Skip to content

ආදරය

ජනවාරි 2, 2010

සෑහෙන්න කාලයක ඉඳල ලියන්න කියල හිතාගෙන තිබුන මාතෘකාවක් තමයි මේ ආදරය. සංවේදී මාතෘකාවක්. ‍දේශපාලනයට නෙවෙයි. හදවතට සංවේදී මාතෘකාවක්.

සෑහෙන්න කාලයට ඉඳල මම බස් එකේ යනව. දවසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ බස් එක ඇතුළෙ කිව්වොත් ඒක අතිශ‍යෝක්තියක් නෙවෙයි. ඒ අතින් හදවතට සංවේදීම වාහනය බස් එක. ලොකු වෙලා ලොකු රස්සාවක් කරල පුතේ කාර් එකක්, වෑන් එකක් ගනිං කියල අම්මල කිව්වට, මට නං හිතෙන්නෙම බස් එකක් ගන්න!

සිරාවට!

ආදරය මාතෘකාවට බස් එක ඈදල ගත්තෙ වි‍ශේෂ හේතුවක් නිසා. බස් එකේ කොනකට වෙලා කිසිම බරක් පතළක් හෑල්ලුවක් නැතුව කරට අත දාගෙන ආදරය කරන පෙම්වත්තු. සමහර වෙලාවට බස් එක නැවැත්තුව ගමන්ම බස් එකේ පිටිපස්සෙ සීට් එක අයිනට වෙලා කරට අතදාගෙන කතා කරල, ඊට පස්සෙ බස් එක පිටත් වෙන්න මොහොතකට කලින් එන්ජිම ගැහෙන්න පටන්ගත්තාම බස් එකෙන් බැහැල. ඊට ළඟින් ගාල් කරල තියෙන බස් එකට නගින සංචාරක පෙම්වත්තු.

මුලින්ම ප්‍රේම කරන හැටි දැක්කෙ පාරේ. ෆිල්ම් වල ප්‍රේම කරනවා දැකල තියෙනවා කියන එක වෙනම කතාවක්. ඒ වුනාට මේක තමයි රියැලිටිය. අපි දකින ප්‍රේම කරන තාත්වික ආකාරය.

හ්ම්…

ආදරය කියන්නෙ පුදුමාකාර දෙයක්. ආදරය කියන දේ ගැන හොයල බලන්න මොනතරම් උවමනාව තිබ්බත්, විකීපීඩියාවෙ “Love” කියල සර්ච් කරත්. අපි අපිම දකින ආදරය අපිටම සාපේක්ෂව වෙනස්. මම දැකල තියෙනවා සමහර අය තමන්ට ආදරය කෙනෙක් නැතිව හූල්ල හූල්ල ඉන්න හැටි. ඒත් සමහර විට ඒ අයට ආදරය කරන අය ගොඩක් ‍දෙනෙක් ඉන්න පුළුවන්. සමහර විට ‍මේ අත ළඟම! ඒත් ප්‍රශ්නය…

අපිට ඒ ආදරය නොදැනෙන එකයි.

ඇත්ත කතාව,

අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ
අපිට ආදරය කරන අයට අපි ආදරේ නෑ

‍මේක සමහර දෙනෙක්ට ඇත්තක්. සමහර දෙනෙක්ට බොරුවක්. ඒ කියන්නෙ ඇත්ත-බොරුවක්.

තමන් ආදරය කරන ගෑනු ළමය පිරිමි ළමයෙකු ගැන කියද්දි (හෝ පිරිමි ළමය ගෑනු ළමයෙකු ගැන කියද්දී) ඒක අහගෙන ඉන්න කෙනාගෙ හිතට දැනෙන්නෙ මහ විකාර හැඟීමක්. බොරු කියන්න අවශ්‍ය නැහැ. මට ඒක දැනිල තියෙනව. ඒක ඇතිවෙන්නෙ මොකක් නිසාද කියල හිතාගන්න බැරිතරම්. සමහරවිට ඒක ආත්මාර්ථකාමය වෙන්නත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ගෙ ආදරවන්තිය (හෝ ආදරවන්තයා) වෙ‍න කෙනෙක් ගැන වර්ණනා කරන්නෙ ඇයි. මේ “මම” ඉන්නවා කියල හිතෙන ආත්මාර්ථකාමී සිතිවිල්ල. ප්‍රේමවන්තයෝ කියන්නෙ ජීවිත දෙකක්. දෙන්නටම කියල තමන්ගෙ කියල නිදහසක් තියෙනව. ඉතින් එහෙම එකේ… ඇයි, තමන් කැමති කෙනෙක්ව වර්ණනා කරන්න තමන්ට බැරි?

පුදුමයි.

සමහර විට. ආදරය කියන්නෙ පරාර්ථකාමය. අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ හැඟීම්, සිතිවිලි, වචන හිරකරගෙන ඉන්න එක. තමන් දන්නවා තමන් කියන මේ දේ නිසා මෙහෙම හිත් රිදීමක් ඇතිවෙන්න පුලුවන් කියල. ඉතින් ඒක නිසා අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සිතිවිලි අරපරිස්සමෙන් හිරකරගෙන ඉන්නව. ඒත් ඇයි වෙනකෙනෙක් නිසා තමන්ගෙ හිතේ හැඟීම් හිරකරගෙන ඉන්නෙ?

දැනිල තියෙනවාද නිකන් මුලු සිරුරම හිරිවැටිල මුකුත්ම කරගන්න බැරිගතියක්? සම්පූර්ණයෙන්ම හදවත හිරිවැටිල තද වෙලා වගේ ගතියක්? ලේ ගමනාගමනයක් මුකුත් සිද්ධ වෙන්නෙ නැති ගතියක්? නැතිනම් හුස්ම ගන්න අමතක වෙලා යන ගතියක්? හුස්ම ගැනීම සාමාන්‍ය පරිදි කෙරෙන්නැති, තමන්ගෙම ආයාසයෙන් හුස්ම අරගන්න ඕනේ වගේ ගතියක්?

ඒක ශරීරයේ ඇතිවුන ලෙඩක්ද?

මේ හැම දේටම බලපාන්නෙ හිත. මිනිස්සු ලෙඩ වෙන්නෙ 90%ක්ම හිත නිසා. අඩුම තරමෙ තමන් ලෙඩෙක් කියල හිතන්න ඕනෙ තමන් ලෙඩෙක් වෙන්න. මගේ යාළුවෙක් ඉන්නව. මිනිහ කියන්නෙ මිනිහගෙ ඇඟේ තියෙන ලෙඩ මිනිහවත් දන්නෙ නැහැලු. ඔන්න ඔය එකපාරක් ඉස්කෝලෙ තියපු නොමිලේ වෛද්‍ය පරීක්ෂණයකින් තමයිලු දැනගත්තෙ තමන්ගෙ පපුවෙ මොකක්ද හිලක් තියෙනව කියල. ඉතින් ඒ මනුස්සයට ගානක්වත් නැහැ. හොඳින් ඉන්නව. තමන් ලෙඩෙක් කියල නොහිතන තරමට. තමන් ලෙඩෙක් නොවෙයි!

ඉතින් ආදරය එක්තරා ආකාරයක ලෙඩක්!

ආදරය කියන දේට දුර කියන දේ කොයිතරම් බලපාන්නෙ නෑ කියල හිතාගෙන තිබුනත්. ඒක සෑහෙන්න වැරදි කතාවක්. තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හැබැහින් දකින්නෙ නැතුව ඉන්න පුළුවන් කාටද? Long Distance Relationship එකක් නඩත්තු කරන්නෙ කො‍හොමද? පෙම්වතිය (හෝ පෙම්වතා) තමන්ගෙන් ගව්ගානක් දුර නම්… පිටරටක නම්…? ඒකනිසා තමයි 90%ක්ම පෙම්වතා-පෙම්වතියම කසාද සහතිකයෙ අත්සන් කරල එක ගෙයි කුරුල්ලෝ වෙන්න සමාජයෙන් අවසර ඉල්ලන්න හැමවෙලාවකම උත්සාහ කරන්නෙ. මේ කියන දේ සීමාවෙන්නෙ ලංකාව කියන පරිසරය ඇතුළෙ කියන එකත් මතක තියාගන්න. බොහෝ විට වෙනත්රටවල. තමන් කසාද සහතිකයට අත්සන් නොකරත්, එක ගෙයි අඩුම ගානෙ පුංචි කාමරයකවත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනව. ඒත් ලංකාව වගේ රටක තියෙන සංස්කෘතික බැඳීම් ඇතුළෙ. ඒ වගේ දෙන්නෙක්ට එල්ල වෙන අපවාද! (?)

සමහර විට තමන්ගෙ ගෑනු ළමය (‍හෝ පිරිමි ළමය) හංගන පුංචීම පෞද්ගලික දෙයක් වුනත්. අනිත් කෙනාට තදින් දැනෙන්න පුළුවන්. ඉතින් ආදරය කරන අයට තමන්ගෙ කියල පෞද්ගලිකත්වයක් ඇත්තෙම නැද්ද?

මේ දකින්නෙ මට පේන පරිසර රාමුව විතරයි. එතනින් එහා ආදරය කියන මාතෘකාව තවත් බොහෝ දේවල් වලට වෙන්වෙලා යනව. සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් විදිහට මට කතාකරන්න පුළුවන් මේ ගැන විතරයි. තව බොහෝ දෙනෙකුට ආදරය ගැන තියෙන්නෙ තවත් අදහස්…

ආදරය සාපේක්ෂයි!

සමහරු කියන්නෙ එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න එපා, තවත් දෙතුන් දෙනෙක්ව ආශ්‍රය කරන්න. එතකොට ඔය තියෙන ලෙඩ නැතිවෙලා යාවි කියලයි… ඒක සමහර අයට හරියන්නත් පුලුවන්. සමහර අයට වරදින්නත් පුළුවන්. සමහර අයට හරියන්නත් පුලුවන්. ඉතින් ඒකයි කියන්නෙ,

ආදරය සාපේක්ෂයි!

පසු ලිවීම: තව ගොඩක් දේවල් ලියන්න තියෙනව. ඒත් දැනට මේ ඇති. අවුරුද්දෙ මුලම ටිකක් සංවේදී මාතෘකාවක් (ආයෙමත් මේ කියන්නෙ! දේශපාලනයට සංවේදී නම් නෙවෙයි…) හරහා ආරම්භ කරන්න හිතුන. අලුත් අවුරුද්දෙ, අලුත් ලිවිල්ල.

ප්‍රතිචාර 19 leave one →
  1. ජනවාරි 2, 2010 11:28 ප.ව.

    කොල්ලෝ… උඹ මේක නම් නියමෙටම ලියල තියෙනවා කිරිගහට ඇන්නා වගේ…. මටත් නිකම් දැං මොකක්ද වගේ මේක කියවලා… බලපං හොඳට පාඩමක් කරගෙන හිටිය එකත් කෑවා උඹ :P

  2. ජනවාරි 2, 2010 11:36 ප.ව.

    අප්පට සිරි! ආදරේ ගැන විකිපීඩියාවටත් දේවල් තියෙනවනෙ!
    ආදරය සාපේක්ෂයි
    සහතික ඇත්ත

  3. ජනවාරි 2, 2010 11:50 ප.ව.

    මම දැක්ක ප්‍රායෝගික දෙයක් තමා
    “සමහර විට. ආදරය කියන්නෙ පරාර්ථකාමය. අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ හැඟීම්, සිතිවිලි, වචන හිරකරගෙන ඉන්න එක”

    මම නම් කියන්නෙ තමන් තමන් වෙන්න, තමන්ට තමන්ගේ අනන්‍යතාවයක් තියාගන්න. ඒ වගේම තමන්ගේ පෞද්ගලිකත්වයත් තියාගන්න. මන්ද තවත් කෙනෙකුගේ සතුට උදෙසා කමන් සතු දෑ අතහැරීම හෝ හිරකරගෙන සිටීම බොරු වැඩක්. අනික අද බොහෝ දෙනා තම තමන්ගේ passwords, mails share කරගන්නව. එතකොට තමන්ට කියල පෞද්ගලිකත්වයක් තියෙනවද කියන ගැටළුව මට නම් එනව. මේ නිසා නොයෙකුත් ගැටළු ඇති නොවනවා කියල කියන්න පුළුවන්ද ?

    මම නම් දකින්නෙ ආදරය ලෙස එකිනෙකාව හොදින් අවබෝධකරගැනීමයි. (Understanding each other)

  4. ජනවාරි 3, 2010 12:42 පෙ.ව.

    ආදරය සාපේක්ෂයි.ඒක සහතික ඇත්ත.වසර ගානක පළපුරුද්ද මත උඹට දෙන්න ලොකූ උපදෙසක් තියෙනවා.ඒක උඹට ඕන නං පෞද්ගලිකව විමසපන්.අනිවාර්යෙන්ම කියන්නන්!

    අනිත් එක මමත් ඔය බස් ලව්,පාක් ලව් කරලා තියෙනවා.ඒකේ පොඩි ත්‍රිලක් තියෙනවා.දෙන්නා මුළු හිතින්ම ආදරේ කලාට ගොඩාක් හොරෙන් හන්ගගෙන කරන්නේ.ඒකත් හරියට. . . . ..උපමාවත් උඹට පෞද්ගලිකවම කියන්නන් !

    උපරිම ලෙස සාර්ථක ලිපියක්.

    අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ
    අපිට ආදරය කරන අයට අපි ආදරේ නෑ
    වලට අමතරව…..
    අපිට ආදරේ කරන සමහර උන් ඒක හන්ගනවා.අපි ආදරේ කරන උන්ටත් අපි ඒක හන්ගනවා.දැනෙන්න ඇරලා නිකන් ඉන්නවා.දැනෙන්නේ නැතුව අතෑරලා දානවා.ඔය ඔක්කොටම තියෙන හොඳම උත්තරේ තමයි…..අහන්න තියෙන හැම දෙයක්ම ගෑණු පිරිමි බේදයක් නැතුව මූණටම අහන එක(හැබැයි Data Warehouse තියරියට.).

  5. Boominda permalink
    ජනවාරි 3, 2010 2:42 පෙ.ව.

    සිරාවට මලේ උබ ඔය කියන කතාව සහතික ඇත්ත. ආදරේ කියන්නේ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන දෙයක්…….
    ඒ වගේම මට තේරෙන විදිහට ආදරය පරාරටකාමී දෙයක් උනත් ඒක අතුලේ ආත්මාර්ටය කියන එකත් ටිකක් හැන්ගිලා තියෙනවා……
    මොකද අපි ඔක්කොම කැමති අපි ආදරේ කරන කෙල්ල නැත්නම් කෙල්ලෙක් නම් කොල්ලාව තමන්ගේම කර ගන්න…..
    ඒත් සමහර වෙලාවල් එනවා අපිට අපේ හැගීම් දෙදනාගේම යහපත සදහා හෙලි නොකර හිර කරගෙන ඉන්න…..
    ඔය ඔක්කොමත් එක්ක මන් නම් ආදරය කියන්නේ, කොල්ලෙක් සහ කෙල්ලෙක් අතර තියෙන්න එකිනෙකා පිලිබද හොද අවබෝදයක් සහ කළ්්‍යාන මිතුරු කමක්. මේ දෙකේ එකතුවෙන් තමා ආදරය කියන එක හැදෙන්නේ……… :D :D :D <3 <3 <3

  6. ජනවාරි 3, 2010 7:31 පෙ.ව.

    පට්ට කතාව…..
    එල

    /බිඟුවා…!

  7. ජනවාරි 3, 2010 9:15 පෙ.ව.

    Love හා Crush පටලවා ගත යුතු නැත.

    Crush = an intense but usually short-lived infatuation (http://dictionary.reference.com/browse/crush)

    ලේ ගමන වේගවත් වීම හා අනෙකුත් ‘රෝග ලක්ෂණ’ මතු වන්නේ crush එකකදීය.

    තවත් උදාහරණ ඕනෑම නම්:

    UNP කාරයින්ට හා JVP කාරයින්ට මේ අවස්ථාවේ සරත් ෆොන්සේකා ගැන ඇතිවී තිබෙන්නේ Crush එකකි.

    එහෙත් ශ්‍රී ලංකා කාරයින්ට මහින්ද රාජපක්ෂ ගැන ඇත්තේ Love එකකි.

    මින් කවරක් ජය ගනීද මම කුතුහලයෙන් සිටිමි.

    • ජනවාරි 3, 2010 9:31 පෙ.ව.

      කතාවෙන්නේ හද ගැස්ම වැඩිවී, රුධිර ගමනාගමනය‍‍ වේගවත් වීම නොවෙයි. සම්පූර්ණයෙන්ම එ‍හි අනිත් පැත්තයි.

      ඇත්තෙන්ම වැඩිපුර සංවේදී වීම නිසා සිරුර තුළ රුධිරය ගමනාගමනය වන බවක් නොදැනී. හදවතේ ගැස්ම නොවෙන බව දැනී ආයාසයෙන් හුස්මගත යුතුයැයි හැඟෙන්නේ එය Crush එකක් වීම නිසාද?

      • ජනවාරි 3, 2010 11:13 පෙ.ව.

        රෝග ලක්ෂණ පුද්ගලයා අනුව වෙනස් විය හැකිය.

        ගැඹුරු ආදරය බැතිමතකු පන්සලකට යාමේදී අත්විඳින්නාක් බඳු නිරාමිස සතුටකි.

        - Taboo

        • ජනවාරි 3, 2010 11:37 පෙ.ව.

          ගැඹුරු ආදරය බැතිමතකු පන්සලකට යාමේදී අත්විඳින්නාක් බඳු නිරාමිස සතුටකි.

          මෙම කථාව අදාරය ගැන නොබල් තෑග්ගක් තිබ්බා නම් මට ඒකට යෝජනා කරන්න තිබ්බා! චහ්!

  8. ජනවාරි 3, 2010 11:45 පෙ.ව.

    උඹ දන්නවානේ මචං මලේ මගේ කලින් “නුවර” ආදරයයි දැන් සීන් එකයි එහෙම. ;)

    ආදරය සාපේකෂයි තමා, ඒත් ඒක අනෙන්‍ය අවබෝධය සබැදියාව හා විවෘත භාවය ඔස්සේ බැදෙන පාලමක්…තමා….ආදරය. ඒ ආදරයට එයා මගේ නොවුණත් මං එයාගේ නොවුණත් කමක් නෑ, එයාට මං අදාරෙයි නම් පරාර්ථකාමී හිතෙන් ආදර කරන්නත් පුළුවන් (දන්නවානේ…?).

    මල්ලී, ඔය බස් රථයේ දකින ඇසෙන දේවල් ආදරයම නෙමේ, ඇත්තටම…අවංකවම කියනවා නම් එවැනි මතකයන් මටත් තියෙනවා. එතැන්වල ගියාම දකින්නට ලැබුණ දේ මටම විශ්පේෂිත වුණා, අපේ අය විහිළුවට නිකමට කියනවා ඇසුණු දේ ඇත්තටම දකිනකොට මට තේරුණා ඒ ඒ තැන්වලම තියෙන්නේ ආදරය නෙමේ කියලා. ආදරය-රාගයත් එක්ක බැඳුණු එකක් වුණත් එහි රටාවක් තියෙනවා.

  9. ජනවාරි 3, 2010 1:16 ප.ව.

    මේ ලිපිය ගැන මටත් මම හිතන්නේ කියන්න දේවල් ගොඩක් තියෙනවා . . . දැනට පොඩි දෙයක් කියලා ඉතුරු ටික පසුව නිදහස් වෙලාවාක් කියන්නම් . . .

    ඇත්ත උඹ කිව්ව වගේ ආදරය පරිත්‍යාගයක් . . . නමුත් අපේ සමාජයේ අපි ඔය ආදරේ කියල දේ නියම තෙරුම වත් දැනගෙන කරනවද කියන එක සැකයි . ..

    මගේ දායාබර සොයුරියකගේ (මිතුරියකගේ) සැමියා පේරාදෙනිය ව්.ව්. කතිකාචාර්‍‍යය වරයෙක් . . ඔහු කියූ යමක් මට ආදරය ගැන සිය දහස් වාරයක් නැවත නැවත හිතන්න යමක් ඉතිරි කලා. . .

    මම කෑම කන ගමන් සහ වෙනත් කෘත්‍යක් කරන ගමන් පොතක් කියවනවා කියලා “අනේ මෙහෙමත් ජීවිත පව් අප්පා” කියල කෙනෙක් කියූ දේට

    “අපි හිතන්නේ අනිත් අයත් අපි සතුටු වෙන විදිහෙන්ම සතුටු වෙන්න ඕන කියලා”

  10. ජනවාරි 3, 2010 1:18 ප.ව.

    මේ ලිපිය ගැන මටත් මම හිතන්නේ කියන්න දේවල් ගොඩක් තියෙනවා . . . දැනට පොඩි දෙයක් කියලා ඉතුරු ටික පසුව නිදහස් වෙලාවාක් කියන්නම් . . .

    ඇත්ත උඹ කිව්ව වගේ ආදරය පරිත්‍යාගයක් . . . නමුත් අපේ සමාජයේ අපි ඔය ආදරේ කියල දේ නියම තෙරුම වත් දැනගෙන කරනවද කියන එක සැකයි . ..

    මගේ දායාබර සොයුරියකගේ (මිතුරියකගේ) සැමියා පේරාදෙනිය ව්.ව්. කතිකාචාර්‍‍යය වරයෙක් . . ඔහු කියූ යමක් මට ආදරය ගැන සිය දහස් වාරයක් නැවත නැවත හිතන්න යමක් ඉතිරි කලා. . .

    මම කෑම කන ගමන් සහ වෙනත් කෘත්‍යක් කරන ගමන් පොතක් කියවනවා කියලා “අනේ මෙහෙමත් ජීවිත පව් අප්පා” කියල කෙනෙක් කියූ දේට
    “අපි හිතන්නේ අනිත් අයත් අපි සතුටු වෙන විදිහෙන්ම සතුටු වෙන්න ඕන කියලා” ඔහු කිව්වා.

  11. ජනවාරි 3, 2010 8:23 ප.ව.

    මේ බ්ලොග් එකේ මම දකින සිරාම ආටිකල් වලින් එකක් මේක.. ආදරේ හරිම සාපේකෂයි.. හැම කෙනෙක්ම ආදරේ කරන්නේ තමන්ට පෞද්ගලිකව දැනෙන විදියට.. මම හරිම අකමැති දෙයක් තමයි ආදරේ ඇතුලේ ආත්මාර්ථකාමය තියන එක.. ඒ කියන්නේ දෙන්නෙක් ගේ ආදරේ ඇතුලේ කෙනෙක්ව හිර කරලා තියන එක.. හැබැයි ලංකාවේ බොහෝ දුරට ඒක එහෙමයි.. ඒ වගේම ගොඩක් ගෑණු ළමයි හරිම අකමැතියි තමන්ගේ පිරිමි ළමයා විහිළුවටවත් වෙන ගැණු ළමයෙක් ගැන කථා කරනවා නම් හෝ යාළුවෙක් විදියටවත් වෙන ගෑණු ළමයි එක්ක කථා කරනවට.. ඒ නිසා අ‍පේ රටේ ආදරේ හරිම කෘතිමයි..(මට හිතෙන හැටියට)

    දුර ප්‍රේමකතා ගැන කියනවා නම් මලයෝ.. හික් හික්.. ඔව් තමන් ආද‍රය කරන කෙනා හැම වෙලේම ළග ඉන්නවා නම් දවස ගානේ මූණ දැකලා ළගට වෙලා ඉන්න තියනවා නම් හොදයි තමා. .ඒත් මාසෙකට දෙකකට වතාවක් දකිද්දි තියන ආතල් එක කොයි වගේද දන්නවද? ඒක හරියට මුල්ම වතාවට එයාව මුණ ගැහුනු වෙලාව වගේ..එක තත්පරයක බැල්මක් අතුලේ දවස් ගාණක් නොදක හිටීම නිසා මිස් වෙච්ච දේවල් අල්ල ගන්නවා.. ඒක හරිම සුන්දරයි..

  12. ජනවාරි 4, 2010 5:24 ප.ව.

    හදවත ආදරයට සම්බන්ධ වෙන්නෙ ඇඩ්‍රිනලීන් නිසා.. මම කියන්නෙත් ආදරය වෙනයි සෙක්ස් වෙනයි..

  13. ජනවාරි 5, 2010 5:23 ප.ව.

    කෝ බං මගේ කලින් කමෙන්ට් එක..
    සමහරු කියන්නෙ එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න එපා, තවත් දෙතුන් දෙනෙක්ව ආශ්‍රය කරන්න. එතකොට ඔය තියෙන ලෙඩ නැතිවෙලා යාවි කියලයි… ඒක සමහර අයට හරියන්නත් පුලුවන්.

    මෙතන තියෙන්නෙ ආදරයට වඩා sex නේද….

    • ජනවාරි 5, 2010 6:54 ප.ව.

      //coments ගැන.

      සමාවෙන්න ඕනෙ ආගන්තුකය, මගේ බ්ලොග් එකේ සෑහෙන්න ලොකු අවුලක් තියෙනව. ඉක්මනට පිටු cache කරන්න වෙනව දැනට තියෙන ‍සර්වර් එක අවුල් නිසා. ඉතින් දාපු ප්‍රතිචාරයක් නොපෙනී තියෙන්න පුළුවන්. CTRL+F5 ගහල පිටුව රිෆ්‍රෙෂ් කරන්න වෙනව. පුළුවන් ඉක්මනට බ්ලොග් එක යථා තත්වයට ගේන්නම්.

  14. ජනවාරි 6, 2010 4:46 ප.ව.

    අවුලක් නෑ වචං…. එල එල..

  15. ජනවාරි 10, 2010 2:33 ප.ව.

    ආදරය ගැන හොඳට ලියල තියෙනව. ජයවේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS