Categories
චිත්‍රපටි

Man of Steel (2013) ගැන කෙටි පෙර වදනක්.

man_of_steel_poster6-610x889

Man of Steel, ඊළඟ ජුනි මාසයේ 14 වෙනිදා චිත්‍රපට ශාලා වෙත නිකුත් වීමට නියමිතයි. මේ චිත්‍රපටියේ නවතම පූර්ව ප්‍රචාරක පටය ඊයේ නිකුත් වුනා. කොහොම නමුත් මේ චිත්‍රපටිය ලංකාවට ආනයනය කරනවාද කියන එක පිළිබඳව නම් දැනුවත් නැහැ.

https://www.youtube.com/watch?v=z3Y6VmCA4Z4

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ “සැක් ස්නයිඩර්” . ඔහු තමයි DC Comicsලාගේ Watchmen චිත්‍රපටිය මීට කලින් අධ්‍යක්ෂණය කළේ. ඒ චිත්‍රපටිය තරමක් අමුතු Super Hero මාදිලියේ චිත්‍රපටියක් වුනා. ඒ වගේම ඔහුගේ තවත් චිත්‍රපටියක් මතක් කළොත් 300.

මම සැක් ස්නයිඩර්ගේ වැඩ සම්බන්ධයෙන් එච්චර Familiar නැති වුනත්, Man of Steel චිත්‍රපටිය පිටිපස්සෙ ඉන්න අය දැකලා මේ චිත්‍රපටිය පිළිබඳව විශේෂ උනන්දුවක් ඇතිවුනා. ඒකයි මේ වගේ කෙටි සටහනක් ලියන්නේ.

චිත්‍රපටියේ කතා පිටපත ලියන්නේ දෙන්නෙක්. ඒ,
Davis S. Goyer සහ Christopher Nolan.

මේ දෙන්නාම තමයි දැනට IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ අංක 6ට ඉන්න Batman: The Dark Knight චිත්‍රපටියේ තිර පිටපත ලියන්නේ. Dark Knight චිත්‍රපටිය නරඹලා නැති නම්, ජීවිතෙන් භාගයයි. 😛

Goyer ගැන කතා කරනවානම් මේ දිනවල රූපවාහීනි වල ප්‍රදර්ශනය වන Alternative History මාදිලියේ ෆැන්ටසිමය රූපවාහිනී කතා මාලාවක් වෙන Davinci’s Demons කතා මාලාවේ රචකයාද ඔහුයි.

නෝලන් ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍යද? නෝලන්ගේ චිත්‍රපට පිටපත් අතර කලින් කිව්ව Dark Knight චිත්‍රපටයට අමතරව Inception, The Prestige, Batman Begins, Dark Knight Rises, Memento චිත්‍රපට ඇතුළත්. මේ හැම චිත්‍රපටයක්ම පාහේ බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනාගත් චිත්‍රපටි.

චිත්‍රපටයේ සංගීතය Hans Zimmerගෙන්. Hans Zimmer ගැන දන්නෙ නැතිනම්, මේ තියෙන්නේ Inception චිත්‍රපටි පසුබිම් සංගීතයේ එක් කොටසක Live Performance එකක්!

ඉතින් ඉහත කී කාරණා නිසා මේ චිත්‍රපටිය බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනාගන්න සමත් වී අවසන්. චිත්‍රපටියේ පසුබිම් සංගීතය  ජුනි 11 වෙනිදා නිකුත් වීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=-kLNmuEyo1E

නිල වෙබ් අඩවිය | IMDB පිටුව | Rotten Tomatoes පිටුව | Wikipedia පිටුව

Categories
සිනමාව

චිත්‍රපටි පහක්

පූර්වකථනය | Prologue

ආයෙත් නොලියන්නම හිතාගෙන හිටියාට, ඒක හරියන වැඩක් නෙවෙයි. ඇරත් තුවාල බොහෝ දුරට සනීපයි. ඒ ගැන නොහිතෙනා තරම් වගේම Support System එකට පින්සිදුවෙන්නට දැන් හැමදේම සාමාන්‍යයි. මේ සුදාරකගේ අන්තර්ජාල සටහනේ ඊළඟ පරිච්ඡේදයේ ආරම්භය.

————

මේ, ඔබ නැරඹිය යුතුම චිත්‍රපටි කිහිපයක් ගැන සටහනක්. සමහර විට මේ චිත්‍රපටි ඔබ දැනටමත් නරඹලා තියෙන්න පුළුවන්. නරඹලා තියේනම්, ඒකෙ තේරුම මේ චිත්‍රපටි ගැන ඔබේ අදහස් මේ සටහනට එකතු කරන්න පුළුවන්. බ්ලොග්කරණයේ වාසිය ඒකයි. 😉

Inception

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය නරඹලා නැතිනම්, දැන්ම හොයාගන්න. රසවිඳින්න. සාමාන්‍යයෙන් චිත්‍රපටියක තියෙන්නෙ එක කතාවයි. චිත්‍රපටය නරඹන සියයට අනූ නවයක් චිත්‍රපටිය විග්‍රහ කරන්නෙ බොහෝ විට එකම විදිහකට. ඒ වුනත්, Inception චිත්‍රපටිය නරඹන අයට තමන්ගේම විග්‍රහයක් චිත්‍රපටයට ඉදිරිපත් කරන්න පුලුවන්. අන්න ඒකයි, මේ චිත්‍රපටියේ විශේෂත්වය. දෙතුන්පාරක් නැරඹුවාට පාඩුවක් වෙන්නෙ නම් නැහැ.

චිත්‍රපටියේ ප්‍රධාන රංගනය Leonardo DiCaprio මෙහෙයවූවත්, සහය නළුවාගේ (Joseph Gordon-Levitt) රංගනයත් හොඳින් කැපීපෙනන සුළුයි. අතිවිශිෂ්ඨ රංගනයක්, අතිවිශිෂ්ඨ අධ්‍යක්ෂණයක් වගේම සුපිරි විශේෂ ප්‍රයෝගත් නිසා, චිත්‍රපටිය අතිශයින්ම සාර්ථකයි.

Ariadne: Why is it so important to dream?
Cobb: Because, in my dreams we are together.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer


She’s Out of My League

ඕනම කෙනෙකුට තමන් ගැන තක්සේරුවක් තිබීම වැදගත්. ඒත්, තමන්ගැන හිතාගෙන ඉන්න විදිහ අවුල්නම්, ඒ කියන්නෙ තමන් අනිත් අයට සාපේක්ෂව කිසි වැඩකට නැති කැත, කිසි කික් එකක් නැති, කාන්තා ආකර්ෂණයක් ඇත්තේම නැති කෙනෙක් විදිහට හිතාගෙන ඉන්නවනම්, ඒක ලොකු අවුලක්. මේ විදිහට තමන් ගැන පහත් තක්සේරුවෙන් ජීවත් වෙන “කර්ක්” පළවෙනි ආදරේ කඩාගෙන, ඒ ආදරේ මත්තෙම නැහෙද්දි… ලස්සන කෙල්ලෙක් ජීවිතේට කඩන් පාත් වෙනව. තමන් තුළ නොදකින හොඳ ඈ දකින බව දැනගෙනත් තමන් ගැන තියෙන පහත් තක්සේරුව නිසාම කර්ක්ට පසුබහින්න සිද්ධ වෙනව. කොමඩියක් නිසා හිනාවෙන්න පුලුවන් වගේම තමන් ගැනම පොඩි දෙයක් හිතට ගන්නත් උදව් වෙන නිසා, මේ චිත්‍රපටිය මඟඅරින්න එපා. Jay Baruchelගේ රංගනය උපරිමයි!

මේ චිත්‍රපටිය බොහෝ දෙනෙක් නරඹලා තියෙන්න පුලුවන්. ඒත් නරඹලා නැති අය සහ නරඹන්න ආසාවෙන්න ඉන්න අයටයි මේ කියන්නේ… වහාම නරඹන්න!

අවවාදයයි: මා වැනි බිළින්ඳන්ට නැරඹීමට නොහැකි යැයි සම්මත දසුන් ඇති බැවින්, දහසය දාහත වයසේ බිළින්දන් තනියම නරඹන්න. නැරඹුවාට නරක් නොවේ. 😉 15ට අඩු ශ්‍රී ලංකා පුරවැසියන් චිත්‍රපටය නරඹා කරගන්නා දේවල්වලට වගකියනු නොලැබේ. 😛

Devon: Hey did she say anything about Wendy thinking I’m hot?
Kirk: No.
Devon: Shoot, I wonder if she is on Facebook?
Kirk: Devin you’re on Facebook?
Devon: Yeah… I got like 37 friends.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය Movie Trailer

(500) Days of Summer

මේ තවත් සුපිරිම ආදර කතාවක්. Ooops. O.o සමාවෙන්න. මේක ආදර කතාවක් නෙවෙයි. ආදරේ ගැන කතාවක්. මේ, හරිම සරලව ගලාගෙන යන හරි අපූරු චිත්‍රපටයක්. ටොම් හැන්සන් (Joseph Gordon-Levitt) කියන්නේ, සුබ පැතුම් පත් වලට එක එක දේවල් ලියන කෙනෙක්. ටොම් වැඩකරන තැනට සම්බන්ධ වෙනව අලුත් ගෑනු ළමයෙක්. එතනින් එහාට කතාව බලාගෙන යන්න. 🙂 කලින් කිව්වා වගේ කතාව සරලව ගලාගෙන යන නිසා කම්මැලිකමක් නැතිව ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්. ආදරේ ගැන හිතන්න දේවල් ඉතුරු කරන. ගෑනු මායම් වලට රැවටිලා පළවෙනි ආදරේ (හෝ ආදරයක්) නාස්ති කරගත්තා කියල හිතෙන කෙනෙකුට මේ චිත්‍රපටිය තරමක් වටියි. 😉 ගෑනු ළමයිතුත්, පිරිමි ගැන තේරුම්ගන්න මේ චිත්‍රපටිය නරඹනවානම් හොඳයි. 😉

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන Joseph Gordonගේ රංගනය අති විශිෂ්ටයි. තාත්විකයි. චිත්‍රපටයට සම්මාන රැසකට නිර්දේශ වෙලා තියෙනවා වගේම සම්මාන කිහිපයක් හිමිකරගන්න සමත්වෙලත් තියෙනව. චිචාරක ප්‍රතිචාර උපරිමයි. ඉතින්, මේ චිත්‍රපටිය මඟඅරින්න එපා. අනිවාර්යයෙන්ම නරඹන්න.

Tom: I love how she makes me feel, like anything’s possible, or like life is worth it.

IMDB පිටුව Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

Dabangg

මේ හින්දි චිත්‍රපටිය මෙතනට එකතු කරන්නෙ මේ චිත්‍රපටියෙ ලොකු දර්ශනයක්, ලොකු කතාවක්, ජීවිතේට එකතු කරගන්න දෙයක් තියෙන නිසා නෙවෙයි. මේ චිත්‍රපටිය වින්දනාත්මකයි. හිත අවුලෙන් තියෙන වෙලාවක, එහෙම නැත්තං ආතතියෙන් පිරුණ වෙලාවක චිත්‍රපටියක් බලල හිත නිදහස් කරගන්න ඕනෙ වගේ කියල හිතෙනවනං මේ චිත්‍රපටිය බැලුවාට කිසිම වරදක් නැහැ. එච්චර උසස්  රසවින්ඳනයක් බලාපොරොත්තු වෙන්න බැරිවුනාට. හිත සැහැල්ලු කරගන්න, සතුටු වෙන්න, කට්ටියක් එක්ක බලන්න, කියාපු චිත්‍රපටිය.

හොඳම දේ මේකෙ නිළිය. Sonakshi Sinha. මෙයා වගේ ඇහැට ප්‍රිය උපදවන නිළියක් මට තාම හොයාගන්න බැරිවුනා කියන්නෙ අතිශයෝක්තියෙන් වුනත්, ඇත්තටම ලස්සන නිළියක්. නිළිය ලස්සන නිසා හරි චිත්‍රපටිය බැලුවාට වැරදි නැහැ. 😉 චිත්‍රපටියෙ සංගීතය Sajid-Wajid සහ Lalit Pandit ගෙන්. සින්දු ලස්සනයි. එකපාරම රසවිඳින්න ගියොත් අමාරුවෙ වැටෙයි. ඒක නිසා, චිත්‍රපටිය බලල ඉවරවෙලා ඊළඟට සින්දු අහන්න. 🙂 චිත්‍රපටිය ගැන මට තියෙන පොඩි අවුල තමයි, චිත්‍රපටියට Sherlock Holmes චිත්‍රපටියෙනුයි, (500) Days of Summer චිත්‍රපටියෙන් පොඩි පොඩි කෑලි ටිකක් කොපි කරල තියෙන එක. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ. 😉

“When you lose the fear of death, Life begins”
– John Roy Hill

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

It’s Kind of a Funny Story (2010)

මේ තියෙන්නෙ මම කැමතිම චිත්‍රපටිය. සමහර විට ජීවිත කාලය පුරාම කැමති චිත්‍රපට ලැයිස්තුවේ අංක එකේ චිත්‍රපටිය විදිහට මේ චිත්‍රපටිය තියෙයි. (ඒත් කියන්න බෑ. මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙනව 😉 ) චිත්‍රපටිය සරලයි. ආකර්ෂණීයයි. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ක්‍රෙග්. විවිධ වූ ප්‍රශ්න කෝටියක් ඔළුවෙ තියාගෙන ආතතියෙන් පිරිල සියදිවිනසාගන්න තීරණය කරනව. ඒක හිතන තරම් පහසු වැඩක් නෙවෙයි බව අන්තිමේට ක්‍රෙග්ටම තේරිල, ඔහු ඇතුළුවෙනව මානසික රෝගීන්ගේ වාට්ටුවකට. ඒකෙ ඉන්න එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. පළවෙනි දවසෙම වාට්ටුව එපාවෙන ක්‍රෙග් වාට්ටුවෙන් පිටවෙන්න තීරණය කරත්, ඔහුගෙ (අ)වාසනාවට වාට්ටුවට ඇතුළත්වුන කෙනෙක් අවම වශයෙන් දවස් පහක්වත් වාට්ටුවේ බෙහෙත් ගන්න ඕනෙ. ඉතින් ඒ බෙහෙත් අතරමඟදි, ඔහුට ලස්සන ගෑනු ළමයෙක් හමුවෙනව.

අපි හැමෝටම ජීවිතේ එක කාලයකද සමහර විට සියදිවි නසාගන්න එකපාරක් හරි හිතිල තියෙන්න පුලුවන්. මට නං පුද්ගලිකව මේ ආසන්න කාලයේ බොහෝ වාරයක් සියදිවි නසාගන්න හිතිල තියෙනව. ඇත්තටම ඒ සිතිවිල්ල වෙනස් කරපු තමන්ගෙ හිත ශක්තිමත් කරගන්න උදව් වුන ලස්සන සරල චිත්‍රපටියක් මේ. ඔබ ජීවිතේ ආතතියෙන් පිරුණු, නරකම කාලයක් ගෙවනවා කියල හිතෙනවානම්, මේ චිත්‍රපටිය බලන්න කාලය වෙන් කරාට, ඒ කාලයෙන් පාඩු නෑ.

Bobby: See, that’s the part I don’t get, Craig. I mean, you’re cool, you’re smart, you’re talented. You have a family that loves you. You know, what I would do just to be you, for just a day? I would… I would do so much. I would… I don’t know. I would just… I’d just live. Like it meant something.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

————

අපරකථනය | Epilogue

මේ චිත්‍රපටි තියෙන්නේ කිසියම් අනුපිළිවෙලකට නෙවෙයි කිව්වොත්, ඒක වැරදියි. පිළිවෙල තමයි මගේ හිතට ආපු පිළිවෙල. මේ චිත්‍රපටි වලින් මම කැමතිම චිත්‍රපටිය It’s kind of a funny story වෙන අතරෙ, අනිත් චිත්‍රපටි වලට සමාන ලකුණු බෙදන්න කැමතියි. හැමදාම එක තැන පල් වෙන ආදර කතා වල් පල් වලට වඩා දෙයක් ලියන්නයි මේ පටන්ගැන්ම. 🙂 අන්තිම චිත්‍රපටිය ජීවිතයට උදව් වෙලා තියෙන්නෙ මට විතරක් නෙවෙයි. YouTube වීඩියෝවෙ පහළ comment එක කියවලා බලන්න. 😉 ඒ මම නෙවෙයි. මම වගේ කෙනෙක්. 😉