයේ ප්‍රතිඵලට අනිසි බලපෑමක් කරා ද?
  • වනාන්තරය කපා දැමීම නිසා ඇතිවෙන පාරිසරික බලපෑම් ඇතිවීමට තවත් කල්ගත වන නිසා, ජනතාව වැරදි තීන්දුවක් ගත්තා විය හැකිද? (පරිසර බලපෑම පිළිබඳ අවබෝධයක් නොමැති නිසා)

බොහෝ රටවල් සහ ආයතන මෙසේ බහුතර මතය මත පදනම්ව තීරණ ගන්නවා. ලෝකයම දැන් දශක ගණනාවක් මෙසේ ඩිමොක්‍රසිය මත රාජ්‍ය පාලනය කරමින් සිටිනවා. ඒ හරහා ලබාගත් ජයග්‍රහණත් බොහොමයි. පරාජයනුත් බොහොමයි.

පරාජයටනම් බොහෝ උදාහරණ අපේ රටෙන්ම අරගන්න පුළුවන්. අවුරුදු 30කට ආසන්න යුද්ධයත් ඒ හා සමගාමීව ඇදී යන ජාතීන් අතර ඇති යම් යම් විරසකද මේවාට උදාහරණ. බොහෝවිට බහුතරය බලය ලබා දී ඇත්තේ යම් යහපතක් බලාපොරොත්තුවෙන් වූවත්, බලයට පැමිණි අයට රිසිසේ “ආ දැන් ඔයාලා කරගෙන යන්නැයි” කියා ජනතාව පසෙකට වී තමන්ගේ වැඩක් කරගෙන ඉන්නත් පුරුදු වෙලා.

ග්‍රීක දාර්ශනකයෙක් වූ සොක්‍රටීස්නම් ඩිමොක්‍රසිය දකින්නෙ අති අසාර්ථක රාජ්‍ය පාලන ක්‍රමවේදයක් විදිහටයි. ඔහු වරෙක ඇඩිමැන්ටස් නම් තම අනුගාමිකයෙක්ගෙන් මෙසේ විමසනවා

ඔබ නෞකාවක නැගී මුහුදු චාරිකාවක යනවානම්, ඔබ එම නෞකාව හසුරුවන්නට භාර දෙන්නේ කාටද?

ඔබ කැමති ඕනෑම අයෙකුටද? එහෙමත් නැත්තං නෞකා හැසිරවීම ගැන හොඳින් දැනුවත් ඒ පිළිබඳ පළපුරුදු අයෙකුටද?

ඇඩිමැන්ටස් පිළිතුරු දෙන්නේ අනිවාර්යයෙන්ම නෞකා හැසිරවීම පිළිබඳ පලපුරුදු අයෙකුට බවයි. එවිට සොක්‍රටීස් ඇඩිමැන්ටස්ගෙන් පෙරළා විමසන්නේ එසේනම් රටක පාලකයා තීන්දු කිරීමට රටේ ඕනෑම කෙනෙකුට අයිතිය ලබාදීම කොතරම් සුදුසුදැයි කියායි. (ප්ලේටෝගේ The Republic පෝතේ හයවැනි කොට​ස)

මෙවන් තත්වයක් තුළ විවිධ වූ රටවල් ඩිමොක්‍රසියට සමගාමීව සුළුතර මතයද ආරක්ෂාවන ලෙස විවිධ උපක්‍රම යොදා තිබෙනවා. එය විමසන්නනම් මේ සටහනේ ඉඩ මදි. ඒත් මට කියන්නට ඕනෑ වුනේ, බහුතර – සුළුතර නොව නිවැරදි දෙය තෝරාගැනීමට අපි උත්සාහ කළ යුතු බවයි.

ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්!

2 replies on “ඩිමොක්‍රසි විසංවා​ද”

//බහුතර මතයට ඉඩ දීම නිසා ඡන්දය ලබාදුන් 49%ක ප්‍රජාවගේ මතය නිශේධනය වීම කොතරම් සාධාරණද?//

කිසිසේත් සාධාරණ නෑ, හැබැයි 49% ගේ අවශ්‍යතාවයට 51% ගේ අවශ්‍යතාවය යට කිරීම ඊට වඩා අසාධාරණයි.

//එම වනාන්තරයේ ජීවත්වන සතුන්​ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳ තීරණ ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට දැනුමක් තියෙනවාද?//

තියෙනවා. හැබැයි ඒක නෙවෙයි මෙතන ගැටළුව. අද තියෙන පරිසරය තුළ සත්ව අයිතිවාසිකම් කියන්නෙ මානව අයිතිවාසිකම් වලට ගොඩක් පසුපසින් තියෙන දෙයක්. ඒක සාධාරණද නැද්ද තීරණය කරන මිනුම් දණ්ඩක් නෑ.

//කර්මාන්තශාලාව ඉදිකිරීමටත් පෙර රැකියා ලබාදෙන බවට කර්මාන්ත/ශාලාවේ හිමිකරුවන් ප්‍රචාරය කිරීම ඡන්දයේ ප්‍රතිඵලට අනිසි බලපෑමක් කරා ද?//

විය හැකියි හැබැයි ඒක අනිසිද නැද්ද වගේ දේවල් විවාදාපන්නයි.

//වනාන්තරය කපා දැමීම නිසා ඇතිවෙන පාරිසරික බලපෑම් ඇතිවීමට තවත් කල්ගත වන නිසා, ජනතාව වැරදි තීන්දුවක් ගත්තා විය හැකිද? (පරිසර බලපෑම පිළිබඳ අවබෝධයක් නොමැති නිසා)//

විය හැකියි. හැබැයි ජනතාව හැම විටම තීන්දු ගන්නේ කෙටිකාලීන ප්‍රතිඵල වලට.

මේ පෝස්ට් එකට කෙළින්ම අදාළත්වයක් නෑ, හැබැයි බ්ලොග් ලියපු කාගේ කාගේත් දැකීම පිණිසයි මේ ලියන්නෙ. ෆේස්බුක් දේශපාලන හෑලි ලියනවා වෙනුවට කවුරු කවුරුත් ආයෙත් පරණ බ්ලොග් අඩවි මකුළුදැල් කඩලා පිහදාලා ලියන්න පටන් ගත්තොත් නරකද? අපි ඉන්නවා කියවන්න. ෆේස්බුක් සංවාද අද හරසුන් මඩ බවට පත්වෙලා තියෙන්නෙ. එතැනින් මෑත්වෙලා අපි හරවත් බ්ලොග් සංවාදයක නිරත වෙමුද? (නියං කාලයේ වුණත් බ්ලොග් පවත්වාගෙන ගිය හැමෝටමත් ගෞරවය පුද කරන්න ඕනැ.)

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.