අනාගතයෙන් කතාවක් – කෙටි කතාවකි. 11

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ. කිසිදු වර්තමාන දේශපාලන පක්ෂයක් පිළිබඳ විවරණක් මෙහි අන්තර්ගත නොවේ. ඉදිරි අනාගයේ සිදුවිය හැකි යැයි අනුමාන කර හැකි කරුණු කිහිපයක් එකතු කරමින් මෙම පරිකල්පනය ඉදිරිපත් කර ඇත…

ඒ සමස්ත ලෝකයම තියුණු ආර්ථික අවපාතයකට ළඟා වෙමින් පැවති යුගයයි. බල්ලන් මරා‍ හෝ මුදල් සෙවීමට මිනිසා පෙළඹී සිටි ඒ යුගයේ සිදුවූ මේ ආදර අන්දරය ඔබ ඉදිරියේ දිග ඇරීමට ලියන්නා වන මට අවසර.
ඔහුගේ නම ඔවට අවැසි නැතැයි සිතමි. මෙහි ඔබට අවශ්‍ය වන්නේ ඔහු හා ඇය යන සංකේත නාමයන් යුගලය පමණි. හුදෙක් නාමයන් භාවිතා කොට මෙම කතාව තවදුරටත් වියවුල් කර දැමීමට මා හට අවැසි නැත.
ඔවුහු සත්‍ය ප්‍රේමවන්තයෝ වූහ. එකිනෙකාට එකිනෙකා ආදරය කළහ. ඔහු ත්‍රීරෝද රථ රියදුරෙකු විය. ඇය ඒ වන විට උසස් පෙළ ශිෂ්‍යාවක වී සිටියාය…
අහස දෙදරා වර්ෂාව ඇදහැලෙන්නට විය. පාරේ කුණු කාණු අතුරින් රන්වන් මඩ වතුර ගලා යද්දී, මාර්ගයේ කඩතොලු අතර සිරවී තිබූ මඩ වතුර පිටාර ගලමින් තිබූ අතර මහා මාර්ගය දිස්වූයේ තාවකාලික වාරිමාර්ගයක් ලෙසිනි. ත්‍රීරෝද රථ ගාලේ නවතා තිබූ ත්‍රීරෝද රථයට වූ ඔහු දෑස් පියාගෙන නිහඬව කල්පනාවෙහි නිමග්නව සිටියේ තම ජීවිකාව ගෙන යන අයුරුය. තම පියා අන්ත්‍රා වී දැනට අවුරුදු 5ක් ගතවී ගොසිනි. තම නංගී මල්ලි දෙදෙනාගේ අධ්‍යාපනය නගාසිටුවන්නේ කෙසේද යන්න ඔහුගේ හිස මත වූ මහා බරක් විය. මවද රෝගාතුරු වී ලෙඩ ඇඳට වී දැන් මාස ගණනකි.
ආණ්ඩුවෙන් තෙල් මිල අඩුකළත් එයිනුත් මහා සහනයක් නොවීය. සෑම දිනෙකම තම ගාස්තුවට කේවල් කරන තම මගීන්ගෙන් එල්ලවන ගැරහුම් නින්දා මධ්‍යයේ මෙම ජීවිකාව ගෙනයාම දැන් ඔහුට අසීරු වී ඇත. එක්වරම තම ත්‍රීරෝද රථයේ වූ හදිසී ගැස්සීමෙන් නෙත් විවර කරගත් ඔහු දුටුවේ… මිහිබට දෙවඟනකි. ඔහු දුටුවේ ඇය යමක් ඔහුට පැවසීමට යම් උත්සාහයක් ගන්නා බවයි. පියවි ලෝකයට පිවිසීමට ඔහු වැඩිකාලයක් ගන්නා බව පෙනීමට තිබිණ. ඔහුට යමක් ඇසෙන්නට විය…
“අයියේ, මාව ගෙදරට ගිහිල්ලා බස්සවන්න. මේ ළඟ. ඉක්මන් කරන්න. මං එනකන් අම්මා බලාගෙන ඇති.”
“හරි”
ඔහු තම ත්‍රීරෝද රිය පණගැන්වූයේ ය. තමා ඉදිරිපස වූ කණ්ණාඩියෙන් ඔහු තම පාරිභෝගිකයා නිරීක්ෂණය කරන්නට විය. ඇය වර්ෂාවට හසුවී තෙතබරි වී සිටියා ය. ඇගේ දෑස් කියා පෑවේ ඈ තුල වූ අහිංසකත්වයයි. ඇගේ සුන්දර වතින් දිස්වූ‍යේ හදවතේ වූ පිවිතුරු බව යැයි ඔහුට හැඟිණි. තෙත් වී තිබූ ඇගේ ‍සුන්දර කේෂ කලාපය දුටු ඔහුට ඇය‍‍ගේ සුන්දරත්වය වඩාත් ඉස්මතුවී පෙනිණ. කතා කරන්නදෝ, නැත්දෝ යන්න ඔහුගේ හදවතේ රැව් පිළිරැව් දෙමින් පැවතිණ. අවසානයේ ඔහු කතාව ඇරඹීය.
“අද හරියට වැස්ස නේද?”
“හ්ම්…” ඒ ඇගේ පිළිතුර විය.
“නංගී මේ කොහේ ගිහින් එනගමන්ද?”
“පංති”
ඇය තම ‍පොත් මිටිය තුරුල් කරගත්තාය. ඇයගෙන් ලැබුනේ එතරම් උද්යෝගිමත් පිළිතුරක් නොවන බව ඔහුට හැඟී ගොස් තිබිණ.
“ආ… උසස් පෙළ?”
“ඔව්”
ඇයගෙන් සෑම විටම ලැබුනේ කෙටි පිළිතුරකි. ඇය තරමක් ලජ්ජාශීලි බව ඔහුට හැඟිණ.
“මේ අවුරුද්දෙද?”
“ඔව්”
“ආ… එහෙනම් මේ නංගි කෙනෙක් නෙවෙයි නේ”
“ආ… ඇයි? ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද?”
“නෑ… මම සාමාන්‍ය පෙළ කරාට පස්සේ ගෙදර නැවතුනා”
“අපරාදේ… ඇයි ඒ? ප්‍රතිඵල මදි වුනාද?”
“නෑ. මට ඒ නවයයි. මට තව ඉස්සරහට ඉගෙනගන්න සල්ලි තිබුනේ නෑ.”
“අහ්. අපරාදේ නේ? වෙන රස්සාවක් හොයාගන්න බැලුවේ නැද්ද?”
“මේ කාලේ කාටද රස්සා දෙන්නේ? තියෙන අයටත් පයිං ගහලා එළියට දානකොට?”
“ඒක ඇත්ත තමයි”
කතාවෙන් කතාවෙන් සිය ගමනාන්තය වෙතට ළඟාවෙමින් සිටින බව දත් ඇය, නැතවත් හඬ අවදි කරන්නීය.
‍”ඔය… ඔතනින් නවත්තන්න.”
“ආ. හරි”
“ඇය සිය අත් බෑගය වෙතට අත ගෙනියනු දුටු ඔහු ඇයව නැවැත්වීය.”
“සල්ලි එපා. මම කොහොමත් මේ පාරෙන්මයි යන්නේ”
ඇය සිනාසුනා පමණකි. තම නිවස වෙතර හැරුණු ඕ ඉදිරියට පියමැන්නා ය.
ඔහු පැවසුවේ මුසාවකි. ඔහු දන්නා කිසිවකු ඒ මාවතේ නොවීය. නමුත් දැන්, ඔහු දන්නා හඳුනන තැනැත්තියක සිටී.
රාත්‍රියේ නිවසට පැමිණෙන විට නිවසේ සියල්ලන්ම නින්දට ගොසිනි. අන්ධකාරයේ වෙලී තිබූ නිවසේ කුප්පි ලාම්පුවක් දැල්වූ ඔහු සිය විඩාව නිවාගැනීමට බිත්තියට ‍හේත්තු කර තිබූ පැදුර බිම එළා එහි දිගා වුණි. ඔහුට නොදැනුවත්වම යටි සිතේ යමක් සිදුවෙමින් පවතින මව ඔහුට හැඟිණ. දෑස පියාගත් වහාම අඳුර අතුරින් ඔහුට මැවී පෙනුනේ සන්ධ්‍යා යාමයේ තම ත්‍රීරෝද රියට නැඟි ඒ දෙව්දුවයි. ඇයේ රූපශ්‍රීය, අහිංසකත්වය හා කතා විලාශය ඔහුගේ සිතට තදින් කාවැදී ඇති බවක් ඔහුට දැනෙන්නට විය.
කෙමෙන් කෙමෙන් දින, සති, මාස ගෙවීයන්නට විය ගතවන සෑම දිනයක් පාහේ ඔහුගේ හා ඇයගේ ආදරය මෝරන්නට පටන්ගෙන තිබිණි. ඇය මධ්‍යම පාංතික තරුණියක් විය.  දිනෙන් දින ආදරයේ බැම්ම ශක්තිමත් වනවාත් සමඟම දිනෙන් දින සිය ආර්ථික තත්වයන් පහළට යමින් පවතින බව ඔහුට දැනී ගොස් තිබිණ. ඇයගේ පවුලේ තත්ත්වයද එසේම විය. ඇයගේ මව හා පියා විශ්‍රාමගත වී සිටි අතර උසස් පෙළ විභාගයෙන් ඇය සමත් වූ නමුත් සරසවි වරම් ඇයට හිමි වූයේ නැත. මේ වන විට රජය දැඩි ණය බරින් මිරිකෙමින් ගිරයට අසුවූ පුවක් ලෙල්ලක් මෙන් ලෝකය සහ සිය ඡන්ද දායකයන් ඉදිරියේ අසරණ වී ගොසිනි. ලොව පුරා තෙවැනි ලෝක යුද්ධයක් පිළිබඳ බියක් ඇතිවී ඇති සෙයකි. මෙවන් දැඩි ආර්ථික හා දේශපාලනික තත්ත්වයක් හමුවේ මෙවුන් දෙදෙනාගේ පවුල් වල ආර්ථික තත්ත්වය ගැන කවර කතාද? මේ අතරතුර දිවයින පුරා ඇතිවී ඇති ආර්ථික අර්බුධය හමුවේ, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ලාභදායී ආර්ථික නිෂ්පාදනයක් ලෙසින් වෙළඳපොල ආක්‍රමණය කරමින් පැවතින. ආර්ථික අර්බුධයෙන් පීඩා විඳි ජනයා කාන්තා පිරිමි භේදයකින් තොරව සිය පීඩනය වියැකී යනු පිණිස සිය වින්දනය උදෙසා මත්ද්‍රව්‍ය භාවිතය අරඹා තිබිණ. මේ කාලානුරූපීව අප කතානායකයාගේ චරිතයද වෙනසක් වූයේ නැ. පරම පිවිතුරු කතා නායකයන් මේ යුගයේ සොයාගැනීම කළුණික සොයන්නාක් වැනි විය. ඔහුද මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී සිටියේ ය. කෙසේ නමුත් ඔහු ඇයට ඉමහත් ආදරයක් දැක්වීය. ආදරයට කාල සීමාවක් නැත. එයට හොඳම උදාහරණය මේ යුවලයි. ඇයගේ හා ඔහුගේ මේ සම්බන්ධතාවට බාධා කිරීමට තරම් ශක්තියක් ඇයගේ දෙමාපියන්ට නොවී ය. ඒ තරමටම මධ්‍යම පංතිය හා අන්ත දුප්පත් පංතිය අතර පංති පරතරය බිඳවැටී ගොසිනි. ‍මේ අර්බුධ මධ්‍යයේ නිදහස් වෙලාවක, ඔහු පියවි සිහියෙන් සිටි අවස්ථාවක ඇය හා පෙම් බස් දෙඩවීමට මුහුදු වෙරළේ එක්තරා ස්ථානයක ඉඩ වෙන්කරගත්තේය. මමද ඔවුන්ට හොර රහස් සවන් දුන්නෙමි…
“මේක මහා භයානක කාලයක් නේද?” ඒ ඇයගේ හඬයි.
“හ්ම්…”
“මට ඔයාගැන බය හිතෙනවා අනේ.”
“ඇයි මං ගැන බය හිතන්නේ? මං ‍බොන නිසාද?”
“හ්ම්… මට දැනෙනවා ඔයා මගෙන් දුරස් වෙනවා වගේ.”
“මම? ඔයාගෙන්? දුරස් වෙන්න? ඒක කවමදාකවත් වෙන දෙයක් නෙවෙයි”
“ඊයේ අපේ අල්ලපු ගෙදර මිනිහා බීලා ගෙදරට ඇවිල්ලා ගෑනිට හොඳටම ගහනවා මං අහගෙන”
“ඉතින්? ඔයා හිතනවා මාත් ඔයාට කවදාහරි දවසක මාත් එහෙම ගහයි කියලා… එහෙමද?”
“ම‍ට එහෙම දැනෙනවා”
“අහ්… ඒක කවමදාකවත් වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා මගේ මේ අත් දෙකින් එක අතක් හරි ඔයාට ඉස්සුවොත් මම ඒ අත කපාගන්නවා කියලා”
ඇයි දිගු හුස්මක් හෙලුවාය.
“මට ඔයා ගැන බයක් නෑ…” ඇය ඔහුගේ සුරත වටා තම දෑත් යවා පටලවා ඔහු වෙත තවත් ලං වූවා ය.”
“අපි බඳිමුද?”
ඇගේ යෝජනාව ඔහුගේ සිත එක්වරම කම්පනය කිරීමට සමත් විය. නමුත් පසුව තම සිත කිසියම් ආලෝකයක් කරා ඇයි යන බවක් ඔහුට දැනෙන්නට විය.”
“ඔව්. අපි බඳිමු.”
“එහෙනම් මට තව පොරොන්දුවක් වෙන්න…”
“ඒ මොකක්ද?”
“ආයේ බොන්නේ නෑ කියලා…”
“අප්පා… ඒක නම් පොරොන්දු වෙන්න බෑ”
ඔවුන් දෙදෙනාගෙන් ඈතට යමින් සිටි මට ඔවුන් දෙදෙනාගේම මඳ සිනහ හඬ හිමින් සීරුවේ ඇසෙන්නට විය. ගිනියම් වූ සූර්යයා සිය සූර්ය රාජ්‍යය රත් පැහැ කරවමින් හිමින් සීරුවේ මහ සාගරය තුලට කිඳා බසිමින් පැවතිණ.
දින දින ගතවෙමින් තවත් මාස කිහිපයක් ඉදිරියට ගමන් කර තිබිණ. ඔවුන් පොරොන්දු වූ පරිදිම විවාහ දිවියට එළැඹිණ. විවාහ රෙජිස්ටාර්වරයා ගෙන්වා සිය විවාහ සහතිකය ලියවාගත් පසු ඔවුන් දෙදෙනා නීත්‍යානුකූල සැමියා හා බිරිඳ බවට පත්විය…
කඩදාසි කැබැල්ලක බලයක මහිම…
තවත් දින, සති, මාස ඔවුන්ට නොදැනීම ගතවී යන්නට විය. මේ අතරතුර ලෝක දේශපාලනය කැළඹී යමින් පැවතින. ලොව පුරා ලෝක‍ යුද්ධයක පෙර සලකුණු මතු වෙමින් පැවතිණ. ලෝක මහා බලවතුන් එකිනෙකාට විරුද්ධව යද්ධ ප්‍රකාශ කරන ලද අතර, ලොව සුළු ජාතීහු විශාල අර්බුධයකට මුහුනපා සිටියහ. සිංහල, දෙමළ මේ දෙපිරිසටම ලොව මහා බලවත් සුදු අධිරාජ්‍යයකට සහ හින්දු අධිරාජ්‍යයකට යට වෙමින් සිටියහ. ශ්‍රී ලංකාව තුලට කඩාවැදුනු විදෙස් හමුදාවෝ මිසයිල පද්ධතියක් උතුරු ප්‍ර‍දේශයේ පිහිටුවමින් සිටියහ. මේ අතරතුර ශ්‍රී ලංකාව හරහා තම රාජ්‍යයට එල්ල විය හැකි ප්‍රහාරයකින් මිදීමට ඉන්දියාව ශ්‍රී ලංකාව දෙසට ඉලක්ක කරමින් තම ආයුධ ස්ථානගත කරන්නට විය. මේ අතරතුර ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල තවත් එක්තරා බලවේගයක් නැගෙමින් පැවතින. මේ සියලු දේශපාලනික අර්බුධ මධ්‍යයේ ශ්‍රී ලංකාව යුධ මර්මස්ථානයක් වී පැවතිණ.
ඒ අතරේ අප කතා නායකයාගේ සහ නායිකාවගේ පුංචි පවුලට සිඟිත්තියක් එක්වී මුළු පවුලම ආලෝකමත් වී තිබිණ. ඇයට රැකියාවක් නොවීමෙන් ඇයට සිදුවූයේ සිහිනෙන්වත් නොසිතූ රැකියාවක් වෙතට යොමුවීමටය. ඇය ලොව පැරණිම වෘත්තියේ වෘත්තිකයක වූවා ය. එයට හරස්වන්නට ඔහුටද ශක්තියක් නොවී ය. ගණිකා වෘත්තිය මෙකළ සාමාන්‍ය වෘත්තියක් වී තිබීම එයට ‍හේතු විය. ආගම ධර්මය පසෙකලා ලොව සියලුම තත්ත්වයේ රටවල් ශ්‍රී ලංකාවට වඩා අන්ත පහත් තුච්ඡ තත්ත්වයකට පත්වී තිබිණ. සාරධර්ම අතින් යම් තාක් දුරකට හෝ සාපේක්ෂව ඉදිරියෙන් සිටි‍යේ ශ්‍රී ලංකාව පමණි. එසේ එසේ නම් අන් රටවල් ගැන කවර කතාද? ඇය තම ජීවිකා වෘත්තියේ නියැලුනේ සිය කැමැත්තකින් නොවන බව ඔබට අමුතුවෙන් පැවසීමට අවැසි නොවනු ඇත. ආර්ථික හා දේශපාලනික අර්බුධ සාමාන්‍ය ජන ජීවිතයට සිදු කරන ලද බලපෑම සෑම කාන්තාවකටම එක‍සේ බලපා තිබිණ. ධනපතියන්ට නම් ආර්ථික බලපෑමක සේයාවක්වත් නොවීය. ධනපති මහතුන්ගේ විඩාව සංහිඳුවීමට අන්ත දුගී පන්තියේ කාන්තාවන්ට සිදුවිය. එයින්ද ඔවුන් ඉපැයූවේ සොච්චම් මුදලක් පමණි. එදා වේල පිරිමහගැනීමටවත් මදිය.
තම සිඟිත්තියගේ අනාගතය ගැන බියෙන් පසුවන ඔහු හා ඇයට සිඟිත්තියගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට තඹ දොයිතුවක් නොවීය. එතෙක් නිහඬව තිබූ සොඳුරු නිවහන මහ දවා‍ලේ ගිනියම් වූයේ දැඩි අව් රශ්මියෙන් පමණක් නොවේ…
“බලනවා… තමුසේ මේ බොන්න කරන නාස්තිය මම මහන්සියෙන් හොයන දේත් තමුසේ නාස්ති කරලා දාන හැටි”
“අනේ මං නොදන්න උඹේ මහන්සිය…රෑට රෑට වෙන මිනිස්සුත් එක්ක ලැගලා එනවා මෙතන මහන්සියක් ගැන කතා කරන්න.”
තත්වය දරුණු වෙමින් පැවතින. එක්වරම ඉදිරියට පැනගත් ඔහු සිය සුරත ඉහළට එසවූයේ ඇයගේ කම්මුල ඉලක්ක කරගනිමිනි. එක්වරම ඉහළට ගත් අත ඔහුට ‍නොදැනීම පණ නැතිවාක්ම මෙන පහළට කඩා වැටිනි. තම අතීත සිදුවීම් සිනමාපටියක විලාසයෙන් තම සිහියට නැගෙමින් පැවතින. එකෙනෙහිම බිම බලාගත් ඔහු එක්වරම අනෙක්පසට හැරී නිහඬවම නිවසේ… සත්‍ය වශයෙන්ම ලෑලි මුඩුක්කු නිවසේ පසු පසට සක්මන් කළේය.

ප්‍රවෘත්තියක්…
අමානුෂික මිනීමැරුමක්!
…. ප්‍රදේශයේ මුඩුක්ක් නිවසක් තුල අමානුෂික මිනී මැරුමක් හා සියදිවි නසාගැනීමකින් යුවල් ජීවිතක්ෂයට පත්වී ඇත. සිය සැමියාගේ දකුණු අත කපා දපා ඔහුගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන මරා දමා ඉන් අනතුරුව තමාටම ඇනගනිමින් සියදිවි හානිකරගෙන මියගොස් ඇත. මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගැනීමට ඇමතූ ප්‍රදේශයේ පොලිස් නිලධාරියා පැවසූවේ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි. සියදිවි හානි කරගත් කාන්තාව ගණිකා වෘත්තියේ නියැලෙන්නියක බවද, නිවසේ සිටි ඔවුන් දෙදෙනාගේ මාස කිහිපයක් වයසැති බිළිඳිය එම නිවස අවට වෙසෙන වෙනත් කාන්තාවක් විසින් හදාවඩා ගැනීම සඳහා බාරගෙන ඇති බවද වැඩි විස්තර සෙවීමෙදී අපට දැනගැනීමට ලැබිණි.
….

සත්‍ය වශයෙන්ම සිදු වූයේ එය නොවේ. තම මුළුතැන්ගෙයට ඇතුලු වූ ඔහු පිහියක් ගෙන සිය දකුණත කපාගත්තේය. ඒ වේදනාවෙන් හා බීමත්කමින් පියවි සිහියට එළැඹීටම අපහසුව සිටි ඔහු තම හදවත පසාරු කරගෙන යන්නාවූ අයුරින් පපු ප්‍රදේශය‍ට පිහිය ඇනගත්තේය. නිවසේ පිටුපසින් ඇසුනු තම සැමියාගේ විලාපයෙන් බියට පත්ව මුළුතැන්ගෙයට ඇතුලත් වූ ඇය දුටුවේ ලේ විලක් මැද වැටි සිටි තම ආදරණීය සැමියාගේ මළ සිරුරය. මළ සිරුරෙන් ඉහළට ඇදගත් පිහිය තම හදවත හරහා යවාගත්තේ වියරුවෙන් මෙනි…
ඔහුගේ හා ඇයගේ ආදර කතාව එහින් නිමාවට පත් විය. අසරණ සිඟිත්තිය හදාවඩාගත් කාන්තාවද ලොව පැරණිම වෘත්තියේ නියැලෙන්නියක වූවාය. ඒ සිඟිත්‍තියගේ කතාවට උපමා උපමේයන් අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.

නිමි.

11 thoughts on “අනාගතයෙන් කතාවක් – කෙටි කතාවකි.

  1. Reply ඉද්දා Mar 17,2009 11:04 am

    කථාව කියන්න පාවිච්චි කරල තියෙන දෘශ්ටි කෝනයනම් අහල පුරුදු එකක් නෙමෙයි. හැබැයි ඒ ක්‍රමය ගොඩක් ලස්සන ක්‍රමයක්. කථාවෙ තේමාවත් ඉතාම කාලෝචිත එකක් කියල මට හිතෙනවා.
    මට මේකෙ භාෂාව ගැන නම් කියන්න කිසිම දෙයක් නෑ. මම භාෂාව ගැන වැඩිය දන්නැති වුනාට හදවතට කථා කරන්න පුලුවන් විදිහකට ලියල තියෙනවා. කියන්න දෙයක් නෑ ඇත්තටම අපූරු කථාවක්.

  2. Reply මලී Mar 17,2009 12:07 pm

    ඔහ්..! ඛේදාන්තයක්.!ඒත් ලියලා තියන විදිය අපූරුයි මල්ලි.. දිගටම ලියන්න..

  3. Reply Chanuka Wattegama Mar 17,2009 1:39 pm

    Good. But you do not have to write everything in the chronological order. A story like this would have been better if you start from the end or middle. No need to spare so much of time for the first meeting too.

  4. Reply ecH Mar 17,2009 6:22 pm

    ෂා.. නියමෙට ලියල තියෙනව. ඕක හැබැයි ඉතිං අනාගතේම වෙන්න ඕනත් නෑ නේද? දැනටත් පත්තර වල තියෙන ඔය වගේ කතන්දර වල ඇත්ත පසුබිමත් ඔය වගේ තමයි.

    නියමයි සුදාරක කතාව නම්. ලියන්නත් පුළුවන් එකේ නරකද විභාගෙ එහෙම ඉවර වෙලා කතා ලියන්න හිතුවොත්?

  5. Reply Supun Sudaraka Mar 17,2009 7:11 pm

    @ඉද්දා, @මලී- බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයන්ට 🙂
    @Chanuka Wattegama- ඔබේ ‍අදහසට බොහොම ස්තූතියි. ඉදිරියේදී නිර්මාණ වලට ඔබේ මේ යෝජනාවත් යොදාගන්නම් අනිවාර්යයෙන්ම
    @ecH- ආ. ඔව්. මීට ආසන්න සත්‍ය සිදුවීම් නම් වෙනවා තමයි. ඒ කියන්නේ අපි ඉක්මනින්ම ඔය වගේ යුගයකට යනවා කියන එකද? 😮
    කතා ලියන්න නම් අදහස් ගොඩක් තියෙනවා. ඒත් ටික වෙලාවක් ලියාගෙන යනකොට මොකක්දෝ කම්මැලි කමක් ඇවිල්ලා කතාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා නෙව. බලමුකෝ ඉදිරියට 🙂

  6. Reply බුධාජීව Mar 17,2009 8:54 pm

    මචං.. උඹේ නිර්මාණය ගැන කතා දෙකක් නෑ.. “ගින්‍දර වගේ !”

    හැබැයි.. කතාවෙ අන්‍තර්ගතය දිහා බලනකොට පොඩි බයක් ආවා (සිරාවට) අනාගතය ඔහොම උනොත් මොකද කරන්නෙ කියලා !!!

    ඔය කතාව මචං බ්ලොග් අවකාශෙට වඩා වැඩි පාඨක සංඛ්‍යාවක් ග්‍රහණය කරගන්න පුළුවන් තැනක දාන්න තිබ්බනම් හොඳයි.. ඒත්.. යමක් කියවල වටහගන්න අපේ මිනිස්සුන්ට හැකියාවක් තියනවද.. එහෙම තේරුම් ගන්න උත්සාහ කරනවද.. තේරුම්ගන්නා අයට සමාජය යන දිශාව වෙනස් කරන්න හැකියාවක් තියනවද ???

  7. Reply ෴ බින්කු | ßÎŋЌυ ෴ Mar 17,2009 10:04 pm

    නියමයි මල්ලී, මම හිතුවාටත් වඩා මල්ලීට දක්ෂතාවයක් තියෙනවානේ. මල්ලීගේ පලමු උත්සහාය (මම දැකපු.) හැටියට අතිවිශ්ඨයි. තව ටිකක් සංස්පේෂිත කලා නම්? අනික මල්ලී, අපිට ලෝකයේ සාරධර්ම අතින් ඉදිරියෙන් සිටිනවා කියලා කියන්න ටිකකින් හරි? අනිත් අයට සාපේක්ෂව ඉදිරියට ටිකක් සිටි අපේ රටේත් ඒවා විනාශ වෙන බව ලිව්වා නම්?

    ලෝකයේ තුන්වන රටවල ලොකයේ පැරණිම වෘත්තිය ගැන අපි නො දන්න පැත්තක් ගැන කියන්නට තැත් කිරිම ගැන තුතිය!

  8. Reply Supun Sudaraka Mar 19,2009 10:09 am

    @බින්කු අයියා – ආ… බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. ඇත්තටම මේක මගේ පළවෙනි එක නෙවෙයි. පළවෙනි එක මම අට වසරේදි ලියපු කෙටි කතාවක්. මේ තියෙන්නේ ඒක – http://www.blog.sudaraka.com/?p=14

  9. Reply kasun Mar 19,2009 12:50 pm

    nice style 🙂

  10. Reply ශාකුන්තල Mar 21,2009 2:07 am

    කතාව කියවලා හිතේ පොඩි කැළඹීමක් වගේ එකක් ඇති නොවුනා නෙවෙයි.. හික් 😀 හේතු අහන්න එපා.
    කොහොම වුණත් ලස්සනට ලියල තියෙනවා.
    ජය!

  11. Reply Wimudi Jan 28,2013 11:57 pm

    මට හිතෙන්නේ ලස්සන කතාවකට වඩ හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා ,කොහොම උනත් උත්සාහය සාර්ථකය්……………….හොඳයි…………………

Leave a Reply

%d bloggers like this: