වරද කාගෙද?

සිංහල පොතේ කැකිල්ලේ රජ ගැන සඳහන් වුන පාඩමට මාතෘකාව යෙදිල තිබුනෙ “වරද කාගෙද?” නමින්. ඒ මගේ මතකය නිවැරදි නම් පමණයි. ඕනෑ වුනේ කැකිල්ලේ රජ ගැන කතාකරන්නවත්, දේශපාලනය ගැන කතා කරන්නවත් නොවෙයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතා කරන්නයි. ෆේස්බුක් වෙබ් අඩවිය ගැන කතිකා ඇති වීම දැන් කාලේ විලාසිතාවක් වීම නිසා මගේ හිතේ ෆේස්බුක් ගැන කතාකිරීමට අකමැත්තක් තිබුනත්, නොලියාම බැරි නිසා පොඩි සටහනක් යොදන්නම්. සටහන යොදන්න හිතුනෙ ලංකා ටෘත් (Lanka Truth) වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් නිසාවෙන්.

ප්‍රවෘත්තියේ කියැවෙන විදිහට ෆේස්බුක් වෙබ් අඩවියට විරුද්ධව ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි 50කට වඩා ඇති බවත්, එයින් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙකේ. ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබන ඡායාරූප වලින් අසභ්‍ය ඡායාරූප නිර්මාණය කරලා!

මේ ගැන ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහත්මාගේ ප්‍රතිචාරය අගය කළ යුතුයි. ෆේස්බුක් එකිනෙකාගේ පුද්ගලික අවශ්‍යතාව අනුව භාවිතයේ වෙනස්කම් ඇති නිසාවෙන් පොදුවේ රටටම බලපාන ආකාරයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කරන්න බැහැ. මේ කාරණය නිසා පැමිණිල්ල ෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව වුනත්, හරිනම් පැමිණිල්ල එල්ල වෙන්න ඕනෙ පැමිණිල්ල යොදන කෙනාටමයි.

ඒක හරියට නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (විවරණය: හාමුදුරුවො = ෆේස්බුක්) වගේ වුනත්, ෆේස්බුක් භාවිතා කරන උදවිය කිසිම පරික්ෂාවකින් තොරව තමන්ගෙ නොයෙකුත් ඡායාරූප ඇතුළත් කරන අතරෙ ඒ සඳහා අවශ්‍ය කරන පෞද්ගලිකත්ව ආරක්ෂණ උපක්‍රම යොදන්නෙ නැහැ. ඒ වගේම නොදන්න අය මහපරිමා‍ණයෙන් තමන්ගෙ මිතුරු මිතුරියන් කරගෙන.

විකල්ප තුනක් තියෙනවා. ඔබට මිතුරු මිතුරියන් සොයාගන්න අවශ්‍යනම්, මූන පෙන්නන්නම අවශ්‍ය නම්, හැඳුනුම්පතේ ඡායාරූපයක් වගේ එකක් Profile Picture එක විදිහට ඇතුළත් කරල අනිත් සියලුම තමාගේ ඡායාරූප අයින් කරන එක ඇඟට ගුණයි.

දෙවෙනි විකල්පය, තමන්ගෙ ඡායාරූප තියාගන්න වෙන තැනක් ඇත්තේම නැතුව ෆේස්බුක් එකට ඇතුළත් කරනවානම්, තමන් ඇත්ත ජීවිතයේ මුනගැහෙන අය විතරක් එකතු කරගන්න. ඇත්ත ජීවිත‍යේ අයත් විශ්වාස කරන්න බැරි මේ වගේ කාලයක, ටිකක් පරිස්සමෙන්. පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න! (වහෙන් ඔරෝ කිව්වෙ Privacy Settings හරියට හදාගන්න)

අනිත් දේ තමයි, ෆේස්බුක් භාවිතා නොකර ඉන්න එක.

නැතිනම් වෙන්නෙ නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න වෙන එකයි.

Join the Conversation

12 Comments

  1. නියම කතාවක්. ඇත්ත තමා අපි දැනගන්න ඕන අපේ පුද්ගිකත්වය ආරක්ෂා කරගන්න. ඒකට social Networking site පලි නෑනේ

  2. ඒ කතාව හරියටම හරි… ෆේස් බුක් පාවිච්චි කරනවා නම් ෆේස් බුක් ගෑන හරියටම දැනගෙන ඉන්න ඕන… දැන් ඉන්න ගොඩක් Facebook users ලා හොයන්නෙ බලන්නෙ නැතුව යාලුවෝ ඇඩ් කරගන්නව. friend requests accept කරනවා. තමන්ගේ මෝඩකම් වලට ෆේස්බුක් එකට බැනලා වැඩක් නැහැ. ආරක්ෂිත සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය ගැන ඉගෙන ගන්නවා මිසක්. ඉතාම කාලෝචිත ලිපියක් මල්ලි…

  3. ගොඩක් මගේ යාලුවෝ තමන්ගේ profile වල හිතූ හැටියේ යාලුවෝ ඇඩ් කරගන්නවා මමත් ඕනිතරම් දැකලා තියෙනවා..! අනික මේ ළඟදී මගේ යාලුවෙක්ගේ නමින් ම වෙන අයෙක් profile එකක් හදලා ඒ වගේ දේකදී ඇත්ත අයිතිය තියෙන පුද්ගලයා පත්වෙන අපහසුව මම දැකලත් තියෙනවා..! මේක වෙලා තියෙන්නේ පිටරටවල් වල ඇත්තෝ තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන යාලුවො එක්ක එකතුවෙන්න හදාගත්තු ක්‍රමයක් එක පාරටම අපේ අය එහි තේරුමක දන්නේ නැතුව වැළඳ ගන්න යාම. මින් ගොඳ ප්‍රතිඵල වගේම බොහොමයක් වෙලාවට ලැබෙන්නේ අනිටු ප්‍රථිපල..! මේ ගැන දැනුවත් කල එක නම් හරිම වටිනවා නොදන්න අය ට..! ස්තූතියි..!

  4. වරද තමන් තුල තියාගෙන පැමිණිලි කරන එක කොතරම් සාධාරණද කියන එක නම් සෑහෙන්න ඒ අය සිතිය යුතුයි.

  5. සමහරු facebook එකට බනින්නේ add කරගන්න පුළුවන් friendsලා ගාන 4,000 ට limit කලා කියලා…එයාලගේ add කරගන්න පුළුවන් සීමාව ඉවර වුනහම 500ක් විතර අයින් කරලා ආපහු add කරගන්නවා…මේ වගේ නොදන්නා අයව රෙද්ද අස්සට දමාගැනීමත් එක හේතුවක් මේ වගේ දේවල් වෙන්න….

  6. නියම කතාවක්. අපි දැනගන්න ඕන අපේ පුද්ගිකත්වය ආරක්ෂා කරගන්න.

  7. සිරා article එක මචං.
    එත් මචං Facebook වල security අඩු එක තමා අවුල.

  8. ඒකනෙ, රෙද්ද අස්සෙ නයි දාගෙන කනෝ කනෝ කියලා කෑ ගැහුවට වැඩක් තියනවැ.. එක්කෝ පාවිච්චි කරන්න ඉගෙනගන්න ඕනා නැත්තම් පාවිච්චි නොකර ඉන්න ඕනා.

  9. මා සතුව පාට් ටයිම් ජාල කඩයක් ඇත. සමහර දින වලට වැඩිය කවුරුත් නැති අවස්ථාවල කෙනෙක් දෙන්නෙක් පැමිණේ. “අයියේ… ෆේස්බුක් එක ඩිඇක්ටිවේට් කරන්නේ කොහොමද? අනේ ඒක කරලා දෙන්න”. බොහෝවිට එහෙම අසන්නේ නව යොවුන් වියේ ගෑණු ළමයෙකි. ඒ ඇය ෆේස්බුක් වලින් බැට කෑ පසුවය. “හරි”. මම එය ඉටුකර දෙමි.

    මගේ ජාල කඩය ඇත්තේ කොහොම තැනකද යන්න නොකියමි.

    නැවත මසකට දෙකකට පමණ පසුව ඇය නැවත පැමිණේ. “අයියේ… මගේ ෆේස් බුක් එක ඩිඇක්ට්වේට් කරලා දෙන්නකෝ”. අවසානවක මහත. පළළමුවර ඩිඇක්ට්වේෂන් එකෙන් පසුව ඇය එය ඇක්ටිවේට් කර ගන්නා ආකරය නොදන්නා නිසා නැවත නව ගිණුමක් අරඹා එහිද නැවත චාටර් වූ පසු නැවත ඩිඇක්ට්වේෂන් එක සඳහා පැමිණේ. වරද කාගෙද? ප්‍රශ්ණය එයයි. එක අතකින් ඔවුන්ගේ කාලය අපරාදේය. තව අතකින් ෆේස්බුක්හි ඩේටාබේස් එකෙහි ඩුප්ලිකේට් එකවුන්ට් සඳහා යන ඉඩ අපරාදේය.

    එබැවින් මම එකක් කරමි. වෘත්තියක් වශයෙන් මා හට පාසැල් වල නොයෙකුත් සම්මන්ත්‍රණ සඳහා යන්නට සිදුවේ. ඒ හැම එකක්ම අවසානයේ මම වෙනම පැය භාගයක්වත් ගෙන ඔන්ලයින් සෝෂල් නෙට්වර්ක් වල හොඳ සහ නරක සාධක සහිතව කියා දෙමි. ඔබ මේ ලිපියෙහි කල ලෙසින්ම දැනුවත් කිරීම හැර අපට ඉන් එහා කල හැකි දෙයක් නැත.

    පැමිණිලි දමා පලක් නැත. ස්වයංව දිව සපාගෙන මිය යාම ඊට වඩා අර්ථවත්ය…

    හොඳ ලිපියක්. තවත් විස්තරාත්මකව තිබුණනං දිග වැඩිවුනත් ගොඩක් වටිනවා.

    ජය 🙂

  10. Facebook වල හොදත් තියෙනවා නරකත් තියෙනවා. අපි දැනගන්න ඕනේ හොද දේ විතරක් අරගෙන නරක අයින් කරන්න. නරක දේ ඈත් කරන්න ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කරන එක තේරුමක් නැති වැඩක්. උදාහරණයක් විදිහට පිහියක් ගත්තොත් ඒක ‍ගේදොර ප්‍රයෝජනවත් වැඩකට ගන්නත් පුළුවන් , කෙනෙක්ගේ ජීවීතයකට හානි කරන්න ගන්නත් පුළුවන්.එහෙම කියලා අපි කරන්න ඕනේ පිහි භාවිතයෙන් අයින් කරන එක නෙවෙයිකේ . ස්තුතියි මේ ගෙන සදහන් කළාට .කාලීන ලිපියක්

Leave a comment

Leave a Reply to කුෂාන් ඇස්. වන්නිආරච්චි Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: