කුරුලු හදවත ගැන කෙටි සටහනක්

155842_10151976643308264_826989464_n

ලියනගේ අමරකීර්තිගේ පොතක් විදිහට මුල්වරට කියවෙන්නේ අටවක පුත්තු. තමාගේ රසවිඳීමේ විචාරය තීරණය වෙන්නේ තමන්ගේ පෙර අත්දැකීම් හා තමාගේ වටාපිටාව එක්ක. ඉතින් මට අටවක පුත්තු සෑහෙන්න වැදගත් පොතක් වුනා. පොත කියවන්නේ උසස් පෙළ කරන කාලේ. එහෙම පොතක් නොකියෙව්වානම්, සමහර විට මට ගණිතය අංශයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න තිබුනා වෙන්න පුලුවනි. 😛

මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා අපේ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක්වුන. මනුස්සයා මං ගැන සෑහෙන්න විවේචනයක් අර යාලුවාට දීලා මාව මිතුරුකමෙනුත් අයින් කරන්න කිව්වේ උසස් පෙළ ගණිත අංශයෙන් කරන කෙනෙක් විෂයට පිට පොත් කියවන්න ඇබ්බැහිවුනොත්, එයින් ඇතිවෙන දරුණු විපාක ළඟ මිතුරන්ටත් බලපාන නිසා.

ඒ කතාව ඇත්ත.

කුරුලු හදවත ලියන්නේ අටවක පුත්තු පොතම ලියූ ලියනගේ අමරකීර්ති බව අඳුරගන්න ලැබෙන්නේ ඒ ලියන ශෛලියෙන් සහ කතාවට මුල්වූ පරිසරයෙන්. ඒත් අටවක පුත්තු පොත ලියන අමරකීර්තිගේ ලිවීමේ හැකියාවේ දරුණු පසුබෑමක් පෙන්වන පොතක් තමයි කුරුලු හදවත. ඇයි ඒ?

මම ඉපදෙන්නෙ අනූ දෙක අවුරුද්දේ, හැදෙන්නේ වැඩෙන්නේ රූපවාහිනියත් එක්ක. ගුවන්විදුලිය එක්ක සෑහෙන්න ලොකු සම්බන්ධයක් තිබුනේම නෑ. අනික මම ඉපදෙනකොට ගොඩක් ගුවන් විදුලි චරිත අභාවයට ගිහින්. එහෙම නැතිනම් අභාවප්‍රාප්ත ගන්වලා (ප්‍රේමකීර්ති ද අල්විස්). ඒක නිසා මේ පොතේ මුල් අර්ධයනම් මට දැනුනෙ නෑ. එකම දේ නැවත නැවත කියවෙන නිසා මේ පොත ලියන්නට වැය වුන අවුරුදු හයේ කාල සීමාවේ ලියනගේ අමරකීර්තිට වෙනත් බොහෝ දෑ කරන්නට ඉඩ තිබුනා කියලයි මට නම් හිතුනේ.

ඒ කොහොමවුනත්, කතාවේ අවසාන අර්ධයේ එකතුවන චරිත මේ කතාවට කිසියම් සාධාරණයක් ඉටුකරලා තියෙනවා. ලේඛකයා ඉදිරිපත් කරන්නට උත්සාහ කරන කතාවේ දේශපාලනය සහ මගේ දේශපාලනය සමපාතවෙන නිසා, පොතෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන දේශපාලනය වෙනුවෙන් ලොකු ඇගයීමක් මගෙන් ලියනගේ අමරකීර්තිට හිමිවෙනවා. මේ පොතෙන් සෑහෙන්න හොඳ දේශපාලනයක් ගෙනියන්න තිබුනා කතාවත් ඒ වගේම ශක්තිමත් වුනානම්. කතාව ඇඟට දැනෙන්නෙ නැති නිසා, ඒකෙන් කී දෙනෙක්ට මේ දේශපාලනය ගෙනියන්න පුලුවන්දැයි කියන එකනම් මට සැකයි.

කොහොමත් මේ පොත ලියනගේ අමරකීර්ති තමන්ගේ ජීවිතයේ රාජකාරි මැද ලියපු පොතක් බව පේන්න තියෙන්නේ පොතේ තියෙන බොහෝ කෙටි පරිච්ඡේදවලින්. සිංහල නවකතාකාරයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය, නවකතා ලියන්නට වෙලාවක් හොයාගන්න නොහැකි වීම. ඒකට ඉතින් ලංකාවෙ ආර්ථික රටාවට දොස් කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපිට වුනත් කැම්පස් එකේ නාට්‍යයක් ලියන්න, සින්දුවක් අහන්න, අලුත් නිර්මාණයක් කරන්න වෙලාවක් නෑ. හිතට එන අදහස් උඩට අලුත් තියරි ගොඩගැහෙන නිසා අලුත් නිර්මාණයක් හෝ කවියක් හෝ ලිවීමේ අදහස් ලත් තැනම ලොප් කරනවා.

ඉතින් පුංචි අපට එහෙමනම්, ලොකු රචකයින් ගැන කවර කතා ද?

මේ පොත මෙහෙම වුනත්, ලියනගේ අමරකීර්ති තව මොන විදිහේ පොතක් ලිව්වත් මම කියවනවා. බාගයක් යද්දි පොත පැත්තකින් නොතිව්වේ රචකයාට තියෙන ගෞරවය නිසා මිසක් වෙන යමක් නිසා නෙවෙයි. අනික මේ සටහන අවලාද කිරීමක් නෙවෙයි. මෑතක කියවපු “මාගම් සෝලිය”, “සෙංකොට්ටං” වැනි නවකතාවලට වඩා මේ පොතේ පරිණත සංයමක් තියෙනවා. 3

ඒත් මට ලොකු බයක් තියෙනවා. අපේ අලුත් පරම්පරාවෙ අයට සරත්චන්ද්‍රගේම, හෝ මාර්ටින් වික්‍රමසිංහගේම පොත් “හොඳ පොත්” කියල උදාහරණ වලට පෙන්නන්න වෙයිද කියලා. සමහරවිට සිංහල සාහිත්‍යයේ අභාවය, අනාගතයේ ලංකාවෙ විද්‍යා/ගණිත විෂයයන් කරන දරුවන්ටනම් හොඳක්ම සිදුකරයි. 🙂

ප. ලි:

මේ පොත තුළ දමයන්තගේ කෙරෙන ගෞරව නියෝජනය (Cameo එක?), අටවක පුත්තු පොතේ පාඨකයන් වෙනුවෙන් ලේඛකයා විසින් කරන ආචාරයක් විදිහටයි මම දකින්නේ. 🙂

Join the Conversation

9 Comments

  1. කුරුළු හදවත ගැන මං ලියපු අදහසක් මෙතන තිබෙනවා. එහි මා කියූ එක් කරුණක් වන සිදුවීම්වලින් අදහස් මතු වන්නට ඉඩ හරිනවා වෙනුවට චරිත සංවාද ඔස්සේ අදහස් මතු කරන්නට උත්සාහ කිරීම ගැන විවේචනය තද වැඩියි කියලා මට හිතෙනවා. ‍මොකද, එයින් මෙහි සිද්ධි හෝ ගැටුම් හෝ ඇත්තේ ම නැද්ද කියා හිතෙන්න පුළුවන්. කියවන්න කුරුළු හදවත ගල් හදවතකින් ලියැවුණ බොල් පොතක් ද?

  2. කුරුළු හදවත නොකියෙව්වත් එක දෙයක් ගැන නම් කියන්නම වෙනවා. ඒක තමා මේ වෙලාව නැතෙයි කියන අවලාදය. අපිට වෙලා නැති වෙන්න මූලිකම හේතුව ජීවන අරගලය ගෙවාගන්න එක කියලා ගොඩක් අය කිව්වට ඒකේ උප කුලකයක් වන වාහන වල ගමන් කිරීම තමා කන්තෝරු කාරයො නම් විසාල කාලයක් ගත කරන්නේ. අනිත් අතට ඔය වෙලාව නෑ කියන අවලාදය නගන කාටවත් ප්‍රියතම කොම්පියුටර් ගේම් එක ගහන්න අමතක වෙන්නේ නෑ ( වයස අඩු අයට ) වගේම රට හදන කතා වල යෙදීමත් අවන්හල් වල කාලය ගත කිරීමත් අමතක කරන්නෙ නෑ.( වයස ටිකක් වැඩි අය )
    ඒ අතරේ ඉඳ හිට දොස්තර කෙනෙක් එහෙම සින්දු ටිකක් නොලියනවමත් නෙවෙයි. දොස්තර කෙනෙක් ට නම් ඉතින් මොන ප්‍රශ්නද ලංකාවේ හොඳම ගායක ගායිකාවො සින්දු කියන, හොඳම සංගීත අධ්යක්ශක ලා සංගීතය සපයන ප්‍රසංග පවා පවන්ත්වනවනේ. එයාලනම් ඉතින් පාසල් කාලෙත් කලා බරයි කියලා තමයි ඇහුවම කියන්නේ ” පන්තියේ එදිනෙදා වැඩ එදාම ” කරපු ඒ වගේ පින්බර පුත්තුන්ට තමා ඉතින් නවකථා කෙටිකථා සින්දු එහෙම ලියන්න අවසර තියන්නේ, ටික කාලෙකින් අභිධර්මේ පැත්තටත් යන පාටක් පේනවා. ඒ විතරක්යැ කාර් එකක් විකුනන්න ගියත් දොස්තරගේ කාර් එකට සැලකිලි.

    එහෙම බලනකොට ඉතින් දොස්තර කෙනෙක්ම තමයි වෙනවනම් වෙන්න ඕන !

    දොස්තර කෙනෙක් නූනත් සුගතපාල ද සිල්වා නම් දරු මල්ලොයි ජීවන බරයි ඔක්කොම කර පින්නාගන නාට්‍යත් ලිව්ව බව තමයි අපට මතක.අපරාදෙ එයා දොස්තර කෙනෙක් වුනා නම් ඔයිටත් වැඩිය ලියයි.

  3. //උසස් පෙළ ගණිත අංශයෙන් කරන කෙනෙක් විෂයට පිට පොත් කියවන්න ඇබ්බැහිවුනොත්, එයින් ඇතිවෙන දරුණු විපාක…//
    ඒ කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ..ඇත්තෙත් නෑ. මම හිතන්නේ ඒක කියවන එක්කෙනාට සාපේක්ෂයි.
    නවකතා කියවන එක නවත්තන්න මට කවදාවත් හැකි වෙලා නෑ.
    පොත් කියවන එක මට කනවා බොනවා වගේ දෙයක්. මට පොත් කියවන්න වෙලාව වැයකරන්න එපාය කියන එක කන බොන එක විෂය බාහිර නිසා ඒවා ට යොදවන කාලේ නාස්තියක් හැටියට දකිනවා වගේ දෙයක්! 😀

    //සිංහල නවකතාකාරයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය, නවකතා ලියන්නට වෙලාවක් හොයාගන්න නොහැකි වීම//
    එහෙම නම් ඉතින් එයාල සිංහල නවකතාකාරයින් කියල හඳුන්වන්න අමාරුයි නේද? x රැකියාව කරන අතරේ විනෝදාංශයක් විදියට සිංහල නවකථා ලියන අය කියල තමයි කියන්ඩ වෙන්නේ 🙂

    1. කන බොන එකයි පොත් කියවන එකයි දෙකක් නෙව. කන බොන එක ප්‍රාථමික අවශ්‍යතාවක් වුනාට, පොත් කියවන එක එහෙම නෙවෙයි. පොත් කියවීම කියන එකෙන් අදහස් කරේ, ඒක නිකන්ම නිකන් කියවීමක් නොවෙයි, පොත්වල ඇති දෑ ප්‍රායෝගිකව කරන්න උත්සාහ කිරීම හෝ තමන්ගේ චරිතයට එකතු කරගන්න උත්සාහ කිරීම. 😛

      කොහොමත් ලංකාවෙ මේ වෙනකොට නවකතා ලියන්නෝ කවුරුවත් පූර්ණකාලීන ලියන්නන් නෙවෙයි. එයාලා ලිවීම කරන්නේ අනෙකුත් වැඩ ගොඩක් ඔළුවෙ තියාගෙන. අර කියල තියෙනවා වගේ විනෝදාංශයක් විදිහට. ඒ වුනාට නවකතා එයාලාගේ නමින් තියෙන නිසා අපිට එයාලට නවකතාකාරයින් කියන්න වෙනවා.

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: