Categories
වේදිකා නාට්‍ය

නැරඹිය යුතු වේදිකා නාට්‍ය කිහිපයක්

ඔබ “කොලොම්​බො කොලොම්​බො” වේදිකා නාට්‍යය නරඹා තියෙනවද? අවාසනාවකට දැන් ඒ නාට්‍ය වේදිකා ගත නොවුනත්, මීට අවුරුදු අට නවයකට පෙර ඒ වේදිකා නාට්‍යය ලංකාවේ වේදිකා නාට්‍යවලට එකතු කරේ අමුතුම ජවයක්. මේ වේදිකා නාට්‍යයේ වීඩියෝවක්වත් දැන් සොයාගන්න​ට නැහැ. වේදිකා නාට්‍ය ගැන ඉගෙනගන්න අය වෙනුවෙන් සිංහබාහු, මනමේ නැවත නැවතත් නිෂ්පාදනය වෙද්දි, සාපේක්ෂව මෑත කාලයේ නිෂ්පාදනය වූ වේදිකා නාට්‍යයක් වේදිකාවෙන් ඉවත්ව යාම ශෝකය​ට කරුණක්.

මේ වේදිකා නාට්‍යයෙන් පසුව, එතරම් ජවසම්පන්න නාට්‍යයක් නොදැක්ක තරම්. වේදිකා නාට්‍යයක්ම ​නොවුනත් මෑතකදී ප්‍රදර්ශනය වූ “ගෝඨයිම්බර කෝලම”ත් සෑහෙන්න හොඳ නිර්මාණයක්. එයත් දැන් ප්‍රදර්ශනය වන්නේ නැහැ. හැබැයි YouTube වීඩියෝවක්නම් හොයාගන්න පුළුවන්.

ගෝඨයිම්බර කෝලම නිෂ්පාදනය කරන්නේ ඩෙනිස් පෙරේරා. ශ්‍රී ලංකාවෙ ශාන්තිකර්ම පිළිබඳ මැනෙවින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල වෙන්නට පුළුවන් මේ නාට්‍යය. සාමාන්‍ය පෙළ කාලෙ “නාට්‍ය හා රංග කලාව” ඉගෙනගත්තාට පස්සෙ මේ වෙනකොටනම් කෝලම්, ශාන්තිකර්ම, නාඩගම් ගැන මගේ දැනුම දුර්වලයි. ගෝඨයිම්බර කෝලම නැරඹුවාට පස්සෙනම් නැවත ඉගෙනගන්න හිතුනා.

පළමු කොරෝනා වටයෙන් පස්​සෙ, ලංකාවෙ මිනිස්සු ආයෙමත් වේදිකා නාට්‍ය බලන්න පුරුදු කරවන්න ටවර් හෝල් පදනමෙන් සංවිධානය කරා “ප්‍රේක්ෂා” කියල නාට්‍ය උළෙලක්. මේකෙදි පරණ වගේම අලුත් වේදිකා නාට්‍ය රැසක් ප්‍රදර්ශනය වුනා. මිනිස්සුත් සෑහෙන්න ආවා. ඒක බොහොම සතුටට කරුණක්. මං “ප්‍රේක්ෂා” ගි​යේ නැරඹිය යුතුම නාට්‍ය තුනක් බලන්න. ඒ, චාමික හත්ලහවත්තගේ නාට්‍ය තුනක්.

මුලින් කියපු නාට්‍ය වලට පස්සෙ මට බලන්නට ලැබුන හොඳම වේදිකා නාට්‍ය තුන තමයි “මකරට”, “රජා මං වහලා” සහ “බෝම්බයක් ඉතුරුයි” නාට්‍ය. වේදිකා නාට්‍ය සහ රංගනය පිළිබඳ මැනෙවින් කරන ලද පර්යේෂණවල යොදාගැනීම් මේ නාට්‍යවල ඇතැයි බැලු බැල්මටම කියන්නට පුළුවන්. ඒ නාට්‍ය වල ඇති ජවසම්පන්න බව නිසා, අලුතෙන් වේදිකා නාට්‍ය බලන්නට උනන්දුවක් දක්වන අයටත් බොහොම සුදුසුයි.

වේදිකා නාට්‍ය තුනේ තේමාව සමාන වුනත්, මේ තුනම වෙන වෙනම රස විඳින්නට පුළුවන්. යුද්ධය අවසන් වෙලා වසර එකොළහකට ආසන්න කාලයක් ගතවුනත්, ඉතිහාසයට ​මේක බොහොම පොඩි කාලයක්. අපි තවම යුද ජයග්‍රහණය සමරමින් අපිට ඇති අනෙකුත් ප්‍රශ්න අමතක කරමින් හෝ මග හරිමින්, තවත් පොදු සතුරෙක් සොයාගනිමින් ඉන්න කාලයක් මේ. ඔ​බේ දේශපාලන පක්ෂපාතීත්වය මොකක් වුනත්, මේ වේදිකා නාට්‍ය නරඹා හැකි පමණින් කල්පනා කරන්නට මා ආරාධනය කරනවා. මේ නාට්‍ය ආයෙ ආයෙමත් පෙන්නුවොත් ​​​හොඳයි.

​මේ අතර විශේෂ සටහනක් කර යුතු වේදිකා නාට්‍යයක් තියෙනවා. “මෙය තුවක්කුවක් නොවේ” වේදිකා නාට්‍යයත් ආයෙ වේදිකාගත වෙනවනම් කැමතියි. ඒ අතර මට මඟහැරුන – ඔබට හමුවුන වේදිකා නාට්‍ය මොනවද?

ඊළඟට සටහනක් ලියන දිනයක නැවත හමුවෙමු.

ඡායාරූප ලබාගත් තැන්

12 replies on “නැරඹිය යුතු වේදිකා නාට්‍ය කිහිපයක්”

මට හිතෙන්නේ පහුගිය දසකය පමණ තුළ අධ්‍යක්ෂකවරයෙක් හැටියට හොඳින් ම වැඩ කරලා තියෙන්නේ චාමික හත්ලහවත්ත බවයි. සමහර ප්‍රමුඛ නාට්‍යකරුවන්ගේ පිටපත්, නාට්‍යවේදය (හා නළුනිළියන්) ටෙලිනාට්‍ය කලාවේ සහ නාට්‍ය තරගවල හානිකර බලපෑමට ලක් වෙලා අවරට ගිය බවක් පෙනුණු කාලයක, වේදිකාවේ පමණක් දැකිය හැකි සුවිශේෂ නාට්‍යමය ගුණයන් රැකගෙන, වර්ධනය කරගෙන තමන්ගේ නාට්‍ය වියරණය සකසාගන්න ඔහු සමත් වුණු බව පේනවා. ඒ නාට්‍ය කීපය හොඳ ම තත්වයකින් නාට්‍ය සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන යන්නත් ඔහු සමත් වෙලා තියෙනවා.

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘කලම්බෝ කලම්බෝත්’ හරිම ප්‍රබල නාට්‍යයක්. අනසූයා සුබසිංහ සහ සෞම්‍ය ලියනගේගේ රඟපෑම් තව මත් මතක් වෙනවා. මේ වගේ අඳුරු කාලයක මේ මතක අලුත් කරපු එක හොඳ දෙයක්.

ඇත්තට ම ඉහත නාට්‍යකරුවන්ගේ පරම්පරාවලට පස්සේ මතු වුණු හොඳ ම නාට්‍යයක් තමයි ‘මෙය තුවක්කුවක් නොවේ’. සුදාරකගේ නිරීක්ෂණය හරියට හරි. මේ හැම නාට්‍යයක් ම වේදිකාවේ දී පමණක් දැකිය හැකි විදිහේ වැඩ පෙන්නපු කෘති. මට ගෝඨයිම්බර කෝලම නම් බලන්න ලැබුණෙ නෑ. ඒ තරම් වාර ගණනක් ඒක පෙන්නුවෙ නෑනෙ.

මේ හැම නාට්‍යයක් ම මීට වඩා සෑහෙන කාලයක් දුවන්න පුළුවන්වෙන වාතාවරණයක් තිබුණා නම් කොච්චර හොඳ ද?

ඒක නේන්නං. අර කියල තියෙනව වගේ, මේ හැම නාට්‍යයක්ම වගේ, වේදිකාවක් මත සජීවීවම දැකගත යුතු නාට්‍ය. මේව පුළුවන් හැම විදිහකටම නැවත නැවතත් නිෂ්පාදනය කරන්න, අධ්‍යනය කරන්න තිබුනනං සෑහෙන්න වටිනවා. මං හිතන්නෙ “Industry” එකක් හදාගන්න ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්න නිසා තනි තනිව තැන් තැන් වල කරන උත්සාහයන්ගෙ ප්‍රතිඵල විතරයි බලන්නට ඉඩ තියෙන්නේ.

මාර සීන් එක. අද “ඉසුරු කොදෙව්වේ පාලු ඉස්ව්වේ” සින්දුව කිය කිය ඉන්න ගමන් ඒ ටියුන් එක අස්සෙ පරණ වේදිකා නාට්‍ය සින්දුවක් මතක් වෙන කෑල්ලක් තියනව වගේ දැනුනා. කල්පනා කරලා බලද්දි හුණු වටයේ කතාවෙ “යුද භටය යන යුදයට” සින්දුව. ඒ පාර යූටියුබ් එකේ ඒක හොයන් අහලා, ඒකෙ වර්තමාන නිළිය ගායනා කරන එකත් අහලා, ඒක දිගේ තව වේදිකා නාට්‍ය සින්දු බර ගානක් දැන් පැය දෙකක් විතර තිස්සෙ අහල වෙනම ලෝකෙක ඉන්න අස්සෙ නිකමට ෆේස්බුක් බලද්දි උඹ වේදිකා නාට්‍ය ගැන මේ ලිපි‍ය ෂෙයා කරල තියනව දැක්කෙ. සීන් එක මාර ද නැද්ද? 😄

මාර නැති සීන් එක. මං උඹ කියල තියන එක නාට්‍යක් වත් බලල නෑ. ගොඩක් ඒවා මං ලංකාවෙන් ආවට පස්සෙ හැදුනු ඒවා. කොලොම්​බො කොලොම්​බො නම් ඒ කාලෙ පෙන්නුවා. බලන්න යන්න බැරි වුණා. 😟

මට නිතරම හිතෙන එකක් තමා චිත්‍රපටි වගේ වේදිකා නාට්‍යත් සංරක්ෂණය කරන්න විදිහක් නැද්ද කියලා. සජීවී අත්දැකීම නැති වුණත් වීඩියෝ හදල මේ නාට්‍ය වල ඔරිජිනල් සංරක්ෂණය කරනව නම් මාරයි. සමහර ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය නම් රූපවාහිනී චැනල් වල පෙන්නලා අඩුම ගානෙ ඒ අය ගාව වත් වීඩියෝ පිටපතක් ඇති. ඒ කාලෙ TNL එකේ සෑහෙන්න පෙන්නුවා. එත් ගොඩක් ඒවයෙ ස්ක්‍රිප්ට් එකක් වත් හොයාගන්න නෑ නෙ.

අවසානයට ප්‍රශ්නයක්. උඹ නාට්‍ය ගැන හදාරලා තියනව කිව්ව නිසා. වේදිකා නාට්‍ය වල හෝ පොදුවේ ඕනෙම කතා මාධ්‍යයක ප්‍රවර්ගයක් (genre එකක්) තියනව නේද මුලු කතාවම පැටලිලා (misunderstandings, miscommunication වලින් විජ්ජුම්බර වෙලා) අවුලෙන් අවුලට පත් වෙලා යන ජාතියෙ. උදාහරණෙකට මතක් වෙන්නෙ “කළුරේ ජරමරේ” තමා. අන්න ඒ වර්ගයට කියන නමක් දන්නව ද? ඉඳලා හිටලා Frasier tv series එක බලද්දි ඒකෙ හැම එපියක්ම වගේ ඒ වර්ගයෙ. රඟපෑමත් සෑහෙන්න වේදිකා නාට්‍ය ශෛලිය. දන්න හැටියට ඒ නළුවොත් වේදිකාවෙ හිටි අය. ඕක බලද්දි තමා ඔය ප්‍රශ්නෙ ආවෙ.

බ්ලොග් එක දිගටම ලියනවට ජය!

මාරයි නේන්නං. ටෙලිපති. 😉

මාත් කැමතියි මේව සංරක්ෂණය වෙනවනං. අඩුම ගානෙ පිට රට ඉන්න කෙනෙක්ට සල්ලි දීල අන්තර්ජාලය හරහා බලන්න හරි පුළුවන් විදිහක් හැදෙනවනං.

දැන් ඇත්තටම නාට්‍ය හා රංගකලාව ගැන ඉගෙනගත්ත දේවල් මතක​යේ නැහැ. IMDB එකේ ඔය TV Series එකට දීල තියෙන්නෙනං Comedy Genere එක. ඒත් සමහරවිට ඔයා කියන්නෙ Absurd Genere එ​ක වෙන්න පුළුවන්, එහෙම නැත්තං Thriller? උඩ කමෙන්ට් එක දාලා තියෙන ලොහාන්ට මීට වඩා හොඳ අදහසක් ඇති.

අද කාලේ වේදිකා නාට්‍ය කලාවට සාමාන්‍යයෙන් තියෙන්නේ සිනමාවට, රූපවාහිනියට වඩා ගොඩාක් අඩු බජට්ටුවක් නිසා වේදිකාවේ දී අහන්න දකින්න ලැබෙන දේට සාධාරණයක් ඉටු වෙන මට්ටමින් සංරක්ෂණය කරන්න ඉඩ ලැබෙනව අඩුයි. ඉස්සර නම් රූපවාහිනියෙන් සීමා සහිත ක්‍රමයකට මේවා පටිගත කෙරුවා.. ඒකට යන්තමින් හරි ප්‍රතිපාදන තිබුණා. අදටත් වැඩි දෙනෙක් සමහර වේදිකා නාට්‍ය ගැන දන්නේ ඒ පටිගත කරපු නාට්‍ය රූපවාහිනියෙන් දැකපු නිසානෙ. නමුත් අද ඒවා නරඹද්දී හිතෙනවා ඒවා තවත් හොඳට සැලසුම් කරලා අලුතින් පටිගත කරන්න හැකි නම් කියලා.

බ්‍රිතාන්‍යයේ National Theatre Live (https://www.ntlive.com/) වගේ ව්‍යාපෘති වේදිකාවෙන් පිටතට විවිධ ක්‍රමවලට නාට්‍ය ගෙන යාම ගැන හා වීඩියෝ මාධ්‍යයෙන් සංරක්ෂණය ගැන හොඳ උදාහරණයක්. ඔවුන් එක පැත්තකින් ලෝකය පුරා සිනමා ශාලාවල සහ වෙනත් තැන්වල තිරගත කිරීම් සඳහා සජීවී විකාශ කරනවා. ටික කලකට ඉස්සර කොළඹ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ National Theatre Live විසින් පටිගත කළ සමහර නාට්‍ය තිරගත කෙරුණා. පහුගිය ලොක්ඩවුන් කාලේ ඒ අය සතුව තියෙන පටිගත කළ නාට්‍ය සීමිත කාලයක් යූටියුබ් හරහා බලන්න අවස්ථාව දුන්නා ( https://www.youtube.com/c/NationalTheatreOnline/videos ) . ඒවා විශාල මහන්සියක් සහ ධනයක් වැය කරලා පටිගත කරපු ඒවා. හොඳ තිරයක් මත සෑහෙන ගුණාත්මක අත්දැකීමක් ලබන්න පුළුවනි.

සමහර රටවල නාට්‍ය පිටපත් සහ වීඩියෝ/සිනමා පට මඟින් නාට්‍ය සංරක්ෂණය කරන ව්‍යාපෘති තියෙනවා. ඒත් මේ සේරම අද ධනවාදය මුහුණ දෙන අර්බුදයේ දී මුලින් ම පහර වදින තැන්. මේ එමින් තියෙන්නේ එක්දාස්නමසිය තිස්ගණන්වල ආවාට වඩා දරුණු ආර්ථික අවපාතයක්. ලංකාව වගේ තැන්වල නම් අප මේ දක්වා දැන සිටි නාට්‍ය කලාව අතුරුදන් වීමේ තර්ජනයට මුහුණ පාලයි තියෙන්නෙ. ලංකාවෙත් රාජ්‍ය නාට්‍ය උළෙලට එන පිටපත් නම් ජාතික ලේඛනාගාරයට යවන මට කවුුහරි කියනවා ඇහුණා. මම ඒ ගැන විස්තර දන්නෙ නෑ. කොහොම වුණත් නාට්‍ය කියන්නේ රාජ්‍ය නාට්‍ය උළෙල විතරක් නෙමෙයිනේ.

ලෝකය පුරා ම බිහි වෙන නාට්‍ය ඒ වගේ ක්‍රමයකට සංරක්ෂණය කරන්න නම් වෙළඳපොල ක්‍රමයකට සහ නාට්‍ය “කර්මාන්තයකට” වඩා පුළුල් ක්‍රමයක් ඕන වෙන බවයි මගේ අදහස. සංස්කෘතියේ වැදගත් අර්ථසිද්ධීන් ආරක්ෂා කිරීම සඳහා (සෝවියට් සංගමයේ කළා වගේ) මහජන ව්‍යාපෘති දියත් කරන්න වෙනවා.

මම හිතන්නේ ත්‍රිමාණ වීඩියෝ තාක්ෂණයත් එක්ක වේදිකා නාට්‍ය වඩා උසස් ක්‍රමවලට සංරක්ෂණය කරන්න අවස්ථාව ඒවි. ඒකට හිතකර වාතාවරණයක් හැදෙන්න නම් ලාභය සඳහා නිෂ්පාදනය කරන, වෙළඳපොල ප්‍රවිශ්ටයක් වෙනුවට සමාජය සඳහා සංස්කෘතිය සංරක්ෂණය කිරීමේ ප්‍රවිශ්ටයක් තියෙන්න වෙනවා. නැතිනම් අද වගේ කාලෙක වෙළඳපොල හැකිළිලා විනාශ වෙද්දී ලොකු ම පහර වදින්නේ නාට්‍ය කලාව ඇතුළු සංස්කෘතියේ වඩාත් අන්තරායගත – vulnerable පැතිවලට. අද වෙද්දී ලංකාවේ නම් පුද්ගලික ව නාට්‍යකරුවෙක් තමන්ගේ ම නාට්‍යය වීඩියෝගත කරගත්තොත් මිසක් ඒවා සංරක්ෂණය කරගන්න ක්‍රමයක් නැහැනෙ.

ශ්‍රීශානුගේ Genre එක ගැන ප්‍රශ්නයට නම් උත්තරයක් දන්නෙ නෑ. මේ කියන විස්තරය අනුව නම් ශානරයක නමක් හිතාගන්න අමාරුයි. ගොඩක් නාට්‍යවල ඔය ලක්ෂණය තියෙනව නේද, අවුලක් හෝ අවුල් ජාලයක් ගොඩනැඟෙනවා, නාට්‍යයේ චරිත ඒ අවුල තියෙන බව හෝ එහි අගමුල දන්නෙ නෑ, නරඹන්නන්ට ඒකෙ සම්පූර්ණ චිත්‍රය පෙනෙන නිසා හාස්‍යයක් (හෝ ත්‍රාසයක් වුණත්) ගොඩනැඟෙනව…

නාට්‍ය සංරක්‍ෂණය ගැන කතාව නම් දුක්ඛදායකයි. කිව්වත් වගේ පවතින ක්‍රමය/තත්ත්වය එක්ක ඒ ගැන හීන දකින්න විතරයි දැනට පුළුවන්. එන එන නාට්‍ය බලල මතකයක් හදා ගන්න එක ඊට හොඳයි.

බොහොමයක් වේදිකා නාට්‍ය වල ඔය අවුලෙන් වියවුලට පත්වෙන ලක්‍ෂණය තියනවා තමා. ඔ්‍ය කිව්ව විස්තරය ටක්කෙට හරි. නමුත් මම නම් හිතන් හිටියෙ වෙනම නමක් දාපු ශානරයකට ඇති කියලයි. 🤷‍♂️

(මේ කමෙන්ට් කිරිල්ලෙ අතීතකාම ආතල් එකක් තියනව තමා. ෆේස්බුක් එකේ වගේ like එකක් haha එකක් දාලා ඊළඟ එකට මාරු වෙනවට වඩා වැඩි යමක් තිබුණා/තියනවා බ්ලොග් වල. සුදා දිගටම ලියපං. අපි කමෙන්ට් දාන්න එන්නං. 😄)

ශ්‍රීෂානුත් ඉඩ තියෙන වෙලාවට ආයෙ ලියන්න. ඔය ඉන්න පැත්තෙ මොනවද වෙන්න, ඇත්දැක්කෙ මොනවද කියල.

පහුගිය අවුරුදු ටිකේ සෑහෙන්න කාර්යබහුල වුනා ඉගෙනගන්නයි, රස්සා වලටයි. මම හැමවෙලාවෙම හිටි​යෙ මොන මඟුලක්ද මං මේ කරන්නෙ, උදේ නැගිටිනව, වැඩට යනව, කොහොම දේවල්ද කරන්නෙ කියල හිත හි​ත.

ඒත් ඇත්තටම ඒක නෙවෙයි ඇත්ත. මට කල්පනා වුනා ඒ කාර්යබහුල ​දේවල් අස්සෙත් පොඩි පොඩි වැදගත් දේවල් වුනා නේද, මෙලෝ රහක් නැත්තෙමත් නෑ නේද කියල.

නාට්‍ය කලාව ස​හ ධනවාදී ආර්ථිකේ ගැන ලොහාන් කියල තියෙන කතාව හරියටම හරි. දුකයි කතාව. ඒත් පොඩි පොඩි ගිනි පුපුරු වගේ නිර්මාණ තැන තැන පොඩියට හරි හැදේවි. ඒකට සාක්ෂියක් විදිහට උඩ කියපු නිර්මාණ ගන්න පුළුවන් මං හිතන්නෙ. දැක්කොත් දැක්ක මිසක් සංරක්ෂණේනං අනේමන්දා.

ලස්සන ලිපියක් සහ කොමෙන්ට් ටිකක්. මතක ටිකක් ඇවිස්සුනා මේක කියවලා. කැම්පස් එකේ තුන්වැනි අවුරුද්දේ දවසක “රජා මං වහලා” පෙන්නුවා. සෙට් එකත් එක්ක ඒක බලන්න ගියේ බෝඩිමේ ඉන්න තියෙන කම්මැලි කම නිසා.

එකෙක් මීක් නැතුව මුළු ෂෝ එකම ගලාගෙන ගියා. ලවු කරන්න කියලා ආපු ජෝඩු කට ඇරගෙන නාට්‍යය බැලුවෙ. මම එහෙම නාට්‍යයක් උපන්තේකට බලලා නෑ. එදා ඉඳන් හිතන් ඉන්නවා “මකරට” බලන්න. ඒත් අදටත් බැරි වුණා.

එක දවසක් මම කුරුණෑගල නගර ශාලාවෙ ‘මකරට’ බැලුවා. නගර ශාලාවයි වේදිකාවයි එතකොට ගරා වැටිලා හරිම අඳුරු තැනක්, අලුත්වැඩියාව සඳහා ඒක වහන්න ඔන්න මෙන්න තිබුණෙ. මට මතක විදිහට ආලෝකකරණය සකස් කරගෙන නාට්‍යය පටන්ගන්නත් සෑහෙන වෙලාවක් ප්‍රමාදත් වුණා මොකක් හරි හේතුවක් නිසා. නරඹන්නො වැඩි දෙනෙක් – ටියුෂන් පන්ති යන ළමයි මම හිතන්නෙ – උනන්දුව නැති වෙලා වගේ ඔහේ යමින් එමින් හිටියෙ.

නාට්‍යය පටන්ගත්තා විතරයි ඒ ගරා වැටුණු නගර ශාලා ගොඩනැඟිල්ලෙ ද ඉන්නේ කියල හිතාගන්න බැරි තරමට වාතාවරණය වෙනස් වුණා. කිසි කෙනෙක් හෙල්ලුණේ නැහැ. නාට්‍යයේ ජවසම්පන්න රඟපෑම්, වර්ණ, රංග වින්‍යාසය, පසුතල, සංගීතය සේරම එක ම යන්ත්‍රයක් වගේ දිව්වා. ශාලාවක් ඇතුළේ ඒ වගේ විපර්යාසයක් මම දැකල නැහැ වෙන තැනක.

ඔය වගේම අත්දැකීමක් මට තියෙනව “මකරට” ගැන. SLIIT එකේ පළවෙනි සෙමෙස්ටරේ ඉවරවෙලා දෙන නිවාඩුවට සූදානම් කරල තිබුනා නාට්‍ය හා රංගකලාව ගැන උගන්වන Non-Credit පාඨමාලාවක්. මට ආස හිතිල මාත් ඒකට සම්බන්ධ වුනා. ඒකෙ ​ෆීල්ඩ් ට්‍රිප් එක විදිහට අපිව එක්කගෙන ගියා පේරාදෙණියෙ වලට.

එදා මං හිතන්නෙ වල සතියෙ අවසාන දවස. පෙන්නුවෙ “මකරට”. එලිමහනෙ රෑ වාඩි වෙලා මන්දාගාමී විදුලි ආලෝක මධ්‍යයේ හෙමින් සීරු​වෙ වැටෙන පොද වැස්සත් එක්ක ඒ නාට්‍යය බලන්න ලැබුන එක මාරයි. සරච්චන්ද්‍රගෙ කාලෙත් මෙහෙම වෙන්න ඇති කියල කියල හිතාගෙන, පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙනගන්න අය ගැන ඉරිසියා හිත හිත තමයි ගෙදර ආවෙ.

“කොලොම්​බො කොලොම්​බො” වලින් පස්සෙ ඒ තරමට දැනිච්ච ස්වතන්ත්‍ර වේදිකා නාට්‍යයක් මම බලල නැහැ. මම කියන්නෙ එහෙම ඒවා නොතිබුනා කියල නෙමෙයි, පෝස්ට් එකේ සඳහන් ඒවාත් ඇතුලුව ගොඩක් ඒවා මට මිස් උනා. ගිහින් බලපු ඒවා ගැන හිතුනෙ ‘මේ මොන අහවල්’ එකක්ද කියල.

එහෙම නාට්‍ය ටිකක් තිබුනා තමයි. විශේෂයෙන්ම මාරයි කියල නම් දරාපු උදවියගෙ. මාත් එහෙම නමට (බ්‍රෑන්ඩ් එකට) වටිනාකමක් දීල බලන්න ගියපු නාට්‍ය ටිකක් තියෙනවා. අඩුගානෙ රඟපාන්න දායක වුන අයට ජීවත් වෙන්න හරි කිසියම් මුදලකින් දායක වුනා කියල හිත හදාගෙන ගෙදර ආවා. චාමික හත්ලහවත්තගේ නාට්‍ය ආයෙමත් පෙන්නන්න අවස්ථාව තියෙනවා. එතකොට බලන්න යමු. මාත් යන්න ඕනෙ ආයෙ.

Leave a Reply to Supun Sudaraka Cancel reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.