Categories
අධ්‍යාපනික විවිධ ශ්‍රී ලංකා

අන්තර්ජාතික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය

මේ දවස්වල ප්‍රවෘත්ති බලනකොට රජයේ ඇමති මාමා කෙනෙක් කියලා තියෙනවා ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය බව. ඉතින් ඒක ඇහුවාම මට මෙන්න මෙහෙම හිතුනා. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර උතුමාණන් විසින් ලංකාවට හඳුන්වාදීපු නොමිලේ අධ්‍යාපනය, එහෙමත් නැත්නම් නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා පන්ති බේදයක් නැතිව, දුප්පත් පොහොසත් බේදයක් නැතිව හැම දෙනාටම ඉගෙනගන්නට ලැබුනා. මේ නිසාම දැන් ලංකාවේ සාක්ෂරතා මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. මං මේ කතා කරන්නේ අන්තර්ජාතික පාසල්, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඉස්කෝලත් එක්ක තියෙන වෛරයක් පිරිමහගන්න නෙවෙයි. ඒත් ම‍ට මෙහෙම හිතෙනවා. පෞද්ගලික පාසල් නිසා කුඩා දරුවන් අතර සමානාත්මතාව බිඳ වැටිලා. එක එක නිළ ඇඳුම්. බස් එකේ ඉඳලා ගෙදර ‍එනකොට නානාප්‍රකාර ඇඳුම් ඇඳගත්ත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒකේ පේන්න තරම් ප්‍රශ්නයක් නෑ තමයි. ඒත් හැම දෙනාම එකම වගේ නිල ඇඳුමක් අඳිනවා නම් කොච්චර ලස්සනද කියලා දවසක් බස් එකේ යද්දී හිතට ආවා. ඒක පොඩි සුළු කාරණයක්. දැන් අපි බලමු බැරෑරුම් ප්‍රශ්න මොනවාද කියලා, අධ්‍යාපන වාණිජකරණය වෙලා. ඒක නිසාම දැන් රජයේ පාසල් වල ගුරුවරුත් තමන්ගේ ගෞරවය බල්ලට දාලා වර්ජනය කරන්න පටන් ඇරගෙන. (වාර්තා වෙන විදිහට නම් හෙටත් වර්ජනයක් තියෙනවා) මේකෙන් අපිට අයිස් ගහන්න ලැබෙන එක වෙනම කාරණයක් ඒ වුනාට බොර දියේ මාලු බාන කෙනෙකුට ඇත්ත ප්‍රශ්නෙටත් වඩා දේවල් මවලා පෙන්නලා ගුරුවරුන්ගේ ප්‍රතිරූපය විනාස කරන්න පුළුවන්. මෙන්න මේ කාරණය නිසා රජයේ පාසල් වල තත්ත්වය පහළ යනවා ව‍ගේම, අන්තර්ජාතික පාසල් වලට හොඳ ප්‍රචාරණයක් ලැබෙනවා. ඒ වගේම මේ පාසල් වල උගන්වන්නේ මුදලටනේ. ඉතින් ඒ පාසල් වලට යන්නේ ලොකු ලොකු පැලැන්ති වල උදවිය. මෙන්න මේක නිසා ‍එත‍න කිසි විවිධත්වයක් නෑ. සමාජයක් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නෑ. රජයේ පාසලක එහෙමද? උදාහරණයක් විදිහට අපේ පාසල ගමු. අන්ත දුප්පතාගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ පුත්තු වෙනකම්ම එනවා. ඒ අය සමහර වෙලාවට සුහදව කතා කරගන්නවා. සමහර වෙලාවට ගහගන්නවා. මේවා සියල්ලම ජීවන අත්දැකීම් විදිහට තමන්ගේ ජීවි‍තයට එකතු වෙනවා. එතකොට පස්සේ කාලෙකදී තමන් සමාජයක හැසිරෙන්න ඕනේ කොහොමද කියලා අත්දැකීම් ලැබෙනවා වගේම සමාජ පන්ති අතර සුහදත්වය ගොඩනැගෙනවා. ශිෂ්‍ය ජීවිතයේ වාසිය උපරිම වශයෙන් විඳිනවා. අන්තර්ජාතික පාසලක මොන පහසුකම් තිබුනත් ඒ දේ නම් නෑ. එන්නේ ලොකු ලොකු පැලැන්ති වලින්. ඒ වගේම තමන්ගේ ඉඩ කඩම් උගස් කරලා අන්තර්ජාතික පාසල් වලට දාන ළමයිනුත් ඉන්නවා. ඉතින් ඒ අය සුළුතරයක් විතරයි. ඒ අය අර බහුතරයක් වෙච්ච ලොකු පැලැන්තියේ ග්‍රහණයට හසුවෙනවා. තමන්ගේ හැකියාවන්, උවමනාවන් මොනවාද කියලා දන්නේ නැතිව ඒ සුළුතරය අර බහුතරය අතරේ හිර වෙන එක සාමාන්‍ය කාරණයක්. අන්තර්ජාතික පාසල් වලට ළමයින් ඇතුලත් කරන්නේ ඒ ළමයින්ගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරන්න. ඇයි කට්ටිය තමන්ගේ දරුවාව සිංහල භාෂාව පිළිබඳ උගන්වන පාසල් වලට යොමු කරන්නේ නැත්තේ? ඔව්! ඒ වර්තමාන ලෝක ආර්ථික තත්ත්වය නිසා තමයි. ඉංග්‍රීසි භාෂාව දැන් මව් භාෂාවටත් වඩා අත්‍යවශ්‍ය භාෂාවක් වෙලා ඉවරයි. මෙන්න මේ කාරණය නිසා, සිංහල භාෂාව නොදත් සිංහල කළු සුද්දන් පැළැන්තියක් බිහිවෙනවා.

අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ, ලංකාවේ පන්ති බේදයක් නිර්මාණය වීම පමණයි.

ජාතියේ ඉදිරි පැවැත්මක් මේකෙන් වෙන්නේ නෑ. හැමෝම කළු සුද්දන් වෙනවා. ඉංග්‍රීසි භාෂාව හැදැරීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ, ඇයි කාටවත් බැරි සිංහල භාෂාව හා සමගාමීව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න තමන්‍‍ගේ දරුවා යොමු කරන්න? ලෝකයේ හොඳම ඉංග්‍රීසි කියන්නේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි. බ්‍රිතාන්‍ය ඉංග්‍රීසින් හැරුනාම ලෝකයේ හොඳටම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන් බව අතිශයෝක්තියක් නෙවෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ අපූරු සිංහල මව් භාෂාව නිසා. මේක අපිට උපතින්ම දායාද වෙලා තියෙනවා. සිංහල භාෂාවෙන් ලැබූ දායාදය නිසා අපි ඉතාමත් අලංකාරව ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. ඒත් දැන් වෙන්න යන්නේ මොකක්ද? ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ගිහිල්ලා දැන් අමුතු විදිහට සිංහල කතා කරන්න පටන් ඇරගෙන. මං හිතන්නේ දැන් පරපුර ඒක කරන්නේ විලාසිතාවට. බලන්න බල්ලෙක් පස්සෙන් පැන්නුවොත් “බුදු අම්මෝ!” කියලා දුවන්නේ නැද්ද කියලා?
ඒ අන්තර්ජාතික පාසල් නිසා මව් භාෂාවට අත් වන ඉරණම. සාමාන්‍යයෙන් එදිනෙදා අපි අපි කතාක‍රගන්නකොට ඉංග්‍රීසි වදන් යොදාගැනීම නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඕනැවට වඩා ඉංග්‍රීසි වෙන්න ගිහිල්ලා සිදුවෙන්නේ තමන්ගේ මව් භාෂාව ක්ෂීණ වෙලා යන එකයි. වෙන්න ඕනේ තමන්ගේ මව් භාෂාවයි. ඉංග්‍රීසි භාෂාවයි දෙකම පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. හරි අපි හිතමු අනාගතේ අපි ඉංග්‍රීසියෙන් විතරක් වැඩක් කරන්න ගියා කියලා, එතකොට අපිට කිසිම රහසක් තියාගන්න බැරිවෙනවා. මේ සරල උදාහරණයක්.

අපේ ක්‍රිකට් කණ්ඩායම ඔන්න ගියා පිටරට මේ අය එක්කෙනෙක් වත් හරියට සිංහල භාෂාව වත් දන්නේ නැ. (සමහර දෙමළ අයටයි මුස්ලිම් අයටයි දැන් සිංහල අයටත් වඩා ‍හොඳට සිංහල භාෂාව කතා කරන්න පුළුවන්) ඉතින් කොහොමද කණ්ඩායම තමන් ක්‍රීඩා පිටියේ ඉඳිද්දී එකිනෙකා අතර තමන්ගේ ක්‍රීඩා උපක්‍රමය පිළිබඳව අනිත් අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ? ඔක්කොම උපක්‍රම ප්‍රතිවාදී කණ්ඩායම දැනගන්නවා.

ලෝකේ සීමිත සිංහල ජාතියට වගේ මේ ලැබිලා තියෙන ස්වර්ණමය භාෂාවක් රැකගන්න බැරිනම් අපි සිංහල වෙලා ඇති වැඩක් නෑ. ජපානයේ රැකියාවකට අවශ්‍ය මූලික සුදුසුකම ඉංග්‍රීසි දැන සිටීම නොවෙයි. ජපන් භාෂාව හොඳින් දැන සිටීමයි.

ඉතින් මම අවධාරණය කරන්නේ, අපි ඉස්සරහට ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නම්, අපි ලෝකයා සමඟ ගනුදෙනු කරමින් ආර්ථික පැවැත්ම පවත්වා ගැනීමට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුවත්කමින් සිටිය යුතුවා වාගේම, ජාතියේ පැවැත්ම වෙනුවෙන් සිංහල භාෂාව හා සිංහල චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත්.

නැතිනම් සිංහල ජාතිය පැවතෙන්නේ තවත් පරම්පරා කීපයක් පමණයි. ඊ‍ට පසු වඳවී ගිය මානව කොට්ඨාසයක් ලෙසින් ඉතිහාසයට වැළලිලා යාවි.

ඉතින් මේකට අන්තර්ජාතික පාසල් වහලා හරියන්නේ නම් නෑ. රජයක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ!

හරිම සරලයි, හරිම පහසුයි. ජනතාවගේ සල්ලි වලින් ඩෙඟා නටන්නේ නැතිව ඒ මුදල් ‍රටේ අධ්‍යාපනයට ආයෝජනය කරපල්ලා යකුනේ!!! ත්‍රස්තවාදය මැඬලන්න කරගෙන යන යුද්ධයට මුදල් යෙදෙව්වාට පසු, ජනතාව වෙනුවෙන් ආයෝජනය කරන්න තවත් මුදල් රාශියක් භාණ්ඩා‍ගාරයේ තියෙනවා. ඇයි නෑ කියන්නේ? ‍එහෙනම් කෝටි ගණන් අර අහවල් ආයතනයට යොදලා බංකොලොත් කරගත්තේ? අර අහවල් සමුළුව තිව්වේ කො‍හොමද? පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ දරුවන් හොඳ පාසල් වලට ගිහිල්ලා පිස්සු කෙලිද්දී හිසට වහළක් නැතිව ගස් යට වාඩි වෙලා අධ්‍යාපනය ලබන අහිංසක ළමයි‍න්ගේ ජීවිතත් එක්ක විහිලු කරන්න එපා කරුණාකරලා… ඕන නැටුමක් නටාගන්න! ඒත් රටේ අනාගතය භාරගන්න බලාගෙන ඉන්න අයට පාර හදලා දීලා ඉන්න. ගොවියාගේ, කම්කරුවාගේ දරුවා කොහොමද අන්තර්ජාතික පාසලකට ගිහිල්ලා කඩ්ඩෙන් කොටන්න ඉගෙනගන්නේ? ඊළඟට ඒ දරුවාට ඉතිරිවෙන්නේ අමුඩ ලේන්සුවයි, උදැල්ලයි විතරයි. කඩ්ඩෙන් කෙටිල්ල කෙසේ වෙතත් කුඹුරු කෙටිල්ල විතරයි ඉතිරිවෙන්නේ. ඒ පාසල් වල අවශ්‍ය පහසුකම් තිබුනානම් ඒ දරුවා ‍ඉගෙනගන්නවා කොහොමද නව තාක්ෂණය යොදාගෙන ඵලදාව දියුණු කරන්නේ කියලා. අධ්‍යාපනයට සල්ලි‍ යෙදවීම විහිළුවක් කරගන්න එපා. ඒක හරිම බරපතලයි. අනාගතේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩන් වැටෙනවා නිසි අධ්‍යාපනයක් නැති වුනාම. හරියට රටක් පාලනය කරගන්න බැරි දේශපාලනය ගැන නොදන්න විදේශ ගැති මී හරක් රැලකට නොමිලේ පුන්නක්කු දෙන තැනක් වෙනවා අනාගත පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රඳාපවතින්න නම් දේශපාලන දැනීම තියෙන. පොදු ජනතාවත් එක්ක ගනුදෙනු කරන අයයි පත් වෙන්න ඕනේ. ඉතින් ඒක අනාගතේ වෙයිද?

ඔය භාණ්ඩාගාරයේ තියෙන මුදල් වලින් ගමේ නග‍රයේ පාසල් වලට යටිතල පහසුකම් සපයන්න. ගුරුවරු අතිරික්තයන් පවතින තැන් වලින් ඌනතාවන්ගෙන් පිරිච්ච පාසල් වලට මාරු කරන්න. මුදල් නැතිනම් ණය ගන්න. ඒක අනාගතයට ආයෝජනයක් විදිහට යොදන්න ඔය එක එක මඟුල් කරන්නේ නැතිව. මං මේ කියන්නේ දැන් ආණ්ඩුවට විතරක් නෙවෙයි. ඔය එන්න බලාගෙන වලි කන එවුන්ටත් එක්ක. උනුත් ඇවිල්ලා කාලා බීලා ‍ජොලි කරලා ආතල් එකේ ඉඳලා යනවා විතරයි. අධ්‍යාපනයට යොදන මුදල් කප්පාදු කරන්න එපා. අද දුප්පත් කම්කරුවාගේ පුතා, දුව හෙට රටට වැඩදායී නව දැනුමෙන් සන්නද්ධ පුරවැසියෙකු බිහිවෙනවා නියතයි!

  • වැහිච්ච පාසල් නැවත විවෘත කරන්න
  • හිසට වහලක් හදලා දෙන්න
  • ළමයින්ගේ අච්චු පොත් එක්ක පිස්සු කෙලින්නේ නැතිව වගකීමෙන් වැඩකරන්න
  • පාසල් තුළ ඉංග්‍රීසි, සහ දේශීය භාෂාවන් (සිංහල, දමිළ) පිළිබඳ අධ්‍යාපනයට වැඩි අවධානයක් දී ඒවා දියුණු කරන්න
  • බටහිර සංගීතය, පෙරදිග සංගීතය, දේශීය සංගීතය, නර්තනය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යාපනය දියුණු කරන්න
  • යටි මඩි ගහන්නේ නැතිව ඉගෙනුම් උපකරණ, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න.
  • කෘෂිකර්මය පිළිබඳ දැනුම තීව්‍ර කරන්න උත්සාහ කරන්න
  • ගුරුවරුන්ට නිසි ඇගයීම් කරන්න

ගමේ සම්පත් ගමෙන් වෙන් නොකර, ගම තුලම ව්‍යවසායකත්වය දියුණු කිරීම අන්තර්ජාල පහසුකම්, දුරස්ථ අධ්‍යාපන උපක්‍රම දියුණු කරන්න.

මේවා කරන්න බැරි දේවල් නෙවෙයි. මේවා කරාම අර අන්තර්ජාතික පාසල් වලට නිර්මාණය වෙමින් තියෙන තැන කඩාගෙන වැඩෙටනවා. සමාජ තත්ත්වය දියුණු වෙනවා. අනාගතේ සුවිශාල සමාජයයීය බලවත්කමක් නිර්මාණය වෙනවා වගේම නිෂ්පාදනය දියුණු වෙනවා. ඒකෙන් රටේ දියුණුව ඇති වෙනවා විතරක් නෙවෙයි සංස්කෘතිය පිරිහෙන්නෙත් නැහැ. සාමාජ පන්ති නිර්මාණය වෙලා අන්ත දුප්පත් පීඩනයට පත් කම්කරු පන්තියක් නිර්මාණය නොවී, ශක්තිමත් දැනුමෙන් පිරි කම්කරු පන්තියක් නිර්මාණය වෙනවා.

ලංකාවේ තවම පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වෙලා නෑ. රජය නිසි ප්‍රතිපාදන දැනට පවතින විශ්ව විද්‍යාල වලට යොදනවා නම්, ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නිර්මාණය කරන්න කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. විශ්ව විද්‍යාල වලට හොඳට ප්‍රතිපාදන යොදනවා නම්, බොර දියේ මාලු බාන්න එක එක දේශපාලන පක්ෂ වලට අවශ්‍ය වෙන්නේ නැහැ. මහත් බලාපොරොත්තු තියාගෙන ගමේ කට්ට කාලා විශ්ව විද්‍යාලයට ආපු ශිෂ්‍යාවෝ කිහිපදෙනෙක් කොළඹ සමාජය විසින් දැනටමත් ඩැහැගෙන. කැසිනෝ ශාලා වල සේවය කරන්න ඔවුන්ව යොදවනවා කියලා අපිට ආරන්චියි. ඉතින් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරාම මේ තත්ත්වය දෙගුණ තෙගුණ වෙනවා. දැන් පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය ඇරගෙන බැලුවාම මේ තත්ත්වය ගණිකා වෘත්තියෙනුත් එහා ගිහිල්ලා එයිනුත් නත‍ර වෙන්නේ නැහැ. මේ විනාශ වෙන්නේ නිකන්ම නිකන් අය නෙවෙයි රටේ මානව සම්පත. ඉතින් සිසුන්ට හා විශ්ව විද්‍යාල වලට නිසි ප්‍රතිපාදන වෙන් කරලා හොඳ විශ්ව විද්‍යාල අපේ රටේ නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට විදෙස් රටවලින් සිසුන්ව ගෙන්න ගන්න පුළුවන්. විදෙස් රටවලින් සිසුන්ගේ පැමිණීමත් සමඟම රටට විදේශ විණිමය ලැබෙනවා. විදේශ විණිමය ලබාගන්න එතකොට විශ්ව විද්‍යාල අරින්න වැඩක් නැහැ. රාජ්‍ය ව්‍යවසාය හරහා විශිෂ්ට විශ්ව විද්‍යාල නිර්මාණය කර, ඒවාට විදේශයන්ගෙන් සිසුන් ගෙන්වා ගැනීමෙන් විදේශ විණිමය ලංකාවට ලබාගත හැකියි.

මේ කියන්නේ කරන්න බැරි දේවල් නෙවෙයි නේද? මට මේක පේන්නේ මේ විදිහට. ඔබට වෙනත් විදිහකට පේන්න පුළුවන්. ඔබේ අදහස් මොනවාද?

16 replies on “අන්තර්ජාතික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය”

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේයි මේ වැරැද්ද තියෙන්නෙ, මොකද රෙ පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා එකට බැදිල තියෙන්නෙ. අනික අවුරුදු 11ක් (සා. පෙළ) දක්වා සියළු විශයයන් උගන්වනව.
අනිකුත් රට වල මේ වගේ නෑ. මොකද ප්‍රාථමික, ද්විතියික හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයයි අතර සම්බන්ධය ක් නෑ. ඕනිම එක්කනෙක්ට විශ්ව විද්‍යාල ප්‍රවේශ විභහගය ලියල විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න පුළුවන්.

අනික, නිකන් අධයාපනය විතරක් දීල වැඩක් නෑ, නවෝත්පාදනයන් බිහි කරන්න අවෂ්‍ය යටිකල පහසුකම් රජය සපන්න අවෂ්‍ය වෙනව. ලංකාවෙ කොළඹින් පිට තියෙන තත්වය ගැන අළුතින් මම මතක් කල යුතු නෑ නෙ 🙁

අනික මේ ගැන කතා කරනවා නම් ගොඩාක් පැති තියෙනව කතාකරන්න. අපි එක පැත්තක් විතරක් හිතල බෑ.

ම්ම්. මේක ටිකක් විවාදාත්මක කාරණාවක. ලංකාවෙ මේ තාක් ඇතිවුන තරුණ නැගිටීම් වලදිත් ඔය කිය සමාජ විෂමතාවය බලපෑවා. කොහොම වුනත් රජයේ පාසල් වල හා පසුව විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබූ දැනට තරුණ වියේ ඉන්න පරම්පරාවේ ඉන්න දෙමවුපියන්ට ඔනෙ තමුන්ගෙ දරුවා ජාත්‍යන්තර පාසලකට ඇතුල් කරන්න. වෙලාවකට ළමයෙක් රජයේ පාසලකට ඇතුල් කර ගන්න තියෙන අමාරුව දැක්කම ඒක සැපයි කියල හිතෙනව. ළමයට බොරු උගන්නනවට වඩා සල්ලි වියදම් කරන එක ලේසියි.

හැබැයි මට හිතෙන්නෙ ඔයා මේ අල්ල ගෙන තියෙන්නෙ කාරණාවෙ එක පොටක් විතරයි. තරහ වෙන්නෙ නැත්තම් කාරණාවක් කියන්නම්. අපි යුද සෙබළු වීරයො කරල සැනසෙන්නෙ අපි යුද්දෙට යන්නෙ නැති නිසා නෙ. ඒක නිසා ඔයා කියන පාසල (මගෙත් පාසල ) මට තාමත් පේන්නෙ ඔය කියන කලු සුද්දන්ගෙ පැලැන්තිය බිහි කරන තැනක් විදිහට. කෙලින්ම අධ්‍යාපනය හා බද්ධ නොවුනත් , මගෙ පංති වල හිටපු එකෙක් වත් තාම යුද්ධෙට ගිහින් මැරිලා නෑ. එකම එකෙක් මැරුනා . ඒ night club ගිහින් කාර් එකේ 160 ට එනකොට පාන්දර වාහනේ හැප්පිලා.

සුදාරක,
අධ්‍යපනය මේ පවතින අර්බුධ ගොඩේ තව එකක් විතරයි මට හිතෙන විදිහට. අපි කරන්න අවශ්‍ය සමස්ත ක්‍රමයට එරෙහි සටනක්.

“ඊළඟට විදෙස් රටවලින් සිසුන්ව ගෙන්න ගන්න පුළුවන්. විදෙස් රටවලින් සිසුන්ගේ පැමිණීමත් සමඟම රටට විදේශ විණිමය ලැබෙනවා. විදේශ විණිමය ලබාගන්න එතකොට විශ්ව විද්‍යාල අරින්න වැඩක් නැහැ. රාජ්‍ය ව්‍යවසාය හරහා විශිෂ්ට විශ්ව විද්‍යාල නිර්මාණය කර, ඒවාට විදේශයන්ගෙන් සිසුන් ගෙන්වා ගැනීමෙන් විදේශ විණිමය ලංකාවට ලබාගත හැකියි.”

ඔස්ට්‍රේලියව ආදී ගොඩක් රටවල ක්‍රමය ඒක. ඒ විශ්ව විද්‍යාල වලට රජයෙන් මුදල් ගෙවන්නෙ නෑ . එවා කරන්නෙ තමන් ආදායම උපයා ගන්න එක. ඒවා රාජ්‍ය වි.වි නෙවෙයි.

@ නිදහස් අදහස් : මම හිතන්නෙ ඔබ ඔය කියන්නෙ Royal College එක ගැන වෙන්න ඕන. ඒක මගෙත් පාසල. ඔබ දැකල නැත්ද ඉදිරිපස ගේට්ටුව ළග තියෙන ස්මාරකය??

ඒකෙ තියෙන්නෙ යුද්දෙට ගිය අයගෙ නම්!!

රජයේ රෝහල් හා පුද්ගලික රෝහල් කියලා දෙවර්ගයක් තියෙන්නේ ඇයි ? රජයේ රෝහල් වල සේවයට වඩා හොඳ සේවාවක් බොහෝ පුද්ගලික රෝහල් වලින් දෙනවා …. පෝලිම් වල ඉන්න වෙන්නෙ නැහැ .. හරියට ප්‍රතිකාර කරනවා (හැබැයි ඉතින් ලෙඩා මැරෙන්න කිට්ටු නම් ඒවා බාර ගන්නේ නැහැ)

පාසැල් වලටත් මේ කාරණාව මෙලෙසම අදාලයි. පුූද්ගලික පාසල් ගොඩක් තියෙන්නේ කොළබ… දෙමවුපියන් ඕනෙ කෙනෙක් තමන්ගේ දරුවා හොඳ රජයේ පාසලකට දාන්න කැමතියි. නමුත් තරඟය වැඩියි . මේ නිසා සමහර දෙමවුපියන් පුද්ගලික පාසල් වලට ලමයි දානවා…….

තවදුරටත් ගියෙත් රජයේ පාසැල් වල ගුරුවරුත් මේකට වග කියන්න ඕනෙ.. පන්ති කාමරයේදී බොරු කරලා ටියුශන් කරන ගුරුවරු ඉන්න පද්දතියක් ඉතා ඉක්මනින් පිරිහෙනවා….

මල්ලී කියන අන්දමට පුද්ගලික පාසැල් සියල්ල පෝසතුන් පාවිච්චි කරනවා කියන එකට එක්ඟ වෙන්න අමාරුයි. තරුණ වයසේ ඔබ කතා කරන පන්ති බේදය රජයේ පාසැල් නිසා තුනී වෙනවා කියන එකත් පිලි ගන්න අමාරුයි. සමානාත්මතාවය බ්ලෙන් ඇති කරන්න බැහැ…

තවත් දෙයක් … ලංකාවේ රජයේ පාසැල් වලින් විශ්ව විද්‍යාල වලට යාමට ඇති ඉඩ ඉතා සීමිතයි …. නමුත් ලන්ඩන් ඒ ලෙවල් කරන කෙනෙකුට ලෝකයේ ඕනෙම විශ්ව චිද්‍යාලයකට යන්න ඉඩ කඩ තියෙනවා …

මට උගන්වපු ගුරුවරයෙක් තමන්ගේ දරුවා යැවුවේ ඉන්ටර් නැශනල් පාසැලකට … හේතුව මේ විශ්ව විද්‍යාල ප්‍රස්නය….

සමාවෙන්න … රටට සේවය කරන එකම විදිය යුද්දයට යාම කියලා ඔබ හිතනවා නම් ඒක වැරදියි … යුද්දයක් තියන රටක සෙබලෙක් වීරයෙක් වෙන්නේ “ඉල්ලුම් සැපයුම්” නියමය මතයි….එතකෙට රට වෙනුවෙන් කැපවෙන සිවිල් නිලදාරීන් , වෙදැදුරන් ගැන මොකද කියන්නේ ?

ඇරත් ඔබලා නමක් සඳහන් කරන පාසෙල ගත්තොත් ඒකෙන් සෑහෙන හමුදා නිලදාරියෝ බිහි වෙලා තියනවා….

මේ ප්‍රශ්නයට මුලිකව වග කියන්න ඕනි රට කරපු කරන දේසපාලුවෝ.පටු ‍‍‍‍දේශපාලන වාසි වලට හැමදාම කලේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරපු එක.ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනය මත තීරණය නොවුනත් ලංකා‍ව ඒකෙ අනිත් පැත්ත.හැමදාම එන අධ්‍යාපන ඇමතියො කරන්නෙ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන එක.මේවගේ උපරිම කාලය අවුරුදු 6.පුද්ගලික පාසල් හා විශ්ව විද්‍යාල වලට මේක එක හේතුවක්.අනිත් කාරණය තමයි ලංකාවෙ බහුතරයකට විශ්ව විද්‍යාල වරම අහිමි වෙන්නෙ ඔවුන්ගෙ අධ්‍යාපනයෙ වැරුද්දෙන් නොව විශ්ව විද්‍යාල වල ඉඩ පහසුකම් නොමැති වීම.රට කරවන උදවිය මේවට උත්තර හොයනකන් පුද්ගලික පාසල් හා විශ්ව විද්‍යාල තව තවත් ඇති වේවි.

“රාජ්‍ය ව්‍යවසාය හරහා විශිෂ්ට විශ්ව විද්‍යාල නිර්මාණය කර, ඒවාට විදේශයන්ගෙන් සිසුන් ගෙන්වා ගැනීමෙන් විදේශ විණිමය ලංකාවට ලබාගත හැකියි.”

ලංකාවේ විශ්ව විද්‍යාල වලට පිටරට සිසුන් ගෙන්නන්න ….? අප්පේ හතුරෙක්ටවත් යන්න දෙන්න හොඳ නැති සමහර විශ්ව විද්‍යාල තියෙනවා …

බොහෝ සරසවි තාම ඉංගිරිසි වලින් ඉගැනුමට සූදානම් නැහැ (මෝඩ යුනියන් කාර හැත්ත තමයි විරුද්ද ගොඩක් වෙලාවට)

සමහර ඒවා බාබර් සාප්පු දෙරවල් වගේ .. අරිනවා ..ව්හනවා …

අපිට අපේ සරසවි වලට එන විදෙස් සිසුන් ආරක්ශා කරන්න පුලුවන්ද ? කැම්පස් නිකන් යුද්ද පිට්ටනි වගේ නේ ?

අපේ “ප්‍රගතිශීලී සරසවි සිසුන් කැමති වෙයිද පිටරට ළමයි ගන්න …. ?

කාරණේ බොහොම විවාදපන්නයි. ලංකාවට පුද්ගලික සරසවි සහ පුද්ගලික පාසල් උවමනාද? දැන් මතුවන පැණය, මේවා පංති බේද ඇති කිරීම ද? නැතිනම් සල්ලි තියෙන අය ඉගෙන ගනියි කියන කාරණයද?

ලංකාවේ සරසවි තුලට යන්නේ උ.පෙ. කරන සිසුන්ගෙන් 1% බැව් යම් තැනක තිබූ බව මට මතකයි. එවිට මුදල් ඇත්තෝ ඉන්දියාවට, ඕස්ට්‍රෙලියාවට, මැලේසියාවට නැතිනම් බංගලි දේසට හෝ යවා තම දරුවාට උපාධියක් ලබා දෙති. ඔවුන් කිසිදු පිලිකෙව් කිරීමකින් තොරව ලංකාවේ පිලිගැනේ. දැන් පුද්ගලික සරසවි වලට විරුද්ධ වෙන අය මෙයට විරුද්ධ නොවෙන්නේ ඇයි? එසේ නම් ලංකාවේ පුද්ගලික සරසවි ඇති වී ඒ මුදල් මෙහි රඳවා නොගන්නේ ඇයි?
නිදහස් ඉගෙනුමෙන් හා දේසයේ බසෙන් ඉගැන්වීම නිසා දුප්පත් ගමේ සිරිමල්හාමි ගේ පුතාට/දුවට ඉහලම තැනට යන්න ලැබුන බව සැබැව. නමුත් පුද්ගලික සරසවි වලින් එම ඉඩකඩ වැසී යන්නේ දැනට පවතින එම ජාතික සරසවි වැසී ගියොත් නොවෙද? දැනට පුද්ගලික පාසල් ඇතිවී තිබේ නම් එය රජයේ පාසල් වලට කෙලින්ම පහරක් නොවේ නම් පුද්ගලික සරසවි එසේ වන්නේ කෙසේද?

* වැහිච්ච පාසල් නැවත විවෘත කරන්න – කොහොමද බොලේ එහෙම කරන්නේ. කොහේ ඉන්න සිසුන් ද? පුංචි පවුල රත්තරන් කියලා දෙමව්පියෝ එක දරුවෙක් ගානේ හදනවා. දෙන්නෙක් එකතු වෙලා එක්කෙන් හැදුවහම කොහෙද ඉන්නේ ලමයි. ඉන්න ළමයි ටිකත් සුදාරක පුතාලගේ ඉස්කෝලෙට එන්න හදනකොට කොහොමද කරන්නේ. ඒ තත්වෙට තියෙන පුද්ගලික පාසලක් වත් ඔවුන් හොයාගන්නවා. ඒ ඉස්කෝලෙට ළමයි 10 දෙනෙක් යවන්න වත්කම් නැති නිසා එක්කෙනෙක් හදලා දහදෙනෙකුගේ සල්ලි එක්කෙනෙකුට වියදම් කරනවා.
මම පුද්ගලික සරසවි වලට විරුද්ධ වෙමි. එහෙත් දැන් නැත්තේ එය පමණක් නම් ඒ සඳහා විරුද්ධ වීමේ හේතුව කිම.

ඇත්තටම කියනවනං “ආත්මා රක්ෂාව පිළිබද ගෞරව උපාධියක්” ගන්න නං පිටරට සිසුන්ට අපේ වි.වි හොදයි. විදෙස් රටවලට යවන්න කලින් ඇමරිකන් සෙබලු අවුරුද්දක් අපේ කැම්පස් වල තිබ්බ නම් ඔයිට වඩා හොදට යුද්ධ කරයි.

ඔබලා සියළු දෙනාගේම අදහස් වලට බොහොම ස්තූතියි.
මම කියන්න ඕන මම කොතනකවත් අදහස් කරලා නැහැ යුද්ධයයි අධ්‍යාපනයයි සම්බන්ධ කරන්න. කරුණාකරලා ඒක තේරුම්ගන්න. එහෙම හිතෙනවානම් කරුණාකරලා නැවත මුල සිට අගට ලිපිය කියවන්න නිවාඩු පාඩුවේ.

ඔව්. මේ සියල්ල සිදුවෙලා තියෙන්නේ ලංකාවේ දේශපාලනය නිසාම තමයි. මම කියන්නේ රජය තමන්ගේ ර‍ජයේ පාසල් වලටයි, විශ්ව විද්‍යාල වලටයි යොමු කරලා තියෙන මුදල් කප්පාදු කරන්නේ නැතිනම්, ඒ ඒ පාසල් දියුණු කරන්න පුළුවන් නේද? ( ඒ ප්‍රශ්නෙට ඔබලාගෙන් පිළිතුරක් ලැබිලා නැහැ) පවතින තත්ත්වය පිළිබඳව පමණක් නෙවෙයි මම කතාකරේ මම කතාකරලා තියෙන්නේ මින් ඉදිරියට කුමක්ද කරන්න ඕනේ කියලා… මගේ සටහන දිග වැඩි නිසා ඔබලා අතරින් පතර කියවලාද මන්දා. එහෙනම් සමාවෙන්න. මම කිව්වේ රජයේ පාසල් හා විශ්ව විද්‍යාල දියුණු කරාම ආයෙමත් අමුතුවෙන් ළමයින්ව අන්තර්ජාතික පාසලකට යවන්න අවශ්‍ය වෙන්නේ නෑ කියන එකයි. ලංකා‍ව පාලනය කරපු හැම රජයක්ම කලේ අධ්‍යාපනය යොමු කරන ප්‍රතිපාදන ටිකෙන් ටික කප්පාදු කරන එක විතරයි. ඉතින් මම ආයෙමත් කියනවා රජයට පුළුවන් අධ්‍යාපනයට ලබාදෙන ප්‍රතිපාදන වැඩි කරන්න. මම කියන්නේ ඒකයි.

ඔන්න සාරාංශයක්

ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න නම්, රජය විසින් ලංකාවේ පාසල් පද්ධතිය හා අධ්‍යාපන ක්‍රමවේදය දියුණු කර යුතුවා මිසක්, අමුතුවෙන් අන්තර්ජාතික පාසල් හා පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය කර යුතු නැහැ. ඒකයි මම කියන්නේ. ඒකට උත්තරයක් තියෙනවාද?

@ සදීප – මම කොතනකවත් කියලා නැහැ රටට සේවය කරන එකම විදිහ යුද්ධයට යාම කියලා. මම කියලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන එක ගැනයි. එකෙන් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන විදිහ ගැනයි. කරුණාකරලා පහසු වෙලාවක මුල සිට අගට කියවන්න කියලා ඉල්ලා සිටිනවා

ඕනෑම කෙනෙකුට ඕනෑම විදි‍හේ ප්‍රතිචාර ඉදිරිපත් කරන්න පුළුවන්. මගේ අදහසට විරුද්ධව ප්‍රතිචාර ඉදිරිපත් කරන්න පුළුවන්. මට දැනගන්න අවශ්‍ය ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලංකාවට හිතකර විදිහකට දියුණු කරන්නේ කොහොමද කියලා දැනගන්න පමණයි. ඔබට හිතෙනවානම් මගේ අදහසට විරුද්ධව ප්‍රතිචාරයක් ඉදිරිපත් කරොත් මම තරහවෙයි කියලා… ඇත්තෙන්ම එහෙම නැහැ. ඔබට කෙලින්ම කියන්න බැරිනම් නිර්ණාමිකව හරි කියන්න 🙂

මම මේක තමා පලමුවෙනි blog comment එක මේ වගේ ප්‍රශ්ණ කොච්චර කථා කෙරුවත් පලක් නෑ මොකද ඒකට හේතුවක් තියෙනවා ඒතමා ඔනෑම රටක් ගත්තහම ඒරටේ දියුණුවට කෙලින්ම බලපාන දෙයක්තමා අධ්‍යාපනය ඉස්සරලාම සුපුන් මෙම අධ්‍යාපන ක්‍රමය විදිමත් වෙන්න ඕනේ ඊලගට රටේ පාලනත්‍රන්තය නිසි අයුරින් ක්‍රියාත්මක වෙන්න ඕනේ එවිටයි හැම දෙයක්ම සිදුවන්නේ නිසි අයුරින්. හිතන්න අපි කොච්චර වාද විවාද කෙරුවත් මේ ක්‍රමය නිසි අයුරින් ක්‍රියාත්මක වෙන්න ඕනේ නැතිනම් මේ සියල්ල ගගට කපන ඉනි වගේ. ඉතින් මට තේරෙනවා ඔයාගේ තිබෙන වේදනාව නමුත් මේක ඉතා පුලුල් ප්‍රශ්ණයක් මේක නිරාකරණය ලේසි දෙයක් නෙමේ. මමත් මීට අවුරුදු කීපයකට කලින් ඔහොම හිතලා ලොකු වැඩ පිලිවෙලක් ගෙනියන්න හැදුවා. ඉතින් ඒකාලේ මට හිතුන විදිහ කොහොම වුනත් මම නම් මේ සෑම දෙයක් දිහාම බලන්නේ ඔය සෑම දෙනාම බලන විදිහට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට මේ ක තේරුම්කරන්න මෙතන බෑ මම ඊමේල් කරන්නම්

මල්ලී ඔයාගේ පාසැලේ පන්ති බේදය නෑ කියලා කියන්නනම් බෑ. මම පැහැදිලිව දැකපු පරතරයන් තිබුනා. ඒත් ඒක නෙවෙයිනේ මාතෘකාව.
රජයේ වි.වි. ක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් විදියට පෞද්ගලික වි.වි. පිළිබඳ මගේ තියෙන්නේ මේ වගේ අදහස්.
පෞද්ගලික වි.වි. ගැන පරපූර්ණවාදියෙකුගේ(perfectionist) අදහස් මම මුලින් කියන්නම් (මෙතනත් ඉන්නවා වගේ දැක්කා). උසස් පෙල පාස් වෙලත් වි.වි. කට ඇතුල් වෙන්න බැරි වුනාම සල්ලි තියෙන මිනිස්සු රුපියල් ලක්ෂ 80, 100 දීලා දුව පුතා රට යවනවා ඉගෙනගෙන වරෙන් කියලා (උන් එහේ ගිහින් බීලා පිස්සු නටලා ඒ සල්ලි නාස්ති කරන එක මෙතන මාතෘකාවට අදාල නෑ). ඒක නිසා නිසි ප්‍රමිතියක් ඇතුව ලංකාව තුල පෞද්ගලික වි.වි. ඇති කලොත් ඔහේ නාස්ති වෙන ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුලුවන්. මෙතනින් ලොකු වාසියක් තියෙන්නේ වි.වි. වරම ලකුණු දශම ගණනකින් අහිමි වෙච්ච අයට (ගම්පාලු බේබද්දෝ ගැන කතා කරන්නේ නෑ). දැනුමේ, දක්ෂතාවයේ වැඩි වෙනසක් නොවී, දූෂිත දෙසපාලුවන්ගේ වැඩ නිසා ඒ අයගේ මුලු අනාගතයක් නැති වෙනවා කියන්නේ අපරාධයක්. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇතිව පෞද්. ව්.වි. ඇති කරන්න ඕනේ කියලා තර්කානුකූලව හිතන කෙනෙක් කියන්න පුලුවන්.

ඊළඟට කියන්නේ යථාර්තය. දරා ගන්න බැරි වෙයි. ඉවසීමෙන් කියවන්න. සැමවිටිම රජයේ අංශයකුත් පෞද්ගලික අංශයකුත් තරඟයට යොමු කලාම නිතැතයෙන්ම රජයේ අංශය කඩා වැටෙනවා. හේතුව වෙන්නේ තුන්වන ලෝකයේ රටක සෑමවිටම වගේ පවතින දූෂණය (උදා: පොදු මගී ප්‍රවාහන සේවය). ඒ නිසා පෞද්ගලික වි.වි. මෙරටේ ඇරඹූ වහාම රජයේ වි.වි. වල කඩා වැටීම ආරම්භ වෙයි. ඒ කියන්නේ කන්නන්ගර උත්තමයාගේ හිතේ තිබ්බ හීනය එළියට ඇදලා පොඩි පට්ටම් කරලා දානවා කියන එක. පොඩි මිනිහා මහන්සියෙන් කුඹුරු කොටලා හරි හම්බ කරලා වි.වි යවන්න හිටිය පුතාට දුවට ආයේ කුඹුර භාර කරලා වස බොන්න වෙන්නේ. පහළ පැළැන්තිය කවදාවත් හරි ඉගෙනීමක් ගන්නේ නැති වෙයි. මධ්‍යම පැළැන්තිය නම් මොකක් හරි ගැට ගහ ගනී කියලා හිතමුකෝ. මේ ඔක්කොම අන්තිමට මහා සමාජ පෙරළියකට මූල වෙයි. පටු අදහස් තියෙන‍ දේශපාලන පක්ෂ වලට රන් ආකරයක් පෑදෙයි. විප්ලව කියලා තරුණ ජවය පාවිච්චි කරලා බලයට එන්න හදයි. ඔන්න තිත්ත ඇත්ත. අඳුරු අනාගතය.

දැන් වි.වි. වලට තියෙන සම්පත් ප්‍රමාණය දන්නේ දැන් වි.වි.කට යන අය විතරයි. ඇත්තටම උපාධිය අරන් පිටවෙච්ච අයවත් දන්නේ නෑ කොච්චර අමාරුවෙන්ද වි.වි. යන්නේ කියලා. UGC එකේ ඉන්න අය පරිගනකයක් අවු. 5ක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ Win 2000 අපි තාම පාවිච්චි කරන්න ඕනේ. මේ විදියට අවම සම්පත් ප්‍රමාණයකින් පරිපූර්ණ ශිෂ්‍ය කණ්ඩායම් බිහි කරනවාට අපි අපේ ගුරු මෑණි වරුන්ට පිය වරුන්ට ස්තූති වෙන්න ඕනේ.

ප්‍රායෝගික ලෙස කරන්න ඕනේ තෘතීක අධ්‍යාපනයට මීට වඩා මුදල් වෙන් කිරීමයි. එම මුදල් යොදාගෙන වි.වි. ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කල යුතුයි. එහෙම නැතුව මේ ක්‍රමය යටතේ පෞද්. වි.වි. ඇති කලොත් මම සඳහන් කරපු අර්බුදය ඇතිවෙයි.

@සදීප : සදීප යාලුවා.. ඔයා කියන දේ ඇත්ත. ඒත් යූනියන් එකටම බනින්න එපා. යුනියන් එකකට වෙනත් දේශපාලන පක්ෂෙකට කඩේ යන්න වෙන්නේ සමහර විට වෙන කරන්න දෙයක් නැති නිසා. තමන් හිතන විදිහට වි.වි. පද්ධතිය සාධාරණ නොවුනාම ඔවුන් අතකොළු කරගන්න ලේසියි. නැති ලොකයක් මවා පෙන්නන දේශපාලන පක්ෂ ඔවුන්ව රවට්ට ගන්නවා. මගේ වි.වි ත් ඔය කියන යූනියන් එක තියෙනවා. ඒත් කවදාවත් කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ ගාටන්නේ නෑ. ඒත් ශිෂ්‍යන්ට මොකක් හරි අසාධාරණයක් සිදු වුනොත් ඒක පරිපාලනයත් එක්ක කතා කරගන්නවා මිසක් බැනර් අරන් පාරට බහින්නේ නෑ. අපේ සම්ප්‍රදාය. සමහරු අපිට අල කියලත් කියනවා =D . මගේ පොයින්ට් එක වෙන්නේ යුනියන් කියන්නේ ලමයින්ගේ එකමුතුවක් මිසක් සමාජ විරෝධී විප්ලවීය පෙරමුණක් නෙවෙ කියන එක. ඒක සමාජ විරෝධී එකමුතුවක් වෙන්නේ හුඟක් වෙලාවට තමන්ට හරියට සාධාරණය ඉටු නොවුනම.

guys i dnt hav sinhala unicord to rpy f dis blog. first f all please do pardon me for dat n i dnt lik to publish dis in SINGLISH either.

I wld lik to share few thoughts or few experiences with u guys .

As first year students v went to Thanamalvila, Hambegamuwa and Angunukolapelassa to do few O/L seminars in year 2007. And i m sry to say dat v found O/L students who dnt even no the sum f (+1 and -1).blv me orr nt dat s da utter reality f this country..,

And when v ask them their future ambition, there were 3..,
1) Thaththage hena/kumbura karanava
2) Hamudawata, Gramarakshaka devayata bendenava
3) Don t ask me what…..

will private institutions will and can(I mean schools and colleges not private universities)answer dis problem???

Definitely by all the means NO…

සහමුලින්ම ඇත්ත… මේ කන්ඩාගේ උදාහරණෙම මදිද පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන්නේ දැන් දැවෙන ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න?? දැනට තියෙන අධ්‍යාපන ආයතන වැඩිදියුණු නොකර පෞද්ගලික ආයතන පිහිටවන්න ගියොත් රටේ අධ්‍යාපනය ලොකු අමාරුවක වැටෙන්න පුලුවන්… ඒක හරියට හොඳට පුහුණු කරපු සොල්දාදුවෝ 100ක් නොයවා කිසිම පුහුණූවක් නැති ගොවියෝ 1000ක් යුද්දෙට යවනවා වගේ වැඩක්..

ලංකාවෙ උ.පෙ පාස් වෙන අයගෙන් විශ්ව විද්‍යාල වලට යන්නේ 2% විතරයි ඉතිරි ටිකට මොකද වෙන්නෙ ඒ අයටත් විසඳුමක් ඔනේ…….. ඒත් ඒකට විසඳුම පෞද්ගලික විශ්ව විද්‍යාල නෙවෙයි.

කියලා තියන ගොඩක් දේවල් ඇත්ත ඒත් අපේ පාලකයෝන්ට ඔය දේ තේරෙන්නේ නැහැ. තේරෙනවා නමි අපේ අධ්‍යාපන ක්‍රමය මෙචචිචර කඩා වැටෙනකන් බලා ඉඳීවිද

Leave a Reply to දීප්ත Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.