ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය 17

pragathi

අද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති මහීලාල්ය. ප්‍රගතිගේ රාජකාරිය වූයේ ලිපි ලිවීම හැරුණු විට අනෙක් සියළුම දේවල්ය. වෙළෙඳ දැන්වීම් සොයා ගැනීම, මුද්‍රණය, බෙදාහැරීම පමණක් නොව මට අවශ්‍ය පොත්පත් සොයා පොත්හල් ගානේ රස්තියාදුවීමද ඒ අතර විය.

“කළු මහත ළමයෙක්. කඩියා වගේ වැඩ!” මේ ලංකාදීප ප්‍රධන කතෘ සිරි රණසිංහයන් දෙවැකියකින් මට ප්‍රගති හඳුන්වා දුන් හැටිය. සහතික ඇත්ත. ප්‍රගති කඩියෙකි. වැඩක් බාරගත් මොහොතේ සිට සාර්ථකව ඉවර කරන තුරු ඔහුට නිවනක් නැත. උදේ සිට රෑ වනතුරු කළේ ඒ වෙනුවෙන් දුවන එකය.

මුල්ම පරිගණක සඟරාව එළි දක්වන්නට අප දෙදෙනාට මසක කාලයක් ලැබිණි. (මෙය ‘විජය පරිගණක’ වූයේ පසුවය. කලින් පුරුද්දට මට තවමත් එය කියැවෙන්නේ ‘පරිගණක’ සඟරාව හැටියටය.) අද නම් එවැන්නක් සතියකින් කළ හැකිය. එදා එය විශාල අභියෝගයකි. වසර දොළහකට පෙර පරිගණක තාක්ෂණය ගැන හොඳ ලිපියක් සරල භාෂාවෙන් ලියන්නට පවා කෙනකු නොවිණි. ලියූවන් ලිව්වේද එක්කෝ බාග ඉංගිරිසියෙනි. නැතිනම් පාඨකයන්ට තියා ලේඛකයාටවත් නොතේරෙන භාෂාවකිනි. නිසි වදන් නැතිවීම තවත් අඩුවක් විය. (බොහෝ වදන් බන්දුසීල, එඩ්වින් ආරියදාස වැනි වියතුන්ගේද සහාය ඇතිව අපි තනා ගතිමු. ‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,’සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය පරිගණක සඟරාවකට පිටපත් දස දහසකට වඩා අළෙවියක් නැති බවය. මේ කතා කරන්නේ 1997 ගැනය. දහයකින් කෙනකුවත් පරිගණකයක් දැක නොතිබිණි. රටේ භාවිතා වූ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව ලක්ෂයකට අඩුවිය. වෙනෙකක් තියා මුළු ලංකාදීප කතෘ මණ්ඩලයටම එකම පරිගණකයක් වත් තිබුනේ නැත.

විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියෙන් අපට සඟරාව පළ කරනවාට අමතරව තවත් අභියෝගයක් ලැබුණේය. ඒ සමාගමේ සියළුම ප්‍රකාශනවල පිටු සැකසීම පරිගණීකරණය ආරම්භ කරන ලෙසය. ඒ වන තුරුම විජය පුවත්පත් සමාගමට සිංහල පිටු සැකසීම් අංශයක් කියා දෙයක් නොතිබිණි. සිටියේත් පිටු සැකසීම් ශිල්පීන් නොව පරිගණක යතුරු ලියන්නන්ය. ඔවුන් කොලම් මහතට යතුරු ලියා දෙන ලිපි පරණ විදියට සුදු කඩදාසියේ ඇළවීමෙන්ය පිටු සකසා ගත්තේ. පේජ් මේකර් හා ෆොටෝ ෂොප් පරිගණකයන්හි ස්ථාපනය කොට තිබුනද භාවිතාවක් නොවීය. පළමු වරට ඒවා භාවිතා කළේ පරිගණක සඟරාව වෙනුවෙනි. අද මතක් වන විට සිනා පහළ වුවත්, වැඩි වැඩ නැතිව පළමු පිට සකසා ගැනීමට මටත් චන්දන, ගුණතිලක දෙසොහොයුරන්ටත් පැය තුනකට ආසන්න කාලයක් ගතවිය.
මේ දීර්ඝ අටුවාව ලීවේ ප්‍රගතිත් මාත් භාරගත් අභියෝගයේ තරම කියන්නටය. මම ප්‍රගතිගේ බොස් වීමිද, නැතහොත් ප්‍රගති මගේ බොස් වීද මම අදත් නොදනිමි. එවැන්නක් සිතීමට වත් අවකාශයක් වූයේ නොවේ. අගෝස්තු 12 වැනිදා ලංකාදීප පුවත්පත සමඟ නිකුත් වීමට නියමිත පළමු පරිගණක කලාපයේ වැඩ කටයුතු අප නිමා කළේ ඉන් පෙරදිනය. මුද්‍රණයට යන්නට පැයකට පෙරත් ප්‍රගති පිටු මාරුවක අවුල් ඇරියා මතකය. මුල්ම සඟරාව මුද්‍රණය වී එනතුරු විජය පුවත්පත් ආයතනයේ පහළ මහලේ බලා සිටීම ප්‍රගතිටත් මටත් නවමු අත්දැකීමක් විය. අපේ උත්සාහයේ මිහිර විඳ ගැනීමට ලැබුනේ පසුවදා පාරේ තැඹිලි විකුනන්නන්ද පරිගණක සඟරාව කියවනු දැකීමෙනි.
paraiganaka-first-issue

ප්‍රගති ගැනත් පරිගණක සඟරාව ගැනත් මට තවත් බොහෝ මතකයන් ඇත. එහෙත් ඒ වෙනුවට අප දිනාගත් දේ ගැන කතාකිරීම වඩාත් අවස්ථෝචිතය. 1999දී තනිව නැඟී සිටීම ආරම්භවූ පරිගණක සඟරාවට මුලදී දස දහසක මාසික අළෙවියක් වත් නොතිබිණි. මගේ මතකය නිවැරදි නම් දෙවැන්න කලාප 6,000 කටද, තෙවැන්න 5,000 කටද පහත වැටුණේය. මේ වනවිට අපේ උත්සාහය ගැන අපටම සැක පහළ වුවද අවසාන මොහොත දක්වා සටන අත නොහැරීමට අපි අධිෂ්ඨාන ශීලී වීමු. මාසයකට දහස දෙදහස ගණනේ අළෙවිය ඉහළ නැංගේය. 2001 ආර්ථික අවපාත සමයේ වෙනත් බොහෝ ප්‍රකාශනවල අළෙවිය වැටෙද්දී අපි නොකඩවා ඉහළ නැංගෙමු. අවසානයේ ප්‍රගති හා මා 2004 දී ඉන් ඉවත් වන විට විජය පරිගණක සඟරාවේ මාසික අළෙවිය 42,000 ඉක්මවා තිබුණේය. අපෙන් පසු ඒ කටයුත්ත භාරගත් පාලිත අමරසුරිය සොහොයුරා දැන් එය එමෙන් කිහිප ගුණයක් ඉහළ නංවා කිසිම තරගයක් නැතිව එය වෙළෙඳපළ නියමුවා කොට ඇත.

මීට අමතරව විජය පරිගණක සඟරාව මඟින් අපි ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික මට්ටමේ පරිගණක සම්මේලන පැවැත් වූයෙමු. පදනම් ආයතනයේ විශාල ශාලාව පිරෙන්නට මේවාට සෙනඟ එක් රැස්වූ බව මට මතකය. පළමු සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වුයේ එවකට ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකය. මහාචාර්ය වී. කේ සමරනායක, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය බන්දු රණසිංහ, ක්‍රිශාන්ත සිල්වා (දැනට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ), ගාමිණි ගුණවර්ධන, එස්. එම්. බන්දුසීල, ටී. එම්.ජී. චන්ද්‍රසේකර (ඔහුගේ ‘අන්තර්ජාලය ඔබේ නිවසට’ වැඩසටහන එවකට අතිශය ජනප්‍රිය විය.) හා නාලක ගුණවර්ධන  මේවාට සම්පත් දායකයින් සේ සහභාගි වූයේ සතයක් වත් නොගෙනය. මෙහි සම්පූර්ණ ගෞරවය යායුත්තේ ප්‍රගතිටය. ඔහුගේ අපූර්ව සංවිධාන ශක්තිය නොවීනම් මේ කිසිවක් සිදුවිය නොහැකිව තිබිණි.

වෘත්තීය සගයකු හැටියට ප්‍රගති සමඟ තරම් පහසුවෙන් මම වෙනත් කිසිවකු සමඟ කටයුතු කළේ යැයි නොසිතමි. සාමාන්‍යයෙන් මා සමඟ වැඩ කිරීම කෙනකුට පහසු නැත. මාධ්‍ය ජීවිතයේදී එය වඩාත් දැනේ. එහෙත් ඔහු සමඟ කටයුතු කළ දීර්ඝ කාලය තුළ වරක් හෝ අප අතර වාදයක්, උනුසුම් කතාබහක් නොවීය. අප දෙදෙනා එකකු ලෙස හැපුණේ අනුන් සමඟය.

විජය පරිගණක සඟරාව පිළිබඳ බොහෝ කටයුතු මා කළේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලිනි. විවිධ නම් විසි පහකට වැඩි සංඛ්‍යාවකින් මම ඊට ලියා ඇත්තෙමි. හේතුව මාධ්‍ය භාවිතාව මගේ අනෙකුත් රැකියා කටයුතු වලට බාධාවක් වීමය. මට සේම ප්‍රගතිටත් ඒ වෙනුවෙන් ලැබුනේ සොච්චමකි. එහෙත් ඒ ගැන අප දෙදෙනාටම අවංකව සතුටුවීමට කරුණු කාරණා තිබිණි. අද අපට හමුවන පරිගණක ක්ෂේත්‍රයේ දැනුමැති යව්වනයෝ ජීවිතයේ එක්තරා වයසක විජය පරිගණක සඟරාවෙන් එක්තරා මට්ටමකට උගැන්මක් ලැබූවෝය. ඔවුන් ඒ මට්ටමට ගත්තේ අපයැයි මම නොකියමි. එහෙත් අප ඔවුනට රුකුලක් වී නම් ඒ ගැන අවංකව සතුටු විය හැකිය.

පරිගණක සඟරාවෙන් ඉවත් වූ පසු ප්‍රගතිගේත් මගෙත් සන්නිවේදනය එක්තරා මට්ටමකට සීමා විය. එය වසර ගණනාවකට පසු මෑතක යළි අළුත් වූයේ ඔහු ‘ඩේලි මිරර්’ පුවත්පතෙහි වෙළඳ දැන්වීම් කළමනාකාර ධුරයට පත්වීම සමඟය. බොහෝ කාලයකට පසුව රැකියාවේ ධනාත්මක වෙනසක් වන්නට යෑම ප්‍රගතිට සුභ ආරංචියක් විය. (පරිගණක සඟරාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩි අභියෝගයක් නැති වැඩ කටයුතුය.) කෙසේවෙතත්, ආර්ථික අර්බූදයක් ඉදිරියේ තබාගෙන රැකියාවේ වෙනසක් වීමේ අවදානම ගත යුතුද යන්න ඔහුට ගැටළුවක් විය. ප්‍රගති ගැන දන්නා මම ඊට දිරි දුනිමි. ප්‍රගතිට අවශ්‍ය වූයේ අභියෝගය. අභියෝග නැති තැන ඔහු උදාසීන වෙයි. අළුත් රැකියාව ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අභියෝගය ඔහුට ලබා දෙනු ඇතැයි මම කල්පනා කළෙමි. ඒ සති කිහිපයකින් ඇසෙන්නට යන අසුභ ආරංචිය නොදැනය.

ප්‍රගති ‘පරිගණක’ පවුලේ අපට අහිමි වූ පළමුවැන්නා නොවේ. අප මුලින් සෝපත් කළේ PC Quest හි ආරම්භක කතුවරයා වූ ඇන්තනි ඩේවිඩ් රාජුය. ප්‍රගති සේම ඩේවිඩ්ද මියගියේ අඩු වයසිනි. ඩේවිඩ් පසට යටකළ ඒ අවාසනාවන්ත උදෑසන අපි ප්‍රගති සමඟ කඳුළ බෙදා ගතිමු. අද ප්‍රගතිද අප හැර ගොසිනි. අපි ඔහුද ඩේවිඩ් සේම දෙව් මව් තුරුළට යවමු.

“ප්‍රීතිමත් කුමාරයානෙනි – ඔබට සුභ රාත්‍රියක්” මේ ඩේවිඩ් වෙනුවෙන් අප මින් වසර දහයකට කලින් ලියූ ලිපියක මාතෘකාවය. ප්‍රගති වෙනුවෙන්ද එය භාවිතය නුසුදුසු යැයි මට නොසිතෙයි.

චානුක වත්තේගම
ආරම්භක සංස්කාරක (1997-2004)
‘විජය පරිගණක’

17 thoughts on “ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

  1. Reply chooti_malliya Apr 13,2009 9:37 am

    elakiri machan suda. me eeth lankawe 1st pariganaka sagarawa me ka neme. issellama meke igena ganna dewal tibbeth ne. 1st pariganaka sagarawa 2000 aapu PARIGANAKA ATWELA eeken passe thama megollo pariganaka lipi demme.
    Thanks – Chooti

  2. Reply Supun Sudaraka Apr 13,2009 9:50 am

    @chooti_malliya- ඔය මුල් සඟරා අතගාපු කෙනෙක් විදහට මගේ මතකයේ හැටියට මුල් කාලීන පරිගණක සඟරා වල අරමුණ වුනේ පරිගණකය පිළිබඳව පාඩම් උගන්නන එක නෙවෙයි. පරිගණක තාක්ෂණය පිළිබඳව ලෝකයේ නව ප්‍රවණතාවන් ලංකාවට, තමන්ගේ පාඨකයන්ට හඳුන්වා දෙන එකයි. පස්සේයි තරඟකාරීත්වය නිසා විජය පරිගණක සඟරාව තමන්ගේ සඟරාවට පරිගණක වැඩසටහන් පිළිබඳ දැනුම ලබාදීමේ ලිපි පලකරේ. මා වැරදිනම් චානුක වත්තේගම මහත්මයා නිවැරදි කරාවි යැයි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම හිතන විදිහට නම් පළවෙනි පරිගණක තාක්ෂණ සඟරාව “පරිගණක” (විජය පරිගණක) සඟරාවම තමයි.

  3. Reply chooti_malliya Apr 13,2009 9:55 am

    Hehe yea. eeka atta 1st පරිගණක තාක්ෂණ සඟරාව….. 😀

  4. Reply චතුRaaZ Apr 13,2009 10:30 am

    මාත් කාලයක් ප‍රිගණක සඟ‍රාව භාවිතා කලා. ඒකාලෙ ප‍රිගණක දැනුම ලබා ගැනීමේ මූලික ප්‍රභවය වෙලා තිබ්බෙ ඒක. ඒත් ඒකෙ ආරම්භය ගැන දැන ගත්තෙ අදයි.

  5. Reply මකබාස් Apr 13,2009 10:55 am

    උපුටාගැනීමක් වුවත් හොඳ එකක්. ස්තුතියි.

  6. Reply Supun Sudaraka Apr 13,2009 10:56 am

    @මකබාස්- මේක උපුටාගැනීමක් නොවෙයි. මේක චානුක වත්තේගම මහතාගේ ඉල්ලීමක් පරිදි බ්ලොග් අඩවියේ සටහන් කෙරුනක්.

  7. Reply Chanuka Wattegama Apr 13,2009 10:57 am

    මුල් කලාපයේ පටන්ම පරිගණක තාක්ෂණය ගැන ලිපි අප පළ කළා. උදාහරණයක් හැටියට දෙවන කලාපයේ පරිගණක ජාල ගැන මා පිටු පහක් පුරාවට ලියු ලිපි, පස් වන කලාපයේ සිට එන්. පී විජේරත්න ලියන්න පටන් ගත් ලිපි (ඔහු වසර තුනක් පමණ අපට ලිව්වා, තමන්ගේම සඟරාවක් පටන් ගන්න කලින්) දක්වන්න පුළුවන්.

    නමුත් ඇත්ත, අප පරිගණක පාඩම් ක්‍රමවත් ලෙස පළ කිරීම පටන් ගත්තේ කාලයකට පසුව. (මගේ විරෝධයත් ඇතිව.) මට අවශ්‍ය වුනේ පරිගණක සඟරාවේ සැකසුම එහෙමම තබා ගන්නා අතර ‘පරිගණක අත්පොත’ නමින් පාඩම් විතරක් පළ කිරීමට තවත් මාසිකයක් පටන් ගැනීම. සම්පත් හිඟවීම වැනි කරුණු නිසා එය කෙරුණේ නෑ.

  8. Reply බුධාජීව Apr 13,2009 11:40 pm

    මා පරිගණක සඟරාවේ පාඨකයකු වන්නේ 2003 ජනවාරි මස සිටයි.

    මා සතුව පරිගණකයක් නොතිබූ එම යුගයේ පරිගණකයක් සම්බන්‍ධව තිබූ මගේ ආශාව යම් තරමකට හෝ දුරු කර ගත්තේ එහි වූ සියළු කරුණු මුළ සිට අගටත් අග සිට මුළටත් කියවීමෙනි. පරිගණකයක් සතු නොවූවද එහි පළවන screen shots වෙත මුහුණ ඔබා සිටිමින් පරිගණකයක් තිබුනා නම් ක්‍රියාකරනා ආකාරය ගැන කල්පනා කළා මතකය.

    එහි පළවූ Visual Basic පිළිබඳ පාඩම් මාලාව මා අධ්‍යයනය කළේ codes තනිරූල් පිටු වල ලියමිනි. එම පිටු වල debuggerයන්, auto-correction පහසුකම් නොවුවත් පසු කළක එවා පරිගණකයක් මගින් අත්හදා බලන විට මා තනිරූල් කොල වල ලියූ “programs” බහුතරය දෝෂ රහිත ඒවා විය.

    ඉදින්, පරිගණක සඟඑරාවට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

  9. Reply ChuttaFX Apr 14,2009 1:10 pm

    මම මුලින්ම විජය පත්තරේ, ගිය පරිගණක ලිපි පෙළ කියෙව්වා. ඒකෙ තිබ්බ දැන්වීමක් දැකලා තමා විජය පරිගණක කියවන්න පටන් ගත්තේ. පරිගණක සම්බන්ධ බොහෝ ක්ෂේත්‍ර වල මූලික දේවල් මං ඉගෙන ගත්තේ ඒකෙන්. අර N. P. විජෙරත්නගේ ප්‍රායෝගික පරිගණකෙත් ටික කාලයක් කියෙව්වා. එයා ඉස්සර විජය පරිගණක සගරාවේ ඉදලා පස්සේ අයින් උනේ මොකද කියලා කවුරු හරි දන්නවද?

    PS: මල්ලිට සුභ අලුත් අවුරුද්දක්!

  10. Reply Chanuka Wattegama Apr 15,2009 11:20 am

    විජය පරිගණක සඟරාවේ ආකෘතිය ගැන මුල සිටම වාද තිබිණි. පිරිසකට (එන්. පී. විජේරත්න ඇතුළු) අවශ්‍ය වූයේ එය තනිකරම ‘පාඩම්’ සඟරාවක් කිරීමටය. පරිගණක සිසුනට පමණක් නොව පොදුවේ හැම දෙනාටම කියවිය හැකි, ලිහිල් බසින් පරිගණක හා සන්නිවේදන තාක්ෂණය ගැන කතා කරන සඟරාවක් කිරීමයි මගේ අරමුණ වුණේ. (උදාහරණයක් හැටියට අපි පරිගණක ආශ්‍රිත ප්‍රතිපත්තිමය ගැටළු ගැන විමල් වීරවංශ, රවි කරුණානායක හා සුසිල් ප්‍රෙම්ජයන්ත් සමඟ කළ සාකච්ඡා පවා පළ කළෙමු.) කාලයකට පසු එන්. පී. අපෙන් බිඳී ගොස් ‘පාඩම්’ සඟරාවක් පළ කළේය. එය තාම ඇත්දැයි නොදනිමි.

  11. Reply බුධාජීව Apr 15,2009 12:42 pm

    @ Chanuka :

    ඇත්තෙන්ම “විජය පරිගණක”යේ ආකර්ෂණය රැඳී ඇත්තේ එය හුදෙක් පාඩම් සඟරාවක් නොවීම මතයි.

    අයෙකුට අවශ්‍යනම් අන්‍තර්ජාලයේ මතුනොව CHM ගොනු වල ඇති කරුණුද උකහාගෙන පොත් ගෝනි පිටින් සහ සඟරා ලොරි පිටිං පළකළ හැකිය. නමුත් සැබෑ ප්‍රයෝජනවත් මෙන්ම අසීරු කාර්යය වන්නේ කාලයේ තාලයට ගැළපෙන ලෙස පාඨකයාගේ රිසිතාවයට වුවමනා වන පරිදි ප්‍රකාශනයක් පළ කෙරුමයි.

    “විජය පරිගණක” සම්බන්‍ධයෙන්ද මා හට විවේචන නොතිබුනේ නොවේ. මා මෙන්ම අප සොයුරන් කිහිප දෙනෙක් අදහස් කළ පරිදි “විජය පරිගණක”ය බිල් ගේට්ස් ට දුන්නා වැඩිය. නමුත් පසුගිය කාලය තුල Canonical විසින් Ubuntu ලිනක්ස් නොමිලේ බෙදා හැරීම තුල ලංකාවේ ඒ සම්බන්‍ධව පැවති උනන්‍දුව වැඩිවීමට අනුරූපී ලෙස “විජය පරිගණක”ය ටද FOSS සම්බන්‍ධ ලිපි පෙලක් ඇතුලත් වීම අගය කළ යුතු කරුණකි.

    වැදගත් වන්නේ සියළු දේ මුල සිට එකට අනාගෙන, සම්බල් කොට ගෙන පසුව වැඩේ කචල් කරගැනුම නොව, සමාජයේ අදාළ ඉල්ලුම ඇතිවුනු පසු ඒ සඳහා නිසි සැපයුම ලබා දීමයි. ඉල්ලුමක් නිර්මාණය කිරීමට උත්තේජන ලබාදීම කළ යුතු වුවද කෘත්‍රීම ඉල්ලුමක් නිර්මාණය කිරීම නිශ්ඵළ කරුණකි. එබැවින් FOSS හා සබැඳී ලිපි මාලාවද නිසි කල්හි පටන්ගැන්ම ගැන නොවක් තුති සමග සුභ පැතුම් පුද කරමි.

    කිවයුතු වන්නේ “විජය පරිගණක”ය පාඩම් සඟරාවක් නොකොට ඒ සඳහා තමන්ටම කියා එකක් ඇරඹුම ඉහත නම් සඳන් මහතා ගත් වැදගත් ක්‍රියාමාර්ගයක් බවයි. මන්‍ද, එසේ නොවිනි නම්, තොරතුරු තාක්‍ෂණය පිළිබඳ යම්තරමක හෝ පනිවුඩයක් ජනතාව අතරට ගෙනයාමට තිබූ “විජය පරිගණක”ය අකාලයේ මියැදීමට ඉඩ තිබූ බැවිනි.

  12. Reply බුධාජීව Apr 15,2009 12:51 pm

    @ Chanuka :
    “විජය පරිගණක”යේ ඉතාමත් භයානක දෝෂයක් වුනේ “මයික්‍රොසොෆ්ට් ඔෆිස්” පිළිබඳ “ආරම්භක පාඩම්”ම පමණක් 5ක් 6ක් පසුගිය වසර කිහිපය පුරාවට පළ කෙරුමයි. මේ මස එකක් පටන් ගනියි.. තව මාස 6ය 7ක් ගිය පසු නැවත මුල සිට පටන් ගනී ! 😛

    ඇත්තටම ඔෆිස් පැකේජ පිළිබඳ පාඩ්ම් මාලා “විජය පරිගණක”යට අනවශ්‍යයි. කාර්යාලයීය මෘදුකාංග පැකේජ පිළිබඳ ඇති තරම් දැනුම ලාංකිකයා තුල ඇතැයි මම පෞද්ගලිකව විශ්වාස කරනව.

    ඒ ඉඩකඩ වෙනත් හරවත් ලිපි සඳහා යොදාගන්නේ නම් මැනවි.

    අනෙක් කරුණ නම් ළඟදී සිට “විජය පරිගණක”ය දැන්වීම් වලින් පිරී ඉතිරී යාමයි. ඒ සම්බන්‍ධව නම් වහා පියවර ගතයුතුයි.

  13. Reply ඩනිෂ්ක Apr 20,2009 1:21 pm

    “මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි.”

    මේ සඳහා කෝ දත්ත?

  14. Reply Buddhika Jayasinghe Apr 20,2009 2:55 pm

    “පරිගණක” මුල්ම කලාපයේ පටන් 2000 වසර වන තෙක්ම මමත් එහි පාථකයෙක්. තොරතුරු තාක්ශන ක්ෂේත්‍රයට මා යොමුවීමට මෙම සගරාවෙන් ලැබූ උත්තේජනය හේතු වුනා. එම කාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනයේ සීමා මායිම් අප දැනගත්තේ “පරිගණක” සගරාවෙන්. මෙවැනි මෙහෙවරකට මූලික වී ක්‍රියාකල කෙනෙකු මෙලොවින් සමුගැනීම අප රටට ලොකු පාඩුවක්. මෙම ලිපියෙන් මම පරිගණකය ගැන මුල් පාඩම් ඉගෙන ගත් හැටි යලිත් මතකයට නැගුනා.

  15. Reply Palitha Amarasooriya Jun 26,2009 5:24 pm

    විජය පරිගණක කවදත් මතභේදයට තුඩු දුන් සඟරාවක්. විජය පරිගණක සඟරාවේ කර්තෘකම කරන්නට 2004 දෙසැම්බර් මසයේ මා එන විට තිබූ සඟරාව බොහෝ සෙයින් දියුණු කිරීම පාලන අධිකාරියේ අපේක්ෂාව වී තිබුණා. දැනටමත් ඉන්නා පාඨකයින් රඳවා ගන්නා ගමන් අලූත් පාඨකයින් ගෙන්වා ගන්නට කළ යුතු දේ මොනවාද යන අභියෝගය මා ඉදිරියේ තිබුණා.

    පරිගණක සඟරාවකින් හුදෙක් පාඩම් ඉදිරිපත් කිරීමවත්, පරිගණකයෙන් වැඩ කරන හැටි ගැන ඉගැන්වීමවත් ප‍්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම ලෝකයේ පරිගණක දියුණුවන දිශාව මෙරට පාඨකයින්ට පෙන්වීමට අවශ්‍යයි. පාඨකයින් ළිං මැඬියන් වීම වළක්වන්නට එය කළ යුතුයි. එනිසා නොයෙක් පුවත් විශේෂාංග පළ කිරීම ඇරඹුවා. මේ පුවත් පෙළ ගැස්වීම අපගේ හිතුමතයට කළ හැක්කක් නොවෙයි. අපට කළ හැක්කේ එදිනෙදා පුවත් අතරින් අපේ පාඨකයින් දන්නා මාතෘකා ගැන ලිවීමයි. ලෝකයේ ප‍්‍රචලිත සමාගම් හැම එකකගේම වාගේ නිෂ්පාදන ගැන ලීවත්, අවාසනාවකට මයික්‍රොසොෆ්ට් සමාගම ගැන ලියන දේ පමණක් බොහෝ දෙනා කතා කරලා හිත් නරක් කර ගන්නවා. ඒක අපේ ප‍්‍රශ්නයක් නොවෙයි, රටේ ප‍්‍රශ්නයක්. රටේ වැඩි හරියක් පරිගණකවල දුවන ඕඑස් ගැන, සොෆ්ට්වෙයාස් ගැන ලියන්නේ නැතිව කොහොමද? මේ සොෆ්ට්වෙයාස්වල සීඞී කොපි කඩපිල්වල වැහිවැහැලා තියෙද්දී ඒ ගැන කතා නොකර ලිනක්ස්, ඩිස්ට්‍රෝස් ගැන කතා කරන්න ගියොත් මොකද වෙන්නේ?

    මේක අභියෝගයක්! යම් මෘදුකාංග වර්ගයක් ප‍්‍රචලිත කිරීම උර දෙනවා කියන්නේත්, යථාර්ථයට මුහුණ දෙනවා කියන්නේත් දෙකක්. අප කළේ රටේ යථාර්ථයට මුහුණ දීමයි. අපේ පාඨකයින්ගෙන් 80% ක් දෙනා නිතිපතා ඉන්ටනෙට් පාවිච්චි කරන අය නොවෙයි. ස්ක‍්‍රීන් ෂොට් බලලා මෘදුකාංග ගැන අවබෝධය ලබා ගන්නා අය. ඒ අයට ෆයර්ෆොක්ස් ගැන, උබුන්ටු ගැන කියා දුන්නේ අපියි. නොමිලේ උබුන්ටු සීඞී ගෙන්වා ගන්නා හැටි ඉගැන්වූයේ විජය පරිගණක සඟරාවයි. ඒ වගේම දැන් අපි ධචැබ ඡුක්‍ කියලා වෙනම අතිරේකයක් පළ කරනවා. එය මෙරට මුද්‍රණ ඉතිහාසයේ පළමුවරට විවෘත හා නිදහස් මෘදුකාංග ගැන පළ කරන අතිරේකය. ඊට කලින් කවදාවත් එහෙම එකක් තිබිලා නැහැ. ‘ලිනක්ස් ඩිස්ට්‍රෝස්’ විතරක් නොවෙයි, ඉන්ක්ස්කේප්, ගිම්ෆොටෝ, ස්ක‍්‍රයිබස්, කැල්ක්, රයිටර් පාඩම් අපි පළ කරනවා. එහෙත් අවාසනාවකට වගේ මේ විවේචනවලට සම්බන්ධ වෙන අය කතා කරන්නේ වර්ඞ් ගැන විතරයි.

    ඒ වගේම පරිගණක සඟරාවේ දැන්වීම් පළවීම ගැනත් චෝදනා මුඛයෙන් කතා කරන අය ඉන්නවා. ඒ අයට මේ පැහැදිලි කිරීම වටීවි.
    විජය පරිගණක සඟරාව සම්පූර්ණ වර්ණ සඟරාවක්. මේක මුද්‍රණය කරන්න කඩදාසි, තීන්ත, වෙනත් යාන්ත‍්‍රික උපකරණ ඕනෑ. මේ සියලූ දෙයට මුදල් වියදම් කරන්න ඕනෑ. ශ‍්‍රමය හැර අනෙක් කිසි දෙයක් අපේ රටේ නැති නිසා මේ හැම දෙයක්ම පිටරටින් ගේන නිසා, ඩොලරයේ වටිනාකමට මේවා මිලදී ගන්න වෙලා තිබෙනවා. මේ සියල්ලට මුදල් වියදම් කරලා අවසානයේ මනරම් සඟරාවක් රුපියල් 50කට විකුණනවා. එයිනුත් විජය පුවත්පත් සමාගමට ලැබෙන්නේ රුපියල් 40යි. ඉතිරි රුපියල් 10 පත්තර වෙළෙන්දාට දිය යුතුයි.
    ඊට අමතරව මේ සඟරාවට අවශ්‍ය ලිපි-ලේඛන සපයන ලේඛකයින්ට ගෙවිය යුතුයි. කර්තෘ මණ්ඩලයට පඩි-නඩි-යාන-වාහන දිය යුතුයි. දුරකතන බිල් ගෙවිය යුතුයි. බෙදාහරින ලොරි-වෑන්වලට තෙල් බිල සහ නඩත්තුවට ගෙවිය යුතුයි. එ පසුබිමේ ඉන්න සේවකයින්ට පඩි-නඩි ගෙවිය යුතුයි. එනිසා සඟරාවක් මුද්‍රණය කොට සෑම මසකම පළමුවැනිදා ගම් දනව් පුරා බෙදා හැරීම, බ්ලොග් එකක් ලියනවා වගේ පහසු-ලාබ දෙයක් නොවෙයි.

    පාන් රාත්තලක් රුපියල් පනහකට කිට්ටු වෙච්ච, පොල් ගෙඩියක් රුපියල් 25ක් වෙච්ච, කිලෝමීටර් බාගයක් යන්න හෝ ත‍්‍රීවීලරයකට ගොඩ වුනොත් රුපියල් 50ක් ගන්න රටක, පිටු 64ක වර්ණ සඟරාවක් රුපියල් 50කට දෙන්න පුළුවන්ද කියල කල්පනා කළ යුතු වෙනවා.

    මේ බර පැන මැද රුපියල් 50කට සඟරාව නිෂ්පාදනය කිරීම කොහෙත්ම කළ නොහැකියි. එසේ නම් එය කරන්නේ කෙසේද? එය කරන්නේ වෙළෙද දැන්වීම්වලින් ලැබෙන මුදල්වලින් තමයි.
    රූපවාහිනි නාලිකාවක් සෑම විනාඩි තුන-හතරකට වරක් වෙළෙද දැන්වීම් මාලයක් පෙන්වන්නේ එය පවත්වාගෙන යාමටයි. එය නොමිලේ නිසා එගැන කතා නොකරනවා වෙන්න පුළුවන්. පරිගණක සඟරාව රුපියල් 50කට විකුණන නිසා මේ ගැන කතා කරනවා වෙන්න පුළුවන්. එහෙත් මෙය ලාබ කළ භාණ්ඩයක් බව කල්පනා කිරීම සාධාරණයි.

    විජය පුවත්පත් සමාගම ලංකාවේ දැවැන්තම ප‍්‍රකාශන ආයතනයක්. මේ ආයතනයේ තිබෙන අනෙක් ප‍්‍රකාශනවලට තිබෙන පහසුකම්වලින් ප‍්‍රයෝජන අරන් තමයි මේතරම්වත් අඩු මිලට මේ සඟරාව නිෂ්පාදනය කරන්නෙ. එහෙම නැතිව මේක කරන්න බැහැ.

    අපට සිහිනයක් තිබෙනවා. එ සිහිනය තමයි විජය පරිගණක සඟරාව නොමිලේ බෙදාහැරීම. හරියට ටීවී චැනල් එකක් වගේ. රේඩියෝ චැනල් එකක් වගේ. එය යථාර්තයක් වෙන්නේ සඟරාවේ නිෂ්පාදන වියදම සහ එ සඳහා ආයෝජනය කොට තිබෙන ධනස්කන්ධයට ලැබිය යුතු සාධාරණ ලාබය වෙළෙද දැන්වීම්වලින් ආවරණය කර ගන්න පුළුවන් වුණු දවසටයි.
    පරිගණක සඟරාවේ වෙළෙද දැන්වීම් ගැන නොසටතුට පළ කරන අය තමන්ගේ රුපියල් 50 ගැන සිතනවා වගේම මේ ප‍්‍රකාශනය පවත්වාගෙන යන්නට රුපියල් කෝටි ගණනක් යොදවා තිබෙන සමාගමත් තමන්ගේ ආයෝජනය ගැන සිතිය යුතුයි. විජය පුවත්පත් සමාගම පුණ්‍යායතනයක් නොව වෙළෙද සමාගමක් නිසා, පාඩු පිට ප‍්‍රකාශන පවත්වාගෙන යාම අපේක්ෂා කරන්නේ නැති බව සමාජයේ සාධාරණ යුක්තියට අනුව කාටත් පිළිගන්න වෙනවා.

    මේ පැහැදිලි කිරීමට අමතර වශයෙන් තවත් දෙයක් මෙතැනදීම කිව යුතුයි.

    පරිගණක ගැන මෙලෝ හසරක් දන්නෙ නැති අහිංසක දරු දැරියෝ මේ සඟරාව කියවා එ ගැන හුඟක් දේ දන්නා අය බවට පත් වෙනවා. එත් මේ අහිංසක අයගෙන් වැඩි දෙනෙක්ට සඟරාවෙන්ම දේවල් ඉගෙන ගෙන පරිගණක ගැන හොඳ දැනුමක් ලබා ගත්තාම එතැනින් එහාට යන්නට සඟරාවේ දැනුම ප‍්‍රමාණවත් නැති වෙනවා. එතකොට මේ අයට සඟරාව මදි! එතකොට නිරායාසයෙන්ම අදහසක් එනවා පරණ සඟරා තරම් දැන් සඟරාව ප‍්‍රයෝජනවත් නෑ නේද කියලා. මේ අදහස හොඳට ජීර්ණය කර ගෙන, තමන්ගේ ගෞරවය ගඟුලෙන් එතෙරවූ ඔරුවට දීලා, මහපාරේ යන වෙනත් ලොකු වාහනයකට නැඟලා තමන්ගේ ගමන යන සෙනඟ වැඩියි.එ අතර තවත් අය ඉන්නවා නැඟපු ලොකු වාහනය, ඔරුවත් එක්ක සංසන්දනය කරල බලන. එතකොට එ අය කියනවා, අර ඔරුව බලාපිය! එකේ එන්ජිමක් නෑ. ඔරුකාරයා වගේ හඞ්ඩෙක්ද මේ ඩ‍්‍රයිවර්, බලාපිය වාහන මැදින් මේ වාහනේ ගෙනියන අපූරුව… ඔන්න ඔය වගේ දෙවල්. එ වගේම ඔරුවේ නොයෙක් ඇද පළුදු, වෙන අයට පෙන්න-පෙන්න හිනාවෙනවා.

    විජය පරිගණක සඟරාව ඔරුවක් විතරයි. අවුරුදු දහතුනක් තිස්සේ අපි කළේ, ගඟුලෙන් එතෙර වෙන්න බැරි ලක්ෂ ගණනක් මෙරට අහිංසක දරු දැරියන්ට, වැඩිහිටියන්ට ඔරුවක් වුණු එක විතරයි. අපි මේ ඔරුව සැප පහසු බෝට්ටුවක් කර ගන්න මහන්සි වෙනවා. එත් මේක නැවක් කරන්න බැහැ. මොකද පිටරටවල්වල ගංගාවල් වගේ ලොකු ගංගාවල් අපේ රටේ නැති නිසා.
    එහෙත් අද මේ රටේ පරිගණක ක්ෂෙත‍්‍රයේ වැජඹෙන බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ කවදා හෝ විජය පරිගණක සඟරාවෙන් ආභාෂය ලබා තිබෙන බව අවිවාදිතයි. අපේ සතුට සහ ආත්ම අභිමානය වඩවන්න එය හොඳටම ප‍්‍රමාණවත්.

    පාලිත අමරසූරිය
    විජය පරිගණක සඟරාවේ කර්තෘ

  16. Reply Supun Sudaraka Jun 28,2009 8:02 pm

    @Palitha Amarasooriya- ඔබතුමා‍ගේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. ඇත්තටම ඔබතුමාගේ ප්‍රතිචාරය මේ බ්ලොග් අඩවියේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරනවා කිව්වොත් නිවැරදයි. ඇත්තටම මාත් පරිගණකයට පිවිසියේ විජය පරිගණක සඟරාව හරහා. තාත්තා සඟරාව ගෙනැල්ලා දුන්නාම මේ පරිගණකය කියන්නේ මොකක්ද කියන දේ ගැන හොයන්න බලන්න ‍යොමුවුනා. ඉතින් මම වගේම තවත් බොහොම දෙනෙක්ගේම පරිගණකයට මුල් අඩිතාලම දැම්මේ, දමන්නේ විජය පරිගණක සඟරාව බව අවිවාදාත්මකයි…

  17. Reply පරිඝනක සගරාව කියවූ අයෙක් Aug 22,2011 3:41 pm

    ඉතාම පැහැදිලි සටහනකි…..
    අපේ කාලයේ දී පරිඝණක ලොවට එන්න පාර පෙන්නු බව අවිවාදිතය….
    දැන් කාලයේ දී ගම්බද බොහෝ දෙනෙකුට දැනුම දෙනවග මම අත්දැකිමෙන් දනිමි…..
    එහෙව් එකේ මම පෞද්ගලිකව පරිඝනක සගරාවට ප්‍රශංශා කරමි……..

Leave a Reply

%d bloggers like this: