Categories
කාලීන ජන මාධ්‍ය රූපවාහිනී

ඔබත් කූඹියෙක්ද?

කූඹියෙක්ද කියල ඇහුවම මේ දවස්වල ඕනෙ කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් මේ ලියන්න හදන්නෙ මොකක් ගැනද කියල. සාමාන්‍යයෙන් මම සිංහල ටෙලි නාට්‍ය ගැන ලියලාම නැති තරම්. ඒකට හේතුව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ. මම සිංහල ටෙලි නාට්‍ය බලන්නෙ නෑ.

සිංහල ටෙලි නාට්‍ය නොබැලුවත්, අතරින් පතර කාමරයට ඇහෙන සිංහල ටෙලි නාට්‍ය වලින් ලැබෙන්නේ බොහොම අමිහිරි අත්දැකීමක්. ඒ අතරෙදි ෆේස්බුක් එකේ එහෙන් ම‍ෙහෙන් දකින්න ලැබුන කූඹියෝ නාට්‍ය ගැන මට හිතුනෙ ඒකත් අනිත් නාට්‍ය වගේම වෙයි කියල. ඒ කොහොම වුනත් මටත් නිකමට වගේ කූඹියෝ බලන්න හිතුන.

පළවෙනි  දෙවෙනි කොටස් බලද්දි සෑහෙන්න වෙනසක් දැනුනත්, මුලින්ම කූඹියෝ ගැන ආව අදහස වුනේ මේකත් තවත් එක ඊනියා “රැඩිකල්” කලා කාරයෙක්ගෙ මොකක්හරි බම්බුවක් යහපාලනේ පිහිටෙන් අයි ටීන් එන් එකට දාගත්ත නාට්‍යයක් කියල. මොකද දන්න කාලෙක ඉඳල අපි අයි ටී එන් එකෙන් කිසිම ගුණාත්මක දෙයක් දැකල නෑ.

ඒත්,

එන්න එන්න කතාව හොඳ අතට හැරෙන්න පටන්ගත්ත. එක පුද්ගලයෙක් දෙන්නෙක් වටේ කතාව ගෙතිල තිබුනට අනිත් පොඩි පොඩි චරිත කරන නළු නිළියොත් තමන්ගෙ උපරිමයෙන්ම රංගන දායකත්වය දෙද්දි ඊළඟ කොටස් බලන්න පුලුම ආසාවක් දැනුන. ලංකාවෙ ටෙලි නාට්‍ය ගැන බලාපොරොත්තු අත ඇරල තිබුන වෙලාවක මේක නිකන් මැජික් එකක් වගේ.

ශ්‍රී ලංකා සමාජයේ හැමදාම දකින්නට ලැබෙන බොරු ආටෝප වලට සියුම්ව සහ කලාත්මකව පහර ගහන මේ වගේ කලා නිර්මාණයක් ඇත්තටම අගය කරන්න ඕනෙ. ඒ අතරෙම බොහොම සීරියස් සංවේදී දෙවල් එක්ක හැමිණෙන්න නොයා කතාවට අදාළ රසයත් ප්‍රේක්ෂකයට ගේන්න උත්සාහ කරන එක දැක්කම කියන්න පුලුවන් මේක හරිම බැලන්සඩ් වැඩක්!

ඒකම තමයි සාමාන්‍යයෙන් රෑ 8ට ටෙලි නාට්‍ය බලන ඕනෙම මනුස්සයෙක්ට ඕනෙ කරන්නෙත්. අහස පොළොව ගැටලන්න උභතෝකෝටික ප්‍රශ්න ඔළුවට දාන්නෙ නැති, තමන්ගෙ ගෑනි, අල්ලපු ගෙදර මනුස්සය, පාරෙ මුනගැහෙන මනුස්සයව සැක කරන්න පුරුදු කරන්නෙ නැති, මන්තර ගුරුකම් වලින් ඕනෙ ප්‍රශ්නයක් විසඳන්න පුලුවන් වගේ මිථ්‍යා කතා කියන්නෙ නැති, ගැහැනියක්ව ළඟ තියාගෙන මුළු ලෝකෙම ගෑනුන්ගෙ වැරදි නොකියන සරලව විඳින්න පුළුවන් කතාවක්!

ඉතින් දැන් ඇති නේද කට්ටියව මුරුංග අත්තෙ තිව්ව?

මං හරිම ආසයි මේ ටෙලි නාට්‍යයේ සංගීතය තව ටිකක් තීව්‍ර වුනානං. ඔව්. මුළු ටෙලි නාට්‍යය පුරා එකම තේමා වාදනය නොයව වෙනස් වෙනස් වේරියේෂන්ස් තිබ්නං මේක මියුසික් අතිනුත් තව සිරා වැඩක් කරන්න තිබුන. ඇත්තටම ඒක විතරයි මට අවුලකට තියෙන්නෙත්. මියුසික් නරකයි නෙවෙයි. මං කියන්නෙ තව ටිකාක් විතර දියුණු වෙන්න තිබ්බනං කියල!

ඒ එක්කම මං බලාපොරොත්තු වෙනව ටෙලි නාට්‍යය වෙළඳ දැන්වීම් වලින් ගිලගන්නෙ නැතිවෙයි කියල… ඔව්. සල්ලි ඕනෙ තමයි. ඒත් අතරින් පතර දිගට හරහට දැන්වීම් බලන්න වුනොත් සියුම් storyline වලින් ප්‍රේක්ෂකයො ගැලවෙන්න පුලුවන්. සල්ලි හොයන්න තව පාරවල් විදිහට YouTube දාන්න, Original DVD එකක් එලියට දාන්න. ඊට අමතරව නාට්‍ය Merchandise කරන්නත් උත්සාහ කරල බලන්න පුලුවන්!

ඉතින් මේ සිරා වැඩේට, කූඹියෝ නාට්‍යයේ නිශ්පාදක අසංක දොඩන්තැන්නට, අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්නට, සංගීත අධ්‍යක්ෂක අචල සොලමන්ස්ට, ඡායාරූප අධ්‍යක්ෂක Striner Macklain Adamsට (නම සිංහලෙන් කියන්න දන්නෑ!), සංස්කාරක දමිත චන්ද්‍රසිරිට වගේම අනෙකුත් වැදගත් කාර්ය මණ්ඩලටම සහ නළු නිළි සේරම අපි සුබ පතමු වැඩේ හොඳට කරගෙන යන්න!

සේයා රූ ලබාගත්තෙ කූඹියෝ නිල ෆේස්බුක් පිටුවෙන්!

4 replies on “ඔබත් කූඹියෙක්ද?”

ඔව්, මාත් මේ ටෙලි නාට්‍යයක් බලන්නෙ අවුරුදු පහ හයකට විතර පස්සෙ.

ටෙලි නාට්‍යයක් විදියට ‘කූඹියෝ මා දකින්නේ මෙහෙම.

හොඳ:

1. කම්මැලි නැතුව බලා ඉන්න පුළුවන්. අනවශ්‍ය දිග් ගැසීම් නැහැ.
2. රඟපෑම් උපරිමයි. නළු නිළි පිරිස චරිත වලට අපූරුවට ගැළපෙනවා.
3. තාක්ෂණික අංශය (සාමාන්‍යයෙන් මේ දවස් වල තරුණයින් කරන බොහෝ නිර්මාණ වල වගේම) විශිෂ්ඨයි.
4. සමාජයේ යම් යම් පුද්ගලයින්, හැසිරීම් හෙළා දැකලා නැහැ කතාවෙ. පොලිටිකලි කරෙක්ට්.
5. ප්‍රේක්ෂකයාගේ කුතුහලය වර්ධනය වෙන ආකාරයෙන් කතාව ගලාගෙන යනවා.

තරමක් හොඳ:

1. දෙබස්. පොඩි නැවුම් බවක් තියෙනවා, හැබැයි අර ඇට්ටකුණා වෙච්චි වාමාංශික චින්තනයට කිට්ටු වැඩියි. පන්ති වෛරයක් ගෑවී නොගෑවි තියෙනවා.

නරක:

1. හිස්ම හිස්. නෑ, මං බලපොරොත්තු වෙන්න මාර සම්භාව්‍ය, මාර මාක්ස්වාදී, මාර ජිජැකියානු පණිවිඩයක් නෙවෙයි. නමුත් කතාවක් වුනාම ඒකෙ අරමුණක් තියෙන්න ඕනෑ. මේකෙ එහෙම එකක් නෑ. “පුහු ආටෝප වලට හිනාවෙනවා” කියන එක කොමන් හා පීචං වෑඩියි. ගැම්මක් නෑ.
2. අතාත්විකයි. කාර් හොරකම් කරන්නෙ පාට්ස් වලට. ඒකෙන් ලොකු ගාණක් ගන්න බැහැ. ඒ වගේ වැඩකට හෝටලේක බෝම්බ පුපුරවන්නෙ අමු ගොනෙක්. උගේ අනෙක් වැඩත් එහෙමයි. ගොන් වැඩියි.

දැනට ඒ ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.