Categories
Uncategorized

/*NO COMMENTS*/

කැම්පස් එකේ පළමුවෙනි සෙමෙස්තරය ඉවරයි. මේ දවස්වල විභාගෙ. ඒකෙනුත් විෂයන් හතරක් ඉවරයි. මේ හැමදේම සිදුවෙන අතරේ තමයි මේ ලිපිය ලියන්න හිතුනේ. ලිපි විතරක් නෙවෙයි. ජීවිතය වුනත් අලුතෙන් ලියවෙන කාලයක් මේ.

කැම්පස් එකේ මුහුනදෙන අත්දැකීම් සහ යොවුන් වියේ උච්චතම කාලයේ අත්දැකීම් අකුරු වලට හැරවීම බොහොම සියුම් වැඩක්. ලියුවාට විතරක් මදි නෙව. ඒව කියවන්න පුලුවන් වෙන්නත් ඕනෙ. කියවීම පාඨකයින්ට භාරයි. සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන්අරගෙන දැනට අවුරුදු 5කට ආසන්නයි. මේ කාලය ඇතුළත සිදුවූ සිදුවීම් ජීවිතය බොහෝ වෙනස්වීම් වලට ලක් කිරීම ආශ්වාදජනකයි. ඒ කියන්නේ ලිවීම ඇරඹීම සහ ජීවිතය වෙනස්වීම ඇරඹීම සමපාත වීම හරිම සහසම්බන්ධයි.

අන්තර්ජාලයට ලිවීම නිසා එක අතකින් යතුරු ලියනය වේගවත් වුනා කිව්වොත් හරි. සිංහල යුනිකෝඩ් සමූහයෙන් පටන් අරගෙන, එළකිරි ඩොම් කොම් එකේ සැලකිය තරම් නොහැකි කුඩා කාලයකුත්, ඊට පස්සෙ සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයත් ඇතුළෙත් එකිනෙකා සමඟ අතත්‍යව හඳුනාගත් මිත්‍රකම් තවමත් තියෙනවා. ඒ මිත්‍රකම් වල සමහර උදව්වල ණය නැවත ගෙවීමට නොහැකිවීම කණගාටුවට කරුණක්. අධ්‍යයන කටයුතු වලින් නිදහස් වූ වහාම ඒ වැඩෙත් කළ යුතුයි.

අවුරුදු උත්සව, සහ නොයෙකුත් හමුවීම් වලට නම් වැඩි කැමැත්තක් නැහැ දැන්. විශේෂයෙන්ම ප්‍රසාරණය වෙලා තියෙන සිංහල බ්ලොග් අවකාශයේ තියෙන ගුණාත්මක අවපාතය නිසා අදහස් දක්වන්න වුනත් හිතෙන්නේ නැහැ. බ්ලොග් කියන්නේ ජීවිතේ නෙවෙයි. බ්ලොග් කියන්නේ පොරත්වය නෙවෙයි. කීබෝඩ් එකෙන් ෆේස්බුක් එකෙන් එහාට තථ්‍ය ජීවිතයක් තියෙනවා යැයි හැමෝම තේරුම්ගත යුතුයි. ඒ වගේම අනන්‍යතා අර්බුද හඹා යෑම, සෙක්ස් ඇරියස්, හලාල් ප්‍රශ්න වගේ අනවශ්‍ය ප්‍රශ්න නිසා ලංකාවෙ මිනිස්සුන්ගෙ දූපත් මෙන්ටැලිටි එක එලියට එනකොට ඒක හරිම විකාර රූපී සහ ජුගුප්සාජනක දෙයක්.

අපි මේ වටකරගෙන පාලකයන්ට බැන්නාට මිනිස්සුන්ගෙ හැටියටයි පාලකයෝ. දූෂකයින්/ඝාතකයින් නිදැල්ලේ සිටියදී පාසල් ගාස්තු ගෙවාගැනීමට පොල් ගෙඩි අහුලන ගෑනු ළමයෙක් ලක්ෂ ගණන් ඇප දී බේරගන්න වෙනවා. පත්තර වල තව දුරටත් තියෙන්නෙ සෙක්ස් කතා සහ මන්තර ගුරුකම් ගැන විතරයි. මේ අතරෙ Google ආයතනය ලංකාවෙ මිනිස්සු සෙක්ස් වලින් අංක එකට පත් කරනවා. (සෙක්ස් සොයන්නන්!)

බ්ලොග් වලින් වුනත් ප්‍රතිරූපනය වෙන්නෙ මේ විකාර රූපී සමාජයම තමයි. මාත් ඒ විකාර රූපයට අයිතියි. මීට ටික කාලයකට කලින් පටන්ගත්ත වේදිකා නාට්‍ය ට්‍රෙන්ඩ් එක වුනත් දැන් ඩවුන්. වැඩේ කියන්නෙ විශ්ව විද්‍යාල වල මානව විද්‍යා ඉගෙන ගන්න උනුත්-නාට්‍ය කාරයොත්, ආදරය ගැන කවි ලියන උනුත් හලාල් ප්‍රශ්නය ගැන බැරෑරුම් දෑ සමාජ ජාල වල ෂෙයාර් කිරීම දකින්න ලැබෙන එක. ඒ කියන්නෙ අධ්‍යාපනයේ හිලක්.

අධාපන ප්‍රතිසංස්කරණ කිහිපයකට කලින් තිබූ පාඨ ග්‍රන්ථ සහ සහ දැන් පාසල් සිසුන්ගේ පාඨ ග්‍රන්ථ සැසඳීමෙන් මේ විකෘතියේ මූලාශ්‍ර සොයාගන්න පුලුවන්. පිට කවර ලස්සන වුනාට, ඇතුළ හිස්.

අවසන් වශයෙන් චිත්‍රපටි කිහිපයක් රෙකමදාරු කරන්නම්.

  • Inglorious Bastards.
  • Good Will Hunting.
  • Memento.
  • The Last Samurai.
  • V for Vendetta.
  • The Perks of Being a Wallflower.
  • Django Unchained.
  • X-Men First Class.
  • The Truman Show.

3 replies on “/*NO COMMENTS*/”

The Perks of Being a Wallflower බලා නැත. Good Will Hunting, Memento නැවත බැලිය යුතුයි. ක්‍රියාවට තියෙන ප්‍රතික්‍රියාව වගේ යම් මතයකට හාත්පසින් විරුද්ධ මතයකුත් තියෙනවා. හරි තැන හොයාගැනීමේ අවුලක හැම දෙයක්ම!

පුළුවන් නම් Perfect Sense චිත්‍රපටියත්‍ හොයාගෙන බලන්ට! උඹ කැමති වෙයි ඒකට!

කාලයත් සමඟ අවිවේකී වීමත් එක්ක අපි කරපු සමහර දේවල් වලට තාවකාලිකව විරාම දෙන්න වෙනවා. ඒ මොහොතේ කළයුතු වැදගත්ම දේ අතපහු නොකර කරන්න පුලුවන්නම් ඒක බොහොම වටිනවා… මම ආසාවෙන් කියවපු බ්ලොග් එකක් ලියවෙනවා අඩු වුනාම අප්සට් තමයි.. නමුත් කවුරුත් ගතකරන අවිවේකි ජීවිතේ නිසා මොනා කරන්නද..
මට වුනත් බ්ලොග් එකක් පටන් ගන්න , සිංහලෙන් ටයිප් කරන්න ආසාව ඇති කරන්න මුල්වුනු බ්ලොග් එකක් විදියට මේ බ්ලොග් එකට මම ස්තුතිවන්ත වෙනවා…

Leave a Reply to hare :-) Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.