ලංකාවේ අධ්‍යාපනය – 2

ගයාන්ගේ අන්තර්ජාල වියමනේ ලංකාවේ අධ්‍යාපනය යන සටහන සහ මාගේ පෙර සටහන සමඟින් බැඳේ.

ඇත්තටම මම සතුටු වෙනවා මේ සම්බන්ධයෙන් බ්ලොග් අතර කතිකාවතක් විවෘත වීම පිළිබඳව. මුලින්ම ඔබට ස්තූතිවන්ත වන අතර. ඔබ ඉදිරිපත් කර ඇති අදහස් හා මගේ අදහස් අතර සන්සන්දනය කිරීමට හා එහි ප්‍රතිරෝධතා ඇත්දැයි සලකා බැලීමට අවසර ඉල්ලා සිටිමි.

ඇත්ත, ලංකාවේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක තිබුනා වුවත් එයින් නිෂ්පාදන ආර්ථිකයට සිදු වන කිසිදු සෙතක් ඇත්තේ නම් නැහැ. ඔබ හරි. මෙයට හේතුව තමයි තවමත් ලංකාවේ පවතින යටත් විජිත අධ්‍යාපන රාමුව. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට ඇතුලුව ඔවුන්ගේ යටත් විජිත වලට මේ අධ්‍යාපන ක්‍රමය ලබාදුන්නේ ඔවුන්‍ට අවශ්‍ය සේවාවන් ඉටුකරගැනීම සඳහායි. ඉතින් වර්තමානය වන විටත් ලංකාවේ පැවතෙන මේ අධ්‍යාපනික රටාව නිසා ලංකාවේ පාසල් වලින් එළියට යන්නේ කාර්යාලවලට සීමාවී වැඩ කර හැකි පිරිසක් පමණයි. බොහෝ විට ලංකාවේ පාසලකින් එලියට දාන්නේ එකම විදිහකට අසුරවපු (Packing කරපු) එකම ආකාරයේ, එකම විදිහේ “නිෂ්පාදනයන්” විතරයි. ඒ නිසා ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති විය යුතුයි. එහි මූලාරම්භයක් වර්තමානයේ රජයේ පාසල්වල ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා දැකගැනීමට පුළුවන් 100%ක්ම නිවැරදි නැති නමුත් යම් තාක් දුරකට මෙම ආරම්භය පිළිබඳව සතුටු විය හැකියි. උදාහරණයක් විදිහට වෛකල්පිත විෂයක් ලෙස කෘෂීකර්මය විෂය ඇතුලත් කර තිබීම දැකිය හැකියි. මේ හරහා ලංකාවේ ස්වභාවික සම්පත මනාව කළමණාකරණය කරගනිමින් වඩා වැඩි ඵලදාවක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම නව තාක්ෂණික උපක්‍රම කෘෂිකර්මය සඳහා යොදාගන්නේ කෙසේදැයි ඉගෙනීමට ලැබෙනවා. නමුත් ගැටළුව ඇත්තේ එතැන නොවේ. මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිපාදන අදාල රජයයන් විසින් ලබා දෙනවාද? කියන කාරණයයි. මා දැක ඇති අන්තර්ජාතික පාසල් අතුරින් එක පාසලක් පමණයි (සමාවන්න, නම මතකයේ නැහැ) තමන්ගේ සිසුනට කෘෂිකර්මය පිළිබඳව උගන්වන්නේ. පාසල තුලින් බිහිවිය යුතු සෑම ශිෂ්‍යයකුම ගොවියෙක් විය යුතු යැයි මා අදහස් කෙරෙනුයේ නැහැ. මා අදහස් කරන්නේ ලංකාවේ කෘෂිකර්මය සඳහා යෝග්‍ය ස්වභාවික නිසි පරිදි භාවිතා කිරීමට දැනුමැති සිසුන් කොට්ඨාශයක් බිහිවීම තුලින් අනාගත නිෂ්පදනය සඳහා එය ඵළදායී ආයෝජනයක් වනු නොඅනුමාන බවයි.

තවත් දෙයක්, මෑත කාලයේ ලංකාව පාලනය කරන්න හරි හැටි දේශපාලකයෙක් බිහි වෙලා තියෙනවාද? ලංකාවේ නිදහසින් පසුව බලයට පත් අග්‍රගණ්‍ය යැයි සැලකෙන සෑම දේශපාලකයෙක් පා‍හේම පිටරට විශ්ව විද්‍යාල වලින් ඉගෙනගත් පුද්ගලයින්. ඉතින් ඒකෙන්ම පේනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ගැටළුව. දැන් අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවේගෙන යන නිසාම තමයි මා මාගේ පෙර සටහනින් පැවසු‍වේ පාසල් වලට නිසි ප්‍රතිපාදනයන් ලබා දිය යුතු බව.

උපුටා ගැනීම – ගයාන්ගේ අන්තර්ජාල වියමන

ලොකයේ බොහෝ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල‍ට සාපේක්ෂව ලංකාවේ ගුරුවරුන්ට ලබා දෙන්නේ ඉතාම අඩු වැටුපකි. මෙම හේතුව නිසා බහුතරය වෘත්තියක් ලෙස ගුරු වෘත්තිය තෝරා ගන්නේ අවසාන විකල්පය ‍ලෙසය. මෙයට අමතරව දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා අවිචාරවත්ව ලබා දුන් ජනසවිය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ආදී පත්වීම් මඟින් සිදුවූයේද ගුරු වෘත්තිය හෑල්ලුවට ලක් කිරීමය. ලංකාවේ අධ්‍යාපනයේ දියුණු කිරීමට නම් ගුරු වෘත්තිය ‍‍ආකර්ශනීය වැටුප් ල‍බා දෙන තත්ව‍යට පත් කළ යුතුය.

උපුටා ගැනීම අවසන්
මේ කාරණයට සියයට දෙසීයක් එකඟයි. ඒක නිසාම තමයි මා පෙර සටහනින් පැවසුවේ ගුරුවරුන්ට නිසි ඇගයීම් කර යුතු බව. නමුත් මෙහිදී සිතේ තබාගත යුතු කරුණක් තියෙනවා. එනම් ගූරුකම රැකියාවක් නොව සේවාවක් යන මතය අද බැඳවැටී ඇති බවයි. ඒ, මේ මුදල් මූලික සමාජ ක්‍රමයක් නිසයි. ඒක තමයි අපි කවුරුත් දන්න තිත්ත ඇත්ත. ඉතින් මේක අපිට ආපස්සට හරවන්න බැරි නිසා ගුරුවරුන්ට නිසි ඇගයීම් සිදු කර යුතුයි.

ප්‍රායෝගික වශයෙන් වැදගත් අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව ඔබ කතාකරනවා. ඇත්තටම එවන් අධ්‍යාපනයක් අන්තර්ජාතික පාසල් වල ලබාදෙනවාද කියා සැකයක් තියෙනවා. අඩු තරමින් රජයේ පාසල් වල යන්තමින් හෝ ආරම්භ කර තිබෙනවා. අවශ්‍ය වන්නේ නිසි ප්‍රතිපාදන පමණයි. ඒ ප්‍රතිපාදනද ලබා දිය නොහැක්කක් නොවේ.

ඔබ අවසාන වශයෙන් ඉදිරිපත් කර ඇති කාරණාව සම්බන්ධයෙනුයි මගේ ඇති ප්‍රතිරෝධය.

උපුටා ගැනීම – ගයාන්ගේ අන්තර්ජාල වියමන

මෙයට අමතරව අන්තර්ජාතික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳවද පංති භේ‍දය, ඇති නැනි පරතර‍ය වැනි අසුභවාදී කෝණයන්ගෙන් මි‍දී සුභවාදීව බැලිය යුත්තේ මේවා මගින් ද පිට වන්නේ රටේ ආර්ථිකයට කර ගසන පිරිසක් වීම නිසාය.

උපුටා ගැනීම අවසන්

මෙය අසුභවාදී දැක්මක් නොවේ. එයට හේතුව වර්තමාන ලෝක ආර්ථික තත්ත්වයෙන්ම පෙනෙනවා නොවේද? රටක අනිවාර්යයෙන්ම ආර්ථික පරතර හා සමාජ පරතර ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් කර යුත්තේ මේ පරතරය අඩු වශයෙන් තබා ගැනීමයි. මේක පරම්පරා එකකට දෙකකට නොදැනුනත් තුන්වෙනි හතරවෙනි පරම්පරාවට යද්දී තත්ත්වය බරපතල වෙනවා. අන්ත පීඩිත ජනතාව තමන්ගේ විමුක්තිය උදෙසා තුවක්කු අතට ගන්නවා. මෙන්න මේක නිසා ඒ වකවානුවේ බලවත් රටවල් අනිසි බලපැම් රටට එල්ල කරන්න පටන් ගන්නවා. මෙවැනි සිදුවීම් අතීතයේද සිදුවී තිබෙනවා. අන්තර්ජාතික පාසල් වැසිය යුතු නොවේ. එමෙන්ම රජය සතු පාසල් නොවැසිය යුතුයි. පන්ති අතර පරතරය අඩුවෙන් තබාගත යුතුයි. නැතිනම් අපේ පැවැත්මට අනිසි බලපෑම් එල්ලවීම නොවැලැක්වියහැකිවෙනවා නිසැකයි. ඒ පන්ති අතර පරතරය අඩුවෙන් තබාගැනීමට නම් කුඩා කල සිට පෝෂණය ලබාදෙන, ප්‍රතිශක්තිය ලබාදෙන පාසල් පද්ධතිය දියුණූ විය යුතුයි නොවෙද? අප බැලිය යුත්තේ නිෂ්පාදන පමණක් පිළිබඳව නොවේ, රටක භාෂාව ඉදිරියට පැවතීම තුලින් එම ජාතියට ඉදිරියට තවත් දුරක් ගමන් කරන්න හැකිවෙනවා නොඅනුමානයි. ඒ නිසාම තමයි විවිධ විවිධ වූ ආක්‍රමණ මධ්‍යයේදී වුවද අවුරුදු 7000කටත් අධික කාලයක් (වාර්තාගත ඉතිහාසය තුල අවුරුදු 2500කට අධික කාලයක්) මේ ජාතියේ පැවැත්ම අඛණ්ඩව සටහන් වී තිබෙන්නේ. චීන ජාතිකයන්ගේ පැවැත්ම සනිටුහන් වි තිබෙන්නේත් ඒනිසාමයි. ඒ නිසා රටක දියුණුව යනු නිෂ්පාදන ආර්ථිකය දියුණු වීම පමණක් නොවේ. විවිධ සංකෘතික, භාෂාත්මක හර පද්ධතීන්ගේ පැවැත්ම ඒ නිෂ්පාදනයට බද්ධ වූ විටයි එතැන නියම පැවැත්මක් ඇති වන්නේ. නැතිනම් ඒ දියුණුවෙන් ඇති පලක් නෑ. බලන්න හිතලා, අපි කාලා, බීලා, ජොලි කරලා මැරිලා යනවා විතරයි නේද? අපි තාම කතා කරන්නේ අවුරුදු ගානකට කලින් අපේ මුතුන් මිත්තන් කරපු වැව් ගැන විතරයි නේ? කෝ අළුත් නිර්මාණ? අළුතින් නිර්මාණය වෙන ඒවාත් පිටර‍ටින් ඇවිල්ලා ඩැහැගෙන යනකන් අපිට හූල්ලගෙන බලාගෙන ඉන්න වෙලා නේද?

දැන් අමෙරිකාව දුවන්නේ චීන යුවාන් වලින්. ඩොලරයේ පැවැත්ම දැන් චීනය අතේ. රුපියලේ අගය ඩොලරය මතයි තීන්දු වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි මේ සියල්ලම අපිට සැඟවුනු ආශිර්වාදයන් ලෙසින් සලකා. අපි අපේම ක්‍රමයක් නිර්මාණය කරගත යුතුයි.

වත්මන් ආර්ථික අර්බුධය හමුවේ නැවත වරක් සමාජවාදය නැඟී සිටීවී ද?
ඔබාමා දිනයි ද?
ලංකාවට මොනවා වෙයි ද?

Join the Conversation

3 Comments

  1. රටක අධ්‍යාපනය සකස් වෙන්න ඕන ඒ රටෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වන ආකාරයෙන් හා අධ්‍යාපනය ලබන්නන්ගේ හැකියාවන්ට මුල් තැන දෙමින්. ඒත් ලාංකීය අධ්‍යාපන ක්‍රමය මේ දෙකෙන් එකක් හෝ කෙරෙහි ප්‍රමාණවත් අවධානයකින් යුක්ත එකක් දැයි සැක සහිතයි. රට වටේටම මුහුද තිබුණත් තවමත් අපේ විශ්වවිද්‍යාල හෝ පාසල් වල විෂය නිර්දේශයන් තුල සාගර විද්‍යාව හෝ ඒ සම්බන්ධ විෂයන් ඉගැන්වෙනවාද? නැහැ.
    පැරණි යටත්විජිත පාලන ක්‍රමයට උචිත අයුරින් ගොඩනැඟුනු සාම්ප්‍රදායික අධයාපන ක්‍රමයම සුළු සුළු ප්‍රතිසංස්කරණයන් සහිතව ඒ විදියටම පවත්වාගෙන යනවා හැරෙන්නට අවශ්‍යතාව අනුව ක්‍රමවත් අවබෝධයකින් යුතුව කිසිවක් වෙනස්වනු පෙනෙන්නට නැහැ.

    අනික් කරුණ සරසවි වලට සිසුන් ඇතුලත් කර ගැනීම: අපේ සරසවි වල පාඨමාලාවන් සඳහා සිසුන් ඇතුළත් කරගන්නේ ඔවුන්ගේ කැමැත්ත හා දක්ෂතාව අනුව නොවේ. බොහෝ විට සිදුවන්නේ තමන් කැමති හා දක්ෂ විෂය ක්ෂේත්‍රයක් තිබියදී වෙනත් විෂය කෂේත්‍රයක පාඨමාලාවක් සඳහා තෝරාගැනීම. ඉතිං සිද්ධවෙන්නේ ඔහු ඒ එගෙනුමෙන් තෘප්තියක් ලබනු වෙනුවට අවසානයේ රැකියාවක් සඳහා පමණක් ඉගෙනීමට සිදුවීම. තවදුරටත් මෙවන් අධ්‍යාපන ක්‍රමයක් මඟින් නිර්මාණාත්මක පුද්ගලකු බිහිවෙයිද?

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: